ශ්‍රී ලංකාවේ ජනාධිපති සිය ප්‍රතිවාදියාගේ මඟ වලකන බවට පිලින දෙයි

Sri Lankan president pledges to block rival

වසන්ත රූපසිංහ විසිනි , 2015 ජූලි 18

තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එකහෙලා විරුද්ධ වන බවට, 14දා පැවැත්වූ දීර්ඝ කථාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය විවේචකයින්ට සහතික විය. රාජපක්ෂ අගෝස්තු 17දා මැතිවරනයෙන් පසුව අගමැති වීමට දරන කුමන හෝ උත්සාහයක්, තම ජනාධිපති බලතල පාවිච්චි කර නවත්වන බව ඔහු පැවසීය.

චීනය සමග රාජපක්ෂ පවත්වාගෙන ගිය සම්බන්ධකම් වලට සතුරු ඇමරිකාව හා ඉන්දියාව පිටුබලය දුන් තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් තුල, ජනවාරි 8දා පැවති ජනාධිපතිවරනයේදී සිරිසේන, රාජපක්ෂ පරාජය කලේය. ඔහු රාජපක්ෂ ආන්ඩුවෙන් ඉවත්වී, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ සහාය ඇතිව ජනාධිපතිවරනයට ඉදිරිපත් විය. ඒ දෙදෙනාටම වොෂින්ටනය සමඟ කිට්ටු සම්බන්ධකම් ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) නෙරපා නොහල සිරිසේන, ජනාධිපති ලෙස එම පක්ෂයේ නායකත්වයට පත් විය. කෙසේ වෙතත් ඔහු, රටේ ආර්ථිකය දිගටම පිරිහෙමින් පැවතියදී, එජාප සුලුතර ආන්ඩුවේ කඩවුනු පොරොන්දු හමුවේ ඒ කෙරෙහි විරුද්ධත්වය පුලුල් වන තතු තුල, ශක්තිමත්වූ රාජපක්ෂගේ සහචරයන් විසින් පක්ෂය තුල වඩ වඩාත් කොන්කරනු ලැබින.

සිරිසේන ජනාධිපතිවරනය ජයගත්තේ, ශාස්ත්‍රාලිකයින්, ලිබරලුන්, රාජ්‍ය නොවන සංවිධානවල කොටස් හා නව සමසමාජ පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් වලින් ලැබුනු සහයෝගය ඇතිවය. රාජපක්ෂගේ “ආඥාදායකත්වය” හෙලාදකිමින් ද සිරිසේන “ප්‍රජාතන්ත්‍රවාදියෙක්” ලෙස හුවා දක්වමින් ද ව්‍යාජ වම්මු, මැතිවරනය “ප්‍රජාතන්ත්‍ර විප්ලවයක්” ලෙස පින්තාරු කලහ.

මැතිවරනයේදී ශ්‍රීලනිපයේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙක් ලෙස රාජපක්ෂ ඉදිරිපත් වීමට ජූලි 3දා සිරිසේන එකඟත්වය පල කිරීමත් සමඟ, මෙම ඉහල මධ්‍යම පන්තික කොටස් අතරින් කටුක ප්‍රහාර එල්ල වීමට පටන් ගත්තේය.

විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සංඟමයේ ප්‍රකාශකයෙකු හා පුරවැසි බලයේ නායකයා වන නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ පැවසීය. “මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට සහාය වෙමින් අපි මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ආවෙමු. ඔහු දැන් හෙතෙම ආපසු කැඳවයි.... පරාජයට පත්කල කෙනා හා ජයග්‍රාහකයා දැන් එකට වැඩ කරන්ට සූදානම් වෙයි.”

ජූලි 5දා සන්ඩේ ටයිම්ස් කතුවැකිය පලවූයේ “ජනාධිපති සුදු කොඩිය ඔසවමින් යටත්වෙයි” යන සිරස්තලය යටතේය. පුරවැසි බලයේ ප්‍රමුඛ නායකයෙක් වන ගාමිනී වියන්ගොඩ, “යලිත් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිනීමට මඟ සලසමින්, නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ නායකයෙක් සිදුකල දැවැන්තම පාවාදීම” මෙය බව කියමින් සිරිසේන හෙලා දුටුවේය.

මෙම ප්‍රකාශයන්ගෙන් සලකුනු කරන්නේ එම සමාජ ස්ථරයන්ගේ අමු ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයයි. ඒ අනුව ඔවුන් ඉල්ලන්නේ, ශ්‍රීලනිපයේ ජනාධිපති වශයෙන් සිරිසේන සිය තත්වය පාවිච්චි කර රාජපක්ෂ හා ඔහුගේ සහචරයින් පාර්ලිමේන්තු මැතිවරනයේ අපේක්ෂකයින් ලෙස පත්වීම නතර කරන ලෙසය.

රාජපක්ෂ ඊලඟ ආන්ඩුවේ නායකයා නොවනු ඇති බව ඔවුන්ට සහතික කිරීම ජූලි 14දා සිරිසේනගේ කථාවෙහි අරමුන විය. ඔහු “ජනවාරි 8දා සිදුවූ ප්‍රජාතන්ත්‍ර විප්ලවය” හුවාදැක්වීය. “එදින මම දුන් පොරොන්දුව ඉටුකරමින් එලඹෙන වසර පහ තුල මගේ රාජකාරිය ඉටුකරන බවට” ඔහු පිලින දුන්නේය.

තමා ශ්‍රීලනිපය පාලනයකර ගැනීමට උත්සාහ කලද අවසානයේ එය අසාර්ථක වීම නිසා රාජපක්ෂට නාමයෝජනා දීමට තමාට බල කෙරුන බව කියමින් සිරිසේන, දීර්ග ස්වයං යුක්තිකරනයක් ඉදිරිපත් කලේය. පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරනය කැඳවීම මඟින් තමා, සිය පාර්ලිමේන්තු බහුතරය යොදාගෙන සුලුතර එජාප ආන්ඩුව පෙරලා දමා රාජපක්ෂට ජාතික ලැයිස්තුවේ අසුනක් පිරිනැමීම මඟින් ඔහු අගමැති ලෙස පත්කිරීමේ ශ්‍රීලනිප කුමන්ත්‍රනය පරාජය කල බව ද ඔහු පැවසීය.

සිය විවේචකයින්ට පිලිතුරු දෙමින් සිරිසේන, “මා ඉතා පැහැදිලි ලෙස කිව යුත්තේ, එලඹෙන මැතිවරනයේදී මට මහින්ද රාජපක්ෂ සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්” රාජපක්ෂ කෙරෙහි වන සිය විරුද්ධත්වය “ එලෙසම පවතින බවත්” පැවසීය. එජනිස මැතිවරනයෙන් ජයගත්ත ද තමා රාජපක්ෂ අගමැති ලෙස පත් නොකරන බව පසුව ඔහු අවධාරනය කලේය.

සිය විරුද්ධවාදියාට එරෙහිව පුලුල් ජනාධිපති බලතල යොදාගැනීමට රාජපක්ෂ මෙන්ම සිරිසේන ද දක්වන කැමැත්ත පෙන්නුම් කරන්නේ, සිදුවූවා යයි කියන “ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ” හා සිය කථාවේදී තමා “මැතිවරන අවධිය තුල මධ්‍යස්ථව සිටින්නේය” යන ප්‍රකාශයෙහි විකාර ස්වභාවයයි.

සියල්ලටත් වඩා සිරිසේනගේ කථාවෙන් පිලිතුරු දෙන්නේ, ජනවාරියේදී රාජපක්ෂ බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රනයට පිටුබලය දීමෙන් පසුව, අගමැති වශයෙන් ඔහු යලිත් පැමිනීමට ඉඩ හැරීමේ අදහසක් නැති, වොෂින්ටනයටයි. රාජපක්ෂ ඉවත්කිරීම, චීනය හුදෙකලා කර, මිලිටරිමය වශයෙන් එරට වටලා, කලාපය පුරා ආධිපත්‍යය පිහිටුවීම සඳහා වන ඇමරිකාවේ “ආසියාවට හැරීමේ” පිලිවෙතෙහි කොටසකි.

රාජපක්ෂට නාමයෝජනා දීම කෙරෙහි වොෂින්ටනයේ නොකැමැත්ත, ජූලි 5දා සන්ඩේ ටයිම්ස් පත්‍රයේ දේශපාලන තීරු රචකයා විසින් වාර්තා කර තිබුනු, තානාපතිවරුන්ගේ ප්‍රතිචාරයෙන් සලකුනු කෙරේ. කොලඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ මහාජිකයින්, විශේෂයෙන්ම බටහිර අය, (රාජපක්ෂට නාමයෝජනා ලැබීමෙන්) තිගැස්මට හා කම්පනයට පවා පත්වූහ.“ ඔහු ලිවීය.

කොලඹ තුල පැනනැඟී ඇති බල අරගලයට, “ප්‍රජාතන්ත්‍රවාදය“ ආරක්ෂා කිරීම සමඟ මෙලොව සම්බන්ධයක් නැත. එය බැඳී ඇත්තේ, චීනයට එරෙහිව වොෂින්ටනයේ උත්සන්න වන යුද සූදානම හා රටේ ගැඹුරුවන ආර්ථික තත්වය සමඟය.

රාජපක්ෂ නියෝජනය කරන්නේ, 2009 වසරේදී බෙදුම්වාදී එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව මෙරටට ගලා ආ චීන ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ හිමිකරගත්, පාලක පන්තියේ කොටස්ය. මෙරට චීන ව්‍යාපෘතීන් අවහිර කිරීම පිලිබඳව දැනටමත් රාජපක්ෂ ආන්ඩුව විවේචනය කරන අතර තමන් අගමැති ලෙස පත්වුවහොත් ඒවා යලි පනගන්වන බවට පොරොන්දු වේ.

එල්ටීටීඊයට යලි හිස එසවීමට ඉඩ හැරීම පිලිබඳව ආන්ඩුව විවේචනය කරන රාජපක්ෂ, “මව්බිම ආරක්ෂා කිරීම” ගැන කථාකරමින්, දෙමල විරෝධී වර්ගවාදය ඇවිලවීමට උත්සාහ දරයි.

සිරිසේන හා ඔහුගේ අනුචරයින් නියෝජනය කරන්නේ, මෙරට විශාලතම නිර්යාත වෙලඳපොලවල් වන ඇමරිකාව හා එහි යුරෝපීය සහචරයින්ගෙන් හුදෙකලා වීම පිලිබඳව ගැඹුරු කනස්සල්ලකින් පසුවන දේශපාලන සංස්ථාපිතයේ කොටස්ය. ඇමරිකානු චීන ආතතීන් තියුනු වෙද්දී, මෙරට චීනයෙන් ඈත් නොවුනහොත් ඇමරිකාවේ ප්‍රතිප්‍රහාරයක ඉලක්කය වනු ඇතැයි ඔවුහු බිය පත්ව සිටිති.

බලය සඳහා ඔට්ටු ඇල්ලීමට රාජපක්ෂට තවමත් හැකියාව ඇත යන කාරනය පෙන්නුම් කරන්නේ, සිරිසේන හා එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුව කෙරෙහි වැඩෙමින් ඇති ජනතාවගේ සතුරුකම් හා විරුද්ධත්වයයි. සිරිසේන බලයට පැමිනියේ, ජීවන තත්වයේ බර සැහැල්ලු කරන දින 100 වැඩපිලිවෙලක් පොරොන්දු වෙමින් වුවත්, ඔහුගේ බොහෝ පොරොන්දු කඩවී ඇත. ඔහු ගනන් බැලුවේ මෙරට චීනයෙන් ඈත්වීම, මූල්‍ය ආධාර සඳහා දොරටු විවර කරනු ඇති බවට නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආන්ඩුවේ නව නය ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කරමින් තව තවත් කප්පාදු පියවර අවධාරනය කලේය.

සිය කථාවේදී සිරිසේන, “ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපී ඇති” බව කියා සිටිය ද මෑතකදී හටගත් 47,000ක් සෞඛ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනය බිඳීමට රෝහල් තුලට මිලිටරිය යෙදවීමට පසුබට වූයේ නැත. විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවන්ට එරෙහිව යලි යලිත් පොලිස් කොමාන්ඩෝ බලඇනි යොදවනු ලැබින. ඒ හා සමාන කඩා පැනීම්, උතුරේ මිලිටරි වාඩිලෑමට එරෙහි දෙමල ජනතාවගේ විරෝධතා තලා දැමීමට ද යොදාගෙන ඇත. පසුගිය සතියේදී සිරිසේන මාධ්‍ය කවුන්සිලය කැඳවනු ලැබූ අතර එය, මාධ්‍ය හා මාධ්‍යකරුවන්ට එරෙහි කටයුතු සඳහා යොදාගත හැකිය.

රාජපක්ෂ හා ඔහුගේ කන්ඩායම වැලැක්වීමේ අධිෂ්ඨානය සිය කථාවේදී සිරිසේන විසින් කෙලින්ම ප්‍රකාශ කිරීමෙන් සිදුව ඇත්තේ, ශ්‍රීලනිපය තුල විරුද්ධත්වය තවත් උත්සන්න වීම පමනි. පාලක පැලැන්තියේ කිසිදු කොටසක් වැඩකරන ජනතාවගේ අවශ්‍යතා නියෝජනය නොකරති. අගෝස්තු 17දා මැතිවරනයේ ප්‍රතිපලය කුමක් වුවත්, ඊලඟ ආන්ඩුව, ජාමූඅ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ කප්පාදු ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමේදී ආඥාදායක ක්‍රමෝපායන් යොදාගැනීමට නොපැකිලෙනු ඇත.

Share this article: