සසප ශී‍්‍ර ලංකාවේ මහ මැතිවරනයට තරඟ වදී

SEP to stand in Sri Lankan general election

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2015 ජුලි 13

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), අගෝස්තු 17 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරනයට තරග වදී. සසප මැතිවරන දිස්ති‍්‍රක්ක 22න් 3ක -- කොලඹ, උතුරේ යාපනය සහ මධ්‍යම තේ වතුකරයේ නුවරඑලිය -- අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කරයි.

0

කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන සහ ජාත්‍යන්තරවාදී සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කරන එකම පක්ෂය සසපයි. පාලක පන්තියේ සෑම කන්ඩායමකට ම -- පාලක එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ විපාර්ශ්වික ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) -- සහ ඔවුන්ගේ විවිධ සගයන්ට හා ව්‍යාජ-වාම ක්ෂමාලාපකයන්ට විරුද්ධව, නාගරික හා ගම්බද දුගීන්ගේ නායකයා ලෙස කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට අපි සටන් වදිමු.

මැතිවරනය පැවැත්වෙන්නේ, ගෝලීය ධනවාදයේ ශීඝ‍්‍රයෙන් දරුනු වන අර්බුදයක් මධ්‍යයේ ය. එම අර්බුදය, භූ-දේශපාලනික එදිරිවාදුකම් සහ ලෝක යුද ධාවනය මෙන්ම, සෑම රටක්ම පාසා කම්කරු පන්තියේ ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි අනවරත ප‍්‍රහාරයක් ද අවුලුවමින් තිබේ.

ගී‍්‍රසිය තුල දී ආර්ථික අර්බුදයේ ගැඹුර වඩාත් විශද ලෙස ප‍්‍රකාශයට පත්වී ඇත. එහි දී යුරෝපීය හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආයතන පැහැදිලි කර ඇත්තේ කප්පාදු පිලිවෙත් වඩවඩා ගැඹුරු කල යුතු බවට ඔවුන් කරන ඉල්ලීම්වලට එරෙහි මොන යම් හෝ විරුද්ධත්වයක් තමන් නොඉවසන බවයි. සිරිසා ආන්ඩුවේ පාවාදීම, ගී‍්‍රසිය ජර්මානු හා යුරෝපීය බැංකුවල අර්ධ-විජිතයක් බවට පරිවර්තනය කරන අතර එය කම්කරු පන්තියට ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත.

ශී‍්‍ර ලංකාව, ගෝලීය බිඳවැටීමේ බලපෑමෙන් නිදහස් වනවා නොව, එම ජාත්‍යන්තර සන්තතීන්ගේ සංකේන්ද්‍රිත ප‍්‍රකාශනය බවට පත්ව තිබේ. ගී‍්‍රසියේ දී මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටින්නේ, ආන්ඩුවේ වියදම් කප්පාදුව හා පුලුල් වෙලඳ පොල-හිතැති පිලිවෙත් තව දුරටත් ගැඹුරු කරන ලෙසයි. එම පියවර දුප්පත්කම හා සමාජ කාලකන්නිභාවය උත්සන්න කිරීමට තුඩු දෙනු ඇත. එජාප සහ ශී‍්‍රලනිප නායකත්වයෙන් යුක්ත සන්ධාන මෙම කප්පාදු ඉලක්කවලට කැපවී සිටී.

එමෙන්ම, රුසියාවට හා චීනයට එරෙහිව උත්සන්න කෙරෙන එක්සත් ජනපද යුද ධාවනය ජාත්‍යන්තර කම්කරු පන්තිය හමුවේ ඉමහත් අන්තරායන් මතු කරයි. රුසියාවේ දේශසීමා අසල සහ චීනයට එරෙහිව ආසියාව පුරා එක්සත් ජනපදය සහ එහි සගයන් සිදු කරන මිලිටරි බලය තර කිරීම මගින් නිර්මානය කෙරෙන්නේ, සුලු සිද්ධියක් හෝ වැරදි ගනන්බැලීමක් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලයන් අතර ගැටුමක් බවට ශීඝ‍්‍රයෙන් වර්ධනය විය හැකි වෙඩි බෙහෙත් පීප්පයකි.

ශී‍්‍ර ලංකාවේ සසප මැතිවරන උද්ඝෝෂනය, යුද්ධය දෙසට තල්ලුව නතර කල හැකි එම ක‍්‍රමය වන, ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙන යන අරගලයේ අත්‍යන්ත කොටසකි.

චීනයට එරෙහි වොෂිංටනයේ යටි උගුල් හා ප‍්‍රකෝපකරනයන් ආසියාව පුරා රටවල් තුල දේශපාලන ආතතීන් උත්සන්න කර තිබේ. ශී‍්‍ර ලංකාවේ දී, එක්සත් ජනපදය, ඉන්දියාවේ සහයෝගය ඇතිව, චීනය සමග සමීප ආර්ථික හා දේශපාලන සබඳතා වර්ධනය කරගෙන තිබූ මහින්ද රාජපක්ෂ ඉවත් කොට මෛතී‍්‍රපාල සිරිසේන බලයේ පිහිටුවීම පිනිස ජනවාරි 8 ජනාධිපතිවරනය ගසාකෑවේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ හා එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ සහයෝගය ඇතිව කි‍්‍රයාවට දැමූ තන්ත‍්‍ර-මාරු මෙහෙයුමට, වොෂිංටනයේ ප‍්‍රතිකි‍්‍රයාවන්ගේ වැඩෙන අන්තරාය පිලිබඳ උත්සුකව සිටි පාලක ප‍්‍රභූවේ කොටස්වල පිටුබලය ලැබුනි. සිරිසේන, වික‍්‍රමසිංහ අගමැති ලෙස පත් කල අතර වොෂිංටනය හා කලාපය තුල එහි සගයන් පිටුපස පෙලගැසෙන පරිදි විදේශ පිලිවෙතේ මාරුවක් සඳහා පියවර ගත්තේය.

පසුගිය මාස හය තුල කොලඹ දේශපාලන අර්බුදය තව දුරටත් ගැඹුරු වී ඇත. දින 100ක කෙටි කලකට බලයේ සිටීම, සහන කිහිපයක් ලබාදීම සහ මහ මැතිවරනයකින් ඉක්මනින් ජයගැනීම සඳහා වූ සිරිසේනගේ හා ඔහුගේ සම-කුමන්ත‍්‍රනකරුවන්ගේ සැලසුම්, දරුනු වන ගෝලීය ආර්ථික බිඳවැටීම ද ආන්ඩුවේ වියදම් දැවැන්ත ලෙස අඩු කිරීමකින් තොරව අලුතෙන් නය දීමට ජාමූඅ ප‍්‍රතික්ෂේප කිරීම ද හමුවේ වහාම අර්බුදයට ලක් විය.

කඩවුනු මැතිවරන පොරොන්දු වැඩකරන ජනතාව අතර පුලුල්ව පැතිරුනු අසන්තෘප්තියක් අවුලුවා ඇත. රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට ලබා දුන් සීමිත වැටුප් වැඩිවීම් සහ සුලු සුභසාධක පියවර, ජීවන මට්ටම්වල ගැඹුරු ඛාදනයට අලගු තියන්ට වත් මදිය. ආන්ඩුව පුද්ගලික අංශයේ සේවකයන් සඳහා වූ වැටුප් වැඩිවීමකට සහයෝගය දීම ප්‍රතික්ෂේප කර ඇති අතර එය දසදහස් ගනන් වතු කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලමින් ගෙන යන හෙමින් වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් අවුලුවා තිබේ.

සියලු ම ව්‍යාජ-වාම සංවිධාන -- නව සමසමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) -- ඒ හෝ මේ ආකාරයෙන් සිරිසේනගේ තේරී පත්වීමට සහයෝගය දුන්නේ එය රාජපක්ෂගේ “ආඥාදායකත්වයට” පවත්නා “ප්‍රජාතන්ත්‍රවාදී” විකල්පය ලෙස හුවා දක්වමිනි.

ආන්ඩුව සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජනය බිදීමට මිලිටරිය යෙදීමත් ශිෂ්‍ය විරෝධතා මර්දනයට පොලීසිය යොදාගැනීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදී වහන්තරාව ඉක්මනින්ම ඉරී ගොස් ඇත. වඩාත්ම මෑතදී සිරිසේන, මාධ්‍යවේදීන් වාරනයට හා දන්ඩනයට ලක්කිරීමේ බලතල සහිත ඉතා දරුනු පුවත්පත් මන්ඩලයට යලි පන දුන්නේය.

නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට එරෙහිව උද්ඝෝෂනය කිරීම නිසා, ග්ලෙනුගී තේ වත්තේ කම්කරුවන් හත් දෙනෙකුට විරුද්ධව, පොලීසියේ හා වෘත්තීය සමිතිවල ද සහයෝගය සහිතව, එම වතු පාලකයන් ගෙනයන දඩයමට ද ආන්ඩුව අවෘතව පිටුබලය දී තිබේ.

එජාප නායකත්වයෙන් යුක්ත ආන්ඩුව කෙරෙහි කම්කරුවන් හා තරුනයන් අතර වැඩෙන විරුද්ධත්වය, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට හා ජීවන මට්ටම්වලට එරෙහි සිය ප්‍රහාර හේතුකොටගෙන ගැඹුරින්ම අපකීර්තියට පත්ව සිටින, රාජපක්ෂගේ දේශපාලනික ආගමනයක් සඳහා වන උත්සාහයක් දිරිගන්වා ඇත. චීන ආයෝජන “වලකාලීම” සම්බන්ධයෙන් සිරිසේන හා වික්‍රමසිංහ විවෘතව වි‍වේචනයට ලක් කරන රාජපක්ෂ, නි‍යෝජනය කරන්නේ, චීනය සිය ආර්ථික ගැටලු විසඳා ගැනීමේ විධික්‍රමය ලෙස දකින පාලක පන්තියේ කොටස්ය.

මෙතෙක් නොවූ විරූ දුෂ්ට වාග්මාලාවක් යොදාගනිමින්, රාජපක්ෂ දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමේ යෙදී සිටින්නේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි “යුද්ධයෙන් දිනාගත් මව්බිමේ නිදහස” වලදැමීමට වැඩ කරන බවට ආන්ඩුවට චෝදනා නගමිනි.

ශ්‍රීලනිප අගමැති අපේක්ෂකත්වය ලබාගැනීමේ රාජපක්ෂගේ උද්ඝෝෂනය පක්ෂය භේද කිරීමේ තර්ජනය මතුකරයි. ජනවාරියේ දී රාජපක්ෂට එරෙහිව තරග වැදීම පිනිස සිරිසේන එජාපය සමග එක්වුන නමුදු, ඔහු තවමත් ශ්‍රීලනිපය තුල සිටින අතර, රටේ ජනාධිපති ලෙස, නිල වසයෙන් පක්ෂ නායකයා ද වේ. ආන්ඩුවේ ජනප්‍රියත්වය වියැකී යත්ම, රාජපක්ෂ සිය ආධිපත්‍යය වර්ධනය කරගෙන, ශ්‍රීලනිප නාමයෝජනා ලබාගැනීමට තමන්ට ඉඩ දෙනලෙස සිරිසේනට බලපෑම් දැමීමට ද සමත්ව ඇත.

වික්‍රමසිංහ සහ කුමාරතුංග, රාජපක්ෂගේ නාමයෝජනය අත්තනෝමතික ලෙස වැලැක්වීමට ශ්‍රීලනිප නායකයා ලෙස සිය බලතල යොදාගන්නා ලෙස සිරිසේනට බල කිරීමේ බලගතු උත්සාහයක යෙදී තිබේ. මෙම “ප්‍රජාතන්ත්‍රවාදීන්” පිටුපසින් නිසැකවම සිටින්නේ, රාජපක්ෂ යලි බලයට පැමිනීම වැලැක්වීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් එක්සත් ජනපදයයි. වොෂිංටනයට දුන් ප්‍රතිඥාවකට සමානව, සිරිසේන මෑතදී ප්‍රකාශ කලේ, ජනවාරි 8 දා “නිහඬ විප්ලවය” ආපසු හැරවීමට තමන් ඉඩ නොදෙන බවයි.

සසප සහ එහි අපේක්ෂකයෝ අගෝස්තු 17 මැතිවරනයේ දී, යුද්ධය, කප්පාදු පිලිවෙත් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි වැඩිදුර ප්‍රහාර හැර අන් යමක් ප්‍රදානය කිරීමට අසමත් දේශපාලන සංස්ථාපිතයේ කන්ඩායම් දෙකෙන්ම, කම්කරුවන් හා තරුනයන් මුලුමනින්ම දේශපාලනිකව බිඳගැනීම පිනිස උද්ඝෝෂනය කරනු ඇත. කම්කරු පන්තියට සිය අවශ්‍යතා ආරක්ෂා කරගත හැක්කේ, ඔවුන් ස්වාධීනව බලමුලුගැන්වීමට සහ කම්කරු-ගොවි ආන්ඩුවක් හා සමාජවාදී පිලිවෙත් සඳහා වූ අරගලය තුල නාගරික හා ගම්බද දුගීන් මෙහෙයවාගැනීමට පටන්ගත හොත් පමනි.

පාලක පන්තියේ ඒ හෝ මේ ‍කොටසට කම්කරු පන්තිය ගැටගැසීමට උත්සාහ කර ඇති එම සියලු පක්ෂ හා කන්ඩායම් ප්‍රතික්ෂේප කිරීම ද අවශ්‍ය ය. ජනවාරි මැතිවරනයේ දී, ව්‍යාජ-වාම සංවිධාන -- නසසප, එසප සහ පෙසප -- පුරවැසි බලය සහ සමාජ සාධාරනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ව්‍යාපාරය වැනි විවිධාකාර ලිබරල් කන්ඩායම් සමග එක්ව, ප්‍රජාතන්ත්‍රවාදයේ, යහ පාලනයේ හා පවුල්වාදය තුරන් කිරීමේ නාමයෙන්, රාජපක්ෂට එරෙහි එක්සත් ජනපදයේ පිටුබලය ලත් මෙහෙයුමට සහයෝගය දුනි.

දැන් මෙම සංවිධානම, රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් මැතිවරනයේ දී තරග කිරීම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස වැලැක්වීමට ශ්‍රීලනිප නායකයා ලෙස සිය බලතල යොදාගැනීමට අසමත් වීම නිසා සිරිසේන සිදු කල “මහා පාවාදීම” හෙලාදැකීමේ යෙදී සිටී. ශ්‍රීලනිප හා එජාප යන දෙපාර්ශ්වයම සම්බන්ධයෙන් පුලුල්ව පැතිරුනු මහජන කලකිරීම මධ්‍ය‍යේ, මෙම කන්ඩායම් “රාජපක්ෂ ආඥාදායකත්වය නතර කිරීමේ” නාමයෙන් කම්කරුවන් හා තරුනයන් සඳහා නව උගුලක් සූදානම් කිරීමේ උපාමාරුවක යෙදී සිටිති.

එලෙසම, 2009 දී එල්ටීටීඊයේ පරාජය වනතෙක්ම රාජපක්ෂ ආන්ඩුවට පිටුබලය සැපයූ සහ එජාප නායකත්වයෙන් යුක්ත ආන්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී පාට තවරමින් පසුගිය මාස හය තුල එය සමග පෙලගැසුනු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) , දැන් එම දෙපාර්ශ්වයටම විකල්පයක් ලෙස මවාපෑමක යෙදී සිටී. “පිරිසිදු පාලනයක්” සඳහා වූ ජවිපෙ උද්ඝෝෂනයේ ප්‍රධාන අරමුන වන්නේ, කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමෙහිලා තමන් වඩා කාර්යක්ෂම වනු ඇති බවට ධනේශ්වරයට ඒත්තු ගැන්වීමයි.

ශ්‍රී ලංකාවේ ඇතුලු, ජාත්‍යන්තර පරිමාන කම්කරු පන්තිය ග්‍රීසියේ සිදුවීම්වලින් තියුනුතම දේශපාලන පාඩම් උකහා ගත යුතුය. සිරිසා ආන්ඩුවේ ක්‍රියාකලාපය ව්‍යාජ-වාම සංවිධාන බලයට පත් වූ කල කුමක් කරනු ඇතිද යන වග පෙන්වා තිබේ. කම්කරු පන්තියේ නැගෙන ව්‍යාපාරයකට මුහුන දී ඇති තතු යටතේ, සිරිසා සිය කප්පාදු-විරෝධී මවාපෑම් අතහැර දමා මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම්වලට මුලුමනින්ම යටත් වී ඇත. එහි පාවාදීම, ධනපති ක්‍රමය අහෝසි කර දැමීමේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයක අවශ්‍යතාව අවධාරනය කරයි.

සසප මැතිවරනයට තරග වදින්නේ, එලඹෙන අරගලවල දී අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම පිනිසය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස, එයට සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් වැදීම පිලිබඳ දිගු කාලීන, නොබිඳුනු වාර්තාවක් පවතී. රටේ දිග්ගැසුනු සිවිල් යුද්ධය පුරා, සසප කොලඹ තන්ත්‍රයේ යුද ධාවනයට ස්ථිරසාරව විරුද්ධ වෙමින් උතුරෙන් හා නැගෙනහිරෙන් ශ්‍රී ලංකා මිලිටරිය කොන්දේසි විරහිතව ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර, එමෙන්ම එල්ටීටීඊයේ දෙමල බෙදුම්වාදයේ ප්‍රතිගාමී ස්වභාවය එලිදරව් කර තිබේ.

සසප සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් උදෙසා වූ ඉල්ලීම වටා, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරයි. අපගේ සමාජවාදී පිලිවෙත්වල ඉලක්කය වන්නේ, ධනවත් අතලොස්සක ලාභ නොව, බහුතරයක දැවෙන අවශ්‍යතා සපුරාලීම පිනිස ඉහල සිට පහලට ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමයි. එය ආරම්භ කල යුත්තේ, බැංකු, මූල්‍ය ආයතන, දැවැන්ත ව්‍යවසායන් හා වතු කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කිරීම සහ විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සමගය.

සසප සිය ක්‍රියාමාර්ගය වඩා විස්තරාත්මකව ඉදිරිපත් කරන මැතිවරන ප්‍රකාශයක් නිකුත් කරනු ඇත. අපගේ ඉදිරිදර්ශනය සමග එකඟ වන කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, අපගේ උද්ඝෝෂනයට ක්‍රියාකාරීව සම්බන්ධ වන ලෙස, අපගේ ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගි වන ලෙස සහ අපගේ රු. 500,000 මැතිවරන අරමුදලට නොමසුරු ලෙස ආධාර කරන ලෙසයි. අපගේ ක්‍රියාමාර්ගය අධ්‍යයන කරන්න, සසපට බැඳී එය කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස ගොඩනැගීමට එක්වන්න.

Share this article: