සිප්‍රාස් යුරෝපීය සංඟමය විවේචනය කරන අය කැබිනට්ටුවෙන් නෙරපයි

Tsipras expels critics of EU austerity deal from Greek cabinet

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 ජූලි 18

ග්‍රීක අගමැති සිප්‍රාස් 17දා රාත්‍රියේ, ග්‍රීක රාජ්‍යයට ඇප දෙන, යුරෝපීය සංඟමයේ තුන්වන ගිවිසුම ගැන සාකච්ඡා පැවැත්වෙන අතර තුර, සිරිසාව ක්‍රියාත්මක කරන යුසං ව්‍යසනකාරී නව කප්පාදු පැකේජය විවේචනය කරන අය නෙරපා හරිමින් කැබිනට් සංශෝධනයක් කරන බව නිවේදනය කලේය.

සංශෝධනය සිදුවන්නේ, වාම පෙරමුන තුල සිටින සිප්‍රාස්ගේ සිරිසා පක්ෂයෙහි මන්ත්‍රීන් 149න් 32ක් 15දා යුසං කප්පාදු පැකේජයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමෙන් පසුවය. නව කැබිනට්ටුව 18දා මධ්‍යාහ්නයේදී දිව්රුම් දෙනු ඇත.

මෙහිදී ඇමති තනතුරු 9ක් වෙනස් කර ඇත. එක් ඇමතිවරයෙක් හා නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් තනතුරු වලින් පහ කෙරේ. වාම පෙරමුනේ ප්‍රබල සාමාජිකයෙකුවූ බලශක්ති ඇමති පැනයියෝටිස් ලෆසානිස් ඇතුලු කම්කරු නියෝජ්‍ය ඇමතිඩිමිත්‍රි ස්ට්‍රැටෝලිස් හා නියෝජ්‍ය ආරක්ෂක ඇමති කොස්ටාස් ඉසිකෝස් ද ඊට ඇතුලත්ය. ඔවුන් තිදෙනාම පාර්ලිමේන්තු ඡන්දයේදී කප්පාදු පැකේජයට විරුද්ධව ඡන්දය දී තිබුනි.

සිප්‍රාස්ගේ සමීපතමයෙකු වන කම්කරු ඇමති පානොස් ස්කෝලිටිස් බලශක්ති ඇමති වෙනුවෙට එම තනතුරට පත් කෙරේ. ඔහු බලශක්ති ව්‍යාපෘති ගනනාවක් හා යුසං නිර්දේශ කල අනෙකුත් රාජ්‍ය වත්කම් පුද්ගලීකරනය කිරීම අධීක්ෂනය කරයි. ඇනෙල් යන ස්වාධීන ග්‍රීකයෝ නම් සිරිසාවේ අන්ත දක්ෂිනාංශික සහචර සංවිධානයේ පැව්ලොස් චයිකලිස්, ස්ට්‍රැටෝලිස් වෙනුවට පත් කල අතර ඔහු විකට නලුවෙකි.

යුසං කප්පාදු වැඩසටහනට ඡන්දය විමසීමට පෙරම ඉල්ලා අස්වූ හිටපු මුදල් ඇමති නාඩියා වැලවානි වෙනුවට ඇතන්ස්හි හා පිරායුස්හි බදු පරීක්ෂක වෘත්තීය සමිතියේ ප්‍රධානී ට්‍රිෆන් ඇලෙක්සියාඩිස් පත්කර ඇත. සිය කැබිනට්ටුවට, යුසං ගැති නව ප්‍රජාතන්ත්‍රය, ගංඟාව හෙවත් පොටාමි හා පැසොක් යන සමාජ ප්‍රජාතන්ත්‍ර වැනි, විපක්ෂයේ පක්ෂවල මන්ත්‍රීවරුන් ඇතුලත් කරනු ඇති බවට පැවති සමපේක්ෂනය අවසන් කරමින් සිප්‍රාස්, පාලක සභාගයේ සිරිසා හා ඇනල් පක්ෂවලින් මන්ත්‍රීන් පත් කලේය.

එහෙත් සිප්‍රාස් දැනටමත් ප්‍රමාදයකින් තොරවම, තමා ජාතික එකමුතුවේ ආන්ඩුවක නායකයා බවට පත්ව සිටින බව වටහාගෙන ඇත. ජූලි 5දා ජනමත විමසුමේදී “ඔව්“ යයි ඡන්දය දුන් දැවැන්ත බහුතරයේ මතය උල්ලංඝනය කරමින් සිරිසාව, තව තවත් කප්පාදු පැනවීමට කැපවී සිටින පක්ෂ සමඟ යලි කාන්ඩ ගැසී සිටියි. වාම පෙරමුනේ මන්ත්‍රීන්ගේ සහාය නොමැති වීමෙන් සිප්‍රාස්ට, නව කප්පාදු පැකේජය සඳහා 15දා, යුසං ගැති විපක්ෂ සංවිධාන මත විශ්වාසය තැබීමට බලකෙරුනි.

බර්ලිනය හා යුසං සමඟ එකඟවී ඇති සිරිසාවේ ප්‍රතිගාමී පිලිවෙත් කෙරෙහි කුමන හෝ විවේචනයක් නොඉවසන බවට සංඥාවක් සිප්‍රාස්ගේ කැබිනට් සංශෝධනය තුලින් නිකුත් කර තිබේ. විශ්‍රාම සහන, රාජ්‍ය අංශයේ වැටුප්, ඉන්ධන සහනාධාර තියුනු ලෙස කපාහැරීම මෙන්ම, පුලුල් පෞද්ගලීකරන වැඩසටහනක් නිර්දේශ කරන, බොහෝකොටම ජර්මානු නිලධාරීන් විසින් සකසන ලද යුසං නව කප්පාදු පැකේජය 17දා ජර්මානු පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමත් සමඟම වාගේ, එය නිකුත් විය.

ගිවිසුම කෙරෙහි වාම පෙරමුනේ විරුද්ධත්වය නරුම, සංකේතවත් ස්වභාවයක් දරයි. තමන් ජනවාරියේදී බලයට පත් කල යුසං කප්පාදු වැඩසටහන අවසන් කරන බවට දුන් පොරොන්දුව, සිරිසාව විසින් උල්ලංඝනය කරමින් සිටින බව පැහැදිලිව තිබූ මාස ගනනාවක් තිස්සේම එහි මන්ත්‍රීවරු ආන්ඩුව තුල ලැග සිටියහ. පසුගිය ග්‍රීෂ්මයේදී, යුරෝ බිලියන ගනනක් ප්‍රාදේශීය පරිපාලනයන්ගෙන් ද විශ්වවිද්‍යාල වලින් ද පැහැර ගෙන, ග්‍රීසියේ නය හිමියන්ට ගෙවීමට ද මුදල් අවසන් වීමෙන් පසුව මේ මාසයේදී, ව්‍යසනකාරී කප්පාදු ක්‍රියාත්මක කිරීමට ද පෙබරවාරියේදී යුසං නිර්දේශ අනුව එකඟවීම පිලිබඳව සිරිසාවට පුහු විවේචන ඉදිරිපත් කිරීමට වැඩි කිසිවක් ඔවුන්ගෙන් සිදු නොවීය.

කප්පාදු පිලිබඳ යුසං නිර්දේශ කෙරෙහි පලවූ “නැත“ යන මතය සිරිසාව විසින් අමු අමුවේ හා නින්දිත ලෙස පාවාදීමෙන් පසුව සිප්‍රාස්, සිරිසාවේ යටත්වීම වසං කරන එවන් නාමික විවේචන පවා සිය ආන්ඩුව අස්ථාවර කරනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටියේය.

වැලවානිගේ ඉල්ලා අස්වීමෙන් පසුව 15දා, සිරිසාවේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 201න් 109ක්, යුසං සමඟ සිප්‍රාස්ගේ ගිවිසුම “කුමන්ත්‍රනයක් ලෙස හෙලා දකින ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබූහ. ඔවුන්ගේ ප්‍රකාශනය මෙසේ සඳහන් කර තිබුනි. “එම ආයතන සමඟ ඇතිකරගත් ගිවිසුම වනාහි, ක්ෂනික මූල්‍ය ගෙල සිරකිරීමක තර්ජනයේ ද අපගේ රටට ද අපගේ ජනතාවට ද නොඉවසියහැකි හා නින්දිත කොන්දේසි වලට එකඟ වීමේ ද ප්‍රතිපලයයි.”

ප්‍රකාශනයට අත්සන් තැබූ අයගෙන් කිහිප දෙනෙක් පමනක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ තතු හමුවේ, සිරිසා ආන්ඩුව කප්පාදු ඉදිරියට ගෙනයාම කෙරෙහි ප්‍රකාශනයෙන් තර්ජනයක් හෝ එල්ල නොකෙරෙයි. අඩු තරමින්, නව ගිවිසුම සඳහා සාකච්ඡා කෙරීගෙන යද්දී, මෙම බලවේග එකඟකර ගැනීමට සිප්‍රාස් කසය අතට ගනු ඇත.

යුසං සමඟ ගිවිසුමකට එලඹෙන තෙක් වහාම මැතිවරනයක් පැවැත්වීම සිප්‍රාස් විසින් ප්‍රතික්ෂේප කරන තතු තුල, ස්වදේශ ඇමති නිකොස් වවුට්සිස් පවසා ඇත්තේ සිරිසාව සමහර විට සැප්තැම්බරයේ හෝ ඔක්තෝබරයේ නව මැතිවරනයක් ප්‍රකාශයට පත්කරනු ඇති බවය.

Share this article: