ආචාර්ය දේවසිරි: අධිරාජ්‍යවාදයේ කඳවුරට සේන්දුවූ බුද්ධිමය වංචනිකයෙක්

එම්. දර්ශන හා කේ. රත්නායක විසිනි, 2015ජූනි 16

“දැන් රටට ඔක්තෝබර් විප්ලවයක් අවශ්‍යයි” යන ශීර්ෂය යටතේ කොලඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවක් පසුගිය අපේ‍්‍රල් 26 දින ජනතා විමුක්ති පෙරමුන විසින් පල කෙරෙන ලංකා පුවත් පතේ පල විය. එම සාකච්ඡාව තුල දී “ජනතාව විසින් මේ අවස්ථාවේදී ගන්න අවශ්‍ය පියවර කුමක්ද?” යි ඇසූ ප‍්‍රශ්නයකට දේවසිරි පිලිතුරු දී ඇත්තේ මෙසේ ය:

“පසුගිය ජනාධිපතිවරනයේදී ඉදිරිපත් වුනු අදහස් ඉතාම විශිෂ්ට අදහස්. යහපාලනය පිලිබඳව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳව, සමාජ සාධාරනත්වය පිලිබඳව ... ඒ අදහස් අපි ඉදිරියට ගෙන යන්න ඕන. 1917 වසරේදී රුසියානු විප්ලවයේ අවස්ථා දෙකක් තිබුනා. සාර් පාලනය බිඳ වැටුනු ‘පෙබරවාරි විප්ලවය’ සහ ඔක්තෝබර් විප්ලවය. අපෙත් පෙබරවාරි විප්ලවය සිදුවුනා. ඔක්තෝබර් විප්ලවයක් අපට අවශ්‍යයි. ඔක්තෝබර් විප්ලවය කීවේ සංකේතාත්මක එකක් මෙතනදි. තියෙන එක බිඳ වැටුනට පැරදුනු අය දැන් ආයේ එන්න හදනවා. ඒකත් භයානක තත්වයක්. රාජපක්ෂලා නැවතත් පරන න්‍යාය පත‍්‍රය සමගින් එලිබැහැගෙන එනවා. ඒක පරාජය කරන්න ඕන මුලින්ම. ඒක තමයි අපට තිබෙන අභියෝගය.”

රාජපක්ෂ පරදා සිරිසේන ජනාධිපති කරවීම දේවසිරිගේ සංසන්දනය අනුව පෙබරවාරි විප්ලවය වේ. ඔහුට අනුව සංකේතාත්මකව ඔක්තෝබර් විප්ලවය වන්නේ රාජපක්ෂට නැවත බලයට ඒමට ඉඩ නොදී පරාජය කිරීමය. මෙම ආචාර්යවරයා ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂය ඇතුලු විවිධ මධ්‍යම පන්තික කන්ඩායම් සමග පෙල ගැසී ජනාධිපතිවරනයේදී අධිරාජ්‍ය-ගැති මෛති‍්‍රපාල සිරිසේන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිරුවටින් සරසා ඔහු බලයට ගෙන ඒමට මහජනයා රැලිවිය යුතු යයි උද්ඝෝෂනය කලේය. දැන් දේවසිරි කියා සිටින්නේ, සිරිසේන බලයේ තබා ගැනීම සඳහා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපහු එන “භයානක තත්වයක්” වලක්වා ගැනීමේ “අභියෝගය” වටා රැලි විය යුතු බවයි. මැයි 17 දින රාවය පත්තරයේ මීට සමාන ඔහුගේ තවත් සම්මුඛ සාකච්ඡාවක් පලවිය. මෙම කන්ඩායම් අධිරාජ්‍ය ගැති සිරිසේන පාලනය රැකීමට මීලඟට හඬ තලන්ට යන උද්ඝෝෂන සටන් පාඨය වන්නේ “රාජපක්ෂ අභියෝගය පරාජය කිරීමට එක්වනු!” යන්නයි.

ආචාර්යවරයා මවාපාන මේ සාදෘශ්‍යන් හා “අභියෝග” උඩ සිට පහලට ප‍්‍රදර්ශනය කරන්නේ ඔහුගේ බුද්ධිමය වංචනිකත්වය හා ප‍්‍රතිගාමී දේශපාලනයයි.

රුසියානු පෙබරවාරි විප්ලවය, පලමු වන ලෝක යුද්ධයෙන් උත්සන්න කෙරුනු සාර් රාජාන්ඩුවේ රුදුරු පීඩනයට එරෙහිව කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ අව්‍යාජ මහජන නැගිටීමකි. සාර් ආන්ඩුව පෙරලා දැමීමට එම නැගිටීමට හැකිවූවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ ප‍්‍රශ්න විසඳීමට සමත් සමාජවාදී විප්ලවය සාක්ෂාත් කර ගැනීමට නොහැකිවූයේ නිර්ධන පන්ති පෙරටු ඇනිය අතට තවමත් විප්ලවයේ නායකත්වය පත්ව නොතිබූ නිසාය. ඉනික්බිති මාස හතේ, බලයේ සිටි ධනපති සභාග ආන්ඩුව හෙලිදරවු කෙරුනු අරගලයක් තුල ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් බෝල්ෂෙවික් පක්ෂය විප්ලවයේ නායකත්වය දිනාගනු ලදුව, ඔක්තෝබර් නැගිටීමෙන් නිර්ධන පන්ති ආඥාදායකත්වය පිහිටුවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී කර්තව්‍යයන් ඉෂ්ට කලේය. කෙටියෙන් කියතොත් රුසියානු විප්ලවයේදී සිදුවුයේ මෙයයි.

දේවසිරි කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය සඳහා සුදානම් කිරීමේ මෙම ඉදිරිදර්ශනයට මුලුමනින්ම සතුරු පුද්ගලයෙකි. ව්‍යාජ සාදෘශ්‍යයක් පෙන්වීමට ඔහු රුසියානු විප්ලවය ඇදගෙන ඇත්තේ ඒ කෙරෙහි බුද්ධිමත්ව සිතන මතන කොටස් අතර පවතින ආකර්ෂනය මඩ කිරීමට ය.

දේවසිරිගේ පෙබරවාරි විප්ලවය

සිරිසේන බලයේ පිහිටුවීම දේවසිරි විසින් පෙබරවාරි විප්ලවයට සම කරන්නේ එය මහජන නැගිටීමකින් ඇතිවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් ලෙස උත්කර්ෂයට නැංවීම සඳහා ය. මෙය සිතා මතා කරන වංචාවකි. ජනවාරි 8 දා ලංකාවේ සිදු වුයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් සිය මූලෝපායික උවමනාකම් මත මැදිහත්වී සිදු කල පාලන තන්ත‍්‍ර මාරුවකි. ක්ලින්ටන් පදනම හරහා ඔබාමා පාලනය සමග සම්බන්ධකම් තහවුරු කරගත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා ඇමෙරිකන් ගැති එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහ, සිරිසේන මතු කර ගැනීම සඳහා යොදා ගැනුනි.

වොෂින්ටනය රාජපක්ෂට විරුද්ධ වූයේ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පොලිස් පාලනය නිසා නොව චීනය සමග ඔහු දිගටම පවත්වා ගෙන ගිය ආර්ථික හා මූලෝපායික සබඳතා නිසාය. බෙයිජිනය හා වොෂින්ටනය අතර තුලනය වීමේ රාජපක්ෂගේ ප‍්‍රතිපත්තියට තිත තබා “ආසියාවට හැරීමේ” පිලිවෙත යටතේ චීනයට එරෙහිව ගෙනයන මිලිටරි සුදානමේ ජාලයට ලංකාව මූලෝපායිකව අවශ්‍ය පුරුකක් ලෙස එකතු කිරීම ඔබාමා පරිපාලනයේ ඉලක්කය විය.

මෙම ප‍්‍රතිගාමී මෙහෙයුම ආවරනය කිරීමේ ප‍්‍රධානම කි‍්‍රයා කලාපයක් ඉටු කලේ නව සම සමාජ පක්ෂ බඳු ව්‍යාජ වම්මු ඇතුලු මධ්‍යම පන්තික කල්ලි විසිනි. මෙම කන්ඩයම් අතර රාවය කතෘ කේ. ජනරංජන මූලිකත්වය ගෙන සංවිධානය කල පුරවැසි බලය, මාදුලුවාවේ සෝභිත භික්ෂුව නායකත්වය දුන් සමාජ සාධාරනත්වය පිලිබඳ ව්‍යාපාරය, සාධාරන සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විය. මේවායේ සූත‍්‍රකරුවෙකු හා මත සකසන්නෙකු ලෙස කි‍්‍රයා කල ප‍්‍රධාන පුද්ගලයෙක් වූයේ දේවසිරි ය. මේ සංවිධානවල කටයුත්ත වූයේ, රාජපක්ෂ පාලනය කෙරේ මහජනයාගේ විරෝධය සිරිසේන වෙතට පීලිපැන්නවීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය මගින් රාජපක්ෂගේ ඒකාධිපතිත්වය සුන් කිරීමට ද දූෂනය හා වංචා තුරන් කිරීමට ද සපැමිනි වීරයෙකු සේ සිරිසේන හුවා දැක්වුනි.

දේවසිරි සිය ශාස්ත‍්‍රාලීය සගයන් ද සමග එක්ව, සිරිසේන දිනවීමේ ප‍්‍රචාරය තුල දී ලංකාවේ තන්ත‍්‍ර වෙනසක් සඳහා වූ ඇමරිකානු මැදිහත් වීම යුක්තියුක්ත කිරීමේ නරුම ව්‍යායාමයක යෙදී සිටියේ ය. මැතිවරනය ආසන්නයේ “වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි?” යන තේමාවෙන් සාධාරන සමාජයක් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නමින් දේවසිරි විසින් ප‍්‍රකාශයට පත්කොට බෙදා හල පති‍්‍රකාවක මෙසේ සඳහන් විය:

“... ජාත්‍යන්තර වශයෙන් කිසිවෙකු මෙරටට මැදිහත් වන්නේ නම් එසේ කරනු ලබන්නේ මෙරට ඇති විවිධ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයන් උපයෝගි කරගෙන ය. පසුගිය කාලයේ ඇමරිකාව විසින් කරනු ලැබූ මැදිහත්වීම්වලින් මේ තත්වය පැහැදිලි වේ. සිරියාව, ලිබියාව, ඉරාකය වැනි රටවල්වල ඇමරිකන් මැදිහත්වීම්වලට මං පෑදුවේ ඒ රටවල අභ්‍යන්තරව පැවති දූෂිත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයන් ය. මේ නිසා මේ කියන ජාත්‍යන්තර කුමන්ත‍්‍රනය පරාජය කිරීමට අවශ්‍ය නම් කොහොමටත් මෙරට කෙරෙහි ඇති වී ඇති ජාත්‍යන්තර අපකීර්තිය නැති කර දැමීම අවශ්‍ය වේ.”

ඉහත ප‍්‍රකාශය මගින් සලකුනු කෙරෙන්නේ එක්සත් ජනපදය සිය ලෝක ආධිපත්‍යය සඳහා දියත් කර ඇති සාපරාධී යුද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කෙරෙන මැදිහත්වීම් ලෙස සුජාතකරනය යි. ඇමරිකාව “මානවවාදී අධිරාජ්‍යවාදයක්” ලෙස පින්තාරු කරන ලොව පුරා සිටින ව්‍යාජ වාම සංවිධාන සමග පෙලගැසී දේවසිරිලා අධිරාජ්‍යවාදී කඳවුරට ගාල්වී සිටිත්.

දේවසිරි ඇමරිකාවේ “මැදිහත්වීම” පිලිබඳ උදාහරන සඳහා ඉරාකය, ලිබියාව සහ සිරියාව ගැන සඳහන් කරන්නේ එම රටවල් නටබුන් කරමින් සිදු කල සහ තවමත් සිදු කෙරෙන ලේවැකි ව්‍යසන තුට්ටුවකට ගනන් නොගමිනි. 2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමනය කලේ සදාම් හුසේන් ආන්ඩුව සතුව “ජනසංහාරක අවි” හා අල්කයිඩාව සමග සබඳතා ඇතැයි ප‍්‍රකාශ කරමිනි. මෙය බොරුවක් බව ඔප්පුවී ඇතුවා පමනක් නොව අල්කයිඩාව ඉරාකයේ සතුරෙක් ව ද සිටියේ ය. ලිබියාවේ ඇමෙරිකානු හා අනෙකුත් අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම් එරට ජනයාට ඇති කර ඇත්තේ එවැනිම විනාශකාරී ප‍්‍රතිවිපාකයන් ය.

මෑත ඉතිහාසයේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සිදු කල නොගිනිය හැකි ප‍්‍රතිවිප්ලවවදී ක‍්‍රියා අතුරින් එකක් දෙකක් දක්වන්නේ නම්, වියට්නාමයේ හා කාම්බෝජයේ කල රුදුරු යුද්ධ ද නිකරගුවාවේ හා චිලී රටේ සිදුකල සීඅයිඒ කුමන්ත‍්‍රන ද සඳහන් කල හැකිය. ඉතිහාසය පිලිබඳ ආචාර්යවරයා සිය මිනුම් දන්ඩ අනුව මේවා, ඒ රටවල් කොමියුනිස්ට්වාදයෙන් ගලවා ගන්නට කල විශිෂ්ට කි‍්‍රයා ලෙස දැක්වුවහොත් පුදුමයක් නොවේ. 19 වන සියවසේ විජිතකරනයේ යෙදුනු එංගලන්ත හා ප‍්‍රන්ස විජිතවාදීන් ප‍්‍රකාශ කලේ තමන් රටවල් “ශිෂ්ටකරනයේ දුත මෙහෙවරක” යෙදී සිටින බවයි. අමෙරිකානු අධිරාජ්‍යවාදයේ යහපාලන හා මානව අයිතීන් රැකීමේ දූත ගමන ගැන ප‍්‍රචාරය, ඒ අතීතයේ වත්මන් දෝංකාරයයි.

“යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරනත්වය” ආදී “ඉතා හොඳ අදහස්” මැතිවරනයේදී ඉදිරිපත්වූ බව දේවසිරි කියා සිටී. සැබවින්ම මේ සූත‍්‍ර වලින් සිදු කෙරුනේ සිරිසේන වටා කි‍්‍රයාත්මක වූ මෙහෙයුමට කඩතුරාවක් සැපයීමයි. විශ්ව විද්‍යාලවල දේවසිරි බඳු ආචාර්යවරු මෙම වචනවල වැදගත්කම ඒ අත මේ අත පෙරලමින් රචනා ලිවීමට සිසුන්ට කියා දෙන අතරම ඒවායේ අගය ගැන ඔප දැමුනු ලිපිලේඛන ජන මාධ්‍ය හරහා බෙදා හරිති. මෑත කාලයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දන්ගෙඩියට නියම කල පාලන තන්ත‍්‍රයන්ට එරෙහිව නිකුත් කල ප‍්‍රකාශ සැරසුනේ මේ කුහක වචන මාලාවෙනි. දේවසිරිලා ඔජ වඩවන එම වචන හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශ අතර සාම්‍යය අහම්බයක් නොවේ, ඒවායේ මූලාශ‍්‍රය වොෂින්ටනය යි.

දේවසිරි කතා කරන්නේ කාගේ, කවුරු වෙනුවෙන් පවතින, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, යහපාලනයක් හා සමාජ සාධාරනත්වයක් ගැනද? පසුගිය පස් මාසය තුල පෙන්නුම් කෙරුනේ කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට නම් මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, ඊනියා යහපාලනයක් හෝ සාධාරනත්වයක් වත් ධනේශ්වර පාලනය යටතේ නැති බවයි. දේවසිරි බඳු මධ්‍යම පන්තික කොටස් මේ ඉල්ලීම් වලින් බලාපොරොත්තු වූයේ තමන්ට රාජපක්ෂගේ ඥාති සංග‍්‍රහ පාලනය යටතේ අහිමිවී ගිය අවකාශය ලබා ගැනීම ය.

දේවසිරිගේ ඔක්තෝබර් විප්ලවය නොහොත් “රාජපක්ෂ අභියෝගය” පරාජය කිරීම

ආචාර්යවරයාගේ දෙවන මහා වංචාව රාජපක්ෂ යලි බලයට ඒම වැලක්වීම ඔක්තෝබර් විප්ලවයට සමාන කිරීමයි. තමන් ඇඳි සමාන කමේ තකතිරුකම කාටත් පෙනෙන නිසා ඔහු එය සංකේතාත්මකව යොදා ගන්නා බව කියයි. “තියෙන එක බිඳ වැටුනට පැරදුනු අය දැන් ආයේ එන්න හදනවා,” දේවසිරි කෙඳිරි ගායි.

ඔක්තෝබර් විප්ලවය රුසියාවේ වැඩවසම් ලක්ෂන ද ඇතුලත් කරගත් ධනපති ක‍්‍රමය පෙරලා දැමූ යුගකාරක සමාජවාදී විප්ලවයකි. විප්ලවවාදීන්ට සටන් කරන්නට සිදු වුයේ ප‍්‍රතිවිප්ලවවාදී බලයන් නැගී ඒමට එරෙහිව හා ඊට මාවත කපමින් සිටි ධනපති ආන්ඩුව පෙරලා දැමීමට ය. විප්ලවයෙන් අනතුරුව රුසියානු කම්කරු පන්තියට අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ලද ප‍්‍රතිවිප්ලවාදීන්ට එරෙහි සිවිල් යුද්ධයකින් තම බලය රැක ගැනීමට සටන් කරන්ට සිදුවිය.

දේවසිරි කලක් වොෂින්ටනය හා බෙයිජිනය අතර දෙපැත්ත බලමින් සිටි රාජපක්ෂ පාලනයට අනුගතව සිටියේය. වොෂින්ටනය කෙලින්ම අත දමා සිරිසේන පෙරට ගත් සැනෙන් දේවසිරි සහ සහචර කන්ඩායම් ඔහු වටා රැලි වූහ. දැන් දේවසිරි රාජපක්ෂට හා ඔහුගේ හෙංචයියන්ට විරුද්ධව අවි අමෝරා සිටින්නේ ඔවුන්ට ඉඩ නොදී සිරිසේන බලයේ තබාගැනීම සඳහා ය. දේවසිරිගේ “ඔක්තෝබර් විප්ලවය” එයයි.

දේවසිරි උර දුන් ව්‍යාපෘතිය දැන් අර්බුදයට ගොස් ඇත. පසුගිය සය මාසය තුල සිරිසේන හා ඔහු පත් කල දක්ෂිනාංශික එජාපයේ නායකත්වය දෙන ආන්ඩුව මෙම කන්ඩායම් විසින් වර්න ගැන්වූ වර්ගයේ එකක් නොව ඇමරිකානු ගැති, මහ ව්‍යාපාරිකයන්ගේ උවමනාකම් ඉටුකරන එකක් ලෙස ඇස් පනා පිට පෙනී සිටී. සොච්චම් පඩි වැඩි කිරීම් හා පෝෂන මලු වැනි සහන හුදු මවා පෑම් ය.

මහා ධනපතියන්ට හා විදේශ ආයෝජකයන්ට සහන එලෙසම ය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව කුනු කූඩයට දමා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නමින් එහි බලතල කීපයක් එහා මෙහා කර ඇත. දැන් ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබේ යයි තවත් ප්‍රෝඩාකාරී ප‍්‍රචාරයක් ගෙන යති.

සිරිසේන පාලනය යටතේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක්” නිර්මානය වී ඇතැයි දේවසිරි පුරසාරම් දොඩවයි. දේවසිරිලාට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යහගුන ගැන තොරතෝංචියක් නැති ඉච්චා බස් දොඩමින් කම්කරුවන්, පීඩිතයන් මුලා කිරීමට අවකාශ ලැබී ඇත. තම අයිතීන් සඳහා අරගල කරන ජනයාට එල්ලවන්නේ රාජපක්ෂ මුවාත තැබූ පොලිස් පාලනය ම බව සෞඛ්‍ය කම්කරුවන්ගේ වර්ජනය බිඳීමට හමුදාව යෙදීමෙන්, සරසවි සිසුන්ට හා මීතොටමුල්ල කුනු කන්ද ඉවත් කරන ලෙස උද්ඝෝෂන කල ජනයාට එල්ල කෙරුනු පොලිස් ප‍්‍රහාරවලින් හා උතුරේ ශිෂ්‍යාවක දූෂනය කර මරා දැමීමට එරෙහිව විරෝධතා දැක්වූ ජනයාට එල්ල වී ඇති මර්දනයෙන් ද පැහැදිලි කෙරී ඇත.

මේවා ගැන නොඇසූ කන්ව සිටින දේවසිරි “බල තුලනයේ” අවුලක් නිසා පොරොන්දු ඉටු කිරීම ප‍්‍රශ්නයක් වී ඇතැයි යනාදී බොරු ගොතමින් ආන්ඩුවට සුදුහුනු ගායි. ජනවාරි අට වැනි දා සිදු වුනු වෙනස “පිටුපස තිබුනු දේශපාලන බලවේගවල ශක්තිය උඩ ගොඩ නැගුනු යම් කිසි බල තුලනයක්” තිබුනු බවත් එලෙස එක්වූ දේශපාලන පක්ෂ හා කන්ඩායම් තම තමන්ගේ න්‍යාය පත‍්‍ර පෙරට දැමීමෙන් අවුල හටගෙන ඇති බව දේවසිරි කියයි.

මොවුන් එකට පෙල ගැසුනේ සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස නම් කර ගෙන එක්සත් ජනපදයේ තන්ත‍්‍ර මාරු කුමන්ත‍්‍රනයට එක් වීමට යි. එහෙත් මෙම සංවිධාන තමන් නියෝජනය කරන අවශ්‍යතා මත ගැටීමෙන් දේශපාලන අර්බුදය ගැඹුරු වෙමින් පවතී. අපකීර්තියට හා වෛරයට පාත‍්‍ර වීමෙන් පරාජයට පත්වූ රාජපක්ෂ යලි පාලන බලයට ඒමට තැත් කරන්නේ සිරිසේන-එජාප පාලනයේ අර්බුදය ගසා කමිනි. රාජපක්ෂ ඉදිරියට ඒමේ “භයානක තත්වය” පෙන්වා මේ කන්ඩායම් යලි පෙල ගස්වා ගැනීමට දේවසිරි අතුලු කල්ලි දැනටම වැඩට බස ඇත.

ධනපති පන්තියේ දැනුවත් ඒජන්තයෙකු ලෙස ඔහු ද අනෙකුත් ධනපති කන්ඩායම් ද ඇත්ත වසයෙන් නම් බියවී සිටින්නේ සමස්ත දේශපාලන සංස්ථාපිතය ගැනම වඩවඩාත් විශ්වාසය බිඳවැටී කම්කරුවන්ගේ හා දුගීන්ගේ බරපතල සමාජ අරගල පිපිරී සමාජවාදී විප්ලවයකට අවශ්‍ය කොන්දේසි සකසනු ඇතැයි යන්න ගැන ය.

ජනවාරි 8 දා ලංකාවේ ඇතිවූ තන්ත‍්‍ර මාරුව හුදෙක් ලංකාව තුල ඇතිවූ වෙනස්කම්වල ප‍්‍රතිපලයක් නොව ලෝක ධනවාදී පද්ධතියේ අර්බුදය හා එයින් උත්තේජනය කර ඇති අධිරාජ්‍යවාදී තුන්වන ලෝක යුද්ධයක් කරා තල්ලු කෙරෙන භූ දේශපාලන ආතතීන්ගේ ප‍්‍රකාශනයක් ලෙස පැහැදිලි කිරීමට සමත් වූයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනකි. එසේ වූයේ, ඓතිහාසික හා ජාත්‍යන්තරවාදී පදනමක් මත සිය දේශපාලන වැඩකටයුතු පාදක කර ඇති නිසාය.

විශේෂයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තම අධිකාරිය ලෝකය මත්තේ පිහිටුවා ගැනීමට යෙදෙන මිලිටරි ධාවනයේදී චීනය ද රුසියාව ද ඉලක්ක කර ගෙන ඇති ආකාරය සසප පෙන්වා දුන්නේය. රාජපක්ෂ හා සිරිසේන ප‍්‍රමුඛ කොටගත් ධනපති කොට්ටාශයන් දෙකටම විරුද්ධව ඒවායේ ප‍්‍රතිගාමී බව පෙන්නුම් කරමින් සසප තනි අතින් සටන් කලේ ව්‍යාජ වම්මු හා දේවසිරි වැනි බුද්ධි වාචාලයන් හෙලිදරවු කරමිනි. ධනපති පන්තියේ සියලු කන්ඩායම් ද ඔවුන් වටා බ‍්‍රමනය වන සියලු මධ්‍යම පන්තික කල්ලි ද ප‍්‍රතික්ෂේප කරමින් සසප ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරිදර්ශනයට සටන් කිරීමට එක්වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: