ග්ලෙනුජ් කලමනාකාරිත්වය කම්කරුවන්ට එරෙහි දඩයම දියත් කර ඇත්තේ බොරු චෝදනා මත බව එලිදරව් වෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 ජූනි 13

මස්කෙලිය ග්ලෙනුජ් වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවන් අට දෙනෙකුට විරුද්ධව පවරා තිබූ නඩුව “සමථයකට” පත් කිරීමේ විභාගයක් පසුගිය ඉරිදා සමථ මන්ඩලයේ පැවති අවස්ථාවේ දී ඔවුන්ට එරෙහි චෝදනා හිතාමතා ගෙතු සාවද්‍ය ඒවා බව තහවුරුවිය. සමථ මන්ඩල විභාගය සිදු කෙරුනේ හැටන් නගරයේ හයිලන්ඩ් පාසලේ දී ය.

තමන්ට පහර දුන්නේයයි කම්කරුවන්ට විරුද්ධව පොලිසියට පැමිනිලි කල වත්තේ ක්ෂේත‍්‍ර පරීක්ෂකයෙකු වන ඒබ‍්‍රහම් තම පැමිනිල්ල ඉවත් කර ගැනීමට කැමැත්ත පල කලත් ග්ලෙනුජ් කලමනාකරු ඊට විරුද්ධ වී ඇත. එසේ විරුද්ධ වන්නේ බොරු චෝදනා මත සිදු කෙරෙන මෙම දඩයම ග්ලෙනුජ් වත්ත හිමි මස්කෙලිය වතු සමාගම කම්කරුවන්ට එරෙහිව මුදා හැර ඇති පලල් ප‍්‍රහාරයක කොටසක් බැවිනි.

මාර්තු මස මුල ක්ෂේත‍්‍ර පරීක්ෂක විසින්, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ආධාරකරුවකු වන ජී. විල්ෆ‍්‍රඩ්, එම්. නෙස්තුරියන්, එෆ්. ෆ‍්‍රෑන්ක්ලින්, එස්. ඩග්ලුස්නුමන්, එෆ්. ඇන්ටන් ජුලියන්, ජේ. ජැක්සන් ජෝ, එස්. බෙනඩික්ට් සහ එස්. ජනරත්නම් යන කම්කරුවන්ට විරුද්ධව හැටන් පොලීසියට පැමිනිලි කලේ ඔවුන් තමන්ට කායිකව පහර දුන් බවටයි.

වත්තේ කොටසක බඹර කූඩුවක් ඇවිස්සීම නිසා ඉන් කම්කරුවන්ට ඇතිවිය හැකි හානි පිලිබඳව ඉහත නම් සඳහන් කම්කරුවන් වැඩ පාලකට දොස් පැවරීමෙන් පසු බහින් බස් වීමක් සිදුවී ඇත. සිද්ධිය සම්පූර්නයෙන් කන පිට හරවා මෙම කම්කරුවන් බඹරුන් ඇවිස්සූ බවට ද තමන්ට පහරදුන් බවට ද පොලීසියට පැමිනිලි කරන ලෙස ක්ෂේත‍්‍ර පරීක්ෂක උසිගන්වා ඇත්තේ වතු පාලකයන් හා ලංකා කම්කරු සංගමයේ ප‍්‍රාදේශීය නායකයන් ය. ජාතික වෘත්තීය සංගමයේ (එන්යූඩබ්ලිව්) නායකයන්ගේ බලපෑම නිසා කම්කරුවන් මාර්තු 11 දා උසාවියට භාරවූ විට ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කොට පසුදා ඇප පිට නිදහස් කෙරුනි. සමථ මන්ඩලයට මෙම පැමිනිල්ල විභාග කිරීමට යොමු කෙරුවේ පොලීසියයි.

ඉරිදා පැවති සමථ මන්ඩල විභාගයේ දී චුදිත කම්කරුවෝ තමන්ට එල්ල කර තිබු චෝදනා මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කලහ. නඩුව සමථයකට පත් කර ගැනීමට සමථ මන්ඩලය විසින් යෝජනා කර තිබේ. එසේ සමථයකට එලැඹීමේ ප‍්‍රශ්නයක් මෙහි නැති බවත් තමන්ට විරුද්ධ සාවද්‍ය චෝදනා සම්පූර්නයෙන් ම ඉවත් කර ගත යුතු බවත් චෝදනාවට ලක්වූ කම්කරුවෝ අවධාරනය කලහ.

පැමිනිල්ල ඉවත් කර ගැනීමට ක්ෂේත‍්‍ර පරීක්ෂක එකඟ විය. නමුත් ඔහු ප‍්‍රකාශ කලේ ඒ ගැන වතු පාලනාධිකාරයෙන් විමසා බැලිය යුතු බවයි. පැමිනිල්ල අස්කර ගතහොත් සමාගමේ කලමනාකාරිත්වය තමන් සමග උරනවීමෙන් රැකියාව පවා අවදානමට ලක්විය හැකි බව ඔහු පවසා ඇත. ඔහු ඒ අවස්ථාවේම දුරකථන ඇමතුමකින් ග්ලෙනුජ් කලමනාකරුට කතා කල විට සමථයක ට නො යායුතු බවට ඔහුට දැනුම් දී තිබේ. ඒ අනුව සමථයකට ඒම ඔහු ප‍්‍රතික්ෂේප කල නිසා නඩුව යලි උසාවියේ දී ජුනි 24 විභාග කිරීමට නියමිත ය. මේ සිද්ධි සියල්ල පෙන්නුම් කරන්නේ සමාගම සැලසුම් කර දඩයම ගෙන යන බවයි.

කම්කරුවන්ට එරෙහි බොරු චෝදනා ගෙතීමක යෙදුන බව මුලදී තවත් සිද්ධියකින් පැහැදිලි විය. මුලින්ම චෝදනාවට ලක් කල එක කම්කරුවෙක් වන ජෙයරාම් එදින වත්තේ එම කොටසේ නොසිටියේය. පැමිනිලිකරු ඔහුගේ නම ඉවත් කර ජනරත්නම්ගේ නම එතනට දැමීය.

ක්ෂේත‍්‍ර පරීක්ෂකට පැමිනිල්ල ඉල්ලා අස්කර ගැනීමට කැමති බව ප‍්‍රකාශ කිරීමට බල කෙරුනේ ඔහු පාලකයන්ගේ දඩයමට සම්බන්ධවීම ගැන ඩීසයිඩ් කම්කරුවන් අතර බරපතල විරුද්ධත්වයක් පැතිරී ඇති තතු තුලය. නමුදු කම්කරුවන්ට එරෙහිව ගෙතු නඩුව කෙසේ හෝ ඉදිරියට ගෙන යාමට සමාගම අදිටන් කරගෙන සිටී.

මෙම නඩුවට සමාන්තරව ඉහත චෝදනා මතම සමාගමේ විනය පරීක්ෂනයක් කැඳවූ කලමනාකරු චෝදනා බොරු බවට තවත් කම්කරුවන් දුන් සාක්ෂි ද ඉවත දමා දඩයමට ලක්කර සිටින තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට ද අනෙක් සතර දෙනා මසක වැඩ තහනමකට ලක් කිරීමට තීන්දු කර ඇත.

වැඩ ඉලක්කයන් අසාධාරන ලෙස ඉහල දැමීමට විරුද්ධව ඩීසයිඩ් වත්තේ පෙබරවාරි මාසයේ පැනනැගි වර්ජනයේදී මූලිකත්වය ගත්තවුන් අතර සිටීම නිසා මේ කම්කරුවන් දඩයමේ ඉලක්කය වී ඇත. ඩීසයිඩ් කම්කරුවන් 600 පමන වර්ජනයකට එලඹුනේ වතු පාලකයන් විසින් දිනකට නෙලන දලු ප‍්‍රමානය කිලෝ 16 සිට 18 දක්වා අත්තනෝමතික ලෙස වැඩිකිරීමට විරුද්ධව ය. කම්කරුවන් සංවිධානය වී සිටින ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ (සීඩබ්ලිව්සී) සහ ජාතික වතු කම්කරු සංගමයේ (එන්යූඩබ්ලිව්) ප‍්‍රාදේශීය නායකයෝ වතු පාලකයන් සමග ඒකාබද්ධව කම්කරුවන් මත පීඩනය යොදා දින තුනකට පසු වර්ජනය කඩාකප්පල් කල ද වැඩ ඉලක්ක පෙර තත්වයට පත් කිරීමට සමාගමට බල කෙරුනි. ඉන් අනතුරුව කම්කරුවන්ට එරෙහිව හිංසනය වැඩිකල පාලකයෝ මෙම මර්දනය සැලසුම් කලහ.

ඩීසයිඩ් ප‍්‍රහාරය දියත් වී ඇත්තේ ලංකාවේ වතු සමාගම් තේ දලු නෙලීමේ ඉලක්ක තියුනු ලෙස ඉහල දමා ගැනීමට තීන්දු කර ඇති තත්වයක ය.

එම තතු තුල දෙවසරකට වරක් සොච්චම් පඩි වැඩිවීමක් සඳහා වතු සමිති සහ වතු සමාගම් අතර අත්සන් කරන “සාමුහික වැටුප් ගිවිසුම” මෙවර අත්සන් කිරීම වතු සමාගම් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. එය අත්සන් කිරීමට නම් දිනකට නෙලන දලු ප‍්‍රමානය කිලෝ 5 කින් ඉහල දැමීමට කම්කරුවන් පෙලඹ වීමට සමිති එකඟ විය යුතු බව වතු සමාගම් විසින් අවධාරනය කර තිබේ.

වැඩ ඉලක්කයන් ඉහල දැමීමට බල කිරීම පිටු පසින් ඇත්තේ ජාත්‍යන්තරව ගැඹුරුවන අර්බුදය මැද ලෝක වෙලඳපොලේ කෙන්යාව, චීනය සහ ඉන්දියාව ඇතුලු සෙසු තේ නිෂ්පාදන රටවල් සමග තරගයට මුහුන දී සිය ලාභ තර කර ගැනීමට දරන ප‍්‍රයත්නයයි.

ඩීසයිඩ් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම සමස්ත වතුකරයේ හා අනෙකුත් අංශවල කම්කරුවන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි. මෙම බොරු නඩු ඉවත් කර ගන්නා ලෙස ද රැකියාවෙන් නෙරපීමට හා වැඩතහනමට ලක්කර ඇති කම්කරුවන් යලි කොන්දේසි විරහිතව සේවයේ පිහිටුවන ලෙස සටන් වැදීම කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා කොඳු කඩන වැඩ වැඩි කිරීමට එරෙහිව කරන අරගලයේ කොටසකි. සමාජවාදී සමානතා පක්ෂය මේ ඉල්ලීම් මත දියත් කර ඇති අරගලයට සහාය දෙන ලෙස අපි ඉල්ලමු.

Share this article: