ශ්‍රී ලංකාව: දඩයමට ලක් වූ ඩීසයිඩ් වතු කම්කරුවන් යලි සේවයේ පිහිටුවනු!

Sri Lanka: Reinstate victimised Deeside plantation workers!

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2012 ජූනි 15

මස්කෙලියේ ග්ලෙනුගී තේ වත්තේ කලමනාකාරීත්වය විසින් කම්කරුවන් තිදෙනෙකු දොට්ට දමා තවත් හතර දෙනකුගේ සේවය අත්හිටුවීමට ගත් පියවර හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ඔවුන් වහා සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිති.

ග්ලෙනුගී වතුයායේ ඩීසයිඩ් කොටසේ කම්කරුවන් වැඩ වේගවත් කිරීමට එරෙහි ව පෙබරවාරි මාසයේ ගෙන ගිය වැඩ වර්ජනයේ දී නායකත්වය ගැනීම හේතුවෙන් මෙම කම්කරුවන් දඩයමට ලක් කෙරුනි. සූරාකෑම තීව්‍ර කිරීමේ පියවරයන්ට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් මර්දනය කිරීම සඳහා කලමනාකාරීත්වය මෙම හත්දෙනාට දඬුවම් කර තිබේ.

එම සිද්ධිය ආන්ඩුව හා ව්‍යාපාරික පැලැන්තිය විසින් කම්කරු පන්තියේ සෑම කොටසක් මත ම එල්ල කිරීමට නියමිත පුලුල් ප්‍රහාර සඳහා පෙර සූදානම් වීමකි. කඩාවැටෙන ලාභ ඉහල දමා ගැනීම සඳහා වැටුප් හා රැකියා කපන අතරේ පුද්ගලික සමාගම්වල මෙන් ම රජයට අයත් කර්මාන්තවල කම්කරුවෝ ඉහල ඵලදායීත්වයක් සඳහා වන එකම වැඩසටහනට මුහුන දී සිටිති.

රැකියා, සේවා කොන්දේසි හා වැඩ වර්ජනය කිරීමේ අයිතිය ද ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමේ ප්‍රතිප්‍රහාරයක ආරම්භය ලෙස, දඩයමට ලක් කෙරුනු ඩීසයිඩ් කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස සසප හා සසජාතශි සමස්ත කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිති.

මෙම උද්ඝෝෂනය දියත් කල යුත්තේ කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලට විරුද්ධ ව ය. ඩීසයිඩ් කම්කරුවන් යලි සේවයේ පිහිටුවීමටත් කම්කරු පන්තියේ අයිතීන් ආරක්ෂා කර ගැනීමටත් සියලු වතු, කර්මාන්ත හා වැඩපලවල වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ප්‍රජාතන්ත්‍රීය ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු.

ඩීසයිඩ් කම්කරුවන් වර්ජනය කලේ ඔවුන්ගේ දෛනික වැටුප ලබා ගැනීමට දිනකට නෙලිය යුතු දලු ප්‍රමානය කිලෝග්‍රෑම් 16 සිට 18 දක්වා ඉහල දැමීමට වතු කලමනාකාරීත්වය හිටි අඩියේ තීරනය කිරීම නිසා ය.

වැඩ වර්ජනයෙන් පසුව එම අරගලයේ ඉදිරියෙන් සිටි කම්කරුවන්ට එරෙහි ව කලමනාකාරීත්වය ව්‍යාජ පැමිනිල්ලක් ගොතන ලදී. ක්ෂේත්‍ර වැඩ පරීක්ෂකවරයෙක් කම්කරුවන් තමන්ට කායික ව පහර දුන් බවත් දෙබර කූඩුවක් ඇවිස්සීම මගින් අනෙක් කම්කරුවන්ගේ වැඩවලට බාධා කල බවත් පොලීසියට ප්‍රකාශ කලේ ය. මාර්තු 11 දා අත්අඩංගුවට ගෙන පසු දින හැටන් මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද මෙම කම්කරුවන් ඇප මත මුදා හරින ලදී.

දෙපාර්ශවය අතර සමථයක් යෝජනා කල හැටන් සමථ මන්ඩලය ඉදිරියේ ජුනි 7දා විභාගය කැඳවූ විට කලමනාකාරීත්වයේ භූමිකාව මොනවට හෙලිදරවු විය. තමන් වැඩ පරීක්ෂකට පහර දුන්නේ ය යන චෝදනාව එක හෙලා ප්‍රතික්ෂේප කල චූදිත කම්කරුවෝ එම චෝදනා සම්පූර්න බොරුවක් ලෙස හෙලා දුටුවෝය. මුල දී සමථයකට එකඟ යයි ඇඟවුම් කල වැඩ පරීක්ෂකවරයා කලමනාකාරීත්වය සමඟ දුරකථනයෙන් කතා කිරීමෙන් පසුව සිය අදහස වෙනස් කලේ ය. තමන් සමථයකට එකඟ වුවහොත් චූදිතයන්ට සිදු වී ඇති දෙයට තමන්ටත් මුහුන දීමට සිදු වනු ඇතැයි හෙතෙම එකහෙලා කියා සිටියේ ය.

ඒ අතරේ සමාගම තමන්ගේ ම ව්‍යාජ අභ්‍යන්තර විමර්ශනය මාර්තු 25 දා සිට අප්‍රේල් 25 දක්වා පැවැත්වී ය. වැඩ පරීක්ෂකට පහර දීමක් සිදු නො වූ බවත් දෙබර කූඩු කතාව බොරුවක් බවටත් බොහෝ කම්කරුවෝ සාක්ෂි දුන්හ. චූදිත කම්කරුවන්ට විරුද්ධ ව සාක්ෂි දුන්නේ වැඩ පරීක්ෂකවරයා හා තවත් එක් නිලධාරියෙක් පමනි.

සාක්ෂි නොමැති වුවත් මැයි 22 දා චූදිතයන් තම කාර්යාලයට කැඳවූ කලමනාකාරීත්වය සසප හිතවතෙකු වන ජී. විල්ෆ්‍රඩ් සමඟින් එම්. නෙස්තුරියන් හා එෆ්. ෆ්‍රෑන්ක්ලින් සේවයෙන් දොට්ට දමා එස්. ඩග්ලස්නුමාන්, එෆ්. ඇන්ටන් ජූලියන්, එස්. බෙනඩික්ට් හා එස්. ජනරත්නම් යන කම්කරුවන්ගේ සේවය මසකට අත්හිටු වී ය.

තමන්ට තේරුම් ගත නො හැකි ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබූ, දඬුවම් ගැන සඳහන් ලිපි භාරගැනීම කම්කරුවෝ ප්‍රතික්ෂේප කලහ. ඔවුන්ට තවමත් දෙමල භාෂාවෙන් ලිවූ ලිපි බාරදී නොමැත.

දඩයමට ලක්කෙරුනු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට වෘත්තීය සමිති, වතු කලමනාකාරීත්වය හා පොලීසිය සමඟ පෙලගැසුනි. ලංකා කම්කරු කොංග්‍රසයේ (ලකකොං) ප්‍රාදේශීය නායකත්වය කම්කරුවන්ට එරෙහි ව පොලීසියේ පැමිනිල්ලක් දමන ලෙස වැඩපරීක්ෂකට උපදෙස් දුන්නේ ය. පොලීසිය කම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සොයන විට ජාතික කම්කරු සමිතිය (ජාකස) පොලීසියට භාර වන ලෙස කම්කරුවන්ට උපදෙස් දුන්නේය.

පුරුද්දක් ලෙස වෘත්තීය සමිති, සමාගම්වල හා ආන්ඩුවේ පැත්ත ගනිති. ජාකස නායක පී. දිගම්බරම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කල එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ කැබිනට් ඇමති වරයෙකි.

කලමනාකාරීත්වය හා කම්කරුවන් අතර අතයට ගනුදෙනුවක් සූදානම් කිරීම පිනිස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු සීඩබ්සී නායකයෙක් වන ආර්. යෝගරාජන් මැදිහත් විය. කම්කරුවන් චෝදනා පිලිගතහොත් රැකියාවෙන් දොට්ට දැමීම මසක සේවා අත්හිටුවීමකට ද මසක සේවා අත්හිටුවීම සතියකට ද අඩුකර ගත හැකි බව ඔහු යෝජනා කලේ ය.

යෝගරාජන්ගේ යෝජනාව කම්කරුවන්ට ඇටවූ උගුලක් මිස “සමථයක්” නො වේ. චෝදනා පිලිගැනීම අනාගතයේ කම්කරුවන් මත වඩ වඩා දඬුවම් පැමිනවීමට හා පොලිස් චෝදනාවලට මාවත ද විවර කරනු ඇත. තව ද එය තම රැකියා, සේවා කොන්දේසි හා අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීමට කම්කරුවන්ට පවතින අව්‍යාජ හිමිකමට වලකපනු ඇත.

ඩීසයිඩ් කම්කරුවන්ගේ අත්දැකීම යලි වතාවක් පෙන්වා ඇත්තේ, වෘත්තීය සමිති හා ඒවායේ දූෂිත ක්‍රියාකාරිකයින් පෙනී සිටින්නේ කම්කරුවන් වෙනුවෙන් නොව ඔවුන් මර්දනය කිරීමේ සමාගම්වල අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින කාර්මික පොලීසි ලෙස බව යි.

ඩීසයිඩ් කම්කරුවන් මත ප්‍රහාරය හුදකලා සිද්ධියක් නො වේ. ග්ලෙනුගී කලමනාකාරීත්වයේ ක්‍රියාවෙන් පසුව හාලි-ඇල දික්වැල්ල වතුයායේ හාම්පුත්තු දෛනික ව නෙලිය යුතු දලු ප්‍රමානය කිලෝග්‍රෑම් 16 සිට 20 දක්වා ඉහල දැමූහ. නව ඉලක්ක ආපසු හරවා ගන්නා ලෙස බල කිරීමට නැගී සිටි කම්කරුවෝ, මැයි මාසයේ වැඩ වර්ජනයක නිරත වූහ.

තේ හා රබර් වැනි භාන්ඩවල මිල පහල යාම මඟින් පිලිබිඹු වන ලාභ ගරන පද්ධතියේ වඩ වඩා නරක් වන කඩා වැටීමේ බරට කම්කරුවන් උරදිය යුතු යයි වෘත්තීය සමිති හා ආන්ඩුව සමඟින් එකතු ව වතු සමාගම් අවධාරනය කරති.

ලංකා වතු හාම්පුතුන්ගේ සංගමය (සීඊඊඒ) හා වෘත්තීය සමිති අතර නව සාමූහික ගිවිසුමක් සදහා මැයි 18 දා පැවති සාකච්ඡාවල දී කිසිදු වැටුප් වැඩි වීමක් ලබා දීම එකහෙලා ප්‍රතික්ෂේප කල සීඊඊඒ නෙලිය යුතු දලු ප්‍රමානය කිලෝග්‍රෑම් 5කින් ඉහල දැමීමට යෝජනා කලහ. විසඳුමකින් තොරව සාකච්ඡා බිඳ වැටුනි. වෘත්තීය සමිතිවල ඉදිරි දර්ශනය කර්මාන්තය “ජාත්‍යන්තර ව තරඟකාරීත්වයට මුහුන දිය හැකි ආකාරයට පවත්වාගෙන යා යුතුය” යන්නය. එම තතු යටතේ ඒවා වැටුප් හා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයක් දියත් නො කරනු ඇත.

වෙලඳපොල හා ලාභ සඳහා පවතින බලු පොරය හේතුවෙන් සෑම රටක ම වතු කම්කරුවෝ එක ම ප්‍රහාරවලට මුහුන දී සිටිති. සෑම කර්මාන්තයක ද තත්ත්වය එය ම ය. රාජ්‍ය අංශයේ දී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අයවැය වියදම් කපා දමන ලෙස අන කරන තතු යටතේ කප්පාදු න්‍යාය පත්‍රයක ප්‍රහාරයට කම්කරුවෝ මුහුන පාති.

දඩයමට ලක් වූ ඩීසයිඩ් කම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස සසප හා සසජාතශි වතුකරයේ මෙන් ම රටපුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවේ කම්කරුවෝ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරිය යුතු ය. හාම්පුතුන් ද ඔවුන්ගේ ආන්ඩු ද විසින් ක්‍රියාවට දමනු ලබන කප්පාදු පියවරයන් හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත ප්‍රහාරයන් පරාජය කිරීමට සමස්තයක් ලෙස කම්කරු පන්තිය ගන්නා දේශපාලන හා කාර්මික උද්ඝෝෂනයක ආරම්භය බවට එය පත්විය යුතු ය.

එවැනි උද්ඝෝෂනයක් දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද පිහිටුවෙන සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට හා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයට කරන අරගලයක් මත පදනම් විය යුතු ය. මෙම අරගලය සඳහා සසපට බැඳී එය මහජන සමාජවාදී විප්ලවීය පක්ෂය ලෙස ගොඩනැගීමට ඒකාබද්ධ වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.

Share this article: