බ‍්‍රසල්ස් සාකච්ඡාවලදී ග‍්‍රීසිය, යුරෝපීය සංගමය සමග කප්පාදු ගිවිසුමකට මුලපුරයි

In Brussels talks, Greece moves closer to austerity deal with EU

රොබට් ස්ටීවන්ස් හා ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 ජූනි 04

බ‍්‍රසල්ස්හිදී යුරෝපීය කොමිසමේ සභාපති ජීන් ක්ලව්ඩි ජුන්කර් සමග රෑ තිස්සේ පැවති සාකච්ඡා වලින් පසුව ග‍්‍රීක අගමැති සිප්රාස්, 03දා නිවේදනය කලේ, යුරෝපීය සංගමය හා බැංකු විසින් ඉල්ලා ඇති කප්පාදු පියවරයන් පිලිබඳව එකඟත්වයක් ඇතිකර ගැනීමට සමීපව ඇති බවය. සිරිසාව වැඩ කරන්නේ, මූල්‍ය වංශාධිපතිත්වයට මුලුමනින්ම දන ගැසීම සඳහා ය.

බ‍්‍රසල්ස් වේලාවෙන් මධ්‍යම රාත‍්‍රියේදී පැවැත්වූ කෙටි මාධ්‍ය හමුවකදී සිප්රාස් නිවේදනය කලේ, තම ආන්ඩුව නය හිමියන් සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ආසන්නව ඇති බවය. මීට අයත් වන්නේ යුරෝපීය මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝ සංගමයයි. රුදුරු කප්පාදු මගින් ග‍්‍රීසිය සුදුමැලි වනතෙක් ලේ උරාගත් සය වසරකට පසුව නය හිමියෝ යුරෝ බිලියන ගනනක නව කප්පාදු සඳහා බල කරයි. ජාතික නය ගෙවීම් ඇතුලත් නොකර ආන්ඩුවේ ආදායමින් වියදම් අඩුකල පසුව දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක අයවැය අතිරික්තයක් ග‍්‍රීසිය විසින් මේ වසර සඳහා පවත්වා ගත යුතු යයි ඔවුහු යෝජනා කරති. එය 2018දී සියයට 3.5ක් දක්වා වැඩි කල යුතුය. සිරිසාව යෝජනා කරන්නේ 2015 සඳහා මූලික අයවැය අතිරික්තය සියයට 0.8කි.

ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයට අනුව, “එවන් ශුභවාදී ඉලක්කයක් සපුරා ගැනීමට ග‍්‍රීසියට ඇති හැකියාව ගැන සැක පල කරන ජාමූඅ, එය ලඟාකර නොගත හොත් ග‍්‍රීසියේ නය ප‍්‍රතිව්‍යුහගත කිරීමට යුරෝපීය නිලධාරීන් එකඟ විය යුතු බවට බල කරයි. එහෙත් යුරෝපීය නියෝජිතයෝ එම බලකිරීමට නොනැමෙන අතර ලියවිල්ලට නය පිලිබඳ කිසිදු සහනයක් ඇතුලත් නොකලහ.”

එසේම සිප‍්‍රාස්, සිරිසාවේ උත්තෝලන වාසි ඉහල නැංවීමට එකඟ නොවන්නේ නම් ජාමූඅට ගෙවීමට ඇති යුරෝ මිලියන 305 ගෙවීම අත්හිටුවීමට තර්ජනය කල යුතු බව කියා සිටි ඇතන්ස් නිලධාරීන්ගේ ප‍්‍රකාශ ද ප‍්‍රතික්ෂේප කලේය. බැංකු වලට ගෙවීම පිනිස රෝහල් වලින්, විශ්වවිද්‍යාල වලින් හා පලාත් ආන්ඩු වලින් පොදු අරමුදල් බිලියන ගනන් කොල්ලකෑමේ ආන්ඩුවේ තීරනය ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, “ප‍්‍රශ්නයක් නැත. දැනටමත් අපි බිලියන 7.5ක් ගෙවා ඇත්තෙමු. ඉදිරියට ද එසේ කරන්නෙමු” යනුවෙනි.

කම්කරුවන් මත පැටවිය යුතු, විශ‍්‍රාම කප්පාදුවේ හා එකතු කල අගය මත නිගාමී බදු හෙවත් වැට් බද්ද ඉහල නැංවිය යුතු ප‍්‍රමානය ගැන තවමත් සිරිසාව හා යුරෝ සංගමය සාකච්ඡා පවත්වමින් සිටිති. මහජන විශ‍්‍රාම ව්‍යාපෘතිය “ශුන්‍ය හිඟයක්” දක්වා ගෙන යා යුතු බව අවධාරනය කරන යුරෝ ලියවිල්ල මිලියන ගනනාවකගේ ජීවන තත්වය මත තවත් ප‍්‍රහාර එල්ල කල යුතු බව කියා තිබේ.

දුගී සහන කැපීම හා විදුලිය මත වැට් බද්ද වැඩි කිරීමේ යෝජනාවන්ට සිප්රාස් බෙලහීන විරෝධයක් පාමින් කියා ඇත්තේ, සාකච්ඡා “යථාර්තවත් දෘෂ්ටියකින්” අවසන් කල යුතු බවයි.

යුරෝ නිලධාරීහු සාකච්ඡා වර්නනා කලහ. යුරෝපීය කොමිසම එම රැස්වීම “ධනාත්මක” යයි ද බොහෝ කටයුතු සිදුවනු ඇතැයි ද පැවසීය. සාකච්ඡාවන්ට සහභාගීවූ, යුරෝ කන්ඩායම් නායක හා නෙදර්ලන්ත මුදල් ඇමති ජෙරන් ඩිසෙල්බ්ලොයිම් මාධ්‍ය වෙත පැවසුවේ, “හොඳ රැස්වීමක්, දින කිහිපයකින් සාකච්ඡා යලි පවත්වනු ඇත.” යනුවෙනි.

ඊජිප්තුවේ ලේ නාගත් ආඥාදායක අබ්දෙල් අල් සිසි සමග පැවති මාධ්‍ය සමුලුවකදී ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් පැවසුවේ “සකස්කර ඇති කාල සටහනට අනුව ගිවිසුම සම්පූර්න කිරීම සඳහා ජර්මනිය ග‍්‍රීසිය හා එහි ආයතන සමග කටයුතු කරමින් සිටියි. අපි එම අරමුන වෙනුවෙන් වෙහෙස නොතකා කටයුතු කරන්නෙමු.” යනුවෙනි.

කප්පාදු අවසන් කිරීමට පොරොන්දු වෙමින් ජනවාරි මැතිවරනය ජයගත් සිරිසාව, කම්කරු පන්තියට උගුලක් බව සනාථ කර තිබේ. එම පක්ෂය යුරෝපයේ හා ජාත්‍යන්තරව කප්පාදු විරෝධී මහජන මතය බලමුලු ගැන්වීම වෙනුවෙන් කථා කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ඔවුහු යුරෝ සංගමය සමග යහපත් ගිවිසුමකට එලඹෙන බවට පොරොන්දු වෙති.

මූල්‍ය ප‍්‍රාග්ධනයේ එකතුකරන ඒජන්සියක් ලෙස කටයුතු කරමින් සිරිසාව, යුරෝ සංගමය සමග සිය ගනුදෙනු සකසා ගැනීමට ග‍්‍රීක ධනපතියන්ට තවත් කල් ලබාදීමක් පමනක් කර ඇත. ග‍්‍රීක මහජන අරමුදල් කොල්ලකෑම මගින් සිරිසාව අත්කරගෙන තිබෙන මුදල් ප‍්‍රවාහය තුලින් මුදල් සංචිත පතුලටම සිඳුවා ඇත. මේ තත්වය හමුවේ, ග‍්‍රීසිය නය හිමියන්ට ගෙවීමට ඇති නය පැහැර නොහරින බවට වගබලා ගැනීමේ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා යුරෝ සංගමයට හා සිරිසාවට යෙදෙන පීඩනය දැඩි වෙමින් තිබේ. මෙම ගිවිසුම ඇතිවෙමින් තිබෙන්නේ යුරෝ සංගමයේ කොන්දේසි වලට මුලුමනින්ම පාහේ යටත්වය.

වෝල් ස්ටී‍්‍රට් ජර්නලය මෙසේ ලියයි. “ග‍්‍රීසියට යම් ආකාරයකට උදව්වක් අවශ්‍යව ඇතුවා සේය. එරට ජූනි මැද වනවිට ජාමූඅ නය පෙලක් ගෙවීමට නියමිතය... යුරෝපීය නිලධාරීන් කියන්නේ, යම් ආකාරයකට අලුතින් මුදල් ලබා නොගෙන ඇතන්ස් ආන්ඩුවට යුරෝ බිලියන 1.5ක් වන ජාමූඅ නය ගෙවීමට නොහැකි වනු ඇති බවයි. නය හිමියන්ගෙන් විශාල මුදල් එන්නතක් නොමැතිව ග‍්‍රීසිය, ජූලි අවසන් වන විට නය පැහැරහැරිය හැකි අතර අවසන් ප‍්‍රතිපලය රට යුරෝ කලාපයෙන් දොට්ට වැටීමයි.”

සිරිසාව කම්කරු පන්තිය මත යුරෝ සංගමයේ අන පනවද්දී, එහි මූනත්තහඩුව බේරාගත හැකිවන පරිදි ගිවිසුමක් ගසා ගැනීම පිනිස දෙපාර්ශවයම වැඩ කරමින් සිටියි. බ‍්‍රසල්ස්හිදී ජුන්කර් හමුවීමට යන අතරතුර සිප්රාස්, මර්කෙල් හා ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් සමග දුරකථනයෙන් කථාකල පසුව, නම සඳහන් නොකල ග‍්‍රීක නිලධාරියෙක් ජර්නලයට පවසා ඇත්තේ, ‘නායකයින් පහල අතිරික්තයක හා ක්ෂනික විසඳුමක අවශ්‍යතාවය පිලිබඳව එකඟව ඇති’ බවයි.

බ‍්‍රසල්ස් සාකච්ඡාවන්ට පෙර ජුන්කර්ගේ ප‍්‍රකාශක මාගරිටිස් ස්කිනාස් මෙසේ පැවසීය. “අද රාත‍්‍රියේ කිසිදු අවසන් ප‍්‍රතිපලයක් අපි බලාපොරොත්තු නොවෙමු. මෙය පලමු වටය මිස අවසන් සාකච්ඡා වටය නොවේ. අවශ්‍යතා මත අවධානය යොමුකල යුතු අවස්ථාවකි මෙය. අවශ්‍යතාව යනු තවමත් මතභේද පවතින ඉතිරිවී ඇති ප‍්‍රශ්නයි.”

සිරිසාව සන්ධාන ගතව ඇත්තේ, තරයේම බංකොලොත් යයි ඔප්පුවී ඇති ආර්ථික පිලිවෙත් සමගය. යුරෝ බිලියන 300ක් වන සමස්ත නය ආපසු ගෙවීමේ අභියෝගයට ග‍්‍රීසිය මුහුනපා සිටියි. යුරෝපා සංගමයේ යෝජනා පිලිගතහොත්, බිලියන ගනනක් වන ගෙවීමට නියමිත නය පියවීම සඳහා ඇතන්ස් විසින් නය හිමියන් ග‍්‍රීසියට දෙන නය ඔවුන් වෙතම ආපසු බාරදිය යුතුය. මේ කිසිදු නයක් රැකියා නිර්මානය කරන නිෂ්පාදන ආයෝජන සඳහා හෝ සමාජ කොන්දේසි නගා සිටුවීම පිනිස නොයෙදවනු ඇත.

ආර්ථිකය යලි වතාවක් නිල පසුබෑමක පැවතියදී හා විරැකියාව සියයට 25 ඉක්මවා තිබියදී ග‍්‍රීසියේ නය හිමියන්ගේ ඉලක්ක සපුරා ගැනීම පිලිබඳව ඇත්තේ මඳ බලාපොරොත්තුවක් පමනි. ඔඊසීඩීහි අලුතින් පලව ඇති අනාවැකි වලට අනුව, මේ වසර සඳහා ග‍්‍රීක ආර්ථිකයේ කිසිදු වර්ධනයක් සිදු නොවනු ඇත. ඉහල විරැකියාව මධ්‍යයේ නය මට්ටම දදේනි අනුව සියයට 180ක් දක්වා දැවැන්ත ලෙස ඉහල යනු ඇත.

ග‍්‍රීසියේ හා යුරෝපය පුරා කම්කරු පන්තිය ධනවාදයට එරෙහිව හා සිරිසාව වැනි ව්‍යාජ වාම පක්ෂ වලින් දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීම පමනක්, එකම ඉදිරි මාවත ලෙස පවතියි.

සිය පක්ෂයේ බිඳ වැටෙන ජනතා සහයෝගය හා වැඩකරන ජනතාව අතරින් පලවන වැඩෙන කෝපය හමුවේ සිරිසාව බියපත්ව සිටියි. සිරිසාවේ සහන සැපයීම ගැන සිප්රාස්ගේ මාධ්‍ය හමුව පැවැත්වීමට මඳකට පෙර එහි මාධ්‍ය ප‍්‍රකාශිකාවක් පැවසුවේ, සිප්රාස්ගේ ආන්ඩුව බිඳවැටීමේ හා නව මැතිවරනයක් පැවැත්වීමේ හැකියාවක් පවතින බවයි. “ජනතාවට සහනදායී එකඟත්වයක් අපට අවශ්‍යයි. එවැන්නක් නොමැතිවුවහොත් අප අමාරුවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවක් ලෙස ජනතාව හමුවට යා යුතුයි.” ඇය පැවසුවාය.

මෙම යෝජනා, කප්පාදු දිගටම ක‍්‍රියාත්මක කිරීම පිනිස දක්ෂිනාංශික බලවේග ආන්ඩුව තුලට ගෙන ඒම සඳහා පාලක පන්තිය යොදන උපාමාරුවල කොටසක් බව පෙනී යයි. සිරිසාව ද අන්ත දක්ෂිනාංශික හා ජාතිකවාදී ස්වාධීන ග‍්‍රීක පක්ෂය ද අතර දැනට පවත්නා සභාග ආන්ඩුව වෙනුවට තමන් ඉදිරිපත් වීමට යන බව ටු පොටාමි හෙවත් ගංගාව යන පක්ෂයේ ස්ටාව්රොස් තියඩෝරකිස් 03දා ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ටර් අල්ජමේන් සේටුන්ග් පත‍්‍රයට කියා ඇත.

“රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරන හඳුන්වා දීමට ආන්ඩුව අසමත්වී ඇත.... සිප්රාස් අසමත් වුවහොත් අප ලෑස්තියි. අපට ග‍්‍රීසියේ හා විදේශයන්හි වැදගත් මිනිසුන්ගෙන් සමන්විත සාකච්ඡාකරුවන් කන්ඩායමක් ඇත. අප එම ශක්තිය ක‍්‍රියාත්මක කරවන්නෙමු.” ඔහු එම පුවත්පතට කියා ඇත.

Share this article: