ග්‍රීක නය පිලිබඳ යුරෝපීය සංගමයේ සමුලුවට පෙරාතුව සිරිසාව අවසන් සහන පිරිනමයි

Syriza offers last-ditch concessions prior to EU summit on Greek debt

රොබට් ස්ටීවන්ස් විසිනි, 2015ජූනි 22

සිරිසාවේ නායකත්වයෙන් යුත් ග්‍රීක ආන්ඩුවේ කැබිනට්ටුව, අද පැවැත්වෙන යුරෝ සංගමයේ නායක සමුලුවට පෙර නව කප්පාදු යෝජනා තීරනය කිරීමේ හදිසි සැසියක් පවත්වයි.

රැස්වීමෙන් පසුව අගමැති ඇලෙක්සිස් සිප්රාස්, ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්, ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලන්ද් හා යුරෝ සංගමයේ සභාපති ජීන් ක්ලව්ඩේ ජුන්කර් සමග දුරකථන හමුවක් පැවැත්වූ අතර ඔහුගේ කාර්යාලය පැවසුවේ, “ගැටලුවට විසඳුම් සෙවීම කල් නොදමා, නිශ්චිත විසඳුම් ගෙන එන අන්‍යොන්‍ය ගිවිසුමක් සඳහා එම නායකයින් තිදෙනා වෙත අගමැති යෝජනා ඉදිරිපත් කල බවය.”

සිප්රාස් සමුලුවට යන්නේ, හිතාමතා පැනවූ ආර්ථික ව්‍යසනය හා ග්‍රීසිය යුරෝ සංගමයෙන් දොට්ට දැමීමේ තර්ජනය හමුවේය. ඔහු ඉදිරිපත් කරන අමතර කප්පාදු පියවර, එම තත්වයෙන් ග්‍රීසිය ගලවාගැනීමට සෑහෙන්නේ යයි ඔහු විශ්වාස කරයි.

පසුගිය සතියේ යුරෝ සංගමය, එහි මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සිරිසාවේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡා වට කිහිපයක්ම බිඳවැටීමෙන් පසුවය මෙම රාජ්‍ය නායක සමුලුව පැවැත්වෙන්නේ. “ත්‍රිත්වය ලෙස දන්නා” ඉහතකී ආයතන තුනෙන් යුරෝ බිලියන 7.2ක අවසන් නය වාරිකය වෙනුවෙන්, නව කප්පාදු කොන්දේසි සඳහා සිරිසාව කැපවන බව පල කල පෙබරවාරි ගිවිසුම තුලින් මෙම අර්බුදය ගලා එයි.

පසුගිය සතියේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ ඇම්බ්‍රොස් ප්‍රචාඩ් ග්‍රීසියේ නය හිමියන්ගේ ඉවබව නැති ක්‍රියාව හැදින්වූයේ “මූල්‍ය පිලිබඳ ඉරාක යුද්ධය” ලෙසය.

ආයතන තුන නිරීක්ෂනය කරමින් ඔහු පැවසුවේ,“හිතාමතාම බැංකු සෝදාපාලුවක් දියත් කරමින් හා ග්‍රීසිය දනගැස්වීමට යොමු වෙමින්, යුරෝපීය ක්‍රමය අනතුරට පත් කරයි...මූල්‍ය ස්ථාවරත්වයේ බාරකරුවා දැනුවත්ව හා සිතාමතාම යුරෝපීය මූල්‍ය සංගමයේ සාමාජික රටක අර්බුදයක් අවුලුවමින් එහි සාමය කඩාකප්පල් වීමේ අනතුර ද සහිත පුලුල් ගෝලීය අර්බුදයකට තුඩු දිය හැකි බලපෑමක්, ග්‍රීසිය සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමේ උපායක් ලෙස යොදා ගනියි.”

එදිනම යුරෝ මහ බැංකුව අද දිනයේ ග්‍රීක බැංකු යලි විවෘත කිරීමට සෑහෙන තරමේ මුදලක් ලබා දීමට එකඟ විය. කෙසේ වෙතත් ඉන් පසුව, බිඳවැටීමේ තර්ජනය යලි මතුවෙයි. පසුගිය සතියේ යුරෝ මහ බැංකුව යුරෝ බිලියන 4ට වැඩි මුදලක් හදිසි නයක් ලෙස බැංකු වෙත සම්පාදනය කලේය. එම ප්‍රමානය හරියටම පසුගිය සඳුදා හා සිකුරාදා අතර ඉතිරුම්කරුවන් බැංකු වලින් ආපසු ගත් බිලියන 4.2ට සමානය.

ග්‍රීක ජාතික බැංකුවේ සභාපති ලොඋකා කැට්සෙලි බීබීසී සන්ඩේ වැඩසටහනට පැවසුවේ, යුරෝ බිලියන 300ට වැඩි රාජ්‍ය නය පැහැර හැරීමට ග්‍රීසියට බල කෙරුනොත්, එහි “වියදම යුරෝ සංගමයට සැබවින්ම බරපතල ප්‍රශ්නයක් වන” බවයි.

“යුරෝ සංගමයේ තීරනය නොවෙනස්කල හැකි තරම් දරදඬු නොවේ යයි වෙලඳපොල තීරනය කලහොත් හා ආන්ඩුවක් බංකොලොත් යයි ප්‍රකාශ කල හැකි නම්, සිදුවනු ඇති පලමු දෙය, යුරෝ සංගමයේ හා යුරෝ මුදලේ ඊලඟ දුබලම සාමාජිකයාට එරෙහිව වෙලඳපොලවලින් සමපේක්ෂනාත්මක ප්‍රහාරයක් එල්ල වීමයි.” ඇය පැවසුවාය.

සති ගනනාවක් තිස්සේ සිරිසාව ගෙන ආ යෝජනා තුනෙන් අලුත්ම එක මෙයයි. කලින් ගෙනා යෝජනා දැඩි නොවන බව පවසා ඉවත දැමුනි. යුරෝ කලාපීය රටවල් මේ වසරේ තවත් යුරෝ බිලියන ගනනක කප්පාදු ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම විශ්‍රාම සහන, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 දක්වා කැපීමට නියම කර ඇත.

කැබිනට් රැස්වීමට පෙරාතුව සිරිසාවේ ෆ්ලැබෝරාරිස්, මෙගා රූපවාහිනියට පවසා ඇත්තේ, “පැරනි යෝජනා රැගෙන අප සමුලුවට යන්නේ නැත. අපට (සමුලු නියෝජිතයින් සමග) එකඟවිය හැකි සමහර වෙනස්කම් ඊට ඇතුලත්ය. ඒ අනුව අපට අන්‍යොන්‍යව වාසිදායක විසඳුමකට පැමිනිය හැකිය” යනුවෙනි.

මුදල් ඇමති යානිස් වෙරෝෆකිස් පැවසුවේ, “අපගේ පාර්ශවය බ්‍රසල්ස් වෙත යන්නේ, කලින් පැවති ආන්ඩු කල දේවල් අප විසින් ද කල යුතු යයි නොකියන තාක් දුරට, සම්මුතියකට එලඹීමේ අධිෂ්ඨානයෙනි: ග්‍රීසියට සිය නය යලි ගෙවාගත හැකි යයි සුලු බලාපොරොත්තු ඇති කරන කොන්දේසි යටතේ නව නය වාරික පිලිගැනීමටය.”

කප්පාදු අවසන් කිරීමේ වරපත්‍රයක් මත පත්වූ ආන්ඩුවක පැවැත්මට තර්ජනය කරන රුදුරු කප්පාදු ක්‍රියාත්මක කරන අතරවාරයේ තමන්ට කයිවාරු ගැසීය හැකි අල්ප සහන ඇතුලත් කප්පාදු වැඩසටහනකට එකඟ වන ලෙස යුරෝපීය බලවතුන් වෙත අතිශය මංමුලා සහගත ඉල්ලීම් සිරිසාව ඉදිරිපත් කරයි.

සිප්රාස්ගේ සමීපතම සහචරයෙක් වන නිකොස් පැපාස්, 21දා පැවසුවේ, “ජාමූඅ යුරෝපයේ නොසිටිය යුතු යයි සිතන එක්කෙනෙක් මමයි. මගේ බලාපොරොත්තුව, එහි සහභාගිත්වයෙන් තොරව විසඳුමක් සොයාගැනීමයි. යුරෝපීය නොවන න්‍යාය පත්‍රයක්” සහිත ජාමූඅ යුරෝපයේ තිබීම “අවශ්‍ය නොවන” බව ඔහු පැවසීය.

මෙගා රූපවාහිනිය 19දා වාර්තා කලේ, ග්‍රීසියේ නව යෝජනා තවමත් නය හිමියන් ඉල්ලා ඇති මට්ටමෙන් යුරෝ මිලියන 900ක් තරම් අඩු බවය. ග්‍රීක දිනපතා ටු විමා වාර්තා කලේ, “අමතර බදු මගින් වෙනස පියවීමට උත්සාහ දරන අතර සිරිසාව, වාර්ෂිකව මිලියන 200ක් ඉතුරුකර ගැනීමට 2016 වන විට කලින් විශ්‍රාම ගැන්වීම් අහෝසි කරමින්, සිය සහන පිරිනැමීමට කැමැත්ත පල කරන බවය. එහෙත් නය හිමියන් කියා සිටින්නේ එය වහාම අහෝසි කල යුතු බවයි.”

දැනට වසා “ඇති වෘත්තීන්” තරගයට විවෘත කල යුතුය යන දිගු කාලීන ඉල්ලීමට ද සිරිසාව එකඟත්වය පලකොට තිබෙන බව ටු විමා සඳහන් කරයි. “අමතර ව්‍යාපාරික බදු හා තවත් ආරක්ෂක පිරිවැය කැපීම් හඳුන්වා දීමට ද එය බලාපොරොත්තු වෙයි. නව යෝජනාවන්ට වැට් බදු ප්‍රතිසංස්කරන අනුපාත තුනකින් ක්‍රියාවට නැගීම ද විදුලි බලය හා ආහාර මත සියයට 13ක බදු පැනවීම ද ඇතුලත්ය.”

කැතිමරනි වාර්තා කලේ ග්‍රීක ලියවිල්ල, “නය ආදේශක හෝ නය මත කල්පිරීම් දීර්ග කිරීම මත හෝ ඒ දෙකම තුලින් ද “වර්ධනයේ පැකේජයක්” තුලින් ද නය සහන, කුමන හෝ කප්පාදු පියවරකට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන” බවයි.

යුරෝ සංගම් නායකයෝ යම් ආකාරයක නය සහනයක් සිප්රාස් වෙත ප්‍රධානය කිරීමට සූදානම් බව වාර්තා වූ නමුත් ඒ ඉක්මනින්ම නොවේ. ගැටුමක් නොපෙන්වා සියල්ලට යටත් වූ බවක් පෙනී ගියහොත් ඔවුන්ට මුහුන පෑමට සිදුවන මහජන කෝපය ගැන උත්සුකවෙමින් සිරිසාව, පහත සඳහන් ප්‍රකාශනය සහිතව පසුගියදා රාත්‍රියේ ඇතන්ස්හි රැස්වීමක් සංවිධානය කලේය. “කම්කරුවන්, තරුනයින් හා රැකියා වියුක්තිකයින්, ග්‍රීක ජනතාව හා යුරෝපයේ අවශේෂ ජනතාව, කප්පාදුවේ ඒක පාර්ශවික තීරන, අවමාන තර්ජන හා බියගැන්වීම් වලට ප්‍රතිරෝධය දැක්වීමේ මහත් හඬක් සහිත පනිවිඩයක් නිකුත් කරනු ඇත.”

නය හිමිකාර ආයතනයන්හි කොන්දේසි වලට එකඟ වන ලෙස ඔබාමා පාලනය සිරිසාවට තවත් පීඩනය යෙදීය. 19දා ඇමරිකානු භාන්ඩාගාර ලේකම් ජැක් ලිව් පැවසුවේ, නය හිමියන් නම්‍යශීලී වීම අවශ්‍ය කෙරෙන අතර “බර යෙදෙන්නේ ග්‍රීසිය මතය.... ග්‍රීසියට ඇති හොඳම විසඳුම සමහර දැඩි තීන්දු ගැනීමයි” යනුවෙනි. ජාතික ආර්ථික කවුන්සිලයේ හිටපු අධ්‍යක්ෂ හා ආරක්ෂක අරමුදලක හා සිටිගෘප් බැංකුවේ වත්මන් උපදේශකයෙකු වන ලොරන්ස් සමර්ස් ෆිනෑන්ෂල් ටයිම්ස්හි අතිරේක කතුවැකියකින් විස්තර කලේ ග්‍රීසිය, “කල්මැරීම සම්බන්ධයෙන් අසාර්ථක රාජ්‍යයක්” ලෙසය.

“මූල්‍ය ඉතිහාසඥයෝ එලඹෙන සතිය දෙස බලා, යුරෝපයේ මූල්‍ය අවුල ලිහෙනු ඇත්තේ කෙසේදැයි මවිතයට පත්වනු ඇත. යුරෝපීය සහාය අවසන්වීමෙන් පසුව බැංකු බංකොලොත්වීම හා නය ගැටලු පැනනැගීම හමුවේ ග්‍රීසියේ කප්පාදු වැඩ තවත් නරක අතට හැරෙනු ඇති” බවට ඔහු අනතුරු ඇඟවීය.

ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටීම හා සිරිසාව මුහුනදෙන අර්බුදය, මොස්කෝව සමග වඩාත් සමීප සම්බන්ධතාවයක් කරා එරට තල්ලු කරමින්, භූදේශපාලනික ප්‍රශ්න මතුකරනු ඇති බව සමර්ස් පැවසීය. “රාජ්‍යයක් ලෙස ග්‍රීසිය අසාර්ථක වූ කල, ක්‍රමානුකූල නය ප්‍රතිව්‍යුහකරනයකින් ලබනවාට වඩා බෙහෙවින් අඩු නයක් අයකර ගැනීමට සිදුවනු ඇත. උතුර බලා කෙරෙන දැවැන්ත සංක්‍රමන මගින් යුරෝපය පුරා ජාතික අයවැය මත බර පැටවෙනු ඇත. ග්‍රීසිය තුල රුසියාව පැලපදියම් වීමෙන් එල්ලවන අභියෝග ගැන කියනුම කවරේ ද?”

සිප්රාස් “ග්‍රීසියේ ගැටලු තමන් විසින්ම ඇතිකරගත් ඒවා බව වටහාගත යුතුය. ග්‍රීසිය යුරෝ කලාපය තුල තබාගැනීමට අවශ්‍ය සියල්ල කිරීමට තම සූදානම ඔහු විසින් ඇතිකර ගත යුතුව තිබේ.” සමර්ස් පැවසීය.

“වැට් හා විශ්‍රාම අංශයේ ප්‍රතිසංස්කරන ඇතිකිරීම මගින් සිරිසාවට, මේ වසරේ හා එලඹෙන වසරේ අයවැය අතිරික්ත ඉලක්ක සපුරාගැනීමට සිදුවේ. එහෙත් සිප්රාස්, ග්‍රීසිය තමන්ගේ කොටස ඉටුකරන විට විශාල පරිමානයෙන් නය කපාහැරීම් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වේ.”

තමන්ගේ පැත්තෙන් “ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා යුරෝපීය බලධාරීන්, ග්‍රීසියට දේශපාලනිකව දැරිය හැකි, අවශ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් සිදුකල යුතුය.”

“දැන් මෙය ගනන් පිලිබඳ කාරනයක් නොවන බව ජාමූඅ වටහාගැනීම අවශ්‍යය. එය යුරෝපයේ දැඩි දේශපාලනය පිලිබඳ කාරනයකි. එහි කාර්යය විය යුත්තේ කඩා වැටීමක් වලක්වාගත හැකි කුමන හෝ ගිවිසුමක් පිටුපස සිටගැනීමයි.” සමර්ස් පැවසීය.

Share this article: