රැකියා ස්ථීර කරනු’යි මෑන්පවර් සේවකයෝ උද්ඝෝෂනය කරති

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 ජූනි 30

සිය රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මංඩලයේ (ලංවිම), රාජ්‍ය බැංකුවල සහ නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යංශයේ දහස් ගනනක් “මෑන්පවර්” හෙවත් කොන්ත‍්‍රාත් කම්කරුවෝ එම ආයතන ඉදිරිපිට පසුගිය බ‍්‍රහස්පතින්දා දහවල් 12 සිට පැය දෙකක විරෝධතා උද්ඝෝෂනයක නිරත වූහ. ලංවිම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයට පමනක් දෙදහසකට ආසන්න කම්කරු පිරිසක් සහභාගී වූ හ.

විවිධ ආයතන වල කම්කරු ශ්‍රේනියේ සිට ලිපිකරු ශ්‍රේනිය දක්වා සියලුම සේවා අංශවල මෑන්පවර් කම්කරුවෝ සේවය කරති. වසර 5 සිට 13 ක් පමන පරාසයක සේවා කාලයක් සහිත කම්කරුවෝ ඒ අතර සිටිති. එහෙත් ඔවුන්ගේ රැකියා මෙතෙක් ස්ථීර කර නැත. මෙම කම්කරුවන්ට ගෙවන්නේ දෛනික වැටුපකි. අතිකාල දීමනා හැරුන විට රාජ්‍ය අංශයේ හෝ අර්ධ-රාජ්‍ය කම්කරුවන්ට හිමි වෙනත් කිසිදු දීමනාවක් හෝ අනුමත නිවාඩු, වෛද්‍යාධාර, නය පහසුකම් ඇතුළු කවර හෝ සේවා පහසුකමක් ද ඔවුන් ට නැත.

ආන්ඩුවේ හා පුද්ගලික අංශවල මෙලෙස සේවයේ යොදවා ඇති මෑන්පවර් කම්කරුවන් දසදහස් ගනනක් වෙති. සංවිධිත සමාගම් විසින් රැකියා විරහිතයන් ලියාපදිංචි කරගෙන විවිධ ආයතන වලට මිනිස් බලය සැපයීමක් ලෙස මෙම කම්කරුවන් ලබා දෙන නිසා ඔවුන් මෑන්පවර් කම්කරුවන් යන අන්වර්ථ නමකින් හැඳින්වේ. වැටුපෙන් කොටසක් අය කර ගැනීමේ පදනම මත සමාගම් විසින් මෙලෙස කම්කරුවන් සම්පාදනය පසුගිය දශක කීපයක සිට රුදුරු ලෙස ලාභ ශ‍්‍රම සුරා කෑම සඳහා ලොව පුරා යොදා ගැනෙන ක‍්‍රමයකි. අතීතයේ රාජ්‍ය හා පුද්ගලික අංශවල කම්කරුවන් අරගලයෙන් දිනාගත් අනුමත නිවාඩු, වෛද්‍යාධාර, නය පහසුකම් හා සේවා කොන්දේසි අහිමි මේ කම්කරුවන් බඳවා ගැනෙන්නේ කුලියට ගැනීමේ හා නෙරපීමේ (හයර් ඇන්ඩ් ෆයර්) පදනම මතය.

ලංවිම පමනක් 6000 වැඩි මෑන්පවර් කම්කරු සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත. සේවා කාලය කොපමන දීර්ඝ වුවත් ඔවුන් ට ගෙවන්නේ රුපියල් 785 දෛනික වැටුපකි. මාසයේ වැඩ දින ගනන 25 වන අතර මාසයකට පැය 30-40 පමන අතිකාල වැඩ කල යුතුය. අතිකාල පැයක් සඳහා ගෙවන්නේ රුපියල් 125 කි. වෙනත් කිසිදු දීමනාවක් නැත. දින 25 වැඩ කලත් අතිකාල ගෙවීම් සමග මෙම කම්කරුවෙකුට මාසයකට ලැබෙන්නේ රුපියල් 25,000 පමන දල වැටුපකි. ඉන් අර්ථසාධක, සේවක භාරකාර අරමුදල හා සමාගම සඳහා සියයට 15කද කැපීම් අඩු කල විට අතට රුපියල් 20,000 ක් වත් නො ලැබෙන බව කම්කරුවෝ කී හ.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට කතා කල ලංවිම මෑන්පවර් කම්කරුවන් කිහිප දෙනෙකු තමන් මුහුන දෙන දුෂ්කර සේවා කොන්දේසි සහ ආර්ථික අමාරුකම් ගැන විස්තර කලහ.

අනුරාධපුරයෙන් පැමිනි තරුන කම්කරුවෙක් මෙසේ පැවසීය: “මගේ සේවා කාලය අවුරුදු පහයි. වැටුපෙ වෙනසක් නැහැ. බිරිඳට රක්ෂාවක් නැහැ. ඉස්කෝලේ යන ලමයි දෙන්නෙක් ඉන්නවා. ලැබෙන පඩියෙන් මාසේ වියදම ගැටගහ ගන්න බැහැ. ජීවන වියදම දවස ගානේ ඉහල ගියත් අපේ පඩිය වැඩි වෙන්නේ නැහැ, නියමිත දවසක ලැබෙන්නෙත් නැහැ. අර්ථසාධක වලටයි සේවක භාරකාර අරමුදලටයි පඩියෙන් කපා ගත්තට ඒවා ගිනුම් වලට දාලා නැහැ.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 ජනාධිපතිවරනයේදී රැකියා ස්ථීර කරන බවට පොරොන්දු වුවත් එය කඩ කල බවද පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 17 දින උද්ඝෝෂනයකින් පසුව වෘත්තීය සමිති සමග පැවත්වූ සාකච්චාවේ දී යලි එලෙසම ඔහු පොරොන්දු දුන් බවද ඔහු සඳහන් කලේය. “ඒ උද්ඝෝෂනය වෙලාවේ රවි කරුනානායකත් එක්ක මෛතී‍්‍රපාල සිරිසේන මහත්තය ඇවිල්ල ජනාධිපති චන්දෙන් පස්සේ අපේ රැකියා ස්ථීර කරනවා කිව්වා. ඒවා ඔක්කො ම බොරු චන්ද පොරොන්දු විතරයි,” එම කම්කරුවා චෝදනා කලේය.

කඹුරුපිටියෙන් පැමිනි කම්කරුවෙක් ඔවුන් මුහුන දෙන අන්තරායකාරී සේවා කොන්දේසි ගැන විස්තර කලේ ය: “ෆීල්ඞ් එකේ වැඩකරන අයට කිසිම ආරක්ෂාවක් නැහැ. ආරක්ෂක හිස් වැසුම්, සපත්තු දෙන්නේ නැහැ. කිසිම ප‍්‍රායෝගික පුහුනුවක් නැහැ. කනුවක් දාන වෙලාවේ වැටිලා ගිය අවුරුද්දේ මගේ කොන්ද කැඩුනා. මාසතුනක් වෙදකම් කලා. මාස තුන ඉඳල එනකොට රක්ෂාවෙන් අයින් කරලා.”

තවමත් නිට්ටාවටම සුවය ලබා නැති ඔහු යලි රැකියාව ලබා ගත්තේ ඇමතිවරයාට අයාචනා කිරීමෙනි. අනතුරට හෝ මරනයට පත්වෙන කිසිම කෙනෙකුට වන්දි ගෙවීමක් නැති බවත් ආන්ඩුව හෝ කම්කරු දෙපාර්තමේන්තුව හෝ ඒ පිලිබඳව කිසිදු පියවරක් නොගන්නා බවත් සඳහන් කල ඔහු “මේක ඇත්තට ම වහල් සේවයක්,” යයි දෝෂාරෝපනය කලේය. පසුගිය වසර දෙක තුල පමනක් හදිසි අනතුරුවලින් ලංවිම මෑන් පවර් කම්කරුවන් 10 දෙනෙකු පමන මියගොස් ඇත. ආබාධිත වූ ගනන 50 ට අධිකය.

බ‍්‍රහස්පතින්දා උද්ඝෝෂනය සංවිධානය කලේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ නායකත්වයෙන් යුතු “මෑන්පවර් සේවකයන් ස්ථීර කර ගැනීමේ ජාතික මධ්‍යස්ථානය” විසිනි.

උද්ඝෝෂනයෙන් පසු කම්කරුවන් ඇමතු ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් “එකා පිට එකා මැරිලා වැටුනත් දිනන තුරු සටන ඉදිරියට ගෙන යනවා. ආන්ඩුව විසඳුමක් නුදුන්නොත් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාවකට යාමට සුදානමින් ඉන්න ඕනෑ” යයි ගුගුලේය. මෙය හුදෙක් ම කම්කරුවන් නොමග යැවීමේ වාචාල කතාවකි.

ජනාධිපතිවරනයේදී සිරිසේනට සහයදුන් ජවිපෙ දෙසැම්බර් උද්ඝෝෂනයේදී ඔහු ගෙන්වා ගත්තේ හිස් පොරොන්දුවක් ලබාගෙන කම්කරුවන්ගේ චන්ද ගරා දීම සඳහා ය. චන්දයෙන් පසු ජවිපෙ නායකයෝ, සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දුන් ජාතික විධායක සභාවට සම්බන්ධ වී මෑන්පවර් පමනක් නොව අනෙකුත් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රශ්න යට ගැසීමට උදවු දුන්හ.

මෑන් පවර් කම්කරුවන් සේවයට ගැනීම දසකයකටත් වඩා ඉහත සිට කෙරෙන්නෙකි. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශය මහජනයාට සේවය සැපයීමේ සිට ලාභලබන ආයතන බවට ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කොටසකි. එය බොහෝවිට පුද්ගලීකරනයට පාර කැපීමේ පලමු පියවර විය. සෙසු ආයතනවල මෙන් ම ලංවිම තුල ද සේවාවන් පිටට පැවරීම (අවුට්සෝසින්) කි‍්‍රයාවට දැමුනි. දැන් රාජ්‍ය වියදම් කැපීමේ ජාමුඅ නියෝග යටතේ අලුතින් සේවකයන් බඳවා ගන්නේ නම් එය සිදු කෙරෙන්නේ මේ පදනම මතය.

ජවිපෙ හා සෙසු සමිති නායකයන් ඒ ගැන කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීම සඳහා කලේ පුහු විරෝධතා සංවිධානය කිරීම හා වාචාල කතා දෙසා බෑමයි. රාජපක්ෂ ආන්ඩුව 2009 මාර්තු මාසයේ ලංවිම පුද්ගලීකරනය කිරීමේ පනත් සම්මත කලේ ය. ඊට විරුද්ධ ව බොරු උද්ඝෝෂන දෙකක් ජවිපෙ ලංකා විදුලි සේවක සංගමයේ නායකත්වය යටතේ පැවති සමිති පෙරමුනේ නායකයන් සංවිධානය කලේ කම්කරුවන්ගේ විරෝධය වාෂ්ප කර දමා පනත සම්මත වීමට සහ එහි සැලසුම් කි‍්‍රයාවට දැමීමට ඉඩ හරිමිනි. අනෙක් සමිති පෙරමුනේ නායකයෝ විරෝධතාවකින් තොරවම එම පාවාදීම කලහ.

ලංකා විදුලි සේවක සංගමය නායකත්වය දුන් ලංවිම ඒකාබද්ධ සමිති පෙරමුන 2012 අගෝස්තු මාසයේ වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් මත වර්ජනයක් සංවිධානය කල අතර සමිති නායකයෝ “අඛන්ඩව සටන පෙරට ගෙන යමු”, “ජයග‍්‍රහනය කර මිස පසු නො බලමු” ආදී පුච්චානම් කතා කීහ. එහෙත් වර්ජකයන් සේවයෙන් දොට්ට දමන බවට ආන්ඩුව කල තර්ජනය හමුවේ නකුට අකුලා ගත් රන්ජන් ජයලාල් ඇතුළු සමිති නායකයෝ වර්ජනය නතර කෙරුවා පමනක් නොව, කම්කරු කොමසාරිස් විසින් පත් කල කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු වෙනත් කිසිම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට නොයෑමේ කොන්දේසියට ද එකඟ විය. එපමනක් නොව, 5000 ක් මෑන්පවර් කම්කරුවන් ස්ථීර කරන ලෙස ඉදිරිපත් කර තිබු ඉල්ලීම ද ඇත හැර දැමුවේය. (කියවන්න: ලංවිම සමිති වර්ජනය පාවාදෙති 2012 අගෝස්තු 23).

උද්ඝෝෂනයට සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අංශයේ සේවකයන් 16 වහා ම දොට්ට දැමීම මගින් උද්ඝෝෂනය කෙරෙහි මෑන්පවර් සමාගම් වල සහ ආන්ඩුවේ දුෂ්ට ප‍්‍රතිචාරය යලි වතාවක් ප‍්‍රදර්ශනය කර ඇත. කම්කරු පන්තියේ සෑම අරගලයක් සම්බන්ධයෙන්ම සිය ප‍්‍රතිචාරය එය බව පෙන්නුම් කරමින් සති කීපයකට පෙර පැවති සෞඛ්‍ය සේවක වර්ජනය බිඳීමට සිරිසේන ආන්ඩුව හමුදාව සේවයට කැඳවූයේය.

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට තදින් ම ගැට ගැසුන ජවිපෙ හා ධනපති පන්තියට සේවය කරන වෘත්තීය සමිති කැපවී සිටින්නේ කම්කරුවන්ගේ අරගල යටපත් කර ධනපති අර්බුදය පැටවීමට ඒ හෝ මේ ආකාරයෙන් සහාය දීමටයි. සිරිසේන ආන්ඩුව මහජන අපකීර්තියට පත්වන තත්වය තුල ඉන් දොට්ට බැසගත් ජවිපෙ දැන් “ජනවරමට ගරු කර දුන් පොරොන්දු ඉටුකරන” ලෙස ආන්ඩුවට බල කිරීමේ උද්ඝෝෂනයක් පටන් ගෙන ඇත. වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුව ගැන ව්‍යාජ විවේචන කරති.

මෑන්පවර් කම්කරුවන් මුහුන දෙන කොන්දේසි පෙන්නුම් කරන්නේ ධනපති අර්බුදය තුල සමස්ත කම්කරු පන්තියටම අත්කෙරෙන ඉරනමේ එක විසකුරු පැත්තකි. මෙම තත්වය වෙනස් කල හැක්කේ මුළුමහත් ධනපති ආර්ථික ක‍්‍රමයම, ලාභ ගැරීම සඳහා නොව මනුෂ්‍ය අවශ්‍යතා සැපිරීම සඳහා පවතින සමාජවාදී නිෂ්පාදන ක‍්‍රමයක් ලෙසට ප‍්‍රති සංවිධානය කිරීමෙන් පමනෙකි. එබඳු වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දැමිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒ මේ දේශපාලන අරගලයකිනි. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී කම්කරු ක‍්‍රියාකාරී කමිටු පිහිටුවා ගෙන මෙම අරගලයට පෙරට ආ යුතුය. සමාජවාදී සමානතා පක්ෂය මෙම දේශපාලන අරගලයේ යෙදෙන පක්ෂයයි.

Share this article: