හිටපු ජනාධිපති රාජපක්ෂ වර්ගවාදී ව්‍යාපාරයකින් බලයට ඒමේ සූදානම ප‍්‍රකාශ කරයි

පානි විජේසිරිවර්දන විසිනි, 2015 ජූනි 26

මීලඟ මැතිවරනයේ දී අගමැති අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමට තමන් සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එම ඉල්ලීම සහිතව ඔහු වටා රැලිවී සිටින විපක්ෂයේ වර්ගවාදී සංවිධාන හා කන්ඩායම් නොබෝදා මාතර දී පැවැත්වූ රැස්වීමකට යැවූ පනිවුඩයකින් ප‍්‍රකාශ කර ඇත. රාජපක්ෂ යලි බලයට ඒමට කැසකවන්නේ විසකුරු ලෙස දෙමල-විරෝධී සිංහල ස්වෝත්තමවාදය ඇවිස්සීමෙන් බව එම පනිවුඩයෙන් පෙන්නුම් කෙරේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස්කරුවන් වන සිංහල වර්ගවාදී මහජන එක්සත් පෙරමුන, ජාතික නිදහස් පෙරමුන හා අන්ත වර්ගවාදියෙක් වන උදය ගම්මන්පිල මූලිකත්වය ගෙන රාජපක්ෂ වඩම්මා ගැනීමේ උද්ඝෝෂනය දියත්වී ඇත. අවස්ථාවාදයෙන් කුනුවූවෙකු වන වාසුදේව නානායක්කාර වර්ගවාදී රැල සමග ප‍්‍රමුඛව කටයුතු කරන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කන්ඩායමක් ද උද්ඝෝෂනයට සම්බන්ධය. “මහින්ද සමග යලි නැගිටිමු” යන සටන්පාඨය උස්සා ගත් උද්ඝෝෂනයේ මාතර රැස්වීම ජූනි 12 දා පැවැත්වුනි.

තමන් අගමැති අපේක්ෂකයා කිරීමට “මහජනයා කරන ආරාධනය” පිලිගන්නා බවට රාජපක්ෂ අභූතයක් ලියා ඇත. ජනවාරි 8 දා ජනාධිපතිවරනයෙන් ඔහු පරාජය වූයේ රුදුරු ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා ජීවන කොන්දේසි තලා දැමීමට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩුනු කැකෑරෙන විරෝධය නිසා ය. වොෂින්ටනයෙන් උසි ගැන්වුනු කොලඹ රාජපක්ෂ පාලන තන්ත‍්‍රය මාරුවෙන් බලයට ඒම සඳහා සිරිසේන ගසා කෑවේ මේ විරුද්ධත්වයයි.

රාජපක්ෂ අගමැති කරවීමට දැන් වෙහෙසෙන්නේ මහජනතාව නොව ඔහුගේ මුර්ග ප‍්‍රහාරවල මුගුරු ලෙස කි‍්‍රයාකරමින් විවිධ වරදාන ලැබ තරවූ මැති ඇමතියන් රොත්තකි. රාජපක්ෂ පෙරට දමා ගැනීමට කි‍්‍රයාත්මක වන්නේ ඔවුන් හා එවක පෝෂනය වූ මුල්‍ය හා කොටස් වෙලඳ පොලේ සමපේක්ෂකයන් ඇතුලු සිංහල ව්‍යාපාරිකයන් කන්ඩායමකි.

රාජපක්ෂ පෙරලා ගසා කන්නට යන්නේ තමන්ගෙන් බැට කෑ ජනයාගේ මොනම ප‍්‍රශ්නයක් වත් විසඳීමට නොහැකිව අපකීර්තියට පත්වන සිරිසේනගේ හා ඔහු විසින් පිහිටවූ අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ප‍්‍රමුඛ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය යි. රාජපක්ෂ එම විරෝධය සිංහල ස්වෝත්තමවාදී ගොහොරුවක් ඔස්සේ හරවා ගැනීමට ඉලක්ක කර ගෙන සිටී.

“රටේ එක් කොටසක බෙදුම්වාදී, ඊලම්වාදී කොඩිය එසැවෙද්දී ජාතියේ කොඳුනාරටිය බිඳී ඇතැ”යි ද, “උතුරෙන් හමුදා කඳවුරු 59ක් ඉවත් කර ඇතැ”යි ද, “ත‍්‍රස්තවාදීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සෝල්හයිම් වැනි යුරෝපයේ ඊනියා සාම කි‍්‍රයාකාරීන් බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය අතට ගෙන ඇති මොහොතක... සියලු දේශපේ‍්‍රමීන්ගේ හදවත් ප‍්‍රකම්පනය වීම අරුමයක් නොවේ,” ආදී වසයෙන් රාජපක්ෂ විලාප තබා ඇත.

ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාශයේ හෙලමින් කම්කරුවන්ට හා දුගීන්ට ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගත් වර්ගවාදී යුද්ධය රුදුරු ලෙස අවසන් කිරීම ඔජ වඩවමින් “යුද ජයග‍්‍රහනය ලබා ගැනීමට එක්සත් වූ ආකාරයට මුලු රටම එක්සත් වීමට කාලය පැමින ඇතැ”යි රාජපක්ෂ කියා සිටින්නේ ඊනියා මවුබිමේ නාමයෙන් සියල්ල කැප කල යුතු යයි යුද්ධය මධ්‍යයේ අන පැනවූ විලාසයෙනි. ඔහුගේ සහචරයන්ට දහස් ගනනක් රැස්වීම්වලට ගාල් කර ගැනීමට හැකිවීමෙන් ද සිරිසේන පාලනයේ අර්බුදයෙන් ද තල්ලුව ලැබී ඇති රාජපක්ෂ, මීලඟ රැස්වීමට එන බවට ඉඟියක් පනිවුඩයෙන් දී ඇත.

ධනපති පන්තිය වෙනුවෙන් මහජනයා තලා දැමීමට එල්ල කල ප‍්‍රහාර නිසා ඇතිවූ බරපතල විරෝධය ලේ කකාරවන ප‍්‍රකාශවලින් වසා දැමීමට නොහැකි බව දන්නා රාජපක්ෂ “සියලු භේද අමතක කරමු” යයි ද “ඉතිහාසයේ වැරදි පිලිගෙන නිවැරදි” වෙමු යයි ද යෝජනා කර ඇත.

රාජපක්ෂගේ ප‍්‍රකාශවලට ප‍්‍රතිචාර ලෙස එජාප ලේකම් හා ඇමති කබිර් හෂීම් කියා ඇත්තේ තමන් කිසිදාක මිලිටරි කඳවුරු උතුරෙන් ඉවත් කර නැති බවයි. උතුරේ මිලිටරි ආඥාපති ද මේ බව සනාථ කර ඇත. අතේ පත්තුවන බොරු ගොතා තමන්ගේ වර්ගවාදී ව්‍යාපාරය පුම්බා ගැනීමට රාජපක්ෂ තැත් කරන අතර එජාප නායකයෝ හා සිරිසේන තමන් ඔහුටත් ඉහලින් උතුරේ මිලිටරි වාඩිලා ගැනීම පවත්වා ගැනීමට කැපවුවන් බව කියා සිටිති.

රාජපක්ෂ සැරසෙන්නේ කුමකට ද? වර්ගවාදී විස කවා ධනපති පන්ති පාලනයේ අර්බුදය ගසා කා බලයට පැන ගත හැකි වුව හොත් කම්කරු පන්තියට රුදුරුම ප‍්‍රහාර එල්ල කිරීමටයි. වර්ගවාදය ඇවිලවීම කම්කරු පන්තිය බෙදා මැඩලමින් සිය පාලනය ගෙන යාම සඳහා සිංහල පාලක පන්තිය යොදා ගත් ආයුධයයි. රාජපක්ෂ යලිත් එය මුවහත් කරයි.

“ජාතික ආරක්ෂාව මෙන් ම අප විසින් පුබුදුවා ලූ ජාතික ආර්ථිකය ද අද මැලවී ඇතැ”යි ප‍්‍රකාශ කර ඇති රාජපක්ෂ “රුපියල අවප‍්‍රමානය වී, කොටස් වෙලඳපොල කඩා වැටී, විදේශ සංචිත ඩොලර් බිලියන ගනනින් අඩු වී” ඉදිකිරීම් කර්මාන්තය අත්හිටුවා ඇතැයි කනස්සල්ල පල කර ඇත. ඊනියා ජාතික ආර්ථිකය නැංවීමේ නමින් රාජපක්ෂ ආන්ඩුව කලේ ලංකාවේ මහ ව්‍යාපාරිකයන්ට හා විදේශ ආයෝජකයන්ට හොඳම කොන්දේසි සකස්කර දීමට කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන් තලා දැමීමයි. තම අයිතීන් සඳහා නැගී සිටි කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයින්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව එල්ල කලේ උතුරු-නැගෙනහිර යුද්ධයේ දී කි‍්‍රයාවට දැමූ මිලිටරි ක‍්‍රමයන්මය - වෙඩි තැබීම, හිරේදැමීම හා ත‍්‍රස්තයට ගොදුරු කිරීම ය.

රාජපක්ෂ ආන්ඩුව ආර්ථිකය පුබුදුවාලූ බවට කරන ප‍්‍රකාශය කෙප්පයකි. ඔහු ගොඩනැගුවේ නය බරින් තවතවත් මිරිකුනු ආර්ථිකයකි. 2014 අවසන් වන විට විදේශ නය පමනක් ඩොලර් බිලියන 43ක් විය; වෙලඳ ශේෂ හිඟය බිලියන 8.3කි; විදේශ සංචිතවලින් වැඩි ප‍්‍රමානයක් ඉහල පොලියට ගත් නය කන්දරාවකින් පිරුනි. මහජනයා මත පැටවුනු බදු බරට එම නය ගෙවීම ද එකතු වී ඇත. සමාජ අසමානතාවය වැඩී ගියේ ය. කොලඹ නගරයෙන් 135,000ක් පැල්පත් නිවාස ඉවත් කිරීම ඇරඹූ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහවන විට දහස් ගනනක ගේ නිවාස කඩා බිඳ දමා තිබුනේ නිසි නිවාස ලබා නොදෙමිනි. රාජපක්ෂ පාරම්බෑ රැකියා හිඟය අඩු කෙරුනේ අයිතිවාසිකම් අහිමි කර ධනපතියන්ට රුදුරු ලෙස අධික සූරා කෑමකට යටත් කෙරෙන කොන්ත‍්‍රාත් කම්කරු රැකියා ක‍්‍රමයක් නිර්මානය කිරීමෙනි. රාජපක්ෂගේ සංවර්ධනයට - පොදුවේ සියලු ධනේශ්වර පක්ෂවල මෙන්ම - ධනපති පන්තිය මිස කම්කරුවන් හා දුගීන් අයත් නොවේ.

ලෝක ධනවාදී අර්බුදයෙන් ඇඹරී සිරිසේනගේ හා එජාපයේ පාලනය යටතේ ගැඹුරුවන්නේ නය භරිත එම ආර්ථිකයේ ප‍්‍රශ්නම ය. මෙම පාලනය යටතේ ද අරගලයට එන කම්කරුවන්ට, දුගීන්ට හා ශිෂ්‍යයන් ඇතුලු තරුනයන්ට එල්ල වන්නේ මිලිටරි-පොලිස් ප‍්‍රහාරයම ය.

කෙසේ නමුත්, රාජපක්ෂ කඳවුර ගෙනයන උද්ඝෝෂනය සම්බන්ධයෙන් පාලක ප‍්‍රභූවේ ඇතැම් කොටස්වල කනස්සල්ලක් පවතී. ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානයන් මත කම්කරු‐පීඩිත මහජනතාවට එල්ල කිරීමට නියමිත ප‍්‍රහාරයන් හමුවේ ධනපති පන්තිය එක කඳවුරක් ලෙස ඒකාග‍්‍ර වියයුතුය යන්න ඔවුනගේ අදහසයි. සිරිසේන ගේ ජාතික ආන්ඩු වැඩපිලිවෙල පිටුපසින් පවතින්නේ මෙම න්‍යාය පත‍්‍රයයි.

රාජපක්ෂගේ පනිවුඩය විවේචනය කරමින් පසුගිය 17 දා ඬේලිමිරර් පුවත්පත “බෙදුම්වාදී න්‍යායපත‍්‍රයක් මත ක‍්‍රියා කරමින් සිටින්නේ කවුරුන්ද ?” යන ශීර්ෂය යටතේ පල කෙරුනු කතුවැකියෙන් ඉහත උත්සුකය ප‍්‍රකාශයට පත්වේ. “ශක්තිමත් සාක්ෂි නොමැතිව බෙදුම්වාදී භීතියක් නිර්මානය කිරීම වැරැදි” බව පවසන කතුවැකිය එසේ කිරීමෙත් වාර්ගික භේදයන් වැඩි දියුනු වී 1983 කලු ජූලිය වැනි සිද්ධීන් යලි ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි. අවසානයේදී “හිටපු ජනාධිපතිවරයාට දෙමල භීතිකාව වෙනුවට වෙනත් බොහෝ අවි ආයුධ ආන්ඩුවට විරුද්ධව යොදා ගතහැකි බව” පවසමින් කතුවැකිය අවසන් කරයි.

දෙමල ධනපති ප‍්‍රභූවේ නියෝජිතයා වන දෙමල ජාතික සංධානය “ජාතික ඒකාග‍්‍රතා ආන්ඩුව” ක් සඳහා එකතුකර ගැනීමට දැරෙන ප‍්‍රයත්නයට රාජපක්ෂ කඳවුරේ මෙම ස්වෝත්තමවාදී උද්ඝෝෂනය බාධාවක් වනු ඇතැයි යන කොලඹ පාලක ප‍්‍රභූවේ කොටසක උත්සුකය ඬේලිමිරර් කතුවැකියෙන් ප‍්‍රකාශ වේ.

එහෙත් රාජපක්ෂ සිංහල ස්වෝත්තමවාදය අවුස්සන්නේ එහි භයානක කම නොදැන යයි සිතතොත් එය බොලඳ කමකි. සිරිසේනට හා එජාපයට එරෙහිව එම විසකුරු අවිය යොදා ගනිමින් ගෙන යන ව්‍යාපාරයක් මගින් බලයට පැන ගත හැකි වුවහොත් එය, ආපසු කම්කරු පන්තියට එරෙහිව මුදා හැරිය හැකි බව රාජපක්ෂ දනී. රාජපක්ෂ වටා ගොඩනැගෙන කඳවුර සිරිසේන වික‍්‍රමසිංහ පාලනයට එරෙහිව කි‍්‍රයාත්මක වන්නක් ලෙස බැලූ බැල්මට පෙනී ගියත් එහි යථා අන්තරාය එල්ල වී ඇත්තේ කම්කරු පන්තියටයි.

එබඳු ව්‍යාපාරයක් ධනපති පන්තියට ෆැසිස්ට් පන්නයේ ප‍්‍රහාර සඳහා උසිගන්වා ගත හැකිය. රාජපක්ෂ හා ඔහු වටා රැලිව සිටින අන්ත වර්ගවාදී නඩ නානායක්කාර, ලසසප හා කොප ඇතුලු ජරාජීර්න අවස්ථාවාදීන්ගේ ද පිටුබලයෙන් ගොඩ නගන ව්‍යාපාරය ගැන කම්කරු පන්තියට අපි අනතුරු අඟවමු.

නව සම සමාජ පක්ෂය බඳු ව්‍යාජ වම්මු හා පුරවැසි බලය බඳු මධ්‍යම පන්තික කන්ඩායම් රාජපක්ෂ පාලනයට විරුද්ධව නැගි කම්කරු පීඩිත ජන විරෝධය සිරිසේන වටා ගොනු කිරීමට කි‍්‍රයාත්මක වෙමින් කොලඹ පාලන තන්ත‍්‍ර මාරුව සඳහා ගිය වැඩ පිලිවෙල ආවරනය කලහ. මෙම කන්ඩායම් දැන් රාජපක්ෂ ගේ “ජාතිවාදී අභියෝගය” පරාජය කිරීමේ නමින් සිරිසේන හා එජාපය ඇතුලු ධනපති පක්ෂවලට මහජනයා බැඳ තැබීමට කි‍්‍රයාත්මක වෙති. මෙම වර්ගවාදී විස දුමාරය යටින් රාජපක්ෂ ප‍්‍රමුඛව ගොඩනගන ව්‍යාපාරය වේවා සිරිසේන ගේ හා එජාපයේ පාලනය වේවා ආර්ථික හා මූල්‍ය බිඳ වැටීමක් අද්දර සිටිමින් පිඹුරුපත් සකස් කරන්නේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා ජීවන කොන්දේසි තලා දැමීමේ පොලිස් පාලනයක් ඇටවීමටය.

Share this article: