ශ්‍රී ලංකාවේ ජනාධිපති, දේශපාලන අස්ථාවරත්වය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරියි

Sri Lankan president dissolves parliament amid political uncertainty

කේ. රත්නායක විසිනි, 2015 ජූනි 29

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, උග්‍ර අතට හැරෙමින් ඇති දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය හමුවේ 26දා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේය. නාමයෝජනා භාරගැනීම ජූලි 6දා ආරම්භවී 13දායින් අවසන් කෙරෙන අතර මහ මැතිවරනය අගෝස්තු 17 පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරන ව්‍යාපාරය ගෙන යද්දී සිරිසේන, බලයට පත්වී දින 100 පසු එනම් අප්‍රේල් 23දා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පොරොන්දු විය. තමන් නාමිකව පමනක් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) තුල බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරමින් ඔහු එය කල් දැමීය.

ශ්‍රීලනිප මෙන්ම එය නායකත්වය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) තුල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සහචරයින්ගේ ද ආධාරකරුවන්ගේ ද පිටුබලය සහිත එදිරිවාදීන්ගේ අභියෝගයට මුහුන දුන්නේය.

විසුරුවා හැරීමට ක්ෂනික හේතුව ලෙස සඳහන් වුනේ, සිරිසේනගේ මැතිවරන සංශෝධන හෙවත් විසිවන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබාගැනීමට ආන්ඩුව අසමත් වීම ය. සිරිසේනගේ සුලුතර ආන්ඩුවේ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය (එජාප) එමගින් පොරොන්දුවූ මැතිවරනය තවත් කල් යනු ඇතැයි අදහස් කරමින් සංශෝධනයට විරුද්ධ විය. ප්‍රමාද වීමෙන් නැගෙන මහජන නොසංසුන්තාවය උග්‍රවී මැතිවරනය දිනාගැනීමට තමන්ට ඇති අවස්ථාව ගිලිහී යනු ඇතැයි එජාපය බියට පත්ව සිටියේය.

පසුගිය පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබූ ශ්‍රීලනිපය දරුනු ලෙස බෙදී තිබුනු අතර රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි එජාපය කෙරෙහි ගොඩනැගෙන මහජන විරෝධය ගසාකෑමේ අරමුනෙන් මැතිවරනය කල් දමාගැනීමට ඔවුන් වෑයම් කලේය.

ආන්ඩුවේ හවුල්කරුවෙක්ව සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා ආන්ඩුවට පිටුබලය දුන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි අනෙකුත් පක්ෂ, යෝජිත සංශෝධන කුඩා පක්ෂවලට අවාසිදායක යයි පවසමින් ඊට විරුද්ධ වූහ.

කෙසේ වෙතත් මෙම පක්ෂ අතර කාකොටා ගැනීම්, ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිලිබද කුමන හෝ උත්සුකයක් මත සිදුවන්නක් නොවේ. ඒ වෙනුවට ඒවා පෙන්නුම් කරන්නේ, ධනපති පන්තියේ විවිධ කන්ඩායම්වල වරප්‍රසාද සඳහා පවතින කෑදරකම හා සමස්ත දේශපාලන සංස්ථාපිතයම වෙලාගෙන ඇති අර්බුදයයි.

බලයට පත්වූදා පටන් සිරිසේන හා ඔහුගේ සුලුතර ආන්ඩුව එකකින් පසුව තවත් අර්බුදයකට මුහුනපා සිටියේය. ඔහු ජනාධිපති ලෙස පත්වූයේ, ක්ලින්ටන් පදනම හරහා වොෂින්ටනය සමග සමීප සබඳතා ගොඩනගාගෙන සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංගගේ ද ඇමරිකානු ගැති එජාපයේ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහගේ ද ආධාර ඇතිව, ඔබාමා පාලනය විසින් සැලසුම් කල පාලන තන්ත්‍ර වෙනස් කරන මෙහෙයුමේ කොටසක් ලෙසය.

ඇමරිකාව මැදිහත් වුනේ, බීජිනය වෙත රාජපක්ෂගේ විදෙස් පිලිවෙතෙහි නැඹුරුව අවසන් කරමින් මෙරට, චීනයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනකාරී යුද සූදානම පිටුපස පෙලගස්වා ගැනීම සඳහාය. ඇමරිකාවේ දේශීය සහචරයෝ, එන්ට එන්ටම දරුනු අතට හැරුනු රාජපක්ෂගේ ආඥාදායක පාලනයට එරෙහිව කම්කරුවන් පීඩිතයින් හා තරුනයින් අතර පැවති ගැඹුරු කෝපය ගසාකෑහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කල කප්පාදු ක්‍රියාත්මක කරද්දී මතුව ආ විරෝධය මැඩීම සඳහා රාජපක්ෂ පොලිස්-රාජ්‍ය ක්‍රමෝපායන් යොදාගත්තේය.

කල්තියා සූදානම් කල සැලැස්මකට අනුව ජනාධිපති තරගයට ඉදිරිපත්වීම පිනිස සිරිසේන රාජපක්ෂ ආන්ඩුවේ ඇමති තනතුරෙන් ඉවත්විය. නව සමසමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම සංවිධාන, වෘත්තීය සමිති හා වෙනත් විවිධ මධ්‍යම පන්ති සංවිධාන තන්ත්‍ර වෙනසේ මෙහෙයුම වසං කිරීමට වැඩ කලහ. රාජපක්ෂගේ ආඥාදායකත්වය හා ඥාතිමිත්‍ර සංග්‍රහයට විරුද්ධව සටන් කිරීම යන ප්‍රෝඩාකාරී උදඝෝෂනයකට මුවාවී ඔවුහු, මහජන විරෝධය සිරිසේනගේ කඳවුරට හරවා යැවූහ. ජවිපෙ හා දෙමල ජාතික සන්ධානය සිරිසේනගේ මැතිවරන ව්‍යාපාරයට පිටුබලය දුන්හ.

සන්ධානයේ බෙදීම ප්‍රයෝජනයට ගෙන සිරිසේන, සුලුතර ආන්ඩුව ස්ථාවර කරගනු ඇති බවට, මුලදී මෙම කොටස් අතර උද්යෝගිමත් බලාපොරොත්තුවක් පැවතුනි.

මැතිවරනය අගෝස්තු 17ට යොදැගැනීම වැදගත්ය. මැයි මුල ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරටට පැමින සිටියදී සිරිසේන, අගෝස්තුවේ මැතිවරනය පවත්වනු ඇති බවට ඉඟි කලේය. වොෂින්ටනයට අවශ්‍ය වුනේ සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමට පෙරාතුව මැතිවරනය පවැත්වීමටය. එම රැස්වීම 2009 බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධ යුද්ධයේ අවසන් මාසවල ආන්ඩුව හා මිලිටරිය සිදුකල යුද අපරාධ පිලිබඳ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇත. එවක එජා නිරීක්ෂකයින් ගනන් බලා තිබුනේ සිවිල් වැසියන් 40,000ක් මියගිය බවටය.

සිරිසේන ආන්ඩුවේ ඉල්ලීම මත ඇමරිකාව පසුගිය මාර්තුවේදී සාකච්ඡාව මාස හයකින් කල් දැමීම සඳහා කොල සංඥාව දැල්වීය. ඔබාමා පාලනය නරුම ලෙස ගනන් බැලුවේ, වාර්තාව මැතිවරනයට කලින් නිකුත් කලොත්, ඇමරිකානු ගැති ආන්ඩුවක් තහවුරු කර ගැනීමේ අවස්ථාව කඩාකප්පල් කෙරෙන පරිදි, මෙරටට බටහිර අතපෙවීමක් ලෙස වාර්තාව හෙලා දකිමින්, රාජපක්ෂට ජාතිකවාදී හා වර්ගවාදී පදනමක සහයෝගය ගොනුකර ගැනීමට හැකිවන බවටය.

ජූනි 05දා විදෙස් පිලිවෙත් වාර්තාකරු ටේලර් ඩිබර්ට් ලියා ඇත්තේ, “එම වාර්තාව නිකුත් කිරීමට පෙරාතුව මැතිවරනය පැවැත්වීමට නොහැකි වුනොත් එය අවසනාවකි. එවන් වාතාවරනයක්, රටේ දැඩි මතධාරී කොටස් යලි හිසඑසවීමට දොර විවෘත කල හැකිය. එය තවදුරටත් තම පක්ෂය මත සිරිසේනගේ ග්‍රහනය දුබල කරනු ඇත. එය වොෂින්ටනය හා ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයින් සමග කොලඹ ආන්ඩුව ගොඩනගන මිත්‍රත්වයට සැලකිය යුතු පසුබෑමක් වනු ඇත.” යන අනතුරු ඇඟවීමක් ද සහිතවය.

කෙසේ වෙතත් දේශපාලන තත්වය වේගයෙන් මාරුවෙමින් තිබේ. ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාර අවසන් කරන බවට දුන් ආන්ඩුවේ හා ජනාධිපතිගේ පොරොන්දු පුහු කයිවාරු ලෙස හෙලිදරව් වෙද්දි පාලන තන්ත්‍රය කෙරෙහි කම්කරු පන්තියේ විරුද්ධත්වය නැගෙමින් තිබේ. වත්මන් පාලනය ද කම්කරුවන්ගේ, සිසුන්ගේ හා පීඩිතයින්ගේ අරගල මැඩීමට යොදාගත් රාජපක්ෂ ආන්ඩුවේ මර්දනකාරී පියවරයන්ම අනුගමනය කර තිබේ. අධ්‍යාපන කප්පාදුවට එරෙහි විශ්විද්‍යාල සිසු විරෝධතාවන්ට පොලිසිය දිගින් දිගටම පහර දුන් අතර පසුගිය මාසයේ සෞඛ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනය බිඳීම සඳහා ආන්ඩුව රෝහල් වලට හමුදාව යෙදවීය.

ආර්ථිකය බිඳවැටීමේ අද්දරට පැමින තිබේ. පසුගිය 26දා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බ්ලූම්බර්ග් වෙත පැවසුවේ, ආන්ඩුව “ඩොලර් බිලියන ගනනක්” නය ගැනීමට බලපොරොත්තු වන බවයි. ඇමරිකාව, යුරෝපීය සංගමය හා ජපානයෙන් මෙම නය ගැනීමට බලාපොරොත්තු වන්නේ නය ආපසු ගෙවීම සඳහාය.

සිරිසේනගේ ආන්ඩුව රාජපක්ෂ ආන්ඩුවට චෝදනා කලේ නය මත රැදී සිටින බවටය. එහෙත් බලයේ සිටි මාස හය තුල ආන්ඩුව රුපියල් බිලියන 378ක් හෙවත් ඩොලර් බිලියන 2.8ක්, භාන්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හරහා නයට ගෙන ඇත. එම ප්‍රමානය පසුගිය මුලු වසරටම ලබාගත් රුපියල් බිලියන 260 ඉක්මවා ඇත. මේ මාසයේ මුල ආන්ඩුව, තවත් ඩොලර් බිලියනයක් 10අවුරුදු බැඳුම්කර නිකුත් කරමින් ලබාගෙන ඇත.

සිරිසේනගේ හා ආන්ඩුවේ අර්බුදය උග්‍ර කරමින් රාජපක්ෂගේ සන්ධාන ආධාරකරුවන්, ඔහු මැතිවරනයේදී අගමැති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙසට බලකරමින් ගෙන යන උද්ඝෝෂනය දැඩි කර තිබේ. එයට මූලිකවී සිටින්නේ මහජන එක්සත් පෙරමුන හා ජාතික නිදහස් පෙරමුන වැනි වර්ගවාදී පක්ෂත් ශ්‍රීලනිපයේ කොටසුත් ය.

“මව්බිම රැකගනිමු” යන තේමාව යටතේ සමාජයේ අතිශයින්ම ප්‍රතිගාමී කොටස් බලමුලු ගැන්වීමට උත්සාහ කරන රාජපක්ෂ, සිය දේශපාලන කටයුතු ප්‍රධාන කොටම සංවිධානය කර ඇත්තේ, බෞද්ධ විහාරස්ථාන තුලය. ඔහු සහ ඔහුගේ සහචරයෝ, 2009 වර්ගවාදී යුද ජයග්‍රහනය පාවාදෙමින් පරාජිත එල්ටීටීඊයට “යලි හිසඑසවීමට” ඉඩ සලසන බවට ආන්ඩුවට චෝදනා කරති. මෙම උද්ඝෝෂනයට, රාජපක්ෂ පිලිවෙත් වලින් වාසි ලැබූ සිංහල මහ ව්‍යාපාරිකයින් පිටුබලය දෙයි.

මෙහි කොටසක් ලෙස අගමැති වික්‍රමසිංහට, මුදල් ඇමති රවි කරුනානායකට හා නීතිය හා සාමය පිලිබද ඇමති ජෝන් අමරතුංගට විරුද්ධව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරන ලදී. අහිමිවූ බලය හා වරප්‍රසාද යලි සවිකර ගැනීමේ අරමුන සහිත මෙම ඝෝෂාකාරී ව්‍යායාමයේ ප්‍රතිපල වශයෙන් සිරිසේනට, එජනිස හා ශ්‍රීලනිපයේ පාලනය මුලුමනින්ම පාහේ ගිලිහී ගියේය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිරිසේන සිය දේශපාලන සහචරයින්ට ඇප ලබා දුන්නේය.

තවමත් නිල වශයෙන් ශ්‍රීලිනිපයේ නායකත්වය දරන සිරිසේන, රාජපක්ෂට මැතිවරනයේදී එම පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන බව ප්‍රසිද්ධියේම පැවසීය. කෙසේ වෙතත් ඔහු රාජපක්ෂ සමග සම්මුතියක් ඇතිකර ගැනීමට උත්සාහ කරන අතර ඔහුට ගෞරවනීය තනතුරක් පිරිනැමීය. රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කලේය. සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ සිරිසේන 25දා රාජපක්ෂ සමග රහස් සාකච්ඡා පැවැත්වූ බවය. විස්තර පලවී නැත.

මෙම වර්ධනයන් කවරක් වුවත්, ජනවාරි ජනාධිපතිවරනයේදි පෙනී ගිය ආකාරයට වොෂින්ටනය, චීනයට එරෙහි සිය යුද ව්‍යායාමයට ආධාර කරන ආන්ඩුවක් මෙරට ඇටවිය යුතු බවට බලපෑම් කරනු ඇත. මෙරටට පත්කර සිටින ඇමරිකානු තානාපති අතුල් කෙෂප්, සිය පත්වීමට අදාලව එරට සෙනේට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුවට පවසා ඇත්තේ, “අප ඉන්දු-පැසිෆික් කලාපය හරහා අපගේ අවශ්‍යතා පෙරට ගෙනයද්දී, ශ්‍රී ලංකාව තීරනාත්මක හවුල්කරුවෙක් වන්නේය” යනුවෙනි. ඕනෑම විරුද්ධත්වයක් පෙලගස්වා ගැනීම පිනිස ඇමරිකාව එක්සත් ජාතීන්ගේ යුද අපරාධ තර්ජනය කසයක් කරගනු ඇත.

සංස්ථාපිත පක්ෂ තුල බෙදීම් තියුනු වන නමුත් ඔවුන්ට පොදු භීතිකාව වන්නේ, සමාජ අරගල පැනනැගීමය. මේ මාසයේදී 47000ක් සෞඛ්‍ය සේවකෙයෝ වැඩවර්ජනය කලහ. පසුගිය සතියේ ආන්ඩුවේ සියලු දෙපාර්තමේන්තුවලම පාහේ කොන්ත්‍රාත් කම්කරුවෝ යහපත් සේවා කොන්දේසි ඉල්ලා විරෝධතා දැක්වූහ. විශ්වවිද්‍යාල සිසුහු නොකඩවා උද්ඝෝෂන ගෙන යති.

රාජපක්ෂ වර්ගවාදී උද්ඝෝෂනයක් හරහා බලයට පැනගැනීමට ඔට්ටු අල්ලද්දී සිරිසේන හා වික්‍රමසිංහ, මැතිවරනයෙන් පසුව “ජාතික ආන්ඩුවක්” සඳහා යලි යලිත් කැඳවුම් කර ඇත. ඔවුන් අතර කුමන මතභේද තිබිය ද මෙම පක්ෂ, කම්කරු පන්තියේ රැකියා හා සේවා තත්වයන්ට රුදුරු ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙති.

ව්‍යාජ වාම හා මධ්‍යම පන්තික කන්ඩායම් දේශපාලන සංස්ථාපිතයේ පක්ෂවල නව පෙලගැසීමක් බලාපොරොත්තු වෙති. ඔවුන් කියන්නේ රාජපක්ෂ නතරකල යුතු බවයි. අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පිහිටා එලඹෙන මැතිවරනයට ඉදිරිපත් වන්නේ සමාජවාදී සමානතා පක්ෂය සමනි.

Share this article: