කොලඹ “මෙත්සර” මහල් නිවාසවල ඉදිකිරීම් ප‍්‍රමිතිය ගැන නිවැසියෝ ප‍්‍රශ්න කරති

මාධව ජයවර්ධන විසිනි, 2015 ජූනි 11

ජාත්‍යන්තර ආයෝජකයන්ට හා සංචාරකයන්ට ගැලපෙන පරිදි, දකුනු ආසියානු වානිජ කේන්ද්‍රයක් බවට කොලඹ නගරය පරිවර්තනය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ගෙනගිය වැඩපිලිවෙල යටතේ කොලඹ නගරයේ ප‍්‍රදේශ ගනනාවකින් ඉවත්කල පැල්පත් වාසීන්ගෙන් කොටසක් පදිංචි කෙරුනු බොරැල්ල වනාතමුල්ලේ “මෙත්සර” මහල් නිවාස සංකීර්නයේ, බාල ඉදිකිරීම් තත්වය ගැන නිවැසියෝ ප‍්‍රශ්න කරති.

පසුගිය වසරවල ඇපල්වත්ත, ඉබ්බාවත්ත, මැද කොලඹ, නාරාහේන්පිට හා වනාතමුල්ල යන ප‍්‍රදේශවලින් බලහත්කාරයෙන් ඉවත් කෙරුනු පවුල් දහසක් පමන මෙම නිවාස සංකීර්නයේ පදිංචි කර ඇත. කුඩා සාලයක්, කුස්සියක්, වැසිකිලියක් හා කුඩා කාමර දෙකකින් යුතු වර්ග අඩි 400ක හෝ 380ක වපසරිය ඇති මෙම නිවාසවල මොවුන් පදිංචි කර තවමත් ගතවී අත්තේ අවුරුද්දකුත් මාස තුනකි. එක තට්ටුවක නිවාස 36 බැගින් වූ තට්ටු 11 කින් යුතු ගොඩනැගිලි තුනකින් යුතු මෙම නිවාස සංකීර්නය, නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) මගින් පාලනය වේ.

එහි ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නියෝජිතයන්ට දකින්න ලැබුනේ බිත්ති හා පොලව පුපුරා යාමෙන් අබලන් වූද කසල ඉවත් කිරීම සඳහා විධිමත් ක‍්‍රියා පටිපාටියක් නොමැති කමින් අපිරිසිදු වූද මහල් ගොඩනැගිල්ලකි.

කොලඹ අලංකාර කිරීමටයයි පවසමින් වසර ගනනාවක් පැරනි නිවාස පොලවට සමතලා කර ගොඩනැගුන මහල් නිවාසයන්ගේ තත්වය නිවැසියෝ මෙසේ විස්තර කලහ.

විශ‍්‍රාමික ජල සම්පාදන මන්ඩල කම්කරුවකු වන බන්ස ජයා: “C බ්ලොක් එකේ 9, 10, 11 තට්ටුවල ඉන්නේ මැද කොලඹ මෛත‍්‍රී බෝධිරාජ මාවතේ 118 වත්තෙ අය. එතන ගෙවල් 95 ක් කැඩුව. තනිතට්ටුවේ, තට්ටු දෙකේ පමනක් නොවෙයි තට්ටු තුනේ ගෙවලුත් එතන තිබුනා. සමහර ගෙවල් පරම්පරා දෙක තුන හිටපු අවුරුදු අසූව, සීය පරන ඒවා. ලයිට් බිල්, වතුර බිල් තියෙන වරිපනම් ගෙවපු ගෙවල්. මිනිස්සු රට ගිහිල්ල දුක්විඳලා හදාගත්ත ගෙවල්.

“හමුදාව දාල දවසෙන් අපේ ගෙවල් කඩනවා කිව්වා. මේ පොඩි දරුවෝ පාරේ තියාගන්නද? අපිට යන්න වුනා. අපිට අඩුගානෙ හදපු නිවාස දැකගන්නවත් ඉඩ දුන්නෙ නෑ. හමුදාවේ කට්ටිය බත්තරමුලේ යූඩීඒ එකට අපි අරගෙන ගිහින් වීඩියෝ එකකින් තමයි මේ ගෙවල් පෙන්නුවෙ. මේ ගෙයක් රුපියල් මිලියන 7 ක් වටිනව කිව්වා. ඒගොල්ලගේ අරමුන අපට හොඳ පරිසරයක් ලබාදීලා හොඳ ජීවිතයක් ලබාදෙන එක කිව්ව. ක්ෂනිකවම රුපියල් 50,000 ක් ගෙවන්න කිව්වා. තව නවදහස් හයසිය ගානක් විදුලිබල මන්ඩලයට ගෙවන්නත් කිව්වා.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සුලු වෙලඳාම් හා සුලු රැකියාවලින් ජීවත්වන තතු තුල එකතු කරගත් මුදලක් නොතිබූ බැවින් පොලියට ගෙන එම මුදල් ගෙවූ බවත් එම පොලී මෙතෙකුදු ගෙවන බවත් ඔහු පැවසීය. “සල්ලි ගෙව්වට පස්සේ තමයි අපට ගෙවල්වල යතුරු හම්බඋනේ. ඇවිල්ල බැලුවහමයි මේක කොච්චර පොඩිද කියල තේරුනේ. අපේ ගෙවල්වල දෙමව්පියෝ, දරුවන්ගේ පවුල් කීපයක් එකට ජීවත් උනා. සමහර ගෙවල්වල දහ දොලොස් දෙනෙක් හිටිය. කීප දෙනෙකුට ඇරෙන්න අනිත් හැමෝටම ලැබුනේ වර්ග අඩි 400 ක එක ගෙයක් විතරයි.”

නිවාසයක ජීවත්වූ සංඛ්‍යාවට ගැලපෙන පරිදි නිවාස ඉල්ලූ විට යූඩීඒ නිලධාරීන් පවසා ඇත්තේ එක් වරිපනම් අංකයකට එක් නිවෙසක් පමනක් සැපයිය හැකි බවයි.

මෙත්සර මහල් නිවසක ඉරිතැලුනු බිත්තියක්

නිවාස ඉදිකිරීමේ අවප‍්‍රමිතිය හේතුවෙන් ඔවුන් මුහුන දෙන අන්තරාය තවත් නිවැසියෙකු විස්තර කලේය: “අපි මෙහෙ පදිංචි වෙලා තවම මාස හතයි. මේ ගෙවල්වල බිත්ති පුපුරලා. පොලවත් පුපුරලා. අපි ගිහින් පැමිනිලි කරාම උඩින් බදාම ටිකක් ගාල වහනව. අකුනු ගහනකොට මේ බිත්ති ඔක්කොම දෙදරනවා. යට තට්ටුවක හයියෙන් කැසට් එකක් දැම්මත් එහෙමයි. මෙච්චර උස බිල්ඩිමක ස්ට‍්‍රක්චර් එක පුපුරලා තියෙනකොට අපි කොහොමද මේකේ බය නැතුව ඉන්නේ? ගෙවල්වල බිත්තිවල සමහර තැන් ගඩොල් නෙමෙයි. මොනවහරි බෝඩ් වගයකින් වහල තියෙන්නේ.”

“අපි මේවට මාසෙට රුපියල් 2640 ගානේ අවුරුදු 30ක් කුලී ගෙවන්න ඕනේ. මාසෙට රුපියල් 3900 ගානේ නම් අවුරුදු 20යි. අපි මේ ගෙවල් ඉල්ලගෙන ආවේ නැහැ. අපේ ගෙවල් කඩලා අපි මේවට කොටුකලේ යූඩීඒ එකයි. අපි කියන්නේ අපිට වෙන තැනකින් හොඳට හදපු ගෙයක් දෙන්න. ඒවා හදනකන් අපි අවුරුදු දෙකක් විතර මේවගේ ඉන්නම්. ආපහු තාවකාලික ලෑලි ගෙවල්වලට යන්න අපි ලැහැස්ති නැහැ. මේවට කුලී ගෙවන්න්නත් අපි ලැහැස්ති නැහැ.”

වැසි ජලය කාන්දු වීමෙන් අබලන් වූ බිත්තියක්

නම් සඳහන් කිරීමට අකමැති වූ මුස්ලිම් කාන්තාවන් පිරිසක් මෙසේ අදහස් දැක්වූහ. “අපේ ගෙවල් තිබුනේ ඇපල්වත්තෙ. මෙහෙට ඇවිත් දැන් අවුරුද්දයි මාස දෙකක් විතර වෙනවා. මේ ගෙවල්වල 4 දෙනෙකුට වඩා ඉන්න පවුලකට ජීවත්වෙන්න අමාරුයි. වැසිකිලියයි නානකාමරයයි දෙකම එක පොඩි ඉඩක තියෙන්නේ. රෙදි හෝදගන්න වෙන්නෙත් එතනමයි. රෙදි වනන්න තැනක් නැහැ. මේවට ඇනයක්වත් ගහන්න බැහැ. හුඟක් ගෙවල්වල හත් අට දෙනෙක්වත් ඉන්නවා. හරියට නිදාගන්නවත් ඉඩ මදි.

“ඉස්සර අපට ලයිට් වතුර දෙකටම ගියේ රුපියල් 600 ක් විතර. දැන් මෙහෙ වතුර බිල් එන්නේ යූඩීඒ එකෙන්. ඒකට 1000 ක් 1500ක් විතර බිල වැටෙනව. ලයිට් බිලත් එක්ක 2500ක් ඕන මාසෙකට. ඇතුලේ රස්නේ නිසා ෆෑන් එකක් නොදා ඉන්න අමාරුයි. ගෙට ගෙවන වාරිකයත් එක්ක මාසෙකට 5000ක් යනවා. අපේ මහත්තයල එදිනෙදා හම්බ කරන අය. ඒගොල්ල වැඩකරන තැනට යන්න ඔටෝ එකකට රුපියල් 300 විතර යනවා. මෙහෙන් වැඩ හොයාගන්න අමාරුයි. ලමයි ඉස්කෝලේ යවන්න 4 දෙනෙක් එක ත‍්‍රී වීල් එකක ගියත් එක්කෙනෙකුට රුපියල් සීය ගානේ දවසට 200ක් යනවා. මෙහෙට බස් එකක් දානවා කිව්වට තවම දාලා නැහැ. හම්බ කරන එක මග වියදමට ඉවරයි. අතේ සල්ලි නැති වෙනකොට ලමයින්ගේ ඉස්කෝල ගමන හරියට කෙරෙන්නේ නැහැ.

“මේකේ ලිෆ්ට් බාගෙට බාගයක් කැඩිලා. පහුගිය දවස්වල කුනු ලොරිය දවස් කීපයක්ම ආවේ නැහැ. ටොයිලට් බට උතුරලා ඒවා හදන්නේ නැහැ. අපි ගිහින් යූඩීඒ එකට කිව්වම මහින්දට චන්දෙ දුන්නනම් ඔහොම වෙන්නේ නැහැ කිව්වා. දැනට අපි මූන දෙන අමාරුකම්වලට සම්පූර්නයෙන්ම වගකියන්ට ඕනෙ පහුගිය ආන්ඩුවයි. ගෝඨාභය රාජපක්ෂ හමුදාව දාල තර්ජනය කරලයි අපේ ගෙවල් කඩලා අපි මේවට කොටුකලේ. අපිට ගෙවල් නැතුව මේව ඉල්ලගෙන ආව නෙවෙයි.”

ත‍්‍රීරෝද රථ රියදුරෙක් වන කුමාර

ත‍්‍රීරෝද රථ රියදුරෙක් වන කුමාර මෙසේ කීවේ ය: “අපි හිටියේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ නෙලුම් කුලුන හදන ඉඩමේ. දැන් ඒක හදන එකත් නවත්තලා. අපට අපේ ගෙවල් අහිමි උනා විතරයි. මේ ගෙවල් වලට එනවා ඇරෙන්න අපට කිසි විකල්පයක් දුන්නේ නැහැ. මම නම් මීට වඩා ගොඩක් කැමැතියි කොලඹ උදේ හවස යන්න එන්න පුලුවන් දුරකින් පර්චස් 7ක හරි ඉඩමක් දීල අපට කැමැති විදියට ගෙයක් හදාගන්න අඩු පොලී නයක් දුන්නනම්. මේ කොන්ක‍්‍රීට් ගොඩට වඩා ගහක් කොලක් තියන හුලන් ටිකක් වදින පැත්තක”.

“අපිට හම්බඋනේ බ්ලොක් එකේ 11 වෙනි තට්ටුවේ ගෙයක්. එක බිල්ඩිමකට ලිෆ්ට් තුනක් තිබුනට හැම වෙලාවේම දෙකක් කැඩිලා. එකයි වැඩකරන්නේ. තුන්වෙනි තට්ටුව විතර වෙනකම් මිනිස්සු පඩිපෙලෙන් යනව. ඉතිරි පවුල් 350ක් විතර තනි ලිෆ්ට් එකකින් උඩ පල්ලෙහා යනකොට කොහොමද? ඒකත් දවසෙන් දෙකෙන් කැඩිලා යනවා.

“පහුගිය දවසක ලිෆ්ට් තුනම කැඩිල තිබුන. මගේ අම්මට ගොඩක් වයසයි. ලිෆ්ට් එක හදනකන් උඩට එන්න විදියක් නැතුව පැය 6 ක් විතර පල්ලෙහා ඉඳල තිබුන. මේ ගෙවල්වල ගොඩක් වයසක අය ඉන්නවා. සමහරුන්ට නොයෙකුත් අසනීප. බයිපාස් කරපු අය ප්‍රෙසර් තියන දියවැඩියාව තියන මහන්සි වෙන්න හොඳ නැති අය ඉන්නවා. ගෙවල්වල තරුන අය දවල් වෙලාවේ වැඩට ගිහිල්ල. කාටහරි හදිසි අසනීපයක් උනොත් ලිෆ්ට් වැඩ කරන්නේ නැතුව ඉස්පිරිතාලෙකට හරි ගෙනියන්නේ කොහොමද?

“පහුගිය දවස්වල වැසිකිලි බට උතුරලා පල්ලෙහා තට්ටුවල ගඳේ ඉන්න බැරිඋනා. මේ ජරාව පාගාගෙන තමයි හැම මනුස්සයටම යන්න එන්න උනේ. සපත්තු සෙරෙප්පුවල ගෑවිච්ච මේ ජරාව මග දිගේ ලිෆ්ට්වල සහ ගෙවල් ඇතුලට එනවා. ගෙවල්වල දනගාන බඩගාන පොඩිඋන් ඉන්නව. මොන ලෙඩ හැදිලා නතර වෙයිද දන්නෑ. මෙතන යූඩීඒ කාර්යාලයක් තිබුනට මිනිස්සු ගිහිල්ල කෑගහලත් ඒකට මොකුත් කරේ නැහැ. පස්සේ මිනිස්සු පොලිසියටත් ගියා. කිසි කෙනෙක් මේ ප‍්‍රශ්නවලට විසඳුමක් දෙන්නේ නැහැ කියල තරහ ගිය තරුනයෙක් පොලිසියේදී කෑගැහුව කියල මිනිහට හොඳටම ගහල තිබුන.”

කසල ඉවත් කිරීමේ ක‍්‍රමවත් වැඩපිලිවෙලක් නොමැතිකමින් තමා විඳින දුෂ්කරතා තවත් නිවැසියෙකු විස්තර කලේය: “අපට මේකේ කුනු දාන්න හරි ක‍්‍රමයක් නැහැ. උදේට කුනු මල්ල ලොරියට දීගෙන යන්න ඕන. ලොරිය පරක්කු උන දවසට උදේ වැඩට යන මනුස්සය ලොරිය එනකන් ඉඳල පරක්කු වෙලා වැඩට යන්න ඕනේ. නැත්නම් ආපහු ලිෆ්ට් එකේ උඩට ගිහිල්ල කුනු මල්ල ගෙදරින් තියල යන්න ඕන. පල්ලෙහා කුනු දාල අහුවුනොත් දඩය රුපියල් 5000 යි. වෙන තැන්වල ලොරියට කෙලින්ම උස්සල ගන්න පුලුවන් ලොකු කුනු භාජන තියල තියනවා අපි දැකල තියනවා. මෙහෙ එහෙම මොකුත් ක‍්‍රමයක් නැහැ. කුනු ලොරිය නාවොත් මේ පුංචි ගෙවල්වල දවස් දෙක තුන කුනු තියාගන්නේ කොහොමද?”

ඔහු මෙසේද පැවසීය: “මිනිස්සු ගොඩක් ඉන්න මේ වගේ තැන් හරියට මේන්ටේන් කරන්න ඕන. ඒවා හරියට ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට මිනිස්සුන්ට නෙමෙයි වගේ අපට සලකන්නේ.”

තවත් නිවැසියෙකු අප සමග පැවසුවේ දවසකට බත් පැකට් 150 ක් පමන සූදානම් කොට කඩවලට දැමු ඔවුනට මෙම කුඩා කුස්සිය තුල එය කරගෙන යා නොහැකි නිසා ත‍්‍රීරෝද රථ රියදුරෙකු වීමට සිදු වූ බවයි. “අපේ කඩපු ගෙවල්වල කිසි දෙයක් මෙහෙ ගේන්න තහනම් කිව්ව. ඒකනිසා පරාල, ඇස්බැස්ටෝසේ ෂීට් පොඩි ගනන් වලට විකුනලා දාන්න උනා.

රාජපක්ෂ ආන්ඩුවේ ඉලක්කය වූයේ කොලඹ නගරයෙන් දිලිඳු පවුල් 135,000කට වැඩි ගනනක් ඉවත් කර එම ඉඩම් ආයෝජකයන්ට ලබා දීමයි. මෙලෙස ඉවත් කල අයගෙන් බොහෝ දෙනාට තවම ස්ථීර නිවාස සපයා නැත. තොටලඟ නාගලගම් වීදිය හා වැලිගොඩවත්ත යන ස්ථානවල ජලය හා සනීපාරක්ෂක පහසුකම්වලින් තොර, ලීවලින් තැනූ පැල්පත්වල ජීවත් වීමට මොවුන්ට බල කෙරී පවතී.

Share this article: