මොස්කව් නුවර මිනීමැරුම: බොරිස් නෙම්ත්සොව් ඝාතනය කලේ මන්ද ?

Murder in Moscow: Why was Boris Nemtsov assassinated?

2015 මාර්තු 03

රුසියාවේ විපක්ෂ දේශපාලනඥයෙකු වූ බොරිස් නෙම්ත්සොව් මරාදැමීම, එක්සත් ජනපද - රුසියා ඝට්ටනයෙන් ද රුසියානු රාජ්‍යයේ ඉහලම මට්ටම් වල දැන් සිදුවෙමින් තිබෙන උග‍්‍ර අරගලයෙන් ද පැන නැගි බරපතල දේශපාලන සිද්ධියකි. ඔබාමා පාලනාධිකාරය ද සීඅයිඒ සංවිධානය ද මෙම ඝට්ටනය උග‍්‍රකිරීමේ ලා ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකරති. එහි ලා ඔවුන්ගේ අරමුන වන්නේ එක්සත් ජනපදයේ ගෝලීය මූල්‍ය හා භූ-දේශපාලන ආසක්තයන්ට සේවය කරන ප‍්‍රතිපලයක් අත්කර ගැනීමය.

එක්සත් ජනපදය සහ රුසියාව අතර සම්බන්ධතා බිඳවැටෙන තැනකට ලං වෙමින් පවතී. ඉන් ජනිත වියහැක්කේ ව්‍යසනකාරී විපාකයන්ය. ඔබාමා පාලනාධිකාරය රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් බලයෙන් පහ කල යුතු යයි නිගමනය කර තිබේ. මෙහි පදනම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පත් කර ගත් යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් ගිය අවුරුද්දේ පෙරලා දැමීම ඉෂ්ටවූ කාර්යයක් ලෙස පිලිගැනීම ක්‍රෙම්ලිනය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමත්, යුක්රේනය එක්සත් ජනපද අනුහස් වැයික්කිය තුලට ආර්ථික සහ මිලිටරිමය වශයෙන් මුලුමනින්ම ඒකාග‍්‍ර කරනය කිරීමට ක්‍රෙම්ලිනය දක්වන්නා වූ විරුද්ධත්වයත් ය.

විශේෂයෙන්ම 2013 දී සිරියාවට පහර දීමට එක්සත් ජනපදය කල සැලසුම්වලට රුසියාව අත දැමීමත්, එන්එස්ඒ (ජාතික ආරක්ෂක ඒජන්සිය) අනතුරු ඇඟවුම්කරු එඩ්වඩ් ස්නොඩන්ට දේශ පාලන රැකවරනය දීමට රුසියාව පියවර ගැනීමත් සමග, එක්සත් ජනපදය නිගමනය කර ඇත්තේ, පුටින් තව දුරටත් රුසියාවේ ජනාධිපති ලෙස සිටීම තම භූ-දේශපාලන ආසක්තයන් හා නොගැලපෙන බවය. එහෙයිනි - ජාත්‍යන්තර දේශපාලන බලපෑම්, ආර්ථික සම්බාධක හා විවිධාකාර රහස්‍ය මෙහෙයුම් මගින් - පුටින් බලයෙන් ඉවත් කිරීමේ තීන්දුව එක්සත් ජනපදය විසින් ගනු ලැබ ඇත්තේ.

රුසියානු බලප‍්‍රභූව තුල, හමුදවේ ද රහස් පොලිසියේ ද අංශ වල ආධාර ඇති “මාලිගා බල කොල්ලයක්” මගින් පුටින් ඉවත් කර දැමීමට සමත් කන්ඩායමක් පැන නගිනු ඇතැයි ඔබාමා පාලනාධිකාරය අපේක්ෂා කරන බව ඕනෑවටත් වඩා පැහැදිලි ය. රුසියානු ජනාධිපතිගේ පුද්ගලික ඉරනම - ඔහු ට වෙන්නේ සර්බියාවේ මිලොසවික්, රුමේනියාවේ චව්චෙස්කු, ඉරාකයේ හුසේන් හා ලිබියාවේ ගඩාෆි ට සිදු වූ දේ වලින් කුමක් ද යන්න - තීන්දුවනු ඇත්තේ, ඔහු ඉවත්කරනු ලබන්නේ කුමන නිශ්චිත පරිස්ථිතීන් යටතේ ද යන්න මත ය.

මින් කුමක් සිදුවුව ද ඔහු විස්ථාපනය කරනු ඇත්තේ, දෙගිඩියාවකින් තොරව එක්සත් ජනපද පිලිවෙත අනුයාමට සූදානම් - ප‍්‍රකෝටිපති යුක්රේනියානු ජනාධිපති පෙට්‍රෝ පොරශෙන්කෝ ගේ රුසියානු පිටපතක් වනු ඇති - රුසියනු ප‍්‍රභූ කතිපයාධිකාරයේ නියෝජිතයෙකු විසිනි. ඇත්තට ම එක්සත් ජනපද මාධ්‍යයන් එවන් විකාශනයක් හඳුන්වනු ඇත්තේ “ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක්” ලෙස ය.

එක්සත් ජනපදය උත්සාහ කරන්නේ පුලුල් ජනතා කැරැල්ලක් උසිගැන්වීමට හෙම නොවේ. ඔවුන්ට එපාම කරපු දේ එයයි. එක්සත් ජනපද පාලනාධිකරයට අවශ්‍යව ඇත්තේ ප‍්‍රභූ කතිපයාධිකාරයේ ද පැනනගිමින් සිටිනා ධනපති පන්තියේ ද කොටසකට, සිය ව්‍යවසායික ආසක්තයන් සහ පෞද්ගලික ධනය රැඳී පවත්නේ එක්සත් ජනපද සහාය මත ය යන්න ඒත්තු ගැන්වීමට ය. එබැවිනි, කතිපයාධිකාරීන්ට හා ව්‍යවසායිකයන්ගේ වඩාත් පුලුල් ස්ථර වලට බලපෑම් ඇතිවන පරිදි ඔබාමා පාලනාධිකාරය, තෝරාගත් යම් යම් පුද්ගලයින් ට ආර්ථික තහන්චි පනවා ඇත්තේ.

භාරාර්ථව ම, එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාවේ අතිශයින්ම දක්ෂිනංශික සහ උග‍්‍ර පුටින් විරෝධී බලවේගයන් ගේ කථිකයෙකු වන නව වංචනික ගැරි කැස්පරෝව් 02දා වෝල් ස්ටී‍්‍රට් ජර්නලයට ලියු ලිපියකින් පැහැදිලි වන්නේ, ඇමරිකාව රුසියානු ප‍්‍රභූන් සමග සම්බන්ධතාවක සිටින බවත්, ඔවුන් සමග පුටින් පෙරලා දැමීම වැනි ප‍්‍රශ්න සාකච්චා කෙරමින් ඇති බවත් ය. නෙම්ත්සොව් ඝාතනය පිලිබඳව බටහිර නායකයින් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ, ක්‍රෙම්ලිනයට “සාපරාධ අධම පාලනයක්” ලෙස සලකමින් යයි ඔහු කියා සිටී.

එපමනක් නොව, පුටින්ට සහය දැක්වීම නවතන ලෙස බල කෙරෙන පරිදි එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කතිපයාධිකාරී ප‍්‍රභූව මත පීඩනය උග‍්‍ර කලයුතු යයි ද කැස්පරෝව් කියාසිටි: “රුසියානු කතිපයාධිපතියන්, හැම එකෙකුටම කිව යුත්තේ ඔවුන් පුටින් තන්ත‍්‍රයට ආධාර කරන තාක් ඔවුන්ගේ ධනය සුරක්ෂිතව තබාගත හැකි ඉඩක් බටහිර මොනම රටක හෝ තිබෙනු නැති” බව ය.

නෙම්ත්සොව් ඝාතනය අප විසින් මැන බැලිය යුත්තේ මෙම ජාත්‍යන්තර බල අරගලයේ සන්දර්භය තුල ය. සත්තකින්ම ඔහුගේ මරනය, ඔහුගේ පුද්ගලික වැඩකටයුතු වල ම ප‍්‍රතිවිපාකයක් වීමට ද ඉඩ නැතුවා නොවේ. එහෙත් වඩාත් විය හැක්කේ, ඔහු දේශපාලන හේතු නිසා ඝාතනය කලාය යන්නටය. සහතිකෙන් ම, ඔහුගේ මරනය සිදු වූ වෙලාව - මොස්කව් නුවර පුටින් විරෝධී පෙලපාලිය ආසන්නව - දැඩිසේ පෙන්නුම් කරන්නේ, මෙම ඝාතනය පුද්ගලික පල හිලව්වක් නොව දේශපාලන ඝාතනයක් වූ බවය.

පෙලපාලියේ සංවිධානය ම සුවිශේෂ වැදගත්කමක් දරයි. මෙවන් පෙලපාලි සංවිධානය කිරීම සීඅයිඒ සංවිධානයේ විශේෂත්වයක් වන අතර ඒවා තන්ත‍්‍ර මාරුව ක‍්‍රියාවට දැමීම සඳහා අත්‍යවශ්‍ය දේශපාලන පසු බිමක් සහ කඩතුරාවක් ලෙස සේවය කරයි. ඇලෙක්සි නවල්නි සහ අනෙකුත් විපාක්ෂික පුද්ගලයින්, එක්සත් ජනපද මාධ්‍ය තුල “ප‍්‍රජාතන්ත‍්‍ර හිතවාදී” ව්‍යාපාරයක නායකයන් ලෙස තප්පු ගසනු ලැබේ.

පසුගිය 27දා සිදුකල ඝාතනය, කුමන්ත‍්‍රන රේඛා දෙකකින් එකක් ඔස්සේ සිදුවිය හැකිය (එම දෙයාකාරයේ ම ගනන් නැති ප‍්‍රභේද තිබේ): පලමු එක නම් පුටින් පිලේ කොටස් විසින් - ජනාධිපතිගේ දැනුම ඇතිව හෝ නැතිව - නෙම්ත්සොව් මරනු ලැබීය යන්නය. එය ප‍්‍රභූ පැලැන්තිය තුල පිල් මාරුකරන්නට බලා සිටින්නවුන්ට අනතුරු ඇඟවීමක් විය හැකිය. එහෙත් එවන් ඉවබව නැති ක‍්‍රියාවකින් පුටින් තන්ත‍්‍රය ශක්තිමත් කල හැක්කේ කෙසේදැයි සිතාගැනීම අපහසුය.

දෙවන හැකියාව නම්, පුටින් -විරෝධී පිලෙහි කොටස් විසින් ව්‍යාජ - ප‍්‍රජාතන්ත‍්‍ර ව්‍යාපාරයට දිවි දුන් වීරයෙකු සම්පාදනය කරගැනීම සඳහා ඔහු මරා දැමූ බවය. මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුනක් නම්, කැස්පරෝව් වෝල් ස්ටී‍්‍රට් ජර්නලයට කල ප‍්‍රකාශයේ, පුටින් - විරෝධී උපාය පිලිබඳව තමාට නෙම්ත්සොව් සමග මතභේද පැවති බව සඳහන් කිරීමයි. නෙම්ත්සොව් වඩා පරෙස්සම් සහගත ප‍්‍රවිෂ්ටයක් ගත් බව කැස්පරෝව් කියයි.

“පුටින් මහතා 2012 දී යලි ජනාධිපති ලෙස පත් වූ අවස්ථාවේ බොරිස් සහ මම සන්ඩු කිරීමට පටන් ගතිමු. මට පෙනීගියේ, පුටින් නැවත පත්වීම සාමකාමී තන්ත‍්‍ර මාරුවක් සඳහා යථා හැකියාවක් තවදුරටත් නැති බව ය. එහෙත් බෝරිස් සැම විටම සුභවාදී විය. මා උවමනාවට වඩා උද්වේගී යයි පවසමින් ඔහු මෙසේ කිවේ ය: ‘රුසියාව වෙනස් කිරීමට ඔබට හුඟ කලක් බලාසිටීමට සිදුවනු ඇත.’ දැන් ඉතින් ඔහුට එය කවරදාකවත් දැක ගැනීමට බැරි වනු ඇත.”

මෙම ප‍්‍රකාශය ඇමරිකානු සහය ලබන පුටින් විරෝධී කල්ලිය තුල සැලකිය යුතු භේද පවත්නා බව පෙනුම් කරයි. සමහරවිට ප‍්‍රචන්ඩ පාලන තන්ත‍්‍ර පරිවර්තනයකට නෙම්ත්සොව් බාධාවක් යයි පෙනී ගියා ද විය හැකිය. එවන් තත්වයකදී, ඔහුහේ “ජීවිත පුජාව” පුටින්-විරෝධී ව්‍යාපෘතියට වඩාත් ප‍්‍රයෝජනයයි ඔවුන් සිතීම යථාර්ථයේ ක්ෂේත‍්‍රයෙන් පිටස්තර වන්නේ නැත.

රුසියවේ ප‍්‍රථම පශ්චාත් -සෝවියට් ජනාධිපති වූ බොරිස් යෙල්ට්සින්ගේ සමයේ මුල්ඇදගත් දිවි පෙවෙතක් සහිත කෙනෙකු ලෙස නෙම්ත්සොව් නැමති පුද්ගලයා වැදගත් වේ. 1990 ගනන් වල මුලදී, ඔහු සෝවියට් සම්පත් කුනුකොල්ලෙට විකුනා කෑ ධනේශ්වර ගැති, තරයේ දූෂිත කොම්ප‍්‍රදෝරු ස්ථරයක නියෝජිතයෙකු ලෙස ඉස්මතු විය. එක්සත් ජනපද ව්‍යවසායකයන් සමග සමීප සබඳකම් පිහිටුවාගත් හෙතෙම එක්සත් ජනපදයේ පුවත් පත් වල චාටු සැලකිල්ලට භාජන විය.

ඒ සමගම, තරයේ දූෂිත වූ ද නිරතුරුව බී ගෙන සිටියාවූ ද යෙල්ට්සින් ට රුසියානු ජාතික ආසක්තතා පිලිබඳ මොනයම්මැ හෝ අදහසක් තිබුනේ නැත. එක්සත් ජනපදය - බෝල්කන් ප‍්‍රදේශයේ, නැගෙනහිර යුරෝපයේ ද මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ ද - රුසියාවේ මොනම විරුද්ධත්වයක් හෝ නොමැතිව, තමන්ට උවමනා දෙයක් කර ගත්තේ ය.

පුටින් ද යෙල්ට්සින් සමයේ ම - එහෙත් එහි අවසාන අවධියේ දී - නැගී ආ තැනැත්තෙකු වන අතර පෙනී යන කරුන නම්, නෙම්ත්සොව්ට වෙනස් ලෙස ඔහු, යෙල්ට්සින් විසින් රුසියානු ආසක්තයන් මොනම ආකාරයකින් හෝ ආරක්ෂා කිරීම අතහැර දැමීම ගැන බියට පත්ව සිටි, පැරනි රාජ්‍ය බුද්ධි අංශයේ එජන්සි වල කොටස් නියෝජනය කල බවය. පුටින් ගේ නායකත්වය යටතේ “ශක්තිමත් රාජ්‍යයක්” පිලිබඳ සාම්ප‍්‍රදායික රුසියානු අභිලාශය යලිත් හිස එසවිය.

මේ මගින් අන්තිමේ දී පුටින්, ඇමරිකානු සහ - මෙයට එක්කල යුතු පරිදි යුරෝපිය - අධිරාජ්‍යවාදය සමග ඝට්ටනයකට අද දැම්මේ ය. පැහැදිලිවම පුටින් උත්සාහ කරන්නේ, තමන්ගේ මෙම ජාතිකවාදී-ධනේශ්වර න්‍යාය පත‍්‍රය සඳහා සහාය ගොනුකිරීමට ය. එහෙත් මෙය ආවේනිකවම ප‍්‍රතිගාමී දේශපාලනිකව බංකොලොත් පිලිවෙතක් වන අතර රුසියාව, අවසානයක් නැති භූ දේශපාලන ඝට්ටන මාලාවක පටලවයි. රුසියාවට ඒ සඳහා අවශ්‍ය ආර්ථික හා මිලිටරිමය සම්පත් ඇත්තේ නැත.

එතකුදු නොව, ධනේශ්වර පුනස්ථාපනයේ විපාක වශයෙන් අත්කරදී ඇති විනාශකාරී දිලිඳුබව සහ සමාජ අසමානතාව පිලිබඳව කම්කරු පන්තිය තුල පවත්නා ගැඹුරු අතෘප්තිය උග‍්‍රවන යුද මෙහෙයුම් වල ආර්ථික ප‍්‍රති විපාක විසින් මොලොවා ලනු ඇත. අවසාන වශයෙන්, කතිපයාධිකාරයේ ඉන්නා පුටින්ගේ වත්මන් සහචරයින්, උග‍්‍රවන තහන්චි වල බරින් මිරිකී යත්ම වඩ වඩාත් අසහනයට පත්ව, තමන්ට පවත්නා විකල්ප මොනවාදැයි යලි යලිත් තක්සේරු කරනු ඇත.

1991 දී සෝවියට් සංගමය විසුරුවාලීමෙන් පැනනැගි රුසියානු ඛේදවාචාකය, කම්කරු පන්තිය විප්ලවීය සමාජවාදී ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් සහිතව යලි නැගී සිටීමෙන් හැර අන් කිසි ආකාරකින් විසඳාලනු නැත, එය ප‍්‍රගතිශීලි පදනමක විසඳනු නැත. 1917 ඔක්තෝබර් විප්ලවයේ දේශපාලන උරුමයෙන් උද්වේගය ලබන කම්කරු පන්තියේ මහා ව්‍යාපාරයක් පමනක්ම ය රුසියානු දේශපාලනයේ දැන් පවත්නා කුමන්ත‍්‍රන - ප‍්‍රති කුමන්ත‍්‍රන සහිත විෂම වාතාවරනය ට එරෙහි ප‍්‍රතිශක්තිය ජනනය කිරීමට සමත් වන්නේ.

ඒ සමගම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ, සිතිය නොහැකි තරම් මදාවිකාර මෙහෙයුම්, ඕනෑම මොහොතක රුසියාව සමග මහාපරිමාන න්‍යෂ්ටික ඝට්ටනයක් කරා පැතිර යා හැකි වේ. එවැන්නකට කම්කරු පන්තිය තරයේ විරුද්ධ විය යුතු ය: එය අවසන් කලයුතු ය. එසේ කල හැකි වන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම මත පදම්නම් වූ කම්කරු පන්තිය පෙරමුන ගත්තාවූ නව මහා යුද- විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම මගින් ම පමනකි.

ඩේවිඩ් නෝර්ත්

Share this article: