ජවිපෙට දෙමල-විරෝධී යුද්ධය “මනස්කාන්ත දර්ශනයක්” වූ බව අනුර කුමාර දිසානායක පවසයි

කේ. රත්නායක විසිනි, 2015 මාර්තු 21

මාර්තු 6 දා අයිටීඑන් නාලිකාවේ ‘සත්‍යාගාරය’ වැඩසටහනට කැඳවනු ලැබූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක හා එම පාර්ලිමේන්තු කන්ඩායමේ නායකයා වන අනුර කුමාර දිසානායක වර්ගවාදී යුද්ධයේ ප‍්‍රමුඛ තම කසකරුවෙක් ලෙස තමන් ඉටු කල කි‍්‍රයා කලාපය ගැන මෙසේ ප‍්‍රකාශ කලේ ය.

“[එල්ටීටීඊය] යුදමය වසයෙන් පරාජය කිරීම අනිවාර්ය සාධකයක් ලෙස තිබුනා. ඒ නිසා අපේ දායකත්වයත් මැදිහත් වීමත් තිබුනා. නමුත්, අපි දකින අඩුවක් තිබෙනවා, ඒ යුද්ධයේ දී සිවිල් වැසියන් මුහුන දෙන (තත්වය) ගැන මීට වැඩිය මැදිහත් විය යුතුව තිබුනා. මුලුමහත් සමාජයක් ම යුද්ධයේ මනස්කාන්ත දර්ශනයට යම් පමනකට හැඟීම්බරව යටවීම අපටත් සැලකියයුතු ප‍්‍රමානයකට සිදුවුනා. හැබැයි අපි හැම විටම උත්සාහ කලා ඒ සමබරතාව ආරක්ෂා කරගෙන යෑමට.... අපෙන් කිසියම් අඩුපාඩුවක් වුනා නම් දෙමල ජනතාව සමග සාකච්ඡා කිරීමට එය බාධාවක් කරගත යුතු නෑ. ඒ සාධාරන අයිතිය අපට ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”

දිසානායක මෙම ප‍්‍රකාශය කලේ ඉහත වැඩ සටහන මෙහෙය වූ උපුල් ශාන්ත සන්නස්ගල යුද්ධයට හා යුද්ධයේ බර අවි යෙදවීමට පක්ෂව එවක ජවිපෙ කල ප‍්‍රකාශ ද දැන් උතුරේ මුලතිවු ප‍්‍රදේශයේ පක්ෂ කටයුතු ආරම්භ කිරීම ගැන ද මතු කල ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

ජනඝාතක යුද්ධයට සහයෝගය දී ඉහින් කනින් ලේ නාගත් ජනතා විමුක්ති පෙරමුනේ නායකයා ගොත ගසමින් පෙන්වීමට උත්සාහ කරන්නේ සිවිල් වැසියන් රුදුරු ලෙස මරා දැමීමට තමන් සම්බන්ධ වීම අහම්බෙන් සිදුවූවක් ලෙස ය. එය ද කරන්නේ නරුමාකාරයකට ය. ඔවුන් වශීවී ඇත්තේ, සිවිල් වැසියන්ට ෂෙල් වෙඩි ප‍්‍රහාර හා බෝම්බ හෙලීම් ප‍්‍රදර්ශනය වූ, රූපවාහිනී නාලිකාවල බිහිසුනු දර්ශනවලට ය. ඒවා ජවිපෙ නායකයින්ට මොන තරම් “මනස්කාන්ත දර්ශන වී ද?” ඔවුන් ඒවා දැක පී‍්‍රතියෙන් ඉපිල ගියෝය.

“මුලුමහත් සමාජයක් ම යුද්ධයේ මනස්කාන්ත දර්ශනයකට යම් පමනකට හැඟීම්බරව යට වීම” තමන්ට ද බලපෑ බව කියා අත සෝදා ගැනීමට දිසානායක තැත් කරයි. නැත. “මුලුමහත් සමාජයක්ම” සිංහල ස්වෝත්තමවාදයෙන් යට කිරීම තැත් කරමින් කි‍්‍රයා කලවුන් අතර ජවිපෙ මුල් පෙලේ සිටියේ ය. ජනාධිපති රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු යුද්ධය කරවූවන් ද විපක්ෂයේ සිටිමින් ඊට සහයෝගය දුන් එජාපයේ රනිල් වික‍්‍රමසිංහ ඇතුලු නඩය ද සමග ජවිපෙ ද මහා යුද අපරාධවලට එක සේ හවුල් වූවෝ වෙති. යුද අපරාධ හා මානව අයිතීන් ගැන කුහක ලෙස ප‍්‍රකාශ දෙන ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් ද ඉන්දියාව හා චීනය ද මේ යුද අපරාධවල කොටස්කරුවන් ය.

ලංකාවේ අනෙකුත් ධනපති පක්ෂ මෙන්ම ජවිපෙ 1983 යුද්ධය ආරම්භයේ පටන් ම එය බදා වැලඳ ගති. ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග හා රාජපක්ෂ සමග ජවිපෙට යුද්ධය ගැන “මතභේදයක්” තිබුනේ නම් එය ඔවුන් හරියට නොකරන්නේ ය යන ව්‍යාජ චෝදනාවයි. එම චෝදනාව ඉදිරිපත් කරමින් කෲර ලෙස ඉදිරියට තල්ලු කිරීමට සිංහල ස්වෝත්තමවාදය යුද්ධය ඇවිස්සීය.

රාජපක්ෂට 2005 ජනාධිපතිවරනයේ දී සහයෝගය දීමට ජවිපෙ ඉදිරිපත් වූයේ එජාපය එල්ටීටීඊය සමග ඇති කරගෙන තිබූ සටන් විරාම ගිවිසුම යලි “විමර්ශනය” කිරීමේ පොරොන්දුව, එනම් යුද්ධය යලි ඇරඹීමේ පොරොන්දුව මත ය. තමන් නැත්නම් රාජපක්ෂ යුද්ධ කරන්නේ නැතැයි ජවිපෙ නායකයෝ තවමත් පාරම්බාති. පක්ෂයේ රතු භටකාය හෙවත් මැර බලකාය හමුදාවට යුද අගල් කැනීම සඳහා මෙහෙයවන ලදි. එවක ජවිපෙ නායකයෙකු වූ විමල් වීරවංශ යුද භටයන් “දිරි ගැන්වීමේ” කතා පැවැත්වීමට මෙහෙයුම් සඳහා කඳවුරු බැඳසිටි සොල්දාදු කන්ඩායම් ඇමතීමට යැවීය.

රාජපක්ෂ ආන්ඩුවට සහයෝගය දීම 2009 වසරේ මුල දී ජවිපෙ නතර කලේ යුද්ධයේ බර පැටවීමට කෙලින්ම හවුල්වීම නිසා කෝපයට පත් මහජනයා අතර සිය පදනම් ඛාදනය වන තතු තුල ය.

එහෙත් එය යුද්ධයට සහයෝගය දීම දිගටම කරගෙන ගියේ ය. යුද්ධයේ අවසන් මාසවල රාජපක්ෂ ආන්ඩුව අවි හා මුදල් ලබාගැනීම් මගින් චීනය සමග සම්බන්ධතා තර කර ගැනීම කැපී පෙනෙන තතු තුල ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් වපර ලෙස මානව අයිතීන් කඩ කිරීම ගැන ආන්ඩුව විවේචනය කිරීම ඇරඹීය. ඒ චීනයට එරෙහි මූලෝපායක අවශ්‍යතා මත ය. විශේෂකොටම, තිරිසන් ලෙස සිවිල් වැසියන් ඝාතනය පිලිබඳව ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අවධානය යොමුවෙද්දී රාජපක්ෂ ආන්ඩුව බර අවි හා ප‍්‍රහාරක මෙහෙයුම් නතර කරන බවට 2009 අපේ‍්‍රල් 27 දා වංචනික ප‍්‍රකාශයක් නිකුත් කලේ ය.

ජවිපෙ එවක නායක සෝමවංශ අමරසිංහ, පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා හා මන්තී‍්‍ර සුනිල් හඳුනෙත්ති ද සමග කොලඹ ජාතික පුස්තකාල ශාලාවේ 2009 අපේ‍්‍රල් 28 දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මෙසේ ප‍්‍රකාශ කලේ ය:

“උතුරේ දියත් කල සංග‍්‍රාමික මෙහෙයුම් අවසන් කිරීමට රජය ගත් තීරනයත් සමග එල්ටීටීඊ සංවිධානය සහමුලින්ම විනාශ කල හැකි අවස්ථාවක එය සිදු නොකරන්නේ නම් ආන්ඩුව කරන්නේ ඓතිහාසික වරදක් වගේම රටේ ජනතාවටත් ආරක්ෂක හමුදාවලටත් දෝහී වීමක්.”

ආන්ඩුව යුද මෙහෙයුම නතර කලා නොවේ. ඉන් සතිතුනකට පසු සාමාන්‍ය වැසියන් දස දහස් ගනනක් මරා දමමින් එල්ටීටීඊය පරාජය කර යුද්ධය අවසාන කලේ තවත් තුන් ලක්ෂයක් දෙමල ජනයා සමූහ කඳවුරුවල සිර කරමිනි. ජවිපෙ ඊට ද සහයෝගය දුනි.

වර්ගවාදී යුද්ධයට ද උතුරු නැගෙනහිර හමුදා වාඩිලා ගැනීමට ද ස්ථිරසාරව විරුද්ධ වෙමින් සිංහල-දෙමල-මුස්ලිම් කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් බලමුලුගැන්වීමට සටන් කල සමාජවාදී සමානතා පක්ෂය යුද්ධයේ අවසන් දිනවල දී සාපරාධී කි‍්‍රයා හෙලිදරව් කිරීමට සටන් කලේ ය.

අමරසිංහ ආන්ඩුවේ ව්‍යාජ ප‍්‍රකාශය විවේචනය කරමින් බර අවි යොදා ගෙන මිලිටරි ප‍්‍රහාරය දිගටම ගෙන යන ලෙස උද්ඝෝෂනය කරන විට ඊට විරුද්ධ ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ “යුද මුක්ත කලාපයට ශී‍්‍රලංකාවේ මිලිටරිය ෂෙල් වෙඩි දැමීම අඛන්ඩව සිදු කරයි” යන හිසින් 2009 අපේ‍්‍රල් 30 දා ලියූ ලිපියක සසප මෙසේ සඳහන් කලේය: “ජාත්‍යන්තර පීඩනයට යට වෙමින් එල්ටීටීඊ නායකයන්ට සමාව දීමට සූදානම් වන්නේ යයි ජනතා විමුක්ති පෙරමුන අඟහරුවාදා දෝෂාරෝපනය කලේ ය. ආන්ඩුව වෙඩි නැවැත්වීමක් ප‍්‍රකාශ කර ඇතැයි යනුවෙන් ද ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ පැවසීය. යුද්ධය යලි අරඹන ලෙසට ඉල්ලීමේ පෙරමුනේ ම සිටි ජවිපෙ සිංහල වර්ගවාදී කොටස් තමන් වෙත තබා ගැනීමට දැනුවත්ව ම ආතතීන් අවුලුවන්නේ ය.”

“යුද්ධය කුලු ගැන්වෙද්දී ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව වර්ගවාදී උන්මාදය උසිගන්වයි” යන මැයෙන් මැයි 8දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල ලිපියක අපි මෙසේ සඳහන් කලෙමු:

“ජනතා විමුක්ති පෙරමුන ‘සංග‍්‍රාම මෙහෙයුම් සඳහා බර අවි යොදා ගැනීම අවසන් කරන්නේ ය'යි ආන්ඩුව කල ප‍්‍රකාශයක් හෙලා දුටුවේ ය. මෙම ප‍්‍රකාශ අන් ප‍්‍රකාශ මෙන්ම බොරුවකි. එසේ වුව ද, රාජපක්ෂ ජාත්‍යන්තර පීඩනයට යටවී ඇතැයි ප‍්‍රකාශ කිරීමට ජවිපෙට එය බාධාවක් නොවී ය.”

ලෝක අවපාතය සමග බැඳී යුද්ධයේ බර මහජනතාවන් මත පැටවීමට යුද්ධය අවසානයේ ආන්ඩුව හැරෙනු ඇතැයි අනතුරු ඇඟවූ එම ලිපිය මෙසේ ප‍්‍රකාශ කලේ ය: “දැන් ගෙන යන (යුද) උන්මාදය කම්කරු පන්තියට එරෙහිව නව ආර්ථික යුද්ධයක් දියත් කිරීමේ දී යොදා ගැනෙන විධික‍්‍රම පිලිබඳ තියුනු අනතුරු ඇඟවීමකි. අලුත් “ත‍්‍රස්තවාදීන්” වනු ඇත්තේ වැඩ වර්ජනය කරන කම්කරුවන්, විරෝධතාවල යෙදෙන සිසුන් හා පෙලපාලි දක්වන ගොවීන් ය.

“පෙර දින දෙමල ජනයාට එරෙහිව පාවිච්චි කල පොලිස් රාජ්‍ය පියවර සමස්තයක් ලෙස වැඩකරන ජනයා මතට එල්ල වනු ඇත. සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ නව මහා පක්ෂයක් නිර්මානය කිරීමෙන් ම පමනකි, වැඩ කරන ජනයාට තමන්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් රැක ගත හැක්කේ.”

යුද්ධය අවසන් වී දැන් අවුරුදු හයකට ආසන්න ය. මෙම අනතුරු ඇඟවීම් සනාථ වී ඇත.

ජවිපෙ දැන් අධිරාජ්‍යවාදීගේ කඳවුරට ගාල් වී තවත් පල්ලමට බැස ඇත. ඇමරිකන් ගැති සිරිසේන -එජාප ආන්ඩුවේ හවුල් කරුවන් ලෙස ජාතික විධායක සභාවේ ඉහලම කෙරුමෙක් වී සිටින ජවිපෙ හා දිසානායක “සමබර” විදේශ ප‍්‍රතිපත්තියක් සඳහා අධිරාජ්‍යවාදී බලයන් වෙත ලඟාවී සිටියි. මානව අයිතීන්, යහ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොර උපාසකයන්ගේ අලුත් නවගුනවැල ය. දෙමල ජනයාගෙන් ඔවුන් ඉල්ලන්නේ පැරනි කතා අමතක කර තමන් ලං කර ගන්නා ලෙස ය.

1971 අපේ‍්‍රල් කැරැල්ලෙන් පසු තමන් මෙන්ශේවිකයන්ව සිට වැරදි කල බව කියා සමාව ඉල්ලා යූඇන්පිය වෙත ඇදී ගිය ජවිපෙ යුද ගිනි අවුලන ලෙස බල කරමින් 1987-1989 ෆැසිස්ට් කැරලි මගින් කම්කරුවන් හා දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් ඝාතනය කල අතර ඒ ගැන ස්වයං විවේචනයක යෙදෙන බවට පචයක් ඇද බාමින් දේශපාලන කරලියට යලි අවේ ඞී. බී. විජේතුංග - චන්ද්‍රිකා කුමාරතුංග ආදී හිටපු ජනාධිපතියන්ගෙන් වාරුව ලබමිනි.

ඔවුන්ට පැවරුනු කාර්යය වූයේ කුනුවූ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට එරෙහිව කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගේ විරෝධය වලකා ලන ආරක්ෂක ඉපියාවක් ලෙස සේවය කිරීමයි. ජවිපෙ එය මනාව ඉටු කලේ ය.

දෙමල ජනයාට පරන කතා අමතක කරන ලෙස ඉල්ලමින් පසු ගියමස 18 දා යුද්ධයේ බිහිසුනු අවසන් ජනඝාතන සිදුවූ මුලතිවු ප‍්‍රදේශයේ ජවිපෙ දිස්ති‍්‍රක් කාර්යාලයක් විවෘත කෙරිනි. ඒ පිලිබඳව උජාරුවෙන් වාර්තා කරන ජවිපෙ වෙබ් අඩවිය “ජවිපෙ සහෝදරවරුන් කන්ඩායමක් පක්ෂයට සහයෝගය ලබා ගැනීමට රාජ්‍ය ආයතන ඇතුලු විවිධ තැන්වලට” ගිය බව සඳහන් කරයි. මේ “රාජ්‍ය ආයතන” අතර මිලිටරි කඳවුරු ද පොලිස් ස්ථාන ද පැවතුනි.

“බෞද්ධ විහාරවල භික්ෂූන්, පල්ලිවල හා කෝවිල්වල පූජකවරුන් ජවිපෙ නායකයන් උනුසුම්ව පිලිගත් අතර ප‍්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෝ ද දිස්ති‍්‍රක්කයේ දේශපාලන වැඩ කටයුතු වල නිරත වීම ගැන සතුට ප‍්‍රකාශ කලහ.” වාර්තාව තව දුරටත් කියා සිටී.

පොලිසිය ද හමුදාව ද බෞද්ධ භික්ෂූන් ද අනෙක් ප‍්‍රතිගාමී සංස්ථාපිතයන් ද ඉමහත් සතුටට පත්වන්නට ඇති බව සැක නැත. සිංහල ස්වෝත්තමවාදයේ අධිකාරය යොදා ගනිමින් මර්දනකාරී හමුදා වාඩිලාගැනීම් පවත්වා ගැනීමට ජවිපෙ පැමිනීමෙන් ඉහලම පිටුබලයක් ලැබෙන බව ඔවුන් දන්නා නිසා ය.

Share this article: