සහන නය මුදල සඳහා ශ‍්‍රී ලංකාවේ ඉල්ලීම ජාමූඅ ප‍්‍රතික්ෂේප කරයි

IMF rejects Sri Lankan request for loan bailout

සමන් ගුනදාස විසිනි, 2015 මාර්තු 20

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ලබාගත් ඉහල පොලී අනුපාත සහිත චීන නය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ශ‍්‍රී ලංකා ආන්ඩුව විසින් ඉල්ලා සිටින ලද ඇමරිකානු ඩොලර් බිලියන 4 ක සහන නය මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ප‍්‍රතික්ෂේප කලේය.

ටොඩ් ෂ්නයිඩර්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාමූඅහි ඊනියා පසු-වැඩසටහන් සමීක්ෂන දූත පිරිස ශ‍්‍රී ලංකා ආර්ථිකය පිලිබඳ දින නවයක “විමර්ෂනයකට” පසු, මාර්තු 4 දා කොලඹදී තීරනය දැනුම් දුන්නේය. මේ වසරේ ඉලක්කගත අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.4 ක මට්ටමේ පවත්වා ගන්නා ලෙස ජාමූඅ අවධාරනය කලේය.

පසුගිය මාසයේදී මුදල් ඇමති රවි කරුනානායක ජාමූඅහි ප‍්‍රධානී ක‍්‍රිස්ටීන් ලගාඩ් සමග වොෂින්ටන් හිදී පැවති හමුවීමෙන් අනතුරුව සිදු කෙරී ඇති නය ඉල්ලීම කෙලින්ම ප‍්‍රතික්ෂේප කිරීම කම්කරුවන් හා දුගීන් මත දැඩි කප්පාදු වැඩ පිලිවෙලක් පැටවීමට හේතුවනු ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 4 ක නය මුදල සේම, ජාමූඅ නය වාරික ගෙවීම් පමාකිරීම සඳහා ද කරුනානායක ඉල්ලීම් කලේය.

“ජාත්‍යන්තර ආශීර්වාදය යහමින් ලැබෙන බැවින් අපට ජාමූ අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් සියයට 0.5 පොලී අනුපාතයට නය ලබා ගැනීමට හැකියාව ඇතැයි,” වොෂින්ටන් සාකච්ඡාවෙන් පසු කරුනානායක මාධ්‍ය වෙත පැවසීය.

කෙසේ වුවද, සහන නය මුදලක් සඳහා අවශ්‍යතාවයක් නැතැයි ෂ්නයිඩර් මාර්තු 4දා කොලඹදී මාධ්‍යයට පැවසු විට, මුදල් ඇමතිගේ මුලාව ඉක්මනින් සුනු විසුනු වී ගියේය. ශ‍්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය “පහසු” ස්ථාවර මට්ටමක පවතින බව පැවසු ඔහු ගෙවුම් ශේෂ අර්බුදයකින් ගැලවීමට පසුගිය ආන්ඩුව එජ ඩොලර් බිලියන 2.6 ක සහන නයක් ලබාගත් 2009 වසර සමග සැසඳූ විට අද තත්වය වෙනස් බව කියා සිටියේය. තත්වය නැවත විමර්ෂනය කල හැකි බව ෂ්නයිඩර් පැවසු අතර, ඉහල මට්ටමක වානිජ නය අඩංගු වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව බාහිර කම්පනවලට භාජනය වියහැකි අනතුරුදායක තත්වයක පවතින බවට ජාමූඅ පසුගිය වසෙර් අනතුරු ඇඟවීය.

ජාමූඅ සහන නය මුදල ප‍්‍රතික්ෂේප කිරීමේ සත්‍ය හේතුව ශ‍්‍රී ලංකාවේ විදෙස් සංචිත වල “පහසු” තත්වය නොවන නමුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ‍්‍රාම දීමනා ඉහල දැමීම, සහ සුභ සාධන වියදම්වල සීමිත ඉහල යෑම වැනි පොරොන්දු ඇතුලත් ආන්ඩුවේ අයවැය සමග ඊට පවතින නොඑකඟතාවයි.

“වැටුප් වැඩිකිරීමෙන් ඉහල ගිය වියදම් හා දුර්වල බදු එකතුකිරීම් නිසා, සියයට 4.4 ක අයවැය හිඟ ඉලක්කය තබා ගැනීම” ශ‍්‍රී ලංකා ආන්ඩුවට අසීරු බව ෂ්නයිඩර් පැවසීය. රටෙහි ඵලදායීතාව සහ තරගකාරිත්වය වැඩිදියුනු කිරීම සහ “ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන” වල අවශ්‍යතාවද ඔහුගේ අවධාරනයට බඳුන් විය. වෙනත් වචනවලින් පැවසුවොත්, රාජ්‍ය ආයතන වඩ වඩාත් පෞද්ගලීකරනය කිරීමේ සහ ශ‍්‍රී ලංකාවේ ලාබ ශ‍්‍රම බලකාය සූරා කෑම තීව‍්‍ර කිරීමේ අනෙකුත් පියවරයන්ද අවශ්‍ය බවය.

ආදායමෙහි කිසියම් අඩුවීමකට මුහුන දීමට හදිසි වැඩපිලිවෙලකට සුදානම් වන ලෙස, ජාමූඅ සිරිසේන ආන්ඩුවට අවධාරනය කලේය. තෝරාගත් ආහාර වර්ග කීපයක ආනයන බදු අර්ධ වශයෙන් අඩු කිරීම හා සමාගම්, විදුලි සංදේශ අංශය, මත්පැන් නිෂ්පාදකයන් ආදීන්ගේ සුපිරි ලාභ මත හා අලුතෙන් සාදන ලද විශාල නිවාස මත එක් වරකට අය කරන බදු පැනවීම සම්බන්ධව ද ජාමූඅ තම අප‍්‍රසාදය පල කලේය. මෙම එක් වරකට අය කරන බදු ක‍්‍රියාමාර්ග, “වඩා ඵලදායී බදු ක‍්‍රමයක් වෙත පියවර තැබීමක් සංස්ථාපනය නොකරන බව” ෂ්නයිඩර් පැවසීය.

රාජපක්ෂගේ ඇමති මන්ඩලයෙන් ඔහුගේ ඉවත්වීමෙන් පසුව ජනාධිපති ලෙස සිරිසේන ගේ පත්වීම සඳහා වූ මැතිවරන ව්‍යාපාරයේදී, එක්සත් ජනපද (එජ)-ගැති එක්සත් ජාතික පක්ෂයද ඇතුලත් විවිධ විරුද්ධ පක්ෂවල සහයෝගය ඔහුට ලැබුනි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගද ඇතුලත් වොෂින්ටනයේ අනුග‍්‍රහය ලද මෙම ශ‍්‍රී ලංකා පාලන තන්ත‍්‍රය වෙනස්කිරීමේ එක්සත් ජනපද සම්බන්ධය පිලිබඳ තන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුමෙහි එල්ලය වූයේ, චීනයට එරෙහිව එජ “හැරීම” සමග එක පෙලට කොලඹ පුර්න ලෙස ගෙන ඒමයි.

ඔහු බලයට පැමිනියෙහාත් “දින සියයේ” ප‍්‍රතිසංස්කරන වැඩපිලිවෙලක් හඳුන්වා දෙන බවට සිරිසේන චන්දදායකයන්ට පොරොන්දු විය. නව රජය ජුනි මාසයේදී පාර්ලිමේන්තු මැතිවරනයකට මුහුන දෙන අතර, මහජන සහයෝගය දිනාගැනීම සඳහා තමන්ගේ මෑතකාලීන අයවැය විධි විධානයන් පාවිච්චිකරන්නට උත්සාහ ගනිමින් සිටී.

පෙබරවාරි සිට රු. 5,000 ක දීමනාවක් හා ජූනි සිට තවත් රු. 2,000 ක දීමනාවක් සමග රාජ්‍ය සේවකයන් සඳහා රු. 10,000 ක වැටුප් වැඩිකිරීමක් ආන්ඩුව පොරොන්දු විය. සමහර ආහාර වර්ගවල බදු අඩුකල නමුදු, වඩාත් අත්‍යාවශ්‍ය ප‍්‍රධාන ආහාරය වන හාල් මිල ගනන් ඉහල ගොස් ඇත. (බලන්න: නව ශ‍්‍රී ලංකා ආන්ඩුව මැතිවරන අයවැයක් ගෙන එයි

ශ‍්‍රී ලංකාවේ නය තත්වය රටෙහි ඇ. ඩො. බිලියන 60 ක් වන ආර්ථිකයෙන් සියයට 88.9 කට සමාන බව, එනම් 2013 දී සියයට 78.3 ක් ව පැවති නයට දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතය නාටකාකාරව ඉහල යාමක් බවද, ජාමූඅ පෙන්වා දුනි.

පසුගිය මාස හය තුල රුපියෙලහි අගය ආරක්ෂාකිරීමට විදේශ විනිමය වෙලඳපොල තුල මහ බැංකුවේ මැදිහත්වීමෙහි සැර බාල කල යුතු බවද ජාමූඅ පැවසීය. “මැදිහත්වීම අධික කෙටි කාලීන චංචලතාවයන් සමග ගනුදෙනු කරන්නට පමනක් සීමා කලයුතුයැ ”යි ෂ්නයිඩර් පැවසීය.

ගිය ජනවාරියේදී ඩොලරයට සාපේක්ෂව රුපියෙලහි අගය 129 සිට 135 දක්වා පහත වැටුනු අතර දිගටම පවතින පහලට තෙරපීම සමග දැනට 132 රැඳී තිබේ. මහ බැංකුවේ මැදිහත්වීම් මගින් ජුනි මාසෙය්දී එජ ඩොලර් බිලියන 9.2 ක් වු විදේශ මුදල් සංචිත ගිය මාසයේදී ඩොලර් බිලියන 7 දක්වා කපා හැරුනේය.

විනිමය අනුපාතය මත මෙම පීඩනය එල්ල වන ප‍්‍රධානම හේතුව නම් ශ‍්‍රී ලංකාවේ භාන්ඩාගාර බැඳුම්කර මත ආයෝජනය කර ඇති අන්තර්ජාතික සමපේක්ෂකයන් ඒවා විකුනමින් වැඩි ලාබදායී වෙලඳපොලවල ආයෝජනය කිරීමය. ශ‍්‍රී ලාංකීය බැඳුම්කර වෙලඳපොලෙහි ප‍්‍රධාන විදේශ ආයෝජකයන් වන්නේ එක්සත් ජනපද ආයෝජකයන්ය.

මුදලේ අගයේ ප‍්‍රබල ඇදවැටීමකින් හා සීඝ‍්‍රව බඩු මිල ඉහල යාමෙන් කම්කරු පන්තිය හා ගම්බද දුගීන් අතර උත්සන්න වන අන්ඩු-විරෝධී කලකිරීම වලක්වාගැනීමට පෙර පැවති රාජපක්ෂ ආන්ඩුව සහ වර්තමාන සිරිසේන ආන්ඩුව ශ‍්‍රී ලංකා රුපියලට මුක්කු ගසන්නට මැදිහත් විය.

සහනදායී නය මුදලක් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කිරීමට ජාමූඅ ප‍්‍රතික්ෂේපකිරීම රාජ්‍ය නය තවදුරටත් ඉහලයාමට හා තව දුර යන සමාජ කප්පාදු ක‍්‍රියා මාර්ග සඳහා නියමයන් තීව‍්‍ර කිරීමට මග පාදනු ඇත.

ප‍්‍රමුඛ පෙලේ ශ‍්‍රී ලාංකික ආර්ථික විශේෂඥෙයක් වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෑතකදී කොලඹ පැවති සමුලුවකදී පැවසුවේ, “එම සහනශීලී (ජාමූඅ) මුදලට ප‍්‍රවේශයක් නැතිවීමත් සමග, ශ‍්‍රී ලංකාව දැන් වඩාත් දරුනු හා පීඩක පරීක්ෂාවන්ට ලක්වීමේ විභවය සහිත ජාත්‍යන්තර වෙලඳ පොලේ වානිජමය පොලී අනුපාත මත නය ලබාගන්නට, එනම් රට සංවර්ධනය දිශාවට නොව ආබාධ සහිත නය උගුලකට දැන් තල්ලු කර දමමින් තිබේ” යනුවෙනි.

ශ‍්‍රී ලංකාවට “සුභ සාධන රාජ්‍යය” තව දුරටත් දරා ගත නොහැකි බව ප‍්‍රකාශ කරමින්, ආන්ඩුවේ රාජ්‍ය අංශයේ වැටුප් ඉහල දැමීම් හා වෙනත් සුලු සහනදීම් වෙත කුමාරස්වාමි ප‍්‍රහාර එල්ල කලේය.

ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය “සාපේක්ෂව ශක්තිමත්” යැයි ප‍්‍රකාශ කරමින්, එය මේ වසරේ සියයට 6ක් හෝ 7 ක් වනු ඇති බවට ජාමූඅ අනාවැකි පල කලේය. කෙසේ වුවද, මෙම වර්ධනය යටිතල ව්‍යාපෘති, සංචාරක ව්‍යාපාරය හා රට රැකියාවල නිරත ශ‍්‍රී ලාංකිකයන් එවන මුදල් මත ප‍්‍රධානව රඳා පවතින අතර මෙම අංශ ගෝලීය ආර්ථිකය හා ජාත්‍යන්තර භූ-දේශපාලනික පීඩනයන්ට සියුම් ලෙස සංවේදී වේ.

සිරිසේන ආන්ඩුව තම විදේශ ප‍්‍රතිපත්තියේ දිශානතිය වෙනස්කිරීම සහ ඉන්දියාව හා එක්සත් ජනපදය සමග තම සම්බන්ධතා තර කර ගැනීම නිසා, බීජිං හා කොලඹ අතර ආතතීන් ඉහල යමින් පවතින අතර ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සංකීර්න වෙමින් තිබේ. චීනය විසින් මුදල් යොදවන දැවැන්ත ඩොලර් බිලියන 1.4 ක කොලඹ වරාය නගර ව්‍යපෘතිය රජය විසින් තාවකාලිකව අත් හිටවු විට, මෙම තත්වය ඉස්මතු විය. පසුගිය වසර පහ තුල චීනය ශ‍්‍රී ලංකාවේ යටිතල ව්‍යුහයන් හා වෙනත් සංවර්ධන කටයුතුවලට ඩොලර් බිලියන 5 ක් ආයෝජනය කලේය. මේ ව්‍යාපෘති නවත්වා දැමීමෙන් ශ‍්‍රී ලංකා ආන්ඩුවේ අර්බුදය උග‍්‍ර වනු ඇත.

ජූනියේදී පැවැත්වෙන මැතිවරනයට පසුව බලයට පැමිනෙන මොනයම් හෝ පක්ෂ සන්ධානගත ආන්ඩුවක් වුවද ජාමූඅ විසින් අවධාරනය කෙරෙන උග‍්‍ර සමාජ කප්පාදු වැඩපිලිවෙලක් ක‍්‍රියාවට නංවනු ඇත.

Share this article: