දූෂිත ජලයෙන් පීඩා විඳින වැලිවේරිය මහජනතාව සසප වැඩ පිලිවෙල සාකච්ඡා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 මාර්තු 17

වැලිවේරිය ප‍්‍රදේශයේ ජල දූෂනයට එරෙහිව, 2013 අගෝස්තු 1 දින, පලාත්වාසීන් සිදුකල උද්ඝෝෂනයට දරුනු හමුදා ප‍්‍රහාරයක් එල්ල කොට තිදෙනෙකු ඝාතනය කල රාජපක්ෂ ආන්ඩුව, ජල දූෂනයට හේතුවූ වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වැලිවේරියෙන් ඉවත්කර බියගම ප‍්‍රදේශයේ පිහිටුවා ප‍්‍රශ්නය යටගැසීමට කටයුතු කල නමුත් දූෂනයෙන් සහ හමුදා ප‍්‍රහාරයෙන් පැන නැගුනු කිසිදු ප‍්‍රශ්නයක් විසඳී නොමැති තතු තුල යලි මහජන විරෝධය නැගෙමින් ඇත.

මාර්තු 5 දින පලාතේ උද්ඝෝෂනයේ යෙදුන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නියෝජිතයන්ට එම මහජනයා කියා සිටියේ සසප අවධාරනය කල ලෙසම කර්මාන්ත ශාලාව ඉවත් කිරීමෙන් කිසිදු ප‍්‍රශ්නයක් විසඳී නොමැති බවයි. බොහෝ අයට තවමත් පිරිසිදු ජලය නොලැබෙන බවත් මිලිටරි වෙඩි තැබීමෙන් පීඩාවට පත් පුද්ගලයන් හා පවුල් අසරනව සිටින බවත් ඔවහු පැවසූහ.

මෙම විනාශයට වගකිවයුතුවූ රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතිවරයෙකු සිටි වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද, එක්සත් ජාතික පක්ෂය ද (එජාප), නව ජනාධිපති ප‍්‍රමුඛ ආන්ඩුවට ආවඩන ජනතා විමුක්ති පෙරමුන හා ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මෙම මහජන විරුද්ධත්වය ගසාකමින් මහජනයා නොමග යැවීමේ උත්සායයක යෙදී සිටිති. ඔවුනගේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ සමාජවාදී වැඩපිලිවෙලින් මහජනයා සන්නද්ධ වීම වැලැක්වීම ය.

ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමටම අයත් වැලිවේරිය වෙනිග්‍රොස් හා තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලා වලින් සිදුකල ජල දූෂනය පිලිබඳව හා ඊට එරෙහි මහජන උද්ඝෝෂනයන්ට එල්ල කල මිලිටරි පොලිස් ප‍්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් සිදුකල සසප, 2014 ජූලි මාසයේදී පොලිස් මැදිහත්වීම් තිබියදීම මහජන සහයෝගය ලබමින් තම නිගමන ප‍්‍රකාශයට පත් කලේය.

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (ස්කපක) මාස හයක කාලයක් පුරා කල පරීක්ෂනයකින් පසුව ඔප්පු කරනු ලැබූයේ නිසි ආකාර ප‍්‍රතිකාරක පද්ධතියක් නොමැතිව අපජලය පරිසරයට මුදාහල මෙම කර්මාන්ත ශාලා ජල දූෂනයට වගකිව යුතු බවය.

තවද ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ඇනවුම් මත නිදහස් වෙලඳ ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරමින් ඉහත ආයෝජකයන් ආරක්ෂා කල රාජපක්ෂ ආන්ඩුව එලැඹෙමින් පවතින කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල තලා දැමීමේ අත්හදා බැලීමක් ලෙස වැලිවේරියේ දී මිලිටරිය යොදා නිරායුද මහජනතාවට වෙඩි තබා මිනිස් ජීවිත තුනක් බිලිගත් බවත් කමිටුව නිගමනය කලේය.

ලාභය සඳහා නිශ්පාදනය සිදු කෙරෙන ධනේශ්වර පද්ධතියක් තුල කාර්මික දූෂනය නතර කල නොහැකි බවත් එය සිදු කල හැක්කේ ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමේ ශක්‍යතාව ඇති එකම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වී සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීම සඳහා නායකත්වය ගෙන සටන් කලහොත් පමනක් බව ද කමිටුව අවධාරනය කලේය. (කියවන්න: විද්‍යාත්මක සාක්ෂි, දත්ත, තොරතුරු සහ නිගමන පිලිබඳ වාර්තාව)

අද තහවුරු කෙරී ඇත්තේ ස්කපක ඉදිරිපත් කල නිගමන නිවැරදි බවය. මහජනතාව සමාජවාදී වැඩපිලිවෙල යටතේ සංවිධානය විය හැකියයි භීතියට පත්වී සිටින පාලක පන්තිය හා ව්‍යාජ වාම පක්ෂ නොයෙක් මාදිලියෙන් මහජනතාව මුලා කිරීමේ වැඩට බැසගන සිටිති.

“පොදු ජනාධිපති අපේක්ෂක” ලෙස ඉදිරිපත්වූ සිරිසේන පසුගිය දෙසැම්බර් 25 දින රතුපස්වල සංචාරයක යෙදී තමාගේ වගකීම වසා ගනිමින් කියා සිටියේ මහජනතාවට විශාල අසාධාරනයක් වූ බවත් තමා ජනාධිපති ලෙස බලයට පත්වී මාස තුනක් ඇතුලත සියලු ප‍්‍රශ්න විසඳන බවත්ය. කාර්මික දූෂනයට වග කිව යුතු ආයෝජකයන් හා ධනේශ්වර ක‍්‍රමය මෙම දූෂනයට වග කිව යුතු බව ඔහු මහජනතාවගෙන් වසන් කලේය.

මෙම තත්වය ගසා කෑම සඳහා යලිත් ඉදිරිපත්ව ඇති එජාපට සම්බන්ධ ප‍්‍රමිත හෙට්ටිආරච්චිගේ සියනෑ ජලය සුරැකීමේ සංවිධානය ආන්ඩුවට බලපෑම් දමීමේ උද්ඝෝෂනයන්ට ඔවුන් මෙහයවමින් රතුපස්වල හන්දියේ ජනවාරි 25 දින උද්ඝෝෂනයක් සංවිධානය කලේය. එතැනට පැමිනි මහජන සාමය හා ආපදා කලමනාකරන ඇමති ජෝන් අමරතුංග විධිමත් පරීක්ෂනයක් පවත්වන බවට බොරු පොරොන්දුවක් දී මහජනතාව නිහඬ කිරීමට ප‍්‍රයත්න දැරීය.

මොවුන්ගේ අරමුන වන්නේ කර්මාන්ත ශාලා අයිතිකරුවන්ද ධනේශ්වර ක‍්‍රමයද ආරක්ෂා කිරීම සඳහා පැන නැගෙන මහජන විරෝධය යටපත් කිරීම ය. පෙර කර්මාන්ත ශාලාව පලාතෙන් ඉවත් කිරීම ජයග‍්‍රහනයක් ලෙස හැඳින්වූ මෙම සංවිධානය මහජන අරගලය මධ්‍යයේදී කම්හලේ කම්කරුවන් හා මහජනයා භේද කිරීමට කටයුතු කලේය.

ජවිපෙ නායක අනුර දිසානායක පෙබරිවාරි 5 දින පාර්ලිමේන්තුවේදී වැලිවේරියේ මිලිටරි වෙඩි තැබීම “එල්ටීටීඊයට එරෙහි යුද මෙහෙයුම් වලට සමාන බව” පවසමින් සිද්ධිය පිලිබඳව සොයා බැලීම සඳහා කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා සිටියේ ය. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඊට එකඟවූ බවද වාර්තාවිය.

30 වසරක වර්ගවාදී යුද්ධය සඳහා පූර්න සහයෝගය දුන් ජවිපෙ එම හමුදාව කම්කරු පීඩිතයන්ට එල්ල කරනු ලබන මෘග ප‍්‍රහාරයන්හි වගකීම දරයි. යුද කාල පරිච්ජේදයේදී ජවිපෙ තුල සිට ඊට සහය පිදූ පෙසපයේ නායක කුමාර් ගුනරත්නම් ද වැලිවේරිය සිදුවීම පිලිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා තිබුනි. මෙම අලුගෝසුවන් “කොමිසමක්” ඉල්ලා සිටින්නේ වැලිවේරිය ජනතාවගේ යලි නැගිටීමක් වලක්වා ගැනීමටයි.

එවන් කොමිසමකින් සිදු කෙරෙනු ඇත්තේ, ආයෝජකයන්ගේ ලාභ ආරක්ෂා කරදීම සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් පිරිසිදු ජලය ඉල්ලූ මහජනයාට වෙඩි තැබු බව වහංගු කිරීම සහ කම්හල් හිමියන් කාර්මික දූෂනයට වගකිවයුතු බව යට ගැසීමය.

ලාභ ලැබීමේ ධනේශ්වර ක‍්‍රමය යටතේ මහජන ජීවිත සුරක්ෂිත කල නොහැක. ජවිපෙ ඇතුලු පාලක පන්තියේ කොටස් උත්සාහ දරන්නේ ධනේශ්වර ආන්ඩු ද ආයෝජකයන් ද ආරක්ෂා කිරීමටය.

වැලිවේරිය ප‍්‍රදේශයේ හමුදා වෙඩි තැබීම නිසා තම උකුල් ප‍්‍රදේශයට හානි සිදුවූ හා සිද්ධිය ඇසින් දුටු පදිංචිකරුවෙකු වන මෙලන් පෙරේරා අප වාර්තා කරුවන්ට මෙසේ කීවේය. “වෙඩි තැබීම නිසා දැන් මම ආබාධිතයෙක් වෙලා. අත් වාරුව නැතුව මට ඇවිදින්න බෑ. මගේ ත‍්‍රීවීල් එකත් ෆිනෑන්ස් එකෙන් උස්සන් ගියා. මට හරිහැටි වන්දියක් හම්බ වුනේ නෑ. තුවාල වෙච්ච තවත් බොහෝ අය ඉන්නවා කිසිම සාධාරනයක් නැතුව.

“ගෙදර ඉඳන් මම ඇඳුම් මහන එක තමයි කරන්නේ. හිටපු ආන්ඩුව වතුර දෙනවයි කිවුවට මේ දක්වා අපිට වතුර දීල නෑ. තැනින් තැන බට දාල තියෙනවා, හැබැයි ඒකත් කිසිම පිලිවෙලකට නෙවෙයි. ෆැක්ටරිය තිබුනු ස්ථානය අවට අයට පමනක් වතුර දීල තියෙනවා. ප‍්‍රදේශයේ භූගත වතුර දූෂනය වීමට එරෙහිව කොම්පැනියට කිසිම දඬුවමක් නෑ. පරීක්ෂන වාර්තා කිසිවක් තාම එලියට දාලත් නෑ.

අලුත් ආන්ඩුව ආවත් මේ කිසිම දෙයක් තවම ඉෂ්ට වෙලා නෑ. මේ කිසිම ආන්ඩුවක් විශ්වාස කරන්න බෑ. යූඑන්පී එකේ ප‍්‍රමිත හෙට්ටිආරච්චිගේ සියනෑ ජල සුරකීමේ සංවිධානයෙන් අපිට කිසිම විසඳුමක් ලැබුනෙ නැහැ.“ඔහු සසප වැඩපිලිවෙල හැදෑරීමටත් එයට සහාය දීමටත් අවශ්‍යබව කියා සිටියේය.

තවත් පදිංචිකරුවෙක් පැවසූයේ ජල දූෂනය මිලිටරි ප‍්‍රහාරය “ඔය ඔක්කොම යට කරලයි තියෙන්නේ දැන් ඔය ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙක් කොමිසමක් පත් කරන්න කතා කරනවා. එයත් ඕවා යට ගහන්න තමා කතා කරන්නේ. කිසි කෙනෙක් විශ්වාස නැහැ. ඔය මොනවා කලත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.”

මිලිටරි ප‍්‍රහාරයෙන් මියගිය ශිෂ්‍යයකුවූ අකිල දිනේශ් ගේ නිවස ඉදිරිපිට පදිංචි කෙනෙක් ආන්ඩුවේ තර්ජන හේතුවෙන් අකිලගේ දෙමව්පියන් නඩුවේ දී සාක්කි නොදුන් බවද ඔවුනට සාධාරනයක් ඉටු නොවූ බවද පැවසීය.

“අලුත් ආන්ඩුව මේ සම්බන්ධව කොමිසමක් පත් කරන්නේ රජයේ ඇඟ බේරගන්න. රජයේ ඉහල නිලධාරීන්ගේ බේරුමට මිසක් මහජනතාවගේ ආරක්ෂාවට නෙවෙයි.” යයිද “අපට විසඳුමක් ලැබෙන පාටක් නැහැ.” යනුවෙන්ද කියා සිටියේය.

ගෘහනියක් කියා සිටියේ “තම පුතාට වෙඩි වැදී දැන් රැකියාවක් කරන්න බැහැ. ලමයි හතර දෙනෙක් ඉන්නවා. අපිට වතුර ලැබී නැහැ. වතුර ඉල්ලන්න ගිහින් අන්තිමේට ජීවිතත් නැතිවුනා.” යනුවෙනි.

ඇය තවදුරටත් මෙසේ පැවසීය. “පල්ලියේ පූජක තුමා පැවසුවා ශුද්ධ වතුර ලිඳට දාල විශ්වාසයෙන් බොන්න කියලා. අපි දැන් එහෙම බොනවා. ගිය සුමානෙ රතුපස්වල පැවති උද්ඝෝෂනයට ඇමතිවරුත් ආවා. අපිට විශ්වාසයක් නැහැ. තිබුන ආන්ඩුවත් මේ ආන්ඩුවත් දෙකම එකයි.”

පිරිසිදු ජලය ලැබී නොමැති බව විස්තර කල බැකෝ රියදුරෙකු මෙසේ පැවසීය: “සසප කරපු පරීක්ෂනය බොහොම හොඳයි. පිරිසිදු ජලය ලබාගැනීමට, ජාතික ප‍්‍රශ්නය විසඳීමට හා රැකියා ප‍්‍රශ්නය විසඳීමට හැකි වැඩපිලිවෙලක් තමයි අවශ්‍ය.”

Share this article: