වැඩ වේගවත් කිරීම් සහ කප්පාදුවලට එරෙහිව දික්වැල්ල වතුකම්කරුවන් වර්ජනයේ

ආර්.එම්. ගුනතිලක සහ එස්.කේ. අයිරාංගනී විසිනි, 2015 මැයි 25

දිනකට කැඩිය යුතු තේ දලු ප‍්‍රමානය කිලෝ ග‍්‍රෑම් 16 සිට 20 දක්වා වැඩි කිරීම ඇතුලු වැඩ වේගවත් කිරීම් සහ කප්පාදුවලට එරෙහිව හාලිඇල, දික්වැල්ල වත්තට අයත් දික්වැල්ල කොටසේ කම්කරුවෝ මැයි 14 දා සිට වැඩ වර්ජනයක යෙදී සිටිති. මල්වත්ත වැවිලි සමාගමට අයත් දික්වැල්ල වත්ත, ඩීන්ස්ලෑන්ඩ්, ලෝවර් ඩිවිෂන්, දික්වැල්ල හා ඌව කැටවල නමින් කොටස් 4කින් සමන්විත ය. වත්තේ සමස්ත කම්කරු සංඛ්‍යාව 1500 ක් පමන වන අතර දික්වැල්ල කොටසට කම්කරුවන් 235 ක් අයත් වෙයි.

ලැබෙන දෛනික වැටුප රුපියල් 450 ක සොච්චමක් බැවින්, වැඩිපුර කඩන දලු කිලෝවකට රුපියල් 18 බැගින් ගෙවන අමතර දීමනාව ලබා ගැනීම සඳහා අධික ලෙස ශ‍්‍රමය වැය කරමින් කිලෝ 20 සීමාව ද ඉක්මවා බොහෝ කම්කරුවන් වැඩෙහි නිරත වී ඇත. නමුදු සමාගමට අයත් අනෙක් වතුවලින් දික්වැල්ල තේ කම්හලට ගෙනඑන දලු ප‍්‍රමානය වැඩිවන දිනයන්හි දී, කිලෝ 25 ද ඉක්මවා දලු කඩන කම්කරුවන්ගේ දලු වලින් කොටසක් නුසුදුසුයැයි ඉවත් කරමින් කිලෝ 25ක් පමනක් සටහන් කරන බවද ඉවත දමන දලු නැවත කම්හලට ගෙන ගොස් අඹරා වෙලඳපොලට යවන බව ද දික්වැල්ලේ කම්කරුවෝ පවසති.

සමාගම විසින් ගෙනයන වියදම් කප්පාදු පිලිවෙත් තම රැකියාව සහ ජීවිතය කෙරෙහි බලපා ඇති අයුරු කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට විස්තර කලහ. “තේ ගස් වල්වලින් වැහිල ගිහිල්ල. දලු කඩන ටික අපි සුද්ධ කරගෙන දලු ටික කඩනවා. වල් නිසා දලු කඩන්න බැහැ කිව්වහම මිනිස්සු දෙන්නෙක් දානව. ඒ පඩි ගෙවන්නෙ අපේ දලුවලින් අඩුකරල.” එක් කම්කරුවෙකු පැවසුවාය.

තවත් කම්කරුවෙකු කප්පාදුව විස්තර කලේ මෙසේය: “ඒ කාලෙ කානු සුද්ධ කරන්න පඩියට කෙනෙක් වත්තෙන් දාල හිටිය. වත්ත හොඳ පිරිසිදුවට තිබුනා. දැන් මාසෙට රුපියල් 8,000ක් ගෙවල පිටින් කෙනෙක් ගන්නවා. ඒත් වැඩේ හරියට කෙරෙන්නෙ නෑ. හෙක්ටෙයාර දෙකකට මිනිස්සු 7 ක් වෙන්න හිටිය වල් බෙහෙත් ගහන්න. ඉස්සර අපි වැඩ කරන තැන් වලට බවුසර්වලින් වතුර ගෙනාව බොන්නයි තේ හදා ගන්නයි. දැන් එහෙම ගේන්නෙ නෑ. හැතැප්ම 1/4, 1/2 කන්දෙ ඇවිදගෙන ගිහිල්ල වතුර අරගෙන ගිහිල්ල වැඩ කරන්න හරිම අමාරුයි. දැන් වල් බෙහෙත් ගහන්නෙත් නෑ.”

වත්තේ අනියම් සේවකයන් ස්ථිර කිරීමට නම් ඔවුන් වසරකට දින 165 ක් ඉක්මවා වැඩ කලයුතු වෙයි. දලු අඩු කාලයන්හි අනියම් සේවකයන්ට වැඩ ලබා නොදෙන බැවින් මෙම සීමාවට ලඟාවීම කල නොහැක්කක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් ඔවුන් සැමදා අනියම් තත්වයේ පසුවන බවත් දැනට එවන් කම්කරුවන් 90 ක් තම වත්තේ සිටින බවත් කම්කරුවෝ පැවසූහ. මෙම තත්වය තවත් උග‍්‍ර කරමින් මිනිස්බල සමාගම් වලින් කම්කරුවන් කුලියට ගැනීමේ වැඩපිලිවෙලක් ද පාලකයන් කි‍්‍රයාවට නංවා ඇත. ස්ථිර කම්කරුවෙකුට ලබාදෙන ලයින් කාමර, සුබසාධන සහ අර්ථසාධක මුදල් ඇතුලු කිසිවක් මෙම මිනිස්බල කම්කරුවන්ට නොලැබෙන බැවින් එයින් ඉතිරි කෙරෙන වියදම් තම ලාභ පොට්ටනියට එකතුකර ගැනීම හාම්පුතුන්ගේ අරමුනයි.

ලමා සුරැකුම් මධ්‍යස්ථානයට සහ සෞඛ්‍යයට වෙන් කෙරෙන මුදල් කප්පාදුව තමාට බලපා ඇති අයුරු ද කම්කරුවෝ විස්තර කලහ: “ලමයි බලාගන්න පුල්ලෙ කාමරේ දැන් ඉන්නෙ එක්කෙනයි. දෙන්නෙක් හිටිය. මොන්ටිසෝරි ගිහින් ගෙවල්වලට එන ලමයි ගෙවල්වල කවුරුත් නැති නිසා ඒ දවස්වල අපි ගෙවල්වලට එනකල් හිටියෙ පුල්ලෙ කාමරේ. දැන් ඒකත් නවත්තල. ඉස්පිරිතාලෙ වාට්ටු 5ක් තිබුනට ඒ වාට්ටුවල දැන් කවුරුත් නෑ. බෙහෙත් නෑ. තිබුනු ඇම්බියුලන්ස් එකත් නෑ. ඉස්සර බබාල ලැබුනෙ මේ ඉස්පිරිතාලෙ. දැන් බබා ලැබෙන්න ගෙනියන්නයි, බබාව ගේන්නයි රුපියල් 3000ක් විතර යනවා. වත්තෙන් ගෙවන්නෙ රුපියල් 800යි. ඒක ගන්න ඔෆීස් එකට යන්න රුපියල් 300ක් යනව. බස් නැති නිසා තී‍්‍රවීල්වලින් තමයි යන්න වෙන්නෙ.”

“මේ කොටසෙ සායන නැති නිසා ලමයි අරන් යන්න වෙන්නෙ කැටවල කොටසට. ඒ දවස්වල මේ වත්තෙ බබාලට පනු බෙහෙත්, විටමින් දුන්නා. බර කිරුවා. ලමයි වඩාගෙන එතන ඉන්න ඕන හිටගෙන. බංකුවක්වත් නෑ. පාරවල් අබලන් නිසා වාහන යන්නෙ නෑ.’’

මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව දික්වැල්ල කම්කරුවන් අරගලයට අවතීර්නවත්ම, ඔවුන්ගේ සටන්කාමිත්වය දියකර හැරීමට වෘත්තීය සමිති නිලධරය වහා මැදිහත් විය. ප‍්‍රශ්නය සාකච්ඡා තුලින් විසඳා ගන්නා බවට කම්කරුවන්ට පවසමින් වර්ජනය ආරම්භ කල දිනයට පසු දිනයේ ඌව පලාත් සීඩබ්ලිව්සී නායක වඩිවේල් සුරේෂ් බදුල්ල කම්කරු කාර්යාලයට ගියේය. කාර්යාලයෙන් ලැබුන පිලිතුර වූයේ ප‍්‍රශ්නය වත්තේ අධ්‍යක්ෂකට යොමු කරන බවයි.

කාර්යාලයේ පිලිතුර ද වඩිවේල්ගේ කි‍්‍රයාපටිපාටියද ප‍්‍රතික්ෂේප කරමින් 20 වෙනි දා උදේ හාලිඇල නගරයට රැස්වූ කම්කරුවන් 300ක් පමන සටන් පාඨ කියමින් පෙලපාලි දැක්වූහ. බදුල්ලෙන් පැමිනි පොලිස් කන්ඩායමක් පෙලපාලිකරුවන්ට විසිරෙන ලෙස අන කර ඇත.

“ඇයි අපි විසිරෙන්නෙ? අපේ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න. වත්තෙ ලොකු මහත්තයගෙ ඕනකමට අපේ තලවර්ල (නායකයො) එක්කෙනෙක් හරි අරන් ගියොත් අපි කොස්සකුත් අරන් පොලිසියට එන්නෙ. අපි දලු කඩන සල්ලිවලින් තමයි ඕගොල්ලන්ගෙ පඩි ගෙවන්නෙ.’’ යැයි පවසමින් කම්කරු කාන්තාවෝ සටන්කාමී වූහ. නගරයේ කුඩා ව්‍යාපාරිකයන්ගෙන් ද කම්කරුවන්ට සහය පල විය.

21 වෙනි දා උදේ වරුවේ කම්කරුවන් මුනගැසීමට පාලකයන් විසින් එවන ලද සහකාර කලමනාකරුවෙකු, “වතු හරිගස්සල දෙන්නම්. වැඩට යන්න” යයි ඉල්ලා ඇත. වත්තෙන් හෙක්ටෙයාර් 100 ක් වසා දැමීමේ උත්සාහය පිලිබඳව කම්කරුවන් විමසූ විට “සුහදව කතා කරමු”යි පවසා ඔහු මග හැරි බව කම්කරුවෝ පැවසූහ.

කම්කරුවන් මෙතෙකුදු වර්ජනයේ නිරතව සිටින අතර හාලිඇල හා කැටවල නගරවල පොලිසිය යොදා තිබේ. සාකච්ඡාවක් සඳහා සාර්නියා වත්තේ කාර්යාලයට පැමිනෙන ලෙස කම්කරුවන් තුන්දෙනකුට දැනුම් දී ඇතත් ප‍්‍ර‍්‍රකෝපකරනයක් අවුලා කම්කරුවන් අත් අඩංගුවට ගැනීමේ ප‍්‍රයත්නයක් මේ පිටුපස තිබෙන්නට හැකි බවට කම්කරුවෝ සැක පහල කරති.

වෘත්තීය සමිති නිලධරය විසින් නිරන්තරව තම අරගල පාවා දෙන තතු යටතේ පසුගිය අවුරුදු කීපය තුල කම්කරුවන් නිලධරයට පිටතින් ස්වාධීන ව සටනට පිවිසෙමින් සිටී. මෑත දී ම මස්කෙලිය ග්ලේනුගී වතුයායේ ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ වැඩ වේගවත් කිරීමට එරෙහිව එසේ අරගලයට පිවිස දින තුනක් වර්ජනයේ යෙදී ගත්හ. තමා හාම්පුතුන් සමග කල සාකච්ඡාවේදී දිනකට කැඩිය යුතු දලු ප‍්‍රමානය නැවත කිලෝ 18 ට ගෙන ඒමට හාම්පුතුන් දුන් වාචික පොරෙන්දුවට යටත් කොට ජාතික වතු කම්කරු සංගමයේ නායක වේලායුදම් කම්කරුවන් නැවත වැඩට දැක්කුවේ ය. නැවත වැඩට ගිය කම්කරුවන්ට එරෙහි දඩයමක් ද වෙනත් ආකාරයේ වැඩ වේගවත් කිරීමේ ප‍්‍රහාරයක්ද දියත් වෙමින් පවතී.

ඉදිරි කාල පරිච්ඡේදයේ මෙම ප‍්‍රහාරයන් වඩා දියුනු තියුනු වනු ඇත. ශ‍්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයිගේ මෑතම ප‍්‍රකාශවලින් ම එය පැහැදිලි වෙයි. ඔහු පවසන්නේ ලෝක වෙලඳපොලේ තරගකාරිත්වයට මුහුන දී තේ කර්මාන්තය රැක ගැනීමට නම් නිෂ්පාදන වියදම් අඩු කර ගැනීමට අනිවාර්යයෙන් සිදුවන බවයි. “වැඩි වැඩ අඩු පඩි”, මේ කියන්නේ එයයි. සිරිසේන‐වික‍්‍රමසිංහ ආන්ඩුව සහ වතු හාම්පුතුන් එක්ව සැලසුම් කරන මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන් සම්බන්ධයෙන් තම ප‍්‍රතිචාරය කුමක්ද යන්න ආන්ඩුව දැනටමත් පෙන්වා ඇත. අධ්‍යාපන කප්පාදුවට එරෙහිව අරගලයට පිවිසෙන සරසවි සිසුන්ට නිරන්තරව එල්ල කරන පොලිස් ප‍්‍රහාරයන්, සිසුවියක දූෂනය කොට මරා දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුන මහජනතාවට එරෙහි පොලිස් මර්දනයන් හා පසුගිය දා පරිසර දූෂනයට එරෙහිව උද්ඝෝෂනය කල මීතොටමුල්ල ප‍්‍රදේශවාසීන්ට එල්ල කල පොලිස් ප‍්‍රහාරය මේ සම්බන්ධ පැහැදිලි උදාහරනයන්ය.

මෙම ප‍්‍රහාරයන්ගේ මූලය පවතින්නේ අර්බුදග‍්‍රස්ත ධනපති ක‍්‍රමය තුලය යන්න වසන් කරමින් මෙම ලාභ ගරන පද්ධතියටම කම්කරුවන් ගැටගසා තබන වෘත්තීය සමිති නිලධරයට පිටතින් කම්කරුවන් අරලයට පිවිසීම ඉදිරි පියවරක් වන නමුත් එය පමනක් නොසෑහේ. වතු කම්කරුවන් තම සටන් ජයග‍්‍රහනය කිරීමට නම් අනෙකුත් තේ නිපදවන රටවල කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක් ව ධනවාදය පෙරලා දැමීමේ විද්‍යත්මක සමාජවාදී වැඩ පිලිවෙල මත සටන් කිරීම අත්‍යවශ්‍ය ය.

Share this article: