සෞඛ්‍ය සේවකයන් වර්ජනයක

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 මැයි 23

හිඟ වැටුප් සහ රුපියල් 3000 දීමනාව ඇතුලු ඉල්ලීම් 10 මත රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කාර්ය මන්ඩල සේවකයන් විසින් සතියක වර්ජන ව්‍යාපාරයක් සඳුදා සිට දියත් කර ඇත. මෙම උද්ඝෝෂන ව්‍යාපාරයට සෞඛ්‍ය කාර්ය සහායකයින්, වාට්ටු ලිපිකරුවන්, රසායනාගාර කාර්ය සහායකයින්, ඕවර්සියර්වරුන් සහ ලොන්ඩරි සහායකයින් ඇතුලු ශ්‍රේනි 30 කට අධික සෞඛ්‍ය කාර්ය මන්ඩල සේවකයෝ 40,000 ක් පමන සහභාගි වෙති.

20දා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වූ රෝහල් සේවකයන්

වර්ජනයට සම්බන්ධ වූ රෝහල් සේවකයන් අතර සහභාගිත්වය සහ අරගලය සඳහා උනන්දුව පුලුල්ව තිබුනත් සමිති නායකයන් වර්ජනය පලාත් අනුව කොටස් වශයෙන් සංවිධානය කිරීමෙන් සහ උදේ 8 සිට දහවල් 12 දක්වා පැය හතරකට සීමා කිරීමෙන් ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වැලැක්වීමට පියවර ගෙන තිබුනි. ඒ අනුව සඳුදා කොලඹ, කලුබෝවිල සහ කාසල් රෝහල්වලත්, අඟහරුවාදා කුරුනෑගල, කරාපිටිය හා බදුල්ල ඇතුලු රෝහල් දහයක වර්ජනය පැවතුනි. බදාදා කොලඹ මහරෝහල, පුංචි බොරැල්ල ලමා රෝහල ඇතුලු කොලඹ දිස්ති‍්‍රක්කයේ සියලුම රෝහල් වල කාර්ය මන්ඩල සේවකයන් වර්ජනයට සම්බන්ධ වූ අතර ලමා රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා පාගමනකින් පැමිනි 1000 ක පමන සේවකයෝ තම ඉල්ලීම් පිලිබඳව සාකච්ඡාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලමින් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වූහ.

2006/6 චක‍්‍ර ලේඛයට අනුව වැඩි කෙරුනු වැටුප වෛද්‍ය සහ හෙද කාර්ය මන්ඩල ශ්‍රේනිවලට ලබා දී ඇතත් වර්ජනයට සම්බන්ධිත සේවකයන්ට 2006 ජනවාරි මාසයේ සිට 2011 දක්වා වසර පහක පමන කාලයට අදාල එකී වැඩිවූ වැටුප ලබා දී නැත. රුපියල් 3000 විශේෂ දීමනාව ද ඔවුන්ට ලබා දිය යුතුය. තමන්ට හිමිවිය යුතු හිඟ වැටුප් සහ දීමනා වහාම ලබාදීම සහ රසායනාගාර සාහායකයන්ට එක් නිදර්ශකයක් සඳහා ගෙවන රුපියල් 5 දීමනාව රුපියල් 20 දක්වා ඉහල දැමීම ඇතුලු තවත් ඉල්ලීම් ගනනාවක් සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මුලුමනින් ම නොතකා හැර ඇති බවත් වර්ජකයෝ කීහ.

වර්ජනය කැඳවුම් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමස්ත ලංකා සුව සේවක සංගමය, සමස්ත ලංකා වාට්ටු ලිපිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා රසායනාගාර සහායකයන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති පහක එකමුතුවක් විසිනි. සේවක උද්ඝෝෂනය මධ්‍යයේ, බදාදා සවස හතරට, වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් එකඟ විය. එහෙත් භාන්ඩාගාරයේ අනුමැතිය ලැබෙන තුරු අදාල ගෙවීම් කල නොහැකි හෙයින් ජුනි 1 වෙනිදා දක්වා සාකච්ඡාව කල් දමා ඇත.

ජුනි 1 වෙනිදා සාකච්ඡාව ගැන තමන්ට විශ්වාසයක් නැති බවත් එම නිසා යෝජිත පරිදි වර්ජනය දිගටම පවත්වා ගෙන යන බවත් මැයි 26 වෙනිදා සිට අඛන්ඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවත් සමස්ත ලංකා රසායනාගාර සහායකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ජී.ඒ.ජී විමලරත්න ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේ ය.

කෙසේ වුවද, සමිතිනායකයන් ට විරෝධතා උද්ඝෝෂනයක් කැඳවීමට බල කෙරී ඇත්තේ ආන්ඩුවට සහ සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව බරපතල විරුද්ධත්වයක් සහ නොසන්සුන්කමක් සේවකයන් අතර වර්ධනය වන තතු තුලය. ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් ප‍්‍රකාශ කල සේවකයන් ගනනාවක් ම ජීවන වියදම ඉහල යන තත්වය තුල තමන්ට කිසිසේත් ම දැනට ලැබෙන වැටුපෙන් සිය දරු පවුල් නඩත්තු කරගෙන ජීවිතය ගැට ගසා ගැනීම කල නොහැකි බව පැවසූහ.

වසර 11 ක සේවා කාලයක් සහිත කොලඹ මහ රෝහලේ උපස්ථායකයෙකු ප‍්‍රකාශ කලේ ඔහුගේ මූලික වැටුප රුපියල් 12,810ක් බවය. “අතිකාල සහ අනෙකුත් දීමනා සමග මාසික වැටුප රුපියල් 30,000 පමන වෙනව. නමුත් අඩුකිරීම් සහ නය ආදියට කපාගැනීමෙන් පසුව අතට ලැබෙන්නේ රුපියල් 24,000-25,000 පමන මුදලක්. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. බිරිඳට රැකියාවක් නැහැ. අපිට ගෙයක් තිබෙන නිසා යම් පහසුවක් තිබුනත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ කෑම, බීම ඇතුලු අනෙකුත් වියදම් සඳහා දැනට ලැබෙන මුදල කොහෙත් ම ප‍්‍රමානවත් නැහැ. පසුගිය ආන්ඩුව වගේම මේ ආන්ඩුවත් කරන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන එක”.

තම මූලික වැටුප රුපියල් 12,210 බව ලමා රෝහලේ ලොන්ඩරි සහායකයෙකු කීවේය. “කැපිල කෙටිල අතට ලැබෙන්නේ රුපියල් 20,000 ක් පමන. බිරිඳට රැකියාවක් නැහැ. පොඩි දරුවෙක් ඉන්නවා. එයාට සෑහෙන වියදමක් යනවා මාසෙකට. මාසේ වියදම පිරිමහ ගන්නේ නය වෙලා. සමරහර වෙලාවට සියයට විස්සේ පොලියට නයට ගන්නවා. නය ගෙවල ආයෙත් නය වෙනවා. අපි ඉන්නේ ආදුරුප්පු වීදියේ පුංචි ගෙයක. පසුගිය ආන්ඩුවෙන් ඒ පලාතේ ගෙවල් කඩන්න සැලසුම් කරලා තිබුන. මේ ආන්ඩුවත් මොනවා කරයි ද කියා දන්නේ නැහැ. පහුගිය ආන්ඩුව වගේම මේ ආන්ඩුවත් කරන්නේ මිනිස්සු රවට්ටන එක”

අරගලයට පුලුල් කම්කරු සංඛ්‍යාවක් සහභාගි වීමත් එහිදී පෙන්නුම් කල අධිෂ්ඨානයත් මගින් පෙන්නුම් කරන්නේ තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා අරගලයේ යෙදීමට සෞඛ්‍ය සේවකයන් අතර පවතින බලවත් උවමනාවයි. එහෙත් අරගලය සංවිධානය කල සමිති නායකයන්ගේ අරමුන වෙනත් එකකි. එනම් කම්කරුවන්ගේ අරගලය පුහු විරෝධතාවයකට කොටු කර අවමන් ගත කිරීමයි.

අමාත්‍යාංශය ඉදිරිපිට බදාදා පැවැත්වූ උද්ඝෝෂනයට සම්බන්ධ වූ සෞඛ්‍ය සේවකයන් ඇමතූ සමස්ත ලංකා සුව සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත කෝරලේ ආරච්චි ඇතුලු සමිති නායකයෝ පුච්චානම් කතා කීහ. දින 120ක් සෞඛ්‍ය ඇමති සාකච්ඡාවක් දීම මග හැරි බවත් මෙවර සටන දිනන තුරු අරගලය පෙරට ගෙන යන බවත්, මීට වඩා දැඩි කි‍්‍රයා මාර්ග ගන්නා බවත් කෝරලේ ආරච්චි කීවේය. “අපි දැන් සෞඛ්‍ය අමාත්‍යංශය වටලලා ඉන්නේ. අපිට අවශ්‍ය නම් ගේට්ටු කඩාගෙන ඇතුලට යන්න පුලුවන්. සාකච්ඡාවක් දුන්නේ නැත්නම් අනෙක් දවසේ ගේට්ටු දහයක් දාල තිබුනත් ඒවා කඩා ගෙන අපි ඇතුලට යනවා” ඔහු තව දුරටත් මෙසේ පැවසීය: “අපි අරගල පාවා දීල නැහැ. සමහර අරගල පරාජය වෙලා තියෙනව” එහෙත් “සමහර අරගල” පරාජය වූයේ ඇයිදැයි ඔහු විස්තර නොකලේ ය.

පසුගිය වසර කිහිපයේ අරගල ගැන සිහියට නගා ගතහොත් එම සෑම අරගලයකදීම කම්කරුවන්ගේ විරෝධය යටපත් කර ජීවන තත්වයන් පිරිහීම සහ වැටුප් වැඩි නො වීම සම්බන්ධයෙන් ධනපති පාලක පන්තියට විරුද්ධව ඔවුන් අතර වැඩෙන වෛරය සහ අතෘප්තිය සමනය කිරීම සඳහා සමිති නායකයන් විසින් මේ ජාතියේ කයිවාරු කතා තොග පිටින් ඇදබා ඇත. රාජ්‍ය සේවක වැටුප් පිලිබඳ 2006/6 චක‍්‍ර ලේඛය නිකුත් වීමෙන් අනතුරු ව සමිති නායකයෝ වසර නවයක් තිස්සේ මෙවන් ප්‍රෝඩාකාරී සහ නිස්සාර උද්ඝෝෂනවල කම්කරුවෝ හිරකර තැබූහ. මෙවර උද්ඝෝෂනය ද එබඳු ම ප්‍රෝඩාවකි. සෞඛ්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය නොකර කොටස් වසයෙන් වර්ජනය සංවිධානය කිරීම සහ වෘත්තීය සමිතිවාදී කට්ටිවාදී පිලිවෙත් උඩ කම්කරුවන් බෙදා වෙන්කිරීම ද එහි කොටසකි.

පසුගිය අගෝස්තු මාසයේ ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති පෙරමුන සහ ඊනියා ස්වාධීන සහ ආන්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති පෙරමුන මෙම ඉල්ලීම් මත වෙන වෙන ම විරෝධතා ව්‍යාපාර සංවිධානය කල අතර සටන දිනන තුරු අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන බවට ශපථ කලහ. එහෙත් නොවැම්බර් මාසයේ අයවැය මගින් වැටුප් ප‍්‍රශ්නය විසඳන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වීමෙන් පසුව පෙරමුනු දෙකේ ම සමිති නායකයෝ විරෝධතා ව්‍යාපාර නතර කලහ. ජනාධිපතිවරනයේ ජයග‍්‍රහනය අරමුනු කරගෙන රජයේ සේවකයන්ට රුපියල් 3,000 ක ඇස්බැන්දුම් දීමනාවක් රාජපක්ෂ ආන්ඩුව විසින් නොවැම්බර් මාසයේ අයවැය මගින් ප‍්‍රකාශයට පත්කල නමුත් වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමක් හෝ හිඟ මුදල් ලැබිය යුතු රජයේ සේවකයන්ට ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කලේ නැත.

තිරයට පිටුපසින් සිටගෙන ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙය වූ දේශපාලන කුමන්ත‍්‍රනයක කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ පිටුබලය ඇතිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ අතර රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩිකරන බවට මැතිවරන පොරොන්දුවක් දුන්නේය. ඔහු බලයට පත් වීමෙන් පසු ඉදිරිපත් කල අන්තර් කාලීන අයවැයෙන් රුපියල් 10,000 ක වැටුප් වැඩි වීමක් ප‍්‍රකාශයට පත් කල නමුත් එය මූලික වැටුපට එකතු නොකල දීමනාවකි. ඉන් 5,000 ක් දැනට ගෙවන අතර ඉතිරිය ජුනි මාසයේ සිට ගෙවීමට නියමිත ය.

රාජපක්ෂ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස සිටිය දී සෞඛ්‍ය සේවකයන්ගේ අරගල බිඳීම සඳහා හමුදාව යෙදවීම ඇතුලු මර්දන පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට සිරිසේන පසුබට වුයේ නැත. ආන්ඩුවට කත්අදින සමිති විසින් අරගල පාවා දීමට කි‍්‍රයා කරන බවට කෝරලේ ආරච්චි චෝදනා කල නමුත් ඔහු ඇතුලු ජවිපෙ 2005 දී රාජපක්ෂ බලයට ගෙන ඒමට සහ ඔහු විසින් යලි ආරම්භ කල දෙමල ජනයාට එරෙහි යුද්ධයට සහාය දුනි. එකල පැන නැගි කම්කරු අරගල කොටින්ට සහය දෙන අරගල ලෙස හංවඩු ගසා ඒවා මැඩලීමට රාජපක්ෂ ආන්ඩුවට සහය දුන් ජවිපෙ “රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පරාජය කර යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ඇති කිරීම සඳහා සිරිසේන බලයට ගෙන ඒ මට ද කිසිදු හිරිකිතයකින් තොරව කත් ඇද්දෝය.

සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් නො දීම ගැන දැන් හුදෙක් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පිට වර ද පටවා සිරිසේන ආන්ඩුව ට එරෙහිව කම්කරුවන් අතර වර්ධනය වන වෛරය අවමංගත කිරීමේ උත්සාහයක මෙම සමිති නායකයෝ යෙදී සිටිති. සේනාරත්න කි‍්‍රයාවට දමන්නේ සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පන්තියට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කර ඇති කප්පාදු පිලිවෙත් ය.

Share this article: