ලෝක ධනවාදයේ අර්බුදය හා ලෝක යුද්ධය කරා තල්ලුව

The world capitalist crisis and the drive to world war

නික් බීම්ස් විසිනි,2015 මැයි 5

මැයි 3 දින අන්තර්ජාලය ඔස්සේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මගින් සංවිධානය කල ජාත්‍යන්තර මැයි දින රැස්වීමට ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රමුඛ සාමාජිකයෙකු වන නික් බීම්ස් කල කතාව.

මෙම මැයි දිනය වනවිට, 2008 සැප්තැම්බරයේ දි ලෙහ්මන් බ‍්‍රදර්ස් නම් එක්සත් ජනපද ආයෝජන බැංකුව බංකොලොත් වීමෙන් එලඹුනු ගෝලීය මුල්‍ය ක‍්‍රමයේ බිඳ වැටීමෙන් වසර හතක් තරම් ගෙවී ඇත.

එම සිද්ධිය සලකුනු කලේ, සමස්ත ධනේශ්වර ආර්ථික පර්යායේ බිඳ වැටීමක් ය යන ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනය, ඉන් ඉක්බිති යලි යලිත් ඔප්පු වී තිබේ.

කෙසේ හෝ නිවැරදි පිලිවෙත් ක‍්‍රියාත්මක කරගත හොත් ආර්ථික පනගැසීමක් ඊලඟ වටයේදීවත් සිදුවනු ඇතැයි යන මතය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි, ආර්ථික පමනක් නොව දෘෂ්ටිමය වූ ද භූමිකාවක් ඉටු කරන සංස්ථා විසින් පවා අතහැර දමනු ලැබ තිබේ. ගෝලීය ආර්ථිකය පිලිබඳ එහි අලුත්ම තක්සේරුවට අනුව, අර්බුද පූර්ව අවධියේ තත්වයන් කරා යලි පැමිනීමක් සිදු නොවනු ඇතැයි ජාමූඅ පිලිගෙන තිබේ.

එක් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් නම් - ආර්ථික ප‍්‍රසාරනයේ ප‍්‍රධාන උල්පත වන - නිෂ්පාදක ආයෝජනය පහත වැටීමයි. ඒ සමගම, චීනයේ සහ වෙනත් නැගීඑන වෙලඳ පොල වල වර්ධනය මගින්, ගෝලීය ධනේශ්වරය සඳහා නව ස්ථාවරත්වයක් සැපයෙනු ඇතැයි යන මතය ද මායාවක් බව ඔප්පුවී තිබේ.

අද දින ගෝලීය ආර්ථිකයේ අධිපති ලක්ෂනය වන්නේ එක්සත් ජනපදය මූලස්ථානය කරගත් එහෙත් ගෝලීයව චීනය ද ඇතුලු කරගෙන පැතිර යන මූල්‍ය පරපුටුබවේ නිමක් නැති වැඩීම යි. එම ගින්නට පිදුරු දමන්නේ, අතිශය ලාභ මූල්‍ය නය සම්පාදනය හා බින්දුවට ආසන්න පොලියට ලාභ නය දීමට ලෝකයේ ප‍්‍රධාන රාජ්‍ය මහ බැංකු ඉදිරිපත් වීමයි.

එක අතකට මෙය යෝධ මූල්‍ය බුබුලු ජනනය කොට එ මගින් 2008 ට වඩා දුරදිග යන හා බරපතල තවත් මුල්‍ය අර්බුදයකට මග පෑදීමේ තර්ජනයක් පැන නංවති යි යන භීතීන් උග‍්‍ර කරයි.

අනෙක් අතට, කලකට පෙර සාමාන්‍ය සහ ආරක්ෂා සහිත යයි සලකන ලද මුල්‍ය පිලිවෙත් වලට පෙරලා ගිය හොත්, එය පෙර නුවූ විරු මහා මූල්‍ය කලබගෑනියකට තුඩු දෙනු ඇති බවට මූල්‍ය අධිකාරීහු බිය පත්ව සිටිති.

ධනේශ්වර බිඳවැටීමෙන් පැනනැගී තිබෙන කම්කරු පන්තිය මුහුන දෙන සමාජ තත්වය, ලෝකය පුරාම එක හා සමාන උග‍්‍ර භාවයක් ගනු ලබයි: සැබෑ වැටුප්වල ඇද වැටීම ද, සෞඛ්‍යය, අධ්‍යාපනය, විශ‍්‍රාම සහන වැනි ආන්ඩුවේ සමාජ සේවාවල තීරනාත්මක අංශයන්හි වියදම් කප්පාදු කිරීම ද උග‍්‍ර ව ඇත. උග‍්‍ර විරැකියාව ද අර්ධකාලීන රැකියා සහ අනියම් රැකියා ද නුතන යහපත් ජීවිතයකට අවශ්‍ය සියලු පහසුකම් කම්කරු පන්තියට අහිමි කර ඇත.

ඒ සමගම, ප‍්‍රගාමීව ඉහල නගින මුල්‍ය පරපුටුකම, සමාජ අසමානතාවයේ ඉමහත් වර්ධනයකට හේතුකාරක වී තිබේ. වසරක් පාසා සමාජයේ ඉහලම කොටස් විසින් උදුරාගනු ලබන ධනයේ සහ ආදායමේ ප‍්‍රමානය හා අනුපාතය වැඩි වීමේ විපාකය ලෙස මේ වන විට සමස්ත ලෝක ජනගහනයෙන් (දුප්පත්) අර්ධයක් සතුවන ධනයේ ප‍්‍රමානය ඉක්මවන තරම් ධනයක් ප‍්‍රකෝටිපතියන් 85 දෙනෙකු අත ගොඩ ගැසී තිබේ.

සෑම රටකම පාලක පන්තීහු අර්බුදයෙන් ගොඩයාමේ මගක් නැතිව, දැන් ආසන්නව ඇති බව දන්නා, මුල්‍ය බිඳවැටීමෙන් පැනනගිනු ඇති සමාජ සහ පන්ති අරගලයන් පුපුරා යාමට බියෙන්, රාජ්‍ය මර්දනයේ උපකරන මුවහත් කරමින් සිටිති.

ඇමරිකා එක්සත් ජනපදයේ පොලිසිය මිලිටරිකරනය කිරීමේ ද ඉවරයක් නැති මිනිස් ඝාතනවල යෙදීමේ ද ආර්ථික මුල් පවතින්නේ මෙහි ය. සෑම රටකම “ත‍්‍රස්ත විරෝධි යුද්ධය” යන චෞර පතාකය යටතේ ප‍්‍රකාශිත වන්නේ මෙම ප‍්‍රවනතාවයයි.

1914ට පෙර ද 1930ස් ගනන් වල දී ද සිදුවූ පරිද්දෙන් ම, ලෝක ධනවාදයේ ප‍්‍රගාමීව වර්ධනය වන්නාවූ ආර්ථික ප‍්‍රතිඝතිතාවෝ නව ලෝක යුද්ධයක් පුපුරා යාමට මග පාදමින් පවතිති.

ගිය සති කිහිපය තුල පස්චාත්-යුද්ධ ආර්ථික පර්යායේ ජරපත් ව්‍යුහයන් තව දුරටත් බිඳ වැටෙන සැටි දැක ගත හැකි විය. චීනය අරඹා ඇති ආසියානු පොදුකාර්ය පිරිවැය ආයෝජක බැංකුව (AIIB) විවෘත කරනු ඇති ආර්ථික අවස්ථාවලින් වාසියක් ගැනීම සඳහා ප‍්‍රධාන ධනේශ්වර රටවල් ගනනාවක් වොෂිංටනයේ අන නොතකා එයට බැඳීමට ගත් තීන්දුව පෙන්නුම් කලේ එයයි.

ආර්ථික පරිහානියේ තතු තුල, ගෝලීය ආධිපාත්‍යය පවත්වාගෙන යාමට කැස කවන එක්සත් ජනපදය, සිය යුද බලය තව තවත් තර කර ගැනීමට වැඩ කරයි. දිගින් දිගටම ව පවත්නා ආර්ථික පල්වීම සහ අවපාතයට මුහුන දී සිටින්නාවූ සෙසු ප‍්‍රධාන බලවතුන් ද යුදමෙහෙයුම් තුලින් හැර වෙනත් ආකාරයකට ගැලවී ගත නොහැකි යයි තීන්දු කරනු ඇත.

ලෝකය බෙදීමේ හා යලි බෙදීමේ නව යුද්ධයක් සූදානම් කෙරෙමින් තිබෙන අතර එවන් ලෝක යුද්ධයක් මුලුමහත් මානව සංහතියේ සංස්කෘතිය විනාශ භාග් කරනු ඇත.

මෙම ව්‍යසනය වැලැක්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය ගත යුතු ආස්ථානය කුමක් ද? ලාභ ගරන පද්ධතිය පිලිබඳ දේශපාලන ආර්ථිකයේ අසාර්ථකත්වය ට එරෙහිව කම්කරු පන්තිය ඉදිරිපත් කලයුතු දේශපාලන ආර්ථිකය කුමක් ද?

තමන් අනුගමනය කිරීමට යත්න දරන, ලෝකය පුරා සුලුධනේශ්වර හා ව්‍යාජ-වාම ප‍්‍රවනතා විසින් හුවා දක්වා තිබෙන, සිරිසා සංවිධානයේ ආදර්ශය නම් “ධනවාදය ඒ තුලින්ම බේරාගැනීම යි.”

යුද්ධය, පාලනයේ මිලිටරි ෆැසිස්ට් වර්ගයේ ආන්ඩු සහ මහජනතාව දිලිඳු බවට ඇද හෙලීම හැරෙන්නට ධනේශ්වර ක‍්‍රමය ගලවා ගැනීමේ අන් කිසි මාවතක් ඇත්තේ නැත.

යුද්ධය, දිලිඳු කම, පර පීඩනය, ඉවරකොට ලාභය නොව මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතා සපුරාලන, සැලසුම් ගත සමාජවාදී ලෝක ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා මානව වර්ගයාගේ ඉතිහාසයෙහි නව පිටුවක් ලිවීමට මං පාදාගැනීම් වස් ධනපති ක‍්‍රමය පෙරලා කම්කරු පන්තිය බලය අල්ලා ගත යුතු ව තිබේ.

කාල් මාක්ස් වරෙක සලකුනු කල කරුනක් නම්, පැරනි සමාජ ක‍්‍රමය තුල නව හා වඩා උසස් සමාජයක් සඳහා පදනම් පැනනැග නොමැති නම්, එම පැරනි සමාජ ක‍්‍රමය පෙරලාදැමීමට දැරෙන ප‍්‍රයත්නය හුදු මනෝරාජික වනු ඇති බවය.

ලෝක කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා ද සැලසුම් ගත ගෝලීය සමාජවාදී ආර්ථිකයක් සඳහා ද ජාත්‍යන්තර කමිටුව දරා සිටින්නාවූ ඉදිරිදර්ශනය හුදු වාක්‍යයක් නොවේ. එය වනාහි වෛෂයික යථාර්ථය තුල මුල් බැස ගත්තකි.

නිෂ්පාදනයේ ගෝලීයකරනය ලාභගරන පද්ධතිය සහ ජාතික රාජ්‍ය පද්ධතිය සමග සහමුලින්ම ඝට්ටනය වෙමින් අවිසර්ජනීය ප‍්‍රතිඝතිතා සහ අර්බුද ජනිත කර තිබේ. එය ඒ සමගම වඩා ඉහල සමාජ ආර්ථික පර්යායක් සඳහා අවශ්‍ය වන වෛෂයික පදනම් ද ස්ථාපිත කොට තිබේ.

මුදල්වල චලනය හඹා ගොස්, නැනෝතත්පර මොහොතක් තුලදී ක්ෂනිකව තොරතුරු සපයාදෙන ජාත්‍යන්තර මූල්‍ය ක‍්‍රමය අනන්ත අර්බුදයන්හි උල්පත බවට පත්ව ඇත.

එහෙත් එය මගින් ස්ථාපනය කර තිබෙන අතිමහත් හා සංකීර්න තොරතුරු පද්ධතිය, ලෝකයේ නිෂ්පාදකයන්ගේ එනම්, කම්කරු පන්තියේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ දැනුවත්ව පාලනය කෙරෙන සැලසුම්ගත ආර්ථිකයක රාමුව ද නිර්මානය කර තිබේ.

අවුරුදු සියයකට පෙරාතුව, මාක්ස් විසින් න්‍යායිකව එලිදරව් කෙරුනු ධනවාදයේ ප‍්‍රතිඝතිතා, යුරෝපයේ යුද බිම්වල මරනය සහ මහා සංහාරයේ ජීවමාන ස්වරූපය ගනු ලැබූ තතු තුල ට්‍රොට්ස්කි ලියා දැක්වූයේ, කම්කරු පන්තියට “ධනවාදයේ අධිරාජ්‍ය වික්ශෝභයට” මුහුන දිය හැක්කේ, “ලෝක ආර්ථිකය සමාජවාදී පදනමක සංවිධානය කිරීම සිය දවසේ ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගය ලෙස ගෙන” ඊට විරුද්ධ වීම මගින් පමනක් බවය.

අප මැයි දිනය සමරන අද දින ජාත්‍යන්තර කම්කරු පන්තියේ ක‍්‍රියා මාර්ගය විය යුත්තේ මෙම වැඩපිලිවෙලයි.

Share this article: