හිට්ලර්ගේ තුන්වෙනි රීකයේ පරාජයේ තැන් පටන් හැත්තෑ වසරක්

Seventy years since the defeat of Hitler’s Third Reich

2015 මැයි 09

යුරෝපයේ දෙවන ලෝක යුද රංගපථය නිමා කරමින් නාසි ජර්මනියට එරෙහිව ලබාගත් ජය සමරන ප‍්‍රධාන මිලිටරි පෙලපාලිය අද දින මොස්කව්හිදී පැවැත්වෙයි. යුද්ධයේදී සෝවියට් සංගමයේ මිත‍්‍ර රාජ්‍යයන් කිහිපයක ලෝක නායකයින් මෙම සැමරුම වර්ජනය කල අතර රුසියාවෙන් පිටත මෙම නිවාඩුවට ලැබුනේ සුලු අවධානයකි.

එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා මෙන්ම බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහභාගී නොවීම කැපී පෙනෙයි. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මැයි 10 මොස්කව් වෙත පැමින මල්කලඹක් තැබීමට නියමිත ය.

ඇමරිකාවේ හා යුරෝපයේ පාලක පන්තිය යුරෝපයේ ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා සෝවියට් කම්කරු පන්තිය ඉටු කරන ලද ප‍්‍රධාන භූමිකාව පිලිගැනීමට කැමත්තක් නොදක්වයි. විශේෂයෙන්ම ඔවුන් රුසියන් විරෝධී රුදුරු ව්‍යාපාරයක කොටසක් ලෙස ෆැසිස්ට්වාදී බලවේග ප‍්‍රවර්ධනය කරමින් හා ඔවුන් සමග සන්ධානගත වීමේ කොන්දේසි යටතේ එසේ වී ඇත.

සෝවියට් ජනතාවගේ විශාල කැපවීමෙන් තොරව නාසි ජර්මනිය පරාජය කල නොහැකි වන්නට තිබු බව ඓතිහාසික කාරනයකි. නාසීන් පරාජය කිරීමට සෝවියට් පුරවැසියන් මිලියන 27කගේ පමන ජීවිත පරිත්‍යාග කල නමුත් සැබෑ ගනන කිසිදිනෙක දැන ගැනීමට නොහැකිය. සෑම සෝවියට් පවුලකටම එක සාමාජිකයෙක් හෝ ඊට වැඩිගනනක් අහිමි විය. දහස් ගනනක් ගම්මාන සම්පුර්නයෙන්ම විනාශ වූ අතර බොහෝ ප‍්‍රධාන නගර සුන්බුන් බවට පත්විය.

සෝවියට් සංගමයේ හා කොමින්ටර්නයේ ස්ටැලින්වාදී නායකත්වය “තනි රටේ සමාජවාදය” නම් ප‍්‍රතිගාමී හා ජාතිකවාදී න්‍යාය තුල මුල් බැස සිටි අතර යුද්ධය පුපුරා යාමට මෙන්ම නාසි ආක‍්‍රමනයට පෙර ඊට මුහුන දීම සඳහා සෝවියට් හමුදා සූදානම් නොකිරීම සම්බන්ධයෙන් ඉමහත් වගකීමක් දරයි.

සියල්ලටත් වඩා, ජර්මනියේ ප‍්‍රධාන පක්ෂ දෙකට එනම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (SPD) හා කොමියුනිස්ට් පක්ෂයට (KPD) ජර්මානු කම්කරු පන්තිය එකමුතු කිරීමට නොහැකිවීම 1933 දී හිට්ලර් බලයට පැමිනීමට මග පෑදුවේය. කොමින්ටනය විසින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, “සමාජ ෆැසිස්ට්වාදීන්” ලෙස හංවඩු ගැසු අතර ඔවුන් නාසින්ගෙන් වෙන්කර දැක්වීමට අපහසු තරමේ විරුද්ධවාදීන් නොව නිවුන්නු බව කියා සිටියේය. ජර්මන් කොමියුනිස්ට් පක්ෂය, “හිට්ලර්ගෙන් පසු අපි” යන සටන් පාඨය කරපින්නා ගත්තේය.

ස්ටැලින්වාදීන්, හිට්ලර් බලයට පැමින මාස කිහිපයකින් ඇද වැටෙනු ඇතැයි ඇඟවීම මගින් සාපරාධී ලෙස ජර්මානු කම්කරුවන් නිරායුද කලේය. පෙබරවාරියේදී රයිස්ටාගය ගිනි ගැනීමෙන් පසුව හිට්ලර්, කම්කරු පන්තියේ සංවිධානාත්මක විරෝධය මැඩලීමට අසාමාන්‍ය නීති යොදාගත්තේය. නාසි පාලනයේ මුල්ම ගොදුරු බවට පත් වුයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර, කොමියුනිස්ට් හා වෘත්තිය සමිති නායකයන් ය. ඔවුන් බොහෝදෙනා ඝාතනය කරන ලදී, නැත්නම් වධකාගාර වලට යවන ලදී.

ඊලඟ පහර එල්ල වුනේ, 1936-1938 කාලය තුල ඔක්තෝබර් විප්ලවයට සම්බන්ධ, ජීවත්ව සිටි සියලු නායකයන්ම වාගේ සමුල ඝාතනය කල ස්ටැලින්ගේ මහා ත‍්‍රස්තයයි. මෙයට 1937 දී රතු හමුදාවේ කරන ලද විරේකය ද ඇතුලත් ය. එහිදී 30,000-40,000 අතර නිලධාරීන් ප‍්‍රමානයක් ඝාතනය කරන ලදී. මූලිකවම එය, එල්බෙමින් තිබුනු යුද්ධය අභියස දී හමුදාව අක‍්‍රිය කිරීමක් විය. සිවිල් යුද්ධයේදී මාහැඟි අත්දැකීම් ලබා සිටි හා එතැන් පටන් ගතවූ දශකවල දියුනු යුද මූලෝපායක් වර්ධනය කල, ටුර්කාවෙස්කි, යාර්කි, අයිද්මන්, කොර්ක් හා ප‍්‍රිමාකොව් යන රතු හමුදාවේ නිලධාරීන් වධබන්ධනයට ලක්කර 1937 මැයි මාසයේදී වෙඩි තබා මරා දමන ලදී. ඔවුන් 1941 ජීවත් ව සිටියා නම් 1941 දී හිට්ලර්ගේ ආක‍්‍රමනයේ මුල්ම ව්‍යසනය හැකිතාක් දුරට අවම කරගත හැකිව තිබුනි.

මීට අමතරව, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අවධියේ ස්ටැලින් අනුගමනය කල මහජන පෙරමුනු ප‍්‍රතිපත්ති, කොමිනියුස්ට් පක්ෂය සමාජවාදී විප්ලවයේ ගෙල සිර කිරීමට මෙහෙයවූයේ, ෆ‍්‍රැන්කෝගේ ෆැලැන්ගිස්ට් හමුදාවන්ට - හිට්ලර්ගේ හා මුසෝලිනිගේ සහය ලැබූ - එරෙහිව “අධිරාජ්‍යවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්” සමග සන්ධාන ගොඩනැගීම වෙනුවෙන්ය. ස්පාඤ්ඤ කම්කරු පන්තිය පරාජය කිරීම සහතික කිරීමෙන් පසුව ලෝක යුද්ධය ආසන්න බව පෙනී ගියේය.

ඉන් පසුව, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය තුල සිටි බොහෝ දෙනා කම්පනයට පත් කරමින් ස්ටැලින්, හිට්ලර් සමග සාම ගිවිසුමක් 1939 අගෝස්තු 23දා අත්සන් කලේය. මහජන පෙරමුන කාලයේ හෙලා දකින ලද එම ෆැසිස්ට් පක්ෂ ම, විශ්වාසනීය සහචරයින් ලෙස වර්නනා කිරීම මගින් කම්කරු පන්තියේ දේශපාලන විඥානය ඉමහත් ලෙස ව්‍යාකූල කලේය.

1930 ගනන් පුරාම මෙම සිදුවීම් පිලිබඳ වඩාත්ම අභිනිවේශනාත්මක විශ්ලේෂනයන් ඉදිරිපත් කරනු ලැබුවේ, ලෙනින් සමග ඔක්තෝබර් විප්ලවයේ සම නායකයා වූ හා රතු හමුදාවේ ආරම්භකයා වූ ලියොන් ට්‍රොට්ස්කි ය. ස්ටැලින් විසින් ඔහු 1929 දී සෝවියට් සංගමයෙන් පිටුවහල් කර තිබුනි. හිට්ලර් බලයට පැමිනීම දක්වා ද ඉන්පසුව ද කොමින්ටනය තම ප‍්‍රතිගාමී ප‍්‍රතිපත්ති ආරක්ෂා කරද්දී ට්‍රොට්ස්කි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවාදී පක්ෂය වන හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීම ආරම්භ කරන ලදී.

ඔක්තෝබර් විප්ලවයේ සමාජ ජයග‍්‍රහන ආරක්ෂා කරන අතරතුර ම ලෝක සමාජවාදී විප්ලවයේ පෙර ගමනේ මූලික අංගයක් ලෙස දේශපාලනිකව ස්ටැලින්වාදී නිලධරය පෙරලා දැමීම සඳහා ට්‍රොට්ස්කි කැඳවුම් කලේය. 1934 දී ඔහු සෝවියට් සංගමය හා වඩා වේගයෙන් සන්නද්ධ වෙමින් පැවති ජර්මනිය අතර ඇති විය හැකි යුද්ධය පිලිබඳ කල තක්සේරුව අනාවැකියකට සමානය.

දත්ත ඇතිසැටියෙන්ම ගත යුතුය: යුද්ධය බැහැර කල නොහැක්ක මෙන්ම එය නොවැලැක්විය හැකි ද වන්නේය. ඉතිහාස පොත් කියවීමට හැකි හා කැමති පුද්ගලයෙකුට කල්තබාම අවබෝධ වනු ඇත්තේ, 1905 සිට අවුරුදු තිහක් තරම් කාලයක් පසු බසිමින් නමුත් විකාශය වූ රුසියනු විප්ලවයට, එහි ශක්තිය යුද්ධයේ ඇල මංවලට හැරවීමට හා දැවැන්ත හා ඉහ වහා යන බලවේගයක් මුදා හැරීමට එයට බල කෙරෙනු බවය.

හිට්ලර් ස්ටැලින් සම්මුතිය දක්වා ගතවූ වසර 6 තුල ට්‍රොට්ස්කි, ස්ටැලින් ජර්මනිය සමග සමතයකට ඒමට උත්සාහ කරන බවට පුන පුනා අනතුරු ඇඟවීය. 1939 සැප්තැම්ර් 01දා හිට්ලර් පෝලන්තය ආක‍්‍රමනය කරන විට “අනාක‍්‍රමනික” ගිවිසුමේ රහසිගත වගන්ති අප‍්‍රසිද්ධව තිබුනි. සැප්තම්බර් 17 දින සෝවියට් සංගමය නැගෙනහිරින් පෝලන්තය ආක‍්‍රමනය කිරීම මගින් එම රාජ්‍යය ජර්මනියත් සමග බෙදා ගැනීමට මග පෑදීය. බෝල්ටික් රාජ්‍යයන් (ලැට්වියා, එස්තෝනියා සහ ලිතුවේනියා) හා රුමේනියාවේ භූමිභාගයන් ද සෝවියට් සංගමය යටතට ගැනීම සඳහා ඉඩ සලසන වගන්ති ගිවිසුමට ඇතුලත් විය. 1939 නොවැම්බරයේදී ස්ටැලින් රුදුරු “ශීත සෘතු යුද්ධය” සමගින් ෆින්ලන්තය ආක‍්‍රමනය කලේය. එය විශාල ජීවිත හානි සහිතව ෆින්ලනතයේ භූමි භාගයක් අල්ලා ගැනීමට මග පෑදීය.

හිට්ලර් සෝවියට් සංගමය ආක‍්‍රමනය කරන තෙක් ගතවූ මාස 22 තුල ස්ටැලින්, බටහිර යුරෝපය තුල නාසි යුද ව්‍යායාමයට ඉමහත් රුකුලක් වූ, අමුද්‍රව්‍ය හා ආහාරපාන ජර්මනියට සපයා දුන්නේය.

මුලදී හිට්ලර් පෝලන්තයේ, ප‍්‍රන්සයේ, නෙදර්ලන්තයේ හා අනිකුත් ප‍්‍රදේශවල කඩිනම් යුද ජයග‍්‍රහන ලබා ගත්ත ද ට්‍රොට්ස්කි අවධාරනය කලේ, ජර්මානු අධිරාජ්‍යවාදයට එහි ප‍්‍රතිවිරෝධයන්, යුරෝපය අල්ලා ගැනීමට උත්සාහ කිරීම මගින් විසඳා ගත නොහැකි බවය. සෝවියට් සංගමයට පහර දීම සඳහා හිට්ලර් අනිවාර්යයෙන්ම නැගෙනහිරට හැරෙන බව ද ඔහු පැහැදිලි කලේය. ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයකින් යුද්ධය ව්‍යාප්ත වන විට ට්‍රොට්ස්කි විශ්වාස කලේ යුද්ධය විසින් ඇති කරන විප්ලවවාදී කැලඹීම් හමුවේ ස්ටැලින්වාදී නිලධරය ආරක්ෂා නොවන බවය. මෙම තතු යටතේ හතරවන ජාත්‍යන්තරයට නව වටයක සමාජවාදී විප්ලවයකට නායකත්වය දීමේ හැකියාව ඔහු පෙර දැක්කේය.

හිට්ලර්ට වඩා ට්‍රොට්ස්කි ගැන බිය වූ ස්ටැලින් ඔහු ඝාතනය කිරීම සඳහා ප‍්‍රබල උත්සාහයක් ගත යුතු බවට නියෝග කර තිබුනි. මුල ලෝකයේම අවධානය බි‍්‍රතාන්‍ය සටන දෙසට යොමුව පවතින විට 1940 අගෝස්තුවේදී ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට රේමන් මර්කේඩර් සමත් විය.

මේ අතර තුර හිට්ලර්, සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීම සඳහා සූදානම ලෙස සැලකූ බාබරෝසා මෙහෙයුම දියත් කරන ලෙස ඔහුගේ ජෙනරාල්වරුන්ට නියෝග කලේය. යුද්ධ ටැංකි 3000 හා ප‍්‍රබල ගුවන් හමුදාවක් සමග 1941 ජුනි 22 දින මිලියන 3.6 වඩා වැඩි හමුදා සේනාංක දේශ සීමාවන්ට බලමුලු ගැන්වීය. යුද්ධයේ මුල් මාස හය තුල මිලියන තුනක සෝවියට් භටයන් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන්ගෙන් මිලියන දෙකක පිරිසක් 1942 ජනවාරි වන විට යුද සිරකරුවන් ලෙස හාමතේ මියගොස් තිබුනි.

සෝවියට් සිරකරුවන් හාමතේ තැබීම හිට්ලර්ගේ, ප‍්‍රධාන නැගෙනහිර සැලසුමේ “දැනුවත් අංගයක් විය. යුද්ධයේ අරමුන වූයේ යූරල් කඳුවැටිය දක්වා මුලු සෝවියට් සංගමයම යටත් කර ගන්නා අතරතුර අලුතින් අල්ලා ගත් භූමි ප‍්‍රදේශවල “ජීවත්වීමේ ඉඩකඩ තුල” ආර්ය පුරවැසියන් පදිංචි කිරීම ය. ස්වදේශීය ජනතාව “සමූල ඝාතනයේ යුද්ධය” තුලින් මිය යනු ඇතැයි අපේක්ෂා කලේය; යුද්ධය තුලින් මිය නොයන පිරිස වහල් ශ‍්‍රමිකයන් ලෙස යොදාගැනීමට, ඝාතන කල්ලි මගින් සමූල ඝාතනය කිරීමට හා හාමතේ මිය යෑමට ඉඩ හැරීමට බලාපොරොත්තු විය. මිලියන 20-30 අතර සෝවියට් පුරවැසියන් පිරිසක් හාමතේ තැබීම තුලින් මිය යනු ඇතැයි හිට්ලර් බලාපොරොත්තු විය.

නාසි පාලනය රුදුරු ලෙස ප‍්‍රතිකොමියුනිස්ට්වාදී විය. හිට්ලර් දුටුවේ “යුදෙව් බෝල්ෂෙවික්වාදය” විනාශ කිරීම අත්‍යන්තයෙන්ම යුරෝපයේ සමස්ත යුදෙව් ප‍්‍රජාවම විනාශ කිරීම හා සම්බන්ධව පවතින බවය. නාසීන් විසින් යුද්ධයේදී මිලියන හයක් යුදෙව්වන් ඝාතනය කලේය, මිලියන ගනනක් සෝවියට් ආක‍්‍රමනයේදී ඝාතනය කරන ලදී.

බටහිර යුරෝපය තුල ගෙන ගිය වේගවත් යටත් කිරීමේ ජයග‍්‍රහන හේතුවෙන් අධිවිශ්වාසයකින් යුතුව සිටි හිට්ලර්, සෝවියට් පාලනය සති 6 තුලදී බිඳ වැටෙනු ඇතැයි බාලාපොරොත්තු විය. ඔහුගේ හමුදා පෙරමුනු තුනකින් ලෙනින්ග‍්‍රාඩ්, මොස්කව් හා ස්ටැලින්ග‍්‍රාඩ් දෙසට ඇදෙන විට අනපේක්ෂිත ලෙස ඔවුන්ට භයානක ප‍්‍රතිරෝධයකට මුහුනදීමට සිදුවිය. සිදුවුනු දැඩි විනාශයන් මධ්‍යයේ වුවත් සෝවියට් හමුදා, ෆැසිස්ට් ආක‍්‍රමනිකයින් පරාජය කිරීම සඳහා දරුනු ලෙස සටන් වැදුනේය. ජර්මානු හමුදා රුසියාවේ අභ්‍යන්තරයට යන විට සෝවියට් කර්මාන්ත විශාල ප‍්‍රමානයක් ගලවා මධ්‍යම ආසියාවට හා සයිබිරියාවට ගෙන යන ලද්දේ කම්කරු පන්තියේ විශාල කැප කිරීම් සමගින් ය. ස්ටැලින්ගේ විකෘති කිරීම් තිබිය දී වුවත්, 1943 දී සෝවියට් සංගමයේ මධ්‍යගත සැලසුම් ආර්ථිකය ජර්මන් යුද ආයුධ වලට වඩා ප‍්‍රමානයක් නිපදවුයේය.

ස්ටැලින්ග‍්‍රාඩ් හි පස් මසක දරුනු සටන නිමාවුයේ 1943 පෙබරවාරියේ හිට්ලර්ගේ හමුදා පසු බැසීමත් සමගය. 1943 දී සිදුවුනු මහා කර්ස්ක් සටනට මිලියන 3 සොල්දාදුවන් හා දහස් ගනනක් යුද්ධ ටැංකි යොදා ගැනුනි. සෝවියට් හමුදා 1944 අගදී ජර්මනියට ලඟාවිය. 1945 අපේ‍්‍රල් 30 දින හිට්ලර් සියදිවි හානි කරගත්තේ බර්ලින් ගැටුම සිදුවන අතරතුරදී ය. නාසි පාලනය සම්පුර්නයෙන්ම යටත් වීම සිදුවූයේ මොස්කව් වේලාවෙන් මැයි 9 දා මධ්‍යම රාත‍්‍රියෙන් පසුව ය.

යුද්ධයෙන් පසුව ස්ටැලින්වාදී පාලනය ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් (එක්සත් ජනපදය, ප‍්‍රන්සය, මහා බි‍්‍රතාන්‍ය) සමග සාමකාමී සහජීවනයේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කලේය. යෝල්ටා, ටෙහෙරාන් හා පොට්ස්ඩෑම් රැස්වීම්වලදී එලඹුනු තීරන අනුව නැගෙනහිර යුරෝපය සෝවියට් සංගමයේ බලපෑමට යටත් වූ අතර ප‍්‍රන්සයේ, ඉතාලියේ හා ග‍්‍රීසියේ ෆැසිස්ට්වාදීන්ට එරෙහි ප‍්‍රතිරෝධය ගොඩනැගූ නායකත්වය කොමියුනිස්ට් පක්ෂ විසින් මැඩ පවත්වමින් විප්ලවයේ ගෙල සිරකරන ලදී.

මේ අතර යුද්ධයෙන් බැට කෑ බොහෝ සෝවියට් පුරවැසියන් බාලාපොරොත්තු වූයේ යුද්ධයට පසුව ස්ටැලින්වාදී තන්ත‍්‍රය සහනශීලි වනු ඇතැයි කියාය. එහෙත් වේදනාකාරී වූ නැවත ගොඩනැගීමේ යුගයේදී එවැන්නක් සිදුවුයේ සුලුවෙනි. “ප‍්‍රති විශ්වසාධාරනත්ව” හා “ඩොක්ටර්ස් ප්ලොට්” ව්‍යාපාරයන්හිදී ස්ටැලින්ගේ ජාතිකවාදී හා කම්කරු පන්ති විරෝධී ප‍්‍රතිපත්ති බිහිසුනු ස්වරූපයක් ගත්තේය. 1953 මාර්තුවේ ස්ටැලින් මිය ගිය පසු රාජ්‍ය අනුග‍්‍රහය ලැබූ යුදෙව් විරෝධී ව්‍යාපාරයන් ඉක්මනින්ම අවසානයකට පත් විය.

ජර්මනියේ ෆැසිස්ට්වාදයට එරෙහි ජයග‍්‍රහනයේ සිට දශක හතක් ගතවන කල සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ස්ටැලින්ගේ අනුගාමිකයන් සෝවියට් සංගමයේ ධනවාදය පුනස්ථාපනය කිරීමට පියවර ගෙන තිබුනි. දුෂිත හා ධනවාදී කතිපයාධිකාරින්ගේ ඒකාධිකාරී නියෝජිතයා වන ව්ලැඩිමීර් පුටින් මැයි 9 සැමරුම යොදා ගන්නේ තම උග‍්‍ර ජාතිකවාදී වැඩපිලිවෙල නගාසිටුවීම සඳහා ය. ස්ටැලින් උත්කර්ෂයට නැගීම ද ඊට ඇතුලත්ය. කෙසේ වෙතත්, රතු චතුරස‍්‍රයේ පෙලපාලි දක්වන හමුදාව තව දුරටත් ඔක්තෝබර් විප්ලවය ඇතිකරන ලද ප‍්‍රගතිශීලි සමාජ පදනම මත පදනම් වී නොමැත. පුටින්ගේ පාලන තන්ත‍්‍රය නියෝජනය කරන්නේ ස්ටැලින්වාදී නිලධරයේ පාවාදීමේ අවසන් කටයුත්ත වූ සෝවියට් සංගමය විසුරුවා හැරීම හා ධනේශ්වර පදනමක් මත එරට ලෝක ආර්ථිකයට ඒකාබද්ධ කිරීම මගින් වාසි ලැබූ බිලියනපතියන් ය.

අධිරාජ්‍යවාදී රටවල් රුසියාවේ පවත්වන ෆැසිස්ට්වාදයට එරෙහි ජයග‍්‍රහනය සැමරීමේ උත්සවය වර්ජනය කිරීමට ප‍්‍රධාන හේතුව, ඔවුන් අද දිනයේ අනුගමනය කරන ප‍්‍රතිපත්ති නාසින්ගේ ප‍්‍රතිපත්ති වලට සමාන වීමය. දෙවන ලෝක යුද්ධයේදී යුක්රේනය තුල, නාසි පාලනය සමග එක්ව කටයුතු කල ජාතිකවාදීන්ගේ උරුමක්කාරයින් වන ෆැසිස්ට් බලකායන් සමග එක්සත් ජනපද හා ජර්මන් අධිරාජ්‍යවාදීන් සහයෝගයෙන් කට යුතු කලේය.

එක්සත් ජනපදය සිතාමතාම හා ක‍්‍රමානුකූලව රුසියාව සමග යුද ගැටුමක් අවුලවමින් සිටී. 2014 පෙබරවාරියේ යුකේ‍්‍රනය තුල සිදුවූ කුමන්ත‍්‍රනයෙන් පසුව ඇමරිකාවේ මූලිකත්වයෙන් රුසියාවට එරෙහිව සමස්ත කලාපයම දැඩි මිලිටරිකරනයට යටත් කර ඇත. මොස්කව්හි සැමරුම් පවත්වන විට නේටෝ හමුදා යුද අභ්‍යාස පවත්වන්නේ රුසියානු දේශසීමාවලට වැඩි ඈතකින් නොවේ.

යුක්රේන කුමන්ත‍්‍රනයට සහය දැක්වූ ජර්මානු පාලක පන්තිය අනාගතයේ නව අපරාධ සිදුකිරීමට සුදානම් වීම සඳහා අතීත අපරාධයන්ට සුදු හුනු ගෑමට උත්සාහ දරයි. ජර්මානු ශාස්ත‍්‍රාලිකයන් හිට්ලර් පාලනයේ අපරාධ සාපේක්ෂකරනය කර, නාසිවාදය බෝල්ෂෙවික් විප්ලවය කෙරේ පලවූ සාධාරන ප‍්‍රතිචාරයක් ලෙස ඉදිරිපත් කරයි.

යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය අවසන් වී හැත්තෑ වරසක් ගතවන තැන, සමස්ත මහද්වීපයම - සැබැවින්ම ලෝකයම - අපාලිත මිලිටරිවාදයේ නැගීමකට මුහුන දී සිටියි. නව අධිරාජ්‍යවාදී යුද්ධයක් වැලැක්වීමට ඇති එකම මග, යුරෝපයේ පමනක් නොව මැදපෙරදිග, ආසියාවේ හා සැබවින්ම ලෝකයේ සෑම කොනකම කම්කරු පන්තිය සමාජවාදී හා විප්ලවවාදී වැඩපිලිවෙලකට ජාත්‍යන්තරව බලමුලු ගැන්වීමයි.

ෆ්‍රෙඩ් විලියම්ස්

Share this article: