ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය පලමු ජාතික සම්මේලනය පවත්ව යි

Socialist Equality Party (Sri Lanka) holds first national congress

අපගේ වාර්තාකරුවන් විසිනි,2015 අපේ‍්‍රල් 21

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 27වැනිදා සිට 30වැනිදා දක්වා දින හතරක් කොලඹ දී එහි පලමු සම්මේලනය පැවත්වී ය. සම්මේලනය ඒකමතිකව යෝජනා දෙකක් සම්මත කලේ ය: “සමාජවාදය හා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන”― හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් සම්මත කරන ලද යෝජනාවකි ― සහ “යුද්ධයට එරෙහි දේශපාලන අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ‍්‍රී ලංකාව) දේශපාලන කර්තව්‍යයෝ” එම යෝජනා යි.

සසප සම්මේලනය

උතුරු ප‍්‍රදේශය හා වතුකරය ද ඇතුලුව දිවයින පුරා නියෝජිතයෝ සම්මේලනයට සහභගී වූහ. හජාජාක නියෝජනය කරමින්, ඇමරිකාව, ඕස්ටේ‍්‍රලියාව හා ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂවල ප‍්‍රමුඛ සාමාජිකයෝ සමුලුවට සහභාගී වූහ. එක්සත් රාජධානියේ හා කැනඩාවේ පක්ෂ මෙන්ම ඉන්දියාවේ සසප ආධාරකරුවන්ගේ කන්ඩායම් ද ශුභපැතුම් ද ඉදිරිපත් කරන ලදී.

ආරම්භක වාර්තාව ඉදිරිපත් කරමින් සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් තම කතාව ඇරඹුවේ ගිය වසරේ ජූනි 9වැනිදා නිකුත් කරන ලද , සමාජවාදය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන නම් හජජාක යෝජනාව පක්ෂයේ දේශපාලන අරගලයේ හරි මැද තැබීමේ වැදගත්කම අවධාරනය කරමිනි. ඔහු යෝජනාව උපුටා දැක්වී ය: “නව ලෝක යුද්ධ තර්ජනය මතුවන්නේ නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය මුල් බැස තිබෙන එකිනෙකට ප‍්‍රතිවාදී ජාතික රාජ්‍ය ලෙස ලෝකය බෙදී තිබීම හා ගෝලීය ආර්ථිකයක වර්ධනය අතර පරස්පරවිරෝධයන් තුලිනි. මෙය සිය තියුනුම ප‍්‍රකාශනය අත්කර ගන්නේ, සියල්ලටත් වඩා රුසියානු හා චීන විප්ලව මගින් දශක ගනනක් තිස්සේ තමා බැහැර කොට තිබුනු යුරේසියානු භූමි ස්කන්ධය මත සිය අනසක පතුරුවා ගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තල්ලු වී යාම තුල ය.”

“අප මෙම නිගමනයට පැමිනියේ ― යුද්ධයට හා සමාජවාදය සඳහා සටන අපගේ දේශපාලන වැඩ කටයුතුවල හරි මැදට ගෙන ඒමට ― දීර්ග කාලයක් තිස්සේ ලෝක ආර්ථික හා දේශපාලන වෙනස්කම් කිට්ටුවෙන් හැදෑරීම හා විශ්ලේෂනය කිරීම හරහා ය. ජාත්‍යන්තර ව සසප ආරම්භක සමුලු පවත්වන ලද්දේ මෙම පක්ෂවල ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම විස්තීර්න ලෙස විභාග කරන ලියවිලිවල පදනම මත” යයි ඩයස් පැහදිලි කලේ ය.

සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

ධනවාදයේ අර්බුදය මනුෂ්‍යවර්ගයා තවත් විනාසකාරී යුද්ධයකට ඇද දැමීමට තර්ජනය කරන, ලෝක ආධිපත්‍යය සඳහා වන ව්‍යායාමයක් සඳහා ඇමරිකාව පොලඹවා ඇති බව පැහදිලි කල 2011 සසප ආරම්භක සම්මේලනයේ ලියවිල්ල ගැන කථිකයා සඳහන් කලේ ය. මෙරට ඇතුලු දකුනු ආසියාව තුල එමගින් ජනිත කල ප‍්‍රතිවිපාක සඳහන් කරමින් ඩයස්, එම ලියවිල්ල උපුටා දැක්වී ය: “ඉන්දියානු සාගරයේ ප‍්‍රමුඛ නාවුක මාර්ග මධ්‍යයේ පිහිටා තිබීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරට, මහ බලවතුන් අතර තරගයේ සුලියට ඇද දමනු ලැබ ඇත.”

(ඔහු මෙසේ ද පැවසී ය: “අප අපගේ ඉදිරිදර්ශනය වර්ධනය කලේ ජාත්‍යන්තර හා ඓතිහාසික ප‍්‍රවිෂ්ටයක පදනම මත ය. රුසියාව හා මැද පෙරදිග පාලනය කිරීමට සහ ආසියා පැසිපික් කලාපය තුල චීනය වැටලීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එහි මැදිහත්වීම තීව‍්‍ර කර ඇත. 2015 ජනාධිපතිවරනය පිලිබඳ අපගේ විශ්ලේෂනය, වොෂින්ටනය කලාපය තුල සිදු කරන මැදිහත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මැතිවරනය දැක ගත්තේ ය. පෙරට පැමිනියේ ඇමරිකාව විසින් පෙල ගස්වන ලද හා ඉන්දියාව සහාය දැක්වූ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් තුල (මහින්ද) රාජපක්ෂට අභියෝග කිරීම සඳහා (මෛත‍්‍රීපාල) සිරිසේන පෙරට ගෙන තිබේ.”

එලඹෙන කාල පරිච්ඡේදයේ දී මෙරට හා සමස්ත කලාපයේම කම්කරු පන්තිය, හතුරු අධිරාජ්‍යවාදී බලවතුන් අතර තීව‍්‍රවන ගැටීම්වල පොරපිටියකට තල්ලු කරනු ඇත. කෙසේ නමුත්, නව සම සමාජ පක්ෂය (නසසප) වැනි ව්‍යාජ වම්මු පෙන්වා දෙන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක වෙලඳ සංවිධානය හරහා අධිරාජ්‍යවාදය එහි ප‍්‍රතිඝතිතාවන් විසඳා ගෙන ඇති බව යි. කම්කරු පන්තිය අවමංගත කිරීම පිනිස සාමකාමී අධිරාජ්‍යවාදය පිලිබඳ කාල් කෞවුට්ස්කිගේ න්‍යායන් ඔවුහු පුනරුච්චාරනය කරමින් සිටිති. යථාර්තයේ දී, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඕනෑම ගිවිසුමක් තාවතාකලික මෙන් ම බෙහෙවින් බිඳෙන සුලුය. රුසියාව සමග ගැටුමක් සඳහා වොෂින්ටනයේ සූදානම් වීම සම්බන්ධයෙන් ජර්මනිය හා ඇමරිකාව අතර මෑත දී මතභේද පැනනැගුනි. එමෙන් ම ජර්මනිය, ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය මෑත දී වොෂින්ටනයට පිටුපාමින්, චීනයේ ආරම්භකත්වය සහිත ආසියානු පොදුකාර්ය ආයෝජන බැංකුවට එකතු වූහ.

වොෂින්ටනය මෙය නො ඉවසනු ඇතැ යි ඩයස් අනතුරු ඇඟවී ය. ඇමරිකාව මෙරට පාලන තන්ත‍්‍රයේ වෙනසකින් පමනක් නතර නො වනු ඇත. රාජපක්ෂ තන්ත‍්‍රය ඉවත් කිරීමෙන් පසුව සිරිසේන ආන්ඩුව බලාපොරොත්තු වූයේ, ජාමූඅ හා වෙනත් ආයතන වලින් පහසු නය ලබා ගත හැකිය කියල යි. කොහොම වුනත්, ජාමූඅ නය ඉල්ලීම බැහැර කලා පමනක් නො ව මීට පෙර නියම කල ආකාරයට ආන්ඩුව අයවැය පරතරය අඩු කල යුතු යැයි දැඩිව පැවසුවා. එහි අර්ථය, කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව සමාජ - ප‍්‍රතිවිප්ලවය උත්සන්න කල යුතු බව යි.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය ඉන්දියාවේ මෝදි ආන්ඩුවට ද කප්පාදු පියවර ක‍්‍රියාවට නගන ලෙසට බල කරන බව ඩයස් පැහදිලි කලේ ය. ඇමරිකාව, පකිස්තානය තුල මැදිහත්වීම් ගැඹුරු කරමින් සිටින අතර බුරුමය එහි අක්ෂයට ඇද ගෙන ඇත. බුරුමය දැන් චීන දේශ සීමා ප‍්‍රදේශවල වර්ගවාදී ගැටුම් අවුස්සමින් සිටිනවා. 1947 - 1948 දී කලාපයේ අටවන ලද පශ්චාත්-යුද ගිවිසුම් සම්පූර්නයෙන් ම සුනුවිසුනු කෙරෙමින් තිබෙනවා.

ශ‍්‍රී ලංකාව තුල සසප ගොඩනැගීම සඳහා පන්ති අරගලයේ වර්ධනය තුල සෑම අවස්ථාවක්ම යොදා ගැනීමේ අවශ්‍යතාව ඩයස් අවධාරනය කලේ ය. “මාක්ස්වාදය සඳහා අප අධිෂ්ඨාන සහගත අරගලයක් ගෙන යා යුතු ය”. නසසප ඇතුලු ව්‍යාජ වම්මු, කම්කරු පන්තිය සඳහා නව දේශපාන උගුලක් ඇටවීමට වෙර දරයි. එහි නායක වික‍්‍රමබාහු කරුනාරත්න දැන් යෝජනා කරන්නේ සිරිසාව ගොඩනගාගෙන ඇති ආකාරයේ සංවිධානයක් ඇති කිරීමටයි, සිරිසාව දැනටමත් ග‍්‍රීසියේ කම්කරු පන්තිය පාවාදීලා ඉවරයි.

දෙවැනි ලෝක යුද්ධය අතරතුර දී ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදී බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය විසින් ගෙන යන ලද අරගලයේ පාඩම්වලට අවධානය යොමු කරමින් ඩයස් අවධානරය කලේ, දකුනු ආසියානු කලාපයේ හාජාජාක ශාඛා, විශේෂයෙන්ම ඉන්දියාවේ පක්ෂයක් ගොඩනැගීම සඳහා සසප වගකීම බාර ගනු ඇති බව යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති හා ඇමරිකාවේ සසප ජාතික සභාපති ද වන ඩේවිඩ් නෝර්ත් සම්මේලනයට සුබපැතුම් ගෙන ආවේ ය. ධනවාදී අර්බුදයේ ගෝලීය ස්වභාවය සහ ශ‍්‍රී ලංකාව තුල සිදුවෙමින් පවතින වර්ධනයන් හා ලෝක පරිමානව ධනවාදය තුල වර්ධනය වන අතිමූලික ප‍්‍රවනතා අතර සම්බන්ධය සම්මේලනය විසින් බරපතල ලෙස සලකා බැලීමේ වැදගත්කම ඔහු අවධාරනය කලේ ය. “පලමු ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධය ආසන්නයේදී පැවතියාට පසුව හටගත් ගෝලීය අර්බුදයක් මධ්‍යයේ මෙම ප‍්‍රශ්න දැන් අප හමුවට පැමින ඇතැ” යි ඔහු කියා සිටියේය.

බරක් ඔබාමා හා ඔහුගේ අධිරාජ්‍යවාදී සහචරයින්ගේ කුරිරු ක‍්‍රියා පිලිවෙත් විභාග කරමින් නෝර්ත් පැවසුවේ, “අවසාන ප‍්‍රතිවිපාකය වනු ඇත්තේ න්‍යෂ්ටික යුද්ධ හා මිනිසුන් මිලියන සිය ගනනකගේ විනාසය යි. දිනපතා ගිනිය නො හැකි මිලියන ගනනාවක් මහජනතාව මත විනාසකාරී හා මාරාන්තික බලපෑම් ඇති කරන තීරන ගන්නා අසාමාන්‍ය ලෙස බලගතු මූල්‍ය ප‍්‍රභූවක් වෙනුවෙන් ඔවුන් සිය පාලනය පවත්වාගෙන යයි. අපගේ කර්තව්‍යය වනුයේ ඒවාට එරෙහිව කම්කරු පන්තිය හා මහජනතාවන් බලමුලු ගැන්වීම යි.”

නෝර්ත් මෙසේ ද ප‍්‍රකාශ කලේ ය: “සහෝදරවරුනි, තත්වය අතිශයින් ම භයානක ය. එය තියුනුම ආකාරයෙන් ප‍්‍රකාශ වන්නේ කම්කරු පන්ති නායකත්වය ගොඩනැගීම පිලිබඳ අවශ්‍යතාව යි. දැවැන්ත ලෙස තීව‍්‍රවන භු-දේශපාලනික ආතතීන් යට පවතින ප‍්‍රතිඝතිතා, ජාත්‍යන්තර පරිමාන පන්ති අරගලය තීව‍්‍ර කිරීමට තුඩු දෙන එම ප‍්‍රතිවිරෝධතාවන් ම ය. අධිරාජ්‍යවාදී බලයන් අතර ජාත්‍යන්තර යුද්ධයේ අනතුර වැලක්විය හැක්කේ පන්ති අරගලයේ වර්ධනය, එනම් ජාත්‍යන්තර පරිමානව ධනපති පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ පන්ති අරගලය මගින් පමනකි.”

“පන්ති අරගලයේ වර්ධනය දැන් විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා කොන්දේසි නිර්මානය කරමින් පවතින නමුත් එයට ම ප‍්‍රශ්නය තීරනය කල නො හැක. අපගේ ව්‍යාපාරයේ දේශපාලනික කටයුතු, එහි ප‍්‍රායෝගික මැදිහත්වීම්, කම්කරු පන්තිය තුල න්‍යායික පැහදිලිකම සඳහා එහි සටන, විප්ලවවාදී කම්කරුවන්ගේ නිරන්තරයෙන් වැඩිවන කාඩරවරුන් සඳහා එහි ඉගැන්වීම් තීරනාත්මක ඓතිහාසික කාරනා ය.”

නෝර්ත් මෙසේ පැවසී ය: “සිරිසා බලයට පැමිනීම ග‍්‍රීසියේ මහජනතාවගේ ශ්‍රේෂ්ට ජයක් යැයි ග‍්‍රීසියේ හා ලෝකය පුරා ව්‍යාජ වම්මුන් විසින් හුවා දක්වන ලදී. මෙම උපහාර මධුපානෝත්ස්වයට එක් වීම හා ‘ශ්‍රේෂ්ට අත්දැකීම්’ බෙදාහදා ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා අපි හෙලා දකිනු ලැබ ඇත්තෙමු. අපගේ කර්තව්‍යය කම්කරු පන්තියට අනතුරු ඇඟවීම බව අපි කියා සිටියෙමු. අපි නිවැරදි ලෙසම සිරිසාවේ පාවාදීම් ප‍්‍රතික්ෂේප කලෙමු.”

“අත්දැකීම් පිලිබඳ එක් අවසන් කරුනක්. දැවන්ත දේශපාලනික ගම්‍යයන් සහිත න්‍යායික මට්ටමේ දී අත්දැකීම් පිලිබඳ මාක්ස්වාදී සංකල්පය, අත්දැකීම් පිලිබඳ අවස්ථාවාදී තත්කාර්යවාදී සංකල්පයෙන් මුලුමනින් ම වෙනස් ය. කම්කරුවන්ගේ ගිනිය නො හැකි එදිනෙදා අත්දැකීම් තුලට අප ගෙන ඒමට උත්සාහ කරන්නේ, විප්ලවවාදී හා ප‍්‍රතිවිප්ලවවාදී අත්දැකීම් හරහා දශක හා සියවස් ගනනක් පුරා දිවෙන මාක්ස්වාදී ව්‍යාපාරයේ සමුච්චිත ඓතිහාසික ප‍්‍රඥාව යි.”

“ට්‍රොට්ස්කි ඉතිහාසයේ මිනිසෙකු විය, හජාජාක ඉතිහාසයේ පක්ෂයක් වන අතර අපට සිරිසා ගැන, ඔබාමා ගැන, සිරිසේන ගැන නිකම්ම අදහස් නැත. සහෝදරවරුනි, අප ජීවත් වන්නේ ඉතිහාසය ඉතාමත් තියුනු හැරීම් ගනිමින් සිටින කාලපරිච්ඡේදයක ය. අප පෙල ගැසෙමින් සිටින්නේ එම ඓතිහාසික ව්‍යාපාරය සමග යි, එම ව්‍යාපාරය ගමන් කරන්නේ කම්කරු පන්තියේ පුලුල් බහුතරය සමග අපගේ සම්බන්ධයේ දී අපගේ පක්ෂ පරිවර්තනය කිරීමට ය.”

විශේෂයෙන් ම දකුනු ආසියාව සම්බන්ධව ජාත්‍යන්තර තත්වය හා පක්ෂයේ දේශපාලන කර්තව්‍යයන් විභාග කිරීමට සම්මේලනය දින හතරක් කැප කලේ ය. බොහෝ සම්මේලන නියේජිතයින් එයට සහභාගී වූයේ පක්ෂයේ දිග්ගැස්සුන දේශපාලන අරගලයන්ගේ අත්දැකීම්වලට අවධානය යොමු කරමිනි. සම්මේලනය භාෂා තුනකින්― සිංහල, දෙමල හා ඉංග‍්‍රීසි ― පැවැත්වුනි.

සාකච්ඡාව අවධානය යොමු කලේ, ගෝලීය දේශපාලනික ආතතීන් හා ඒවා ආසියාව තුල ප‍්‍රකාශ වී ඇත්තේ කෙසේ දැ යි සමාලෝචනය කල “යුද්ධයට එරෙහිව දේශපාලන සටන හා සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කර්තව්‍යයෝ” නම් යෝජනාව මත ය. ශ‍්‍රී ලංකාවේ ජානධිපතිවරනයේ දී රාජපක්ෂ ඉවත් කිරීමට හා සිරිසේන පත් කිරීමට ඇමරිකාව කල මැදිහත්වීම, චීනය සමග ගැටුමක් දෙසට වන ඔබාමා පාලනාධිකාරයේ වැඩිවන්නා වූ තල්ලුවේ තියුනු ප‍්‍රකාශනයකැ යි එය අවධාරනය කලේ ය.

වොෂින්ටනය දකුනු ආසියාව හා ඉන්දියානු සාගරය දකින්නේ, චීනය හුදකලා කර වැටලීමට මෙන් ම එහි කොල්ලකාරී න්‍යායපත‍්‍රයට ඉන්දියාව යටත් කිරීම සඳහා වන එහි සැලැසුම්වලට මාධ්‍යගතව යයි යෝජනාව පැහදිලි කර ඇත. ජපානය හා ඕස්ටේ‍්‍රලියාව සමග එක්සත් ජනපදය නායකත්වය දෙන සිව්පාර්ශ්වීය චීන විරෝධී හවුලකට ඉන්දියාව ඇඳා ගැනීමට වොෂින්ටනය උත්සාහ කරමින් සිටින බවත්, එමෙන් ම ඉන්දියාවේ මෝදිගේ ආන්ඩුව යටතේ මෙම න්‍යායපත‍්‍රය වේගයෙන් ඉදිරියට යමින් තිබෙන බවත් යෝජනාව අනතුරු අඟව යි.

යෝජනාව සසප ජනාධිපතිවරන ව්‍යාපාරයේ වැදගත්කම සඳහන් කර යි. මෙම ව්‍යාපාරය “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා “යහ පාලනය” යලි ස්ථාපිත කිරීමේ ව්‍යාජ ධජය යටතේ ශ‍්‍රී ලංකාව තුල සිරිසේන හා ඇමරිකාවේ අනුග‍්‍රහය ලත් මැදිහත්වීම පිටුපස ගාල් වුනු සියලු ව්‍යාජ-වාම කන්ඩායම්වලට එරෙහිව යුද්ධයට හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව සටන එහි කේන්ද්‍රයේ තැබී ය.

මෙම ව්‍යාජ-වාම ප‍්‍රවනතාවන්ට එරෙහිව දේශපාලනික හා න්‍යායික අරගලයේ හා දකුනු ආසියාව තුල හාජාජාක ශාඛා ගොඩනැගීමේ කොටසක් ලෙස සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ගොඩනැගීමේ වැදගත්කම ද යෝජනාව අවධාරනය කර යි.

අවසාන දිනයේ දී සම්මේලනය ප‍්‍රධාන ලේකම් ලෙස විජේ ඩයස් ද, සහකාර ජාතික ලේකම් ලෙස දීපාල් ජයසේකර හා ලෝසවෙඅ ජාතික කතෘ ලෙස කේ. රත්නායක ද නැවත පත් කර ගත්තේ ය. “යුද්ධයට එරෙහිව දේශපාලන සටන හා සමාජවාදී සමානතා පක්ෂයේ (ශ‍්‍රී ලංකාව) දේශපාලන කර්තව්‍යයෝ” නම් යෝජනාව ඉදිරි දිනවල දී ලෝසවෙඅහි පල කෙරේ.

Share this article: