ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආන්ඩුවේ මූල්‍ය බංකොලොත්කම ගැන අනතුරු අඟවයි

Former Sri Lankan president warns of government financial bankruptcy

කේ. රත්නායක විසිනි, 2015 මැයි 14

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ පසුගිය සතියේ, ආන්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවාගැනීමට පවා නොහැකි තරම් මූල්‍ය බංකොලොත් කමකට මුහුනපා ඇති බවට අනතුරු ඇඟවීය.

ශ‍්‍රි ලංකාවේ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සංවිධානය කල රැස්වීමක් අමතමින් ඇය මෙසේ පැවසුවාය. “ආන්ඩුවට රජයේ සේවකයින් සියල්ලන්ට වැටුප් ගෙවාගත නොහැකි ය. ආන්ඩුවට රාජ්‍ය අංශය පුලුල් කිරීම දුෂ්කරවී ඇති අතර සමහර සේවකයින්ට කරන්නට වැඩ නැත.”

ඇය ඊට වඩා කථා කලේ නැත. කෙසේ වෙතත් ඇය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කලින් පැවති ආන්ඩුව ගෙන ගිය ව්‍යාපෘතීන් දූෂිත හෝ “විනිවිද භාවයකින් තොර” වීම මත මූල්‍ය අර්බුදයේ වරද පැටවූවාය.

ආන්ඩුවට “ඇති තරම් මුදල් තිබෙන” බව කියමින් මුදල් ඇමති රවි කරුනානායක, කුමාරතුංගගේ ප‍්‍රකාශ “පදනම් විරහිත” යයි ප‍්‍රතික්ෂේප කලේය. ඒ විගසම ඔහු, රුපියල් බිලියන 1352 ආන්ඩුවේ ආදායම ට සාපේක්ෂව නය සේවා පිරිවැය “අතිශයන්ම ඉහල” රුපියල් බිලියන 1290ක් හෙවත් එජ ඩොලර් බිලියන 9.7ක් බව පිලිගත්තේය. වෙනත් විදිහකට කිවහොත් නය සේවා පිරිවැය, ආන්ඩුවේ ආදායමින් සියයට 95.4ක් කා දමන බවයි.

පසුගිය ජනවාරියේදී නව ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒමේදී කුමාරතුංග ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කලාය. එවකට විපක්ෂ නායකයා හා දැන් අගමැති බවට පත්ව සිටින රනිල් වික‍්‍රමසිංහ සමග ඇය, රාජපක්ෂ ඉවත් කර, කොලඹ, ඇමරිකාවට හා ඉන්දියාවට ගැති පාලන තන්ත‍්‍රයක් ඇටවීම පිනිස වොෂින්ටනය සමග සමීපව කටයුතු කලාය.

කුමාරතුංග දැන්, “ත‍්‍රිත්වය” ලෙස ප‍්‍රකට, සිරිසේන හා වික‍්‍රමසිංහ සමග සෘජුවම පෙලගැසී සිටියි. සියලු දේශපාලන තීන්දු ගනු ලබන්නේ එය විසිනි. එලඹෙන බව දැන් පැහැදිලිවී ඇති පාර්ලිමේන්තු මැතිවරනය වන විට, ආන්ඩුවේ මූල්‍ය අර්බුදය හා ඒ පිටුපස එන කප්පාදු පියවරයන් සඳහා වරද රාජපක්ෂ මත පැටවීම ඇගේ ප‍්‍රකාශයන්හි පැහිදිලි අරමුන වී ඇත. රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස යලි ඉදිරියට ගැනීම සඳහා ඔහුගේ සහචරයින් දියත්කර තිබෙන ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ඇය උත්සාහ කරයි.

කුමාරතුංගගේ ප‍්‍රකාශය, රට මුහුනපා ඇති ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබඳව පාලක කවයන් තුල ඇති තිගැස්ම සලකුනු කරයි. මැතිවරනයෙන් පසුව කවුරු ඊලඟ ආන්ඩුව පිහිටු වුව ද තවදුරටත් සිය ජීවන තත්වයන් හා සමාජ අයිතීන්ට එල්ල කෙරෙනු ඇති රුදුරු ප‍්‍රහාර පිලිබඳව එය, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට කෙරෙන අනතුරු ඇඟවීමක් ද වේ.

ආන්ඩුවේ මූල්‍ය දුෂ්කරතා සලකුනු කරමින් මාසයකට පෙර මුදල් ඇමති කරුනානායක, රුපියල් බිලියන 400ක භාන්ඩාගාර බිල්පත් නිකුත් කිරීම පිනිස පාර්ලිමේන්තුවේ අනුමැතිය පැතීය. එහෙත් පාර්ලිමේන්තු බහුතරයක් සහිත විපක්ෂය, උද්ධමනය නරක අතට හරවන පරිදි ආන්ඩුවට මුදල් අච්චු ගැසීමට දෙන අවසරයක් බව කියා සිටිමින් පනත අවහිර කලේය.

මාර්තුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ සංචාරය මධ්‍යයේ ආන්ඩුව, ඉන්දියානු ෆෙඩරල් සංචිත බැංකුව සමග එජ ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරු ගිවිසුමකට අත්සන් තැබීය. දෙසතියකට පෙර ආන්ඩුව මෙම ගිවිසුම යටතේ, නය ආපසු ගෙවීම හා අනෙකුත් මූල්‍යමය වගකීම් පියවීම සඳහා ඩොලර් මිලියන 400ක් ලබාගත්තේය.

බීජිනය සමග කිට්ටු බැඳීම් ඇතිකරගෙන තිබුනු රාජපක්ෂ ආන්ඩුව සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා චීනයෙන් දැවැන්ත නය මුදල් ලබාගෙන තිබුනි. රාජපක්ෂ ඉවත් කිරීමට වොෂින්ටනය දුන් සහාය, මෙරට තුල බීජිනයේ අනුහසට වලකැපීම අරමුනු කර ගත්තකි. සිරිසේන බලයට පත්වූ තැන් සිට චීනය සමග සම්බන්ධතා දුර්වල වෙමින් තිබේ.

සිරිසේන ආන්ඩුව, ඩොලර් බිලියන 1.4ක දැවැන්ත වරාය නගර ව්‍යාපෘතිය ද ඇතුලු චීන ආයෝජන යලි පරීක්ෂාවට ලක්කලේය. අනෙකුත් චීන ආයෝජන නිදහස් කර තිබෙන නමුත් වරාය නගර ව්‍යාපෘතිය තවමත් අනුමතවී නැත. එහි ප‍්‍රතිපල වශයෙන්, මුල්‍ය දුෂ්කරතා සහිත ආන්ඩුවට, රාජපක්ෂ යටතේ සිදුවුන තරම් චීන අරමුදල් නය පහසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ නය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කිරීම පිනිස පසුගිය මාර්තුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ ඩොලර් බිලියන 4ක නය මුදල දීම ජාමූඅ විසින් ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ආන්ඩුවට තවත් පහරක් එල්ල වීමෙන් දුෂ්කරතාවකට මුහුන දුන්නේය.

පසුගිය මාසය අවසානයේ රටේ ආර්ථිකය පිලිබඳව විමර්ෂනය කිරීමෙන් පසුව ජාමූඅ විධායක මන්ඩලය, මැයි 05දා මාධ්‍ය වෙත කියා සිටියේ, “රටේ ආර්ථික දැක්ම පුලුල් වශයෙන් ස්ථාවර නමුත් ලුහුටා යාමේ අවදානමකට මුහුනදී සිටන” බවය. එහිදී ඔවුන් පෙන්නුම් කලේ, පසුගිය වසරේ ආර්ථික වර්ධනය 2012න් පසු සියයට 7.4ක ඉහලම මට්ටමට ලඟාවූ නමුත් මේ වසරේ එය සියයට 6.5ක් දක්වා තියුනු ලෙස පහත වැටෙන බවය.

“ප‍්‍රතිපත්ති පිලිබඳ අවිනිශ්චිත වාතාවරනය හා අයවැය කප්පාදු ද යුරෝපයේ ආර්ථික ප‍්‍රකෘතිය මන්දගාමී වීම ද හේතු කොට ගෙන, රාජ්‍ය, පෞද්ගලික අංශවල පහත් ආයෝජනය” ගැන ජාමූඅ පෙන්වාදී ඇත. ඇමරිකාව හා යුරෝපීය සංගමය මෙරට විශාලතම අපනයන වෙලඳපොලවල් ය.

මේ වසරේ පහල වර්ධනයක් පිලිබඳ සිය අනාවැකියට බලපාන ප‍්‍රධාන කාරනයක් වන්නේ, අයවැය කප්පාදු කිරීම් සඳහා තමන් කරන බලපෑම බව ජාමූඅ පිලිගෙන තිබේ. එහෙත් මෙයින්, වැඩකරන ජනතාවට විනාශකාරී සමාජ ප‍්‍රතිවිපාක ජනනය කර තිබෙන, ග‍්‍රීසියේ හා අනෙකුත් රටවල කප්පාදු පියවරයන් වැනි අයවැය ඉලක්ක සපුරාලිය යුතුය යන ජාමූඅ බලකිරීමෙන් ශ‍්‍රී ලංකාව නිදහස් නොකෙරෙනු ඇත.

පසුගිය වසරේ ජාමූඅ මෙරටට දී තිබුන අයවැය හිඟයේ ඉලක්කය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2කි. කෙසේ නමුත් 2009න් පසුව පලමු වතාවට ආන්ඩුව මෙම ඉලක්කය කඩ කලේය. හිඟය දදේනි සියයට 6 දක්වා ඉහල ගියේය. බදු ආදායම වැඩිකර ගැනීමට දැඩි උත්සාහයක් නොදැරුවහොත් මේ වසරේ අයවැය හිඟයෙහි සියයට 4.4 ඉලක්කය සපුරා නොගනු ඇතැයි ජාමූඅ අනතුරු ඇඟවීය.

පසුගිය වසරේ සියයට 7.4 වර්ධන වේගයට හේතු වූයේ බොහෝකොටම යටිතල ව්‍යුහයේ ව්‍යාපෘතීන් ය. සන්ඩේ ටයිම්ස් සඳහන් කලේ, “එවන් ආයෝජන දදේනි වර්ධනයක් ඇති කල ද” දිගු කාලීන සහන “ඒ සඳහා දරන වියදමත් සමග සසඳන කල ඉතා කුඩා” බවය. දැවැන්ත විදේශ නය ගැන සඳහන් කරමින් එය අනතුරු ඇඟවූයේ, “එවැනි වර්ධනයක් ආර්ථිකයේ බරපතල මූලික දුබලකම් නිර්මානය කරනු ඇතැයි” කියමිනි.

නය ගැනීම් ඉහල යෑම නිසා විදේශ නය ප‍්‍රමානය ඩොලර් බිලියන 39.9 සිට පසුගිය වසරේ බිලියන 43 දක්වා වැඩි විය. නය සඳහා පොලී ගෙවීම් 2015 වසරේදී අපනයන ආදායමෙන් සියයට 20.2ක් දක්වා වැඩිවනු ඇත. ගෙවුම් ශේෂයේ ගැටලු මතුකරමින් මෙරට වෙලඳ හිඟය 2013 පැවති ඩොලර් බිලියන 7.6 සිට 2014දී බිලියන 8.3 දක්වා ඉහල ගියේය.

මේ මාසයේ නිකුත් කල 2014 වාර්ෂික මහ බැංකු වාර්තාවට අනුව, නරක අතට හැරෙන ජාත්‍යන්තර ආර්ථික අර්බුදය අපනයන වෙලඳපොලවලට බලපානු ඇත. විශේෂයෙන්ම තේ අපනයනය ගැන සඳහන් කරමින් එය මෙසේ පවසයි. “2015 තුල ද රුසියානු රූබලය දිගටම අවප‍්‍රමානය වුවහොත්, මෙරට තේ මිලට ගන්නා ප‍්‍රධානතම ගැනුම්කරුවා රුසියාව වීම නිසා, තේ වෙලඳාම මත ඇතිකරන්නේ රිනාත්මක බලපෑමකි. මැද පෙරදිග තේ වෙලඳපොලේ ඉල්ලුම ද එම රටවල තෙල් ආදායම දිගටම පහත වැටීම නිසා අඩුවිය හැකිය.”

එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී දෙනු ඇති පොරොන්දු නොතකා පිහිටුවන ආන්ඩුව, රටේ නරක අතට හැරෙන ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට උත්සාහ කරනු ඇත.

කොලඹ ව්‍යාපාරික සංසදයකදී කථාකරමින් ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, කුමන හෝ මැතිවරන පෙරොන්දුවක දෙපිටකාට්ටුකම ගෙනහැර දැක්වීය. ව්‍යාපාරික පේ‍්‍රක්ෂකයින් හමුවේ ඔහු, නව ආන්ඩුවක් යටතේ “පෞද්ගලික අංශයේ ප‍්‍රගතිය සඳහා උපකාරී වන කාර්යක්ෂමතාවය අතින්, රාජ්‍ය අංශය දැවැන්ත වෙනසකට ගෙනයාම අවශ්‍ය” බව පැවසීය. එය වනාහි තියුනු කප්පාදු හා තවදුරටත් ව්‍යාපාරික ගැති පියවර පිලිබඳ සංඥාවකි.

ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද වෙලඳපොල ගැති ප‍්‍රතිසංස්කරන හඳුන්වා දිය යුතු බව වික‍්‍රමරත්න පැවසීය. “ගොවි ප‍්‍රජාව විශාල ඡන්ද පදනමක් බැවින් මෙම ප‍්‍රතිසංස්කරන තවමත් ක‍්‍රියාත්මක වී නැත. එහෙත් අනාගතයේදී මෙවන් ප‍්‍රතිසංස්කරන නැතුවම බැරිය” ඔහු පැවසීය.

වික‍්‍රමරත්න කථාකරන්නේ ආන්ඩුව වෙනුවෙන් වුවත්, සියලු විරුද්ධ පක්ෂ ද ඇතුලු, අවශේෂ දේශපාලන සංස්ථාපිතයම එම කප්පාදු න්‍යායපත‍්‍රය වෙනුවෙන් කැපව සිටී.

Share this article: