ශ‍්‍රී ලංකාවේ ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරනය කල් දමයි

Sri Lankan president postpones parliamentary election

කේ. රත්නායක විසිනි, 2015 මැයි 29

ගැඹුරුවන දේශපාලන හා සමාජ අර්බුදය හමුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, මැතිවරන දිනය නිවේදනය කිරීම යලි යලිත් කල් දමා ඇත. ජනවාරි 08 පැවති ජනාධිපතිවරන උද්ඝෝෂනය අවධියේ නිවේදනය කල සිය “දින 100” වැඩසටහනේ කොටසක් ලෙස ඔහු, අපේ‍්‍රල් 23දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරනයක් පැවැත්වීමට පොරොන්දු විය.

පසුගිය සතියේ පැවති මාධ්‍ය ලොක්කන්ගේ හා අයිතිකරුවන්ගේ රැස්වීමකදී සිරිසේන, ඊලඟ ආන්ඩුව සැප්තැම්බරයේදී පත්කිරීමට බලාපොරොත්තු වන බව පැවසුව ද පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර කවර දිනයක මැතිවරනය පැවැත්වෙන්නේ දැයි පැවසීම ප‍්‍රතික්ෂේප කලේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවෙන් ඉවත්වී, ජනවාරි 08දා මැතිවරනයේදී සිරිසේන, ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා තවත් පක්ෂ ගනනාවක සහාය ඇතිව රාජපක්ෂ පරාජය කලේය. සිරිසේන බලයට පත්වීම පිටුපස ක‍්‍රියාත්මකවූයේ, ඇමරිකාවේ ආක‍්‍රමනකාරී චීනය වැටලීමේ “ආසියාවට හැරීම” මෙහෙයුමේ කොටසක් ලෙස, බීජිනය සමග පැවති රාජපක්ෂගේ බැඳීම් අවසන් කිරීමට අදිටන් කරගත්, ඔබාමා පාලනය විසින් පිටුබලය දුන්, පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමයි.

රාජපක්ෂ ආන්ඩුව ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට පහර දීම කෙරෙහි පලව තිබුනු මහජන විරුද්ධත්වය ගසාකෑම පිනිස මැතිවරන කාලයේ සිරිසේන, දින 100 “වැඩසටහන” ඉදිරිපත් කලේය. ඔහුගේ එම වැඩසටහනට, “ආඥාදායක” විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා වැටුප්, විශ‍්‍රාම දීමනා, ශුභසාධන දීමනා හා සහන වැඩිකිරීමේ “සහනදායක යෝජනා” ඇතුලත් විය.

මැතිවරන ජයග‍්‍රහනයෙන් පසුව සිරිසේන, සුලුතරයේ එජාප ආන්ඩුවක් පත් කර එහි නායක රනිල් වික‍්‍රමසිංහ අගමැති කලේය. “අභියෝගයන්ට” මුහුනදීම සඳහා පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව වසර දෙකක කාලයකට ජාතික ආන්ඩුවක් අවශ්‍ය වන බව සිරිසේන පැවසීය. වැඩකරන ජනතාවට මුහුන දීමට හා තීරනාත්මක ලෙස විදෙස් පිලිවෙත වොෂින්ටනය දෙසට මාරු කිරීම සඳහා දේශපාලන සංස්ථාපිතය එක්සත් කිරීම එල්ල කරගත් එය, ප‍්‍රතිගාමී යෝජනාවක් විය.

සිරිසේනගේ ගනන් බැලීම්, ආන්ඩුව හා ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයත් (ශ‍්‍රීලනිප) එහි හවුල් කරුවන් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයත් (එජනිස) අතර උග‍්‍ර කාකොටා ගැනීම් මගින් සුන්වී ගියේය. එජනිසට සිංහල වර්ගවාදී මහජන එක්සත් පෙරමුන හා ජාතික නිදහස් පෙරමුන මෙන්ම තරයේම අපකීර්තියට පත්ව ඇති ලංකා සම සමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලත්ය.

සිරිසේන, ශ‍්‍රීලනිපයේ හා එජනිස නාමික ප‍්‍රධානියා වුවත්, ඒවායේ පාලනය මුලුමනින්ම පාහේ ඔහුගෙන් ගිලිහී ඇත. වික‍්‍රමසිංහ කල්තියා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලකරන අතර ශ‍්‍රීලනිපයේ බහුතර කන්ඩායම, 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඇතිකරනු ලබන මැතිවරන සංශෝධන සම්මත කරන තෙක් මැතිවරනය කල්දැමිය යුතු බව කියා සිටිති.

අගමැති වික‍්‍රමසිංහ මැයි 14දා පැවති විදේශ මාධ්‍ය සමුලුවට පැවසුවේ, “සමහර කොටස් පනත් කඩාකප්පල් කිරීමට කටයුතු කරන තතු හමුවේ” පාර්ලිමේන්තුවට කිසිදු අලුත් පනතක් ඉදිරිපත් නොකරනු ඇති බවයි. ඔහු ඇඟවුම් කලේ ආන්ඩුවට පහර ගසන ශ‍්‍රීලනිප හා එජනිස මන්ත‍්‍රීවරුන්ය.

එජාපය වේලාසනින් මැතිවරනය පැවැත්වීමට බල කරන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ගැන උනන්දුවන නිසා නොව, බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමේ එජාප බලාපොරොත්තුව, ප‍්‍රමාදවන සෑම දිනක් පාසාම ආන්ඩුව තවදුරටත් අපකීර්තියට පත්වීම නිසා කඩාකප්පල් වනු ඇතැයි පවතින බිය නිසාය. දැනටමත් ආන්ඩුව වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව කඩ කර ඇති අතර ජීවන බර අඩුකිරීමට අසමත්ව ඇත.

මැතිවරනය වසර අවසානය තෙක් කල් දැමීමට ශ‍්‍රීලනිපය වෑයම් කරන්නේ, ආන්ඩුව කෙරෙහි වැඩෙන විරුද්ධත්වය ගසාකෑමේ බලාපොරොත්තුවෙනි. මැතිවරන සංශෝධන ගැන එය බර තියන්නේ, කල්මැරීමේ උපායක් ලෙසය. මැතිවරන සංශෝධනයන්ට, කේවල ක‍්‍රමයට ආසන 160ක් ද සමානුපාතික ක‍්‍රමයට ආසන 65ක් හා ජාතික ලැයිස්තු ක‍්‍රමයෙන් 29ක් ද යන යෝජනා ඇතුලත්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව මෙම සැලසුමේ එල්ලය, සංශෝධනයට විරුද්ධත්වය දක්වන සුලුතර හා කුඩා පක්ෂ කොන් කිරීමය.

ජානිපෙ හා මඑපෙ ද ශ‍්‍රීලනිපයේ කොටස් ද ඇතුලු එජනිස සහචරයින්ගේ උදව්වෙන් යලි කරලියට පැනගැනීමට රාජපක්ෂ මාන බලමින් සිටියි. මෙම හවුල, රාජපක්ෂගේ මහ ධනපති ව්‍යාපාරික අනුචරයින්ගේ මූල්‍යමය දායකත්වය ඇතිව ප‍්‍රසිද්ධ රැස්වීම් සංවිධානය කරති. මෙවුන්ගේ පිටුබලය සහිතව රාජපක්ෂ, ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුත් එජනිස අගමැති අපේක්ෂකයා ලෙස තමන් නම්කල යුතු බව කියා ඇත.

රාජපක්ෂ හා ඔහුගේ සහචරයින් තමන්ට අහිමිවූ බලය යලි අත්කර ගැනීමට වෑයම් කරන්නේ, කම්කරු හා පීඩිත ජනතාව අතර වැඩෙන නොසංසුන්තා, සිංහල වර්ගවාදී ව්‍යාපාරයක් දිසාවට හරවා යැවීමෙනි. පරාජයට පත් කල එල්ටීටීඊයට “යලි හිස එසවීමට” ඉඩ සලසා ඇතැයි ඔවුහු සිරිසේන හා එජාප ආන්ඩුව විවේචනය කරති.

රාජපක්ෂ හා ඔහුගේ හිටපු නිලධාරීන් නිහඬ කිරීම පිනිස ආන්ඩුව හා සිරිසේන, පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂන ඒකකය මගින් සිදුකරන පරීක්ෂනයක් දියත් කර ඇත. රාජපක්ෂගේ බාලම සොහොයුරු, හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ හා හිටපු තවත් ඇමතිවරු දෙදෙනෙක් පරීක්ෂන අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තබා ඇත.

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම පිනිස, එක් දූෂිත දේශපාලඥයින් කන්ඩායමක් කුහක ලෙස තවත් එවැනිම එවුන් රැලක් පරීක්ෂාවට ලක් කිරීම හමුවේ, විවර කෙරී ඇත්තේ, නරා වලකි. දිනකට ඩොලරයක් හෝ දෙකකට සමාන ආදායමකින් ජීවත් වීමට බලකෙරී ඇති සාමාන්‍ය ජනතාවට, දූෂිත ක‍්‍රම වලින් දැවැන්ත ධන සම්භාරයක් මොවුන් මඩි ගසාගෙන තිබෙන ආකාරය ගැන ඡායා මාත‍්‍රයක් දැකගත හැකිව තිබේ.

සිරිසේන හා එජාප ආන්ඩුව නගා සිටුවීම සඳහා වොෂින්ටනය, හැකි සියල්ල කරමින් සිටී. සම්බන්ධතා සවිමත් කරගැනීමේ සාකච්ඡා සඳහා මේ මාසයේ මුල කොලඹට පැමිනි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරයෙන් පසුව ඇමරිකාව, දූෂන පිලිබඳ පරීක්ෂන වලට සහාය පිනිස නිලධාරීන් කන්ඩාමක් මෙරටට එවා ඇත. නිල වශයෙන් ඔවුන් “ශ‍්‍රී ලංකාවෙන් යටිමඩි ගසා, එක්සත් ජනපදයේ මූල්‍ය ආයතනවල තැන්පත් කර තිබේන රුපියල් බිලියන ගනනක් වන වත්කම් සොයාගැනීමට” ආන්ඩුවට උදව් කරයි.

දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව, ෆෙඩරල් විමර්ෂන බියුරෝව (එෆ්බීඅයි,) අධිකරන දෙපාර්තමේන්තුව, එජ ආගමන හා රේගු අධිකාරිය හා ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ (හෝම්ලන්ඩ් සිකියුරිටි) නිලධාරීහු මේ කන්ඩායමට අයත් වෙති.

කාකොටාගැනීම් පාලක පන්තියේ කන්ඩායම් තිගැස්මට පත්කර ඇත. එය “බලුපොරයක්” ලෙස හංවඩු ගසන සන්ඩේ ටයිම්ස් කතුවැකියක් මෙසේ පවසයි. “පක්ෂ එකිනෙකාට සතුරු, එදිරිවාදී ආස්ථානයන්හි පිහිටා ගැනීම හමුවේ, ශ‍්‍රී ලංකාවේ තත්වය පාලනය කල නොහැකි බව පෙනී ගියොත්, එයට ජනතාවගෙන් අනුකම්පාවක් නොලැබෙනු ඇත.” කනස්සල්ල පල වන්නේ, “බලුපොරය” සමස්ත සංස්ථාපිතයේම ප‍්‍රතිගාමී ස්වභාවය එලිමහනට පමුනුවා තිබීම ගැනය.

ගැඹුරුවන ආර්ථික අනිස්ථිරත්වය හා සමාජ නොසංසුන්තාව, දේශපාලන අර්බුදය උත්සන්න කරයි. මෙරට විදේශ නය පසුගිය වසරේදී ඩොලර් බිලියන 4න් ඉහල ගියේය. නය ආපසු ගෙවීමේ පිරිවැය දැන් ආන්ඩුවේ වාර්ෂික ආදායමින් සියයට 95ක් ගිල ගනියි. මෑතක නිකුත්වූ ලෝක බැංකු වාර්තාවක් අනාවැකි පලකර ඇත්තේ, මෙරට වර්ධන වේගය, පස් වසරක සාමාන්‍ය වර්ධන අනුපාතය වූ සියයට 7.4 සිට, මෙම වසර තුල සියයට 6.9ක් දක්වා පහත වැටෙන බවටය. මෙරට ලොකුම වෙලඳපොල වන යුරෝපයේ, දිගින් දිගටම ඇතිව තිබෙන පසුබෑම ඊට දායක වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී අනතුරු අඟවා ඇත්තේ, පසුගිය වසරේ අයවැය හිඟය සියයට 5.8ක් වූ තතු හමුවේ මූල්‍ය හිඟයේ සියයට 4.4 ඉලක්කය ජය ගැනීම ප‍්‍රමුඛ කර්තව්‍යයක් වන බවටය. මෙම පීඩනය යටතේ පාලක කවයන් බොහොමයකට අවශ්‍යව ඇත්තේ, කාකොටා ගැනීම් අවසන් කර, රැකියා, වැටුප් හා වැඩකරන ජනතාවගේ ජීවන තත්වයනට පහර එල්ල කිරීම දැඩි කිරීමට කැපවූ නව ආන්ඩුවක් පිහිටුවීමය.

ජනාධිපතිවරන අවධියේදී වෘත්තීය සමිති හා නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන, ජනතා නොසංසුන්තා සිරිසේන පිටුපස පෙලගැස්වීමට වෙහෙස වූහ. කෙසේ වෙතත්, කම්කරුවන් හා තරුනයින් සිරිසේනට ඡන්දය දීම, සාධනීය සලකුනක් නොවූ අතර එය රාජපක්ෂ රෙජිමය කෙරෙහි පලවූ ඔවුන්ගේ විරුද්ධත්වයේ ප‍්‍රකාශනයක් පමනි.

පසුගිය සති කිහිපය තුල සමාජ නොසංසුන්තාවන්ගේ වැඩිවීමක සලකුනු දක්නට ලැබුනි. සෞඛ්‍ය සේවයේ කම්කරුවෝ 40,000ක් පමන 25දා සතියක වැඩවර්ජනයක් ආරම්භ කලහ. රැකියාවන්ට තර්ජනය එල්ලවීම හා ඉහල නංවා ඇති වැඩ ප‍්‍රමානයට එරෙහිව වතුකරයේ විටින් විට වැඩවර්ජන පැන නැගුනි. පසුගිය සතියේ දී උතුරේ දහස් ගනන් ජනතාව සම්බන්ධවූ විරෝධතා හටගත්තේය. ක්ෂනික ප‍්‍රශ්නය වූයේ තරුන පාසැල් ශිෂ්‍යාවක් දූෂනය කර මරා දැමීම වුවත්, එම විරෝධතා, කම්කරුවන්, තරුනයින් හා පීඩිතයින් අතර ගැඹුරට මුල් බැසගත් නොසංසුන්තාවයේ ප‍්‍රකාශනයක් විය.

Share this article: