ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ජනාධිපති බලතල සීමාකරන පනත සම්මත කරයි

Sri Lankan parliament passes amendment to restrict presidential powers

වසන්ත රූපසිංහ විසිනි, 2015 මැයි 01

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකත්වයෙන් යුත් සුලුතරයේ ආන්ඩුව හා විපක්ෂ සන්ධානය සති ගනනාවක් තිස්සේ සිදු කල කඹ ඇදීමකින් පසුව 19වන ව්‍යවස්ථා සංශෝධනය අපේ‍්‍රල් 28දා පාර්ලිමේන්තුවේදී සම්මත කල අතර එමගින් විධායක ජනාධිපතිගේ සමහර බලතල සීමා කෙරේ.

ආන්ඩුව හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, “ඒකාධිපති ව්‍යවස්ථාවෙන් රට නිදහස් කර ගැනීමේ ඓතිහාසික අවස්ථාවක්” ලෙස සංශෝධනය හුවා දැක්වීය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) විපක්ෂ සන්ධානය එය තමන්ගේ සහායෙන් තොරව සම්මත කර ගත නොහැකිවන බවට කයිවාරු ගැසීය. රැල්ලට එක් වෙමින් මාධ්‍ය ද එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඊනියා ජයග‍්‍රහනයක් ලෙස හුවා දැක්වීය.

එසේ පැවසීම ප්‍රෝඩාවකි. 19 සංශෝධනය සැලසුම් කලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු යෝජනා ක‍්‍රියාවට නැගීමත් සමග සූදානම් කෙරෙන මර්දනකාරී පියවර ආවරනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුනුවරක් සහිතව, වැඩකරන ජනතාව රැවටීම පිනිස ව්‍යවස්ථාව අලුතෙන් සැකසීමටය.

පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පත් කරමින් විධායක ජනාධිපති තනතුරක් ඇති කල 1978 ව්‍යවස්ථාව ගෙන ආවේ එවක ජේ.ආර්. ජයවර්ධන නායකත්වය දැරූ එජාප ආන්ඩුවයි. දිවයින ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට පත්කිරීමේ සිය “විවෘත වෙලඳපොල පිලිවෙත” ක‍්‍රියාවට නැගීමේදී ශක්තිමත් බලතල සහිත ජනාධිපති ක‍්‍රමයක් අවශ්‍යවනු ඇතැයි ජයවර්ධන ගනන් බැලීය.

පසුගිය දශක තුනක කාලය තුල ජනාධිපති බලතල සවිමත් කිරීමට දුසිමකට වැඩි සංශෝධන ගනනක් සම්මත කරගෙන ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ 2010දී පාර්ලිමේන්තුව සම්මත කල 18වන සංශෝධනයෙන් දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකි සීමාව ඉවත් කල අතර ඉහල අධිකරන විනිසුරුවන් හා සිවිල් නිලධාරීන් පත්කිරීමේ බලය ජනාධිපති අතට ගත්තේය.

මෙවර සංශෝධනයෙන් දෙවරකට නොවැඩි සීමාව යලි ස්ථාපිත කිරීම ද ජනාධිපතිගේ ක‍්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ ඉඩ සැලසීම ද වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති සතුව පැවති බලය වසර හතර හමාරකට දිගු කිරීම ද තහවුරු කරනු ලැබින. මැතිවරන කොමසාරිස් ද ඇතුලු ඉහල නිලධාරීන් හා අධිකරනයේ විනිසුරුවන් පත්කිරීම දැන් “ස්වාධීන කොමිෂන් සභා” වෙත පවරා ඇත.

අගමැති හා කැබිනට් මන්ඩලය පත්කිරීමේ බලය ද ඇතුලුව ආන්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වශයෙන් ජනාධිපති වෙත තවමත් සැලකිය යුතු තරම් බලතල පැවරී ඇත. ඔහු සන්නද්ධ හමුදාවන්ගේ ප‍්‍රධාන අනදෙන නිලධාරියා ද වේ.

එජාපයේ ද සහාය ඇතිව ජනවාරි 08දා ජනාධිපති මැතිවරනයට තරග කිරීම සඳහා හදිසියේම රාජපක්ෂ ආන්ඩුවෙන් ඉවත්වන තෙක් සිරිසේන එහි රැඳී සිටියේය. ඔවුන්ගේ මැතිවරන ව්‍යාපාරය යොමුවී තිබුනේ, ආන්ඩුව ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරයන් කෙරේ පුලුල්ව පැතිර පැවති කෝපය ගසාකෑමේ උවමනාව වෙනුවෙන් පාර්ලිමේන්තු පාලනය යලි ස්ථාපනය කිරීම, ආඥාදායක පාලනය, ඥාති මිත‍්‍ර සංග‍්‍රහය හා දූෂනය පිලිබඳව රාජපක්ෂ හෙලාදැකීම වෙතය.

සිරිසේනගේ ඉවත්වීම සැලසුම් කෙරුනේ, වොෂින්ටනය සමග සමීප බැඳීම් තිබෙන එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් තිරයට පිටුපසිනි. ඇමරිකාවේ රාජපක්ෂ විරෝධය ඔහුගේ ආඥාදායක පාලනය මුල්කරගෙන නොව පැවතුනේ චීනය සමග ඔහු පවත්වාගෙන ගිය සමීප සම්බන්ධතා නිසාය. චීනය ඔබාමා පාලනයේ “ආසියාවට හැරීමේ” ඉලක්කයව තිබේ.

19 සංශෝධනය වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරැකීම සමග මෙලොව සම්බන්ධයක් නැත. ඒ වෙනුවට එජාපයට අවශ්‍ය වූයේ, බලය පාර්ලිමේන්තුව හා අගමැති අත සංකේන්ද්‍රනය කරමින් තමන්ගේම තත්වයත් රාජ්‍ය මෙවලමත් තහවුරු කරගන්නා අතර පාර්ලිමේන්තු මැතිවරනයකට යාමේදී “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ඉදිරියට ගැනීමය. ආන්ඩුවේ හවුල්කාර ජාතික හෙල උරුමයේ බලකිරීමත් ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ විපක්ෂයේ විරුද්ධත්වයත් හමුවේ ආන්ඩුවට පසු බැසීමට බල කෙරුනි. පනතේ ව්‍යවස්ථානුකූල භාවය විමසා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය, පාර්ලිමේන්තු පනතකින් සියලු ජනාධිපති බලතල සීමාකිරීම පිලිබඳව ප‍්‍රශ්න මතුකර තිබුනි.

තමන්ගේම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගති ලක්ෂන පෙන්වමින් ආන්ඩුව, මැතිවරන කාලයකදී මැතිවරන කොමසාරිස්ගේ නීති රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීමට අසමත් වන පෞද්ගලික මාධ්‍ය ජාලයන්ට දඬුවම් කිරීමේ වගන්ති ද පනතට ඇතුල් කර තිබුනි. පුලුල්ව පැතිර ගිය විරෝධය හමුවේ එය ද අකුලා ගැනීමට සිදුවිය.

දෙදිනක් පුරා පැවති විවාදයකින් පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 225 දෙනාගෙන් 214ක් පක්ෂව ඡන්දය දීමෙන් පනත සම්මත විය. හිටපු උසස් නාවික හමුදා නිලධාරියෙක් හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් වන සරත් වීරසේකර, පනත “ජාතික ආරක්ෂාවට තර්ජනයක්” බව පවසමින් විරුද්ධව ඡන්දය දුන්නේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මන්ත‍්‍රී අජිත් කුමාර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කල යුතුය යන පක්ෂයේ ඉල්ලීම අතහැර දමා ඡන්දය නොදී සිටිමින් වක‍්‍ර ලෙස පනතට සහාය දැක්වීය. වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් කැඩී ගිය පෙසප, වීරසේකර වැනි සිංහල අන්තවාදීන් සමග අනන්‍ය නොවීමට අවශ්‍ය බැව් පවසමින් ඡන්දය නොදී සිටියේ මන් ද යන්න විස්තර කලේය.

ඉහල උපදේශක සභාවක් වන ජාතික විධායක කමිටුව තුල එජාප හා ජනාධිපති සමග සමීපව වැඩ කරමින් ජවිපෙ, සංශෝධනය ගෙන ඒමේදී වැදගත් ක‍්‍රියාකලාපයක් ඉටුකර තිබුනි. විධායක ජනාධිපතිගේ සියලු බලතල අහෝසි කිරීමට පක්ෂයට අවශ්‍ය බව කියා සිටිමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව තුලදී පැවසුවේ, “කිසිවක් නැතිවාට වඩා යමක් තිබීම හොඳ බැවින් පනතට සහාය දෙන” බවය.

මේ සියලු මවාපෑම් ප්‍රෝඩාවන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ අංශුවක් හෝ වෙනුවෙන් මෙරට ධනපතියන් පෙනී නොසිටියි. 1948 නිල නිදහස ලැබුනු තැන් පටන් බලයට පත්වූ සෑම ආන්ඩුවක්ම කම්කරු පන්තියේ හා ග‍්‍රාමීය පීඩිත ජනතාවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව හා ඔවුන්ගේ ප‍්‍රතිරෝධය බිඳ දැමීම සඳහා පුලුල් වශයෙන් හදිසි නීති බලතල යොදාගැනීමේ වාර්තාවකට හිමිකම් කියයි.

කම්කරු පන්තිය බෙදීම සඳහා යලි යලිත් දෙමල විරෝධී වර්ගවාදය උසිගන්වාගත් පාලක පැලැන්තිය, බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව ගෙනගිය දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධය අවධියේ පොලිස් රාජ්‍ය පාලන ක‍්‍රමෝපායන් අනුගමනය කලේය. 1978 දක්වා පැවති ඊනියා පාර්ලිමේන්තු පාලන අවධියේදී ආන්ඩු, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හා ජීවන තත්වයන්ට පහර ගැසීමෙන් වැලකී සිටියේ නැත.

ඡන්ද ක‍්‍රමය ප‍්‍රතිසංස්කරනය කිරීමේ තවත් පනතක් සම්මතකර ගැනීමෙන් පසුව සති කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරනයක් පවත්වන බව ආන්ඩුව කියයි. බලයට පත්වන කුමන පක්ෂයක් විසින් හෝ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හා ජීවන තත්වයනට එරෙහි ප‍්‍රහාර ගැඹුරු කරනු ඇත. දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව පසුගිය වසරේ සියයට 6ක්ව තිබුනු අයවැය හිඟය මේ වසරේදී සියයට 4.4ක් දක්වා පහත හෙලිය යුතුය යන ජාමූඅ නියෝග යටතේ අන්ඩුව කටයුතු කරයි. ධනවතුන් හා දුගීන් අතර ගැඹුරුවන ආගාධය සමග ප‍්‍රජාතන්ත‍්‍රය පෑහෙන්නේ නැත.

ඇමරිකාවේ “ආසියාවට හැරීම” මගින් අවුලුවන ජාත්‍යන්තර භූ-දේශපාලන ආතතීන්ගේ ග‍්‍රහනයට ද මෙරට හසුව තිබේ. වොෂින්ටනය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් මෙරට දේශපාලන වර්ධනයන් සමීපව නිරීක්ෂනය කරයි. සිරිසේනගේ “දින සියයේ ජයග‍්‍රහන” පිලිබඳ කථාවට මඳකට පෙර අපේ‍්‍රල් 23දා, ඇමරිකානු, බි‍්‍රතාන්‍ය හා ජර්මානු නියෝජිතයෝ ඔහුගේ ප‍්‍රතිපත්ති කෙරෙහි තමන්ගේ “පූර්න සහාය” පල කලහ.

ඇමරිකාවේ නියෝජ්‍ය තානාපති ඇන්ඩෲ මෑන්, “ද්විපාර්ශවික සහයෝගිතාව පුලුල් කිරීම සඳහා ඉමහත් ශක්‍යතා පවතින” බව කියා සිටියේය. ඒ මැයි 02දා කොලඹට පැමිනෙන රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරය ගැන සඳහන් කරමිනි. චීනයට එරෙහි යුද සූදානමේදී දිවයින තමන්ගේ වැදගත් මූලෝපායික මධ්‍යස්ථානයක් කර ගැනීමට වොෂින්ටනය ඉතා උනන්දුවෙන් සිටියි.

වැඩකරන ජනතාවට සිය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත ධනේශ්වරයේ සියලු කොටස් වලට එරෙහිව අශමනීය දේශපාලන අරගලයක පදනමේ පමනි. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපය ගත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට ය.

Share this article: