අධිකරන තීන්දුවෙන් පසුවත් තුන්නාන එච්ආර්පී කම්හල පවත්වාගෙන යාමට එරෙහිව මහජන විරෝධය වැඩෙයි

විලානි පීරිස් විසිනි, 2015 මැයි 25

හේලීස් සමාගමට අයත්, හංවැල්ල, තුන්නානේ පිහිටි, හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් සිදුවන පරිසර දූෂනයට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් දින 14ක් තුල කම්හල වසා දමන ලෙස අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත්වරයා පසුගිය අපේ‍්‍රල් 30 දා නියෝග කලේය. නමුත් අධිකරනයට ඉදිරිපත් කල අභියාචනයක් මත කම්හල තවදුරටත් පවත්වාගෙන යන බැවින් එයට එරෙහිව මහජන විරෝධය වැඩෙමින් පවතී.

අවිස්සාවේල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ඩී.එම්.ඒ. සෙනෙවිරත්න අපේ‍්‍රල් 30 දින ප‍්‍රකාශයට පත්කල නියෝගයේ මෙසේ සඳහන් වේ. මෙම කම්හල හේතුවෙන් “1. ලිං ජලය හා ප‍්‍රජා ජල ව්‍යාපෘතිය මගින් බෙදා හරිනු ලබන ජලය පානය කිරීමට සුදුසු තත්වයේ නොමැතිවීම... 2. කෘෂිකාර්මික කටයුතු කල නොහැකිවීම. 3. කර්මාන්ත ශාලාව පිහිටි ප‍්‍රදේශයේ ජනතාවට විවිධ වර්ගයේ ශ්වසන ආබාධ පැවතීම... 4. ‘වකුගඩු, උදර හා අක්මා ආශ‍්‍රිත’ රෝග වලට ලක්වීම. 5. දෛනික කටයුතු සිදු කිරීමට අපහසුවන ආකාරයේ ශබ්දයක් පැවතීම. යනාදී මහජන පීඩාවන් සිදුවන බවට තීරනය කරමි.”

මෙම උසාවි නියෝගයට අනුව කම්හල වසා දමන ලෙසට ඉල්ලමින් තුන්නාන ප‍්‍රදේශවාසීහු පසුගිය මැයි 10 දින විරෝධතාවයක් පැවැත්වූහ. කැලනි මිටියාවත පරිසර සුරැකීමේ ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් කම්හල ඉදිරිපිට පැවැත්වූ මෙම විරෝධතාවයට සහභාගිවූ එක් ප‍්‍රදේශවාසියෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසෙවඅ) කියා සිටියේ ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව යටතේ මෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන‐රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේද තමා ඇතුලු ප‍්‍රදේශවාසීන් පොලිස් මර්දනයට ඉලක්කව ඇති බවයි. මෙම මර්දනයේ කොටසක් ලෙස, උද්ඝෝෂනය සඳහා මූලිකත්වය ගත් පද්මසිරි වීරසිංහ ඇතුලු 12 දෙනෙකුට කිසිදු රැස්වීමකට හෝ පෙලපාලියකට සම්බන්ධ නොවන ලෙසට උසාවි නියෝගයක් නිකුත් කර ඇති බවද ඔහු පැවසුවේය.

තමන් මුහුන දෙන පරිසර දූෂනයට එරෙහිව ප‍්‍රදේශවාසීන් විසින් 2014 මාර්තු 16 දින පැවැත්වූ විරෝධතාවට, රාජපක්ෂ අන්ඩුව පොලීසිය යොදවා පහර දුනි. දුසිම් ගනනක් අත් අඩංගුවට ගෙන ඇපමත මුදාහල පොලීසිය පසුව පස්දෙනෙකු බන්ධනාගාර ගතකලේ විරෝධතාව මැඩීමට පැමින සිටියදී හදිසි අනතුරකින් මිය ගිය පොලිස් නිලධාරියාගේ මරනය සම්බන්ධයෙන් ඔවුන් සැකබව පවසමිනි. ඉන් තිදෙනෙකු මුලුමනින් නිදහස් කල නමුදු අනෙක් දෙදෙනා නිදහස් කර ඇත්තේ ඇප මතයි. එම දෙදෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට පොලීසිය මෙතෙක් අසමත්ව ඇති අතර මහජනයා බිය වැද්දීම සඳහා නඩුව කල් දමමින් දිගටම පවත්වාගෙන යයි.

කම්හල වසා දමන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් දිගින් දිගටම ගෙනගිය උද්ඝෝෂනය නැවැත්වීමේ උපායක් ලෙස පාදුක්ක පොලීසිය විසින් 2014 පෙබරවාරි 28 දා අධිකරනයට කල පැමිනිල්ල මත කම්හලට එරෙහි නඩුව විභාග විය. සිදුවන පරිසර දූෂනය පිලිබඳව වැදගත් තොරතුරු මූලික විමර්ශනවලින් හෙලිවූ තතු යටතේ අධිකරන නියෝගය ප‍්‍රකාශ කිරීම කල් ඇදුනේ පාලකයන්ගේ බලපෑම් මතයි.

කම්හලෙන් නිකුත් කරන ලද අප ජලය නිසි ප‍්‍රමිතියෙන් තොර වන බව පවසමින් 2004 දී පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක් පීඩාවට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරනයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව එවකට කර්මාන්ත ශාලාවෙන් නිකුත් කල අප ජලයේ තිබිය යුතු ඇමෝනියා සහ නයිට‍්‍රජන් ප‍්‍රතිශතය උපරිම ධාරන සීමාව ඉක්මවා ඇත. ප‍්‍රදේශයේ දරුවන්ට සහ වැඩිහිටියන්ට නිතර වැලැඳෙන ශ්වසන ආබාධ, චර්ම රෝග මෙන්ම වකුගඩුවේ, අක්මාවේ හා උදරයේ රෝග වලට කම්හලෙන් සිදු කෙරෙන දූෂනය බලපාන අයුරු පැහැදිලි කෙරෙන තවත් වැදගත් සාක්ෂි මෙහිදී ඉදිරිපත් කෙරී ඇත.

ආයෝජන මන්ඩලයෙන් ලත් පරිසර ආරක්ෂන බලපත‍්‍රයක් තමා සතු බවත්, මහජන පීඩාවන් හා තම ආයතනය අතර සම්බන්ධයක් නොමැති බවත් පවසමින් කම්හල් පාලකයන් ඉදිරිපත්කල සාක්ෂි පිලිගත නොහැකි බවට උසාවියේදී තීන්දු විය.

තීන්දුවට එරෙහිව කම්හල් පාලකයන් අධිකරනයට ඉදිරිපත් කල අභියාචනයට අනුව මැයි මස 25 දින නඩුව යලි විභාගයට ගැනීමට නියමිත ය. එදින දෙපාර්ශවයම කරුනු දක්විය යුතු අතර බලපෑම් දැමීමෙන් ප‍්‍රදේශවාසීන් බියවැද්දීමට පොලීසිය උත්සාහ දරයි. කර්මාන්ත ශාලව වසා දමා නඩුව විභාග කල යුතුයයි නිවැසියන් පවසන අතර කර්මාන්ත ශාලාව ක‍්‍රියාත්මක කරන අතරතුරදී නඩුව විභාග කල යුතුයයි පාලකයන් කියා සිටී.

මැයි 10 දින පැවති උද්ඝෝෂනය පිලිබඳව ලෝසවෙඅට කතාකල ප‍්‍රදේශවාසියෙක් මෙසේ පැවසී ය. “එදින පලාත්වාසීන් 2500ක් පමන සම්බන්ධ වුනා. පාදුක්ක පොලීසිය ඇතුලු පොලීසි වලින් 100ක් පමන අපව වට කර සිටිය. කැරලි මර්දන ඒකකයත් ඇවිත් හිටිය. කර්මාන්ත ශාලාවේ සේවකයන් සම්බන්ධ වුනේ නැති වුනත් ඒ අයගෙ ගෙවල්වල අයත් ආවා.

“අපි ඉන්නෙ හරිම කරදරයෙන්. වැසි දවසට අධික ගඳක් දැනෙනවා. කෑම කන්නත් බැහැ. වතුර ගෑවුනාම කසනවා. නිය ලඟ ඉදිමිලා හැරව ගලනවා. ලිං ජලය බොන්න බැහැ. මේ ආන්ඩුව ආවහම කර්මාන්ත ශාලාව ඉවත් කරයි හිතුවා. නමුත් එහෙම වුනේ නැහැ. ඒ ආන්ඩුවෙත් මේ ආන්ඩුවෙත් වෙනසක් නැහැ.”

කාන්තාවක් මෙසේ පැවසීය: “මේ කම්හල නිසා වකුගඩු රෝගීන් වැඩිවෙලා. එවැනි රෝගීන් 50ක් පමන මියගොස් තියෙනවා. වයස 15ක ලමයෙකුත් නැතිවුනා. කුඹුරු අත්හැරලා. කුඹුරක මඩ විසිවී කෙනෙක් අන්ධ වුනා. හුස්ම ගන්න අපහසුයි. ඇඳුම්වලත් දුම් බැඳෙනවා. නඩු වලට වියදම් කරන්නෙත් අපිමයි. කලින් උද්ඝෝෂනයේ දී ගැහැනු අපටත් පොලීසියෙන් ගැහුවා. පීඩිත අපිට තමයි සේරම. කොයි ආන්ඩුවත් එකයි.”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් වැලිවේරිය ජල දූෂනය පිලිබඳව විමර්ශනය කිරීමට පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ (ස්කපක) නිගමනයන්හි වැදගත්කම පිලිබඳව ලෝසවෙඅ වාර්තාකරුවෝ ප‍්‍රදේශවාසීන් සමග සාකච්ඡා කලහ, එම කමිටුව තුන්නානේ පරිසර දූෂනය පිලිබඳවද සොයා බැලීමට තීන්දු කලේ එහි මහජන උද්ඝෝෂනය මධ්‍යයේ ය. වැලිවේරිය ජල දූෂනය පිලිබඳ චෝදනා ලැබූ වෙනිග්‍රොස් රබර් කම්හල ද හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් වූවකි.

ස්කපක මාස හයක කාලයක් පුරා කල පරීක්ෂනයකින් පසුව ඔප්පු කරනු ලැබූයේ නිසි ආකාර ප‍්‍රතිකාරක පද්ධතියක් නොමැතිව අපජලය පරිසරයට මුදාහල මෙම කර්මාන්ත ශාලා ජල දූෂනයට වගකිව යුතු බවයි. තවද ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ඇනවුම් මත නිදහස් වෙලඳ ආර්ථික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරමින් ඉහත ආයෝජකයන් ආරක්ෂා කල රාජපක්ෂ ආන්ඩුව එලැඹෙමින් පවතින කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල තලා දැමීමේ අත්හදා බැලීමක් ලෙස වැලිවේරියේ දී මිලිටරිය යොදා නිරායුද මහජනතාවට වෙඩි තබා මිනිස් ජීවිත තුනක් බිලිගත් බවත් කමිටුව නිගමනය කලේය.

ලාභය සඳහා නිශ්පාදනය සිදු කෙරෙන ධනේශ්වර පද්ධතියක් තුල කාර්මික දූෂනය නතර කල නොහැකි බවත් එය සිදු කල හැක්කේ ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ප‍්‍රතිපත්ති යටතේ ලෝක ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීමෙන් පමනක් බවත් කමිටුව අවධාරනය කලේය.

එමෙන් ම තුන්නානේ දී මිය ගිය පොලිස් නිලධාරියාගේ මරනය සම්බන්ධයෙන් “සැක කටයුතු” යැයි පවසමින් අත් අඩංගුවට ගනු ලැබූ සරත් සහ රුවන් යන දෙදෙනා චෝදනා රහිතව දිගට ම අත් අඩංගුවේ තබා ගැනීම ඔවුනගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ද කමිටුව නිගමනය කලේය. (බලන්න:විද්‍යාත්මක සාක්ෂි, දත්ත, තොරතුරු සහ නිගමන පිලිබඳ වාර්තාව )

මහජන විරෝධය හේතුවෙන් වෙනිග්‍රොස් කම්හල වසා දමා ඇති නමුත් ජල දූෂනය පිලිබඳ කිසිදු නිල වාර්තාවක් මෙතෙක් ප‍්‍රසිද්ධ කෙරී නැත. එමෙන්ම, බියගම විශේෂ ආර්ථික කලාපය තුල කම්හල නැවත ස්ථානගත කිරීමට ආන්ඩුව ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අවසර දී ඇත්තේ, පරිසර දූෂනය වැලැක්වීමට කිසිදු පියවර ගැනීමකින් තොරව ය.

වෙනිග්‍රොස් කම්හල වසා දැමීමෙන් කිසිදු ප‍්‍රශ්නයක් විසඳී නැත. ඉන් රෝගී වූවෝ මෙතෙකුදු දුක් විඳිති. අපිරිසිදු වූ ජලය ද එලෙසම ය. අද වෙනතුරුත් ඇතැමෙකුට පිරිසිදු ජලය ලැබී නැත. ජලාශවල මත්ස්‍යයන් වඳවී ඇති අතර පරිසර දූෂනයේ බලපෑම වසර ගනනාවක් එලෙසම පවතිනු ඇත. කම්හලේ සේවයේ යෙදී සිටි කම්කරුවන් බොහොමයකට රැකියා අහිමි විය. නව සේවකයන් බඳවා ගැනුනේ සොච්චම් වැටුපකට ය.

රාජපක්ෂ තන්ත‍්‍රය මෙන්ම සිරිසේන‐වික‍්‍රමසිංහ තන්ත‍්‍රය, තම පරිසර අයිතීන් වෙනුවෙන් පෙරට එන මහජනයා තලාපෙලා මර්දනය කිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ, ලාභය සඳහා නිශ්පාදනය සිදු කෙරෙන ධනේශ්වර පද්ධතිය තුල බලයට පත්වන සෑම ආන්ඩුවක් විසින්ම මිනිස් ජීවිත නොතකා ආයෝජකයන්ගේ ලාභ ආරක්ෂා කර දීම සඳහා කැපවනු ඇති බවට සසප කල විශ්ලේෂනයන්ගේ නිරවද්‍යතාවයයි. හේලීස් සමාගම පසුගිය වසර තුල තම ලාභය සියයට 32 කින් වැඩි කරගෙන ඇත්තේ රුපියල් බිලියන 4.9 ක වාර්තාගත ආදායමක් උපයා ගනිමිනි. මෙම ලාභයෙන් වැඩිමනත් පංගුව උපදවා දී ඇත්තේ එච්පීආර් කම්හල ද අයත් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම බව ද වාර්තාවෙයි.

Share this article: