බෙනඩික්ට් කම්බර්බැච් එක්සත් රාජධානි ආන්ඩුවේ අමානුෂික සරනාගත ප‍්‍රතිපත්තිය හෙලා දකියි

Benedict Cumberbatch condemns UK government’s inhumane refugee policy

රොබට් ස්ටීවන්ස් විසිනි, 2015 නොවැම්බර් 2

ශේක්ස්පියර්ගේ Hamlet (හැම්ලට්) නාට්‍යයේ නැෂනල් තියටර් නිෂ්පාදනයේ ප‍්‍රධාන චරිතය රඟපෑ නලවා නාට්‍යය අවසානයේ පේ‍්‍රක්ෂක සමාචාරය පිලිගැනීමෙන් පසු කතා කලේ ය. එක් පේ‍්‍රක්ෂකයෙකු එය විස්තර කලේ “බෙහෙවින් උද්වේගකර” ප‍්‍රකාශයක් ලෙස ය.

පේ‍්‍රක්ෂකයෙක් මෙසේ කීවේ ය: “එයා කතා කරන්න පටන් ගත්තේ [සෝමාලි කවියෙකු වන] වර්සාන් ෂයර් ලියූ Home (හෝම්) නම් කවියක් හඬ නගා කියවමින්. ඊට පස්සේ එයා මාස කීපෙකට කලින් ලෙස්බොස් කියන ග‍්‍රීක දූපතේ ඉඳන් ආපසු ආ මිතුරෙක් ගැනත් ඒ දූපතට එක දවසකට මිනිස්සු 5,000ක් පැමින ඇති බවත් [බි‍්‍රතාන්‍ය] ආන්ඩුව ඊලඟ පස් අවුරුද්දේ දී සරනාගතයන් 20,000කට විතරක් රටට ඇතුල් වෙන්න අවසර දුන් හැටිත් කිව්වා.”

කම්බර්බැච් තත්ත්වය මෙසේ විස්තර කලේ ය: “ක්ෂිතිජයේ හැම තැන ම දක්නට තිබුනේ බෝට්ටු විතර යි. වෙරල ඉමේ තිබුනේ ජීවිතාරක්ෂක ජැකට්ටු විතර යි.”

“දේශපාලුවන්ට හෙන ගහන්න ඕනෑ” යි අනතුරුව ඔහු පැවසී ය. එම අවස්ථාව සිහිපත් කරමින් පේ‍්‍රක්ෂකයා මෙසේ කියා සිටියේ ය: “ඒක ශේක්ස්පියර් එක්ක හැන්දෑවක් ගත කරන්න යන කෙනෙක් අපේක්ෂා කරන දෙයක් නම් නෙවෙයි. ඒත් කීප දෙනෙක් ඒකට ඔල්වරසන් දුන්නා.”

සිරියානු සරනාගතයන්ට උදව් කිරීම සඳහා සේව් ද චිල්රන් සංවිධානයේ පුන්‍ය ව්‍යාපෘතිවලට පරිත්‍යාගයන් කරන ලෙස නාට්‍ය රඟ දැක්වීමෙන් පසුව කම්බර්බැච් හැම විට ම බාබිකන් පේ‍්‍රක්ෂක පිරිස්වලට ආයාචනය කර ඇත. ඔක්තෝබර් 12 දා කල ආයාචනයේ දී YouTube(යූටියුබ් අඩවිය ඔස්සේ මෙය නැරඹිය හැකි ය) “ලෝක පුරවැසියන්” ලෙස ක‍්‍රියා කරන මෙන් ද සරනාගතයන්ට උදව් කිරීමට “අපි හැම ආන්ඩුවක්ම ඉක්මවා යමු” යි ද ඔහු පේ‍්‍රක්ෂක පිරිසෙන් ඉල්ලා සිටියේ ය.

කම්බර්බැච් ෂයර්ගේ කවියෙන් උපුටා දැක්වූ වදන් මේවා ය:

නො හැර යති රට කිසිවෙක්

රට මරු කටක් වුවොත් මිස

පලා යන්නේ ඔබ රට මායිම තෙක් ම

දුවනු දකින විට පමනකි මුලු නුවර ම

ඔබ වටහා ගත යුතු ය,

කිසිවෙකු තම දරුවන් බෝට්ටුවක නොනඟන බව

ගොඩට වඩා දිය පරිස්සම් සහගත වුවොත් මිස

සැප්තැම්බරයේ දී කම්බර්බැච් සරනාගතයන්ට සහාය පල කරමින් ගැයුනු “පුන්‍ය ගීයකට” හෝම් කව් පෙලින් ගත් වදන් ඇතුලත් වීඩියෝවක් හඳුන්වා දුන්නේ ය. “Help Is Coming” (උදව් ගලා එයි) නම් එම ගීතය ක‍්‍රවුඩඩ් හවුස් සංගීත කන්ඩායම ගයා තිබූ ඒකල ගීයක් යලි නිකුත් කිරීමක් විය. ගීය මුදා හැරුනේ දියේ ගිලී මිය ගිය ඇලන් කුර්දි නම් තුන් හැවිරිදි සිරියානු සරනාගත දරුවාගේ රූපාවලි ලොව පුරා විකාශය වීමෙන් පසුව ය.

එම සතියේ දී ම අගමැති ඩේවිඩ් කැමරන් තම ආන්ඩුව ඊලඟ පස් වසර තුල දී රට තුලට ඇතුලු වීමට ඉඩ දෙන්නේ සිරියානු සරනාගතයන් 20,000කට පමනක් බව නිවේදනය කලේ ය. සංස්කෘතික ක්ෂේත‍්‍රය තුල සුප‍්‍රසිද්ධ 100කට වැඩි පිරිසක් එක්ව ගාඩියන් පුවත්පතෙහි පිටුවක් පුරා දැන්වීමක් පල කරමින් මෙම සැලැස්මට වහා ම විරුද්ධත්වය පල කලහ. කම්බර්බැච්, ශ‍්‍රීමත් අනිෂ් කපූර්, අනුෂ්කා ශංකර්, කීරා නයිට්ලි, ජූඞ් ලෝ, ශ‍්‍රීමත් මයිකල් කේන් හා කොලින් ෆර්ත් ද ඒ අතර වූහ. ආන්ඩුවේ ප‍්‍රතිචාරය අතිශයින් ම අල්ප, අතිශයින් ම ප‍්‍රමාද” වූ එකක් බව ඔවුහු ප‍්‍රකාශ කලහ. “වර්තමාන අර්බුදයේ හදිසි භාවය වටහා ගෙන ක්ෂනික මානුෂීය ආධාර පිරිනැමීමටත් සරනාගතයන් යලි පදිංචි කිරීම සඳහා දිගු කාලීන විසඳුම්වලට එකඟ වීමටත් යුරෝපා සගයන් සමග එක්ව කටයුතු කරන” ලෙස ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

ගාඩියන් දැන්වීම ඔස්සේ පලවූ ප‍්‍රතිචාරය සංවිධානය කල එක් අයෙකු වූයේ, ලන්ඩනයේ පදිංචි දකුනු අප‍්‍රිකානු කලාකරු ඇඩම් බ‍්‍රෑම්බර්ග් ය. කැමරන් මේ අවුරුද්ද මුල දී “වඩා යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් මධ්‍යධරනිය තරනය කරමින් සිටින බි‍්‍රතාන්‍යයට එන්න ඕනෑ වෙලා තියෙන මිනිස්සු රෑනක්” ලෙස සරනාගතයන් විස්තර කිරීමෙන් පසු ක‍්‍රියාවට බැසිය යුතු යැයි තමන්ට හැඟුනු බව බ‍්‍රෑම්බර්ග් කියා සිටියේ ය.

බ‍්‍රෑම්බර්ග් ගාඩියන් පුවත්පතට මෙසේ පැවසුවේ ය: “ආන්ඩුව යොදා ගත්ත කර්කශ, අමානුෂික භාෂාව නිසා මා බෙහෙවින් කෝප ගැන්වුනා. මොකක් නමුත් කරන්න ඕනෑ කියා එය මා උනන්දු කලා. මම ජීවත් වෙන්නේ මේ රටේ. මේක මා නියෝජනය කල යුතු ආන්ඩුවක්. ඒත් ඒක ඒ කිට්ටුවකට වත් එන්නේ නැහැ. එය යොදා ගනිමින් තිබෙන භාෂාව විසකුරු එකක් බව ඇත්ත වශයෙන් ම මට දැනුනා. කැමරන් නරුම විදියට සරනාගතයින් ඉලක්ක කිරීම නින්දා සහගත බව මට දැනුනා.

“අපි උත්සාහ කරන්නේ මේ රට වෙනුවෙන් සහානුභූතිය පල කර සිටින්න, තමන්ගේ ජනතාව නියෝජනය නොකරන ආන්ඩුවක් විවේචනයට ලක් කරන්න. බලපෑමක් කරන්න පුලුවන් බව අපට විශ්වාස යි.”

කැමරන් ආන්ඩුවට එරෙහිව ප‍්‍රසිද්ධියේ කතා කල තවත් සංස්කෘතික ක්ෂේත‍්‍රයේ දෙදෙනෙකු නම් කතුවර ජේ.කේ. රෝලිං හා නිලි සමන්තා මෝර්ටන් ය. රෝලිං පැවසුවේ සරනාගත අර්බුදයට දැක්වූ ප‍්‍රතිචාරය “එහැම පිටින් ම නින්දා සහගත” බව යි. මෝර්ටන් මෙසේ පැවසුවා ය: “මගේ සීයායි ආච්චියි පෝලන්ත සරනාගතයන්. මගේ පෝලන්ත සීයායි ආච්චියි මේ රටට භාර ගත්තේ නැත් නම් මම මෙහේ නැහැ.” ඇය මෙසේ ද කීවා ය: “ලෝකයට ඉතා ඉක්මනින් වෙනස් වෙන්න පුලුවන්. අපි පරිස්සම් නොවුනොත් දෙවන ලෝක යුද්ධයටත් වඩා නරක තත්ත්වයක් උදා වේවි. ඒක හරි ම භයංකර වේවි. ඉතිහාසයේ දී මිනිස්සු ආපහු හැරී බලා තීරනය කරාවි කියා මම හිතනවා.”

පසු ගිය මාසයේ පැවති Black Mass (බ්ලැක් මාස්) චිත‍්‍රපටයේ මංගල දර්ශනයේ දී කම්බර්බැච් වාර්තාකරුවන් හමුවේ මෙසේ පැවසුවේ ය: “ආන්ඩුව [සිරියානු අර්බුදය ගැන] ප‍්‍රමානවත් තරමින් කටයුතු කරනවා කියා මම හිතන්නේ නැහැ. මම ඒ බව කියන්න ඕනෑ. [කොන්සර්වැටිව් ස්වදේශ කටයුතු ලේකම්] තෙරේසා මේ එක්ක වාඩි වෙලා ඇයගේ ආර්ථික හා දේශපාලන මොඩලය ක‍්‍රියාත්මක වන හැටි ගැන ඇත්තට ම දැන ගන්න මම කැමති යි .”

ඔහු මෙසේ ද කීවේ ය: “දැවැන්ත අර්බුදයක් තියෙනවා. කරමින් තියෙන දේ ප‍්‍රමානවත් නැහැ. ඔව්, අපට දිගු කාලීන විසඳුම් අවශ්‍ය යි; ඔව්, අපිට ජනතාව කඳවුරුවලින් එලියට ගන්න අවශ්‍ය යි, මොක ද එතකොට ඔවුන් මාරක ගමන්වල යෙදෙන්නේ නැහැ; ඔව්, එයාලා මෙහාට සේන්දු වුනා ම නිශ්චිත විසඳුමක් ඇත්තට ම ලබා ගන්න හදන එක හොඳ අදහසක් කියා මා හිතනවා. ඒත් දවසකට 5,000ක් සේන්දු වෙද්දී පස් අවුරුද්දකටම 20,000 යි කියන එක? අපි හැමෝ ම මේ තත්ත්වය වටහා ගත යුතු යි.”

බොහෝ විට කම්බර්බැච් අද දවසේ බි‍්‍රතාන්‍යය තුල රංගන කටයුත්තේ යෙදෙන වඩාත් ම ජනකාන්ත නලුවා විය හැකි යි. ඔහු කල යුතු දෑ ගැන ප‍්‍රබල අදහස් ඉදිරිපත් කරන අතර ඒවා බොහෝ දුරට පදනම් වන්නේ පුන්‍ය කටයුත්තක් සඳහා ප‍්‍රතිචාර දක්වන ලෙස සහ තත්ත්වය වටහා ගන්නා ලෙස දේශපාලනඥයන්ට කෙරෙන ආයාචනා මත නමුත් ඔහු කතා කරන්නේ, සමාජය තුල පවත්නා වඩා පුලුල් වූ ද වැඩෙමින් පවතින්නා වූ ද අතෘප්තියක කොටස්කරුවෙකු ලෙසිනි.

දේශපාලන ප‍්‍රභූව හා ඔවුන්ගේ සැලැස්ම විවේචනයට ලක් කරන තාක් දුරට ඔහු ප‍්‍රකාශයට පත් කරන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට හට ගත් විශාලතම සරනාගත අර්බුදයට බි‍්‍රතාන්‍යය හා යුරෝපා සංගමය තුල සහ ජාත්‍යන්තරව ආන්ඩු දක්වන ප‍්‍රතිචාරය නිසා බෙහෙවින් තැති ගෙන සිටින බි‍්‍රතාන්‍යය තුල හා ජාත්‍යන්තරව වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ප‍්‍රතිචාරය යි. මෙය වූ කලි සරනාගත අර්බුදයට තුඩු දෙමින් මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාව තුල නිමක් නැතිව යුද වදින ආන්ඩුවලට එරෙහිව විරුද්ධත්වය වැඩී ඒමක එක් ප‍්‍රකාශනයක් පමනකි. කම්බර්බැච් බාබිකන් රඟහලේ දී කල ආයාචනවලට සැලකිය යුතු සහායක් ලැබී ඇත. පේ‍්‍රක්ෂක පිරිස් සේව් ද චිල්රන් සංවිධානයට පවුම් 150,000කට වඩා ලබා දී ඇත. ඔහුගේ සැඳහුම් දීර්ඝ කාලයක් තිස්සේ කලා කව තුල ආධිපත්‍යය දරා ඇති අනුකූලතාවේ පොදු සුලං රැලි සමග ගැටෙමින් වෙනසක් ඇති නැවුම් සුලං රැල්ලක් රැගෙන ආවේ ය. එක් පුද්ගලයෙක් ට්විටර් අඩවියෙහි මෙසේ ප‍්‍රකාශ කලේ ය: “කම්බර්බැච් වැනි කීර්තිමත් හා බලපෑම් සහගත පුද්ගලයෙකු තම වේදිකාව යොදා ගෙන සරනාගත අර්බුදය ගැන ඍජුව කතා කරනු දක්නට ලැබීම බෙහෙවින් අසිරිමත් දෙයකි.”

කම්බර්බැච් සිය අදහස් දැක්වූයේ හැම්ලට් රඟ දක්වන අතරතුර ය යන කරුන නො තකා නො හැරිය යුතු ය. සති 12ක් තිස්සේ රඟ දක්වා ඔක්තෝබර 31 දායින් ප‍්‍රදර්ශනය අවසන් කෙරුනු නැෂනල් තියටර් නිෂ්පාදනය දැවැන්ත හා පෙර නොවූ විරූ ජනතා ප‍්‍රතිචාරයක් ලද්දේ ය. අලෙවියට තබා විනාඩි කිහිපයක් ඇතුලත නාට්‍යයේ සියලු දර්ශන වාරවල ප‍්‍රවේශ පත් විකිනී අහවර වූයේ වසරක් තරම් කලිනි. ලන්ඩන රංග කලා ඉතිහාසයේ දී නාට්‍ය දර්ශනයක ප‍්‍රවේශ පත් වැඩි ම වේගයෙන් අලෙවි වූ අවස්ථාව බවට මෙය පත් වූයේ ය.

නැෂනල් තියටර් වේදිකා නිෂ්පාදන චන්ද්‍රිකා තාක්ෂනය හරහා බි‍්‍රතාන්‍යය තුල හා ලොව වටා සිනමා හල්වල හා කලා මධ්‍යස්ථානවල සජීවව විකාශය කරන නැෂනල් තියටර් ලයිව් සජීව විකාශය 2015 දී එක්සත් රාජධානිය තුල සිනමාව ලද ඉහල ම ආදායම අත් කර ගත්තේ ය. එය දින තුනක් ඇතුලත පවුම් මිලියන 1.9කට ආසන්න වටිනාකමකින් යුත් ප‍්‍රවේශ පත් අලෙවි කර තිබින. ජනිත උනන්දුව බි‍්‍රතාන්‍ය දූපත්වලින් බොහෝ ඔබ්බට ගලා ගියේ ය. ලන්ඩනයේ සිට සජීවව විකාශය කල ඔක්තෝබර 15 දා දර්ශනය නැරඹීමට රටවල් 25කට වැඩි ගනනක 225,000ක් ජනයා සිනමා ප‍්‍රවේශ පත් මිල දී ගත්හ.

“යුද්ධය, සංක‍්‍රමනය හා පලි ගැනීම: ශේක්ස්පියර් යනු වර්තමාන ලෝකය ගැන කියන කවියා ය” යන මැයෙන් ගාඩියන් පුවත්පතෙහි පල වූ ලේඛක හා විචාරක ඇන්ඩෲ ඩික්සන් කල බැරෑරුම් අදහස් දැක්වීමක් ශේක්ස්පියර්ගේ “කැරලිකාර ජීව ගුනයේ” ඇති ඉමහත් සමකාලීන වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරවූයේ ය.

ඔහු මෙසේ ලිවී ය: “ලන්ඩනයේ ග්ලෝබ් රඟහලේ නලුනිලියන් ජෝර්දාන දේශ සීමාව ආසන්නයේ පිහිටි සරනාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට (UNHCR) අයත් සාටාරි කඳවුරෙහි හැම්ලට් රඟ දක්වද්දී සාරා ලී ගත් ඡායාරූප ඡායාරූප දුටු විට සසල නො වී සිටිය නොහැකි ය. ... පසු ගිය වසරේ මාර්තුවේ දී සිරියානු ලමයි 100කට වැඩි පිරිසක් නවාර් බුල්බුල්ගේ අධ්‍යක්ෂනය යටතේ අරාබි භාෂාවෙන් කිං ලියර් නාට්‍යය නිෂ්පාදනය කොට වේදිකාගත කලහ. හැම්ලට් මෙන් ම ලියර් ද ඛේදාන්තයකි. ඒවායේ තේමාවන් -- එනම් උන්මාදය, යුද්ධය, බිඳී විසිරී ගිය පවුල් හා ඉඩම් අහිමි වීම -- පිලිබිඹු කරන්නේ බොහෝ සරනාගතයන්ගේ අත්දැකීම යි.”

ඔහු සිය ලිපිය අවසන් කලේ මෙසේ ය: “ජුගුප්සාජනක කිසි යම් දෙයක් තිබෙන්නේ එක් රාජ්‍යයක් තුල පමනක් නො වේ. ශේක්ස්පියර් මැනවින් දැන සිටියාක් මෙන් සිපිරි ගෙයක් වී තිබෙන්නේ ඩෙන්මාර්කය පමනක් නො වේ.”

Share this article: