හදිසි තත්වය හා ප්‍රන්ස ප්‍රජාතන්ත්‍රයේ බිඳ වැටීම

The state of emergency and the collapse of French democracy

2015 නොවැම්බර් 19

හදිසි නීති තත්වයක් ප්‍රකාශයට පත්කරමින් සමාජවාදී පක්ෂ (පීඑස්) ආන්ඩුව, නිත්‍ය හා අතිරේක පොලිසිය, පැරා මිලිටරි පොලිසිය, මිලිටරිය ඇතුලු ලක්ෂයකට වැඩි ආරක්ෂක හමුදාවක් රට පුරා යොදවා ඇත. කැලෑ හා කලු ඇඳුමෙන් සැරසී ස්වයංක්‍රීය ගිනි අවි අතැති පුද්ගලයින් මුන නොගැසී නගරයේ කිසිදු වීදියක ගමන්කල නොහැකිවී ඇත. මෙම පැරාමිලිටරි බලඇනි වලට කුමන හෝ නිවසක් සෝදිසි කිරීම, තර්ජනයක් ලෙස ප්‍රකාශ කර ඕනෑම අයෙක් අතඅඬංඟුවට ගැනීම හෝ මරා දැමීමේ බලය පවරා ඇති අතර දේශපාලන හෝ මාධ්‍ය සංස්ථාපිතයෙන් ඊට කිසිදු විරුද්ධත්වයක් පල නොවේ.

ජනාධිපතිට හදිසි නීතිය පැනවීමේ, දින නියමයකින් තොරව එය දීර්ග කිරීමේ හා පොලිසියට ද හමුදාවට ද පැවරෙන බලතල බෙහෙවින් පුලුල් කිරීමේ හැකියාව ලබාදෙන පරිදි ප්‍රන්ස ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනා දැන් ඔලන්ද් විසින් ඉදිරිපත් කරමින් සිටී. යෝජනාව ඔන්ලයින් ප්‍රසිද්ධ කර ඇති අතර ප්‍රන්සය ජනාධිපති ආඥාදායකත්වයක් බවට හැරවීමේ පදනම මෙ මඟින් සැකසී ඇත.

පවතින 1955 නීති මඟින් ජනාධිපතිට හා ආරක්ෂක හමුදාවන්ට හදිසි අවස්ථාවකදී දුරදිග යන බලතල පැවරී තිබේ. ඒ අනුව ඔවුන්ට බලපත්‍ර රහිතව සෝදිසි කිරීම, අත්අඬංඟුවට ගැනීම, ඇඳිරි නීතිය පැනවීම, මහජන රැස්වීම් තහනම් කිරීම, “නීතිය හා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන අයගේ කටයුතු වලට සම්බන්ධ” ඕනෑම කෙනෙක් රඳවා තැබීමට හා නිවාස අඩස්සියේ තැබීමට ද රටේ නීතිය කඩකරන “එවැනි අය සහභාගී වන හා පහසුකම් සලසන හා උසිගැන්වීම් කරන” ඕනෑම සංවිධානයක් විසුරුවා හැරීමට ද හැකිය.

සමාජවාදී පක්ෂය විසින් ව්‍යවස්ථාමය සංශෝධන ලෙස හඳුන්වාදී ඇති වෙනස්කම්, නීතිය තවත් දරදඬු කරයි. ජනාධිපති ඔලන්ද් පවසා ඇත්තේ, අයිසිස් වැනි කුමන හෝ ත්‍රස්තවාදී සංවිධානයකින් ප්‍රන්සයට තර්ජන එල්ල වන තාක් දුරට තමන් ඒවා යලි පනගන්වන බවය. ඒ අනියමිත කාලයක් සඳහාය.

එහෙත් සංශෝධන පරීක්ෂා කර බලන කල පෙනී යන්නේ, ඒවා, සිරියාවේ තන්ත්‍ර මාරුවක් සඳහා ගෙන යන යුද්ධයේ කුලීකාර හමුදාවක් ලෙස ඉස්ලාමීය මිලිෂියාවන්ට අනුග්‍රහය දැක්වීමේ නේටෝ බලවතුන්ගේම ව්‍යායාමය තුලින් මතුව ඇති, අයිසිස්ට එරෙහිව සටන් වැදීම සඳහා නොවන බවයි. පැරිසියට එල්ලවූ බිහිසුනු ප්‍රහාර කඩතුරාව කරගනිමින් බලගන්වා ඇති ආඥාදායක පියවර, අයිසිස් තර්ජන මඟින් මොන ආකාරයකින්වත් තර්කානුකූලව පැහැදිලි කල නොහැකිය. යුක්තිසහගත කල නොහැකිය.

අයිසිස්ට එරෙහිව සටන් වැදීමේ කඩතුරාව යටතේ ප්‍රන්ස රාජ්‍යය, තමන් “ආරක්ෂාවට හා ජන ජීවිතයට” තර්ජනයක් යයි සලකන ඕනෑම කෙනෙකුට එරෙහිව යොදාගත හැකි බලතල තෙමේම පවරාගෙන ඇත. මෙම අපැහැදිලි, සෑම දෙයක්ම වෙලාගෙන ඇති බලය, පසුගිය වසරේ ගාසාවේ ඊශ්‍රායලය විසින් ගෙන ගිය යුද්ධයට එරෙහි විරෝධතා තහනම් කිරීමට සමාජවාදී පක්ෂය ගත් තීරනය වැනි, ව්‍යවස්ථාවෙන් ආරක්ෂාකර ඇති වැඩවර්ජන කිරීමේ අයිතියට එරෙහිව දිගු කලක් තිස්සේම යොදාගෙන ඇත.

ආන්ඩුව හඳුන්වාදී ඇති නීතිමය වෙනස්කම්, කුමන හෝ විපක්ෂ අදහස් ප්‍රකාශ කිරීමක් අත්අඬංඟුවට ගත හැකි දෙයක් බවට පත් කරයි. “”මහජන ආරක්ෂාවට හා නීතියට තර්ජනයක් යයි සැලකෙන කටයුතුවල” යෙදෙන ඕනෑම කෙනෙක් රඳවා තැබීමට පොලිසියට ඉඩ සැලසෙන නීතිවලට අමතරව සංශෝධීත නීති අනුව, “ආරක්ෂාවට හා මහජන ජීවිතයට තර්ජනයක් සේ සැලකෙන කටයුතු වලට සම්බන්ධ යයි සැක කරන” ඕනෑම කෙනෙක් අත්අඬංඟුවට ගැනීමට ද අවස්ථාව සැලසෙයි. ආන්ඩුව පැහැදිලි කරන ආකාරයට මේ මඟින් පොලිසියට, “තමන්ගේ හැසිරීමෙන්, ඔවුන්ගේ මිතුරු සම්බන්ධකම් වලින්, ප්‍රකාශ වලින් හෝ සැලසුම් වලින් පොලිසියේ හෝ ඔත්තු සේවාවන්හි අවධානයට ලක්වන මිනිසුන්” ඉලක්ක කිරීමට ඉඩ ලැබේ.

මෙම යෝජනාවන්හි ඇඟවුම් ඉමහත්ය. යම් පුද්ගලයෙක් කියා ඇති හෝ සමාජ මාධ්‍යයන්හි පලකරන ලද හෝ ඔහු සම්බන්ධකම් පවත්වන අයෙකුට පවසා ඇති දෙයක් මත පදනම්ව, ඔහු අනාගතයේ දිනක මහජන ජීවිතයට අවහිරයක් විය හැකි යයි විශ්වාස කරන්නේ නම් එම පුද්ගලයා අත්අඬංඟුවට ගැනීමට පොලිසියට හැකිය.

වැටුප් හෝ කම්හල් වැසීමට එරෙහි වැඩ වර්ජනයකට සහාය පල කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීම හෝ යුද්ධයට එරෙහිව විරෝධය දැක්වීම හෝ බොහෝ නීතිමය කටයුතු වලට තුඩුදිය හැකි ක්‍රියා, අත්අඬංඟුවට ගැනීමට හෝ නිවාස අඩස්සියේ තැබීමට ප්‍රමානවත්ය.

දැන් ආන්ඩුව නීති පුලුල් කිරීමට යෝජනා කරද්දී, ප්‍රන්ස යටත් විජිත පාලනයට එරෙහි 1954-1962 යුද්ධයේදී ඇල්ජීරියානු ජනතාවගේ නිදහස් අරගලය තලා දැමීමට, වධ බන්ධන හා මර්දනය ගෙනයාම සඳහා ප්‍රන්සයට නීතිමය ඉඩ සලසමින් ඇතිකල 1955 කෙටුම්පත් කල ආකෘතිය සිහිපත් කිරීම වැදගත්ය. එම යුද්ධයෙන් 250,000-400,000 අතර ඇල්ජීරියානුවන් සංඛ්‍යාවක් මිය ගියේය. එය 1968 මැයි ජූනියේ හටගත් ප්‍රන්ස මහා වැඩවර්ජනයට තුඩු දුන් සමාජ ආතතීන්ගේ පූර්ව සලකුනක් විය.

ප්‍රන්සය තුල දැන් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි කිරීමේ ක්‍රියාවලිය, පන්ති පාලනයේ ඒ හා සමාන අර්බුදයක් මඟින් ධාවනය කෙරේ. පලමුවැන්න, පසුගිය වසරේ ගාසා යුද විරෝධතා තහනම් කිරීමේ, අවසානයේ අසාර්ථකවූ උත්සාහය පෙන්නුම් කලේ, ප්‍රන්ස අධිරාජ්‍යවාදයේ මිලිටරිවාදී ප්‍රතිපත්ති වලට පල වන සියලු ප්‍රතිරෝධයන් මැඬීමෙහිලා ආන්ඩුවට ඇති මංමුලාවය. පැරිස් ප්‍රහාරයන්ගෙන් පසුව ඔලන්ද්, ලෝක කරලිය තුල සිය අවශ්‍යතා පෙන්නුම් කිරීමේ ප්‍රන්ස පාලක පන්තියේ උත්සාහයෙහි කොටසක් ලෙස, සිරියාව තුල ප්‍රන්ස ගුවන් ප්‍රහාර වේගවත් කිරීමට වහා පියවර ගත්තේය.

වත්මන් ධනපති සමාජය තුල එන්ට එන්ටම පාලනය කල නොහැකි තත්වයකට පත්වන දැවැන්ත සමාජ ආතතීන්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රය තුල තවදුරටත් දරාගත නොහැකි වීම දෙවැන්නයි. ප්‍රන්සය ද ඇතුලු සියලු දියුනු ධනපති රටවල රාජ්‍යය පාලනය කරන්නේ, සුපිරි ධනවතුන්ගේ තුනී ස්ථරයක් විසින් වන අතර ඔවුන්, පුලුල් වැඩකරන ජනතාව අතර නැඟී එන නොසංසුන්තා දැකගන්නේ, වෛරී සහගතව හා භීතියෙනි.

ඔලන්ද් ආන්ඩුව මූල්‍ය වංශාධිපති අධිකාරයේ මූර්තියකි. “කප්පාදු අපගේ ඉරනම නොවේ යයි” පොරොන්දු දෙමින් බලයට පත් ඔලන්ද්, වැඩෙන විරැකියාව හා “ශුන්‍ය වර්ධනයක්” සහිත ආර්ථිකය මත පිහිටි කප්පාදු ගැති පාලකයෙක් ලෙස වහාම හෙලිදරව් විය.

ආන්ඩුව මිලටරිවාදය හා යුද්ධය මත පදනම්වූ විදෙස් පිලිවෙතක ආධාරයෙන් ප්‍රතිගාමී දේශීය පිලිවෙත් කෙරෙහි පල වන සමාජ විරෝධය ඉවතට හැරවීමේ මූලෝපායකට පිවිසියේය. ඔලන්ද් 2013දී මාලි යුද්ධය දියත් කරද්දී එක් නිලධාරියෙක් ලෙ පොයින්ට් පත්‍රයට පැවසුවේ ආන්ඩුව එය, බ්‍රිතාන්‍ය අගමැති මාගරට් තැචර්ගේ ෆෝක්ලන්ත යුද්ධයේ ප්‍රන්ස ආකෘතිය සේ සැලකූ බවය. “එය 1983 තමන් යලි බලයට පත්වීම සහතික කර ගැනිමට ඇය දියත් කල මිලිටරි මදාවියකි.” එහෙත් සිය පැරනි අධිරාජ්‍යවාදය පුරා යුද්ධ, ප්‍රන්සය තුලම සමාජ ආතතීන් ඉහල නැඟීමට පමනක් ආධාර වී ඇත.

ප්‍රන්සයේ දේශපාලන ගතිකය සෑම ප්‍රධාන ධනපති රටක් තුලම දැකගත හැකිය. 2001 “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පටන්ගත් තැන් සිට ලොව පුරා ආන්ඩු, ඇමරිකාවේ මූලිකත්වය යටතේ, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් විනාශ කිරීමේ උත්සාහයක නිරතව සිටියි. ඔවුන්, සිරකරුවන් වධදීමට ඉඩකඩ ඇති රටවලට “හොර රහසේ පැහැරගෙන යාම” නීති විරෝධී හොරෙන් ඇහුන්කන් දීම හා දන්ඬ මුක්තික ඩ්‍රෝන් ඝාතන ක්‍රියාත්මක කරයි. හිසේ සිට දෙපතුලට සන්නද්ධ කල මිලිටරි ඒකක රට පුරා දිගේලි කිරීම දැන් සාමාන්‍ය දෙයකි.

ලන්ඩන්හි පසුගිය වසරේ පොලිසිය සිදුකල ‍තරුන මර්දනයේ සිට මිසෝරි ප්‍රාන්තයේ ෆර්ගියුසන්හි පොලිසිය මයිකල් බ්‍රවුන් ඝාතනය කිරීමට එරෙහිව පැන නැඟි විරෝධතාවන්ට සන්නද්ධ පොලිස් කඩාපැනීම් දක්වා වන සියලු පියවර, පන්ති අරගල මැඬීමේ දිසාවට යොමු‍කෙරුනු ඒවා බව පැහැදිලිය.

දේශපාලන හෝ ව්‍යාපාරික සංස්ථාපිතය තුල ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීමට කැප වුනු කිසිවෙකුත් නැති තරම්ය. එම කර්තව්‍යය වැටී ඇත්තේ කම්කරු පන්තියේ උර මතය. එය ප්‍රජාතන්ත්‍ර මූලධර්ම වෙනුවෙන් කැපවූ පන්තියයි. එහෙත් දේශපාලන උදාසීනත්වයට ඉඩක් නැත. පාලක පන්තිය තමන් අත කිසිදු විසඳුමක් නැති අභ්‍යන්තර අර්බුදය හමුවේ ආඥාදායක පියවර ගැනීම කරා වේගයෙන් හැරෙමින් සිටියි.

ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂාව හා පාලනයේ පොලිස්-රාජ්‍ය විධික්‍රමයන්ට විරුද්ධත්වය මුල්බැස ගත යුත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, සමාජ අසමානතාවට එරෙහි අරගලය ඒවායේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයේ පදනම මත පිහිටුවන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම තුලය.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: