සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය සියැටල් ඩිමොක‍්‍රැටිකයන් සමග මැතිවරන සන්ධානයක් යෝජනා කරයි

Socialist Alternative proposes electoral alliance with Seattle Democrat

එරික් ලන්ඩන් විසිනි, 2015 ඔක්තෝබර් 31

“සියැටල් සිටි නගර සභා ආසන නවය ම දිනාගත හැකි යි -- වම සඳහා පවතින ඉදිරි මාවත” නමින් ඔක්තෝබර් 22 දා ප‍්‍රකාශයක් නිකුත් කල සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය තමන් ඩිමොක‍්‍රැටික් පක්ෂ අපේක්ෂකයන් සමග මැතිවරන සන්ධානයකට එලඹෙන බව නිවේදනය කලේ ය. එම ලිපිය වනාහි එම කල්ලිය දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ වීමට යන ගමනේ තවත් සන්ධිස්ථානයක් සලකුනු කරන ක‍්‍රියා මාර්ගික වූ ද දේශපාලනිකවූ ද ප‍්‍රකාශයකි.

ඩිමොක‍්‍රැටික නගර සභා අපේක්ෂකයන් ගනනාවක් ගැන සඳහන් කරන සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය මෙසේ ලියයි: “ඔවුන් තෝරා පත් කිරීම ඉදිරියට තබන මහා පියවරක් වනු ඇති බවටත් නගර සභාව තුල කොන්සර්වැටිව් ආධිපත්‍යය පැවති වසර ගනනාවකින් පසුව සතුට ගෙනෙන සහනයක් වනු ඇති බවටත් කිසි සැකයක් නැත.”

ඩිමොක‍්‍රැටික දේශපාලනඥයන්ට ප‍්‍රසිද්ධියේ එවැනි නිර්දේශයක් දිය හැකි වන්නේ සමාජවාදය සමග කිසි ම සම්බන්ධයක් නැති දේශපාලන කල්ලියකට පමනකි.

තම “සමාජවාදී” නගර සභිකා ක්ෂමා සවන්ත් ගැන සඳහන් කරන සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය ඩිමොක‍්‍රැටික් පක්ෂ යන්ත‍්‍රනයට ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ තමන් දේශපාලන සංස්ථාපිතය හමුවේ කිසිදු තර්ජනයක් මතු නොකරන බව යි:

“සවන්ත්ට [ඩිමොක‍්‍රැටික් පක්ෂ නගරාධිපති එඩ් මරේගේ] කාර්ය බලකාය සමග පවත්නා සම්බන්ධතාව පෙන්නුම් කර ඇත්තේ ඩිමොක‍්‍රැටිකයන්ගෙන් ස්වාධීන වී සිටීම වැඩ කරන ජනතාවට උදව් කිරීම සම්බන්ධ කාරනාවල දී ඩිමොක‍්‍රැටිකයන් සමග එක්ව වැඩ කිරීමෙන් අප නො වලක්වන බව යි. “ෆිෆ්ටීන් නව්” වැඩ සටහන තුල සවන්ත්ට ඩිමොක‍්‍රැටික් පක්ෂයේ සාමාජිකයන් සමග පවත්නා සමීප සහයෝගිතාව පෙන්නුම් කර ඇත්තේ ඇය හා සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කන්ඩායම කම්කරු පන්තියේ අවශ්‍යතාවන් උදෙසා සටන් වැදීමට මහත් ආසාවෙන් පසු වන බව යි.”

සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය තව තවත් දකුනට යන ගමනේ මේ මොහොතේ දී කෙනෙකුට මෙසේ ඇසීමට අයිතියක් ඇත: ඩිමොක‍්‍රැටිකයන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලමින් හා ඩිමොක‍්‍රැටිකයන් සමග සහයෝගී වෙමින් සිටින කල්ලියකට තමන් ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් ස්වාධීන යැයි කිව හැක්කේ කෙසේ ද? පිලිතුර නම් “ස්වාධීනත්වය” ගැන ඔවුන් කරන කතාව වංචාවක් බව යි. ඔවුන්ගේ ස්ථාවරය ප‍්‍රකට ද පැහැදිලි ද වේ: ඩිමොක‍්‍රැටිකයන් තෝරා පත් කිරීම “ඉදිරියට තබන මහා පියවරක් වනු ඇති” අතර සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කන්ඩායම “ඩිමොක‍්‍රැටික් පක්ෂයේ සාමාජිකයන් සමග සමීප සහයෝගිතාවකින්” වැඩ කිරීමට “මහත් ආසාවෙන්” සිටී.

තමන් ඩිමොක‍්‍රැටිකයන් සමග සහයෝගී වීමට බලාපොරොත්තු වන්නේ “වැඩ කරන ජනතාවට උදව් කිරීම සම්බන්ධ කාරනාවල දී” පමනකි යි කියමින් සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය ඩිමොක‍්‍රැටික් පක්ෂය සමග තමන් ඇති කර ගැනීමට යන සන්ධානය ආරක්ෂා කරයි. මෙය වනාහි අබෙල්ට “උදව් කිරීම” සඳහා කේන් සමග සහයෝගී වීමකට සමාන ය.

අපි මෙය පැහැදිලි කර ගනිමු: ඩිමොක‍්‍රැටික් පක්ෂය යනු එක්සත් ජනපදය තුල පවතින දශක ගනනාවක් තිස්සේ වැටුප්වලට, ජීවන තත්ත්වයන්ට හා සමාජ වැඩ සටහන්වලට එල්ල කල ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුතු ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකින් එකකි. එය නියෝජනය කරන්නේ ක‍්‍රියාවලියේ දී කොපමන සියදහසක් ජනයා ඝාතනය වේ ද යන්න නො තකා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් අනුව ලෝකය කැබලි කිරීමට යත්න දරන මූල්‍ය කතිපයාධිකාරය හා හමුදා බුද්ධි අංශ යන්ත‍්‍රනය යි. එය වූ කලි වැඩ කරන ජනතාවට “උදව් කිරීමේ” අවශ්‍යතාව යන්තමින් වත් ඇති පක්ෂයක් නො වේ. ඒ වෙනුවට එය ලෝක කම්කරු පන්තියේ සමහන් කල නොහෙන පන්ති සතුරෙකි.

සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය සහාය හා සහයෝගිතාව බලාපොරොත්තුවෙන් යොමු වන්නේ මෙම පක්ෂය දෙසට ය. ඔක්තෝබර් 22 දා ලිපිය යොමු කෙරුනේ ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ආධාරකරුවන් නො ව “බොහෝ කාරනාවල දී අප සමග එකඟ වන හා සංගතවල දේශපාලනයට එරෙහි නිර්භීත ක‍්‍රියාවන් දැකීමට ආසාවෙන් සිටින තෝරා පත් කල ඩිමොක‍්‍රැටික් පක්ෂ දේශපාලනඥයන්” නොමග යැවීමට ය.

ලිපිය මෙසේ ද කියයි: “ප‍්‍රගතිශීලී වෙනසක් පිලිබඳ වූ පොදු න්‍යාය පත‍්‍රයකට සහාය දීම සඳහා එක්ව වැඩ කිරීමට මහත් ආසාවෙන් සිටින නමුත් අප දේශපාලනිකව විශ්වාස කරන්නේ ඔවුන් ඇති තරම් දුර නොයන බව යි... තේරී පත් වුවත් නැතත් ප‍්‍රජා මට්ටමේ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහාත් විශේෂයෙන් ම තරුනයන් අතර යලි වතාවක් වාමාංශික දේශපාලන උනන්දුවක් ජනනය කිරීම සඳහාත් අපට උදව් කිරීමට තම උද්ඝෝෂන ව්‍යාපාර යොදා ගන්නා ලෙස අපි ඔවුන් උනන්දු කරමු.”

මේ වැකි අධ්‍යයනය කල යුත්තේ සමාජවාදී නො වන සියලු දෑ උගන්වන පෙල පොතකින් ගත් උදාහරනයක් ලෙස සලකමිනි.

සමාජවාදීන් විප්ලවවාදී ව්‍යාපාරය ගොඩ නැගීමට “උදව් කරන” ලෙස බැංකු ද සංගත හා හමුදා බුද්ධි අංශ යන්ත‍්‍රනය නියෝජනය කරන පක්ෂ “උනන්දු” කරන්නේ නැත. අපි ඔවුන් “ඇති තරම් දුර නො යාම” ගැන ඔවුන් විවේචනයට ලක් කරන්නේත් නැත. අප වෙහෙස නො තකා සටන් වදින්නේ විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනය පදනම් විය යුත්තේ “වාම” වේවා, ලිබරල් වේවා, ප‍්‍රකට ලෙස ම දක්ෂිනාංශික වේවා ධනපති පන්තියේ සියලු පක්ෂවලින් හා දේශපාලනඥයන්ගෙන් කම්කරු පන්තිය පූර්න ලෙස ම දේශපාලනිකව ස්වාධීන විය යුතු ය යන අවබෝධය වැඩ කරන ජනතාව අතර ඇති කිරීම සඳහා ය.

සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය හා වෙනත් නා නා විධ ව්‍යාජ වාම සංවිධාන සමන්විත කරන මධ්‍යම පන්තික මාක්ස්වාද විරෝධීන් අතරෙහිදී විප්ලවවාදී සමාජවාදයේ මෙම හර මූලධර්මය “නිකායවාදය” ලෙස සලකා ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය විප්ලවවාදී කන්ඩායමක් නොවන අතර එහි දේශපාලන ප‍්‍රවිෂ්ටයට මාක්ස්වාදය සමග මෙලොව සම්බන්ධයක් නැත. ඔවුන් සිතන පරිදි සමාජ බලවේග හා දේශපාලන පක්ෂ ගැන කරන විශ්ලේෂනය තුල පන්තිවලට කිසි ම තැනක් නැත. ඒ වෙනුවට සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය කරන්නේ ඩිමොක‍්‍රැටික් පක්ෂය ප‍්‍රගතිශීලී “සංගත විරෝධී” කන්ඩායමකින් සමන්විත වූවක් ලෙස හා “තත්වාරක්ෂක” වූවක් ලෙස පින්තාරු කිරීම යි. එය සහාය දී තිබෙන ඩිමොක‍්‍රැටිකයන් පස් දෙනාට මූල්‍යාධාර සැපයෙන්නේ ව්‍යාපාරික අවශ්‍යතාවන්ගෙන් හා දේපොල සංවර්ධකයන්ගෙන් බවත් ඔවුන් සංගතවලින් ලැබෙන අල්ලස් ප‍්‍රතික්ෂේප කිරීමට “කැමැත්තක් පෙන්වා නැති” බවත් සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය මෙහි දී ද කනගාටුදායක ලෙස පිලිගනියි.

සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය ඩිමොක‍්‍රැටික් පක්ෂය වෙත නැඹුරු වීම දේශපාලනික අත්වැරැද්දක් නො ව එහි පන්ති දිශානතියේ ප‍්‍රතිඵලයකි. එය නියෝජනය කරන්නේ සමාජය තුල සිටින ධනවාදය පවත්වා ගෙන යාමේ සෑම අවශ්‍යතාවක් ම ඇති ඉහල මධ්‍යම පන්තික ස්තරයකි.

සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලියේ මැතිවරන සන්ධානය සියැටල්හි නගර ආන්ඩුවේ පාලනය අත් කර ගැනීමට සමත් වුව හොත් එය ඉටු කරනු ඇත්තේ ග‍්‍රීසියේ දී සිරිසාව ඉටු කරන කාර්ය භාරය ම ය. ජනවාරියේ දී සිරිසාව මැතිවරනය දිනා ගත්තේ පටි තද කිරීමට විරුද්ධ වේදිකාවක් මත සිට ය. එහෙත් බලයට පැමින සති කිහිපයක් ගත වෙද්දී එය සමාජ වැඩ සටහන්වල ද කම්කරුවන්ගේ වැටුප්වල හා ප‍්‍රතිලාභවල ද දැවැන්ත කප්පාදු ඇතුලත් නව, දරුනු පටි තද කිරීමේ වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීමට යුරෝපා බැංකු සමග ගිවිසුමක් ඇති කර ගත්තේ ය.

බැංකුවල හා සංගතවල අනසක පැටවීම සහ ධනවාදයට එරෙහි අරගලයක් සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අතර තුන් වන මාවතක් නො පවතින අතර සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය ඩිමොක‍්‍රැටික් පක්ෂය වෙත නැඹුරු වීමෙන් සනාථ වන්නේ එය දෙවනුව කී දෙයට මුලුමනින් ම විරුද්ධ බව යි.

එය ඩිමොක‍්‍රැටිකයන් සමග ඇති කර ගැනීමට යන සන්ධානය මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන් යුද්ධයට හා අසමානතාවට දක්වන විරුද්ධත්වය පැහැදිලි ලෙස සමාජවාදී ස්වරූපයක් ගැනීම වැලැක්වීම සඳහා මං සෙවීමට පාලක පන්තිය සිත යොමු කිරීමත් සමග බැඳී ඇත. ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නා මෙම පරිශ‍්‍රමයන් ධනේශ්වර දේශපාලනයේ ප‍්‍රධාන අංගයක් බවට පත්ව ඇත. පාලක පන්තිය පටි තද කිරීම හා යුද්ධය පිලිබඳ තම වැඩ සටහන සාක්ෂාත් කර ගැනීම සඳහා ග‍්‍රීසියේ සිරිසාව, මහා බි‍්‍රතාන්‍යයේ ජෙරමි කෝබින් හා ස්පාඤ්ඤයේ පොඩෙමොස් වැනි බලවේග කෙරෙහි වැඩි වැඩියෙන් විශ්වාසය තබමින් සිටී.

එක්සත් ජනපදය තුල දී සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය සමාජ විරෝධය ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ආවෘත අන්තය තුලට නැවත යොමු කරවීමට ක‍්‍රියා කරන ඩිමොක‍්‍රැටික ජනාධිපති අපේක්ෂක බර්නි සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂන ව්‍යාපාරයට සහාය දී ඇත. සමාජ අසමානතාවට එරෙහි සටනකට නායකත්වය දෙන බව කියන සෑන්ඩර්ස් වූ කලි “ඇමරිකානු රැකියා ආරක්ෂා කිරීමේ” නාමයෙන් එක්සත් ජනපද කම්කරුවන් වෙනත් රටවල ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ට එරෙහිව පිහිටුවීම සඳහා වැඩ කිරීමේ දී වෘත්තීය සමිති නිලධරය හා ඩිමොක‍්‍රැටික් පක්ෂයේ කොටස් සමග එක් වන ආර්ථික ජාතිකවාදියෙකි. මෙම ගැඹුරින් ම ප‍්‍රතිගාමී දිශානතියේ සැබෑ අන්තර්ගතය නම් වෙඩි තබා ගැනෙන යුද්ධයන්ට නො වැලැක්විය හැකි ලෙස ම තුඩු දෙන අන්තර් අධිරාජ්‍යවාදී ආර්ථික හා වෙලඳ යුද්ධය තුල දී ඇමරිකානු කම්කරුවන් “ඔවුන්ගේ” සංගත ලොක්කන් පසුපස පෙල ගැස්වෙන බව යි.

ඔක්තෝබර් 22 දා ලිපියේ දී සෝශලිස්ට් ඕල්ටර්නේටිව් කල්ලිය අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වයේ වෙලඳ ගිවිසුමට ඒඑෆ්එල්-සීඅයි ඕ සමිති දක්වන ජාතිකවාදී විරුද්ධත්වයට සහාය දෙන බව ප‍්‍රකාශ කරමින් මහත් ඇල්මෙන් යුතුව මෙම කම්කරු පන්ති විරෝධී ඉදිරි දර්ශනයට අනුබල දෙයි. එය මෙසේ ලියයි: “අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වයට විරුද්ධ වන සංවිධාන 2,000ට ස්වාධීන අපේක්ෂකයන් සිය ගනනක් ඉදිරිපත් කිරීම සඳහා එකට එක් විය හැකි වුව හොත් කෙබඳු දැයි සිතා බලන්න.”

පාලක පන්තිය තම ව්‍යාජ වාම ආධාරකරුවන් මත වැඩි වැඩියෙන් විශ්වාසය තැබීම මගින් අවසන් විග‍්‍රහයේ දී පිලිබිඹු වන්නේ ධනවාදයේ අතිමහත් අර්බුදය හා වර්තමාන කාල පරිච්ඡේදය තුල ගැබ් වන අතිමහත් විප්ලවවාදී විභවය යි. අද දවසේ කම්කරු පන්තිය තුල සමාජවාදී සවිඤ්ඤානකත්වය සඳහා සටන් කිරීමට නම් පැරනි, මියැදෙමින් පවත්නා පද්ධතියට මුක්කු ගැසීමට උත්සාහ කරන ඉහල මධ්‍යම පන්තික ව්‍යාජ සමාජවාදීන් ඉටු කරන කාර්ය භාරය හෙලිදරව් කිරීම හා පැහැදිලි කිරීම සඳහා කරන සටනක් අවශ්‍ය වේ. සමාජවාදී විප්ලවය සඳහා දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක පදනම් දැමෙනු ඇත්තේ එවැනි කම්කරු පන්ති විරෝධී සංවිධානවලට විරුද්ධව යමිනි.

Share this article: