වාඩිලාගෙන සිටි රනාල ඒවී ඇඟලුම් කම්කරුවෝ මැර ප්‍රහාරයකින් පලවා හරිති

ඩබ්ලිව්.ඒ සුනිල් සහ රාජා ගුනසේකර විසිනි, 2015 නොවැම්බර් 19

තමන්ට හිමිවිය යුතු මාස දෙකක හිඟ වැටුප් ඉල්ලා කම්හල වාඩිලාගෙන සිටි නවගමුව දකුනු රනාලේ පිහිටි ඒවී ඇඟලුම් කම්හලේ කම්කරුවන්ට පසුගිය සිකුරාදා එහි අයිතිකරුවන් විසින් මැරයින් යොදවා මෘග ලෙස පහර දී එලවා දමා ඇත.

එදින පෙරවරු 11.30 ට ත්‍රී වීල් දෙකකින් සහ වෑන් රියකින් පැමිනි කඩු, පොලු හා ගිනි අවි රැගත් මැරයින් 15-20 පමන කම්හල වාඩිලාගෙන සිටි කම්කරුවන් ට පහර දී තිබේ. එක් කම්කරු තරුනියකගේ ගෙලට කඩුවක් හා තවත් තරුනියකගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කල බවත් පොලුවලින් තමන්ට පහර දුන් බවත් කම්කරුවෙකු පැවසුවේ ය. කම්හල තුල දී පහර දීමෙන් නොනැවතුනු මැරයින් කම්කරුවන් නවාතැන් ගෙන සිටි නිවෙස්වලට ද ගොස් ඔවුන් ව සොයා ඇත. ප්‍රහාරයෙන් බියට පත් එක කම්කරු තරුනියකට හෘදයාබාධයක් වැලඳුන බව ඇගේ යෙහෙලියක් කීවාය.

ප්‍රහාරයෙන් පසු පැය භාගයක් පමන කම්හල ඉදිරිපිට වෑන් රිය නතර කරගෙන සිටි මැරයෝ පසුව නවගමුව පොලීසිය ඉදිරිපිට ද එය නවතාගෙන සිටි බව කම්කරුවන් දැක තිබේ. ප්‍රහාරය අවස්ථාවේ සහ ඉන් පසුවත් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට සහ නවගමුව පොලීසියට දුරකතනයෙන් පැමිනිලි කලත් නො පැමිනි බව කම්කරුවෝ කීහ. පොලිස් හදිසි ඇමතුම් අංශයට කතා කලාට වැඩක් නැතයි මැරයින් කියා ඇත. එදින රාත්‍රී අටට පමන “නවගමුව පොලීසියේ නිලධාරීන් කන්ඩායමක් ජීප් එකකින් රවුමක් දාගෙන ගිය” බව කම්කරුවෝ පැවසූහ.

ප්‍රහාරයෙන් පසු සමහර අය ගම්වලට ගොස් ඇත. සෙසු අය ප්‍රදේශයේ වෙනත් ඇඟලුම් කම්හල්වල වැඩ කරති. කම්කරුවන් පවසන ආකාරයට මැර ප්‍රහාරය සිදු වී ඇත්තේ පොලීසියේ අනුදැනුම ඇතිවය.

ඇඟලුම් කම්හල අයිති වජිර නැමත්තෙකුට බව කම්කරුවෝ කීහ. ඔහු විසින් දීප්ති ඒකනායක නැමැත්තියකට සැප්තැම්බර් මාසයේ සිට කම්හල බදු දී තිබී ඇත. ඇය කම්හල පවත්වාගෙන ගොස් ඇත්තේ එස්එස්ඩීගාමන්ට් නමිනි. කම්හල තුල සිදු කෙරී ඇත්තේ වෙනත් කම්හලක උප කොන්ත්‍රාත්තුවකට කොට කලිසම් මැසීම ය. ගැහුනු, පිරිමි කම්කරුවන් 51 පමන කම්හලේ සේවය කර ඇත. සියලුම කම්කරුවන් සැප්තැම්බර් මාසයේ සේවයට බැඳුනු අය ය.

සැප්තැම්බර් මාසයේ වැටුප ඔක්තෝබර් 10 වෙනිදාට ගෙවිය යුතු නමුත් 16 වෙනිදා වනතුරුත් ගෙවා නැත. එක් එක් කම්කරුවාගේ රැකියා තනතුරට අනුව අතිකාල සඳහා ගෙවීම් ඇතුලුව රුපියල් 15 දහසේ සිට 40 දහස දක්වා වැටුප් වසයෙන් ලැබිය යුතු ව ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමග 16 වෙනිදා පැමිනි දීප්ති ඒකනායක පසු දින රුපියල් 5,000 ක් ගෙවන බවට හා ඉතිරිය ඔක්තෝබර් 25 ගෙවන බවට පොරොන්දු වී ඇත. එහෙත් ඇය 16 වෙනිදායින් පසු කම්හලට පැමින නැත. කම්කරුවන් පොලිසියට පැමිනිලි කල පසු වැටුප් ගෙවන බවට පොරොන්දු වී 20 වෙනිදා ඇය නීතිඥයෙකු සමග නවගමුව පොලීසියට පැමින තිබේ.

කම්කරුවන්ගේ වැටුප් ගෙන ආ බව ඇඟවුම් කරන ලියුම් කවර තොගයක් ද නීතිඥයාගේ බෑගයේ තිබී ඇත. එහෙත් පොලීසියත් සමග වාදයක පැටලුනු නීතිඥයා පඩි සල්ලිත් අරගෙන පොලීසියෙන් පලා ගොස් තිබේ. එය කම්කරුවන් රැවටීම සඳහා සැලසුම් කල උප්පර වැට්ටියක් බව පෙනේ. කෙසේ වුව ද දීප්ති ඒකනායක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 28 දක්වා රිමාන්ඩ් කර තිබේ. උසාවියෙ දී ත් ඇය වැටුප් ගෙවීමට පොරොන්දු වූ නමුත් නොගෙවීම නිසා කම්කරුවන් දිගට ම කම්හලේ රැදී සිට ඇත. නඩුව යලි දෙසැම්බර් 28 වෙනිදාට කැඳවීමට නියමිත ය.

“නවාතැන් පොලවල් වලට ගෙවිය යුතු මුදල් හෝ කඩවලට නය ගෙවිය නොහැකි තත්වයක් නිසා අපි හරිම අමාරුවකට වැටිලා හිටියේ” යැයි කම්කරු තරුනියක් කීවේ ය. නය ගෙවීමට සහ වැටුප් ගෙවනු තුරු යැපීමට කම්කරු තරුනියන් මුදල් සොයාගෙන ඇත්තේ තම රන් ආභරන උකස් තැබීමෙනි. සමහර කම්කරුවන් තාවකාලිකව ආසන්නයේ පිහිටි ඇඟලුම් කම්හල්වල වැඩට යාම සහ තවත් අය ගෙවතුවල තන කොල කැපීම වැනි දෛනික කුලී වැඩ කර ඇත.

“සමහර දවස්වලට එක වේලක් කාලා අනෙක් දෙවේල ගත කලේ වතුර බීල” බව කම්කරුවෙක් පැවසුවේය. බොහෝ අයගේ තතු එසේ විය. මැර ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ එහි අයිතිකරු වජිර විසින් බව කම්කරුවන්ගේ අදහසයි. ප්‍රහාරයට සති දෙකකට පමන පෙර පැමිනි ඔහු කම්හල බැංකුවට උකස් කර ඇති බවත් වහාම කම්හලෙන් පිටවන ලෙසත් කම්කරුවන්ට තර්ජනය කර ඇත. එහෙත් සිය වැටුප් ලැබෙන තුරු කම්හලෙන් පිට නො වීමට තීන්දු කල කම්කරුවන් දිගටම කම්හල තුල රැදී සිට ඇත. ප්‍රහාරය සුදානම් කර ඇත්තේ ඉන් පසුවය.

මෙම කම්කරුවෝ ගාල්ල, මාතර, බදුල්ල, බලන්ගොඩ, අනුරාධපුරය , වව්නියාව වැනි දුර බැහැර ගම්බද පලාත් වලින් පැමිනි තරුන තරුනියෝ ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු වෙනත් කම්හල් වල වැඩ කල ඇත්තෝය. ඔවුන් ඒවී කම්හලේ රැකියාවට පැමින ඇත්තේ ප්‍රදේශයේ සෙසු කම්කහල්වලට වඩා වැඩි වැටුපක් එහි ගෙවන බවට දැන්වීම් පලකර තිබුන නිසාවෙනි. වැඩිදුර අධ්‍යාපනය සඳහා මුදල් නැතිකම හා දරිද්‍රතාවය නිසා අපොස සාමාන්‍ය පෙලහෝ උසස්පෙල සමත් වීමෙන් පසුව රැකියාවක් සොයා ගැනීමට ඔවුන්ට බල කෙරී ඇත.

තමන් උසස්පෙල දක්වා ඉගෙන ගත්තත් පවුලේ අගහිඟකම් නිසා රැකියාවට ආ බව වයස 21 වූ රත්නපුර දිස්ත්‍රික්කයේ තරුනියක් සඳහන් කලාය. “උසස්පෙල කරලා මම නර්සින් කෝස් එකක් කලා. සල්ලි නැති නිසා ඒක අතරමග නතර කරලා ගාමන්ට් රක්ෂාවට ආවා. පවුලේ අය ජීවත් වෙන්නේ අපට තියෙන තේ අක්කර භාගෙන් ලැබෙන ආදායමෙන්. මට බාල නංගිලා දෙන්නා තව ම ඉස්කෝලේ යනවා” ඇය පැවසීය.

ඇය විවාහකය. ඇගේ විසිදෙහැවිරිදි සැමියා ද ඇය සමග ඒවී කම්හලේ වැඩ කල අයෙකි. ඔහු ද සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගැනීමෙන් පසු පවුලේ අගහිඟකම් නිසා රැකියාවට පැමින ඇත. “තාත්ත වැඩ කලේ ලංගම. හෘදයාබාධයක් නිසා රක්සාවෙන් අස්වුනා.. අම්මට කතා කරන්න බැහැ. ඉගෙනීම නතර කරලා රක්සාවකට ආවේ ආර්ථික අමාරුකම් නිසා” බව ඔහු කීවේ ය.

පසුගිය වසර කිහිපය තුල කම්හල කිහිපවතාවක් ම බදු දී මේ ආකාරයට වසා දමා අලුතින් කම්කරුවන් බඳවාගෙන යලි විවෘත කල බව අසල්වැසියෙකු පැවසුවේය. “පොලිස් හදිසි ඇමතුම් අංකයක් (119) දීල තියෙන්නේ අපරාධයක් කරදරයක් වෙන කොට දැනුම් දෙන්න. මැරයෝ ගහන කොට ලමයි කිහිප වතාවක් දැනුම් දීලත් ඒ ගොල්ලෝ ආවේ නැත්තේ පොලීසිය දැනුවත් ව මැර ප්‍රහාරය සුදානම් කල නිසා බව අපට හිතන්න පුලුවන්” ඔහු කීවේ ය.

ඒවී කම්කරුවන්ට වැටුප් නොගෙවීම සහ මැර ප්‍රහාරය හුදෙක් අහම්බ හෝ හුදකලා සිද්ධියක් නොවේ; උප කොන්ත්‍රාත් ක්‍රමය ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුල ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුලු අපනයන කර්මාන්තකරුවන් ඉතා අඩු වැටුපකට ශ්‍රම සුරාකා භාන්ඩ අඩු මිලට නිපදවාගෙන ලෝක වෙලඳ පොලේ බෙලි කපා ගැනීමේ තරඟයක යෙදෙයි. තේ හා රබර් අපනයන වල බරපතල කඩා වැටීමක් වාර්තා වන අතර ඇඟලුම් අපනයන ද ක්‍රමයෙන් වැටෙන්නට පටන් ගෙන ඇත.

මහ බැංකු වාර්තාවට අනුව 2015 ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ සමස්ත වාර්ෂික අපනයන ඉපයීම් සියයට 2.6 න් හෙවත් ඩොලර් මිලියන 932 න් පහත වැටුනි. රෙදි සහ ඇඟලුම් අපනයන පසු ගිය වසර හා සැසඳීමේදී මේ වසරේ ජුලි මාසයේ සියට 0.3 න් හෙවත් ඩොලර් මිලියන 413.1 න් පහත වැටුනි.

කර්මාන්ත කරුවන් සහ ආයෝජකයන් එහි පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන්නේ කම්කරුවන්ගේ වැඩ වේගවත් කිරීම, වැටුප්, දීමනා කැපීම සහ සෙසු පහසුකම් කැපීම හා කම්හල් වසා දැමීම සහ රැකියා කප්පාදුව වැනි කම්කරුවන්ගේ අයිතීන්ට පහර දීම මගිනි. උප කොන්ත්‍රාත් දීම ද මෙම කප්පාදු පිලිවෙතේ ම කොටසකි.

නිෂ්පාදන පලදායිතාවය ඉහල දමා ගැනීම සඳහා වැඩ වේගවත් කිරීම සහ වැටුප් වැඩි නොකිරීම කාර්මික සහ කෘෂි කාර්මික අංශ දෙකේ ම කම්කරුවෝ අත්දකිති. පුද්ගලික අංශයේ කම්කරුවන් සඳහා ආන්ඩුව යෝජනා කල රුපියල් 2,500 වැඩි කිරීම කර්මාන්ත හිමියන් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එසේ කලොත් කර්මාන්ත වසා දැමීමට සිදුවන බවට ආන්ඩුවට අනතුරු අඟවමිනි. තේ සහ රබර් වතු සමාගම් ද අනුගමනය කරන්නේ එවැනි ම පිලිවෙතකි. තේ සහ රබර් අපනයනය පහත වැටෙන තතු තුල වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් ඒ වෙනුවට නිෂ්පාදන පලදායිතාවය මත පදනම් වූ වැටුප් කොන්ත්‍රාත් ක්‍රමයක් යෝජනා කර ඇත.

එමෙන් ම පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන් ම මෛත්‍රීපාල සිරිසේන- රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ද ලෝක ධනවාදයේ අර්බුදය තුලට ශ්‍රී ලංකාව වඩ වඩා ඇදගනු ලබන කොන්දේසි යටතේ ආයෝජකයන්ගේ සහ ධනපති හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියට එරෙහිව පොලිස් රාජ්‍ය මර්දන පියවරයන් ක්‍රියාවට දැමීමට පසුබට වී නැත. ඒවී කම්කරුවන්ට එල්ල කල මැර ප්‍රහාරයේ දී පොලිසියේ හැසිරීම හුදෙක් ඔවුන්ගේ නොතැකීම සම්බන්ධ කාරනාවක් නොවේ. කම්කරුවන්ගේ අයිතීන්ට කෙටීම සඳහා ධනපති හාම්පුතුන්, ආන්ඩුව සහ පොලීසිය ඒකාබද්ධ ව වැඩ කරති.

Share this article: