ශ‍්‍රී ලංකා ආන්ඩුව වාර්ගික බලවේග සැනසීමට “සර්ව පාක්ෂික සමුලුවක්” කැඳවයි

Sri Lankan government calls “all-party conference” to appease communal forces

වසන්ත රූපසිංහ විසිනි, 2015 නොවැම්බර් 4

ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසු ගිය මාසයෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සමුලුවක් කැඳවූයේ ය. ප‍්‍රකාශිත අරමුන වූයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ දී කරන ලද යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් දේශීය පරීක්ෂනයක් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (යූඑන්එච්ආර්සී) කර තිබෙන යෝජනාව පිලිබඳව “ආන්ඩුව ක‍්‍රියා කල යුතු ආකාරය” සාකච්ඡා කිරීම යි.

“සර්ව පාක්ෂික සමුලුව” වරක් පමනක් පැවැත්වෙන්නක් නො වී ය. අනාගතයේ දී ද මීට සමාන සාකච්ඡා පැවැත්වෙන බව සිරිසේන සහභාගිකයන්ට දැනුම් දුන්නේ ය.

ඔක්තෝබර් 22 දා රැස්වීමට පාලක සන්ධානය පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප), ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ජාතික හෙල උරුමය හා වතු වෘත්තීය සමිති කිහිපයක් සහභාගි විය. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ජාතික නිදහස් පෙරමුන, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප), ලංකා සමසමාජ පක්ෂය (ලසසප) හා මහජන එක්සත් පෙරමුන (මඑපෙ) සහභාගි වූ විරුද්ධ පක්ෂ අතර විය.

රැස්වීමේ සැබෑ අරමුන වූයේ යුද අපරාධ චෝදනාවලට මුහුන දීමට සිදු නො වන බව හමුදා නායකයන්ට සහතික කිරීම සහ සිරිසේනගේ ශ‍්‍රීලනිපය හා අගමැති වික‍්‍රමසිංහගේ එජාපය පදනම්ව සිටින සිංහල වාර්ගිකවාදී ඡන්ද දායකත්වය සැනසීම යි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු තම දේශපාලන විරුද්ධවාදීන්ට “රන විරුවන් හා රටේ ස්වෛරී භාවය පාවා දීම” ගැන ආන්ඩුවට චෝදනා කරමින් තම සිංහල ජාත්‍යෝත්තමවාදී පදනම වැඩි දියුනු කර ගැනීමට කිසිදු ඉඩක් නො තැබීම ද සිරිසේනගේ හා වික‍්‍රමසිංහගේ වුවමනාවකි. ආන්ඩුව හා විරුද්ධ පක්ෂ යන දෙගොල්ල ම හමුදාව හඳුන්වන්නේ “රන විරුවන්” ලෙස ය.

ඔක්තෝබර් 1 දා ජිනීවාහි දී යූඑන්එච්ආර්සීය එක්සත් ජනපදය හා ශ‍්‍රී ලංකාව ඒකාබද්ධව ඉදිරිපත් කල යෝජනාවක් සම්මත කලේ ය. එම යෝජනාව 26 වසරක් තිස්සේ පැවති යුද්ධයේ අවසන් මාසවල හෙවත් 2009 දී කරන ලද උල්ලංඝන සම්බන්ධයෙන් “ජාත්‍යන්තර උදව්ව” ඇතිව “දේශීය පරීක්ෂනයක්” පවත්වන ලෙස ඉල්ලා සිටියේ ය.

එක්සත් ජනපදය 2012, 2013 හා 2014 වසරවල ඉදිරිපත් කල යෝජනා ගැන සඳහන් කරමින් ඔක්තෝබර් 22 දා හමුවේ දී සිරිසේන කියා සිටියේ “වර්තමාන යෝජනාව තුල තිබෙන යෝජනා කලින් ඒවායේ දී යෝජනා කල ඒවා තරම් ආක‍්‍රමනශීලී නැහැ” යනුවෙනි. “ශ‍්‍රී ලංකාවට මේකට මූනදෙන්න සිද්ධ වුනා. වගකීමෙන් පැනලා යන්න බැරි වුනා” යි ඔහු පැවසී ය.

යූඑන්එච්ආර්සීයේ මෑත ම යෝජනාව “ආක‍්‍රමනශීලී” නොවන බව නිසැකව ම සැබෑවකි. ඉන් නියෝජනය වන්නේ වොෂින්ටනය යුද අපරාධ වසන් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග කුමන්ත‍්‍රනයකට හැරී ගැනීමකි. 2014 දී උල්ලංඝන සම්බන්ධයෙන් “ජාත්‍යන්තර පරීක්ෂනයක්” ඉල්ලා සිටින යෝජනාවක් ඉදිරිපත් කිරීම මගින් එක්සත් ජනපදය කලේ කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව මත තමන් යොදමින් සිටි පීඩනය උත්සන්න කිරීම යි.

රාජපක්ෂ මත වොෂින්ටනය යෙදූ පීඩනයට කොලඹ යුද අපරාධකරුවන් වග වීමට බැඳ තැබීම සමග කිසි ම සම්බන්ධයක් පැවතියේ නැත. එක්සත් ජනපදය කරමින් සිටියේ ඔබාමා පාලනාධිකාරය කලාපය පුරා ආක‍්‍රමනකාරීව මුහුනට මුහුන ලා සිටින චීනය සමග පවත්වන සමීප සම්බන්ධතා අවසන් කරන ලෙස රාජපක්ෂට බල කිරීම සඳහා “මානව හිමිකම්” පිලිබඳ ගැටලුව ගසා කෑම යි.

රාජපක්ෂ සිය යුද්ධය කර ගෙන යාමේ දී එක්සත් ජනපදයේ සහාය භුක්ති විඳි නමුත් ඔහු සිය ආන්ඩුවේ ආර්ථික ජීවනාලිය ලෙස ආයෝජන හා නය ගැනීමට බීජිං වෙත හැරුනේ ය. මේ ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේ දී රාජපක්ෂගේ ඇමතිවරයෙකු වූ සිරිසේන ජනාධිපති තනතුරෙහි පිහිටුවීම සඳහා වොෂින්ටනය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා වික‍්‍රමසිංහ සමග කුමන්ත‍්‍රනය කලේ ය.

චීනයට එරෙහිව රටේ විදේශ ප‍්‍රතිපත්තිය එක්සත් ජනපද “අක්ෂය” සමග පෙල ගැසෙන පරිදි මාරු කර ඇති සිරිසේන “ශ‍්‍රී ලංකා ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුල ජිනීවා යෝජනා සැපිරීම සඳහා සුදුසු යැයි කල්පනා කරන ඕනෑ ම පියවරක් ගැනීමට ආන්ඩුව පසුබට වෙන්නේ නැහැ” යි රැස් වූ පක්ෂ නායකයන්ට සහතික විය. මෙය වනාහි යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට ඒවායින් ගැලවී පලා යාමට ඉඩ සැලසීමේ ව්‍යායාමයක බාහිර මුහුනුවර පමනකි.

දෙමල ධනපති ප‍්‍රභූවේ අවශ්‍යතා නියෝජනය කරන ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් “නිර්දේශ මුලුමනින් ම ක‍්‍රියාත්මක කිරීම” ඉල්ලා සිටිමින් ප‍්‍රතිචාර දැක්වී ය. මෙය වංචාවකි. ටීඑන්ඒය එක්සත් ජනපදය සහාය දුන් අවසන් යෝජනාව සකස් කිරීමට උදව් කලේ ය. තවත් ටීඑන්ඒ නායකයෙකු වන එම්.ඒ. සුමන්දිරන් රහස් කාමර තුල කල කුමන්ත‍්‍රනවල දී කොලඹ, ලන්ඩනය හා වොෂින්ටනය අතර තැරැව්කරුවෙකු ලෙස ක‍්‍රියා කලේ ය.

මුල දී “ජාත්‍යන්තර පරීක්ෂනයක්” සඳහා කල කැඳවුමට සහාය දී එය ඉදිරිපත් කිරීම ගැන එක්සත් ජනපදයට ප‍්‍රශංසා කල ටීඑන්ඒය දැන් එක්සත් ජනපදයේ මාරුව සමග පෙල ගැසී ඇත. සිරිසේන හා වික‍්‍රමසිංහ හමුදාවට හා තම වාර්ගිකවාදී ඡන්ද දායකත්වයට රැකවරනය සහතික කරන අතර ටීඑන්ඒය එම ආන්ඩුව දෙමල ජනතාවගේ ගැටලු විසඳනු ඇතැයි දෙමල ජනතාවට කියා සිටී. මෙම දෙමල ධනේශ්වර පක්ෂය සැබවින් ම බලාපොරොත්තු වන්නේ එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ සහාය ඇතිව අල්ලස්කාර දෙමල ප‍්‍රභූවට වරප‍්‍රසාද අත් කර ගත හැකි වන පරිදි දිවයිනේ උතුරු නැගෙනහිර බලය බෙදාහදා ගැනීමේ සැලැස්මකි.

සර්ව පාක්ෂික රැස්වීමේ දී ජවිපෙ තම සිංහල ජාත්‍යෝත්තමවාදී අනුගාමිකයන් සැනසීම පිනිස යෝජනාව සම්බන්ධයෙන් සමහර මතභේද තිබෙන බව විදහා පෑමට වලි කෑවේ ය. “ආන්ඩුව ජාත්‍යන්තර ප‍්‍රජාව අපට පවසන හැම දෙය ම නො පිලිගත යුතු” බවත් “සමහර වගන්ති වලින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් යෝජනා පරිස්සමින් අධ්‍යයනය කල යුතු” බවත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ ය.

ජවිපෙ දෙමල විරෝධී යුද්ධයට මුලුමනින් ම සහාය දුන් අතර යුද අපරාධ සම්බන්ධයෙන් එක සමානව වගකිව යුතු ය. හමුදා ආක‍්‍රමනය අතරතුර දී එය යුද විරෝධය මර්දනය කරන ලෙස බල කරමින් රාජපක්ෂ ආන්ඩුවට සහාය දුන්නේ ය. අනතුරුව දේශපාලන සුලඟට ඉව අල්ලමින් ජවිපෙ සිරිසේන ජනාධිපති තනතුරෙහි පිහිටුවීම සඳහා වක‍්‍රව උද්ඝෝෂනය කලේ ය.

එජාපය හා ටීඑන්ඒය හැරුනු විට සමුලුවට සහභාගි වූ සියලු පක්ෂ රාජපක්ෂගේ පාලක සන්ධානයේ හවුල්කරුවන්ව සිටියහ. කොප, මඑපෙ හා ලසසප තව මත් රාජපක්ෂට සහාය දෙයි. ටීඑන්ඒය හැරුනු විට අන් සියලු පක්ෂ 26 වසරක යුද්ධයට සහාය දුන්නේ ය.

සිංහල ජාත්‍යෝත්තමවාදී පක්ෂ ඇතුලු විරුද්ධ පක්ෂ කුමන මතභේද ප‍්‍රකාශයට පත් කලත් සමුලූවේ ප‍්‍රධාන ලක්ෂනය වූයේ හමුදාවේ යුද අපරාධ වසන් කිරීම සඳහා උත්සාහ කිරීමේ දී ඔවුන් අතර පැවති ඒකමතිකත්වය යි. එමගින් ඔවුන් විදහා පෑවේ දෙමල, සිංහල හා මුස්ලිම් යන පාර්ශ්ව තුනේ ම කම්කරු පන්තියේ හා දුගීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කෙරෙහි ඔවුන් තුල පවත්නා සතුරුකම යි.

යුද්ධය අතරතුර කල මානව හිමිකම් උල්ලංඝනයන් නිවැරදි කිරීමට යැයි කියමින් යන්ත‍්‍රනයක් ඇටවීමේ සමස්ත ක‍්‍රියාවලිය ම දිග් ගැසුනු යුද්ධයේ ක‍්‍රෑර ප‍්‍රතිවිපාක සියල්ලෙන් ම පීඩාවට පත් ජනතාව රැවටීමේ ද ඒ අතර ශ‍්‍රී ලංකාව චීනයට එරෙහි එක්සත් ජනපද මූලෝපායාත්මක න්‍යාය පත‍්‍රයට ස්ථිර ලෙස ගැට ගැසීමේ ද ප‍්‍රයත්නයක් වේ.

ඔක්තෝබර් 26 දා පනාගොඩ හමුදා මූලස්ථානයෙහි පැවති හමුදාවේ වර්න ප‍්‍රදානෝත්සවය ඇමතූ සිරිසේන අනර්ථයක් සිදු නො වන බවට හමුදාවේ ඉහල නිලධරයට යලි සහතික වූයේ ය. “සන්නද්ධ හමුදාවල තත්ත්වය හා ප‍්‍රමිතීන් පිරිහෙන්න කිසි සේත් ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ ම ශ‍්‍රී ලාංකික සන්නද්ධ හමුදාවන් දුක් මහන්සියෙන් ගොඩ නගා ගත් අභිමානීය ප‍්‍රතිරූපයට හානි කරන්න මා කිසිදු බලවේගයකට ඉඩ දෙන්නේ නැහැ” යි ඔහු ප‍්‍රතිඥා දුන්නේ ය.

එක්සත් ජනපද නිලධාරීහු සිරිසේනට ප‍්‍රශංසා වැසි වැස්සීම අඛන්ඩව කර ගෙන යයි. ඔක්තෝබර් 28 දා මෙක්සිකෝ සිටිහි පැවති “විවෘත ආන්ඩුමය හවුල්කාරිත්වයේ ගෝලීය සමුලූව” ඇමතූ එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති සමන්තා පවර් “බොහෝ විට භේදකාරිත්වය හා භීතිය ඇවිලවීම හරහා” සහ “විවේචකයන්ට අඩන්තේට්ටම් කරමින්” පාලනය ගෙන යාම ගැන රාජපක්ෂ ආන්ඩුවට චෝදනා කලා ය. “මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට හා මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම නතර කිරීමේ සිට දස අත පැතිරුනු දූෂනය හෙලිදරව් කිරීම දක්වා වූ කැප වීම්වලට බැඳී සිටීමේ දී තමන් බැරෑරුම් බව පෙන්නුම් කිරීමට කඩිනමින් පියවර ගැනීම” ගැන ඇය සිරිසේන පාලනාධිකාරය නොමඳ ප‍්‍රශංසාවට ලක් කලා ය.

“මානව හිමිකම්” වූ කලි එක්සත් ජනපදයට සිය අධිරාජ්‍යවාදී අවශ්‍යතා හඹා යාම සඳහා පහසුවෙන් යොදා ගත හැකි ආවරනයක් පමනකි. වොෂින්ටනය රාජපක්ෂට එරෙහි වීමට වසර ගනනාවකට පෙර දී රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන විට නො තකා හැර සිටියේ ය. සිරිසේන එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියෙන් වෙනස් වන්නට පටන් ගත හොත් එය කලින් කල දෙය ම කරනු ඇත. ඔබාමා පාලනාධිකාරය උනන්දු වන එක ම “කැප වීම” වන්නේ සිරිසේන චීනයට එරෙහිව එක්සත් ජනපදයට හා එහි මිත‍්‍ර පාක්ෂිකයන්ට සහායදීම සඳහා කරන කැප වීම යි.

Share this article: