ශ්‍රී ලංකාව: වතු සමාගම් කම්කරු අයිතීන් මකා දැමීම පිනිස ප්‍රතිව්‍යුහකරන සැලසුමක් ඉදිරිපත් කරයි

Sri Lanka: plantation companies unveil restructuring plan to tear up workers’ rights

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2015 ඔක්තෝබර් 31

වතු සමාගම් නියෝජනය කරන වතු හාම්පුතුන්ගේ සංඟමය, කම්කරු සම්බන්ධතාවන්ගේ දැනට පවතින ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යාපෘතියක් යෝජනා කර තිබේ. එහි අරමුන, කම්කරු වැටුප් ගෙවීමේ වත්මන් ක්‍රමය අවලංඟු කර, දශක ගනනාවක් තිස්සේ ගෙන ගිය අරගල වලින් දිනාගෙන ඇති ඔවුන්ගේ මූලික අයිතීන් උපුටා දැමීමයි.

කලින් පැවති දෙවසරක සාමූහික ගිවිසුම මාර්තු මාසයෙන් අවසන් වීමෙන් පසුව වතු හාම්පුත්තු, කිසිදු වැටුප් වැඩිවීමක් ලබාදීම ප්‍රතික්ෂේප කලහ. රුපියල් දහසක (ඩොලර් 7) දෛනික වැටුපක් වෙනුවෙන් වෘත්තීය සමිති ගෙනගිය කේවලයට ඔවුන් දැඩි ලෙස විරුද්ධ වීම හමුවේ, නව ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා මාස හතක් තිස්සේ ඇදී ගියේය. කම්කරුවෙකුට දැනට ගෙවන රුපියල් 680ක දෛනික වැටුප ලබාගැනීම සඳහා මසකට අඩුම තරමින් දින 25ක් වැඩ කල යුතු අතර සෑම දිනකම ඉලක්ක ගත තේදලු කිලෝ ගනනක් නෙලිය යුතුය.

ඔක්තෝබර් මැද හරියේ හාම්පුතුන්ගේ සංඟමය නව “ආදායම පංඟුකිරීමේ” සැලැස්ම එලිදක්වමින්, ඒ සඳහා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවෙහි අනුමැතිය දිනාගැනීම පිනිස දැඩි මාධ්‍ය උද්ඝෝෂනයක් දියත්කර තිබුනි.

වතු හාම්පුතුන්ගේ සංඟමයේ සභාපති රොෂාන් රාජදුරේ පවසා ඇත්තේ, පවතින වැටුප් ක්‍රමය “දැරිය නොහැකි තරම් ශ්‍රම වියදම් ඉහල නංවා ඇති” බවය. ඔහු අවධාරනය කලේ, “සියලු පාර්ශවකරුවන් යල්පැනගිය අතීත චින්තනයෙන් බිඳී අද දවසේ යථාර්තය පිලිගත යුතු” බවය.

මෙම "අද දවසේ යථාර්තය” යන්නෙහි අර්ථය, ගෝලීය ආර්ථික පසුබෑමේ කොන්දේසි හමුවේ වැවිලි කර්මාන්තය මුහනපා සිටින අර්බුදයේ මුලු බර දෙලක්ෂයක් පමන වන වතු කම්කරුවන්ගේ හා මිලියන ගනනක් වන ඔවුන්ගෙන් යැපෙන අය මත පැටවිය යුතු බවයි.

දිගු කලක් තිස්සේ පැවත එන දෛනික වැටුප් ක්‍රමය හාම්පුතුන්ගේ ව්‍යාපෘතිය යටතේ අහෝසි කෙරෙනු ඇත. ඒ සමඟ කම්කරුවන් විශ්‍රාම ගන්නා විට ඔවුන්ට ගෙවිය යුතු, සේවා භාරකාර අරමුදල හා අර්ථසාධක අරමුදල් ක්‍රමය ද අහෝසි වනු ඇත. මෙය සිදුවන්නේ කම්කරුවන්, මාසික පැමිනීම මත පදනම් කෙරුනු දරුනු කොන්දේසි අහෝසි කරන මාසික වැටුප් ක්‍රමයක් සඳහා වන දැවෙන අවශ්‍යතාවය මතුකර තිබෙන තතු තුලය.

වතු හාම්පුතුන්ට අවශ්‍ය වන්නේ, සාමුහික කේවෙල් කිරීමේ ක්‍රමය වෙනුවට පෞද්ගලික පදනමේ වැඩ කොන්ත්‍රාත් ක්‍රමයකි. මාධ්‍ය වාර්තාවන්ට අනුව කම්කරුවෙකුට, 1200 සිට1500 දක්වා තේ පඳුරු ප්‍රමානයක් බාරදෙනු ඇත. සෑම මසක් අවසානයේදීම, පොහොර ඇතුලු අනෙකුත් යෙදවුම්වල වියදම් ද සමඟ සමාගම දරනු ලැබුවේ යයි කියන සියලු වියදම් කම්කරුවාගේ ආදායමෙන් කපාගනු ලැබේ.

ඊට අමතරව කම්කරුවන්ට භූමිය පිලිබඳ කිසිදු අයිතියක් නොලැබෙන්නේය. එම ව්‍යාපෘතිය අඳගොවි ක්‍රමයට සමානකම් දරයි. කම්කරුවන්ට සිය ඉපැයීම් වලින් විශාල කොටසක් ඉඩම් හිමි සමාගම් වලට ගෙවීමට බල කෙරේ. සංවිධිත ශ්‍රම බලකායක් ලෙස කම්කරුවන්ට, කිසිදු සාමුහික කෙවෙල් කිරීමේ බලයක් හිමි නොවනු ඇත.

“ආදායම් පංඟු කිරීමේ ආකෘතිය, ලෝකය පුරා වැවිලි කර්මාන්තයේ බහුලව යොදාගන්නා අතර ශ්‍රී ලංකාවේ පවා එය සාධනීය ප්‍රතිපල අත්කරදී තිබේ. රටේ හරිත තේ දලු වලින් සියයට 75කට පමන වග කියන, හාර ලක්ෂයක් පමන කුඩා තේ වතු හිමියන් කටයුතු කරන්නේ ඒ පදනම මතය.” වතු හාම්පුතුන්ගේ වාර්තාව සඳහන් කරයි. එම ආකෘතියේ “ශක්‍යතාවය” පෙන්නුම් කරමින් 1992-2012 දක්වා වගා කටයුතු දෙගුනවී ඇතැයි කියා සිටින වාර්තාව, කුඩා තේවතු හිමියන්ගේ “ජීවන කොන්දේසි ද යහපත්වී” ඇති බව ද සඳහන් කරයි.

මෙය මුලුමනින්ම සාවද්‍ය චිත්‍රයකි. වසර බොහෝ ගනනක් තිස්සේ කුඩා තේවතු හිමියන් පන රැකගෙන ඇත්තේ ආන්ඩුවේ සහනාධාර වලිනි. මැද පෙරදිග හා තවත් තැන්වල ප්‍රධානකොටම ඇමරිකාව හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මුදාහැර ඇති මිලිටරි ගැටුම් හා ආර්ථික පසුබෑමේ කොන්දේසි නිසා ලෝක වෙලඳපොල තුල තේ සඳහා ඉල්ලුම පහත වැටෙද්දී පසුගිය දශකය තුල මෙම සහන මත රඳා පැවැත්ම වැඩිවී ඇත.

ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුවූ තන්ත්‍ර මාරු මෙහෙයුමේ ප්‍රතිපල වශයෙන්, ජනවාරියේ පැවති ජනාධිපතිවරනයෙන් පසුව පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, කුඩා තේ වතු හිමියන්ගේ සහනධාර වැඩිකල අතර දලු කිලෝවකට රුපියල් අසූවක් ගෙවීම ද ආරම්භ කල නමුත් අගෝස්තු මහ මැතිවරනය අවසන් වනවාත් සමඟ, මෙම ගෙවීම් නවතා දැමුන අතර ඔවුන්ට දලු කිලෝවක් සඳහා ලැබුන මිල රුපියල් 50ත් අඩු මට්ටමකට කඩා වැටුනි.

තම සැලසුම් වලට සහයෝගය දෙන ලෙස වෘත්තීය සමිතිවලට බල කිරීම පිනිස, වතු වසා දමන බවට සමාගම් තර්ජනය කරති. රාජදුරේ මාධ්‍ය වෙත පැවසුවේ, “පසුගිය වසර පනහ තුල නරකම අර්බුදයකට වැවිලි කර්මාන්තය මුහුනපා සිටියි. අතීතයේදී නම් චක්‍රීය උච්ඡාවචනයන් සිදුවුනු අතර වර්තමානයේදී අප මාස 20ක් එක දිගට පල්ලම් බැසගිය නමුත් කිසිදු රිදී රේඛාවක් දක්නට ලැබෙන්නේ නැත. අර්බුදය කෙතරම් ගැඹුරු ද යත්, ඉදිරි මාසවලදී තේ හා රබර් මිල ගනන්වල වැඩිවීමක් සිදු නොවුනහොත් සමහර සමාගම් වතු ක්ෂේත්‍රයෙන් ඉවත්වීම ගැන පවා සලකා බලනු ඇත” යනුවෙනි.

වතු හාම්පුතුන්ගේ සංඟමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. ගුනතිලක අනතුරු ඇඟවූයේ, “බිම්ගේ ඈත කෙලවරෙහි එලියක් දක්නට නොලැබුනහොත් සමස්ත කර්මාන්තයම කඩා වැටෙනු ඇත... වත්මන් ආකෘතිය යටතේ අපට කිසිදු වැටුප් වැඩිවීමක් දිය නොහැකිය, අප දැනට ගෙවමින් ඇති වැටුප් පවා ගෙවීම ඇත්තටම අපට දරාගත නොහැකිය” යනුවෙනි.

වතු සමිති දැනටමත් එම සැලැස්ම වැලඳ ගැනීමේ දිසාවට තල්ලු වෙමින් සිටිති. ඒ, වතු වසාදැමීම වලක්වාගැනීමේ කඩතුරාව යටතේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් අමතනු ලැබූ අවස්ථාවේ, තවමත් ලොකුම වතු කම්කරු සමිතිය වන ලංකා වතු කම්කරු සමිතියේ (සීඩබ්ලිව්සී) සභාපති මුත්තු සිවලිංඟම් පැවසුවේ, “අපි තවමත් යෝජනාව අධ්‍යයනය කර නැත. ප්‍රතිපත්තිමය වශයෙන් අපි එයට එකඟ නොවන්නෙමු. අපි ආන්ඩුව හා සමාගම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තීරනයක් ගන්නෙමු. එහි පිලිගත හැකි කොන්දේසි තිබුනොත් අපි එකඟ වන්නෙමු. මම හිතන්නේ, වත්මන් තත්වය යටතේ වතු වසාදැමීමෙන් කම්කරුවන්ගේ රැකියා අහිමි වීමට වඩා එය හොඳ බවයි” යනුවෙනි.

එලෙසම කඳුරට ජනතා පෙරමුනේ ලේකම් ඒ. ලෝරන්ස් පැවසුවේ “සමහර වතුවල මේ ක්‍රමය අත්හදා බලා ඇත. එබැවින් අපි නව මොඩලය අධ්‍යයනය කල යුතුය. ඔවුන් (සමාගම්) විශ්‍රාම ගෙවීම් ක්‍රියාත්මක කරන්නේ නම් හා කම්කරුවන්ට එම යෝජනා පලදායී නම් අපි ඒ ගැන සලකා බලන්නෙමු” යනුවෙනි.

කඳුරට ජනතා පෙරමුන හා තවත් වතු සමිති ගනනාවක්, වත්මන් ආන්ඩුවේ හවුල් කරුවෝ වෙති. සීඩබ්ලිව්සීය ද ඇතුලු ඔවුන්ට, බලයේ සිටින කවර ආන්ඩුවක් සමඟ හෝ කම්කරුවන්ගේ ඉල්ලීම් විකුනා දැමීමට කුමන්ත්‍රනය කිරීමේ දිගු වාර්තාවක් ඇත.

කොටගල වත්තේ එස්. යෝගරාජන් යන කම්කරුවා කම්කරුවන් අතර වර්ධනය වන කෝපය ප්‍රකාශයට පත් කලේය. ඔහු ලෝසවෙඅ මෙසේ පැවසීය. “මම පලමුවන වතාවට මේ ගැන ඇසුවේ ඔබගෙනි. බදු ක්‍රමය යටතේ සෑම කම්කරුවාටම හෙක්ටෙයාර් එකක් ලබාදී වතු කැබලි කිරීමට යන සමාගම්වල මේ අලුත් සැලැස්ම, අපට හොඳ දෙයක් නොවේ. වෘත්තීය සමිති විසින් මේ ගැන අප දැනුවත් කර නැත. මම හිතන්නේ මෙය කම්කරුවන්ට අන්තරායකාරී සැලැස්මක් බවයි. මෙයින් අපගේ ආදායම ගැන කිසිදු සහතික වීමක් නැත.”

කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සමාජ තත්වයන් ආරක්ෂා කිරීමට වෘත්තීය සමිති කිසිදු සටනක් නොකරනු ඇත. කම්කරුවන්ට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන එන නව සැලැස්ම ගැන ඔවුන්ගේ “සලකාබැලීම්,” එය ක්‍රියාවට නැඟීමෙහිලා ඔවුන්ගේ සූදානම පිලිබඳ නොවරදින සලකුනකි.

කම්කරුවන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරන අරගලයක් දියත් කිරීම සඳහා කම්කරුවන්, සෑම වත්තකම වෘත්තීය සමිති වලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනඟමින් මූලිකත්වය ගත යුතුය. මේ සටන සඳහා කම්කරු පන්තියට, තව තවත් ගැඹුරට ගිලෙමින් ඇති ලාභ පද්ධතිය අහෝසි කිරීමේ විකල්ප සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය කෙරේ.

Share this article: