අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව සරසවි සිසුහු පා ගමනක යෙදෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 නොවැම්බර් 26

“මාලබේ පිහිටි සයිටම් (SAITM) පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු”, “රජයේ සරසවි සඳහා බඳවා ගැනීම් ඉහල දමනු”, “පාසල් තුල සිදු කරන සියලු මුදල් අය කිරීම් නවතනු” යයි ඉල්ලමින් පේරාදෙනිය සිට කොලඹ දක්වා වූ දින පහක උද්ඝෝෂන පාගමනක සරසවි සිසුහු නිරත ව සිටිති. මෙම පාගමන, අධ්‍යාපනයේ පෞද්ගලීකරනය, පාඨමාලා කප්පාදුව, ඌන පහසුකම් හා පාඨමාලා ගාස්තු ඉහල දැමීම ආදී වශයෙන් මහජන අධ්‍යාපනයට එරෙහිව පසුගිය රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය ප‍්‍රහාරය, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මගින් වඩාත් ගැඹුරු කොට ඉදිරියට ගෙන යාමට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා අඛන්ඩ ශිෂ්‍ය විරෝධතාවයන්ගේ කොටසකි.

එහි පලමු දිනය වූ 23 දා පේරාදෙනිය සරසවියෙන් ඇරැඹුන පා ගමනට සහභාගි වූ දහසක් පමන සිසු සිසුවියෝ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව සටන් පාඨ කියමින් මාවනැල්ල දක්වා ගමන් කලහ. මග දෙපස රැස්ව සිටි රජයේ සේවකයින්, සුලු ව්‍යාපාරිකයන් ඇතුලු මහජනයාගෙන් බහුතරය මුදලින් ආධාර කරමින් විරෝධතාවයට දැක්වූ සහයෝගය තුලින් අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව මහජනයා අතර වැඩෙන විරෝධය පෙන්නුම් කෙරින.

ආන්ඩුව මෙවර අය-වැය තුලින්, සරසවි පාඨමාලා මිල දී ගැනීමට හැකිවන පරිදි වවුචර් ක‍්‍රමයක් මගින් ශිෂ්‍ය නය ලබා දීමේ ක‍්‍රමයක් හඳුන්වා දීම, සංගත, සුලු හා මධ්‍යම පරිමාන ව්‍යවසායන්ට ශ‍්‍රමිකයන් සම්පාදනය කෙරෙන ආයතන බවට සරසවි පරිවර්තනය කිරීම එල්ල කර ගත් ප‍්‍රතිසංස්කරන හඳුන්වාදීම ආදී පියවර ගෙන තිබේ. මේ වනාහි, මාලබේ සයිටම් ඇතුලු උපාධි සඳහා මිලියන ගනන් අය කරන ආයතන දිරි ගන්වමින් අධ්‍යාපනය තවදුරටත් දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමේ ඉදිරි පියවරයන් ය.

2008 දී පුපුරා ගිය ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය අවපාතයක් දෙසට ගමන් කරන කොන්දේසි යටතේ තරුන විරැකියාව වේගයෙන් ඉහල යන තතු තුල දරුනු ශ‍්‍රම සූරාකෑමකට ලක්වන අර්ධකාලීන රැකියා තුල වැඩි වශයෙන් තරුන කොටස් ගොදුරු වී සිටිති. මෙම තත්වය හමුවේ ආන්ඩුව යෝජනා කරන ශිෂ්‍ය නය ක‍්‍රමය ලොව පුරා කි‍්‍රයාවට නැගී ඇත්තේ රාජ්‍ය අධ්‍යාපන වියදම් කප්පාදුවට හා ශිෂ්‍ය නයගැතිභාවය ඉහල දැමීමටත් ය.

එච්එන්ඩීඒ සිසුන්ට පසුගිය මස අග එල්ල කල ලේ වැකි පොලිස් ප‍්‍රහාරය මගින් දැනටමත් ආන්ඩුව පෙන්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත කි‍්‍රයාත්මක මෙම කප්පාදු වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑමේ දී පැන නැගින කවර හෝ නැගිටීමක් තලා දැමීමේ තම සූදානමයි. අනෙක් අතට, මෙම පා ගමන හරහා සිසුන් විසින් නැවතත් පෙන්නුම් කර ඇත්තේ, ආන්ඩුවේ මර්දනය නොතකමින් තම අධ්‍යාපන අයිතීන් තහවුරු කර ගැනීම සඳහා සටන් කිරීමේ සූදානම සහ ඒ සඳහා ඔවුන් සතු අධිෂ්ඨානයයි.

කෙසේ නමුත් මෙම විරෝධතාව තුල ද කැපී පෙනෙන ලක්ෂනය වූයේ, එය සංවිධානය කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) සහ එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන දෙකම, සිසුන් ආන්ඩුවේ මෙම කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත සංවිධානය වීම වලක්වමින් හුදු ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂන සටන් තුල ඔවුන් සිරකර තැබීම සඳහා දරන උත්සාහයයි.

පා ගමනේදී අවිශිබමය බෙදා හල අත් පති‍්‍රකාවක මෙසේ සඳහන් වේ: “කටුනායක වෙලඳ සේවකයෝ එදා විශ‍්‍රාම වැටුප් කොල්ලය නැවැත්තුවා. ශිෂ්‍යයෝ සම සෞඛ්‍යය සටන දින්නා, පසුගියදා එච්එන්ඩීඒ සිසුන් සිය ඉල්ලීම් දිනා ගත්තා. මේකෙන් පේන්නේ සටන් කලොත් ජයග‍්‍රහන තියෙනවා. ජයග‍්‍රහනයේ එකම මාවත සටන් වැදීම විතරයි. ඔබ ඔබේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න හිතනවනම් ඒකට කෝටි ගනන්වලට අධ්‍යාපනය විකිනෙන උපාධි කඩ හරියන්නේ නෑ. නොමිලේ සියලු දෙනාට උපාධි ගන්න පුලුවන් මට්ටමට රාජ්‍ය විශ්ව විද්‍යාල පුලුල් කරගන්න සටන් වැදිය යුතුයි. ඒ හැර වෙන විකල්පයක් නෑ”.

අධ්‍යාපනය ඇතුලු මහජන සුබ සාධනයන්ට එරෙහි ධනපති ප‍්‍රහාරයන්ගේ මූලයන් හා තරුන සිසුන් ඉදිරියේ ඇති දේශපාලන අන්තරායන් වසන් කරන අවිශිබමය නිරන්තරව මතුරන “සටන් වැදීම හා අරගලය” යනු අන් කිසිවක් නොව ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා එකකට පසු තව එකක් වශයෙන් විරෝධතාවල යෙදීමයි. එසේම, අවිශිබමය පාරම්බාන ජයග‍්‍රහන පසුගිය වසරකට වැඩි කාලයක් පුරා පැවති මැතිවරන ද ඉලක්ක කොට ගනිමින් ධනපති ආන්ඩු විසින් ලබා දෙන ලද සීමිත සහන නැතහොත් උපාමාරු දැමීම් කිහිපයකි.

අවිශිබමය පමනක් නොව කම්කරු පන්තියේ වැටුප්, රැකියා හා ජීවන කොන්දේසි ධනවාදය තුල තහවුරු කර ගත හැකිය යන මිථ්‍යාව වගාදිගා කරන වෘත්තීය සමිතිවල මෙවැනි ප්‍රෝඩාකාරී විරෝධතා සහ ධනපති ආන්ඩුවල සීමිත සහන තිබියදීම සමස්ත ප‍්‍රහාරය කිසිදු සැර බාල කිරීමකින් තොරව මහජනයා මත පාත් කර ඇති ආකාරය පසුගිය දශක කිහිපයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවල ඛාදනය මගින් සනාථ කරයි.

පෙසප, නව සම සමාජ (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම පක්ෂ වලින් සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි ධනපති පක්ෂවලින් කෙරෙන මෙබඳු විරෝධතාවල නිෂ්චිත එල්ලය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකට මංඅහුරමින් මහජන වෛරය ධනපති පන්තියේ ඒ හෝ මේ පක්ෂවලට, කන්ඩායම්වලට ගැට ගැසීමයි.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සමග ඍජුව සම්බන්ධව සිටින නසසප සහ එසප වැනි පක්ෂ ඍජු ලෙසත් ඔවුන් සමග හවුල්ව අවිශිබමය සහ පෙසප වක‍්‍රවත්, රාජපක්ෂට එරෙහිව වැඩුන මහජන වෛරය සිරිසේන-වික‍්‍රමසිංහ කඳවුර වටා රැලි කිරීමට වැඩ කල ආකාරය පසුගිය ජනාධිපතිවරනය කාලපරිච්ඡේදයේ දී දැක ගත හැකි විය.

දැන් “සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවත් රාජපක්ෂ ආන්ඩුව සේ මැයි” කියමින් මැසිවිලි නගන පෙසප හා අවිශිබමය සිරිසේන බලයට පත් වී ගෙනා “දින සියයේ වැඩපිලිවෙල” වටා රැලි වී ගත්තේ එම ආන්ඩුව මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර ගත හැකිය යන මිථ්‍යාව වගා දිගා කරමිනි. “ඔබ තුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු”යි සිරිසේනට ලියූ අවිශිබම වික‍්‍රමසිංහ අගමැතිවීමෙන් පසු නව ආන්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය දැන ගැනීම සඳහා සාකච්ඡාවක් ද ඉල්ලා සිටියේ ය.

පා ගමනේ යෙදී සිටි සිසුන් අතරින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) හි සාමාජිකයන් සමග කතා කල බොහෝ දෙනෙකුගේ අදහස් තුල ධනපති ක‍්‍රමය හා ආන්ඩුව පිලිබඳ අවිශිබමය වගා දිගා කල මිථ්‍යාවන් හා ව්‍යාකූලත්වයන් පිලිබිඹු විය.

“ආන්ඩුව ආපු ගැම්ම දැන් බැහැගෙන යනවා. ජනවාරියේ දී අපි ඔක්කොම සටන් කලේ කොහොම හරි රාජපක්ෂ පරාජය කරන්න. ඇත්තටම ශිෂ්‍ය ව්‍යාපාරයේ අපිත් ඒකට සම්බන්ධ වුනා. ආන්ඩුව බලයට පත්වෙලා ටික කාලයයි නේ. තව ටිකක් බලමු. අපි හිතනවා අපේ ඉල්ලීම්වලට ආන්ඩුව කන් දෙයි කියලා” යනුවෙන් ඉන්ජිනේරු පීඨයේ සිසුවෙක් ප‍්‍රකාශ කලේ ය.

“රාජපක්ෂ පරාජය කල ද මහජන අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාර වත්මන් ආන්ඩුව යටතේ වඩාත් ගැඹුරු කෙරෙන බව 2016 අයවැයෙන් සනාථ වන තතු තුල ආන්ඩුව පිලිබඳ එවන් විශ්වාසයක් තබන්නේ මන්දැ” යි ලෝසවෙඅ වාර්තාකරුවන් විමසූ විට ඔහු පැවසුවේ එච්එන්ඩීඊ සටනේදී ආන්ඩුව ඔවුනට කන්දුන් බැවින් එවන් විශ්වාසයක් තමන්ට ඇති බවයි.

වඩාත් සුවිසල් සහ සංවිධිත ප‍්‍රහාරයක් සඳහා ප‍්‍රහාරකයා අඩියක් පිටුපසට ගැනීම තමන්ට කන්දීමක් ලෙස හෝ ජයග‍්‍රහනයක් ලෙස හුවා දැක්වීම තුලින්, ප‍්‍රහාරයේ වෛෂයික මූලය වන අර්බුදග‍්‍රස්ත ලෝක ධනපති ක‍්‍රමයට එරෙහි අරගලයක් දෙසට, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන සටනක් දෙසට සිසුන් හැරී ගැනීම වැලකෙන අයුරුත්, අවසානයේදී ප‍්‍රහාරයට මුලුමනින්ම යටත් කෙරෙන අයුරුත්, ඉතිහාසයේ පාඩම් ඇසුරෙන් අප වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ.

පෙසපට සම්බන්ධ අවිශිබම කි‍්‍රයාකාරිකයෙකු ප‍්‍රකාශ කලේ අවිශිබමය දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත්, ඒ නිසා දේශපාලන වැඩපිලිවෙලකට සටන් නොකොට ආන්ඩුවේ වැරදි පෙන්වා දෙමින් “ශිෂ්‍ය දේශපාලනයක” යෙදී සිටින බවත් ය. අවිශිබම දේශපාලන පක්ෂයකට අයත් නොවන බව ප‍්‍රකට බොරුවක් බවත්, සිසුන් ඊනියා “ශිෂ්‍ය දේශපාලනයේ” නාමයෙන් ජාත්‍යන්තර සමාජවාදයට එරෙහිව විරෝධතා දේශපාලනය තුල සිරකොට තැබීම පෙසපයේ දේශපාලනය බවත් අප වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

පෙසප සහ අවිශිබම අතර සම්බන්ධය පිලිගත් අවිශිබම කි‍්‍රයාකාරිකයෙක් පැවසුවේ අනෙකුත් ‘වාම පක්ෂ’ සමග හා වෘත්තීය සමිති සමග පෙසප හා අවිශිබම සමීපව වැඩ කිරීම, අවිශිබමයේ හා පෙසපයේ වැඩකටයුතු සමාජවාදය දිසාවට ගමන් කරන බවට වන සාධකයක් බවයි.

කෙසේ නමුත්, නසසප, එසප, ජවිපෙ, පෙසප හා වෘත්තීය සමිති නායකත්වය කම්කරු පන්තියේ අයිතීන් නියෝජනය නොකරන බවත් පසුගිය කාලපරිච්ඡේදයක් පුරා මෙම ව්‍යාපාරයන් කම්කරු පන්තික අරගල පාවාදෙමින් හා ධනපති ආන්ඩු බලයට ගෙන එමින් වැඩකල ආකාරය පිලිබඳ කල පැහැදිලි කිරීම් හමුවේ කියා සිටියේ ඔවුන් මේ ව්‍යාපාර පිලිබඳව බැරෑරුම්ව අධ්‍යයනය කර නොමැති බව සහ සමාජවාදී සමානතා පක්ෂයේ හා සසජාතශි වැඩපිලිවෙල අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

Share this article: