සිනමා නලු මැට් ඩේමන් තම විවේචන ප‍්‍රතික්ෂේප කරයි, ඔබාමා වැලඳ ගනියි

Actor Matt Damon repudiates criticisms, embraces Obama

ඩේවිඩ් වොල්ෂ් විසිනි, 2015 ඔක්තෝබර් 8

2011 වසරේ පටන් ජනාධිපති බරක් ඔබාමා ගැන විවේචනාත්මක අදහස් මාලාවක් පල කල සුප‍්‍රකට සිනමා නලු මැට් ඩේමන් සිය අදහස් වෙනස් කර ගෙන ඇත.

උදාහරනයක් ලෙස 2011 මුල දී - 2008 දී ඔබාමාට ප‍්‍රබල සහායක් පල කල - ඩේමන් රූපවාහිනී පිලිසඳර වැඩ සටහනක් ඉදිරිපත් කරන පියර්ස් මෝර්ගන්ට පැවසුවේ තමන් ජනාධිපතිවරයා කෙරෙහි තැබූ බලාපොරොත්තු බිඳ වැටී තිබෙන බව යි. ඔහු මෙසේ අදහස් දැක්වූයේ ය: “දවසක් මගේ යාලුවෙක් කිව්වා, ඒක ඉතා වැදගත් වදන් පෙලක් බව මට හිතුනා ‘(ඔබාමාගේ) ධෛර්යවන්තභාවය ගැන මා තව දුරටත් බලාපොරොත්තු තියා ගන්නේ නැහැ’ කියා.” ජනාධිපතිවරයා “තමන්ට ලැබුනු වරම වැරදියට අර්ථ නිරූපනය කර” ඇතැයි ද “බොහෝ කාරනාවන් සමග අවදානම් කී‍්‍රඩාවක යෙදී” ඇතැයි ද ඔහු මෝර්ගන්ට කීවේ ය. විශේෂයෙන් ම ඔහු ගුරුවරුන්ගේ වැටුප් සිසුන්ගේ විභාග ලකුනුවලට බැඳ දැමූ ඔබාමාගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය විවේචනයට ලක් කලේ ය.

එම වසරේ ම පසු කලක ඔහු (එල්) Elle සඟරාවට මෙසේ පැවසුවේ ය: “ඔබාමා වෙනුවෙන් පොදු මිනිසුන් අතර වැඩ කල බොහෝ දෙනෙකු සමග මා කතාබහ කර තිබෙනවා. ඔවුන්ගෙන් කෙනෙකු මට කිව්වා ‘ආපහු නම් කිසි දවසක මෙහෙම වෙන්නේ නැහැ. මා ආපහු නම් කිසි දවසක දේශපාලනඥයෙකුට රැවටෙන්නේ නැහැ’ කියා.” ඩේමන් සඟරාවට මෙසේ කීවේ ය: “හැකියාවන් සහිත තනි ධුර කාලයක් සහිත ජනාධිපතිවරයෙකු දිගු කාලයේ දී රටට වඩා හොඳ වේවි.”

2013 අගෝස්තුවේ දී ඩේමන් බීඊටී (Black Entertainment Television) නාලිකාව හමුවේ මෙසේ කියා සිටියේ ය: ඔබාමා “මා සමග අමනාප වුනා.” ඔහු මෙසේ ද කීවේ ය: “ඇත්තට ම මා ප‍්‍රශ්න කරන බොහෝ දේවල් තිබෙනවා: ඩ්‍රෝන් ප‍්‍රහාරවල නීත්‍යනුකූල භාවය ගැන හා [එඩ්වඩ් ස්නෝඩන්] එන්එස්ඒ (ජාතික ආරක්ෂක ඒජන්සිය) සම්බන්ධයෙන් කර තිබෙන මේ එලිදරව් කිරීම් ගැන. ජිමී කාටර් ප‍්‍රසිද්ධියේ කිව්වා ‘අප ජීවත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුල නෙවි’ කියා. හිටපු ජනාධිපතිවරයෙකු එහෙම කියන එක ටිකක් බරපතල දෙයක්. ඒ නිසා ඔහු යම් පැහැදිලි කිරීමක් කල යුතු යි. විශේෂයෙන් ම ආන්ඩුක‍්‍රම නීතිය පිලිබඳ මහාචාර්යවරයෙකු හැටියට ඔහු එවැන්නක් කල යුතු යි.” ඔබාමා ගැන කතා කරමින් ඬේමන් මෙසේ පැවසී ය: “ඉන්පසු අප දෙදෙනා මුන ගැසී නැහැ.”

එම මාසයේ දී ම අයථා ක‍්‍රියා අනාවරනය කරන්නෙකු වන එඩ්වඩ් ස්නෝඩන්ට සහාය පල කරමින් ප‍්‍රසිද්ධියේ කතා කල ඩේමන් “විකල්ප සිනමාව” (Alternative Cinema) නමැති බීබීසී අරාබි රූපවාහිනී වැඩ සටහන ඉදිරිපත් කරන්නාට මෙසේ කියා සිටියේ ය: “හැම දේ ම සලකා බැලුවා ම මට හිතෙනවා ඔහු [ස්නෝඩන්] කලේ ශ්‍රේෂ්ඨ වැඩක් කියා.”

මේවා කල හැකි තියුනුතම අදහස් දැක්වීම් නොවිය හැකි නමුත් බොහෝ විට හොලිවුඩ් මහජන මතය ඔබාමා ගැන නිහීන ලෙස අවිවේචනාත්මක වන වාතාවරනය තුල ඒවා ප‍්‍රබෝධ ජනක නැවුම් වෙනසක් රැගෙන ආවේ ය.

ඩේමන් කල විවේචන දහනශීලී නො විය හැකි නමුත් පැහැදිලිව ම ඩේමන්ට දරා ගත නොහැකි තරමේ ඒවා විය.

Hollywood Reporter (හොලිවුඩ් රිපෝටර්) සඟරාව මෑතක (සැප්තැම්බර් 30 දා) පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක් ඩේමන්ට එම කලින් කල අදහස් දැක්වීම් යලි සිහිපත් කර දුන්නේ ය:

“ලිබරල් න්‍යාය පත‍්‍රයක් අත හැර හැරුනු අතේ යාම ගැන ඩේමන් වරක් ජනාධිපති ඔබාමා වාචිකව විවේචනය කලා. ඒත් ඔහු දැන් කියනවා ඔබාමා පසු ගිය කොන්ග‍්‍රස් මැතිවරනයෙන් මෙපිට දී ගත් පියවරයන් තමන් තුල නැවතත් විශ්වාසය ඇති කල බව. පසු ගිය වසර අග ඔහු (සිය නලු සගයන් වන ජෝර්ජ් ක්ලූනි හා බිල් මරේ සමග) ද මොනියුමන්ට්ස් මෙන් (The Monuments Men) චිත‍්‍රපටය තිරගත කරන්න ධවල මන්දිරයට ගිහින් වාඩි වුනේ ජනාධිපති ආර්යාව ලඟ ම. පසුව ඩේමන් තමන් කලින් පැවසූ දේවල් ගැන ඔබාමා සමග කතා කලා.

“‘අප ඒ ගැන කතා කලා. බලන්න, මා ඔහුව ප‍්‍රතික්ෂේප කරමින් සිටියදී පවා තමන් කරන හැම දෙයක් ගැන ම ඔහු ඉතා ගැඹුරින් සිතා බලන කෙනෙක්’ බව ඔහු පවසනවා. ‘ඒ පැවතුම් ගලා එන්නේ ඔහුගේ හදවතින් ම දැයි මා කිසි විටක ප‍්‍රශ්න කරන්නේ නැහැ. ඔහු විශිෂ්ට මිනිසෙකු වගේම හිතා ගන්න බැරි තරම් පහසුවෙන් ඇසුරු කල හැකි කෙනෙක්. ඔහුට හරි ම ලේසියෙන් ලං විය හැකි යි. ඒ වගේ ම තමන්ට පුලුවන්කම තිබුනත් ඔහු තමන්ගේ තනතුර යොදා ගෙන කෙනෙකුට පහර දෙන්නේ නැහැ.’”

හොලිවුඩ් රිපෝටර් වාර්තාව මෙසේ ද සඳහන් කරයි: “තමන් ඩිමොක‍්‍රැටික් පිලේ හිලරි ක්ලින්ටන්ට සහාය දෙන බව ඔහු [ඩේමන්] පවසයි: ‘මා එලිසබත් වොරන්ට ඇලුම් කරන නමුත් ඇය ජනාධිපති තනතුර සඳහා තරග වදින්නේ නැහැ.’ ජෝසෆ් බිඩන්ට හා බර්නි සෑන්ඩර්ස්ට ද කැමැත්තක් දක්වන ඔහු ක්ලින්ටන්ට සහාය දැක්වීමට පෙර අවස්ථාවක ඒ දෙදෙනා අතරින් කෙනෙකු තෝරා ගන්නැයි බල කෙරුනු විට දෙගිඩියා සහගත වෙයි. මේ වටයේ දී තමාගෙන් මුදල් ආධාර ලැබූ එක ම අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව ඇය බව පවසන ඔහු ‘මා සහාය දෙන්නේ හිලරිට’ යැයි ස්ථිරව කියා සිටියි.”

ඔහුගේ මනස තුල “පසු ගිය කොන්ග‍්‍රස් මැතිවරනයෙන් මෙපිට ඇති වූ වෙනස්කම්” ගැන ඬේමන් සඳහන් නොකලේ ය. ඩ්‍රෝන් ප‍්‍රහාර, ස්නෝඩන්ට අඩන්තේට්ටම් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට අඛන්ඩව ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ගත් කල ඔබාමා පාලනාධිකාරය එක දිගට ම අනුගමනය කරන්නේ බරපතල ලෙස දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති ය. නව ලෝක යුද්ධයක තර්ජනය මතු කරමින් යේමනය තුල දැන් සිදු වෙමින් පවතින ජන ඝාතනය ද මෑතක දී කුන්දූස් නගරයට එල්ල කරන ලද මාරක ප‍්‍රහාරය ද සිරියාව තුල ආතතීන් තියුනු කිරීම ද වූ කලි ධවල මන්දිර ප‍්‍රතිපත්තියේ මෑත ම විපාක පමනකි. ජනතාවට ම බර පටවමින් සෞඛ්‍ය රැකවරනය “සලාක කිරීම” හා ධවල මන්දිරය විසින් ම එය මෙහෙයවනු ලැබීම ලහි ලහියේ කෙරී ගෙන යයි. ඇමරිකාව තුල දැනට මත් විනාශකාරී මට්ටම් කරා සේන්දු වී ඇති සමාජ අසමානතාව හා දරිද්‍රතාව තව දුරටත් ගැඹුරු වෙමින් තිබෙනවා පමනකි.

සැබවින් ම නම් ඔබාමා පාලනාධිකාරය සිය ප‍්‍රතිගාමී ගමන් මග අංශු මාත‍්‍රයකින් හෝ වෙනස් කර නැත. සිදුව ඇත්තේ ඩේමන් තමන් කල විවේචන ගැන යලි සිතා බැලීම පමනකි. ඇයි?

මුදල් සහ සමාජ තත්ත්වය කාර්ය භාරයක් ඉටු කරන බව නිසැක ය. උදාහරනයක් ලෙස මෑතක දී The Martian (ද මාෂන්) චිත‍්‍රපටයට සහභාගි වීම වෙනුවෙන් ඬේමන් ඩොලර් මිලියන 25ක් ලද බව කියැවේ. 2013 දී හා 2014 දී ප‍්‍රදර්ශනය සඳහා මුදා හල Elysium (එලිසියම්), Interstellar (ඉන්ටස්ටෙලාර්) හා The Martian (ද මාෂන්) යන චිත‍්‍රපට තුන වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන 53ක් ගෙවනු ලැබින. එම චිත‍්‍රපට නිපදවූ සමාගම් ඒවායින් දැවැන්ත මුදලක් උපයා ගත් බව ඇත්තක් නමුත් වර්තමාන ආර්ථික සැකැස්ම සම්බන්ධයෙන් මත් ඬේමන් වගකිව යුතු නො වේ. එහෙත් මේ දැවැන්ත මුදල් කන්දරාව පුලුල් ජනතා ස්තරවල අවශ්‍යතාවන්ගෙන් හා හැඟීම්වලින් වෙන්ව තනි පංගලමේ ජීවත් වීමට හොලිවුඞ් ප‍්‍රභූවට උදව් වන අතර නො වැලැක්විය හැකි ලෙස ම ඔවුන් දේශපාලන සංස්ථාපිතය වෙත වඩා සමීප කරයි.

ජාතික පරිමාන ආහාර බැංකු ජාලය වන ෆීඩිං ඇමරිකා (Feeding America) වෙනුවෙන් රාජ්‍ය සේවා ප‍්‍රචාරක දැන්වීම්වල ඬේමන් පෙනී සිට ඇති අතර බෙන් ඇෆ්ලෙක්, ෆිෆ්ටි සෙන්ට්, ෂෙරිල් ක්‍රෝ, කර්ට්නි කොක්ස් හා වෙනත් තරු සමග එහි විනෝදායන සභාවෙහි (Entertainment Council) අසුන් ගනියි. මෙවැනි ක‍්‍රියාකාරකම්වලින් සමාජීය හෘදය සාක්ෂියක් පෙන්නුම් කෙරෙන නමුත් ධනවාදී ලාභ ක‍්‍රමය තුල දී ඒවා කෝටි සංඛ්‍යාත ජනයා පීඩාවට පත් කරන සමාජීය දුකඳුර යන්තමින් හෝ පලවා නො හරියි. ඒවා දරිද්‍රතාවේ හා සාගින්නේ මූල හේතු වෙත ලඟා වන්නේ ඊටත් අඩුවෙනි.

තම යුගයේ දී දරන ලද මීට සමාන පරිශ‍්‍රමයන් ගැන ඔස්කා වයිල්ඩ් වරක් මෙසේ සඳහන් කලේ ය: “උදාහරනයක් ලෙස ඔවුහු දුප්පතුන් සජීවීව තැබීමෙන් දරිද්‍රතාව පිලිබඳ ගැටලුව විසඳීමට උත්සාහ කරති. ඉතා උසස් පාසැලක් ගත් කල දුප්පතුන් කැඳවා විනෝදයට පත් කිරීමෙන් එය කිරීමට උත්සාහ කරති. එහෙත් මෙය විසඳුමක් නො වේ: එය දුෂ්කරතාව තවත් උග‍්‍ර කිරීමකි. නිසි ඉලක්කය නම් දරිද්‍රතාව ඇති නො විය හැකි පදනමක් මත සමාජය යලි ගොඩ නැගීමට උත්සාහ කිරීම යි.”

අප‍්‍රිකාව තුල එක්සත් ජනපදය කරන මැදිහත් වීමේ ප‍්‍රබල සහායකයෙකු වන ජෝර්ජ් ක්ලූනි සමග ඬේමන් ධවල මන්දිරයට යාම, “ජනාධිපති ආර්යාව” වන මිෂෙල් ඔබාමා ලඟ ම බිල් මරේ අසුන් ගැනීම සහ පසුව ජනාධිපතිවරයා සමග සතුටු සාමීචියේ යෙදීම ගැන මැවෙන චිත්ත රූපය අතිශයින් ම අපුලය. මෙහි දී කෙනෙකුගේ සිත තුල පහල වීමට පටන් ගන්නේ හොලිවුඩ් තරු කෙරෙහි බලපවත්වන සමාජීය හා මානසික පීඩනයන් පිලිබඳ හැඟීමකි.

ඩේමන් ඔබාමා පිලිබඳ තම විවේචනවලින් පල්ලම් බැසීමට ප‍්‍රධාන හේතුව වන්නේ සම්භාවනාවට හා පිලිගැනීමට පාත‍්‍ර වීම සඳහා පවතින තදබල අවශ්‍යතාව ද ප‍්‍රශංසාවට, අභිනන්දනයට හා ලෝක ප‍්‍රසිද්ධියට ලක් වීමේ අභිලාෂය ද බව පෙනේ. තම නලු සගයෙකුට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සමග තනිව ම සතුටු සාමීචියේ යෙදීම සඳහා අවස්ථාවක් ලැබෙන තතු තුල තමාට ධවල මන්දිරයට ආරාධනා නො කෙරේ ය යන සිතිවිල්ල ඩේමන් සහ අනෙකුත් නලුනිලියන්ට කිසි සේත් ම පාහේ දරා ගැනීමට නොපිලිවන් විය හැකි ය.

ඩේමන් ඔබාමා “ඇසුරු කිරීම හිතා ගන්න බැරි තරම් පහසු” හා “හරි ම ලේසියෙන් ලං විය හැකි” “විශිෂ්ට මිනිසෙක්” ලෙස සැලකීම මිනිසෙකු ලෙස ඩේමන් සතු අන්තර්ඥානයට හෝ ගම්භිරත්වයට කිසි සේත් නොගැලපෙන නමුත් එය නලුවා පෞද්ගලිකව මුහුන දෙන ගැටලුවක් නො වේ. එය විශේෂයෙන් ම ඇමරිකාව තුල වඩා පොදුවේ දක්නට ලැබෙන ගැටලුවකි. හොලිවුඩ් පුරවරය සිනමාකරුවෙකු හා ඔත්තුකරුවෙකු වූ ඊලියා කසාන්ට ගරු බුහුමන් පුද කල 1999 දී අප සඳහන් කල පරිදි “මෙහි දී නිසැක වශයෙන් ම උත්ප‍්‍රාසයක් ඇති වේ. එක්සත් ජනපදය පුද්ගලවාදය රජයන භූමිය බව සුප‍්‍රකට වන අතරම එහි තරම් තීව‍්‍ර හා අනුකම්පා විරහිත පීඩනයක් එල්ල වන අන් තැනක් නැත.”

ක්ලූනි, ෂොන් ස්ටුවර්ට්, ස්ටීවන් කෝල්බර්ට් හා තවත් බොහෝ අය මෙන් ඩේමන් ද පක්කලියෙකුව, දූෂනයට ලක්ව, හීලෑ සතෙකු බවට පත්ව ඇත. කෙසේ නමුදු අනෙක් අය යථාර්ථය දෙස අවංකව බලා මූලධර්මාත්මක ආස්ථානයක් ගනු ඇත.

Share this article: