චීන ආර්ථික පසුබෑමේ ගෝලීය අර්ථභාරය

The global significance of China’s economic slowdown

නික් බීම්ස් විසිනි, 2015 ඔක්තෝබර් 23

2008-09 ලෝක මූල්‍ය අර්බුදයේ වසර වලින් පසුව චීනයේ ආර්ථික ප‍්‍රසාරනය පහතම අඩියට වැටීම සලකුනු කරන එරට දල දේශීය නිෂ්පාදිතයේ නවතම සංඛ්‍යා, හුදෙක් ගනන් හිලව් වලට පමනක් නොව, සමස්ත ලෝක ආර්ථිකය සම්බන්ධයෙන්ම කුමන වැදගත්කමක් දරන්නේ ද යන්න පෙන්නුම් කරයි. සමස්ත ලෝක ආර්ථිකයේම වර්ධනයක් පවත්වාගෙන යාමට දායක වෙමින්, ඊනියා නැගී එන ආර්ථිකයන්ට හා පාරිභෝගික භාන්ඩ නිෂ්පාදනය කරන රටවල් සඳහා පුලුල් වන වෙලඳපොලවල් සම්පාදනය කල, නය මගින් දහනය කල චීනයේ වර්ධනය පිලිබඳ අවධියේ අවසානය එමගින් සලකුනු කරයි.

දැනටමත් මෙම වෙනස්කම් බ‍්‍රසීලයේ ගැඹුරුවන ආර්ථික පල්වීමට ද, හාපර් ආන්ඩුවේ පරාජයට වැදගත් දායකත්වයක් සපයමින් කැනේඩියානු ආර්ථිකයේ හැකිලීමට ද ඕස්ටේ‍්‍රලියාවේ පතල් කර්මාන්තයේ නැගීමෙහි අවසානයට ද චීනයේ වර්ධනය මත පදනම්වූ නැගී එන ආර්ථිකයන්හි වැඩෙන අර්බුදයකට ද තුඩුදී ඇත. එහෙත් මේවා, එලඹීමට ඇති ප‍්‍රතිවිපාකයන්හි ආරම්භක සලකුනු පමනි.

චීනයට ගෝලීය ප‍්‍රසාරනයේ නව ස්ථාවර කරලියක් සම්පාදනය කල හැකිය යන අදහස් හැම විටම මිත්‍යාවක් විය. එහෙත් මූල්‍ය අර්බුදයට චීන රෙජිමයේ ප‍්‍රතිචාරය ලෙස වර්ධනය වූ නය මත පදනම් කල උත්තේජක මගින් එය යම් කාලයක් පවත්වාගෙන යන ලදී. ඩොලර් බිලියන 500 උත්තේජක පැකේජයට ද වඩා වැදගත් වූයේ, මූල්‍ය සොරොව් කටවල් ඇරීමට ගත් තීරනයයි. චීනයේ නය ප‍්‍රසාරනය මුලු ඇමරිකානු මූල්‍ය ක්ෂේත‍්‍රයේම අගයට සමානවූ බවට ගනන් බලා ඇත.

එක් අතකින් චීන ආන්ඩුව, මූල්‍ය ක්ෂේත‍්‍රයට ඩොලර් ටි‍්‍රලියන ගනන් පොම්ප කල අනෙකුත් රටවල් හා මූල්‍ය බලධාරීන් අනුගමනය කල, ශුන්‍යයට ආසන්න පොලී අනුපාත පිලිවෙත් හා ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් වලට අනුකූලව කටයුතු කලේය. එහෙත් චීන ආකෘතිය ප‍්‍රමුඛ ධනපති මධ්‍යස්ථාන වලින් කැපී පෙනෙන ලෙස වෙනස් විය.

නය යොදාගනු ලැබුවේ මූල්‍ය අංශයෙහි සමපේක්ෂනය දිරිමත් කිරීමට වඩා, වෙනත් වර්ගයක සමපේක්ෂනයක් සඳහා ය. එනම්, අලුතෙන් පුරවරයන් හා යටිතල ව්‍යුහය ගොඩනැගීමට ය. ඒ සමග අත්වැල් බැඳගෙන ඒවායේ අවශ්‍යතා සැපයීම පිනිස ප‍්‍රධාන කර්මාන්ත ප‍්‍රසාරනය කිරීමටත් ය. එම ප‍්‍රසාරනයේ පරිමාව එක් දැවැන්ත සංඛ්‍යාවකින් පෙන්නුම් කරයි.

නය පදනම් කර ගත් උත්පාතයේ ඉහලම අඩිය සලකුනු කල 2011-13 අතර තෙවසරක කාලයේ චීන ආර්ථිකය, මුලු 20 වන සියවසේදීම ඇමරිකාව පාවිච්චි කර තිබෙන මුලු සිමෙන්ති ප‍්‍රමානයට වැඩියෙන් ප‍්‍රයෝජනයට ගෙන ඇත. වොෂින්ටන් පෝස්ට්හි පලවූ ලිපියකට අනුව, එම අවධිය තුල ඇමරිකාවේ සිමෙන්ති පරිභෝජනය ගිගා ටොන් 4.4ක් වූ අතර වසර තුන තුල චීන පාරිභෝජනය ගිගා ටොන් 6.4ක් විය.

නයෙන් දහනය කල එම වකවානුව දැන් අවසානයකට පැමින තිබේ. ගෝලීය ආර්ථිකය මෙන්ම ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා මෙහි ඇඟවුම් ග‍්‍රහනය කර ගත හැක්කේ, චීන ආර්ථික වර්ධනය එහි ගෝලීය හා ඓතිහාසික සන්දර්භය තුල තැබීමෙන් පමනි.

1978දී චීනයේ ධනේශ්වර පුනස්ථාපනය ආරම්භ වුනේ, වඩ වඩාත් වෙලඳපොල යාන්ත‍්‍රනයන්ට වාරු වෙමින්ය. එහෙත් යන්තම් දශකයක් ගතව යද්දී මෙම තත්වය උග‍්‍ර සමාජ ආතතීන් නැගී ඒමට තුඩු දුන්නේය. එය 1989 මැයි-ජූනි මාසවල ටියනාන්මෙන් විරෝධතාවන් ලෙස පුපුරා ගියේය.

රෙජිමයේ මූලික කනස්සල්ල වූයේ ශිෂ්‍ය ව්‍යාපාරය නොවේ. සියල්ලටත් වඩා ඔවුන් බියපත් කලේ කම්කරු පන්තියේ වර්ධනය වෙමින් තිබුනු නැගිටීම් තත්වයයි. එය පිටුපසින් කම්කරුවන්ගේ ස්වාධීන ඉල්ලීම් මතුවෙමින් තිබුනු අතර තලා නොදැමුවහොත් ඉක්මනින්ම මතුපිටට ගලා ආ හැකිව තිබුනි. ලේවැකි මර්දනයේ මූලය වූයේ මෙයයි. එය බීජිනය ඉක්මවා පැතිර ගිය අතර කම්කරු පන්තියේ සියලු ස්වාධීන සංවිධාන තලා දැමීම එහි අරමුන විය.

එහෙත් ටියනාන්මෙන් විරෝධතා මැඩපැවැත්වීමෙන් එම ව්‍යාපාරය නිර්මානය කලාවූ ප‍්‍රතිවිරෝධයන් අවසන් වූ බවක් අදහස් නොකෙරුනු අතර තෙවසරක් ගතවන විට රෙජිමයේ ඉහල කොටස් අතර අභ්‍යන්තර ගැටුම් ඇවිල ගියේ, බලයේ රැඳී සිටීමට නම් අනුගමනය කල යුතු ආර්ථික හා දේශපාලන පිලිවෙත් කවරක් විය යුතු ද යන්න මතය.

1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීම ප‍්‍රශ්නය කෙලින්ම මතු කලේය. ඒ ගෝලීය ධනවාදය සමග වඩාත් සමීපව ඒකාග‍්‍රවීමට පියවර නොගතහොත් බීජිං තන්ත‍්‍රය ද මොස්කෝව ගිය මාර්ගයේම යනු ඇති බවට ඊනියා “උත්තරීතර නායක” ඩෙං සියා ඕපිං අවධාරනය කිරීමත් සමගය.

ඔහුගේ ඊනියා “දකුනු ගමන” ප‍්‍රකාශයට පත්කල 1992 මුල, ඩෙංගේ නව දිශානතිය පදනම් වූයේ, විදේශ ආයෝජන විශේෂ ආර්ථික කලාප වලට සීමාකිරීමට වඩා ගෝලීය සංගතවල ආයෝජන සඳහා තව තවත් විවෘත කල යුතුය යන සංකල්පය මතය.

ලාභ අනුපාතිකය පහත වැටීම ජයගැනීමේ අටියෙන් බටහිර ප‍්‍රධාන සංගත ලාභ ශ‍්‍රම කලාප වෙත නිෂ්පාදනය කොන්ත‍්‍රාත් දීමේ නැඹුරුව සමග සම්පාත වෙමින් චීන ආර්ථිකය, අපනයන මුල්තැන ගත් ප‍්‍රසාරනයක් අත්විඳීය. 1997-98 ආසියානු මූල්‍ය අර්බුදයෙන් වේගවත්වුනු එම ක‍්‍රියාවලිය ඉන් පසුව චීනය එන්ට එන්ටම ආසියාවේ නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත් කලේය.

ජපානය හා තායිවානය අත්‍යවශ්‍ය ආයෝජන ප‍්‍රාග්ධනය සම්පාදනය කරන අතර ගිනිකොනදිග ආසියාවේ ආර්ථිකයන්, චීනය තුල අවසන් ක‍්‍රියාවලිය සඳහා උපාංග නිෂ්පාදනය කිරීම වෙත හැරුනි. 2001දී චීනය ලෝක වෙලඳ සංවිධානයට ඇතුලත්කර ගැනීමෙන් පසුව අපනයන ප‍්‍රසාරනය තවදුරටත් ඉහල නැගුනි.

කෙසේ වෙතත් බීජිං තන්ත‍්‍රයේ කටයුතු තීරනය කලේ ආර්ථික ගනන් බැලීම් වලින් පමනක් නොවේ. දේශපාලනය ඉටුකලේ ඊට නොදෙවෙනි භූමිකාවකි. සිය පැවැත්ම යුක්තිසහගත කිරීම පිනිස ඉදිරිපත් කල රට සමාජවාදය කරා මෙහෙයවන්නේය හා සමාජ සමානතාව ඇතිකරන්නේය යන කියාපෑම් බොහෝ කාලයකට පෙරම අතහැර දමන ලද චීන කොමියුනිස්ට් පක්ෂ රෙජිමය, සිය පාලනය ආර්ථික ප‍්‍රසාරනය ඇතිකිරීමට කැපව සිටින්නේ යයි කීමට පටන්ගෙන තිබුනි. ඔවුන් බලයේ රැඳී සිටීමට උත්සාහ කලේ වඩ වඩාත් ජාතිකවාදයට ආයාචනා කිරීමෙන් ය. තමන් චීනය තුල බලයේ සිටින්නේ එහි නැගීම හා ගෝලීය පර්යාය තුල තමන්ට හිමි තැන සහතික කිරීමට බව කියා සිටින ලදී.

බීජිං රෙජිමයේ මිත්‍යාව දලු ලනවා හා සමානවම එහි ජාත්‍යන්තර සහචරයින්ගේ අදහස් ද පැතිර ගියේය. 21වන සියවසේ පලමු දශකයේ මැද වන විට නව ආර්ථික ආකෘතියක් හැඩ ගැසෙමින් තිබෙනු දක්නට ලැබුනි. ඇමරිකාවේ ලාභ මුදල් ප‍්‍රතිපත්තිය එරට තුල මෙන්ම යුරෝපයේ ද පාරිභෝජනය ඉහල නැංවූ අතර ප‍්‍රධාන ගෝලීය අන්තර්ජාතික සංගත විසින් චීනය තුල නිෂ්පාදනය කල භාන්ඩ සඳහා එම කලාප ප‍්‍රධාන වෙලඳපොලවල් බවට පත් කලේය. මෙම ක‍්‍රියාවලිය මගින් නිර්මානය කරන ලද අපනයන අතිරික්තය, ඇමරිකානු භාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම තුලින් චීන ආන්ඩුව, පොලී අනුපාත පහත මට්ටමක තබාගැනීමට දායක විය.

පලදායී චක‍්‍රයක් පනගැන්වී තිබෙන බවක් පෙනී ගියේය. චීනයෙන් කරන ආනයන නිසා ඇමරිකාවේ වෙලඳ හිඟය ඉහල ගිය ද එම හිඟය, චීන වෙලඳ අතිරික්තය ඇමරිකාව තුල ප‍්‍රති ආයෝජනය කිරීම මගින් පියවාගනු ලැබින.

කිසිවිටෙකත් තම නාසයට එහා නොපෙනෙන සියලු ධනපති අර්ථශාස්ත‍්‍රඥයෝ, ධනපති ලාභ පද්ධතියේ කැටිවූ ප‍්‍රතිඝතිතාවන්ට අල්ප අවධානයක් යොමුකරමින් ධනේශ්වර ප‍්‍රසාරනයේ නව යුගයක උදාව නිවේදනය කලහ. නව බ්‍රෙට්න්වුඩ්ස් ක‍්‍රමයක් පිලිබඳව ද කථා පැවැත්වින. එනම් පශ්චාත් දෙවන ලෝක යුද්ධ ධනේශ්වර උත්පාතයේ තීරනාත්මක පදනම සම්පාදනය කල, 1944 පිහිටුවන ලද ජාත්‍යන්තර මූල්‍ය සැකැස්ම ගැන සඳහන් කරමිනි. 1970 ගනන් මුල පශ්චාත් යුද්ධ උත්පාතයේ අවසන් වසරවලින් පසුව ලෝක ආර්ථික වර්ධනයේ වාර්තාගත ඉහලම මට්ටම 2006දී සලකුනු කල බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වසරේදීම මහත් උද්දාමයෙන් යුතුව සඳහන් කලේය.

උද්දාමය පැවතුනේ කෙටි කලක් පමනි. 2007 වන විට ප‍්‍රමුඛ ධනේශ්වර රටවල ලාභ මූල්‍ය ප‍්‍රතිපත්තියේ හදවත තුලම කුනුවීම වඩ වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන තිබුනි. 2008 සැප්තැම්බරයේදී ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳවැටී සමස්ත ගෝලීය මූල්‍ය පද්ධතියම උනුවී යාමේ අද්දරට පමුනුවමින් එය මතුපිටට පුපුරා ආවේය.

මූල්‍ය අර්බුදය අපනයන මුල්කොටගත් චීන ආර්ථික වර්ධනය වෙව්ලුම්ගත් අවසානයකට ගෙන ආවේ, 2008 අවසන් මාසවල හා 2009 මුල මිලියන 23ක් කම්කරුවන්ට රැකියා අහිමිවීමත් සමගය.

දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි මේ මගින් ඇතිකල හැකි අහිතකර බලපෑම ගැන බියපත් චීන පාලන තන්ත‍්‍රය, තම නය ප‍්‍රසාරනයේ උත්තේජක වැඩසටහන දියත් කලේය. කෙසේ වෙතත් අවශ්‍යයෙන්ම ජාතිකව පදනම් කෙරුනු මෙම වැඩසටහන ගැලවීමේ මගක් නොවන බව සනාථ කලේය. එය පදනම් වුනේ, ප‍්‍රධාන ධනපති ආර්ථිකයන්හි අවධමනයකින් පසුව ප‍්‍රකෘතියක් ඇතිවන්නේය යන සිතාගැනීම මතය. එය චීන ප‍්‍රසාරනය යලි පැනනංගවනු ඇති බවට පලවූ මතයයි. මෙය සිදු වූයේ නැත. ඒ වෙනුවට ගෝලීය ආර්ථිකය, තව තවත් ගැඹුරින් අවධමනාත්මක ප‍්‍රවනතාවන්හි පටලැවුනි. උත්තේජක වැඩසටහන දිගට ගෙන ගියහොත් මූල්‍ය අර්බුදයක් නිර්මානය වනු ඇති බව පැහැදිලිවත්ම චීනය තුල ගැටලු මතුවීමට පටන්ගත්තේය.

2013 අග බලයට පත් ජනාධිපති ෂී ජිංපිං විසින් නව යොමුවකට මුල පිරීය. එය අරමුනුකර ගත්තේ, දේශීය පාරිභෝජනය ප‍්‍රසාරනය කිරීමත්, විශේෂයෙන්ම මූල්‍ය පදනමක් සහිත සේවා අංශය නගාසිටුවීමත් තුලින්, ආයෝජන හා ඉදිකිරීම් මත කලින් පැවති රඳාපැවැත්මෙන් ආර්ථිකය ඉවත්කර ගැනීමය. යලි වතාවක් දේශපාලන ගනන් බැලීම් ක‍්‍රියාකලාපයක් ඉටුකරනු ලැබින.

රෙජිමය බලාපොරොත්තු වූයේ එම මාධ්‍යයන් තුලින්, වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික කොටස් අතර තමන් සඳහා සමාජ හා දේශපාලන පදනමක් නිර්මානය කරගත හැකි වනු ඇති බවටය. එහෙත් ජූලියේ හා අගෝස්තුවේ හටගත් කොටස් වෙලඳපොල අර්බුදය මෙම ඉදිරිදර්ශනයට මූලික පහරක් එල්ල කලේය.

නව ආර්ථික යොමුවට, පූර්ව ප‍්‍රතිපත්ති වලින් ඇති කලාක් වැනි, ගෝලීය ධනවාදයේ ප‍්‍රතිවිරෝධතා කල් පමාකිරීම කෙසේ වෙතත් චීන ආර්ථිකයට නව මාවතක් සම්පාදනය කර දීමට ද නොහැකි විය. සැබවින්ම ඇති වූයේ ලෝක ආර්ථිකය උත්තේජනය කරනවා වෙනුවට චීනයම ඒ සමග පහතට ඇදගෙන යාමේ තත්වයකි.

සිය බි‍්‍රතාන්‍ය සංචාරය ආසන්නයේ ක්ෂී රොයිටර් සේවයට දුන් ලිඛිත සම්මුඛ සාකච්ඡාවකදී පිලිගනු ලැබූ පරිදි, “ජාත්‍යන්තර වෙලඳපොලට සමීපව බැඳුනු ආර්ථිකයක් ලෙස චීනයට, ගෝලීය ආර්ථිකයේ මන්දගාමී කටයුතු වලින් ස්වාධීනව සිටිය නොහැකිය. අපට චීන ආර්ථිකය පිලිබඳව ගැටලු ඇත, අපි ඒවා ජයගැනීමට වෙහෙස නොබලා කටයුතු කරන්නෙමු. එසේම අපි පල්වෙන ලෝක ආර්ථිකය ගැන ද කනස්සල්ලට පත්ව සිටිමු, එය සෑම රටකටම, විශේෂයෙන් දියුනුවන රටවලට බලපායි.”

ගෝලීය ආර්ථිකය ඉහල නැගීමක් කෙසේ වුව ද අත්දකිමින් සිටින්නේ, ලෝක මූල්‍ය අර්බුදයේ “තුන්වන රැල්ල” ලෙස හඳුන්වන තත්වයකටය. මෙම අර්බුදය ගෙන ඇත්තේ, චීනය තුලින් මතුව එන පසුබෑමේ හා අවධමනයේ පීඩනයක ද ඇමරිකාවේ මූල්‍ය පද්ධතියේ අර්බුදය හා 2012දී යුරෝ කලාපයට පහර දුන් පසුබෑම හා මූල්‍ය අර්බුදය යන පලමු “රැලි” දෙකෙන් පසුව නැගී එන වෙලඳපොලවල් කෙරෙහි එහි බලපෑම ද යන රූපාකාරයයි.

මෙහි තේරුම, චීනයේ මෙන්ම ඊනියා නැගී එන ආර්ථිකයන්හි මෙන්ම දියුනු ධනපති ආර්ථිකයන්හි ද කම්කරු පන්තිය, ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත පමනක් පෙරට ගෙන යා හැකි, ප‍්‍රධාන පන්ති හා සමාජ ගැටුම් තුලට ඇද දමන බවයි.

Share this article: