ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටිය පිලිබඳව විචාරයක වේශයෙන් එන ජාතික ප‍්‍රශ්නය පිලිබඳ විකෘතිකරනයන්

වසන්ත රූපසිංහ සහ පානි විජේසිරිවර්ධන විසිනි, 2015 ඔක්තෝබර් 15

දශක තුනක් තිස්සේ සුලුතර දෙමල පීඩිත ජනයාට එරෙහිව කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය වර්ගවාදී යුද්ධය, දෙමල හා සිංහල මහජනයා තුල අවුලුවන ලද භාවමය සන්තාපය විදහා දැක්වෙන ප‍්‍රසන්න විතානගේගේ ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටිය මේ දිනවල ප‍්‍රදර්ශනය කරමින් තිබෙන අතර චිත‍්‍රපටිය පිලිබඳ දුසිම් ගනන් විචාර දැන් මුද්‍රිත හා අන්තර්ජාල මාධ්‍යවල පල වෙමින් තිබේ.

ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටියේ අවස්ථාවක්

මේ අතරින්, ව්‍යාජ වම්මුන්ගේ වේදිකාවක් වන රාවය පුවත්පතේ සැප්තැම්බර් 20, “දෙමල හෘද සාක්ෂිය නැතිව සිංහල හෘද සාක්ෂිය හෙවත් ඔබ නැතිව, ඔබ එක්ක” මැයෙන් විතානගේගේ චිත‍්‍රපටයට එරෙහිව අජිත් පැරකුම් ජයසිංහ ලියා තිබූ ලිපිය කැපී පෙනේ.

ජයසිංහට අනුව, “ජාතික වශයෙන් සුලුතර වූ දෙමල ජාතිකයා වෙනුවෙන් යුක්තිය ඉටු නොකිරීම පිලිබඳ සිංහලයාගේ වරදකාරී හෘද සාක්ෂය” ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටයේ මූලික තේමාව යි.

ජයසිංහගේ මේ සූත‍්‍රගත කිරීම මගින්, තිස් වසරක කුරුරි සිවිල් යුද්ධයේ සැබෑ වග උත්තරකරුවන් වන කොලඹ ධනපති පාලක පන්තිය එම වගකීමෙන් ගලවා, යුද්ධයේ ගොදුරුබවට පත්වූ සමස්ත සිංහල හා දෙමල කම්කරු පීඩිත ජනයා මත එහි වගකීම පටවයි. ජයසිංහට අනුව, සිංහල හා දෙමල සමස්ත ජනවර්ගයම යුද්ධය පිලිබඳ “වරදකාරී හැඟීමකින්” පෙලිය යුතු ය.

යුද්ධයෙන් ඇති කෙරුනු ව්‍යසනයේ සියලු වගකීම් පොදු මහජනතාව මත පැටවීම සඳහා ධනේශ්වර දේශපාලනඥයින්, ඊනියා බුද්ධිමතුන් සහ ව්‍යාජ වම්මුන් ගෙන යන ප‍්‍රතිගාමී ක‍්‍රියාදාමය සමග ජයසිංහ එක පෙලට සිට ගනී.

ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය වනාහී කොලඹ පාලක පන්තිය ආරම්භයේ සිට සිංහල හා දෙමල කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීමට ගෙන ගිය ප‍්‍රතිගාමී දේශපාලන පිලිවෙතේ සෘජු ප‍්‍රතිපලයකි. 1948 ඊනියා නිදහසේ සිට ගතවූ දශක හයකට අධික කාලය විමසන ඕනෑම කෙනෙකුට මෙය සුවිශද ය.

“නිදහසින්” මාස කීපයක් ඇතුලත ම එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව දෙමල වතු කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයකට පුරවැසි අයිතිය අහිමි කිරීමෙන්ම එම නිදහසේ ප‍්‍රතිගාමී ස්වාභාවය පැහැදිලි විය. 1950 ගනන්වල මුල, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායකගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රීලනිප) ආන්ඩුව ක‍්‍රියාත්මක කල “සිංහල පමනක්” ප‍්‍රතිපත්තිය, සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව විසින් බුද්ධාගම රාජ්‍ය ආගම වසයෙන් ද සිංහල එකම රාජ්‍ය භාෂාව වසයෙන් ද ස්ථාපිත කල 1972 නව ව්‍යවස්ථාව හා රාජ්‍ය අංශයේ රැකියා දීමේදී හා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී වර්ගය මත පදනම් වීම එම ප‍්‍රතිගාමී පිලිවෙත්වල සන්ධිස්ථානයන් ය.

1980 ගනන් මුලභාගයේ, ශ‍්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයට ඒකාග‍්‍ර කිරීමට එරෙහිව කම්කරු පන්තියෙන් පැන නැගුනු බලගතු විරෝධය මැඩීම සඳහා, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ එක්සත් ජාතික පක්ෂ අන්ඩුව මෙම වර්ගවාදී පිලිවෙත් ඉහලම කූටයට ගෙන එමින් 1983 නින්දිත කලුජූලිය හරහා වර්ගවාදී යුද්ධය දියත් කලේ ය.

විතානගේගේ නිර්මානයේ ප‍්‍රධාන චරිතද්වය මෙම යුද්ධයේ ගොදුරු බවට පත්වූ සිංහල හා දෙමල පොදු ජනතාව නියෝජනය කරයි. නිර්මානකරුවාගේ වෑයම වන්නේ, මෙම චරිතවල අන්තර් සම්බන්ධතාවයන් සංයුක්තව නිර්මානය කරමින් යුද්ධය මිනිස් ජීවත කෙරෙහි ඇතිකල නිශේධනීය බලපෑම සෞන්දර්යාත්මකව ප‍්‍රතිනිර්මානය කිරීම යි.

චිත‍්‍රපටියේ එක් ප‍්‍රධාන චරිතයක් වන සරත්සිරි ගම්බද පීඩිත පවුලක ඉපිද විරැකියාව හේතුවෙන් හමුදාවට බැඳුන සොල්දාදුවෙකි. ඔහු, තම හමුදා සගයන් විසින් දෙමල තරුනියක් දූෂනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ චිත්ත වේදනාවෙන් හමුදාව හැරපියා ගොස් ඈත කඳුකර පලාතක උකස්බඩු වෙලෙන්දෙකු සේ දිවි ගෙව යි. අනෙක් ප‍්‍රධාන චරිතය වන සෙල්වි, සිය දෙමාපියන් විසින් දිවයිනේ උතුරේ යුද කලාපයේ සිට ආරක්ෂාව පතා මධ්‍යම කඳුකරයට එවන ලදුව සරත්සිරි හා ආදරයෙන් බැඳී යුග දිවි ගෙවයි. එහෙත්, යුද්ධයෙන් ඇති කෙරුනු මානසික තුවාල දෙදෙනාගේ ආදරයට එරෙහිව පිහිටන තතුතුල ඔවුන්ගේ යුගදිවිය ඛේදයකින් අවසන් වේ. අවංක හා බැරෑරුම් කලාකරුවෙකු ලෙස මෙහිදී විතානගේ වෛෂයික සත්‍යයට සමීප වීමට හැකිතරම් වෙර දරා ඇත.

චිත‍්‍රපටියෙහි සරත්සිරිගේ “වරදකාරී පශ්චාත්තාපයට” හේතුවක්ව පවතින දෙමල තරුනියක දූෂනය කර මරා දැමීම වෛෂයිකව සත්‍ය කරුනක් වන අතර සෙල්වි තුලින් “දෙමල ජාතියේ හෘද සාක්ෂිය” සෙවීමට යාම ජයසිංහගේ වර්ගවාදය ඇය මත පැටවීමකි. සරත්සිරි හා සෙල්වි පේ‍්‍රමයෙන් බැඳීමේදී වර්ගවාදය හෝ ආගම ඔවුන්ට කිසිදු ගැටලුවක් නොවන අතර එම සබඳතාව විනාශ කරන්නේ යුද්ධයේ අඳුරු මතකය ඔවුන් අතරට ආ පසු ය. සෙල්විගේ දිවියේ ඛේදජනක අවසානයට හේතුවන්නේ, සිය සැමියා මරා දැමීමට තමන් වෑයම් කලාය යන්න සරත්සිරි දැන සිටි බව ඇයට හැඟී යාමත් ඒ ද නොතකා දැන් ඔහු ඇයට අසීමිතව ආදරය කිරීමත් සමග සෙල්වි තුල ඇතිවන සංකීර්න මානසික අර්බුදයේ කූටප‍්‍රාප්තියට පත්වීම යි.

නමුත් ජයසිංහට අනුව, ඔබ නැතිව, ඔබ එක්ක තුල එන, සොල්දාදුවන් තිදෙනෙකු විසින් දෙමල තරුනියකට දූෂනය කර මරා දැමීම “භාවාතිෂය ප‍්‍රබන්ධයකි”. ස්ත‍්‍රී දූෂන ඇතුලුව මිලිටරිය උතුරේදී සිදුකල අපරාධ පිලිබඳ තොරතුරු සාක්ෂි සහිතවම සනාථ වී ඇති හා වඩවඩාත් සනාථ වෙමින් පවතින තතුතුල ජයසිංහගේ මෙම ප‍්‍රලාපයන් මගින් පෙන්නුම් කරන්නේ, සිංහල ස්වෝත්තමවාදය සමග ඔහුට ඇති අභේද්‍ය සම්බන්ධතාව යි.

එපමනක්ද නොව, යුද්ධයේ ප‍්‍රතිවිපාක ගෙනහැර දක්වන විතානගේගේ තවත් නිර්මානයක් වන පුරහඳ කලුවර චිත‍්‍රපටියට එරෙහිව ද ඔහු මෙම චෝදනාව එල්ල කරයි. එහි එන එක් දර්ශනයක් පිලිබඳව සඳහන් කරමින්, ජයසිංහ මෙසේ කියයි. “...මෙම භාවාතිශය ප‍්‍රකාශය සිංහල ජාතිකවාදීන් කුපිත කල අතර, මිලිටරිය එම චිත‍්‍රපටිය වර්ග කලේ දෙමල විමුක්ති අරගලයට හිතවාදී මානසික යුද ව්‍යාපෘතියක් ලෙස යි. මෙම ගැටලුව ම මෙම චිත‍්‍රපටයේ ද දක්නට ලැබේ.”

ජයසිංහට ගැටලුව වී ඇත්තේ නිර්මානය හරහා සිංහල ජාතීවාදීන් හා මිලිටරි නිලධාරීන් කුපිත වීම ය. යුද්ධය පිලිබඳ විවරනය කෙරෙන ශ්‍රේෂ්ඨ කලාකෘතියකින් යුද්ධයේ ව්‍යසනයට වගකිව යුත්තන් කුපිත කෙරෙන අතර, ඔවුන් පිලිබඳ වෛරයක් සහෘදයා තුල ජනනය කරයි. ඒ සමගම යුද්ධයේ සැබෑ වගකිව යුත්තන් පිලිබඳව වෛෂයික සත්‍යය ද අනාවරනය කෙරෙයි. ජයසිංහ, ඔබ නැතිව, ඔබ එක්කට එරෙහි වන්නේ, ඉහත අංග ලක්ෂන එහි සපුරාම අන්තර්ගත වන බැවිනි.

චිත‍්‍රපටියේ මෙම විශිෂ්ඨ අංශයන් අඳුරු කිරීමේ අරමුනින් ජයසිංහ මෙසේ ද ලිය යි: ඔබ නැතිව, ඔබ එක්ක “පදනම් වන්නේ, සිංහල ජාතිකවාදය පීඩක ජාතිකවාදයකි හා දෙමල ජාතිකවාදය පීඩිත ජාතිවාදයකි යන ගතානුගතික මාක්ස්වාදී ආස්ථානය මතය”. මෙම වියුක්ත ප‍්‍රකාශයෙන් මාක්ස්වාදීන් බෙදුම්වාදයට සහයෝගය දෙන බවක් ඇඟවෙයි. මෙය, මාක්ස්වාදීන් ලංකාවේ සිවිල් යුද්ධයට එරෙහිව දැරූ සප‍්‍රතිපත්තික ආස්ථානය පමනක් නොව ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සම්භාව්‍ය මාක්ස්වාදීන් දරන ආස්ථානයම විකෘතිකරනයට ලක්කිරීමට දරන ලද ප‍්‍රයත්නයකි.

රුසියානු විප්ලවයට නායකත්වය දුන්, වී.අයි. ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂය ජාතික ස්වයං-නිර්න අයිතිය සිය ක‍්‍රියාමාර්ගයෙහි ඇතුලත් කරගත්තේ, සාර්වාදී තන්ත‍්‍රය විසින් පීඩිත ජාතිකත්වයකට රුසියානු අධිරාජ්‍යයේ සීමාවන් තුල සිටීමට බල කිරීම සඳහා මිලිටරි බලය යෙදීමට පවත්නා සිය විරුද්ධත්වය තහවුරු කිරීම සඳහා මිස ජාතික බෙදුම්වාදයට සහය දීමට නොවේ. කම්කරු පන්තියේ නායකත්වය කෙරේ පීඩිත ජාතීන්ගේ විස්වාසය දිනා ගැනීම සඳහා මෙම අයිතිය පිලිගැනීම අවශ්‍ය බව ලෙනින් අවධාරනය කලේ ය. සමස්ත රුසියානු පක්ෂයක නායකත්වය යටතේ රුසියානු අධිරාජ්‍ය පුරාම කම්කරුවන්ගේ දේශපාලන ස්වාධීනත්වය සහ එක්සත්භාවය අවධාරනය කරමින්, කම්කරු පන්තිය මතම ජාතික බෙදුම්වාදී බලපෑම්වල සියලු ප‍්‍රකාශනයන්ට එරෙහිව බොල්ෂෙවික් පක්ෂය සටන් කලේ ය.

මෙම සම්භාව්‍ය මාක්ස්වාදී ආස්ථානය මත ඉන්දියානු උපමහද්වීපය තුල සටන් වැදුනු ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය 1950දී ලංකා සමසමාජ පක්ෂය තුල දියකර හැරීමත් අවසානයේදී, 1964 දී ලසසප ය ධනපති ශ‍්‍රීලනිපය සමග හවුල් ආන්ඩුවකට ඇතුලු වීමත් මගින් කම්කරු පන්තිය තුල ඇති කෙරුනු රික්තය කොලඹ පාලක පන්තියේ වාර්ගික පිලිවෙත්වලට වඩාත් උදව්කාරක විය.

සම්භාව්‍ය මාක්ස්වාදී ආස්ථානයන් ආරක්ෂා කරමින්, සිංහල හා දෙමල කම්කරු පන්තියේ එකමුතුව සඳහා අඛන්ඩව සටන් වැදුනේ සමාජවාදී සමානතා පක්ෂයත් එහි පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයත් පමනි. මෙම අරගලයේදී සසප හා විකොස ඉදිරිපත් කල ශ‍්‍රී ලංකාවේ හා ඊලමයේ සමජාවදී සමූහාන්ඩු සංගමයක් පිලිබඳ සටන්පාඨයේ අන්තර්ගතය එය යි. සිංහල හා දෙමල කම්කරු පීඩිත මහජනතාවගේ හෘද සාක්ෂිය මෙම ඓතිහාසික වෛෂයික සත්‍යයට අනුරූපව හැඩ ගැසෙන්නේ එම අරගලය තුලින්ම පමනකි. විතානගේ කෘතිය මෙහිලා එම අරගලයට අනුපූරක වේ.

සිංහල හා දෙමල කම්කරු පන්තියේ එකමුතුවට එරෙහිව ජයසිංහ ධනේශ්වර “ජාතික සංහිඳියාව” පිහිටුව යි. “ජාතික සංහිඳියාව” යනු අන්කිසිවක් නොව සිංහල හා දෙමල ධනපති පන්තිය අතර ඇති කරන සංහිඳියාව යි. එවන් “සංහිඳියාවක්’” අනිවාර්යයෙන්ම සිංහල හා දෙමල ජනවර්ග දෙකේම කම්කරු පන්තියට එරෙහිව පිහිටයි. මෙම “ජාතික සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම” ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටියේ අරමුන නොවන බැවින් ජයසිංහගේ ව්‍යාපෘතියට එය අනුපූරක නොවේ.

Share this article: