ග‍්‍රන්ථ විවේචන: සැමුවෙල් කසෝව්ගේ කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?

Samuel Kassow’s Who Will Write Our History?

ක්ලාරා වීස් විසිනි, 2015 ජූලි 25

වෝසෝ ගෙටෝව (වෝසෝ යුදෙව් වාසභූමිය)

වසර 75කට පෙර: නාසි ආඥාවකින් වෝසෝ ගෙටෝව පිහිටුව යි

75 years ago: Nazi decree establishes Warsaw Ghetto

හිට්ලර් හා ස්ටැලින් පෝලනත්ය ආක‍්‍රමනය කිරීම හා බෙදා වෙන් කිරීමෙන් වසරකට පසු, ජර්මානු ආන්ඩුකාර හාන්ස් ෆ‍්‍රෑන්ක් විසින් 1940 ඔක්තෝබර් 2වැනිදා, අත්සන් කරන ලද ආඥාවක් පෝලන්ත අග නගරය වන වෝසෝවේ නලෙව්කි කොටසේ යුදෙව් ගෙටෝවක් (යුදෙව් වාස භූමියක්) ස්ථාපිත කලේ ය.

දෙවැනි ලෝක යුද්ධය පිපිරීමට පෙර, “යුදෙව්වන්” බහුල ලෝක නගර අතර වෝසෝව පැවතුනේ අගනා කම්කරු පන්තික බුද්ධිමතුන් හා දේශපාලන සංස්කෘතියක් සහිතව ය. ඊට පෙර නලෙව්කි, නගරයේ ඓතිහාසික මධ්‍යතන යුදෙව් ප‍්‍රදේශය වටා පිහිටි බහුතර යුදෙව් දිස්ත‍්‍රික්කයක් විය. වෝසෝවේ යුදෙව් ජනසංඛ්‍යාව 400,000ක් වූ අතර, එය යුද්ධයට පෙර නගරයේ ජනගහනයෙන් හරියට ම සියයට 30ක් වූ නමුත් මෙම අති විශාල සංඛ්‍යාව, නගරයේ භූගෝලීය වපසරියෙන් යන්තම් සියයට 2.4ක් නියෝජනය කල කොටසකට ගාල් කරන ලදී.

ගෙටෝව ඉදිකිරීම ඇරඹුනේ 1940 අපේ‍්‍රල්වල දී වූ නමුත්, වාඩිලා ගත් නාසීන් විසින් වෝසෝව හා ඒ අවට දිස්ත‍්‍රික්කවල සියලු යුදෙව්වන් වට කොට එම වසරේ සරත් කාලයේ දී, රංචු පිටින් වාර්ගික පරිවෘත්තියකට හිර කරන ලද්දේ ය. පෝලන්ත අග නගරයේ යුදෙව් ගෙටෝව, නාසීන් විසින් වාඩිලා ගනු ලැබූ යුරෝපය තුල ඊට පසු බලෙන් අටවන ලද ගෙටෝ සිය ගනනින් විශාල ම එක විය.

ගෙටෝවේ පරිධිය වටා සැතපුම් 11ක් දරන ගසන මීටර් තුනක් උස තාප්පයක් සමග යුදෙව්වන් භූගෝලීය ව වෙන් කිරීම මුලින් ම සැලැසුම් කරන ලද්දේ ඔවුන් හුදකලා කිරීමට හා අවසානයේ දී ඔවුන් කායිකව මූලෝත්පාඨනය කෙරෙන මාධ්‍යයන් සැපයීමට ය.

(මේ සමග පලවන්නේ වෝසෝ ගෙටෝවේ යුදෙව් බුද්ධිමතුන්ගේ නායකත්වය යටතේ එය තුල රහසේ ක‍්‍රියාත්මක වුනු ඔයිනෙග් ෂාබස් නම් රහස් ලේඛනාගාරය අලලා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය සැමුවෙල් කසෝව් විසින් ලියන ලද Who Will Write Our History? (කවුරු අපේ ඉතිහාසය ලියනු ඇත් ද?) නම් ග‍්‍රන්ථය පිලිබඳ විවේචනයකි.)

Who Will Write Our History? (කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?) වෝසෝ ගෙටෝවෙන් සැඟවුනු ලේඛනාගාරය යලි සොයා ගැනීම, සැමුවෙල් කසෝව් විසිනි, ඉන්ඩියානා විශ්වවිද්‍යාලයීය මුද්‍රනාලය 2009, පිටු 523යි.

එය පලමුවරට ප‍්‍රකාශයට පත්වීමෙන් වසර කීපයකට පසු පොතක් විචාරයට ලක්කිරීම තරමක් අසාමාන්‍ය ය. කෙසේ වුව ද, පලමුවරට 2007දී ප‍්‍රකාශයට පත් කෙරුනු Who Will Write Our History? (කව්රු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?) යන ග‍්‍රන්ථය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයින් සාදරයෙන් පිලි ගත යුතු ඓතිහාසික බහුශ‍්‍රතතාවේ ප‍්‍රමුඛ කෘතියකි. වෝසෝ ගේටෝ නම් යුදෙව් වාසයේ රහස් ලේඛනාගාරය වූ ඔයිනෙග් ෂාබස් (ප‍්‍රමුදිත විවේක දිනය) පිලිබඳ කසෝව්ගේ ඉතිහාසය සැලකියයුතු වෛෂයිකත්වය ඒකාබද්ධ කරන්නේ දෙවැනි ලෝක යුද්ධය අතරතුර වෝසෝවේ යුදෙව්වන්ගේ ශෝඛීය ඉරනම වෙනුවෙන් වන ගැඹුරු දයානුකම්පාව සමග ය.

“Who will write our history”(කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?), © Indiana University Press

නාසින් වාඩිලාගත් පෝලන්තයේ විශාල ම රහස් ලේඛනාගාරය ඔයිනෙග් ෂාබස් විය. යුදෙව් - පෝලන්ත ඉතිහාසඥ එමානුවෙල් රින්ග්ජෙල්බ්ලම්ගේ මග පෙන්වීම යටතේ එය පිහිටුවන ලද්දේ, යුදෙව් ගුරුවරුන්, ලේඛකයින්, පූජකයින් හා ඉතිහාසඥයින් විසිනි. යුද්ධයේ ආරම්භයේ සිට 1943දී වෝසෝ ගෙටෝව විනාස කිරීම දක්වා කාලය අතරතුර, ඔයිනෙග් ෂාබස් පෝලන්ත යුදෙව්වන්ට නාසින් විසින් කරන ලද වධදීම් පිලිබඳ වාර්තා දහස් ගනනක් එකතු කලේ ය. එය දිනපොත් හා රචනා එකතු කලේ ය, හිරකරුවන් සමග සම්මුඛ සාකච්ඡා දහස් ගනනක් පැවත් වූ අතර ගෙටෝ ගහනයේ සංයුතිය ගැන සමීක්ෂන ගනනාවක් කලේ ය. යුද්ධයෙන් පසු සොයා ගත හැකි වූයේ ලේඛනාගාරයන්ගේ සැඟවුනු ගබඩා තුනෙන් දෙකක් පමනකි.

කෙසේ නමුත් අදටත් වාර්තා 6000ක් (25,000ත් 30,000ත් අතර කඩදාසි කැබලිවලින් සමන්විත) පවතින්නේ, පෝලන්ත යුදෙව් වධබන්දන පිලිබඳ ඓතිහාසික අධ්‍යයනයක ඉතා වැදගත් තනි වාර්තා පදනම ලෙස ය. නමුත් මේ දක්වා, ඉන් ප‍්‍රසිද්ධ කෙරී ඇත්තේ ඇබිත්තකි, ඒවායින් වැඩි කොටස ඇත්තේ හීබෘ, පෝලන්ත හා යිඩිෂ් (මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය යුදෙව් භාෂාව - පරි) භාෂාවලින් පමනි.

Hersh and Bluma Wasser, surviving members of Oyneg Shabes, with a portion of the secret archive © The Ghetto Fighters Museum Israel

කනෙක්ටිකට් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය සැමුවෙල් කසෝව් Who Will Write Our History? (කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද?) තුල ඉදිරිපත් කරන්නේ ලේඛනාගාරය හා එහි සමහරක් ප‍්‍රධාන ලිපි පමනක් නො වන අතර එය උත්සාහ ගන්නේ යුද්ධය අතරතුර දී ඔයිනෙග් ෂාබස් හි වීරෝදාර උත්සාහයන් යටින් පවතින සංස්කෘතික වාතාවරනය හා දේශපාලන විශ්වාසයන් සාරාංශ කිරීමට ය.

රින්ගල්බ්ලුම් හා වාම ට්සියොන් කම්කරුවා

එවක හැප්ස්බර්ග් අධිරාජ්‍යයේ (අද එය යුකේ‍්‍රනයේ කොටසකි) කොටසක් වූ ගැලීසියාවේ බුකාක් නගරයේ දුප්පත් යුදෙව් පව්ලකට දාව 1900දී එමානුවෙල් රින්ගල්බ්ලුම් ඉපදුනි. රුසියානු අධිරාජ්‍ය තුල දී මෙන් නො ව ගැලීසියාවේ යුදෙව්වෝ උසස් අධ්‍යාපන ප‍්‍රවේශයක් භුක්ති වින්දහ. (ඔවුන්ට බාධා කෙරුනේ ඔවුන්ගේ මූල්‍ය මාධ්‍යයන්ගෙන් පමනි) ගැලීසියාව සාපේක්ෂකව වියත් යුදෙව් බුද්ධිමතුන්ට නිවස්නයක් වූ අතර ම ඔවුහු උද්යෝගීමත් ජාතිකවාදීහු වූහ. දෙවැනි පෝලන්ත සමූහාන්ඩුව පිහිටුවීමෙන් පසු, රින්ගල්බ්ලුම් ඉතිහාසය හැදෑරීමට ගැලීසියාවය අතහැර පෝලන්තයේ නව අගනුවර වූ වෝසෝවට ගියේ ය.

එමානුවෙල් රින්ගල්බ්ලුම්

1920 ගනන්වල වෝසෝව දේශපාලනිකව කැලඹුනු නගරයක් වූ අතර යුරෝපයේ විශාල ම යුදෙව් ප‍්‍රජාවට නිවස්නය විය. මෙහි දී, රින්ගල්බ්ලුම් කම්කරු පන්තික දේශපාලනයේ ද ඉතිහාස ලේඛනයේ ද වැදගත් නායකයෙකු ලෙස ඉස්මතු විය. විස්තරාත්මක, වෛෂයික හා සංකීර්න පරිච්ඡේදයක් තුල කසෝව් ඉතිහාසඥයෙකු ලෙස රින්ගල්බ්ලුම්ගේ දෘෂ්ටිය හැඩගස්වන ලද වාමාංශික යුදෙව් දේශපාලනය විස්තර කර යි.

එය කම්කරු පන්තියේ ඉතාමත් පීඩිත ස්ථරය පමනක් නො ව එකිනෙකට වෙනස් බොහෝ සුලුධනේශ්වර ස්ථරයන් ද ඇතුලත් වුනු විශාල යුදෙව් ජනගහනය සමග පෝලන්තය යුදෙව් දේශපාලන සංවිධානයන්ගේ මිශ‍්‍රනයක කේන්ද්‍රය විය.

1903දී බෝල්ෂෙවික් හා මෙන්ෂෙවික් යන දෙකින් ම බෙදුනු බුන්ද් පක්ෂය ලඟට ඉතාමත් වැදගත් යුදෙව් සංවිධානය වූයේ ට්සියොන් කම්කරුවා (Poalei Tsiyon) සංවිධානය යි. පක්ෂය ආරම්භ කෙරුනේ 1900 ගනන් වල ය. එහි ප‍්‍රධාන සාංකල්පික බලපෑම වූයේ කම්කරු සියොන්වාදී බෙර් බොරොකෝව් ය. යුදෙව් ප‍්‍රශ්නය පිලිබඳ බෝල්ෂෙවික් ආස්ථානයට පහර දෙමින් බොරොකෝව් තර්ක කලේ, ධනේශ්වරයට එරෙහිව පන්ති අරගලය මෙහෙයවීම හා ජාතික පීඩනයට එරෙහිව සටන් කිරීම යන දෙකට ම යුදෙව් කම්කරු පන්තියට තමන්ගේ ම ජාතික රාජ්‍යයක් අවශ්‍ය බවට යි.

1917 ඔක්තෝබරයේ දී කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමෙන් පසු, බෝල්ෂෙවික් ආන්ඩුව පලමුවරට නැගෙනහිර යුරෝපයේ යුදෙව් ප‍්‍රජාවගේ සැලකිය යුතු කොටසකට සම්පූර්න ප‍්‍රජා අයිතිය ලබා දුන්නේ ය (කියවන්න: Anti-Semitism and the Russian Revolution (යුදෙව් විරෝධය හා රුසියානු විප්ලවය). මෙම වර්ධනයන්ට ප‍්‍රතිචාර වශයෙන් ට්සියොන් කම්කරුවා සංවිධානය 1920දී වාම හා දක්ෂිනාංශික පාර්ශ්වවලට බෙදුනි. (1917 දෙසැම්බරයේ ඔහුගේ මරනයට පෙරාතුව බොරොකෝව් ම ද විප්ලවයට එරෙහිව හැරුනි.) දක්ෂිනාංශය විප්ලවයට විරුද්ධ වූ අතර පලස්තීනය තුල යුදෙව් ජාතික රාජ්‍යයක අඩිතාලම සඳහා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ සහයෝගය එක්කාසු කිරීම දෙසට නැඹුරුවුනි. පලස්තීනයේ දී, දක්ෂිනාංශික ට්සියොන් කම්කරුවා ඩේවිඩ් බෙන් ගුරියන්ගේ කම්කරු එක්සත්කම නම් සංවිධානයට පදනම් විය, ඊස්රායල් Ahdut HaAvoda (කම්කරු පක්ෂයේ) පුරෝගාමීයා වූ මොහු 1948දී ඊස්රායල් රාජ්‍ය පිහිටුවීමේ දී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේ ය. v

ඊට වෙනස්ව, එහි සාමාජිකයින් සිවිල් යුද්ධය තුල දී බොල්ෂෙවිකයන්ට සහාය දුන් වාම සියොන් කම්කරුවා (එල්පීඑස්), සෝවියට් සංගමය ආරක්ෂා කල අතර ලෝක විප්ලවයට පක්ෂ විය. කෙසේ නමුත්, තුන්වැනි ජාත්‍යන්තරයට (කොමින්ටර්න්) ඇතුලත් කර ගැනීමට එල්පීඑස් කල ඉල්ලීම ලෙනින් විසින් ප‍්‍රතික්ෂේප කරන ලද්දේ එම පක්ෂය බෙර් බොරොකෝව්ගේ දෘෂ්ටිවාදයෙන් කැඩීම ප‍්‍රතික්ෂේප කල බැවිනි. එසේ නමුදු “සමාජවාදී පදනම” මත පලස්තීනයේ යුදෙව් ජාතික රාජ්‍යයක් පිහිටුවීමට එල්පීඑස් දිගටම සහාය දුන්නේ ය. සංවිධානයේ දේශපාලන හා සංස්කෘතික වැඩවලට කේන්ද්‍ර වූයේ යුදෙව් සංස්කෘතිය, නැගෙනහිර යුරෝපයේ දරිද්‍රාපන්න යුදෙව් ජනතාවගේ භාෂාවේ වැදගත්කම පිලිබඳ එහි අවධාරනය යි.

සමස්තයක් ලෙස, 1917දී කම්කරු පන්තිය බලය ගැනීමට විරුද්ධ වූ ද එමෙන් ම දෙවැනි ජාත්‍යන්තරය තුල දිගට ම වැඩ කලා වූ ද වඩා ප‍්‍රසිද්ධ හා විශාල බුන්ද් සංවිධානයට වෙනස් ව, සැලකිය යුතු ලෙස එල්පීඑස් වමට බර ව නැගී සිටියේ ය. එල්පීඑස් හා එහි තරුන සංවිධානයේ බොහෝ සමාජිකයින්, සැබවින්ම 1920 ගනන් හා 30ගනන් වල මුල පෝලන්ත කොමියුනිස්ට් පක්ෂය වෙත පලා ගිය අතර සංවිධාන දෙක ම බොහෝ විට එක්ව වැඩ කලෝ ය.

යුදෙව් කම්කරුවන් හා බුද්ධිමතුන් සැලකියයුතු කොටසකගේ අත්‍යාසමාන දරිද්‍රතාව හා පෝලන්තයේ ජෝශප් පිල්සුඩ්ස්කිගේ තන්ත‍්‍රය යටතේ වැඩෙන යුදෙව් විරෝධය සලකන විට, වාමාංශික සංවිධාන දෙක ම වැදගත් සහායක් අත් වින්දෝ ය. බුන්ද් හා එල්පීඑස් ආකර්ෂනීය පුවත්පත් ජාලයක් පාලනය කලහ, ඔවුන්ගේ ම පාසල් පවත්වා ගෙන ගිය අතර අතිවිශාල සංඛ්‍යාවක් ස්වයං-සේවා හා වෘත්තීය සමිතිවල ක‍්‍රියාකාරී වූහ. කසෝව් පෙන්වා දෙන පරිදි:

ලූඩ්ස් නගරයේ බලූත් හෝ වෝසෝවේ ස්මොක්ෂා වීදියේ කුටියක ජීවත් වූ තරුනයෙකුට බුන්ද් හා එල්පීඑස් වැනි කන්ඩායම් හුදෙක් දේශපාලන පක්ෂයකට වඩා වැඩි දෙයක් විය. ඔවුන් නියෝජනය කලේ “වඩා යහපත් දෙයක්” සඳහා පරිශ‍්‍රමයකට මාවතක් වන ස්ව-ගෞරවයේ හා මානව අභිමානයේ මාර්ගයකි. (පිටු 35)

කෙසේ නමුත්, සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදයේ නැගීමත් සමග එල්පීඉසඩ් දේශපාලනිකව පැවතුනේ නැත. සෝවියට් සංගමය තුල වෙනස්වන ජාතික ප‍්‍රතිපත්තිවල බලපෑම, මොස්කව් හොරනඩු, ඔහුගේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රතිවාදියා වූ ලියොන් ට්‍රොට්ස්කි සමග එකඟත්වය පලකරන්නේ යයි ස්ටැලින් සැක කල පෝලන්ත කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය හා සමාජිකයින්ගෙන් වැඩි දෙනා ඝාතනය කිරීම, ඊට පසු 1938දී ස්ටැලින් විසින් පෝලන්ත කොමියුනිස්ට් පක්ෂය විසුරුවා හැරීම දෙසට කොසෝව් ඉඟිකරනවා පමනි. 1920 ගනන්වල මැද සිට වාම විරුද්ධ පාර්ශ්වයට එරෙහිව අරගලය තුල දී නිලධාරී තන්ත‍්‍රය විසින් යොදා ගන්නා ලද යුදෙව් විරෝධය ද යමෙකුට මෙම ලැයිස්තුවට එකතු කල හැක. 1930 ගනන්වල මුල ඇරඹුනු බරපතල දේශපාලනික හා මූල්‍ය අර්බුදයකට මුහුන දෙමින් එල්පීඉසඩ් 1937දී, දෙවනි ලෝක යුද්ධය ආසන්නයේ දී, ලෝක සියොන්වාදී සම්මේලනයට නැවත එකතු විය.

පක්ෂය බෙදීමට ක්ෂනික ඉක්බිත්තේ කම්කරු ට්සියොන් සංවිධානයේ සාමාජිකයෙකු වූ රින්ගල්බ්ලුම් ඊට පසු වාම කන්ඩායමට එකතු විය. ඔහුගේ ජීවිතයේ අවසානය වන තෙක් ඔහු පක්ෂයේ සිටියේ ය. 1920 ගනන් හා 30ස් ගනන් අතර ඔහු පක්ෂයේ තරුන සංවිධානය වන Yugnt (යුග්න්ට්) තුල ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල අතර, ඔහුගේ වැඩවල වැඩි කොටස යොමු කලේ කම්කරුවන්ගේ සන්ධ්‍යා පන්තිවල දී එල්පීඉසඩ් සංවිධානය තුල දුප්පත් යුදෙව් තරුනයන්ට අධ්‍යාපනය ලබා දීම කෙරෙහි ය.

නැගෙනහිර යුරෝපීය යුදෙව් ශිෂ්ටත්වයේ කේන්ද්‍රය ලෙස වෝසෝව ක‍්‍රමක‍්‍රමයෙන් පීටර්ස්බර්ග් හි තැන ගනිමින් තිබිය දී, අයිසැක් ස්ෂිපර් හා බෙලා මන්ඩෙල්ස්බර්ග් වැනි ඉතිහාසඥයින් සමග රිබ්ගල්බ්ලූම්, තරුන ඉතිහාසඥයින්ගේ කවය ඇරඹුවේ ය. මාක්ස්වාදය හා සියොන්වාදයේ බලපෑම යටතේ, මෙම ඉතිහාසඥයින් අවධාරනය කලේ ඓතිහාසික පර්යේෂන යුදෙව් ජනතාවගේ විමුක්තිය හා අන්තර් යුද පෝලන්තයේ වැඩෙන යුදෙව් විරෝධයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතික අරගලයේ ආයුධයක් වූ බව යි.

එමානුවෙල් රින්ගල්බ්ලුම් 1930දී සිය පුතු ඌරී සමග, © Yad Vashem

රින්ගල්බ්ලුම් තොරතුරු එකතුකිරීමේ වැදගත්කම අවධාරනය කලේ ය. ඔහුගේ අදහසට අනුව, ඉතිහාසය හැකිතාක් පුද්ගලයන් නිමග්න වන්නා වූ සාමූහික ව්‍යාපෘතියක් විය යුතු ය. සැබවින් ම, යුදෙව් ඉතිහාසඥයින් බොහෝ දුප්පත් හා දේශපාලනිකව හුදකලා අය වූ බැවින් ඔවුහු ඔවුන්ගේ වැඩ ඉදිරියට ගෙන යාම සඳහා බොහෝ දුරකට පෝලන්ත යුදෙව් ප‍්‍රජාව මත රැඳී සිටියහ. රින්ගල්බ්ලුම් ද ජනපදයේ මූලස්ථානය පිහිටි යුදෙව් සහන සංවිධානයක් වූ බද්ධ බෙදාහැරීමේ කමිටුව සමග සහයෝගයෙන් ප‍්‍රජා සංවිධායකයෙකු වශයෙන් වැඩ කලේ, 1930 ගනන් අතරතුර වැඩිවන්නා වූ දේශපාලනික හා ආර්ථික පීඩනය යටතේ දරිද්‍රාපන්න පෝලන්ත යුදෙව්වන්ට උදව් කිරීමට උත්සාහ කරමිනි.

වෝසෝ යුදෙව් වාසය තුල ඔයිනෙග් ෂාබස්

මිලියන 3කට වඩා වැඩි යුදෙව් ජනගහනය සමග යුරෝපීය යුදෙව්වන් මූලෝත්පාඨනය කිරීමේ ප‍්‍රධාන භූමිය පෝලන්තය වූ යුද්ධ කාලයේ, ඔහුගේ කාර්යයන් බොහොමයක් යටින් පැවතුනේ, දේශපාලඥයෙකු හා ඉතිහාසඥයෙකු වශයෙන් රින්ගල්බ්ලුම්ගේ ඒත්තුගැනීමය.

1940දී නාසීහු වෝසෝ යුදෙව් වාසය ස්ථාපිත කලෝ ය, එය නැගෙනහිර යුරෝපය තුල පිහිටි ඒ වර්ගයේ විශාලම එක විය. පුද්ගලයන් 400,000ට වඩා (නගරයේ ජනගහනයෙන් සියයට 30ක් පමන) යන්තම් සතරැස් සැතපුම් 1.3ක් (වෝසෝ නගරයෙන් සියයට 2.4ක්) තුල කොටු කෙරුනි. අල්ප ආහාර සලාක (දිනකට කැලරි180) ජනගහනයේ වඩා වැඩි කොටස හාමතේ තැබී ය. අත්‍යන්ත අධිගහනය හා සෞඛ්‍ය පහසුකම් හිඟ කොන්දේසි යටතේ උන සන්නිපාතය හා අනෙකුත් ලෙඩ රෝග පැතිරුනි. ගනන් බලා ඇති පරිදි, ගෙටෝවේ බොහෝ ලමුන්ගෙන් සියයට 80ක් දිලින්ඳන් වූහ. 1942 වන විට, මහා පිටුවහල් කිරීම ඇරඹීමට පෙර පුද්ගලයෝ 100,000ක් පමන කුසගින්න හා ලෙඩරෝගවලින් මියගියහ.

ඛේදජනක තත්වය යහපත් ලෙස වෙනස් කිරීමට විවිධ දේශපාලනික හා සමාජ ක‍්‍රියාකාරීහු ඊනියා අලේන්හිල්ෆ් (ස්වයං- උපකාර) නම් ප‍්‍රජාසත්කාරය ඇරඹී ය. ස්වයං-උපකාරයට සහාය දැක් වූ එකිනෙකට වෙනස් දේශපාලන පක්ෂ තම තමන්ගේ ම මුලුතැන් ගෙවල් සැකසූහ. ආරම්භයේ දී ස්වයං සිද්ධව ඇරඹී තිබූ නිවාස කමිටු තුල ඉක්මනින් ම ප‍්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට ද අලේන්හිල්ෆ් පෙරට ආවේ ය. රින්ගල්බ්ලුම් අලේන්හිල්ෆ් තුල ප‍්‍රධාන නායකයෙකු වූ අතර, ස්වයං-උපකාර සංවිධානයේ ආවරනය යටතේ 1941 මුල දී ඔයිනෙග් ෂාබස් ස්ථාපිත කලේ ය. (පැරනි හීබෲ භාෂාවට අනුව ඔයිනෙග් ෂාබස් යනු ආස්වාදජනක විවේක දිනය යි: එම නම සංකේතවත් කරන්නේ කාර්යමන්ඩලය ආරම්භයේ දී ඉරිදා හමුවූ බව යි)

ඔයිනෙග් ෂාබස් සමන්විත වූයේ දේශපාලන හා පුද්ගල පසුබිමේ බොහෝ සේ එකිනෙකාට වෙනස් වෘත්තිකයන් 60දෙනෙකුගේ පමන සාමාජිකයින්ගෙනි. කෙටි චරිතාපදාන සටහන් තුල කසෝව් ඔයිනෙග් ෂාබස් තුල කැපී පෙනෙන නියෝජිතයින් හඳුන්වා දෙයි. යුදෙව් රචක ගුස්ටාවා ජරේකා (1908-1943): ඒබ‍්‍රහම් ලෙවින් නම් ගුරුවරයා (1893-1943): රින්ගල්බ්ලුම් මෙන් එල්පීඉසඞ් සාමාජිකයෙක් (1889-1943): ව්‍යාපාරිකයෙකු හා යුදෙව්වාදියෙකු වූ සැමුවෙල් වින්ටර් (1891-1943): යිට්ෂැක් ජිටර්මාන් (1889-1943): වාමාංශික සියොන්වාදියෙක් හා පෝලන්තයේ ඒකාබද්ධ බෙදාහැරීම් කමිටුවේ ප‍්‍රධානියා, ලේඛක මාධ්‍යවේදී පීටර් ඔපොක්ෂින්ස්කි (1942 මිය ගිය): ආර්ථික විද්‍යාඥ මෙනබෙම් ලින්ඩර් (1911-1942) හා ජර්සි විනක්ලර් ඔවුන් අතර වූහ. යුද්ධයෙන් බේරුනේ ඔයිනෙග් සාමාජිකයින් තිදෙනෙකු පමනි.

1942 අග රින්ගල්බ්ලුම් ඔයිනෙග් ෂාබස් කාර්යමන්ඩලය ගැන මෙසේ සඳහන් කලේ ය:

ඔයිනෙග් ෂාබස් සෑම සාමාජිකයෙකු ම ඔහුගේ උත්සාහය හා වේදනාව, ඔහුගේ දුෂ්කර වැඩ හා පීඩනය, භාන්ඩ එක් තැනකින් තව තැනකට ගෙන යාමේ අනතුරුදායක වැඩ සමග ඔහුගේ අනවරත අවදානම් ගැනීම― මෙය කරන ලද්දේ උසස් පරමාදර්ශයක නාමයෙන් බව― දැන සිටියහ... ඔයිනෙග් ෂාබස් සහෝදරත්වයක් විය, ඔවුන්ගේ ධජයේ ලියූ සහෝදරයන්ගේ නියමය මෙසේ ය: කැපවීමේ සූදානම, අන්‍යෝන්‍ය ගරුත්වය, හා (යුදෙව් සමාජයට) සේවය කිරීම. (උපුටා ගත්තේ, පිටු 145)

යුද්ධයට පූර්වයෙන් ඒබ‍්‍රහම් ලෙවින් සමග සිය දියනිය ඔරා . දෙදෙනම 1943 ආරම්භයේ දී මරාදැමුනි, © Yad Vashem

ලේඛනාගාරයේ කාර්යමන්ඩලය නාසීන්ගේ යුදෙව් වධබන්ධන පිලිබඳ වාර්තා දහස් ගනනක් එකතු කලහ. ගෙටෝ සමාජය පිලිබඳ ව හැකි පමන සම්පූර්න චිත‍්‍රයක් ඉදිරිපත් කිරීමට පරිශ‍්‍රම දරමින්, අනෙක් දෙවල් අතර, ගෙටෝවේ හා පෝලන්තයේ ආර්ථිකය සඳහා කොල්ලකෑමේ මගඩිය ද ඔවුහු පරීක්ෂා කලහ. නාසීන් විසින් සම්ප‍්‍රදායානුකූල කුඩා ගම්මාන විනාස කිරීම හා යුද්ධය අතරතුර පෝලන්ත-යුදෙව් සම්බන්ධතාව ගැන තොරතරු රැස් කිරීමට ඔවුහු රචනා තරඟ ද පැවත්වූහ.

ලේඛනාගාරයේ සාමාජිකයෙකු ද වූ ආර්ථික විද්‍යාඥ මෙනකම් මෙන්ලේ (1881-1943) මෙසේ සඳහන් කලේ ය:

ප‍්‍රවීන වුවත් නැතත්, ජර්මානුවන් කර ඇත්තේ කුමක් දැ යි තමා දැක හෝ අනෙකුත් අයගෙන් අසා ඇති සියල්ල ලියා තැබීම සෑම අයෙකුගේ ම පූජනීය යුතුකමක් යැයි මම සලකමි... එක දු කරුනක් වත් අත නොහැර සෑම දෙයක් ම වාර්තා කල යුතු ය. අවස්ථාව පැමිනුනා ම―එය සත්තකින්ම සිදුවන්නා සේ ―මිනීමරුවන් කර ඇත්තේ කුමක් දැ යි ලෝකයාට කියවීමට හා දැන ගැනීමට ඉඩ දෙනු මැනවි. මෙම කාලය ගැන වැලපෙන්නන් ලියන දේ, ඔවුන්ගේ වඩාත් ම වැදගත් ලේඛන වනු ඇත. අප වෙනුවෙන් දඬුවම් දෙන්නන් ගනදෙනු බේරා ගැනීමට පැමිනෙනවා ඇත, ඔවුන්ට (අපගේ ලේඛන) මත විශ්වාසය රැඳවිය හැකි වනු ඇත. (උපුටා ගත්තේ, පිට 154)

ලේඛනාගාරයේ කටයුතු සඳහා තවත් අරමුනක් වූයේ, යුදෙව් ජීවිතය පිලිබඳ ලේඛන හා ඔවුන් දැක්වූ ප‍්‍රතිරෝධය මෙන්ම යුදෙව් බුද්ධිමතුන්ගේ වටපිටාව සුරැකීමයි. යුදෙව් බුද්ධිමය ප‍්‍රභූවේ උරුමය පිලිබඳ වාර්තා ආරක්ෂා කිරීම යි. කසෝව් සඳහන් කරන පරිදි:

හීබෘ හා යිඩිෂ් (යුදෙව්) භාෂාවන්ගේ නූතන නිකායික පාසල් පද්ධතියේ උපත හා නාසි සංහාරය වෙන්වුනේ, වසර විසිපහකින් පමනි. එනමුත් මෙම කෙටි කාල පරිච්ඡේදය නැගෙනහිර යුරෝපීය යුදෙව් ලේඛකයන්, ගුරුවරුන්, අර්ථ ශාස්ත‍්‍රඥයින් හා මාධ්‍ය වේදීන්ගේ නව බුද්ධිමතුන් උපදවා තිබුනි, බොහෝ යුහුසුලු ව මරා දැමුනු, මුලුමනින් ම සමූලඝාතනය කෙරුනු බුද්ධි ගනයා, මුලුමනින් ම අමතක කර දැමෙනු ඇතැ යි රින්ගල්බ්ලුම් බිය විය. (පිටුව 366)

ඔයිනෙග් ෂාබස් නිර්මාන මත පදනම් වෙමින් කසෝව් පින්තාරු කරන්නේ, දැවන්ත අසමානතා හා එකිනෙකට වෙනස් දේශපාලන ප‍්‍රවනතා සහිත ගෙටෝ සමාජය පිලිබඳ සංකීර්න චිත‍්‍රයකි. ඔහු යුදෙව් සභා ගැන එකිනෙකට වෙනස් ආස්ථානයන්, එමෙන් ම යුදෙව් පොලිස් භටයින්ගේ හැසිරීම හා ඔවුන් පිලිබඳ මහජනයාගේ දෘෂ්ටිය විශ්ලේෂනය කර යි.

ගෙටෝවේ ජනසංඛ්‍යාව තුල එකිනෙකට වෙනස් මනෝගතීන්ද ඔහු විස්තර කර යි. නාසීන්ගේ ―ඒබ‍්‍රහම් ලෙවින් දක්ෂ ලෙස හැඳින් වූ “විසිවන සියවසේ හන්ස්වරුන්” (නැගෙනහිර යුරෝපයේ, කොකේසස් හා මධ්‍යම ආසියාවේ විසූ එඬේර ගෝත‍්‍රිකයින් - පරි) ― කම්පනයට පත් කරන කෲරත්වය හා ම්ලේච්ඡත්වය දකිමින් බොහෝ ගෙටෝ වැසියන් බරපතල ලෙස අධෛර්යමත් ද අශුභවාදී ද වූහ. ශිෂ්ටාචාරයේ පෙර නො වූ විරූ බිඳවැටීම සැලකිල්ලට ගනිමින් ඔවුහු බුද්ධිප‍්‍රබෝධයේ හා ප‍්‍රන්ස විප්ලවයේ අගයන් හා විශ්වාසයන්ගේ ජීවශඛ්‍යතාව ප‍්‍රශ්න කිරීම ඇරඹූහ.

රින්ගල්බ්ලුම් ද, අපේක්ෂා භංගත්වයට ඇද නො වැටීමට සටන් කලේ ය. 1920 ගනන් හා 30ස් ගනන්වල ස්ටැලින්වාදයේ බලපෑම වටහා ගැනීමට අසමත්වූ බොහෝ අය මෙන් ඔහු ද 1930 ගනන්වල ජර්මානු කම්කරු පන්තියේ සම්පූර්න පසුබෑම අවබෝධ කර ගැනීමට වෙර දැරුවේ ය. කෙසේ නමුත් ඉච්ඡාභංගයට ඇද වැටීම නො තකා රින්ගල්බ්ලුම්, අවසානය දක්වා ම ලෝක විප්ලවය හා මානව ප‍්‍රගතිය ගැන විශ්වාසයෙන් යුතුව සිටියේ ය. ලේඛනාගාර කාර්යමන්ඩලයෙන් දිවි රැකගත් තිදෙනාගෙන් අයෙකු වන හර්ෂ් වේසර් සමග සාකච්ඡාවක දී රින්ගල්බ්ලුම් මෙසේ පැවසී ය:

යුදෙව්වන් පමනක් ඇතුලත් යමක්, යුදෙව්වන් ගැන පමනක් වන දෙයක් හා යුදෙව්වන් ගැන පමනක් උත්සුක වනු ඇති භින්න ව්‍යාපෘතියක් ලෙස මම අපේ වැඩ නො දකිමි. මගේ මුලු ආත්මය ම එයට විරුද්ධව කැරලි ගස යි. යුදෙව්වෙකු ලෙස, සමාජවාදියෙකු ලෙස හෝ ඉතිහාසඥයෙකු ලෙස මට එවැනි ප‍්‍රවේශයක් සමග එකඟ විය නො හැක. හැම දෙයක් ම අන්‍යෝන්‍ය පරවස සමාජ සන්තතියේ භිය උපදවන සංකීර්නතාව සලකා බලන විට, අප ම හුදකලාව තුල දැක ගැනීම හැඟීම් ඇති නො කරනු ඇත. යුදෙව්වන්ගේ වද වේදනා සහ යුදෙව් නිදහස හා විමුක්තිය පොදු ව්‍යසනයේ සහ වෛරී (නාසි) බන්ධනය බිඳ දමන විශ්වීය ගමනේ කොටසකි. අප අප ගැන ම සිතිය යුත්තේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිනිස සේවය කරනු ඇති, වෛෂයික වාර්තා ගත කිරීමේ ස්ථාවර ව්‍යුහයක් ගොඩනැගීමේ විශ්වයීය උත්සාහයේ හවුල්කරුවන් ලෙස ය. අපගේ අත්දැකීමේ හා අපගේ අවබෝධයේ ගඩොල් හා සිමෙන්ති අත්තිවාරමක් සැපයීමට සමත් වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. (උපුටා ගත්තේ පිට 387)

1941 ජූනි 22දා ජර්මනිය සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීමෙන් අනතුරුව, නාසි තන්ත‍්‍රය නැගෙනහිර යුරෝපය සිසාරා යුදෙව් විරෝධී ප‍්‍රතිපත්ති උත්සන්න කලේ ය. 1942 මුල දී, නාසීහු ලූඩ්ස් ගෙටෝවේ සිට චෙල්ම්නෝ හි ඝාතකාගාරයට යුදෙව්වන් පිටුවහල් කිරීම ඇරඹූහ. ක‍්‍රැකෝව් නගරයේ විශාල පිටුවහල් කිරීම වහාම ඇරඹුනි. යුදෙව් ගම් හා කුඩා නගර එකින් එක අතු ගා දැමුනු අතර ජනයා ඝාතනය කෙරුනි. යුරෝපය පුරා බොහෝ තොරතුරුවලට ලඟා වීමේ පහසුකම් තිබුන රින්ගල්බ්ලූම්ට පවා නාසීන්ගේ යුදෙව් ඝාතනවල පරිමාව ග‍්‍රහනය කර ගත නො හැකි විය.

ඔයිනෙග් ෂාබස් විසින් පෝලන්ත රහස් ව්‍යාපාරයකට සපයන ලද තොරතුරු මත පදනම්ව, 1942 මැයි මස අග දී බීබීසී ප‍්‍රවෘත්ති සේවය දිග හැරෙන ජන සංහාරය ගැන පලමු ප‍්‍රධාන ප‍්‍රවෘත්ති වාර්තාවක් විසුරුවා හැරියේ ය. ඉන් ක්ෂනික ඉක්බිත්තේ, 1942 ජූනි 22වැනිදා වෝසෝ ගෙටෝවේ මහා පිටුවහල් කිරීම ඇරුඹුනි. මාස කීපයක් ඇතුලත යුදෙව්වාසයේ ජනයාගෙන් වැඩි දෙනා වට කර අල්ලා ගෙන කුප‍්‍රකට අම්ස්ක්ලැග්ප්ලූට්ස් නම් කොටු කිරීමේ චතුරශ‍්‍රයට ගෙන විත් ට‍්‍රබේලින්කාවලට පිටුවහල් කරන ලද අතර, එහි දී සියල්ලෝම ඝාතනය කරන ලදී. 1942 නොවැම්බර් මාසයේ සිට ස්ත‍්‍රී/පුරුෂ භාවය හා වයස අනුව එනම්, ගෙටෝවේ ජනයාගේ ප‍්‍රභේදනය අනුව, ඔයිනෙග් ෂාබස් මහා පිටුවහල් කිරීමේ බලපෑම විශ්ලේෂනය කරන ලදී. වයස අවුරුදු එකේ සිට නවය දක්වා ලමුන්ගෙන් සියයට 99ක් ද අවුරුදු 50ට වඩා වැඩි අයගෙන් සියයට 88ක් ද ඝාතනය කරන ලද බව එය හඳුනා ගත්තේ ය. පිටුවහල් කිරීමට පෙර එහි ලමයි 51,458ක් වූහ. 1942 නොවැම්බර් වන විට එහි වූයේ ලමුන් 498දෙනෙකු පමනි. සමස්තයක් ලෙස, 1942 ජූලි 22දා සිට සැප්තැම්බර් 21 දක්වා කාලය තුල දී ගනන් බලා ඇති පරිදි වෝසෝ යුදෙව්වෝ 265,000ක් ඝාතනය කරන ලදහ.

Warsaw Jews at the Umschlagplatz during the Great Deportation, © Yad Vashem

මෙතෙක් එකතු කරන ලද ලේඛනාරක්ෂක තොරතුරු, මහා පිටුවහල් කිරීමේ පලමු සතිවල දී සඟවා තැබුවේ කිරි භාජන තුනක ය. ඒබ‍්‍රහම් ලෙවින් හා පීටර්ස් ඔපොක්සින්කි ඇතුලු කාර්යමන්ඩලයේ කීප දෙනෙක්, ඔවුන්ගේ ම පවුල්වලින් අඩු වශයෙන් කොටසක් හෝ ඔවුන්ගේ මරනය සඳහා ටෙ‍්‍රබ්ලින්කාවට යැවෙද් දී පවා ඔවුන්ගේ දින පොත් ලිවීම අඛන්ඩව කර ගෙන ගියහ.

පිටුවහල් කිරීමෙන් පසු, ගෙටෝව තුල මනෝගතිය නාටකාකාර ලෙස වෙනස් වුනි. බොහෝ විට සෑම අයෙකුට ම පාහේ සිය පවුල්වල බොහෝ දෙනා අහිමි කරන ලද අතර සමාජ විසිරීම සලකුනු කෙරුනු සංඥා තිබුනා පමනක් නො ව, නාසි මිනීමරුවන්ට විරෝධය දැක්වීමට වැඩිවෙන්නා වූ අධිෂ්ටානයක් ද පැවතුනි. ඔයිනෙග් ෂාබස් සාමාජිකයින්ගෙන් බොහෝ දෙනා 1943 අපේ‍්‍රල්-මැයි වෝසෝ ගෙටෝ නැගිටීම සූදානම් කිරීමට සම්බන්ධ වූහ. එහි පෝලන්ත හා යුදෙව් භාෂා බුලටීන්වල ඔයිනෙග් ෂාබස් ආසන්න මූලෝත්පාටනය ගැන පෝලන්ත යුදෙව්වන්ට අනතුරු ඇඟවූයේ වාඩිලාගත්තවුන්ට එරෙහිව සටන් කරන ලෙස ඉල්ලමිනි.

තරුනයන් 200දෙනෙකු විසින් පෙරමුන ගන්නා ලද නැගිටීමට ප‍්‍රතිචාර වශයෙන්, ගෙටෝවට ගිනි තැබූ නාසීහු එය බිමට සමතලා කලහ. රින්ගල්බ්ලුම් හා ඔහුගේ පවුලේ අය ගෙටෝවේ විනාසයට පෙර ඉන් බේරී පලායාමට සමත් වූ අතර අවසානයේ දී බංකරයක සරන සොයා ගත්හ, එහි දී පෝලන්ත මහාචාර්යවරයෙකු වන වොල්ස්කි තවත් 30කු සමග ඔවුන් සඟවා තැබුනි. 1944 මාර්තුවේ දී ජර්මානුවෝ සැඟවුනු තැන සොයා ගත්හ (අනුමාන කරන හැටියට වොල්ස්කිගේ පෙම්වතිය ඔවුන් පාවා දුන්නා ය). වොල්ස්කි ද ඔහුගේ පවුලේ තව කීපදෙනෙකුට ද වෙඩි තබන ලදී. වඩාත් වෙන්නට ඉඩ ඇති පරිදි රින්ගල්බ්ලුම්ට ගෙස්ටපෝව විසින් වද දී ඔහුගේ පවුල හා අනෙකුත් හිරකරුවන් සමග ගෙටෝ නටබුන්වලට ගෙන යන ලදී. යුදෙව් ලේඛක යෙකීල් හර්ක්ස්හෝට් විසින් ඔහුගේ පුතා හා බිරිඳ නොමැතිව පෝලන්තයෙන් පිටව යාමට මගක් පෙන්වා දුන් විට, ඔහු එය ප‍්‍රතික්ෂේප කලේ ය. ටික දිනකට පසු ඔහුගේ පවුලේ අය, හර්ක්ස්හෝට් හා වෝසෝ ගෙටෝවේ අනෙකුත් සියලු සිරකරුවන් සමග රින්ගල්බ්ලුම් ද වෙඩි තබා ඝාතනය කරන ලදී.

A patrol of SS men during the uprising marching through the burning Ghetto

ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ දී පවා, රින්ගල්බ්ලුම් නොනවත්වා ඔහුගේ වැඩ කරගෙන ගියේ ය. කසෝව් පෝලන්ත-යුදෙව් සම්බන්ධතාව පිලිබඳ රින්ගල්බ්ලුම්ගේ රචනාවේ දැවන්ත ජයග‍්‍රහන අවධාරනය කර යි. සිතා ගත හැකි ඉතාමත් දුෂ්කර වාතාවරනයන් යටතේ ලියන ලද්දේ වුව ද, රචනාව සිත් කා වදින ලෙස වෛෂයික වන අතර ― රින්ගල්බ්ලුම්ගේ ආදර්ශ පාඨය වූයේ ‘වෛරයෙන් තොරවීම හා ප්‍රෝත්සාහි බව’ යි― මෙම විෂය පිලිබඳ ඉතාමත් වටිනා කෘතීන්ගෙන් එකක් ලෙස පවතී. එය පොර බදන්නේ පෝලන්ත ජනතාවගේ ඇතම් කන්ඩායම් විසින් කරන ලද යුදෙව් විරෝධී වදහිංසා වැනි ප‍්‍රශ්න සමගිනි, 1945න් පසු දශක ගනනාවක් තිස්සේ ඒවා ඉතිහාසඥයින් විසින් මතු නො කල යුතු ඒවා ලෙස පැතුනි.

ඔයිනෙග් ෂාබස් හා එහි උත්තුංග නායකයින් කීප දෙනෙකු පිලිබඳ ඉතිහාසය පුලුල්, ජාත්‍යන්තර පේ‍්‍රක්ෂකයන්ගේ අවධානයට ගෙන ඒම වෙනුවෙන් සැමුවෙල් කසෝව් මහත් ගෞරවයට සුදුසු ය. සුපිරිසිදු ව අධ්‍යයනය කරන ලද්දා වූ ද එහි ආඛ්‍යානයේ දී ස්ථිරසාර ලෙස වෛෂයික වූ ද කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද? යන ග‍්‍රන්ථය වැදගත් ශාස්ත‍්‍රාලික ජයග‍්‍රහනයකි.

එහි ප‍්‍රධාන වටිනාකම් වලින් එකක් වන්නේ ඓතිහාසික සත්‍ය පිලිබඳ රින්ගල්බ්ලුම්ගේ උත්සුකය හැඩ ගැස් වූ පූර්ව යුද්ධ පෝලන්තයේ දේශපාලනික හා බුද්ධිමය සංස්කෘතිය පිලිබඳ පුලුල් විස්තරය යි. විශේෂයෙන් ම විසිවන සියවසේ පෝලන්ත ඉතිහාසඥයින් අතර කාවැදුනු කොමියුනිස්ට් විරෝධයට වෙනස් ව, වාම කම්කරු ට්සියොන් සංවිධානය හා එහි සාමාජිකයින්ගේ දේශපාලනය හා දෘෂ්ටිවාදය වෙතට කසෝව් ගන්නේ බැරෑරුම් හා වෛෂයික ප‍්‍රවේශයකි. මොනවා වුනත්, පෝලන්තයේ කම්කරු ව්‍යාපාරය තුල ස්ටැලින්වාදයේ විනාසකාරී බලපෑම ගැන කසෝව්ගේ වාර්තාව යොමු කරන්නේ ඉතා කුඩා අවධාරනයක් බවට ඇතැමෙකු විරුද්ධ වීමට ඉඩ ඇත.

මාක්ස්වාදය දෙසට වූ රින්ගල්බ්ලුම්ගේ නැඹුරුව, ඉතිහාඥයෙකු වශයෙන් ඔහුගේ මහත් ම දුර්වලතාව වූ බව කසෝව් විසින් පැහදිලිව දකිනු ලබන අතර, මෙම ග‍්‍රන්ථය පෙන්වන්නේ රින්ගල්බ්ලුම්ගේ කෘති වල සිත්ගන්නා සුලු වෛෂයිකත්වය, අවංකභාවය මෙන් ම ශුභවාදය පොලඹවන ලද්දේ විශාල වශයෙන් මාක්ස්වාදය හා රුසියානු විප්ලවයේ බලපෑම බව යි.

ඔයිනෙග් ෂාබස් පිලිබඳ පලමු විස්තරාත්මක ඉතිහාසය ලිවීමට හා ප‍්‍රකාශයට පත් කිරීමට දශක හයකට වඩා වැඩි කලක් ගතවීම, 1945 ජර්මානු රයිකයේ පරාජයෙන් පසු ධනවාදය නැවත ස්ථාපිත කිරීම පසුව එන දේශපාලනික හා බුද්ධිමය වාතාවරනය ගැන බොහෝ දේ පවස යි. (අද දක්වා, පෝලන්තයේ හොලෝකෝස්ටය තුලට පුංචි මුල් අධ්‍යයනයක් පවා යෝජනා කරනු ලැබ ඇත්තේ යුදෙව් නො වන ජර්මානු ඉතිහාසඥයෙකු විසින් බව යමෙකු සඳහන් කිරීමට ද ඉඩ ඇත.) විශේෂයෙන් ම, එමානුවෙල් රින්ගල්බ්ලුම් පෝලන්තය තුල මෙන් ම ජාත්‍යන්තර ව පුලුල් පාඨකයන් අතර ද ශාස්ත‍්‍රාලිකයින්ගෙන් ද ලැබ ගෙන ඇත්තේ ඉතා කුඩා අවධානයකි.

2007දී එහි ප‍්‍රසිද්ධ කිරීම මත, ග‍්‍රන්ථය ලැබුවේ ඉතා යහපත් විචාරාත්මක ජය ඝෝෂාවකි. සුපිරිසිදුව සංස්කරනය කරන ලද කෘතියක් නිම කිරීම වෙනුවෙන්, ඉන්දියානා මුද්‍රනාලය හා එහි ප‍්‍රධාන සංස්කාරිකා ජැනට් රබිනොවිච් සම්මානයට පාත‍්‍ර විය යුතු ය. තව ද පොත පදනම් කර ගැනුනු චිත‍්‍රපටයක් මේ වන විට සැලැසුම් කෙරෙමින් පවතී. පිටපතේ සාර්ථකත්වය පෙන්වන්නේ විෂය කරුනු හා එය ඉදිරිපත් කරන ආකාරය කාවද්දන්නේ ගැඹුරු භාවාත්මක බැම්මක් ද යන බව යි.

කව්රුන් අපගේ ඉතිහාසය ලියනු ඇත් ද? (වැඩිමනත් ලෙස) හැම අතින් ම ඉස්මතුව පෙනෙන්නේ, පශ්චාත් නූතනවාදයේ බලපෑම යටතේ විද්‍යාවක් ලෙස ඓතිහාසික සත්‍ය හා ඉතිහාස අධ්‍යයනය ප‍්‍රතික්ෂේප කිරීම ඕනෑවට වඩා බහුල දෘෂ්ටිමය වාතාවරනයක් තුල ය.

ඔහුගේ කෘතියේ ප‍්‍රධාන පනිවිඩය කුමක් දැ යි අසන ලදුව, 2009 ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවක දී සැමුවෙල් කසෝව් මෙසේ ප‍්‍රකාශ කලේ ය:

මම හිතන්නේ උරුමය (ඔයිනෙග් ෂාබස් හා රින්ජෙල්බ්ලම් ගේ) වන්නේ, ව්‍යසන කාලයන් හි දී යමෙකුට තුවක්කුවලින් පමනක් නො ව කඩදාසි හා පෑන්වලින් විරෝධය දැක්විය හැකි බව යි. ජර්මානුවන් යුද්ධය දිනුවා නම්, යුදෙව්වන් සිහිපත් කල යුත්තේ කෙසේ දැ යි ඔවුන් තීන්දු කල යුතුව තිබුනි. ඔවුන් මූලාශ‍්‍ර පාලනය කල යුතු විය, ඔවුන් මතකය හා ප‍්‍රතිරූපය පාලනය කල යුතු විය. රින්ගල්බ්ලුම් හා තවත් බොහෝ යුදෙව්වෝ එසේ අවබෝධ කර ගත්හ. ගෙටෝවේ යුදෙව්වන්, ගෙටෝවේ ඉතිහාසඥයින් ඔවුන් නියත වශයෙන් ම බේරෙන්නේ නැති බව තේරුම් ගත්තත් ... තවමත් විශ්වාස කලේ, කාල මංජුසා ඉතුරු කල යුතු බව, මූලාශ‍්‍ර ඉතුරු කල යුතු බව, ඒ මගින් අනාගත පරම්පරාව යුදෙව් මූලාශ‍්‍ර පදනම මත පෝලන්ත යුදෙව්න්, එහි කාල පරිච්ඡේදය, මතක් කරනු ඇති බව යි. සැබෑ පනිවිඩය වන්නේ ඉතිහාසය වැදගත් යන්න යි. ලියවිලි ආරක්ෂා කිරීම වැදගත් ය, වාර්තා ආරක්ෂා කිරීම වැදගත් ය. එය හුදෙක් පුරාවේදීන් සඳහා නො ව, එය හුදෙක් පුස්තකාලයාධිපතීන් සඳහා නො වන නමුත් එය සත්තකින් ම සමස්ත ජනතාවගේ ම අනාගතය පිලිබඳව ය. එමෙන් ම වඩා පොදු මට්ටමක දී, අතීතයේ දැනුම සුරක්ෂා කිරීම වෙනුවෙන් එය සැබෑ ගෞරවයක් සිතට කා වද්ද යි.

එය අමතන්නේ ඔයිනෙග් ෂාබස් හි ශ්‍රේෂ්ට උරුමයන්ට යි, ඔවුන්ගේ වැඩවල පදනම මත, ෆැසිස්ට්වාදීන් මකා දැමීමට උත්සාහ කල දේශපාලන හා බුද්ධිමය සම්ප‍්‍රදායන් හා නායකයින් තම පොත තුල ජීවමාන කිරීමට කසෝව්ට හැකි විය. බොහෝ මට්ටම්වල දී, කවුරු අපගේ ඉතිහාසය ලියනු ඇත් ද? යන කෘතිය මෑත වසරවල ඉතා වැදගත් ඉතිහාස පොත්වලින් එකක් වන අතර එය හැකි පුලූල් ම පාඨකත්වයට සුදුසු ය.

ඔයිනෙග් ෂාබස් වල සමහර ලේඛන පිලිබඳ හැඳින්වීමක් අන්තර්ජාලය මගින් සපයන්නේ යැඩ් වෂේම් විසිනි.

ඉංග‍්‍රීසියෙන් පල කරන ලද එමානුවෙල් රින්ගල්බ්ලුම්ගේ කෘති:

Notes from the Warsaw Ghetto (වෝසෝ ගෙටෝවේ සටහන්), Ibooks අයිබූක්ස්, 2006

Polish-Jewish Relations During the Second World War (දෙවැනි ලෝක යුද්ධය අතරතුර පෝලන්ත - යුදෙව් ඥාතිත්වය), නෝත් වෙස්ටර්න් යුනිවර්සිටි ප්‍රෙස්, 1992.

The diary by the Oyneg Shabes member Abraham Lewin, covering the months April 1942 to January 1943 (1942 අපේ‍්‍රල් මස සිට 1943 ජනවාරි දක්වා ආවරනය කෙරෙන ඔයිනෙග් ෂාබස් සාමාජික ඒබ‍්‍රහම් ලෙවින්ගේ දිනපොත) ද ඉංග‍්‍රීසි බසින් තිබේ.

A Cup of Tears. A Diary of the Warsaw Ghetto (කඳුලු කුසලානයක්, වෝසෝ ගෙටෝ දිනපොතක්), සංස්කරනය ඇන්ටනි පොලොන්ස්කි විසිනි, බේසික් බැක්වෙල් 1989.

කතුවරයා පහත සඳහන් ලිපිය ද නිර්දේශ කර යි:

සමාජවාදය හා ඓතිහාසික සත්‍යය
(2015 මාර්තු 17)

Share this article: