ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ සිට හැත්තෑ පස් වසරක්

Seventy-five years since the assassination of Leon Trotsky

2015 සැප්තැම්බර් 30

1940 අගෝස්තු 21දා ලියොන් ට්‍රොට්ස්කි මිය ගියේ, එවක ජීපීයූ ලෙස ප්‍රකටව තිබූ සෝවියට් සංඟමයේ රහස් පොලිස් ඒජන්තයෙකු විසින් ඊට පෙර දිනයේ සිදුකල තුවාල හේතු කොට ගෙනය. ඝාතනය සිදුවූයේ ඓතිහාසිකව පෙර නොවූ විරූ දේශපාලන ප්‍රතිගාමිත්වයේ රැල්ලක සන්දර්භය තුලය. යුරෝපය තුල ජර්මනියේ, ඉතාලියේ හා ස්පාඤ්ඤයේ බලය පැවතුනේ ෆැසිස්ට් තන්ත්‍රයන් අතය. වසරකට පමන පෙර දෙවන ලෝක යුද්ධය ආරම්භවී තිබුනි. ඒ ස්ටැලින්-හිට්ලර් ගිවිසුම අත්සන් තැබීමට යන්තම් දින කිහිපයකට පෙර 1939 සැප්තැම්බර් 1දා නාසීන් පෝලන්තය ආක්‍රමනය කිරීමත් සමඟ ය. අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ විනාශකාරී පුපුරා හැලීමේ ප්‍රතිපලයක් ලෙස කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත විනාශවිය. මෙය වනාහි දෙවන ලෝක යුද්ධය හටගැනීමට පෙර වසරවල සමාජ ප්‍රජාතන්ත්‍ර හා ස්ටැලින්වාදී මහජන පක්ෂ විසින් කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල සිතා මතාම කඩාකප්පල් කිරීමේ බිහිසුනු ප්‍රතිවිපාකය විය.

1917 ඔක්තෝබර් විප්ලවයේ ශ්‍රේෂ්ඨතම හා ඉතිරිව සිටි අවසාන නායකයා ඝාතනය කිරීම, සෝවියට් සංගමය ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය ලෙස පිහිටුවාලමින් ද ධනවාදය හා අධිරාජ්‍යවාදය පෙරලා දැමීම, සාක්ෂාත් කල හැකි මූලෝපායික අරමුනක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ තබමින් ද බොල්ෂෙවික් විප්ලවයේ ජයග්‍රහනය සහතික කල, සමාජවාදී කම්කරුවන් හා බුද්ධිමතුන්ගේ වික්‍රමාන්විත පරම්පරාවක් අතුගා දැමීම සඳහා ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් දියත්කරන ලද ක්‍රියාදාමයේ කුලුගැන්වීම සලකුනු කරයි.

ට්‍රොට්ස්කි ඝාතනය කල අවධිය වන විට ද නිලධාරිවාදී ත්‍රස්තයේ ස්ටැලින් තන්ත්‍රය, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංඟමය තුල ලක්ෂ ගනනක් මරා දමා තිබුනි. 1936 හා 1938 අතර කාලයේ මොස්කෝවේ පවත්වන ලද, බොල්ෂෙවික් පක්ෂයේ ප්‍රමුඛ පෙලේ නායකයින් දුසිම් ගනනකගේ ඉරනම තීන්දුකල අව නඩු, මිනීමරු ත්‍රස්තයේ පුලුල් රැල්ලක ප්‍රසිද්ධ ප්‍රකාශනය පමනක් විය. ස්ටැලින්ගේ සාපරාධී කඩා පැනීම්, සිය තන්ත්‍රයට සෘජු දේශපාලන තර්ජනයක් ලෙස ඔහු විසින් සලකන ලද පැරනි බොල්ෂෙවිකයින්ට පමනක් සීමා නොවීය.

ස්ටැලින්වාදී ත්‍රස්තය, ප්‍රමුඛවම සමාජවාදී ජාත්‍යන්තරවාදයෙන් ආවේෂය ලැබ ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව වර්ධනයවූ, සමස්ත සෝවියට් සංස්කෘතියම උපුටා දැමීම එල්ල කර ගත් ක්‍රියාවලියකට නොඅඩු දෙයකි. ලේඛකයින්, සංගීතඥයින්, චිත්‍රශිල්පීන්, ගනිතඥයින්, භෞතික විද්‍යාඥයින්, ජීව විද්‍යාඥයින්, අර්ථශාස්ත්‍රඥයින් හා ඉංජිනේරුවන් දඩයමට ලක්වූ අතර රුදුරු සිර ගෙවල් වලට දක්කනු ලැබ වධදී මරා දැමුනි. හුදෙක් ට්‍රොට්ස්කිට පක්ෂපාතිත්වය දැක්වූ බවට සැක කල විදේශ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් කන්ඩායම් වශයෙන් වෙඩිතබා මරා දැමුනි. සමස්ත පක්ෂ නායකත්වයන්ම විරේක කෙරුනි.

ස්ටැලින් තන්ත්‍රය විසින් එම දැවැන්ත අපරාධ සිදුකරනු ලැබුවේ, “ට්‍රොට්ස්කිවාදයට එරෙහි අරගලයේ” බැනරය යටතේය. ට්‍රොට්ස්කිට එරෙහිව යොමුවූ වෛරී සහගත නිර්දය ව්‍යාපාරය, සිය නොදැමුනු දේශපාලන විරුද්ධවාදියාට එරෙහි ස්ටැලින්ගේ පලිගන්නා උන්මාදනීය ආශාවේ ප්‍රකාශනය පමනක් නොවීය. ට්‍රොට්ස්කි පුද්ගලාරෝපනය කල ඉතිහාසය හා සටන් වැදුනු ක්‍රියාමාර්ගය තුල ඔහු නියෝජනය කලේ, ස්ටැලින්ගේ නිලධාරිවාදී-ජාතිකවාදී තන්ත්‍රයේ ප්‍රතිවිරුද්ධය වූ, දැනුවත් සමාජවාදී-ජාත්‍යන්තරවාදයයි.

ස්ටැලින් තන්ත්‍රයට ට්‍රොට්ස්කි තර්ජනයක් නොවීය යන්න සමකාලීන ශාස්ත්‍රාලිකයින් බොහොමයක් අතර පොදුවේ පැවති මතයයි. එවන් නරුම මතවාදයක් ස්ටැලින්ගේ පෞද්ගලික ලේඛනාගාරය අධ්‍යයනය කිරීමෙන් ප්‍රතික්ෂේප කෙරේ. බලය පිලිබඳ බාහිර ආයිත්තම් කිසිවක් නොමැතිව පිටුවහලේ සිටිය ට්‍රොට්ස්කිගේ අවතාරය ස්ටැලින් තුල හොල්මන් කලේය. ස්ටැලින්ගේ චරිතාපදානකරු ජෙනරාල් ඩිමිත්‍රි වොල්කොගනොව්, ස්ටැලින් “ඔහුගේ නිදන කාමරයේ විශේෂ කැබිනට්ටුවක්” තබාගෙන සිටි බව සිහිපත් කරයි. එහි යටින් ඉරි ඇඳ ප්‍රකාශ සටහන් ඇතුලත් බෙහෙවින් සලකුනු කෙරුනු “ට්‍රොට්ස්කිගේ පොත්පත් සියල්ලම වාගේ ඔහු තබාගෙන සිටියේය. ට්‍රොට්ස්කි බටහිර මාධ්‍යයට දුන් කුමන හෝ සම්මුඛ සාකච්ඡාවක් නැතිනම් කල ප්‍රකාශයක් ඉක්මනින්ම පරිවර්තනය කර ස්ටැලින්ට ලබාදී ඇත.” ට්‍රොට්ස්කි කෙරෙහි ආඥාදායකයාට පැවති බිය විස්තර කරමින් වොල්කොගනොව් මෙසේ ලියයි:

ට්‍රොට්ස්කි කථාකරමින් සිටියේ තමා වෙනුවෙන් පමනක් නොව, සෝසසසං තුල ඔහුගේ සියලු නිහඬ ආධාරකරුවන් හා විපාර්ශවයේ අය වෙනුවෙන් ද ය යන සිතුවිල්ල, විශේෂයෙන්ම ස්ටැලින්ට වේදනාකාරී විය. ඔහු Stalinist School of Falsification (මුසාකරනයේ ස්ටැලින්වාදී ගුරුකුලය), an Open Letter to the Members of the Bolshevik Party (බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයින් වෙත විවෘත ලිපියක්) හෝ The Stalinist Thermidor(ස්ටැලින්වාදී තර්මිඩෝරය) වැනි ට්‍රොට්ස්කිගේ කෘතියක් කියවන කල නායකයාට සිය ආත්ම පාලනය මුලුමනින්ම පාහේ නැතිව ගියේය.

ස්ටැලින්ගේ පාර්ශවයෙන් ගත් කල්හි ට්‍රොට්ස්කි විසින් එල්ල කල තර්ජනය, සෝවියට් සංඟමය තුල වියහැකි හා රහසිගත විපක්ෂයට පමනක් සීමා නොවීය. සියලු රටවල කම්කරු පන්තියේ ක්‍රියාමාර්ගය ලෙස සමාජවාදී ජාත්‍යන්තරවාදය යලි පිහිටුවන හතරවන ජාත්‍යන්තරය සඳහා කෙරුනු අරගලය ස්ටැලින් දැකගත්තේ, පාලක නිලධරයේ අවශ්‍යතා වෙනුවෙන් ගෙන ගිය ජාතිකවාදී පිලිවෙත් වලට වඩාත්ම අන්තරායකාරී තර්ජනය ලෙසය.

1940 අගෝස්තුවේ සිදුවූ ට්‍රොට්ස්කිගේ ඝාතනය, යුරෝපය හා ඇමරිකාව තුල ජීපීයූ ඒජන්තයින් විසින් ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිදීම හරහා, වසර ගනනාවක් තිස්සේ සූදානම් කරන ලද්දකි. සිය ආරම්භක කටයුතු වලදී ස්ටැලින්වාදී ඒජන්තයෝ, හතරවන ජාත්‍යන්තරයේ පූර්වගාමී ජාත්‍යන්තර විපාර්ශවයේ කොටස්කරුවන් වූ කුඩා ට්‍රොට්ස්කිවාදී සංවිධානවල කටයුතු, කන්ඩායම්වාදය හා කුමන්ත්‍රන හරහා කඩාකප්පල් කිරීමට උත්සාහ දැරූහ.

1933 හිට්ලර් බලයට පත්වීමට පෙර තීරනාත්මක දෙවසර තුල වාම විපාර්ශවයේ ජර්මන් ශාඛාවෙහි දේශපාලන කාර්යශූරත්වයට බරපතල විනාශයක් සිදු කල, සෙනින් හා වෙල් නමින් ප්‍රකටව සිටි සොබලොවිසියස් සහෝදරයින්, මෙම ඒජන්තයින් අතර පලමු හා වඩාත් වැදගත් පුද්ගලයෝ වූහ. ජර්මනියේ දේශපාලන වින්නැහියෙන් පසුව සෙනින් හා වෙල්, යුරෝපයේ හා එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහිව දිගටම, ජීපීයූ මෙහෙයුම් වලදී මූලික ක්‍රියාකලාපයක් ඉටු කලහ.

සියලු ජීපීයූ ඒජන්තයින්ගෙන් වඩාත්ම කුප්‍රකට පුද්ගලයා මාක් ස්බරොව්ස්කිය. පෝලන්ත සංක්‍රමනිකයෙකු වූ ඔහු, ප්‍රන්සයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනි විදීය. ස්බරොව්ස්කිගේ සහකාරිය වූ, වරෙක ඔහුගේ “දෙබිඩි නිවුන්” සහෝදරිය ලෙස ද විස්තර කරනු ලැබූ ලෝලා ඩලින්ගේ වෙහෙසකර උදව් ඇතිව හෙතෙම, “එටිනි” යන සිය පක්ෂ නාමය ද යොදා ගනිමින් හතරවන ජාත්‍යන්තරයේ නායකත්වය කරා නැග ගැනීමට සමත් විය. ඔහු, ට්‍රොට්ස්කිගේ වැඩිමහල් පුතු වූ ද යුරෝපය තුල හතරවන ජාත්‍යන්තරයේ නායකයා වූ ද ලියොන් සෙඩොව්ගේ සමීප දේශපාලන සහකරු බවට පත්විය. ස්බරොව්ස්කි-එටිනි විසින් සම්පාදනය කල තොරතුරු අනුව ජීපීයූවට, 1936 නොවැම්බරයේදී, පැරිසියේ පරියේෂන මධ්‍යස්ථානයක රහසිගතව රැස්කර තිබුනු ට්‍රොට්ස්කිගේ ලේඛනාගාරයෙන් වටිනා පදාසයක් සොරකම් කිරීමට හැකි විය. කෙසේ වෙතත් ට්‍රොට්ස්කි හා සෙඩොව් නොමැතිව පැවැත්වූ පලමු මොස්කව් නඩු විභාගයෙන් පසුව ඔවුන්ට නියමවූ මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් සොයාගත යුතු යයි ක්‍රෙම්ලිනය සිය ඒජන්තයින්ට නියම කලේය.

ට්‍රොට්ස්කි මර්දනය යුක්තිසහගත කිරීම පිනිස, අධිරාජ්‍යවාදයේ ඒජන්තයෙකු යයි ස්ටැලින් තන්ත්‍රය ඔහුට මඩ ගසන අතර, ධනපති රටවල පාලක පැලැන්ති, දඩයමට ලක්වූ පුද්ගලයාට එරෙහි ස්ටැලින්ගේ යුද්ධය තුල තම අනුකම්පාව රැඳී පැවතුනේ කොතැන්හිදැයි සැඟවූයේ නැත. නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ මොස්කව්හි ඇමරිකානු වාර්තාකාර වෝල්ටර් ඩුරාන්ටි, ප්‍රෝඩාකාරී නඩු වල නීතිමය ඒකාග්‍ර භාවය වෙනුවෙන් සහතික විය. ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය හා රූස්වෙල්ට් පාලනය අතර බැඳීම් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය මත නිමක් නැති ලිබරල් බුද්ධිමත්හු, මොස්කව්හිදී පැරනි බොල්ෂෙවිකයින් මරා දැමීම යුක්තිසහගත කරමින් ට්‍රොට්ස්කිට එරෙහි අභූත චෝදනාවන්ට විශ්වාසනීය බවක් ගෙන දීම තරම් දුර ගමන් කලහ.

1936 අගෝස්තුවේදී ප්‍රථම නඩු විභාගය ඇරඹෙන විට ට්‍රොට්ස්කි ජීවත්වුනේ පිටුවහලේය. ඒ “ප්‍රජාතන්ත්‍රවාදී” නොර්වේ රට තුලය. ස්ටැලින් මත වරද පැටවීමෙන් වැලකී සිටීමට උනන්දුවූ එරට සමාජ ප්‍රජාතන්ත්‍ර ආන්ඩුව බොරු නඩු හෙලිදරව් කිරීමට ට්‍රොට්ස්කි ගත් ව්‍යායාමය නිරර්ථක කලේය. ඔහු සහ ඔහුගේ බිරිඳ නටාලියා සෙඩෝවා නිවාස අඩස්සියේ තබමින් ආන්ඩුව, මාධ්‍ය සහ ඔවුන්ගේ ආධාරකරුවන් සමඟ කුමන හෝ සම්බන්ධයක් තහනම් කලේය. ට්‍රොට්ස්කිට ඔහුගේ සමීපතම දේශපාලන සහකරුවන් සමඟ පවා අදහස් හුවමාරුකර ගැනීමේ අයිතිය අහිමි කර තිබුනි. එක් විටෙක සමාජ ප්‍රජාතන්ත්‍ර නෝර්වීජියානු ආන්ඩුව ට්‍රොට්ස්කි සෝවියට් සංඟමය වෙත බාර දීමේ අදහස පවා දැරුවේය. අවසානයේදී ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ ඩියේගෝ රිවේරාගේ බලපෑම යටතේ ලසාර් කාඩෙනාස්ගේ වාම ජාතිකවාදී ආන්ඩුව ට්‍රොට්ස්කිට මෙක්සිකෝව තුල රැකවරනය සැලසීය. වයස් ගත එහෙත් තවමත් දෘඩතර විප්ලවවාදියා 1937 ජනවාරියේදී එහි පැමිනියේය.

ට්‍රොට්ස්කි වහ වහාම මහා “ප්‍රති නඩු විභාගයක්” සංවිධානය කිරීමට පියවර ගත්තේය. එහි අරමුන ස්ටැලින්ගේ චෝදනා ප්‍රතික්ෂේප කිරීම පමනක් නොව, සමස්තයම ගොතන ලද සාපරාධී ක්‍රියාවලියක් බව හෙලිදරව් කිරීමය. හඬ පටයක් මත පටිගත කල ප්‍රසිද්ධ ප්‍රකාශයක් තුල ට්‍රොට්ස්කි නඩු විභාග හෙලා දකිමින් මෙසේ පැවසීය:

මට එරෙහි ස්ටැලින්ගේ නඩු විභාග ගොඩනඟා ඇත්තේ, පාලක කල්ලියේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, නූතන පිරික්සුම් විධික්‍රම උපයෝගි කරගෙන ලබාගත් සාවද්‍ය පාපෝච්ඡාරන මතය. අභිලාශය හා ක්‍රියාවට නැඟූ ආකාරය අතින්, සිනෝවියෙව්-කමනෙව් හා පියටකොව්-රඩෙක් පිලිබඳ මොස්කව් නඩු විභාග තරම් බිහිසුනු අපරාධ ඉතිහාසය තුල ඇත්තේ නැත. මෙම නඩු ගෙන ගියේ කොමියුනිස්ට්වාදය විසින් නොව, ස්ටැලින්වාදය විසින් ය. ජනතාවට උඩින්, නිලධරයේ වගවීමක් නැති අත්තනෝමතිකත්වයෙනි!

දැන් මගේ මූලික කර්තව්‍යය කුමක් ද? සත්‍යය හෙලිකිරීමයි. සැබෑ අපරාධකරුවන් චෝදකයින්ගේ ලෝගු යට සැඟවී සිටින බව පෙන්වීම හා හෙලිදරව් කිරීමය.

ට්‍රොට්ස්කිගේ ඉල්ලීම ජෝන් ඩිවේ යන ප්‍රකට ඇමරිකානු ලිබරල් දාර්ශනිකයා සභාපතිත්වය දැරූ ජාත්‍යන්තර පරීක්ෂන කොමිසමක් පිහිටුවීමට තුඩු දුන්නේය. 1937 අප්‍රේල් මාසයේදී කොමිසමේ සාමාජිකයින් මෙක්සිකෝව බලා ගිය අතර එහි පැවැත්වූ ප්‍රසිද්ධ විනිශ්චය සභාවේදී ට්‍රොට්ස්කි, සිය දේශපාලන මූලධර්ම, අදහස් හා කටයුතු පිලිබඳ සෑම අංශයකටම යොමුවූ ප්‍රශ්න වලට පිලිතුරු දුන්නේය. ඔහු දින එකොලහක් සාක්ෂි දුන්නේය. පසුව කොමසාරිස්වරු ඇමරිකාව බලා පිටත්ව ගියහ. එහිදී සාක්ෂි කෙරෙහි යොමුවූ ඔවුහු අවසානයේ 1937 දෙසැම්බරයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කලහ. ඔවුන් ට්‍රොට්ස්කි නිවැරදිකරු ලෙස ප්‍රකාශ කරමින් මොස්කව් නඩු ගොතන ලද ඒවා ලෙස හෙලාදැකීය.

ස්ටැලින් තන්ත්‍රය මොස්කව් නඩු පිලිබඳ ට්‍රොට්ස්කිගේ හෙලිදරව් කිරීම් කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ හතරවන ජාත්‍යන්තරයට එරෙහි ප්‍රහාර උත්සන්න කරමිනි. 1937 ජූලියේදී ට්‍රොට්ස්කිගේ වඩාත්ම දක්ෂ ලේකම්වරයෙකු වූ අර්වින් වුල්ෆ්, ස්පාඤඤයේ යම් කටයුත්තක යෙදී සිටියදී පැහැර ගැනුනි. ඔහුට වධදී මරා දමන ලදී. 1937 සැප්තැම්බරයේදී, ජීපීයූවෙන් ඉවත්වී, ස්ටැලින් හෙලා දැක, හතරවන ජාත්‍යන්තරයට සිය සහාය පල කල ඉග්නාස් රීස්, ස්ටැලින්ගේ රහස් පොලිසිය විසින් ලුහුබඳින ලදුව ස්විට්සර්ලන්තයේදී මරා දමන ලදී. රීස්ගේ ඝාතනයට අදාල සිදුවීම්, හතරවන ජාත්‍යන්තරයේ පැරිස් මධ්‍යස්ථානය තුල ජීපීයූව විසින් පැලපදියම් කර සිටි ඒජන්තයෙකු විසින් ඔහු පාවාදෙනු ලැබීය යන සැකය මතු කලේය. මෙම සැකයේ ප්‍රධාන ඉලක්කය වූයේ මාක් ස්බරොව්ස්කි-එටිනිය. කෙසේ වෙතත් මෙක්සිකෝවේ නටාලියා සෙඩෝවා වෙත නිතරම ලිපි සම්පාදනය කරමින් තමා හා ස්බරොව්ස්කි ආත්මාර්ථයෙන් තොර, ලියොන් සෙඩොව්ගේ සහෝදර සහකරුවන් ලෙස පෙන්වාගත් ලෝලා ඩැලින්ගේ සහාය ලැබූ තතු හමුවේ ජීපීයූ ඒජන්තයෙකු පිලිබඳව චෝදනා නැඟූ අයට ප්‍රවේසම් වීමට සිදු විය.

1938 පෙබරවාරියේදී සෙඩොව්, පෙනී ගිය පරිදි සාමාන්‍ය අනුබද්ධ ප්‍රදාහයෙන් (ඇපෙන්ඩිසයිටීස්) රෝගාතුර විය. ඔහු ලෝලා ඩැලීන් විසින් තෝරා ගැනුනු මිරාබියු සායනය නමැති රෝහල වෙත ගෙන යන ලදී. එය බොල්ෂෙවික් විරෝධී සංක්‍රමනිකයින් හා ජීපීයූ ඒජන්තයින් ගහන තැනක් ලෙස ප්‍රකටව තිබුනි. ස්බරොව්ස්කි සෙඩොව්ගේ රෝගය හා ආ ගිය තැන් ගැන ජීපීයූවට දැනුම් දුන්නේය. සාමාන්‍ය සැත්කමකින් පසුව සෙඩොව් ප්‍රකෘති තත්වයට පත්වන බව පෙනී ගියේය. එහෙත් හදිසියේම ඔහුගේ තත්වය නරක අතට හැරුනු අතර උන විකාරයෙන් හා වේදනාවෙන් මිය ගියේය. සෙඩොව්ගේ මරනයට කායිකව බලපෑ හේතුව කිසිවිටෙකත් හරියාකාරව නිගමනය කලේ නැත. ලබාගත හැකි සාක්ෂි පෙන්නුම් කරන්නේ ඔහු, සිතාමතා සිදුකල වෛද්‍ය නොතැකීමක් හෝ වස දීම නිසා හටගත් අන්ත්‍රාවරනය ඉදිමීමේ රෝගයට ගොදුරුවූ බවය. එහෙත් සෙඩොව් මරා දැමීමට යොදාගත් මාධ්‍යයන් කවරේදැයි දැන නොගත් අතර පැරනි ට්‍රොට්ස්කිවාදියෙකු වූ ජෝජස් වෙරීකන්ගේ (1896-1978) වචන උපුටා දක්වන්නේ නම්, “ට්‍රොට්ස්කිගේ පුත්‍රයා ස්බරොව්ස්කි විසින් සිතාමතාම ජීපීයූ මිනීමරුවන්ට බාර දෙනු ලැබින” යන අදහස ගැන සැක කිරීමට හේතුවක් නැත.

ලියොන් සෙඩොව් ඝාතනයෙන් පසුව ස්බරොව්ස්කි හා ඩැලින්, ඔහුගේ සොවින් තැවෙන දෙමාපියන් වෙත හෘදයංඟම ශෝකය පලකරන ලිපියක් යැවූහ. කෙසේ වුවත් ස්බරොව්ස්කි හා ඩැලින්ට එරෙහි සැකය නැඟී ආවේය. ට්‍රොට්ස්කි පරීක්ෂන කොමිසමක් පත්කිරීමට උත්සාහ ගත්තේය. හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුව පැවැත්වීමට යන්තම් සති හයකට පෙරාතුව 1938 ජූලියේ, හතරවන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් සිය පැරිස් නිවහනෙන් හදිසියේම අතරුදහන් වන විට, කොමිසමක් පත්කරන ලෙසට ට්‍රොට්ස්කි කල ඉල්ලීම සහිත ලිපිය ඔහු සන්තකයේ පැවති බව විශ්වාස කරනු ලැබේ. ක්ලෙමන්ට්ගේ හිස සුන් කවන්ධය අවසානයේදී සේන් නදියෙන් ගොඩගන්නා ලදී. වසරක කාල පරාසය තුල හතරවන ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කෙරුනි. ඒ සෑම සිදුවීමකදීම ජීපීයු ඝාතක කල්ලි ක්‍රියාත්මක වූයේ ස්බරොව්ස්කි-එටිනි විසින් සපයන ලද තොරතුරු අනුවය. සෙඩොව් හා ක්ලෙමන්ට් ඝාතනය කර තිබියදී ස්බරොව්ස්කි, හතරවන ජාත්‍යන්තරයේ නිල රුසියානු නියෝජිතයා ලෙස ආරම්භක සම්මේලනයට සහභාගී විය.

ජීපීයූව ට්‍රොට්ස්කිගේ සමීප සහකරුවන් හා ආධාරකරුවන් ඝාතනය කරද්දී, ඔහුගේම ඝාතනය වඩා තීව්‍රව සූදානම් කෙරුනි. ට්‍රොට්ස්කි කරා ලංවීම පිලිබඳ තොරතුරු සොයන අතරතුර ජීපීයූව, 1938 දී සමාජවාදී කම්කරු පක්ෂ (එස්ඩබ්ලිව්පී) මූලස්ථානයෙහි ඒජන්තයෙකු පැලපදියම් කිරීමට සමත් විය. එම ඒජන්තයා, තවත් ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ සැල්මන්ඩ් ෆ්‍රෑන්ක්ලීන් සමඟ විවාහවී සිටි සිල්වියා ෆ්‍රෑන්ක්ලීන් නම් කොමියුනිස්ට් පක්ෂයේ තරුන සාමාජිකාවකි. ස්ටැලින්වාදී ඩේලි වර්කර් පත්‍රයේ කතුවරයාව සිටි, ට්‍රොට්ස්කි විරෝධී ඔත්තු මෙහෙයුම්වලට බෙහෙවින් සම්බන්ධ ලියිස් බුන්ඩෙස්, ඇමරිකාව තුල සිටි ඉහල පෙලේ සෝවියට් ජීපීයූ ක්‍රියාකාරිකයෙකු වූ ග්‍රෙගරි රබිනොවිට්ස් හෙවත් “ජෝන්” නමැත්තාට ෆ්‍රෑන්ක්ලීන් හඳුන්වා දුන් අතර ඔහු එම කර්තව්‍ය සඳහා ඇය තෝරා ගත්තේය. ඇය සිල්වියා කෝල්ඩ්වෙල් යන පක්ෂ නාමය යොදාගත් අතර ඉක්මනින්ම එස්ඩබ්ලිව්පීයේ ජාතික ලේකම් ජේම්ස් පී. කැනන්ගේ පෞද්ගලික ලේකම් බවට පත්වීමට සමත් වූවාය. එම තනතුරේ සිටියදී ඇයට, කැනන් හා ට්‍රොට්ස්කි අතර සියලු සංනිවේදනයන් කරා පිවිසුමක් ලැබින. ඇය ක්‍රමානුකූලව කැනන්ගේ කාර්යාලයීය ලිපි ලේඛන පිටපත් කර ජීපීයූව අතට පත් කලාය.

ට්‍රොට්ස්කිට එරෙහි කුමන්ත්‍රනයේ තවත් තීරනාත්මක පියවරක් ගනු ලැබුවේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු බවට පත්ව සිටි සිල්වියා ඇජිලොෆ්ගේ පැරනි සාහායිකාවක්වූ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික රූබි වීල් සමඟ මිත්‍රත්වයක් ඇතිකර ගැනීමට යලි වතාවක් රබිනොවිට්ස් සමඟ බුන්ඩෙස් එක්ව වැඩ කරමින් සිටියදී ය. 1938දී වීල්, ඇජිලොෆ් සමඟ යුරෝපීය සංචාරයකට එක්වූවාය. වීල් විසින් ඇජිලොෆ් , අනාගත ට්‍රොට්ස්කි ඝාතකයාවූ රේමන් මර්කාඩර් හෙවත් “ෆ්‍රෑන්ක් ජැක්සන්” ට අඳුන්වා දෙනු ලැබුවේ එහිදීය.

ජීපීයූව, කොයෝආකාන්හි ට්‍රොට්ස්කිගේ නිවස තුල ද ඒජන්තයින් පැලපදියම් කලේය. වසර බොහෝ ගනනකට පසුව 1956 මැයි මාසයේදී, සෝවියට් ඔත්තු බැලීම් පිලිබඳව ඇමරිකානු සෙනේට් සභාවේ පරීක්ෂනයකදී තෝමස් එල්. බ්ලැක් යන හිටපු ඇමරිකානු ජීපීයූ ඒජන්තයා, ට්‍රොට්ස්කිට එරෙහි කුමන්ත්‍රනයට සම්බන්ධ කිරීම පිනිස රබිනොවිට්ස් තමා තෝරාගත් බවට පාපෝච්ඡාරනය කලේය. ඔහු සෙනේට් කමිටුවට මෙසේ පැවසීය:

පලමුවෙන් මා කොයෝආකාන් වෙත ගොස් ට්‍රොට්ස්කිගේ නිවසෙහි සිටි අනෙකුත් සෝවියට් ඒජන්තයින් හමුවිය යුතු විය. ඔවුන් කවුරුන් වනු ඇත්දැයි මා විමසා සිටියෙමි.

ඔහු පැවසුවේ නියම වේලාවට මා ඔවුන් කව්රුන්දැයි දැනගනු ඇති බවය.

සැලසුම්කල කර්තව්‍යයේ ස්වභාවය කුමක් වී දැයි දැන සිටියා ද යන්න බ්ලැක්ගෙන් විමසූ කල ඔහු පිලිතුරු දුන්නේ: “ට්‍රොට්ස්කි මරා දැමීම සඳහා කටයුතු සම්පාදනය කිරීම” යනුවෙනි.

එලිදරව්වූ පරිදි බ්ලැක්, මෙක්සිකෝවට නොගිය අතර ඝාතනයට සම්බන්ධ නොවීය. කෙසේ වෙතත් ඒවන විටත් කොයෝආකාන්හි එජන්තයින් පෙලගස්වා තිබුනි. පසු සාක්ෂියකින් අවසානයේ සනාථ වූයේ, එස්ඩබ්ලිව්පීය තුල සිටි අඩුම තරමින් තවත් එක් ජීපීයූ ඇමරිකානුවෙක්වත් ඝාතන කුමන්ත්‍රනයට සම්බන්ධ වීම පිනිස 1940 වසන්තයේදී නිව් යෝර්ක්හි සිට මෙක්සිකෝවට යැවූ බවය.

තමා මරා දමා හතරවන ජාත්‍යන්තරයේ ගෙල සිරකිරීමේ ස්ටැලින් ව්‍යායාමය ගැන ට්‍රොට්ස්කි මන්දෝත්සාහී නොවුනා පමනක් නොව අවධියෙන් ද සිටියේය. “සියලු කම්කරු සංවිධාන වලට විවෘත ලිපියක්” යනුවෙන් 1937නොවැම්බරයේ ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

මින් පෙර කවර කලෙකවත් කම්කරු ව්‍යාපාරයක්, තමන්ගේම සාමාජිකත්වය තුල, ස්ටැලින් කල්ලිය හා එහි ජාත්‍යන්තර ඒජන්තයින් වැනි දුෂ්ඨ, භයානක, බලවත් හා දූෂිත අය සිටිනු දැක නැත. මෙම සතුරාට එරෙහි අරගලය අතහැර දැමීම සමාන වන්නේ පාවාදීමකටය. වාචාලයින්ට හා ආධුනිකයින්ට හැර බැරෑරුම් විප්ලවවාදීන්ට කෝපය පල කරන ශෝචනීය හඬතැලීම් වලට කොටුවීගත නොහැකිය. සැලැස්මක් හා සංවිධානයක් තිබීම අත්‍යවශ්‍යය. ස්ටැලින්වාදීන්ගේ උපාමාරු, කුමන්ත්‍රන හා අපරාධ ගැන සොයා බලන විශේෂ කොමිසම් පත් කිරීම දැවෙන අවශ්‍යතාවකි. සැඟවී ඇති අන්තරායන් ගැන කම්කරු සංවිධාන වලට අනතුරු ඇඟවීම හා මොස්කව් මැරයින් කපාහැරිය හැකි හා වැලැක්විය හැකි හොඳම ක්‍රමවේදයන් විස්තාරනය කල යුතුය.

හතරවන ජාත්‍යන්තරයට ජීපීයූව විසින් අටවන ලද අනතුරු වලට ප්‍රති පියවර ගැනීම පසෙක තිබියේවා, ඒ ගැන කිසිදු සාකච්ඡාවකට හෝ ට්‍රොට්ස්කි එක හෙලා විරුද්ධ වූ බවට ඝාතනයෙන් පසුව එස්ඩබ්ලිව්පීය විසින් පතුරුවා හරින ලද අභූත හා මුසාවාද, මේ ඡේදයෙන් ප්‍රතික්ෂේප වී යයි. ඓතිහාසික වාර්තාව තහවුරු කරන්නේ, ජීපීයූවේ මෙහෙයුම් හෙලිදරව් කිරීමටත් කපා හෙලීමටත් ට්‍රොට්ස්කි ක්‍රියාකාරී ලෙස උත්සාහ කල බවය. කෙසේ වෙතත් මේ උත්සාහය, ඒ වන විටත් හතරවන ජාත්‍යන්තරය තුල ජීපීයූ ඒජන්තයින් පැලපදියම්වී සිටීමේ කාරනය මඟින් නිරර්ථක කරන ලදී.

1938 අවසන් භාගයේදී එවක ජීපීයූව තුල ඉහල තැනක් දැරූ ඇලෙක්සැන්ඩර් ඕර්ලෝව්, සෝවියට් සංඟමයෙන් පලා ගියේය. ඔහු හතරවන ජාත්‍යන්තරයට එරෙහි මිනීමරු ජීපීයූ මෙහෙයුම් පිලිබඳව සමීපව සම්බන්ධව සිටි අයෙකි. ඔහුගේ අභිප්‍රායන් පැහැදිලි වී නැති නමුත් ඕර්ලොව්, ට්‍රොට්ස්කිට රහසිගත ලිපියක් යවමින්, නිශ්චිත “මාක්” කෙනෙක්, ජීපීයූ ඒජන්තයෙක් ලෙස සලකුනු කලේය. ඔහු ඒජන්තයාගේ අවසන් නාමය නොදන්නා නමුත් ඒ පැහැදිලිවම ස්බරොව්ස්කි-එටිනිය. ඕර්ලොව් දැන හඳුනන්නේ නැති වුව ද ට්‍රොට්ස්කි, නොදන්නා වාර්තාකරු සමඟ වහාම සම්බන්ධ වීමට උත්සාහ කලේය. එහෙත් නොදන්නා කාරනා නිසා එම උත්සාහය සාර්ථක නොවීය.

මාස ගනනාවකට පසුව ඕර්ලොව්, ඊටත් වඩා විස්තර සහිතව පැරිසියේ ඒජන්තයා හෙලා දකිමින්, දෙවන ලිපියක් ද එවනු ලැබීය. කාන්තා ජීපීයූ ඒජන්තවරියක් මෙක්සිකෝවට පැමින ට්‍රොට්ස්කිට වස දීමට උත්සාහ කරනු ඇති බවට ද ලිපියෙන් අනතුරු ඇඟවීය. ඉන් ටික කලකට පසුව 1939 ග්‍රීෂ්මයේ, ලෝලා ඩැලින් මෙක්සිකෝවට පැමිනියාය. ට්‍රොට්ස්කි ලිපිය සමඟ ඇයට මුහුන දුන්නේය. පසුව සෙනේට් උප කමිටුවට දුන් සාක්කියේදී ඩැලින් කියා සිටියේ, ලිපිය ජීපීයූ තුරුම්පුවක් බව තමා ට්‍රොට්ස්කිට ඒත්තු ගැන්වූ බවය. ඇය ට්‍රොට්ස්කිට මෙසේ පැවසුවාය: “බලන්න ඔවුන් වැඩකරන ආකාරය, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ, ප්‍රන්සය තුල ඉතිරිව ඇති එකම මිනිසුන් කට්ටිය, රුසියානුවන්, අපි කියමු, ප්‍රන්සයේ, පැරිසියේ, ඔබගෙන් බිඳුවාලීමටය. ලිපියෙන් කර තිබුනු අනතුරු ඇඟවීම ව්‍යාජයක් බවට පත් කිරීමට ඩැලින් දැරූ උත්සාහය නොතකා ට්‍රොට්ස්කි, එහි නිර්නාමික කතුවරයා සම්බන්ධ කර ගැනීමට යලිත් උත්සාහ කල නමුත් මෙවර ද එය සාර්ථික නොවීය.

පැරිසිය වෙත යලි පැමිනි වහාම ඩැලින්, -ඇගේ සෙනේට් සාක්ෂියට අනුව- ට්‍රොට්ස්කිට ලැබී ඇති අනතුරු ඇඟවීම් පිලිබඳව ස්බරොව්ස්කිට දැනුම් දුන්නාය. පැරිසියේ සිටින සිය අනුගාමිකයින් රහසිගතව ස්බරොව්ස්කිගේ හැසිරීම ගැන සෙවිල්ලෙන් සිටිය යුතු යයි ට්‍රොට්ස්කි කල යෝජනාව ඉහතකී තොරතුරු නිසා නිෂ්ඵල විය,

1940 මැයි මාසයේ හිමිදිරි උදෑසන චිත්‍රශිල්පියෙකු හා ස්ටැලින්වාදී උන්මත්තකයෙකු වූ ඩේවිඩ් අල්ෆාරෝ සික්විරෝස් විසින් මෙහෙයවන ලද, මැෂින් තුවක්කු වලින් සන්නද්ධ ස්ටැලින්වාදී මැර කන්ඩායමක්, ට්‍රොට්ස්කිගේ නිවසෙහි ඇවෙනිඩා වියනා කොටසට ඇතුල් වීමට සමත් වූහ. ඔවුන්ට නිවසේ බිත්තිය සිදුරු කිරීමට හෝ ඉදිරිපස ගේට්ටුව බිඳ හෙලීම පිනිස පුපුරන ද්‍රව්‍ය යොදාගැනීමට සිදු නොවීය. එස්ඩබ්ලිව්පීය තුලට රිංඟා ගැනීමට සමත්ව සිටි නිව් යෝර්ක්හි විසූ 25 හැවිරිදි ස්ටැලින්වාදියෙකු වූ රොබට් ෂෙල්ඩන් හාටි ඔවුන් සඳහා ගේට්ටුව විවර කර දුන් බැවිනි. හාටිගේ පෞද්ගලික හා දේශපාලන පසුබිම ගැන කිසිවක් නොදැන සිටියදීත්, ඔහු ඉක්මනින්ම ට්‍රොට්ස්කිගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පිටත්කර යැවීම, එස්ඩබ්ලිව්පී නායකත්වයේ ගති ලක්ෂනයක් වූ ආරක්ෂාව ගැන නොතැකීම පිලිබඳ ප්‍රකාශනයකි.

ඝාතකයින් නිදන කාමරයට මැෂින් තුවක්කු වලින් වෙඩි තබද්දී ඇඳ යටට රිංඟා ගෙන පන බේරා ගැනීමට ට්‍රොට්ස්කි හා නටාලියාට හැකිවීම ආශ්චර්යයකි. ආක්‍රමනය හෙලිදරව් කලේ ට්‍රොට්ස්කිගේ ආරක්ෂක විධි විධාන පිලිබඳ සූදානමේ පැවති දැඩි දුබලකමයි. සිය දූත මෙහෙවර ඉෂ්ඨ වුනාය යන විශ්වාසයෙන් යුතුව ආක්‍රමනිකයින් කන්ඩායම නිවසින් පිටව ගිය පසුව එලියට පැමිනි පලමුවැන්නා වූයේ ට්‍රොට්ස්කිය. ඔහුට සිය රැකවලුන් සොයාගැනීමට සිදු විය. ඒ කිසිවෙකුත් කිසිදු වෙඩිල්ලක් පත්තුකර නොතිබුනි. පෙනෙන්නට තිබුන පරිදි වැරදි මූනිස්සම් යෙදීම නිසා පෙරලා සටන් කිරීමට උත්සාහ කල කිහිපදෙනාගේ මැෂින් තුවක්කු සිරවී තිබීමෙන්, එය ද සාර්ථකවී නැත.

ප්‍රහාරයේදී ෂෙල්ඩන් හාටිගේ ක්‍රියාකලාපය ගැන පිලිගත හැකි සැකයක් වහාම මතුවිය. ආක්‍රමනික කන්ඩායමත් සමඟ ඔහු ද අතුරුදහන් විය. ඇසින් දුටුවන් පවසා ඇත්තේ, හාටි තම කැමැත්තෙන්ම නිවසෙන් ගොස් ඇති බවයි. ස්ටැලින්ගේ පින්තූරයක් හාටිගේ නිව් යෝර්ක් නිවසෙන් සොයාගනු ලැබින. ඔහු සතුව තිබුන ශබ්දකෝෂයක සික්විරෝස් යන අත්සන කොටා තිබුනි. ආක්‍රමනයෙන් සති කිහිපයකට පසුව හාටිගේ සිරුර සොයාගන්නා ලදී. සික්විරෝස් කල්ලියේ සාමාජිකයින් විසින් ඔහු මරා දමා තිබුනි.

ඒ අවස්ථාවේ ට්‍රොට්ස්කි, හාටිට එරෙහිව නැඟුනු චෝදනා පිලිගත්තේ නැත. එහෙත් අමුතු හා බෙහෙවින්ම සැකකටයුතු හාටිගේ හැසිරීම, මල මිනිසාගේ අහිංසකකම එක එල්ලේ පල කිරීමෙන් ට්‍රොට්ස්කි වැලැක්වීය. ඔහු සිය ජීවිතය නැසීමේ වෑයම තුල, හාටි මැදිහත්ව සිටියා විය හැකිය යන්නට අවකාශය ඉතිරිකර තැබීය. කෙසේ හෝ සෝවියට් සංඟමය විසුරුවා හැරීමෙන් පසුව සොයාගත් ලිපි ලේඛන, සැබවින්ම හාටි ස්ටැලින්වාදී ඒජන්තයෙකු බව සැකයකින් තොරව තහවුරු කලේය. සික්විරෝස් ඔහු මරා දැමුවේ, සංවිධානය හා කඩාවැදීම ක්‍රියාත්මක කිරීමට අදාලව හාටි සැපයූ තොරතුරු සම්බන්ධයෙන් සැක කල නිසාය.

සිය ජීවිතය ඉතිරිව පැවති අවසන් සතිවලදී ට්‍රොට්ස්කි, ස්ටැලින්ගේ ඝාතක යන්ත්‍රය හෙලිදරව් කිරීම පිනිස තමා සතුව තිබුනු සියලු ශක්තිය යෙදවීය. මැයි 24දා කඩාවැදීමට සම්බන්ධ ප්‍රධාන ලේඛන දෙකක් ඔහු රචනා කලේය: “ස්ටැලින් මගේ ජීවිතය බිලිගැනීමට බලා සිටියේය” යන්න 1940 ජූනි 8දා ලියා අවසන් කලේය. “කොමින්ටර්නය හා ජීපීයූව” 1940 අගෝස්තු 17දා ලියා අවසන් කලේය. ඒ ඔහුගේ ඝාතනයට දින තුනක් තිබියදීය.

1940 අගෝස්තු 20දා සවස පහ පසුවීමත් සමඟම වාගේ අනපේක්ෂිත පරිදි ෆ්‍රෑන්ක් ජැක්සන් [රේමන් මර්කාඩර්], ට්‍රොට්ස්කිගේ නිවසෙහි ඇවෙනිඩා වියෙනා කොටසට පැමිනියේය. අගෝස්තු 17දා ඔහුගේ පලමු පැමිනීමෙන් පසුව ට්‍රොට්ස්කි, ජැක්සන්ගේ අමුතු හැසිරීම පිලිබඳව සිය අප්‍රසාදය පල කලේය. තමා ප්‍රන්සකාරයෙකු බවට කල ජැක්සන්ගේ ප්‍රකාශ ගැන ඔහු සැක පහල කලේය. සිල්වියා ඇජිලොෆ් සමඟ පැවති ඔහුගේ සම්බන්ධය හැරෙන්නට, හතරවන ජාත්‍යන්තරය කෙරෙහි ඔහුගේ ආකල්පය හා බැඳීම මුලුමනින්ම පැවතුනේ විමසා බැලීමකින් තොරව, අන්ධකාරයේය.

එහෙත් ට්‍රොට්ස්කිගේ කනස්සල්ල කෙරෙහි කිසිදු තැකීමක් නොකර ජැක්සන් නිවසට වැද්දගෙන තිබුනි. එය උනුසුම් හා හිරු රැස් විහිදෙන දිනක් වුවත් ජැක්සන් වැහි කබායක් රැගෙන ආවේය. ඒ තුල ඔහු ඇල්පෙන්ස්ටොක්, (කඳු නඟින්නන් පාවිච්චි කරන හිම පොරවක්) ස්වයංක්‍රීය ගිනි අවියක් හා විශාල කිනිස්සක් සඟවාගෙන සිටියේය. අති මූලික ආරක්ෂක විධිවිධාන පවා උල්ලංඝනය කරමින් ජැක්සන්ට ට්‍රොට්ස්කිගේ පුස්තකාලය තුලදී, තනිවම ඔහු හමුවීමට ඉඩ සලසා තිබුනි. විනාඩි කිහිපයකට පසුව, ජැක්සන් විසින් ලියන ලද ලිපියක් කියවමින් සිටි ට්‍රොට්ස්කිගේ පිටුපසට පැමිනි ඝාතකයා, සිය ඇල්පෙන්ස්ටොකයෙන් ඔහුගේ හිසට පහර දුන්නේය. ජැක්සන් බලාපොරොත්තු වූයේ හිසට එල්ල කල එම පහරින් ට්‍රොට්ස්කි වහාම සිහිසුන් තත්වයට පත්වනු ඇති බවය. එහෙත් කෑගැසූ ට්‍රොට්ස්කි, පුටුවෙන් නැඟිට ඝාතකයා සමඟ පොර බැදීය. රැකවල්ලු පුස්තකාලයට දුව විත් ජැක්සන් නිරායුධ කලහ.

රෝහලට ගෙන යන අතරතුර අනුක්‍රමයෙන් ට්‍රොට්ස්කි සිහි මුර්ඡාවට පත්විය. ප්‍රහාරයෙන් පැය 26කට පසුව, 1940 අගෝස්තු 21දා ඔහු මිය ගියේය. මිය යන විට ඔහුගේ හැට එක්වන උපන් දිනට තව තිබුනේ දෙමසක් පමනි.

ට්‍රොට්ස්කි ඝාතනය ජාත්‍යන්තර කම්කරු පන්තියට එල්ලවුනු මාරාන්තික පහරක් විය. සමාජවාදය කරා මාවතේදී දේශපාලනිකව නැතුවම බැරි මිනිසෙක් හෝ ගැහැනියක් ගැන කිවහැකි නම්, ට්‍රොට්ස්කි එවැනි පුද්ගලයෙක් විය. ඔහු දැවැන්ත හා අසමාන දේශපාලන අත්දැකීම් සම්භාරයකට හිමිකම් කීවේය. සමහරවිට ලෙනින් හැරෙන්නට, විසිවෙනි සියවසේ දේශපාලන ඉතිහාසය තුල එවන් යෝධ ක්‍රියාකලාපයක් ඉටුකල අන් අයෙක් නොසිටිනු ඇත. තව ද ඔහුගේ මරනයෙන් හැත්තෑපස් වසරක් ඇවෑමෙන් පවා ට්‍රොට්ස්කි, අසාමාන්‍ය ලෙස සමකාලීන චරිතයක්ව පවතී. ට්‍රොට්ස්කිගේ ලේඛන, ඔහුගේ න්‍යායික හා දේශපාලන සංකල්ප, ඔහුගේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදය තවමත්, අද අප ජීවත්වන ලෝකය තුල පවතින ගැටලු සම්බන්ධව ඉමහත් බලයක් සහිතව කථා කරයි. විසිවන සියවස විසින් විසි එක්වන සියවසට දායක කර ඇති නොවිසඳුනු විප්ලවවාදී කර්තව්‍යයන් පිලිබඳව ට්‍රොට්ස්කි යෝධ හඬක් ලෙස ඉතිරිව තිබේ.

ඩේවිඩ් නෝර්ත්

Share this article: