රාවයසහ පුරවැසි බලය රතුපස්වල සිදුවූ විනාශයට වගකිවයුත්තන් ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක

විලානි පීරිස් විසිනි, 2015 ඔක්තෝබර් 7

රාවය පුවත්පත ද පුරවැසි බලය හා සිවිල් සංවිධාන ද ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප්‍රහාර පිලිබඳව මෑතකදී එලිදක්වන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වත්මන් ආන්ඩුවට බලපෑම් දැමීමේ පෙත්සම් ව්‍යාපාරයකට ප්‍රහාරයට ලක්වූ ගම්වාසීන් මෙහයවා නොමග යැවීමට මාන බලයි.

පෙත්සම් ව්‍යාපාරය ආරම්භ කෙරුනේ අගෝස්තු මස 9 දින පුරවැසි බලය, ලංකා ගුරු සංගමය, මාධ්‍යවේදීන්ගේ සංගමය සහ සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය, මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ හමුදා ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් එම ස්ථානයෙන් ඉවත් කරන ලද කම්හල් භූමිය අසල පැවැත්වූ රැස්වීමකදී ය.

2013 අගෝස්තු මාසයේ 1 දින මිලිටරි ප්‍රහාරයෙන් තරුනයන් තිදෙනෙක් මියගිය අතර මේ සම්බන්ධව උසාවියේ ගොනු කල නඩුව තවමත් අවසාන කර නැත. එහෙත්, ප්‍රදේශවාසී 60 දෙනෙකුට පමන දේපල වලට හානි කිරීමේ ප්‍රෝඩාකාරී චෝදනා මත ගොනු කර ඇති නඩු විමසමින් ඇත. බොහෝ දෙනෙකුට රාජපක්ෂ ආන්ඩුව ගැන මෙන්ම මෙම ආන්ඩුව ගැන ද විශ්වාසයක් නැත.

රතුපස්වල මිලිටරි ප්‍රහාරයට වසර දෙකක් ගතවී ඇතත් ප්‍රදේශයේ කිසිදු ප්‍රශ්නයක් මේ වන තෙක් නොවිසඳී තිබීමෙන් සනාත වෙන්නේ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන සනාත කෙරී ඇති බවය. වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.

ඉහත සඳහන් පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් පිලිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාවට දමන ලෙස ය. එම කොමිසමේ වාර්තාවට අනුව ප්‍රධාන නිර්දේශ මෙසේය: “උද්ඝෝෂනය විසුරුවා හැරීමට සහභාගි වූ යුද හමුදා අන දෙන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කට යුතු කල යුතුය; “වෙඩිවැදී මියගිය පුද්ගලයන්ගේ ලඟම ඥාතීන්ට” හා “තුවාල ලබා ඇති අයට සාධාරන වන්දි මුදලක් ගෙවීම.”

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ සකස් වී ඇත්තේ දඩ මීමුන් මත වරද පටවා ජල දූෂනය හා හමුදා ප්‍රහාරය පිලිබඳ වගකීමෙන් කම්හල් හිමියා සහ ආන්ඩුව මුලුමනින් මුදා හැරීමටයි. කොමිසමේ වාර්තාව මෙසේ පවසයි: “ජලයේ පීඑච් අගය අඩුවීමට මෙම කර්මාත ශාලාවෙන් බැහර කරෙන අපවිත්‍ර ජලය සහ අප ද්‍රව්‍ය වල බල පෑමක් සිදු වී ඇත්ද යන්න තව දුරටත් තහවුරු කර ගත යුතු කාරනයක් බවද නිරීක්ෂනය වේ.” එම වාර්තාවේ ආන්ඩුවේ වගකීම පිලිබඳ වචනයක් හෝ සඳහන්ව නැත. ඊට අනුව ජලය දූෂනය වීමට හේතු තව දුරටත් පැහැදිලි නැත.

මෙම තතු තුල, මානව හිමිකම් කොමිසමේ වාර්තාව හා නිර්දේශ ආරක්ෂා කරන පෙත්සම් ව්‍යාපාරය ගෙනයන පුරවැසි බලය හා ලංකා ගුරු සංගමය ඇතුලු සංවිධාන ද එය පුම්බා තබන රාවය ද කරන්නේ මහා ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන ආන්ඩුවෙන් ප්‍රශ්න විසඳා ගත හැකිය යන මිථ්‍යා වපුරමින් එහි අත් ශක්තිමත් කිරීමට ය.

පුරවැසි බලය අතුලු සංවිධාන ද රාවය ද පසුගිය ජනවාරියේ ජනාධිපති මැතිවරනයේදී හා අගෝස්තු මාසයේදී මහ මැතිවරනයේදී එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී උවමනා වෙනුවෙන් පෙනී සිටි මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට කැපවී සිටියේය. රතුපස්වල තම ඉල්ලීම් වෙනුවෙන් අද වනතුරුම විසඳුමක් නොලැබීමෙන් විරෝධය පලකරමින් සිටින මහජනයාගේ උද්ඝෝෂන දියාරු කර වත්මන් ආන්ඩුවේ ප්‍රහාරයන්ට ඔවුන් යටත් කිරීමේ ප්‍රයත්නයක අද ඔවුහු නිරත වෙති.

පසුගිය 27 දින රතුපස්වල ප්‍රදේශයේ මහජනයා හමුවූ සසප නියෝජිතයන්ට වෙඩිවැදීමෙන් අබ්බගාත තත්වයට පත්වූවන් හා තුවාල ලත් හරියාකාරව රැකියාවක් කරගැනීමට නොහැකිව කල් පසුවන අයගෙන් ඇතැමෙක් සමග මෑත තත්වයන් ගැන කතා කිරීමට හැකිවිය. සියල්ලන්ට පිරිසිදු ජලය නොලැබීමෙන් රෝගී විය හැකි කොන්දේසි තවමත් පවතී.

මානව කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා මෙම පෙත්සම් ව්‍යාපාරය ගෙනයන අය සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව (ස්කපක) දියත් කල ප්‍රසිද්ධ පරීක්ෂනය ගැන මුලුමනින්ම නිහඬව සිටියහ. ඊට හේතුව, ධනපති ව්‍යාපාරිකයන්ගේ, ආන්ඩුවේ හා රාජ්‍යයේ මහජනයාට විසකුරුවන ක්‍රියාවන් ගැන ස්වාධීන කම්කරු පරීක්ෂනයන් පිලිබඳව ඔවුන්ට පවතින විරුද්ධත්වයයි.

පරීක්ෂනයේ නිගමන පෙන්වා දුන්නේ, පලාතේ ජලය දූෂනය වීමට කම්හල වගකිවයුතු අතර හමුදා ප්‍රහාරය ඒ හෝ මේ හමුදා නිලධාරියාගේ හුදු වරදක් නොව මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අනුදැනුම ඇතිව සිදුවන්නට ඇති බවය. ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාවෙන් රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා 2014 විරෝධතා දැක්වූ ජනයාට හමුදා හා පොලිස් ප්‍රහාර එල්ල කිරීම තව දුරටත් තහවුරු කලේ ධනපති ව්‍යාපාරිකයන් රැකීමට ආන්ඩුව කැපවී සිටින ආකාරයයි.

සසප-ස්කපක මෙසේ සිය වාර්තාවේ සඳහන් කලේය: “පිරිසිදු ජලය ලබා ගැනීම හා දූෂනයෙන් තොර පරිසරයක ජීවත් වීම මහජනයාගේ සමාජ අයිතියකි. ආන්ඩුව මෙම සමාජ අයිතියට එරෙහිව කාර්මික දූෂනයේ යෙදෙන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පාලකයන් ඇතුලු ආයෝජකයන් විවෘතව ම ආරක්ෂා කරයි. රාජපක්ෂ ආන්ඩුව මෙම ප්‍රහාරය එල්ල කලේ ධනේශ්වර ක්‍රමය එය මුහුන දී සිටින අර්බුදයේ දී කම්කරු පන්තිය අතීතයේ දී දිනා ගත් සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් යලි උදුරා ගන්නා සමාජ ප්‍රතිවිප්ලවයක කොන්දේසි යටතේ ය.

තවද එම නිගමන කම්හල තුල ලාභය ආරක්ෂා කිරීම සඳහා නිසි ප්‍රතිකාරක පද්ධති නොතිබීමෙන් කම්හල ජලය දූෂනය කල බව තහවරු කලේය. “මෙම කම්හල් දෙකේ ම නිසි ප්‍රතිකාරක පද්ධති ස්ථාපනය කොට නොමැත්තේ ඒ සඳහා වන වියදම් කපා දමා සමාගමට ලැබෙන ලාභය තර කර ගැනීමට බව කමිටුව නිගමනය කරයි. යහපත් පරිසරයක ජීවත් වීමේ අයිතිය ඇතුලු අනෙකුත් අයිතීන් තහවුරු කල හැක්කේ ලාභය මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමෙන් පමනි.”

රාවය මෙන්ම අනෙකුත් ධනේශ්වර පුවත්පත් ද ධනපති ආන්ඩු හා ලාභය අරභයා කම්හලේ අවශ්‍යයෙන්ම තිබිය යුතු වූ ප්‍රතිකාරක පද්ධති තහවුරු නොකල කම්හල් හිමියන් ද ආරක්ෂා කිරීමට ප්‍රයත්න දරයි.

සැප්තැම්බර් 19 දින සන්ඩේ ලීඩර් පුවත් පතේ පලවූ වාර්තාවක, වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කම්හල බියගම නිදහස් වෙලඳ කලාපයට ගෙනගිය ද නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා රතුපස්වල භූගත ජල දුෂනය එලෙසම පවතින බව පරිසරය සුරැකීමේ සංවිධානයේ අධ්‍යක්ෂක සජීව චාමිකර පැවසූ බව සඳහන් විය.

එම වාර්තාවම ඉහත ප්‍රකාශය හරස් කෙරෙන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක මුතුකුඩආරච්චිගේ තර්කයක් ගෙන හැර දක්වා තිබුනි. ඔහු ප්‍රකාශ කර තිබුනේ “ප්‍රදේශයේ මහජනයා කියන ආකාරයේ දෝෂයක් රබර් අත් වැසුම් කම්හලෙන් සොයා ගන්නට නොහැකි වූ බව”යි. “අවශ්‍ය ජල ප්‍රතිකාරක සඳහා වන ජාතික ප්‍රමිතිය අනුව අප ද්‍රව්‍ය [ජලය] ප්‍රතිකාරකයට බඳුන්කර ඇති බව කම්හලේ ප්‍රතිකාරක යන්ත්‍රාගාරයේ අප ජලය පිලිබඳ පරීක්ෂන හා වාර්තා වලින් පෙන්නුම් කෙරී ඇත” යයි ද ලීඩර් වාර්තාව සඳහන් කරයි.

පුවත්පත දීර්ඝව පැහැදිලි කරන්නේ කම්හලෙන් ජලය අපවිත්‍ර නොවූ බවට පිලිගෙන තිබුන බවත් හමුදා ප්‍රහාරයෙන් පසු මහජනතාවගේ විරෝධය නිසා පමනක් කම්හල බියගම නිදහස් වෙලඳකලාපයට ගෙනෙගිය බවත්ය.

ස්කපක නිගමන මධ්‍යම පරිසර අධිකාරියේ තර්ක බිඳ දැමුවේය: “වෙනිග්‍රොස් සමාගම සහ කලමනාකරුවන් කියා සිටින්නේ ජලයේ ආම්ලිකතාව ඉහල යාමට හා පී.එච්. අගය පහල යාමට කම්හල හේතු නොවන බව ය.

මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය එය අනුමත කර ඇතත් රජයේ හා රජයේ නොවන වෙනත් පරීක්ෂන ඊට පටහැනි කරුනු පෙන්වා දෙයි.” යනුවෙන් ස්කපක පෙන්වාදුන්නේය.

ස්කපක මෙසේ ද සඳහන් කලේය: “වැලිවේරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කම්හලේ ස්ථාන හතරක දී එනම් අපජලය පිට කිරීමේ ක්‍රියා දාමයට අදාල ක්ලෝරිනීකරන අපජල පිටවුම් කරාමය, ඔක්සිකරන කානු, ඔක්සිකරන කානුවල අපජල පිටවුම, ජල ප්‍රතිකාරක අවසන් පිටවුම් කරාමය යන ස්ථානවලින් ලබා ගන්නා ලද ජල සාම්පල හතරක් රජයේ රස පරීක්ෂක විසින් විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දී ඉහත සාම්පලයන්හි ජීවමය ඔක්සිජන් ඉල්ලුම හා රසායනික ඔක්සිජන් ඉල්ලුම සම්මත උපරිම ධාරන සීමාවට වඩා ඉතා ඉහල අගයක් ගන්නා බවත් කම්හලේ අපජල සංයුතිය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන් උල්ලංඝනය කරන බවත් පැහැදිලිව පෙන්වා දේ.

“මෙම ජල සාම්පල ලබා ගන්නා විට ඔක්සිකරන කානු හැර ප්‍රතිකාර පද්ධතියට අයත් අන් කවර ක්‍රියා දාමයක් හෝ ක්‍රියාත්මක නොවුන බව ද රස පරීක්ෂක පවසයි. මෙහි අර්ථය නම් කම්හලෙන් පිට කෙරෙන අපජලයේ විෂ රසායනික ද්‍රව්‍ය ඇතුලත් වන බව යි.”

සැප්තැම්බර් විසිවන දින රාවය පුවත්පත මෙසේ පවසයි. “රතුපස්වල මිනිසුන්ද සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන, ජාත්‍යන්තර සබඳතා මෙන්ම භූමියේ දැවෙන ප්‍රශ්නවලටද නව ආන්ඩුව විසඳුම් ලබා දෙනතුරුය. මෙවර ඒ ප්‍රශ්නවලින් පැනයෑමට ආන්ඩුවට පහසු නොවනු ඇත. ඒ පුරවැසි සහ සිවිල් සංවිධාන පෙර නොවූ විරූ ශක්තියකින් ජනතාව සමග සිටින නිසාය.”

රාවය මේ පවසනේ තමන්ට ආන්ඩුව කෙරෙහි ඇති විස්වාසය පිලිබඳව ය. වත්මන් ආන්ඩුව ව්‍යවස්ථා සංශෝධන ඇතුව හෝ නැතුව ආයෝජකයන්ගේ ලාභය ආරක්ෂා කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සේම මිලිටරිය යෙදෙවීමට පසුබට නොවනු ඇත.මෙම ප්‍රහාර හුදෙක් රතුපස්වලට සීමා නොවීය. පසුගිය ආන්ඩුව කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවෙක් හා ධීවරයෙක් ද වෙඩි තබා මරා දැමුවේ ඔවුනගේ අයිතීන් සඳහා සටන් වැදීමේදී ය. මෙම ආන්ඩුව ද ශිෂ්‍යයන්ට පොලිස් ප්‍රහාර එල්ල කලේය.

ස්කපක වාර්තාව අවධාරනය කලේ කම්හල් මගින් පරිසර දූෂනය ලංකාව පුරාමත් ලෝකය පුරාමත් බංකොලොත් ධනේශ්වර ක්‍රමය යටතේ සිදුවන බවය. “ඇමරිකාව පදනම් කර ගත් පරිසර ආරක්ෂක සංවිධානයක් වන බ්ලැක්ස්මිත් ආයතනය 2010 නිකුත් කල සමීක්ෂන වාර්තාවකට අනුව ලෝකයේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් 49ක මිලියන 125ක් දෙනා විෂ සහිත පරිසර දූෂනයේ අයහපත් ප්‍රතිවිපාකවලට මුහුන දී සිටිති.” ලංකාවේ අනිකුත් ප්‍රදේශ වලින්ද කම්හල් මගින් ජලය හා පරිසර දූෂනය සිදුවන බව වාර්තා විය.

මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නො ව ලාභය සඳහා නිෂ්පාදනය කෙරෙන ධනපති ක්‍රමය තුල කම්හල්වල වැඩ කරන කම්කරුවන්ගේ ද කම්හල් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ ද ජීවිත, සෞඛ්‍ය හා සමාජ කොන්දේසි නො තකා නිෂ්පාදනය සිදු කෙරේ.

රාවය “ජාත්‍යන්තර සබඳතා” ගැන කරන සඳහන අඟවන්නේ චීනය සමග වඩාත් මූලෝපායික සම්බන්ධතා ගොඩනගා ගත් මහින්ද රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍ය උවමනාවන්ට පක්ෂ වන්නාවූ වත්මන් ආන්ඩුවේ විදේශ පිලිවෙත ගැනයි. රාවය එම පිලිවෙතට මුලුමනින්ම එකඟය.

රාවය, පුරවැසි බලය හා ලංකා ගුරු සංගමය ද ඊට එක්ව ඇති අනිකුත් සංවිධාන ද සිරිසේන ආන්ඩුවේ ද බංකොලොත්ව ඇති ධනේශ්වර ක්‍රමයේ ද ආරක්ෂකයෝය.

Share this article: