කම්කරු පන්තියේ වැඩෙන අතෘප්තිය හමුවේ භීතියට පත් වෘත්තීය සමිති නායකයෝ ජනාධිපති හමුවෙති

සමන් ගුනදාස විසිනි, 2015 ඔක්තෝබර් 25

දක්ෂිනාංශික සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුන ගෙන කි‍්‍රයාකල ප‍්‍රධාන වෘත්තීය සමිති නායකයන් ආන්ඩුව සමග සිය සහයෝගීතාවය පුලුල්ව වර්ධනය කර ගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් 12 දා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඔහුගේ නිල නිවසේදී හමුවිය.

කම්කරුවන්ගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට පහර දීම සඳහා කෝපරේට්වාදී කොමිටියක් ගොඩ නැගීමේ යෝජනාවක් සමිති නායකයෝ ජනාධිපතිට ඉදිරිපත් කලහ. කම්කරුවන්ගේ ඇස් වලට වැලි ගැසීම සඳහා දිගු කාලීන කම්කරු ඉල්ලීම් මාලාවක් ද යෝජනාව වටා දවටා තිබුනි. යෝජනාව ක්ෂනිකව ඩැහැගත් ජනාධිපති සිරිසේන තම අධීක්ෂනය යටතේ සිය ලේකම් හා අදාල ඇමතිවරුන්ගේ නායකත්වය ඇතිව ජාතික මට්ටමේ වෘත්තීය සමිති උපදේශන කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දුන්නේය.

ජනාධිපති හමුවූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ වෘත්තීය සමිති නායකයන් අතර සාධාරන සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ නායක සමන් රත්නපි‍්‍රය හා ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින්ද විය.

ශ‍්‍රම ඵලදායිත්වය ඉහල දැමිය යුතු බවට - ශ‍්‍රම සූරාකෑම වඩාත් තීව‍්‍ර කිරීමට - ආන්ඩුව කරන අවධාරනය වෘත්තීය සමිති නායකයෝ අනුමත කලහ. රාජ්‍ය අංශය ගැන සඳහන් කරමින් එහි ඵලදායිත්වය ඉහල දැමීම සඳහා ඉහල මට්ටමේ කොමිටියක් පිහිටුවීමේ අවශ්‍යතාව පිලිබඳව වෘත්තීය සමිති නායකයන් සඳහන් කල බව වාර්තා විය. ආන්ඩුවේ ප‍්‍රධාන එල්ලයක් ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කල රාජ්‍ය සහනාධාර කපා හැරීමේ වැඩපිලිවෙලට මෙම යෝජනාව අත් වැලක් වෙයි.

2002 - 2004 එක්සත් ජාතික පක්ෂ ආන්ඩු සමයේ දී පුද්ගලීකරනය හරහා රාජ්‍ය අංශය කප්පාදු කිරීමට කි‍්‍රයාත්මක කල “යලි පුබුදමු ශී‍්‍ර ලංකා” වැඩ පිලිවෙල යලි පෙරට ගෙන ඇත්තේ ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශී‍්‍ර ලංකා ගුවන් සමාගම වැනි රජයට අයත් ව්‍යවසායයන්ගෙන් රාජ්‍ය භාන්ඩාගාරයට සිදුවන පාඩුව පිලිබඳව කෙරෙන දෝෂාරෝපනය ඉදිරියට දමමිනි.

සිංගප්පූරුවේ රාජ්‍ය අංශයේ ව්‍යවසාය ව්‍යූහය වන ටෙමසෙක් මොඩලය පිලිබඳව සඳහන් කරමින් මෑතදී වික‍්‍රමසිංහ මෙසේ කියා සිටියේය: “අපි රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කිරීමට වැඩ කරන්නෙමු. සමාගම් දහස් ගනනක් සහිත සිංගප්පූරුවේ ටෙමසෙක් මෙන් සියලු රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳව වගකීම දරන්නාවූ එක් පරිපාලන සමාගමක් පිහිටවන්නෙමු.” තව දුරටත් ඔහු කියා සිටියේ “අප ටෙමසෙක් අභිභවා තව පියවරක් ඉදිරියට තබමින් අයිතිය මහජනයාට ලැබෙන පරිදි පොදු ධන සංගතයක් (Public Wealth Trust) ඇති කරන්නෙමු. මෙම සෑම සමාගමක්ම බදු ගෙවනු ඇත” යනුවෙනි.

වෘත්තීය සමිති නායකයන් විසින් යෝජනා කරනු ලැබ ඇති “රාජ්‍ය සේවයේ ඵලදායිත්වය වැඩි දියුනු කිරීමේ ඉහල මට්ටමේ කමිටුව” වික‍්‍රමසිංහ ඉදිරිපත් කර ඇති ටෙමසෙක් මොඩලයට ඌනපූරකයකි. එහි අවසාන ඉලක්කය වන්නේ විදුලිය, ජලය, ඉන්ධන හා ගමනාගමනය වැනි ඕනෑම රාජ්‍ය සේවාවක යම් හෝ සහනාධාරයක් පවතී නම් ඒ සියල්ල මුලිනුපුටා දැමීමයි. ඒ වෙනුවට කම්කරුවන් දරුනු ශ‍්‍රම සූරාකෑමකට ලක් කිරීම මගින් හා වැඩ කරන ජනයාගෙන් එම සේවාවන් සඳහා වෙලඳ පල මිල ගනන් අය කිරීම මගින් ඒවා ලාභ ලබන ව්‍යවසායන් බවට හරවනු ඇත.

මෙම වෘත්තීය සමිති නායකයෝ පසුගිය ආන්ඩු සමඟ එක්ව වැඩ කරමින් එම ආන්ඩු වල කෝපරේට්වාදී ඉලක්කයන්ට අවශ්‍ය වූ පරිදි කම්කරුවන් විනයගත කිරීමේ යෙදී සිටියහ. සංකේත වර්ජන, සත්‍යග‍්‍රහ, අසනීප නිවාඩු දැමීම් වැනි වඳ විරෝධතාවයන් තුල අරගලයන් හිර කොට කම්කරුවන්ගේ සටන්කාමීත්වය දියකර හැරීමට මොවුහු එක දිගට කි‍්‍රයා කලහ. එමගින් පන්ති සතුරාට එරෙහිව කම්කරු පන්තියේ තීරනාත්මක ප‍්‍රහාරයක් එල්ල කිරීම වලක්වා කම්කරුවන් හීලෑ කර දීම මොවුන්ගේ ප‍්‍රයත්නය වීය.

පසුගිය ජනවාරි 8 ජනාධිපතිවරනයට පසුව සිරිසේන වික‍්‍රමසිංහ අන්තර්වාර සුලුතර ආන්ඩුව පැවති සමයේද එම ආන්ඩුව සමග ප‍්‍රධාන ගැටුමකට කම්කරුවන් එලැඹීම වැලැක්වීමට මෙම නායකයෝ කි‍්‍රයාත්මක වූහ. රුපියල් 3,000ක වැටුප් වැඩිවීමක් ඇතුලු ඉල්ලීම් ගනනාවක් ඉදිරිපත් කරමින් උපස්ථායකයන්, ලිපිකරුවන්, විද්‍යාගාර සහායකයන්, ඕවර්සියර්වරුන් හා ලොන්ඩි‍්‍ර සහායකයන් ඇතුලත් රෝහල් සේවකයන් 40,000 ක සහභාගිත්වයෙන් පසුගිය මැයි මස පැනනැගි වර්ජනය බිඳීමට රෝහල් සේවාවන් සඳහා හමුදාව කැඳවූ අන්තර්වාර ආන්ඩුව වර්ජනයට සහභභාගී වුවහොත් සේවයෙන් ඉවත් කරන බවට අනියම් කම්කරුවන්ට තර්ජනය කලේය. ආන්ඩුව යෝජනා කල රුපියල් 1,000ක දීමනාවට එකඟ වූ වෘත්තීය සමිති වර්ජනය අවසන් කරමින් ප‍්‍රධාන ගැටීමක් ඇතිවීම වලක්වාලීය.

එසේම දුම්රිය ස්ථානාධිපතිවරුන්, ගාඩ්වරුන්, දුම්රිය රියැදුරන්, දුම්රිය පාලකයන් හා ෆෝමන්වරුන් ඇතුලු දුම්රිය කම්කරුවන්ගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කර ගැනීම සඳහා පසුගිය ජූලියේදී කැඳවූ වර්ජනය දුම්රිය සේවයේ වෘත්තීය සමිති සන්ධානය විසින් කිසිම පැහැදිලි කිරීමකින් තොරව නවතා දැමීය.

මෙම සමිති නායකයන්, ව්‍යාජ වාමාංශික නායකයන් සමඟ එක්ව මෙම පාවාදීම් හරහා වැඩ කරන ජනයා නොමඟ යවමින් වත්මන් ඇමරිකානු ගැති දක්ෂිනාංශික ආන්ඩුව බලයට ගෙන ඒමට පෙරමුන ගත් අතර මෙරට කම්කරුවන්ගේ දිගු කාලීන ඉල්ලීම් වලට පවතින විසඳුම ලෙස එම ආන්ඩුව බලයට ගෙනඒම හුවා දැක්වීය. මින් සමහරෙක් පසුගිය අගෝස්තු 17 මහ මැතිවරන දිනයේදී වත්මන් ආන්ඩුවේ ජයග‍්‍රහනය හුවා දක්වමින් ඡන්ද ප‍්‍රතිඵල විශ්ලේෂනය කිරීමට පවා ආන්ඩුවේ රූපවාහීනී නාලිකාවල පෙනී සිටියහ.

ආන්ඩුව රුපියල පා වීමට සලස්වා උග‍්‍ර අවප‍්‍රමානයකට භාජනය කරමින් කප්පාදු වැඩ පිලිවෙලට පිවිසීමත් සමඟ දැන් මෙම නායකයන් සාවධාන වී සිටින්නේ වැඩෙමින් පවතින කම්කරුවන්ගේ අතෘප්තිය හා කැලඹීම දියකර හරින්නේ කෙසේද යන්න පිලිබඳවය.

පසුගිය මස මුලදී හිටිවනම රුපියලේ අගය සියයට 4න් පහත වැටුනු විට පරිප්පු, වියලි මිරිස්, කව්පී, හාල්මැස්සන්, මුං ඇට, ලොකු ලූනු, අර්තාපල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගනනාවක මිල ඉහල ගියේය. මුදල් අමාත්‍යංශය විසින් අර්තාපල්, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග‍්‍රීන් පීස් වැනි ආහාර ගනනාවක ආනයන බදු, මෑතදී ඉහල දැමිනි. ඒ සමගම ටෙලිෆෝන් ගාස්තු හා ටෙලිවිෂන් ගාස්තු ඉහල යන අයුරින් බදු පැනවීම එල්ල කරගත් පනත් කිහිපයක් මුදල් අමාත්‍යවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආවේය.

මෙම පසුබිම තුල කම්කරු අරගල පුපුරා යාම පිලිබඳ භීතියට පත්ව ඇති මෙම සමිති නායකයන් දැන් පිඹුරු පත් සකසන්නේ වඩාත් “සාධනීය” ලෙස මෙම අරගල පාවාදීම සඳහා ය. යෝජිත ‘ජාතික මට්ටමේ වෘත්තීය සමිති උපදේශන කමිටුව’ හරහා මෙම සමිති නායකයන් කි‍්‍රයාත්මක වනු ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවර ගනිමින් එම අරගල “සාධනීය ලෙස” මැඩලීමට ය.

ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම ස්ථාපිත කිරීම, වැටුප් කොමිසම යලි සැකසීම ආදී යෝජනා මොවුන් විසින් ගෙන එනු ලැබුවේද මෙම අරමුන සහිතව ය. මෙම කොමිසම් ආන්ඩුව විසින් යොදා ගැනෙන්නේ ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙලට බාධා නොවන අයුරින් ප‍්‍රශ්න කල්දමා යට ගැසීමටය. සමිති නායකයන් සැලසුම් කරන්නේ කම්කරු අරගල පාවා දෙමින් මෙම කමිටු පිටුපස සැඟවීමට ය.

මෙවන් කොමිසම් යෝජනා කරන ගමන් තමා කම්කරු පන්තිය වෙනුවෙන් පෙනී සිටින බවක් මවා පෙන්වීම සඳහා කම්කරුවන්ගේ දැවෙන ඉල්ලීම් ලෙස පවතින රුපියල් 10,000 දීමනාව මූලික වැටුපට එකතු කිරීම, ටෙලිකොම් හා වෙනත් අර්ධ රාජ්‍ය ආයතන වල වැඩ කරන ‘මිනිස්බල සමාගම්’ විසින් සපයන කොන්ත‍්‍රාත් කම්කරුවන්ගේ රැකියා ස්ථිර කිරීම, පුද්ගලික අංශයේ සේවකයන් හට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම ආදී ඉල්ලීම් ලැයිස්තුවක් මොවුහු ජනාධිපති වෙත ඉදිරිපත් කලහ.

වෘත්තීය සමිති නායකයන් ආන්ඩුව සමඟ එක්ව ‘ජාතික මට්ටමේ වෘත්තීය සමිති උපදේශන කමිටුවක්’ තනා ගැනීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුවේ ඉදිරි කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව කම්කරු පන්තියෙන් එල්ලවීමට නියමිත බලගතු ප‍්‍රතිරෝධය කෙරෙහි ඔවුන් තුල බල පවත්නා මාරක භීතියයි. සමිති නායකයන් කල්තියාම උත්සාහ දරන්නේ එම අරගල පාවාදීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රනයක් ස්ථාපිත කර ගැනීමටය.

ආන්ඩුවේ හා වෘත්තීය සමිති නායකයන්ගේ මෙම ඒකාබද්ධ ප‍්‍රතිගාමී සූදානමට එරෙහිව ස්වාධීන වැඩපිලිවෙලක් මත සංවිධානයවීම කම්කරුවන් විසින් කිසිසේත් කල් දැමිය යුතු නැත. වෘත්තීය සමිති වල ප‍්‍රතිගාමී කි‍්‍රයාකලාපයට එරෙහිව තමන්ගේම ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු ගොඩනගා ගැනීම ඇතුලු මෙම ස්වාධීන වැඩ පිලිවෙල සාකච්ඡා කිරීමට ඉදිරියට එන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට ආරාධනා කරයි.

Share this article: