ජවිපෙ යෝජනා 20: දිය වී යන දේශපාලන පදනම් රැක ගැනීමේ වෑයමක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 ඔක්තෝබර් 19

මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජමය අයිතීන් රැකීමේ වේශයෙන් “ක්ෂනික ප‍්‍රතිසංස්කරන යෝජනා” මාලාවක් ආන්ඩුවට ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නව උද්ඝෝෂනයක් අරඹා ඇත. ජවිපෙ යෝජනා මාලාවේ සැබෑ එල්ලය මහ ජනතාවගේ කවර හෝ අයිතියක් ආරක්ෂා කිරීම නොවේ; ඊට විපරීතව, එය දියවී යන සිය දේශපාලන හා සමාජ පදනම රැක ගැනීමේ සහ ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීමේ දේශපාලන ව්‍යායාමයකි.

සැප්තැම්බර් 21 දා ඉදිරිපත් කල මෙම යෝජනා මාලාව, විධායක ජනාධිපති ක‍්‍රමය මුලුමනින්ම අහෝසි කිරීම, යම් කෙනෙකුගේ ජාතිය, ආගම හෝ වෙනත් කරුනක් නිසා වෙනස්කම් කිරීම සම්පුර්නයෙන් ම තහනම් කිරීම සහ වෙනස්කම් කිරීමට විරුද්ධ කොමිසමක් සහ සත්‍යය හා සංහිඳියා කොමිසමක් පත් කිරීම ඇතුලු යෝජනා 20 කින් සමන්විත වෙයි. ජවිපෙ ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ම පාහේ පසුගිය ජනාධිපතිවරනයේ දී මෛතී‍්‍රපාල සිරිසේනත් මහ මැතිවරනයේ දී “යහපාලනය” සඳහා එක්සත් ජාතික පෙරමුනත් දුන් පොරොන්දුවලට ඇතුලත් විය. ජවිපෙහි උදව්ව ද ඇතිව බලයට පැමිනි සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැනටමත් එම පොරොන්දු බිඳ දමා ඇත.

යෝජනා මාලාව පිලිබඳව සැප්තැම්බර් 25 දා පැවති ජවිපෙ සම්මන්ත‍්‍රනයේ දී රාජපක්ෂ පරාජය කිරීම “ජයග‍්‍ර‍්‍රහනයක්” ලෙස හුවා දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක “ඒ කි‍්‍රයාවලිය තුල තමන්ගේ කාර්යභාරය ඉෂ්ඨ කල” බව ද කීවේය. “සමහරු කියනව එය වැරැද්දක් කියල. මා හිතන්නේ ඒක වැරැද්දක් නෙමෙයි. ජනවාරි 8 වෙනිදා අපේ කොටස නියෝජනය වුනේ එයින් අපට පාලකයන්ගෙන් ලබා ගත හැකි ප‍්‍රමානය ගැන අවබෝධයක් ඇතිවයි.... දැන් සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා අතර එකිනෙකාගේ බලය තහවුරු කර ගැනීමේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ප‍්‍රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක්” බව ඔහු ප‍්‍රකාශ කලේ ය.

ජනවාරි 8 දා ලංකාවේ සිදුවූ පාලන තන්ත‍්‍ර මාරුව මොන ම අර්ථයකින් වත් වැඩකරන ජනතාවගේ ජයග‍්‍රහනයක් නොවේ. එය චීනය ආර්ථික හා යුදමය වශයෙන් වටලෑමේ එක්සත් ජනපද මූලෝපායේ කොටසක් ලෙස, චීනය මත වඩවඩා වාරු වෙමින් සිටි රාජපක්ෂ තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා වොෂින්ටනය විසින් දැනුවත්ව සුදානම් කෙරුන දේශපාලන කුමන්ත‍්‍රනයක ප‍්‍රතිඵලයකි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැන් විවෘතව ම පෙල ගැසෙමින් සිටින්නේ එක්සත් ජනපදයේ මේ භූ-දේශපාලනික වුමනාවන් සමග ය.

දිසානායකගේ ඉහත ප‍්‍රකාශයෙන් ජවිපෙ දේශපාලනයේ අන්ත අවස්ථාවාදී ස්වභාවය වඩාත් තියුනු ආකාරයෙන් ප‍්‍රකාශයට පත්වෙයි. මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය සහ සමාජමය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අඛන්ඩ දේශපාලන අරගලයක් දියත් කිරීමට එරෙහිව ඔහු යෝජනා කරන්නේ ධනපති කන්ඩායම්වල බල පොරයෙන් ප‍්‍රයෝජන ගනිමින් ප‍්‍රතිසංස්කරන ටිකක් දිනා ගැනීමට බැගෑපත්ව හෙට්ටු කිරීමයි.

ජවිපෙ මෙම “ඉතා හොඳ අවස්ථාව” යොදා ගෙන ඇත්තේ වැහැරී යන සිය දේශපාලන සහ සමාජ පදනම් තර කර ගැනීමට මෙන් ම මහ ජනතාව තුල ධනපති රාජ්‍යය කෙරෙහි මිථ්‍යාවන් වගා කිරීමට යි. ධනපති පන්තියේ කොටසකගේත්, නාගරික සහ ගම්බද සුලු ධනේශ්වරයේ සහයෝගය ඇතිව අගෝස්තු මහ මැතිවරනයේ දී අවම වසයෙන් පාර්ලිමේන්තු ආසන 15 ක් දිනා ගැනීමටත්, ප‍්‍රධාන විපක්ෂය බවට පත්වීමටත් ජවිපෙ අපේක්ෂා කලේ ය. ඉදිරි අවුරුදු පහ තුල, එනම් 2020 දී, රාජ්‍ය බලය ගැනීමේ එල්ලය ඇතිව තම පක්ෂය කටයුතු කරන බව ද මහ මැතිවරන උද්ඝෝෂනය තුල දී ජවිපෙ නායකයෝ ප‍්‍රකාශ කලහ. 2010 මහ මැතිවරනයට වඩා ආසන කිහිපයක් දිනා ගැනීමට හැකි වූ නමුත් අපේක්ෂිත ආකාරයේ ජයග‍්‍රහනයක් නො ලැබීම නිසා ජවිපෙ නායකයෝ කම්පනයටත් වික්ෂෝපයටත් පත් වූහ.

ඇමතිවරු සංඛ්‍යාව 30 ඉක්මවා වැඩි කිරීම ඇතුලුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සලසා ඇති ප‍්‍රතිපාදන අහෝසි කරන ලෙස ද ජවිපෙ තම යෝජනා මාලාවෙන් ඉල්ලා ඇත. මෙම සංශෝධනය කෙටුම්පත් කිරීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දී එය සම්මත කිරීමට දායක වූ ජවිපෙ දැන් ඒ ගැන කරන විවේචන අමුලික වංචාවකි. ජාතික විධායක සභාවට සහභාගි වෙමින් සිරිසේන - වික‍්‍රමසිංහ අන්තර් කාලීන අන්ඩුවේ කොටස්කරුවෙකුව සිටි ජවිපෙ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාති වූවේ “දැනට කර ගන්නන පුලුවන් ටිකවත් කරගන්න ඕන” කුජීත තර්කය ඉදිරිපත් කරමිනි.

සිරිසේන සහ එජාපය විසින් 19 වැනි සංශෝධනය ගෙන ආවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහ පාලනයක් ස්ථාපිත කිරීමට නොව, ධනපති පාලක පන්තියේ දේශපාලන අර්බුදය සමනය කරගෙන අධිරාජ්‍යවාදී බලයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවලට ගැලපෙන ආර්ථික දේශපාලන පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට උචිත ආකාරයට ධනපති රාජ්‍යය යලි සකසා ගැනීම උදෙසා ය.

“යම් කෙනෙකුගේ ජාතිය, ආගම හෝ වෙනත් කරුනක් නිසා අවමානයට, උපහාසයට සහ අසාධාරනයට ලක් කිරීම සම්පුර්නයෙන් ම තහනම් කිරීම සහ වෙනස්කම් කිරීමට විරුද්ධව කොමිසමක් පත් කිරීම” ට ජවිපෙ කර ඇති යෝජනාව ද එලෙසම වංචනික හා කුහක එකකි. එහි ආරම්භයේ සිටම දෙමල කතා කරන වතු කම්කරුවන් සහ උතුරු නැගෙන හිර දෙමල මහ ජනතාව කෙරෙහි වාර්ගික වෛරයක් සහ පිලිකුල් සහගත ආකල්පය ලංකාවේ ධනපති පන්තිය ඊනියා නිදහසේ පටන් ම දෙමල ජනතාවට එරෙහිව වාර්ගික වෙනස්කම් අවුලුවමින් කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම තම පන්ති පිලිවෙත බවට පත් කර ගත්තේ, 1983 එය යුද්ධයක් දක්වා නංවා ගත්තේ ය. ධනපති පන්තියේ මෙම සිංහල ස්වෝත්තමවාදී වැඩපිලිවෙල බදා ගත් ජවිපෙ යුද්ධයට මුලිමනින් ම සහය දුන්නේ ය. එය 2004 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග සභාග ආන්ඩුවකට ඇතුලු වුයේත්, 2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට පෙරමුන ගත්තේත් දෙමල ජනතාවට එරෙහි යුද්ධය සදහා ධනපති රාජ්‍යයේ අත ශක්තිමත් කිරීමට ය. යුද්ධය තුල දී සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුලු යුද අපරාධවලට ජවිපෙ දේශපාලනිකව වගකිව යුතු ය.

යුද්ධය තුල දෙමල ජනතාවට සිදු වූ අසාධාරනයන් ඇතුලු කරුනු සොයා බලමින් “සංවර්ධනය සඳහා ජාතික එකමුතුව” ඇති කල යුතු යයි පවසන ජවිපෙ ඒ සඳහා “සත්‍යය සහ සංහිඳියා කොමිසමක්” පිහිටුවන ලෙසද තම යෝජනා මාලාවෙන් ඉල්ලා සිටී. සැබැවින්ම මෙම යෝජනාවේ මුල් නිර්මාතෘවරුන් ජවිපෙ නොවේ. යුද අපරාධ යට ගසා ඊට වග කිවයුත්තන් නිදහස් කිරීමේ දේශපාලන උපාමාරුවක් ලෙස මෙවන් කොමිසමක් පිහිටුවීමට රාජපක්ෂ ආන්ඩුවෙන් මෙන්ම වත්මන් ආන්ඩුව තුලින් ද යෝජනා ඉදිරිපත් කෙරී ඇත. වත්මන් ආන්ඩුව විසින් කි‍්‍රයාවට දැමීමට යන එක්සත් ජාතීන්ගේ සහ එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය ලත් ඊනියා දේශීය යාන්ත‍්‍රනය යටතේ එවැනි “සත්‍යය හා සංහිඳියාව” කොමිසමක් පිහිටුවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශයට පත් කර ඇත.

දෙමල ප‍්‍රභූව ආන්ඩුවේ පිලිවෙත් සමග ගැට ගසා ගැනීම සඳහා සීමිත බලය බෙදීම වැනි සහනයක් ඊට ලබා දීමේ වැදගත්කම අධිරාජ්‍යවාදී බලයන් මෙන් ම ඉන්දියාව ද අවධාරනය කරන අතර ජාතික ධනපති පන්තියේ කොටසක් ද එවැනි “සංහිඳියාවක” අවශ්‍යතාව මතු කරයි. විශේෂයෙන්ම බරපතල ආර්ථික අර්බුදයක් තුල කම්කරු පන්තියට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ධනපති පන්තියේ කන්ඩායම් එක්සත් කර ගැනීමට කොලඹ ආන්ඩුවට අවශ්‍ය වී තිබේ.

එහෙත් ජවිපෙ එදා මෙන් ම අදත් පීඩිත දෙමල ජාතියට හා දෙමල ධනපති පන්තියට කවර හෝ සහනයක් දීමට එකහෙලා විරුද්ධ ය. “ජිනීවා යෝජනා ඊයේ, අද සහ හෙට” නමින් ඔක්තෝබර් 3 දා කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ පැවති ජවිපෙ සම්මන්ත‍්‍රනයේ දී, ජිනීවා යෝජනාව “අධිරාජ්‍යවාදී උගුලක්” බවත් එහි අඩංගු බලය බෙදීම වැනි යෝජනා රටට අහිතකර බවත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. ජිනීවා යෝජනාවලට ජවිපෙ විරුද්ධ වන්නේ එමගින් ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ යට ගැසීම නිසා නොවේ. ජවිපෙ විරෝධය වනාහි මහින්ද රාජපක්ෂ වටේ රැලි වී සිටින සිංහල වර්ගවාදී කොටස් තමන් වටා රැලි කර ගැනීම සඳහා වූ තරගයේ කොටසකි.

ඒ සමගම ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තියේ කොටසක විරෝධයට හේතු කාරක වී ඇති ඉන්දියාව සමග ශී‍්‍ර ලංකාව අත්සන් කිරීමට බලා පොරොත්තුවන ආර්ථික ගිවිසුමට (සීපා) විරුද්ධව උද්ඝෝෂනයක් පෙරට ගැනීම මගින් ඉන්දියානු විරෝධයක් යලි අවුලුවාලීමට ද ජවිපෙ උත්සාහ කරයි. සැප්තැම්බර් 12 දා පැවති මාධ්‍ය හමුවක දී සීපා ගිවිසුම ගැන සඳහන් කරමින් ආන්ඩුවේ “දේශපාලන පැවැත්ම වෙනුවෙන් ව්‍යාපාරික ප‍්‍රජාවේ උත්සුකයන් යටපත් කිරීමට ඉඩ නොදෙන” බවට ජවිපෙ ප‍්‍රචාරක ලේකම් ශපථ කලේ ය.

ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජවිපෙ, මහා ව්‍යාපාරිකය සහ ඉහල මධ්‍යම පන්තිය තුල දේශපාලන පදනමක් දිනා ගැනීම අතිශයින් ම වැදගත් කොට සලකයි. ඒ සමගම සිංහල ස්වෝත්තමවාදී ඡන්දදායකය තමා වටා රැලි කර තබා ගැනීම සඳහා ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක (ශී‍්‍රලනිප-එජාප) සමග තරගයේ දී ඉන්දියානු විරෝධයක් අවුලුවා ගැනීම ද ජවිපෙට අවශ්‍යය.

යෝජනාවලියට අඩංගු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් ඉල්ලීම් හා නිදහස් අධ්‍යාපනය ට දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කිරීම පිලිබඳ යෝජනා මගින් වත්මන් ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තිය තුල වැඩෙන අසතුට සහ කෝපය ගසාකෑමට ජවිපෙ අපේක්ෂා කරයි. තීව‍්‍ර වන ලෝක ආර්ථික අර්බුදය මධ්‍යයේ ශී‍්‍ර ලංකාවේ නය ගැතිකම ඉහල යාමේත් අපනයන අදායම පසුගිය මාස 20 තුල එක දිගටම කඩා වැටීමේත් තතු තුල මෙම ඉල්ලීම් ඉටු කිරීමට ධනපති ආන්ඩුව හෝ මහා ව්‍යාපාරිකය කිසිසේත්ම සුදානම් නැත. ආන්ඩුව රුපියල් 10,000 ක මාසික දීමනාවක් රජයේ සේවකයන් ට ලබා දුන්නේ ඡන්දය ගසා කෑමේ තුරුම්පුවක් ලෙසය. සැප්තැම්බර් මාසයේ මුලික වැටුපට එය එකතු කරන බවට මහ මැතිවරනයේ දී ආන්ඩුව දුන් පොරොන්දුව නොවැම්බර් මාසයේ අයවැය දක්වා කල් තබා ඇත. ආන්ඩුව ඉල්ලූ ඩොලර් බිලියන 4 ක නය මුදල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කිරීමේදී එම වැටුප් දීමනාව ප‍්‍රධාන හේතුවක් විය.

පුද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් ජවිපෙ ගෙනඑන යෝජනාවන් එලෙසම වංචනිකය. වතු සමාගම් සහ සෙසු පුද්ගලික කර්මාන්තකරුවන් දැනටමත් ආන්ඩුව විසින් යෝජිත වැටුප් ඉල්ලීම් එකහෙලා ප‍්‍රතික්ෂේප කර ඇත.

ජවිපෙ මෙය නොදන්නවා නොවේ. එහි ව්‍යායාමය වැඩකරන ජනතාව දේශපාලනිකව නොමග යවා ධනපති ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට හා එක්සත් ජනපද යුද සැලසුම් වලට ඔවුන් යටත් කිරීම ය.

2008 න් ඇරැඹුනු ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය දැන් ධනේශ්වර පද්ධතියේ ගෝලීය බිඳ වැටීමක් දක්වා වර්ධනය වෙමින් පවත්නා තතු තුල කවර හෝ රටක මහජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ අයිතීන් ප‍්‍රතිසංස්කරන ඉල්ලීම මගින් තහවුරු කල නොහැකි ය. ඊට විපරීතව, ගැඹුරු වී ඇති අර්බුදය මධ්‍යයේ අන්තර් අධිරාජ්‍යවාදී ප‍්‍රතිමල්ලවතා උග‍්‍ර කෙරී තෙවන ලෝක යුද්ධයක් දෙසට වන ධාවනය වේගවත් කෙරී ඇත. රටක් රටක් පාසා පාලක පන්තීහු මහජනතාව මෙතෙක් භුක්ති විඳි යම් අයිතියක් වෙතොත් ඒ සියල්ලම අහෝසි කිරීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට නංවමින් සිටිති. ශී‍්‍ර ලංකාව මෙහි ව්‍යාතිරේඛයක් නොවේ.

Share this article: