චීනය, ජපානයට විරුද්ධව ලත් ජයග්‍රහනයේ සංවත්සර සැමරුම සඳහා මිලිටරි පෙලපාලියක් පවත්වයි

China holds military parade to mark anniversary of victory over Japan

බෙන් මැග්‍රාත් විසිනි, 2015 සැප්තැම්බර් 4

දෙවන ලෝක යුද්ධයේ දී ජපානය ලත් පරාජයේ 70 වන සංවත්සර සැමරුම සඳහා ඊයේ චීන ආන්ඩුව, බීජිංහි තියනන්මන් චතුරශ්‍රයේ දී දැවැන්ත මිලිටරි පෙලපාලියක් පැවැත්වී ය. ආසියා ෆැසිපික් කලාපය තුල වොෂිංටනය විසින් අවුස්සනු ලැබ, උත්සන්න වන ඝර්ෂනය මැද එක්සත් ජනපදය සහ එහි සහචරයෝ, තම ජාතික නායකයන් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් දැනුවත්ව එම උත්සවය මග හැරියහ.

තියුනු ආර්ථික පසුබෑම මගින් රට තුල අවුලවන ලද සමාජ ආතතීන් ද උග්‍ර වෙද්දී බලධාරීන් විසින් බීජිනය වසා දැමුනු අතර නගරයේ පහල කොටසින් වැඩි ප්‍රදේශයකට පිවිසීම තහනම් විය. ඔවුහූ තෙදින නිවාඩුවක් ප්‍රකාශ කර සමාන්‍ය ජනයා අනුස්මරනොත්සවයෙන් බැහැරකොට තැබූහ.

චීන ව්‍යාප්තිවාදය හා මිලිටරිවාදය පිලිබඳ එක්සත් ජනපදයේ සහ ජපානයේ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට, සිය කතාව තුල දී චීන අගමැති ෂී ජින්පිං උත්සාහ කලේ ය. “තම රටට කෙතරම් දැඩි තත්වයක් උදා විය හැකි වූවත් චීනය අධිපතිවාදය හෝ ව්‍යාප්තිවාදය පසු පස ලුහු බඳින්නේ නැත. එය කිසි විටෙකත් තම අතීත වධ වේදනා වෙනත් මොන යම්ම හෝ ජාතියක් මතට හෙලන්නේ නැතැ යි ප්‍රකාශ කරන අතරම ෂි, “යුද්ධයේ අත්දැකීම තව තවත් සාමය ඇගයීමේ තැනට මහජනයා යොමු කරන්නේ ය”යි ද පැවසී ය.

නැගෙනහිර චීන මුහුදේ සෙන්කාකු ⁄දිඅඕයු දූපත් පිලිබදව ටෝකියෝව සමග පවතින විරසකය ගැන ෂි එක එල්ලේ සඳහන් නොකල අතර “ජපාන ආක්‍රමන” ගැන බොහෝ විට සඳහන් කලේ ය. “යුද්ධය වනාහී තවමත් මානව වර්ගයාට ඉහලින් එල්ලී සිටින ඩැමොක්ලස්ගේ අසිපත යි. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන සාමය සඳහා කැප විය යුතු වෙමු.” යි ෂී ප්‍රකාශ කලේය. මෙය ආසියා ෆැසිපික් කලාපය තුල තව දුරටත් ආතතීන් ඇවිලවීම පිලිබඳව එක්සත් ජනපදය හා ජපානයට කල අනතුරු ඇඟවීමක් දැ යි සැකයකට ඉඩක් නැත.

ෂීගේ සාම ආයාචනය කෙසේ වුවත් එක්සත් ජනපද පීඩනයට මුහුන දීම සඳහා ද මහජන අතෘප්තිය ප්‍රතිගාමී ජාතිකවාදී මාවතක් ඔස්සේ මෙහෙය වීමට දැරෙන ප්‍රයත්නයක් ද තුල මිලිටරි පෙලපාලිය එරට ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සමාන වූවකි. සෙබලුන් 12,000ක් සමග 500ක් මිලිටරි උපකරන සහ 200ක් ගුවන් යානා මෙම අවස්ථාවට යොදා ගැනුනු අතර ඒවායින් බොහෝමයක් මහජනයාට ප්‍රදර්ශනය කෙරුනේ ප්‍රථම වතාවට ය.

බටහිර මාධ්‍ය විසින් “ගුආම් කිලර්” යන නමින් හැදින්වෙන ඩීඑෆ්-26 දිගු දුර බැලස්ටික් මිසයිල (අයිආර්බීඑම්) මෙම ප්‍රදර්ශනය තුල විය. කිලෝ මීටර 4000ක් දුර ඉලක්ක කල හැකි ඩීඑෆ්-26 එක්සත් ජනපදයේ තීරනාත්මක යුද කඳවුරක් වන ගුආම් වෙත පහර දීමේ හැකියාවෙන් යුක්ත ය. පෙලපාලිය පැවැත්වෙද් දී මෙම මිසයිල දැනටමත් ස්ථානගත කර ඇති බවට නිවේදනය කෙරුනි.

ෆැසිපික් කලාපය පුරා ඇමරිකානු මිලිටරි බලකායන්ගේ කඩ ඇනය වන එක්සත් ජනපදයේ ගුවන් යානා හාරක යුද නැව්වලට පහර දීම සඳහා සැලසුම් කරන ලද හෙයින් “කැරියර් කිලර්“ නම් ලද ඩීඑෆ්-21ඩී මිසයිලය ද සෙසු මිසයිල් අතර වූයේ ය. එමෙන් ම යුද ටැංකි, ඇන්ටි-ආමර් මිසයිල් සහ බෝම්බ හෙලන යානා ද ප්‍රදර්ශන කරන ලදී.

චීනයේ සාමකාමී මතුවීම ගැන සෙසු රටවලට සහතික කිරීමේ පියවරක් ලෙස මිලියන 2.3ක් වන සොල්දාදුවන් අතරින් 300,000ක සංඛ්‍යාවක් කපා හරින බව ෂී නිවේදනය කලේ ය. හිටපු ජනාධිපතිවරු ද මෙවැනි ම ඉගි පෑ අතර මෙය 1970 න් මෙපිට සොල්දාදුවන් සංඛ්‍යාව අඩු කරන බව නිවේදනය කල හතර වන වතාව ය. එහෙත් එම පියවරෙහි අර්ථය වන්නේ සන්නද්ධ හමුදා නවීකරනයට තවත් පියවර ගැනීමකි.

පසුව ආරක්ෂක ඇමති මෙසේ ප්‍රකාශ කලේ ය. “භටයන්ගේ සංඛ්‍යාව කපා හැරීම, සම්පත් ගොනු කිරීමට, තොරතුරු ලබා ගැනීම වේගවත් කිරීමට සහ ප්‍රමිතිය ඉහල නැංවීමට අවශ්‍ය වාසිදායක තත්වයකි. සියලු වර්ගවල ආරක්ෂක තර්ජන හා අවදානම සමග ගනුදෙනු බේරා ගැනීමට අවශ්‍ය විශ්වාසය සහ හැකියාව අපට ඇත.”

ඔස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ රොයි මෙඩ්කාෆ් මෙසේ විස්තර කලේ ය. “අඩු හැකියාවන් සහිත සොල්දාදුවන්ගේ සාමාජික සංඛ්‍යාව අවම කිරීම මගින් සයිබර් හා අධිධ්වානික (ශබ්දයේ වේගය ඉක්මවන මිසයිල්) සහ සත්තකින්ම, නාවික නවීකරනය සඳහා අවශ්‍ය සම්පත් නිදහස් කරනු ඇත.”

එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා හෝ ජපාන අගමැති ශිංසෝ අබේ යන දෙදෙනාගෙන් එක් අයෙක් හෝ ඊයේ පැවති උත්සවයට සහභාගී නො වීය. ආරාධනා ලැබ තිබුනත් යුරෝපයේ බොහෝ නායකයෝ ද නො පැමිනියහ. “අතීතය ඉස්මතු කර දක්වනවා වෙනුවට අනාගතයට ගැලපෙන හැඩගැසීමකට යොමු වනවාට අපි කැමත්තෙමු යන අපගේ අදහස අපි චීනයට දැනුම් දී ඇතැයි” පවසමින් ජපානයේ අමාත්‍ය මන්ඩල ප්‍රධාන ලේකම් යුෂිහිදේ සුගා චීනය විවේචනය කලේ ය. ඔබාමා පරිපාලනය ද චීනයේ තම තානාපති මැක්ස් බෝකස් හමුදා පෙලපාලි නිරීක්ෂනය සඳහා යැවූ අතර එබඳුම උත්සුකයන් ඉදිරිපත් කලේ ය.

රුසියානු ජනාධිපති වැලැඩිමීර් පූටින්, දකුනු කොරියානු ජනාධිපති පාර්ක් ජයුන්-හයි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් බෑන් කී මූන් වැනි සෙසු විදේශීය ප්‍රභූහු මෙම අවස්ථාවට සහභාගී වූහ. අප්‍රිකාවෙන් සහ ආසියාවෙන් විශාල කන්ඩායමක් ද සහිතව රාජ්‍ය නායකයෝ 30ක් ඊට සහභාගි වූහ. එක්සත් ජාතීන් අපක්ෂපාති විය යුතු ය යි චෝදනා කරමින් ටෝකියෝව මූන්ගේ සහභාගීත්වය විවේචනය කලේ ය.

පෙනී යන පරිදි ඔබාමාගේ ඇලස්කා ගමනට සමපාත වෙමින් චීන නාවික යාත්‍රා 5ක් බීරිං මුහුදේ ඇලස්කා වෙරලාසන්නයේ දී දැක ගන්නට ලැබුනු බව හමුදා පෙලපාලියට මඳකට පෙර එක්සත් ජනපදය වාර්තා කලේ ය. ක්ෂනිකවම බටහිර මාධ්‍ය මෙය චීන ආක්‍රමනය පිලිබඳ සාක්ෂියක් ලෙස පින්තාරු කලේ ය.

එබඳු චෝදනා කුහකත්වයේ දුගඳ විහිදුව යි. වොෂිංටනය නිරන්තරයෙන් ම කලාපයේ නේකාකාර සහචරයන් සමග එක්ව චීන එලිපත්තේ මිලිටරි අභ්‍යස සිදු කරයි. මේ දක්වා දකුනු කොරියාව විසින් මෙහෙයවුනු විශාලතම ඒකාබද්ධ ජීව වෙඩි පුහුනු අභ්‍යාසය වන දකුනු කොරියාව සමග සිදු කල “Ulchi Freedom Guardian”නමැති මෑත දී අවසන් කල ව්‍යායාමය ද මීට ඇතුලත් ය.

2013 නොවැම්බරයේ දී එක්සත් ජනපදය චීනය විසින් අලුතින් ප්‍රකාශයට පත් කෙරුනු ගුවන් ආරක්ෂක කලාපය තුලට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් සහිත බී52 බෝම්බ හෙලන යාත්‍රා අනතුරුදායක හා ප්‍රකෝපකාරී ලෙස පිටත්කර යැවී ය. එක්සත් ජනපද ගුවන් යානා සහ නැව් දකුනු චීන මුහුදේ චීනය අයිතිවාසිකම් කියන ප්‍රදේශ වටා ඇති නාවික සැතපුම් 12 කලාපය තුලට යැවීමට සැලසුම් කිරීම සඳහා ආරක්ෂක ලේකම් ඇස්ටන් කාටර් මෙම වසර මුලදී කැඳවුම් කලේ ය.

චීන මිලිටරි පෙලපාලිය වනාහි ආසියා ෆැසිපික් කලාපයේ වර්ධනය වන එක්සත් ජනපද ආක්‍රමනකාරිත්වයට ප්‍රතිචාර වසයෙන් බීජින් තන්ත්‍රය ජාතිකවාදයට හා මිලිටරිකරනයට හැරෙමින් සිටින බවට තවත් ඇඟවුමකි. ෂී සිය කතාවේ එක් තැනක දී මාක්ස්වාදය - ලෙනින්වාදය චීනයට ක්‍රියාව සඳහා මග පෙන් වූ දේවලින් එකක් ලෙස පැවතියේ ය යි සඳහන් කලේ ය. යථාර්ථය නම් රට ගෝලීය සංගත සඳහා මෘග ලාභ ශ්‍රම වේදිකාවක් බවට පත් කරමින් චීනය තුල ධනවාදය පුනස්ථාපනය කලේ චීන ස්ටැලින්වාදී තන්ත්‍රය බව යි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ කලාපය තුල චීන අවශ්‍යතාවන් සීමා කිරීම සඳහා එය මිලිටරිමය ලෙස වටලෑම සඳහා සැලසුම් කෙරුනු ඔබාමා පරිපාලනයේ “ආසියාවට හැරීම” කෙරේ බිජිං ප්‍රභූවේ විරෝධය තුල ප්‍රගතිශීලී වන කිසිත් නො මැත. බ්‍රහස්පතින්දා ප්‍රදර්ශනයට හුදෙක්ම කල හැක්කේ ජාතිකවාදී හැඟීම් කැලතීමට මාවත සොයන අතරතුරේ ආතතීන් තියුනු කිරීම පමනි.

චීන තන්ත්‍රය සම්බන්ධයෙන් ගත් කල මිලටරි පෙලපාලිය, ඉහල නැගෙන ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රශ්නවලින් මහජනයා වෙනතකට යොමු කිරීමට යොමුවූවකි. පහත වැටෙන කොටස් මිල මධ්‍යම පන්තික තට්ටූන් මත සමාජ පදනමක් ගොඩ නගා ගැනීම සඳහා රෙජිමය දැරූ ප්‍රයත්නයන්ට පහරක් එල්ල කර ඇත. වැඩෙන විරැකියාවෙන් හා සමාජ අසහනයෙන් අත් මිදීමට අවශ්‍ය යයි දිගු කලක් තිස්සේ සැලකුනු ආර්ථික වර්ධනය, සියයට 8 ට වඩා පහත වැටී ඇත. පසු ගිය මාසයේ අවම වශයෙන් මිනිසුන් 160දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ටැන්ජින්හි රසායනික ගබඩාවක සිදු වූ පිපිරීම මහජන නොසංසුන්තා ඉහල නැංවී ය.

චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රය එහි ආරක්ෂාව සඳහා රට තුල පොලිස් මිලිටරි මැඩලීම් මත වඩවඩාත් විශ්වාසය රඳවනු ඇත. 2012 බලයට පත් වූ ෂී එවක් පටන් රටේ රාජ්‍ය ආයතන “ප්‍රතිසංස්කරනය” කර ජාත්‍යන්තර ධනවාදයේ අවශ්‍යතා වෙනුවෙන් ඒවා විවෘත කිරීම සඳහා ඔහුගේ පරිපාලනය මිලිටරිය මත වාරු විය. චීන කොපයේ නායකයා බවට පත් වීමෙන් අනතුරුව ඔහු වහාම මිලිටරිය හසුරුවන මධ්‍යම මිලිටරි කොමිසමේ සභාපති ලෙස වැඩ භාර ගෙන ජේෂ්ඨ මිලිටරි ජෙනරාල්වරු සියුම් ලෙස ඉවත් කර තම බලය වඩාත් තර කර ගත්තේ ය.

Share this article: