ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව සිවිල් යුද්ධය අවධියේ ප්‍රචන්ඩ ක්‍රියා විස්තර කරයි

UN report on Sri Lanka details atrocities during the civil war

රොහන්ත ද සිල්වා හා කේ. රත්නායක විසිනි, 2015 සැප්තැම්බර් 22

පසුගිය 16දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් විසින් ශ්‍රී ලංකාව පිලබඳව නිකුත් කරන ලද වාර්තාව, බලයේ සිටි ආන්ඩු බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය 26 වසරක යුද්ධය අවධියේ මිලිටරිය විසින් සිදුකරන ලද ප්‍රචන්ඩ ක්‍රියා පිලිබඳ තවත් තොරතුරු සපයා ඇත.

හැඳින්වීම හා ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ඇමරිකානු ගැති නව ආන්ඩුවට වාසිදායක වන පරිදි සකසා ඇතත් වාර්තාව, කොලඹ පාලක පන්තියේ සෑම කොටසක් මෙන්ම එල්ටීටීඊය විසින් ද සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම් හා යුද අපරාධ පිලිබඳ විස්තර ඉදිරිපත් කර ඇත.

වාර්තාව ඉදිරිපත් කරමින් සෙයිඩ් මෙසේ පැවසීය: “සමස්තයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගේ කනස්සල්ලට හේතුවන උල්ලංඝනය කිරීම් අතරින් අතිශය බරපතල අපරාධ වාර්තාවෙන් හෙලිදරව් කර තිබීම වැදගත්ය.” එහෙත් යුද අපරාධ පිලිබඳ වරදකරුවන්ගේ නම්, එය සඳහන් නොකරයි.

වාර්තාවෙන් නම් ගම් හෙලිකර නොතිබීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ උද්දාමයට පත්ව සිටිති. “ජනවාරි 8දා සිදුවූ වෙනස නොවන්නට, කොමිසම වෙත ඉදිරිපත් වීමට ඉඩ තිබුනාට වඩා වාර්තාව සිය දහස් ගුනයකින් මෘදු” බව සිරිසේන කොලඹ මාධ්‍ය ලොක්කන් හමුවේ පැවසී යයි ඩේලි මිරර් පත්‍රය වාර්තා කරයි.

ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ පරදා ජයගත් සිරිසේන, වත්මන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආන්ඩුව පිලිබඳ “යහපත් ප්‍රතිරූපය, වාර්තාව තුල බොහෝ නම් ගම් සඳහන් වීමට” තිබූ ඉඩකඩ අවුරා දැමූ බව පැවසීය.

වාර්තාව තුල නම් සඳහන් නොවීම පෙන්නුම් කරන්නේ, සෙයිඩ්ගේ කාර්යාලය, ඇමරිකාව හා කොලඹ ආන්ඩුව අතර එකිනෙකා ගැන පැවති අවබෝධයයි. පිටු 261න් යුත් වාර්තාව සකස් කලේ, 2014 මාර්තුවේ එජා මානව හිමිකම් කමිටුව තුල ඇමරිකාවේ අනුග්‍රහය ඇතිව සම්මත කල යෝජනාවකට අනුව එහි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසිනි.

රාජපක්ෂ ආන්ඩුවේ එල්ටීටීඊ විරෝධී යුද්ධයට සහාය දුන් වොෂින්ටනය, මිලිටරියේ ප්‍රචන්ඩ ක්‍රියා නොදුටුවාක් මෙන් සිටියේය. 2009 යුද්ධයේ අවසන් මාසවල ඇමරිකාව “මානව හිමිකම්” ප්‍රශ්නය ඩැහැ ගත්තේ, චීනයෙන් ඈත් කිරීම පිනිස රාජපක්ෂට පීඩනය යෙදීමේ මාධ්‍යයක් ලෙසය. එය අසාර්ථකවූ පසුව වොෂින්ටනය, ජනවාරි ජනාධිපතිවරනයේදී තන්ත්‍ර මාරුවක් වන් මෙහෙයුමකට සහාය දුන්නේය.

වාර්තාව “මෘදු” වන්නේ නම් ඒ, වොෂින්ටනය සමඟ වඩා කිට්ටුවෙන් බැඳී සිටින නව ආන්ඩුව කඩාකප්පල් වීම ඇමරිකාවට හා එහි සහචරයින්ට අවශය නොවන බැවින්ය. පසුගිය නොවැම්බරය දක්වා සිරිසේන, රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ද හිටපු ජනාධිපතිගේ සමීපතමයෙක් හා අවස්ථා ගනනකදීම වැඩබලන ආරක්ෂක ඇමති ලෙස ද කටයුතු කලේය. ඒ තත්වය තුල නව ජනාධිපතිට ද අනෙකුත් ඇමතිවරුන්ට හා ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන්ට ද රාජපක්ෂට මෙන්ම යුද අපරාධ චෝදනා එල්ලවිය හැකිව තිබුනි.

බහුතරයක් දෙමල මිනිසුන් වූ දෙලක්ෂයක් පමන දෙනාගේ ජීවිත බිලිගත් සාපරාධී යුද්ධයේ පැති, වාර්තාවෙන් හෙලිදරව් කෙරේ. විවිධ මූලාශ්‍රයන්ගෙන් ලබාගත් චන්ද්‍රිකා ඡයාරූප, ඡයාරූප මෙන්ම ඇසින් දුටුවන්ගේ විස්තර ද පරීක්ෂන කොමිසම විසින් රැස්කරගනු ලැබින. වාර්තාවේ කාල පරාසය 2002 සටන් විරාමයේ පටන් 2009 එල්ටීටීඊ පරාජය දක්වා හා ඉන් ඔබ්බට, 2002 සිට 2011 දක්වා දිව යයි. එය 1983 එජාප ආන්ඩුව යුද්ධය ආරම්භ කල තැන් පටන් ගතවූ දශක දෙකක යුද්ධයේ වකවානුව ආවරනය කර නැත.

වගකිවයුත්තන් නම් කිරීමට අසමත් වුව ද වාර්තාව, රාජපක්ෂගේ ශ්‍රීලනිප මෙන්ම වත්මන් එජාප යන ආන්ඩු දෙකම සම්බන්ධයෙන් සලකන කල, බරපතල අභිචෝදනාවකි. “එක දිගට සිදුව ඇති බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන හා දස දහස් ගනන් පුද්ගලයන්ට මෙන්ම සමස්ත සමාජයන්ටම බලපා තිබෙන ඒ හා බැඳුනු අපරාධ” පරීක්ෂන කොමිසම විසින් සොයාගනු ලැබ ඇත.

“රජයේ හමුදා හා ඒවාට සම්බන්ධ පැරාමිලිටරි සංවිධාන විසින් වසර ගනනාවක් තිස්සේ කරගෙන ගිය, පුලුල්ව හා පොදුවේ පැවති දන්ඩ මුක්තික ඝාතන, බලහත්කාරී අතුරුදහන් කිරීම්, පැහැරගැනීම්, නීති විරෝධී අත්අඬංඟුවට ගැනීම් හා රඳවා තැබීම් ද වධ බන්ධන හා ලිංගික ප්‍රචන්ඩත්වය පිලිබඳ රටාවන්” ද ඊට ඇතුලත් බව වාර්තාව සඳහන් කරයි.

දෙමල ධනපතියන්ගේ මිස කම්කරු පීඩිත ජනතාවගේ අවශ්‍යතා නියෝජනය නොකල, දෙමල බෙදුම්වාදී න්‍යායපත්‍රය කරගසාගෙන සිටි එල්ටීටීඊයේ පුලුල් මානව අයිතීන් කඩකිරීම් ද වාර්තාවෙන් පෙන්වාදී ඇත. වැඩකරන ජනතාවට කිසිදු ලෙසකින් ආයාචනා කිරීමට අසමත්වූ එල්ටීටීඊය, සිය පාලනය යටතේ පැවති භූමිභාග අල්ලාගෙන සිටීම පිනිස වඩ වඩාත් ප්‍රජාතන්ත්‍ර විරෝධී විධි ක්‍රමයන්හි පිහිට පැතූ අතර සිංහල සිවිල් ජනතාවට පහර දීම මඟින් හිතාමතාම වාර්ගික වෛරය වැපිරූහ.

2005 ජනාධිපතිවරනය ජයගැනීමෙන් පසුව රාජපක්ෂ, ඇමරිකාවේ හා එහි සහචරයින්ගේ පිටුබලය ඇතිව, 2006 මැද දිවයින යලි යුද්ධයට ඇද දැමූ අතර පලමුව නැඟෙනහිරේ ද පසුව උතුරේ ද එල්ටීටීඊයට එරෙහි දැවැන්ත ප්‍රහාරක මෙහෙයුම් දියත්කරමින්, මිලිටරි ශක්තිය ලක්ෂ තුන දක්වා තුන් ගුනයකින් වැඩිකර මිලිටරි වැය වේගයෙන් ඉහල නැංවීය.

එජා පූර්ව පරීක්ෂනයන් මෙන්ම මෙවර ද එය, 2009 සිවිල් යුද්ධයේ අවසන් මාසවල, ආහාර හා සෞඛ්‍ය පහසුකම් අහිමි කරමින්, ලක්ෂ ගනනක් දෙමල සිවිල් වැසියන් හැකිලෙමින් තිබුනු එල්ටීටීඊයේ පාලන ප්‍රදේශ තුල කොටුකිරීම වෙත අවධානය යොමුකර ඇත. එල්ටීටීඊ ප්‍රදේශ තුල මිලිටරිය ප්‍රකාශයට පත් කල යුද මුක්ත කලාප කිසිදු ආරක්ෂාවක් සැපයුවේ නැත. මිලිටරියේ කටයුතු වසං කිරීමේ අරමුනෙන් ආන්ඩුව, 2008 සැප්තැම්බරයේදී ඉතිරිව තිබුනු එල්ටීටීඊ ප්‍රදේශ වලින් සියලු එජා ආයතන හා රාජ්‍ය නොවන සංවිධානයන්ට ඉවත්වන ලෙස නියෝග කලේය.

“සන්නද්ධ හමුදා විසින් පුලුල් ලෙස නොකඩවා එල්ල කල ෂෙල් වෙඩි ප්‍රහාර වලින් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ජීවිත හා ඉමහත් හානි සිදු විය. විනාශය, ලේ වැගිරීම්, පවුල් පිටින් විනාශවූ බෝම්බ හෙලීම් හා ඉන් ඇතිකල මානසික කම්පනය පිලිබඳ බිහිසුනු තොරතුරු සාක්ෂිකරුවන් විසින් පරීක්ෂන කමිටුව වෙත සපයනු ලැබින. ආන්ඩුව විසින් පනවන ලද දැඩි සීමාවන් හමුවේ වන්නිය තුල දැඩි ආහාර, ජල හා බෙහෙත් හිඟයක් පැවතුනි. එමඟින් ඔවුන්ගේ ජීවිතය වඩාත් දුෂ්කර තත්වයකට ඇද දැමුනි. අමතර ජීවිත හානි වලට ද තුඩු දුන්නේය.” වාර්තාව සඳහන් කරයි.

කමිටු වාර්තාව සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිලිබඳ තක්සේරුවක් ඉදිරිපත් නොකරන නමුත් මෙසේ ප්‍රකාශ කරයි. “දස දහස් ගනනක් නොවේනම් ලක්ෂ ගනනකට ජීවිත අහිමිවූ බව නිසැකය. අමු අමුවේ සිදුකල මානව අයිතීන් හා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම්, ක්‍රමානුකූලව ඒවා සිදු කෙරුනු ආකාරය පිලිබඳ ඇඟවීම් සමග අත්වැල් බැඳගෙන සිදුවූ ප්‍රහාරයන්ගේ පුලුල් ස්වාභාවය යන සියල්ල ජාත්‍යන්තර අපරාධ පිලිබඳ කොමිසමක හැකියාව පෙන්නුම් කරයි.”

මේ අපරාධ වලට, රෝහල් වලට පහරදීම් ද ඇතුලත්ය. ඒවායේ පිහිටීම ගැන තොරතුරු ආරක්ෂක හමුදාවන් වෙත සම්පාදනය කලා විය යුතුය. 2009 ජනවාරියේදී වල්ලිපුනාම් රෝහලට එල්ල කල පලමු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් “ප්‍රධාන ගොඩනැඟිල්ලට ද යටිතල වෛද්‍ය පහසුකම් වලට ද ගිලන් රථ හා තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථාන වලට ද හානි සිදු විය. ඒ සිදුවීමෙන් අඩු තරමින් සිවිල් වැසියන් 5 දෙනෙකු මිය ගොස් 22ට තුවාල සිදු විය. “ ඉන් පසුව පුදුකුඩියිඉරුප්පු, වලයාර්මාදම්, මුල්ලිවයික්කාල් හා අවසානයේදී වෙල්ලිමුල්ලිවයික්කාල් සෞඛ්‍ය පහසුකම් මධ්‍යස්ථානයට ද ප්‍රහාර එල්ල විය.

වාර්තාව සඳහන් කරන පරිදි “සිවිල් වැසියන්ගේ දුක්පීඩා යුද්ධය අවසන් වීමෙන් පසුව කෙලවර වූයේ නැත.” මිලිටරියේ පූර්න පාලනය යටතේ පැවති “ශුභ සාධන ගම්මාන” ලෙස හැඳින්වූ රැඳවුම් කඳවුරු තුලට 250,000ට වැඩි ජනතාවක් ගාල්කරනු ලැබින. “හෙක්ටෙයාර 500ක් පුරා පැතිරුනු කිලෝ මීටර් ගනනාවක් දුරට විහිද ගිය, හමුදා භටයින් විසින් මුර කරන ලද කටු කම්බි වලින් වටකල කලාප හතකින් සැදුම්ලත් වව්නියාවේ මැනික් ෆාම් ඉන් එකක් විය.”මිනිසුන් 220,000ක් ඒ තුල රඳවා තැබුනි. ප්‍රධානකොටම තරුනයින්වූ 12,000ක් පමන දෙනා “එල්ටීටීඊ සැකකරුවන්” ලෙස හංවඩු ගසන ලදී. ඔවුන් රහසිගත ස්ථාන වලදී වධයට ලක් කල අතර සමහරු නිකම්ම “අතුරුදහන්” විය.

2006 අගෝස්තු 4දා මුතූර් නගරයේදී ඝාතනය කල ප්‍රන්ස සහන කන්ඬායමක් වූ ඇක්ෂන් කොන්ට්‍ර ලා ෆේම් හි කම්කරුවන් 17 දෙනෙක් ගැන සිදුවීම ද ඇතුලු කුප්‍රකට සිද්ධීන් ගනනාවක් ද වාර්තාව විමසා බලයි. ඔවුන්ගෙන් 15 දෙනෙක් පේලියට සිටුවා හිසට වෙඩි තබා මරා දැමුනි. තවත් දෙදෙනෙක් පලායෑමට උත්සාහ කරද්දී මරා දමනු ලැබින. පසුව පැවැත්වූ පරීක්ෂන නිසැකවම, ඊට වගකිවයුතු මිලිටරිය ගලවා ගැනීමට සැලසුම් කල සුදුහුනු ගෑමක් පමනි.

උක්ත වාර්තාව: “විධායකය [ජනාධිපති රාජපක්ෂ] පරීක්ෂනයට අත දැමූ අතර දෙමල අයට පරීක්ෂනයට සහභාගී වීම දුෂ්කර සිංහල ප්‍රදේශයකට එය මාරු කරන ලදී. මුලින් පරීක්ෂනය පැවැත්වීමට පත්කල මහේස්ත්‍රාත් වරයා තර්ජන හමුවේ ඉල්ලා අස් විය. දෙවන මරන පරීක්ෂනය පැවැත්වීම නිරීක්ෂනය කිරීමට පත් කල ජාත්‍යන්තර අධිකරන වෛද්‍ය නිලධාරියාට තර්ජනය කර, එක් මලසිරුරක හිස් කබල තුල තිබී හමුවූ, විශේෂ කාර්ය බලකාය පාවිච්චි කරන අවියක මූනිස්සමක් බවට සැක කල වාර්තාව ඉල්ලා අස්කර ගැනීමට බල කෙරුනි.”

තවත් වැඩි අවධානයක් දිනාගත් සිදුවීමකදී වාර්තාව, ආන්ඩුවේ ප්‍රතික්ෂේප කිරීම් වලට පටහැනි ලෙස, යටත්වූ එල්ටීටීඊ සාමාජිකයින් ඝාතනය කල බව විශ්වාස කිරීමට “සාධාරන හේතු” තිබෙන බව පවසයි. එල්ටීටීඊයේ දේශපාලන අංශයේ ප්‍රධානී බාලසිංහම් නඩේසන් ඉන් ප්‍රමුඛ අයෙකි. එහි සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී සිවරත්නම් පුලිදේවන් ද ඒ අතර විය. 2009 මැයි 18දා ආරක්ෂක හමුදා වෙත බාර වීමෙන් පසු ඔහු මිය ගියේය.

තමන් හඳුනාගෙන ඇති අපරාධ ගැන පරීක්ෂන පැවැත්වීමට “ජාත්‍යන්තර විනිසුරුවන්, අභි චෝදකයින්, නීතිඥයින් හා පරීක්ෂකයින්ගෙන් සැදුම්ලත් විශේෂ හයිබ්‍රිඩ් අධිකරනයක්” පිහිටුවීමට මානව හිමිකම් කමිටුව නිර්දේශ කර ඇත. දන්ඬ මුක්තිය සහිතව ආරක්ෂක හමුදා හා පොලිසිය ක්‍රියාත්මකවූ තතු හමුවේ ශ්‍රී ලංකාවේ “දේශීය” අධිකරන පද්ධතිය නොසෑහෙන බව එය අවධාරනය කරයි.

එම වාර්තාව එජා මානව හිමිකම් කමිටුවේදී සැප්තැම්බර් 30දා සාකච්ඡාවට ගැනීමට නියමිතය. නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිලිබඳ යෝජනාව ගෙන ඒමේදී ආන්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවට ඇමරිකාව දැනටමත් පවසා ඇත. එසේම කොලඹ පාලනය යෝජනා කර ඇති පරිදි දේශීය පදනමක පරීක්ෂනයක් සඳහා සහයෝගය දීමට ද ඇමරිකාව සූදානම් බව ඇඟවුම් කර තිබේ.

පීටීඅයි ප්‍රවෘති වෙත අදහස් දක්වමින් දකුනු ආසියාව පිලිබඳ සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් පැවසුවේ වොෂින්ටනය, මානව අයිතීන් පිලිබඳ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට “ශ්‍රී ලංකාව දක්වන දැඩි උනන්දුව” සැලකිල්ලට ගන්නා අතර ආන්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි. යථාර්තයේදී ඇමරිකාවේ සහාය ලබන කොලඹ පාලනය, කුමන හෝ පරීක්ෂනයක් යොදා ගන්නවා ඇත්තේ යුද අපරාධ යටපත් කිරීමටය.

දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධය හා සම්බන්ධ ප්‍රචන්ඬත්වයට කොලඹ සමස්ත දේශපාලන හා මිලිටරි සංස්ථාපිතයම වගකිව යුතුය. තව ද වාර්තාව පැහැදිලි කරන ආකාරයට, සමස්ත පොලිස් රාජ්‍ය යාන්ත්‍රනයම තවමත් පවතියි. “කඩකිරීම් හා අපරාධ වලට වගකිවයුතු බොහෝ සංස්ථා තවමත් පවතින අතර අවශ්‍යවූ විට ක්‍රියාත්මක වීමට සූදානම්ව මෙන්ම වගවීම ගැන සොයාබලන තතු යටතේ කුමන හෝ ප්‍රගතියක් වැලැක්වීමට සූදානම්ව සිටී.”

ඊලඟ අවධියේදී ආන්ඩුව සිය කප්පාදු න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන විට, සිය රැකියා හා ජීවන තත්වයන් රැකගැනීමට උත්සාහ කරන කම්කරු පීඩිත ජනතාව මැඬීම පිනිස එවන් මර්දනකාරී “සංස්ථා” නිසැකවම යලි පනගන්වනු ඇත.

Share this article: