අර්බුදවලින් වේව්ලුම්කෑ ලෝකයක්

A world convulsed by crises

2015 සැප්තැම්බර් 12

ගෙවී ගිය මාසයක කාලය පුරා ආර්ථික, භූ-දේශපාලනික හා සමාජ අර්බුද උග්‍ර අතට හැරීම ලෝකය අලලාගෙන ඇති අතර දෛනික පදනමක මතුවෙමින් ද එකිනෙක අන්තර්ක්‍රියාකාරී වෙමින් ද ගෝලීය කැලඹීමක අවතාරය මතුව එයි.

2008 වෝල් වීදියේ කඩාවැටීමේ සිට ගොඩනැගුනු මූල්‍ය කඩදාසි මාලිගාව පෙරලා දැමීමට තර්ජනය කරන, නිෂ්පාදනය හා ආයෝජනය තුල ඒකරාශී වන අවපාතයක බලපෑම පිටුදැකීමට ආන්ඩු හා මහබැංකු මංමුලා සහගත උත්සාහයක යෙදී සිටිද්දී, ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොල ආර්ථික පෙරමුනේ දී දැවන්ත ලාභ හා පාඩු අතර පැද්දෙමින් තිබේ.

මූල්‍ය බිඳවැටීමෙන් පසු ආර්ථික වර්ධනයේ වැඩි පංගුව සැපයූ ලෝක ධනවාදයේ ප්‍රධාන ලාභ ශ්‍රම වේදිකාව වන චීන ආර්ථිකය, අනෙකුත් “නැගී එන ආර්ථිකයන්” සමූහය සමග එක පෙලට ගිලෙමින් පවතී.

ඇෆ්ගනිස්තානයේ සිට ඉරාකය, සිරියාව, ලිබියාව,යේමනය හා අප්‍රිකාවේ විශාල කොටසක සමස්ත රටවල් ම විනාස කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධයන් විසින් නිර්මානය කරන ලද සමාජ ව්‍යසනයේ බලපෑම යටතේ භූදේශපාලනික පෙරමුනේ දී, ප්‍රධාන ධනේශ්වර බලවතුන් අතර ආතතිය තියුනු වෙමින් ඇත. ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි යුරෝපීය හා ගල්ෆ් සහචරයන් විසින් මධ්‍යම ආසියාවේ හා මැද පෙරදිග වැඩි කොටසක් නැති භංග කිරීමට පෙරමුන ගෙන ඇති අතර දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නො දුටු පරිමානයේ මංමුලා සහගත සරනාගතයින්ගේ පිටාර ගැලීමක් නිර්මානය වී ඇත.

යුරෝපයට ගලා එන සියදහස් ගනන් සංක්‍රමනිකයන් හෙලිදරව් කර ඇත්තේ, ඔවුන් වෙනුවෙන් පල වන පුලුල් මහජනතාවගේ සහයෝගිතාව හා සහාය සහ යුරෝපය තුල මෙන් ම ඉන් පිටත ආන්ඩුවල උදාසීනත්වය හා අමානුෂිකත්වය අතර විශාල පරතරය යි. ඒ ආකාරයෙන් ම යුරෝපා සංගමය බිඳ දැමෙන ගැටුම, අර්බුදය මඟින් උත්සන්න කෙරී ඇත.

රුසියාව හා චීනය මත වොෂින්ටනය සිය රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි පීඩනය දැඩි කර ඇති අතර සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ තන්ත්‍රය පෙරලා දැමීමේ පූර්න යුද්ධයක් සඳහා නව කොන්දේසි නිර්මානය කරමින් සිටියි.

පෙර නො වූ විරූ සමාජ අසමානතාව සහ වැඩිවෙන මහජන කෝපය හා අතෘප්තියේ පීඩනය යටතේ ලෝකය පුරා සම්ප්‍රදායානුකූල ධනේශ්වර පක්ෂ, ― දක්ෂිනාංශික මෙන් ම “වාම” ―ඇද වැටෙමින් තිබේ. පන්ති අරගලය මර්දනය කිරීමට හා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් පූර්වභංග කිරීමට පාලක ප්‍රභූව නව මාධ්‍යයන් සලකා බලති. කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුද කිරීමට හා සිය ප්‍රතිගාමී ප්‍රතිපත්ති පැටවීමට කාලය ලබා ගැනීම පිනිස ඔවුන් වඩ වඩා වාරුවන්නේ, ග්‍රීසියේ සිරිසා, ජර්මනියේ වාම පක්ෂය, ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය, ඇමරිකාවේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ව්‍යාජ වම්මුන් මත ය.

පාලක පන්තියේ ඇතම් කන්ඩායම්, වර්ගවාදී හා සංක්‍රමන-විරෝධී කයිවාරු මත ලැග සිටින ඒකාධිපති හා ෆැසිස්ට්වාදී නායකයින් පිම්බීමෙහි යෙදී සිටිති. අනෙකුත් අය, ග්‍රීසියේ සිප්‍රාස්, බ්‍රිතාන්‍යයේ කෝබියන්, ඇමරිකාවේ සැන්ඩර්ස් වැනි “වාම” කන්ඩායම් යොදාගෙන, කම්කරු පන්තිය පාලනය කිරීමට හා මැඩීමට ද කම්කරු පන්තිය සමග ප්‍රචන්ඩ ලෙස ගනුදෙනු බේරා ගැනීම සඳහා පදනම සකසා ගැනීමට ද අත්හාදා බැලීම්වල යෙදී සිටිති.

අර්බුදය අනියම් නො ව නීතියයි. ප්‍රචන්ඩ කුනාටු අතරතුර නිශ්චලත්වයේ විරාම නොමැති සිදුවීම්වල වේගය ම සංඥා කරන්නේ තීව්‍රවන පොදු අර්බුදයකි.

මෙම සියලු වර්ධනයන් ධනේශ්වර ආර්ථික හා දේශපාලන පද්ධතියේ ඓතිහාසික අර්බුදයක ප්‍රකාශනයන් ය. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය හා ලෝකය තරඟකාරී ජාතික රාජ්‍යයන්ට බෙදී තිබීම මත පදනම් වූ ධනේශ්වර ක්‍රමයේ රාමුව තුල යුක්තිසහගත හෝ ප්‍රගතිශීලී විසඳුමක් ඇත්තේ නැත.

සිය අර්බුදය වැඩකරන ජනතාව මත පැටවීමට දරන උත්සාහයේදී හැරුන විට ධනේශ්වරය තමන් අතරම මංමුලාසහගත කා කොටා ගැනීම්වල යෙදී සිටියි. ඉවබව නැති හා ප්‍රචන්ඩකාරී අවසාන විකල්ප තෝරා ගැනීම සඳහා ඔවුන් පොර වැදී සිටියි. මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම ඔවුන්ගේ අත්වල තිබෙන්නට ඉඩ හැරියහොත් අනිවාර්ය ප්‍රතිඵලය වනවා ඇත්තේ, තුන්වැනි ලෝක යුද්ධය හා න්‍යෂ්ටික මූලෝත්පාටනය යි.

ලෝක දේශපාලන තත්වය එන්ට එන්ටම 1930ස් ගනන්වල රූපාකාරයන් අත් කර ගනියි. හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක වැඩපිලිවෙල වූ සංක්‍රමනීය ක්‍රියාමාර්ගය තුල 1938දී ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි, “ ධනවාදය සිඳී බිඳී විසිර යාමේ දී වර්ධනය වන ආතතිය යටතේ අධිරාජ්‍යවාදී සතුරුකම් මහා අගාධයක් කරා සේන්දු වෙයි. ඒහි උච්ච අවස්ථාවේ දී වෙන් වෙන් ඝට්ටන හා ලේවැකි ප්‍රාදේශීය කැලඹිලි (ඉතියෝපියාව, ස්පාඤ්ඤය, ඈත පෙරදිග, මධ්‍යම යුරෝපය) මහා ලැව්ගිනන්නකට අනිවාර්යයෙන් ම ඒකීභූත වී ලෝක පරිමාන අග්නි ජාලාවක් බවට පත් විය යුතු ම ය.”

යුගයේ ― අද අපගේ යුගයේ- ස්වභාවය හැඳින්වීමට ට්‍රොට්ස්කි “ධනවාදයේ මරලතෝනිය” නම් වැකිය යොදා ගත්තේ ය. ආර්ථික, භූදේශපාලනික හා සමාජ අර්බුද පිලිබඳ ප්‍රකාශන, සමාජයේ පූර්ව විප්ලවවාදී තත්වයක ලක්ෂන වී යැයි ට්‍රොට්ස්කි පැහදිලි කලේ ය. මුදුනේ අශ්ලීල ධන සම්පත් මධ්‍යයේ වැඩිවෙන්නා වූ දරිද්‍රතාවට විරුද්ධව ජනතාවගේ ප්‍රතිරෝධය, වැඩිවන මර්දනය හා ලෝක යුද්ධයේ අවිශද තර්ජනය සමග ඉහල නඟියි.

මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ මතු කෙරෙන කේන්ද්‍රීය හා හදිසි ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ දේශපාලන විඥානය වර්ධනය කිරීම හා විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම යි. අද මෙන් එදා ද මානව වර්ගයාගේ ඉරනම සංකේන්ද්‍රනය වූයේ මෙම ප්‍රශ්නය තුල ය: එනම්, ධනවාදය ම්ලේච්ඡත්වයට හා යුද්ධයට ඇදවැටීම ද සමාජවාදී විප්ලවය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලනිකව දැනුවත් අරගලය ද යන දෙකින් කුමක් වඩා වේගයෙන් වර්ධනය වනවා ඇත් ද?

දෙවැන්නේ ජයග්‍රහනය සඳහා, 20වැනි සියවසේ හා 21වැනි සියවසේ ආරම්භක වසරවල කම්කරු පන්තියේ මූලෝපායාත්මක පාඩම් මත සිය ක්‍රියාමාර්ගය, මූලෝපාය හා උපක්‍රම පදනම් කරන පක්ෂයක් විසින් කම්කරු පන්තියට නායකත්වය සැපයිය යුතු ය. බංකොලොත් ධනේශ්වර පද්ධතිය සාර්ථක ලෙස පෙරලා දැමීමට හා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා අත්‍යාවශ්‍ය සංකලනය මෙය යි.

සංක්‍රමනීය ක්‍රියාමාර්ගය ඇරඹෙන්නේ ප්‍රගාඪ තක්සේරුවකිනි: “සමස්ත ලෝක දේශපාලන තත්වය මුඛ්‍ය වශයෙන් ම නිර්ධන පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදයකින් සංලක්ෂිත වී ඇත.” මෙය අද තත්වයේ සාරය සාරාංශගත කරන අතර ම , ලෝක නායකත්වය ලෙස හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමේ කර්තව්‍යය පන්ති විඥානයෙන් යුත් කම්කරුවන් හා තරුනයන් ඉදිරියේ මතු කර යි.

ආන්ද්‍රේ ඩමෝන් හා බැරී ග්‍රේ

Share this article: