එක්සත් ජාතීන්ගේ මහා මන්ඬලය වසාගෙන යුද වලාවන් පැතිර යයි

War clouds loom over UN General Assembly

2015 සැප්තැම්බර් 28

එක්සත් ජාතීන්ගේ මන්ඬලය 1945 වසරේදී පිහිටුවනු ලැබුවේ, එක් පරම්පරාවකගේ ජීවිත කාලය තුල හටගත් විනාශකාරී ලෝක යුද්ධ දෙකකට තුඩු දෙමින් පුපුරා ගිය ප්‍රධාන බලවතුන් අතර ගැටුම් සමනය කර පාලනය කිරීම මඟින් සාමයේ නව අවධියක් සහතික කරනු ඇති බව ප්‍රකාශයට පත්කරමිනි.

වසර හැත්තෑවක් ගතව ඇති අතර මේ සතියේ එක්සත් ජාතීන් රැස්වන විට ඕනෑවටත් වඩා පැහැදිලිව දක්නට ලැබෙන්නේ, සංවිධානය පිහිටුවීමේදී ප්‍රකාශයට පත් කල ආකාරයට දේවල් සිදුවන්නේ නැති බවයි. ඊට ප්‍රතිකූලව සනාථ කෙරෙන්නේ, ව්ලැඩිමීර් ලෙනින්ගේ විශ්ලේෂනයයි. පලමු ලෝක යුද්ධය මධ්‍යයේ ඔහු අවධාරනය කලේ, ධනවාදය යටතේ යුද්ධය අවසන් නොකල හැකි බවත්, ප්‍රධාන බලවතුන් අතර ප්‍රතිඝතිතාවන්ගේ අර්ථය, ඔවුන් අතර කුමන හෝ සාමයක් තාවකාලික අන්තර් විරාමයක් හා නව යුද්ධයක් සඳහා වන සූදානමක් පමනක් වන බවයි.

මේ වසරේ වාර්ෂික මහ මන්ඬල රැස්වීමේ කටයුතු, න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ හැකියාව සහිත නව ලෝක යුද්ධයක් කරා වේගයෙන් ඇදී යන, ඕනෑම එකක් ප්‍රධාන බලවතුන් අතර මිලිටරි ගැටුමක් ඇවිලවියහැකි, ජාත්‍යන්තර භූ දේශපාලනික ගිනි පුපුරු මාලාවකින් පුපුරු ගසයි.

තම “ආසියාවට හැරීමේ” බැනරය යටතේ නැඟෙනහිර ආසියාව පුරා මිලිටරි හා භූදේශපාලනික ආධිපත්‍යය පැතිර වීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන වෑයම හමුවේ, එක්සත් ජනපදය හා චීනය අතර දැනට සිදුවන ගැටුම උත්සන්න වෙයි. ඇමරිකාව හා එහි සහචරයින්, “නාවික ගමනාගමනයේ නිදහස” යන ප්‍රෝඩාකාරී සටන් පාඨය යටතේ, දකුනු චීන මුහුදේ චීනය විසින් සිදුකරනු ලබන මුහුද ගොඩකිරීමේ කටයුතු මුල්කරගෙන එරටට විරුද්ධ පීඩනය දැඩි කරයි. මෘදු හඬක් නංවන මෙම වැකිය පිටුපසින් ඇමරිකාව, චීන වෙරලට ඔබ්බෙහි මිලිටරි මෙහෙයුම් පවත්වන අතර චීන භූමිය තුලට කඩා වැදීමේ දැවැන්ත ප්‍රහාරයක් සඳහා වන සිය ගුවන්/මුහුදු සටන් සැලැස්ම නවීකරනයට ලක් කරයි.

දකුනු චීන මුහුදේ දිවයින් වලට දිගු කලක් තිස්සේ කෙරෙන චීන හිමිකම් පෑම අවසන් කල යුතු බවට වොෂින්ටනයේ බලකිරීම යලි අවධාරනය කරන ඇමරිකානු මිලිටරි ආඥාපතිගේ ප්‍රකාශ හමුවේ, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා හා චීන ජනාධිපති සී ජින්පින් ධවල මන්ඳිරයේදී ආතති සහගත රැස්වීමක් පැවැත්වූයේ යන්තම් පසුගිය සතියේය. චීන නායකයා එවන් ප්‍රකාශයක් කිරීමෙන් වැලකී සිටි අතර නායකයින් දෙදෙනාම එජා මහ මන්ඬලය ඇමතීමට නියමිතය.

නැඟෙනහිර ආසියාව හා ඉන් ඔබ්බට සිය මහ බලවත් අභිලාෂයන් යලි අවධාරනය කිරීමටත්, රට යලි මිලිටරීකරනය වේගවත් කිරීමටත් යොමුවී සිටින ජපාන නායකයා ද දකුනු චීන මුහුදේ චීනයට එරෙහි ඇමරිකානු බලල් අත ලෙස කටයුතු කරන ෆිලිපීන නායකයා ද ඊට සහභාගී වීමට නියමිතය.

යුරේසියානු භූ ස්කන්ධයේ අනෙක් පසින් නේටෝව ඇමරිකාවේ නායකත්වය යටතේ, රුසියාවට එරෙහිව සිය මිලිටරි ශක්තිය තරකරමින් සිටියි. සෝවියට් සංඟමය විසුරුවා හැරීමෙන් පසුව කලාපය තුල පවත්වන විශාලතම ඇමරිකානු-නේටෝ ට්‍රයිඩන්ට් 2015 යුද අභ්‍යාසය, බෝල්ටික් කලාපයේ හා ඉන් ඔබ්බට යුද මෙහෙයුම් සඳහා බටහිර බලවතුන් සූදානමේ තබනු ඇත.

සෝවියට් සංඟමය විසුරුවා හැරීමෙන් පසුව පලමු වතාවට ඇමරිකාව, “රුසියාව සමඟ සන්නද්ධ ගැටුමක් සඳහා වන සිය හදිසි සැලසුම් විමසුමට හා යාවත්කාලීන කිරීමට කටයුතු කරමින්” සිටින බව වාර්තාවේ.

ඉරාකයට පහර දීම හා මැද පෙරදිග සිය මිලිටරි අධිකාරිය තහවුරු කරගැනීමේ ව්‍යායාමය සඳහා සෝවියට් සංඟමය විසුරුවා හැරීමේ අවස්ථාව ඩැහැගත් ඇමරිකානු අධිරාජ්‍යවාදය, 1990-91 ගල්ෆ් යුද්ධය ඇරඹීමෙන් පසුව කලාපය තුල අඛන්ඩ යුද මෙහෙයුමක නිරතව සිටියි. විවිධ මිලිටරි ක්‍රියාන්විතයන් හා ඉන් නිර්මානය කල ව්‍යසනයන් තුලින් ඇමරිකානු ප්‍රතිපත්තියේ හැරීම් හා ඇඹරීම් සිදුව ඇති නමුත් නොවැලැක්විය හැකි තර්කනයක් එහි පවතියි. එනම්, රුසියාව හා අනෙකුත් මහ බලවතුන් පැටලීමේ හැකියාව සහිත ප්‍රධාන මිලිටරි ගැටුමක ශක්‍යතාවයි.

එක්සත් ජාතීන්ගේ මහ මන්ඬල රැස්වීම පැවැත්වෙන අතරතුර, අයිඑස්අයිඑස් හමුදාවන්ට මෙන්ම සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් රෙජිමයට එරෙහිව ද මෙහෙයවීමේ හැකියාව දරා සිටින, සිරියාව තුල බෝම්බ ප්‍රහාර ආරම්භ කල බවට ප්‍රන්සය නිවේදනය කිරීමත් සමඟ මෙම ශක්‍යතාව වඩාත් දැඩිවී ඇත.

පසුගිය සතියේ සිරියානු තන්ත්‍රයට ආධාර පිනිස රුසියානු ආධාර පුලුල් කර ඇති බවට වාර්තා පලවන අතර ඔබාමා පාලනය පැවසුවේ, කලාපය තුල රුසියාවේ අභිලාශයන් “පිරික්සා බැලීමට” එක්සත් ජාතීන්ගේ රැස්වීමට පිටින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා පවත්වන බවයි. සාකච්ඡා පැවැත්වෙන්නේ, වොෂින්ටනය විසින් උසිගන්වනු ලබන ව්‍යසනකාරී සිව් වසරක සිවිල් යුද්ධය අවසාන කිරීමේ දේශපාලන විසඳුමක් සඳහා සිය සැලැස්ම ගෙනහැර දක්වමින් පුටින් මහ මන්ඬලය අමතන දින ම ය.

කලාපය තුල හා ඉන් ඔබ්බට, අසාද් ඇතුව හෝ නැතිව, තමන්ගේ ආරක්ෂක ආසක්තයන් සඳහා රුසියාවට වැදගත් වන සිරියාවේ, අසාද් තන්ත්‍රය පෙරලා දැමීමේ ඇමරිකානු අරමුන ගැන සලකන කල, සාකච්ඡා පසුපසින් ඇත්තේ, මිලිටරි ගැටුමක වර්ධනය වන සැබෑ අනතුරයි.

රුසියාවට මෙන්ම චීනයට එරෙහි මිලිටරි සූදානමේ ප්‍රමුඛයා ඇමරිකාව වන තතු හමුවේ, ඊට දක්වන රුසියානු හා චීන ප්‍රතිචාරයේ කිසිදු ප්‍රගතිශීලී බවක් ඇත්තේ නැත. මූල්‍ය කතිපයාධිකාරයේ උපකරන වන දෙරටම, තමන්ගේම රටවල ද ජාත්‍යන්තරව ද ජනතාවන්ට ආයාචනයක් කිරීමට ඓන්ද්‍රීයවම අසමත්ය. දේශීයව ඔවුහු, ජාතිකවාදය ඇවිස්සීමට උත්සාහ දරන අතර ඇමරිකානු ප්‍රකෝපකරන හරස් කැපීම සඳහා සම්මුතිවාදයත් මිලිටරි කඩුව ලෙලවීමත් අතර වැනීම මඟින් අධිරාජ්‍යවාදී යුද වැද්දන්ටම වාසි සලසති.

පලමු ගල්ෆ් යුද්ධයේ සිට 2003 ඉරාක ආක්‍රමනය දක්වාත්, 2011 ලිබියාවේ කර්නල් මුවම්මර් ගඩාෆිට එරෙහි තන්ත්‍ර මාරුව දක්වා වූ මැද පෙරදිග වසර විසිපහකටවත් වැඩි ඇමරිකානු මිලිටරි මැදිහත්වීම, දෙවන ලෝක යුද්ධයෙන් පසුව බරපතලම සරනාගත අර්බුදය නිර්මානය කර තිබේ. ඇමරිකාව විසින් ඔවුන්ගේ සමාජයන්හි ඇතිකල විනාශයේ ප්‍රතිපලයක් වශයෙන් සරනාගතයින් ගංගාවක් යුරෝපය තුලට දැන් ඇදී එමින් සිටින අතර යුරෝපීය සංඟමය තුල කේන්ද්‍රාපසාරී බලවේග දැඩි කරයි. එය සාමාජික රටවල් අතර තර්ජන හා හෙලාදැකීම් වලට තුඩු දෙමින් ද කටු කම්බි, හමුදාව හා යුද ටැංකි මඟින් සවිබල ගැන්වෙන, මහාද්වීපය පුරා දේශසීමා ගැටලු යලි පැනනංවමින් ද ඇත.

ගැඹුරුවන භූ දේශපාලනික ආතතීන්, ලෝක ධනපති ආර්ථිකයේ සිදුවෙමින් පවතින බිඳවැටීම මඟින් ඔද්දල් කර ඇත. ගෝලීය මූල්‍ය අර්බුදයෙන් සත් වසරකට පසුව ද කිසිදු ගොඩඒමක් පෙනෙනතෙක් මානයේවත් නැත. ඒ වෙනුවට ආර්ථික දැක්ම වසාගෙන ඇත්තේ, නිෂ්පාදන ක්‍රියාවලියෙන් නොව, අමු පරපුටු කම තුලින් සිදුවන ලාභය උකහා ගැනීමේ ප්‍රතිපල වශයෙන් මුදා හැරෙන නව මූල්‍ය අර්බුදයක් පිලිබඳ වැඩෙන ඇඟවුම් වලිනි. “සාමාන්‍ය” තත්වය කරා යලි ලඟාවීමක් කෙසේ වෙතත් අවධමනය, එකතැන පල්වීම හා අවපාතය ලෝක ආර්ථිකය මත ලඹදෙයි.

ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව ප්‍රමුඛ ක්‍රියාකලාපය ඉටු කරන මහ බැංකුවල භූමිකාව, මංමුලාසහගතය. යන්තමින් සියයට 0.25ක් වන පොලී අනුපාතිකයේ සුලු හෝ වැඩිවීමක් නව මූල්‍ය අර්බුදයක් ලිහා හරිනු ඇති බවට ඇමරිකානු මහ බැංකුවේ භීතිය තුලින් ප්‍රකාශයට පත්වූයේ, තම කටයුතු සඳහා මඟපෙන්වන කිසිදු තිරසාර ප්‍රතිපත්තියක් ඔවුන් සතුව නොමැති කමය.

ලෝකය පුරා ආන්ඩු, ගෝලීය වෙලඳපොලවල් සඳහා තරඟයේදී තමන්ට හොඳ තැනක් සහතික කර ගැනීම පිනිස තම තමන්ගේ මුදල අවප්‍රමානය කිරීමට උත්සාහ දරති. මෙය සිහියට නංවන්නේ, 1939දී මිලිටරි ගැටුමක් පුපුරා යාමට තුඩු දුන් 1930 ගනන්වල මූල්‍ය හා වෙලඳ යුද්ධය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කවර කලෙකවත් ලෝක සාමය ඇතිකිරීම පිනිස කැපවූ සංස්ථාවක් නොවීය. එය පිහිටුවනු ලැබුවේ, පශ්චාත් යුද්ධ පර්යායේ සිය අධිකාරය සහතික කර ගැනීම සඳහා වූ තල්ලුවේ කොටසක් ලෙස, ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා වූ ඇමරිකාවේ නායකත්වය යටතේය. එම අධිකාරය පදනම්ව තිබුනේ ඇමරිකානු ආර්ථිකයේ අනභියෝගී කාර්මික බලය මතය. බොහෝ කාලයක පටන් ඛාදනයට ලක්ව ඇති එම තත්වය, ඇති තරම් නැමෙන්නේ නැති ආන්ඩු පෙරලා දැමීමට සිය සුපිරි මිලිටරි බලය හා සිය නාමික යුරෝපීය හා ජපන් සහචරයින් ද ඇතුලු සිය එදිරිවාදීන්ට එරෙහිව තම ආර්ථික හා භූදේශපාලනික ලීවරය මත වඩ වඩාත් වාරු වීමට ඇමරිකානු පාලක පන්තිය තල්ලු කර ඇත.

ජර්මනිය අවධාරනය කරන්නේ, තවදුරටත් තමන්ට හුදෙක් යුරෝපීය බලවතෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් සිය අවශ්‍යතා ගෝලීයව පෙරට ගෙනයා යුතු බවත් ය. ජපානය ද සිය ගෝලීය භූමිකාව අවධාරනය කරන අතර තම මිලිටරි කටයුතු මත පනවා ඇති සීමා මුලුමනින්ම ඉවත් කිරීම දෙසට පියවර ගනිමින් සිටියි.

එක්සත් ජාතීන් සාමය සඳහා උපකරනයක් නොව ලෙනින් එහි පූර්වගාමී ජාතීන්ගේ සංඟමය ගුනාංඟීකරනය කල අයුරු, “සොරුන්ගේ කුස්සියකි.” එය වනාහි කුමන්ත්‍රන හා උපාමාරු මාධ්‍යකරගෙන සිය ප්‍රතිවිරෝධී අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ කරන තරඟකාරී බලවතුන්ගේ සංස්ථාවකි. යුද්ධය අවසන් කල හැක්කේ, එය නිර්මානය කරන ලාභ පද්ධතිය පෙරලා දැමීමෙන් පමනක් බව ලෙනින් යලි යලිත් අවධාරනය කලේය. ලෝක සිදුවීම් මගින් යලි වතාවක් ප්‍රකාශයට පත්කරන නිගමනය එයයි.

නික් බීම්ස්

Share this article: