වී අර්බුදය ගැන අගමැති කියන කතාව ගොවීන් ප්‍රතික්ෂේප කරයි

අපගේ වාර්තා කරුවන් විසිනි , 2015 සැප්තැම්බර් 9

උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර හා දකුනු පලාත්වල දිස්ත්‍රික් ගනනාවක ගොවීහු සිය වී අස්වනු සාධාරන මිලකට අලෙවි කර ගත නොහැකිව බරපතල දුෂ්කරතාවයකට මුහුන දී සිටිති. දුෂ්කරතාවට හේතුව මෙම යල කන්නයේ ඉතිහාසයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබීම බව ගැටලුව සම්බන්ධව සැප්තැම්බර් 3 පාර්ලිමේන්තුවේ මතු කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ය.

“ඉතිහාසයේ යල කන්නයේ වැඩි ම අස්වැන්නක් වාර්තා වෙන්නේ මේ අවුරුද්දෙයි. 2014-2015 මහ කන්නයෙත් වාර්තා ගත අස්වැන්නක් ලැබුනා.... වාර්තා ගත අස්වැන්නක් ලැබුන නිසා දිවයින පුරා ඇති වී මිල දී ගන්නා මධ්‍යස්ථාන වෙත අනපේක්ෂිත අන්දමින් වී ගොවීන් අස්වනු රැගෙන ආවා”

අගමැතිගේ කතාව ප්‍රතික්ෂේප කරමින් මැදිරිගිරියේ එන්. කේ. හේරත් මෙසේ පැවසුවේ ය. “මේ පලාතේ තවම අස්වැන්න කපන්න පටන් ගත්ත විතරයි. වී මිල දී ගැනීමේ ගැටලුවට හේතුව අතිරික්ත නිෂ්පාදනයක් කියන කතාව බොරුවක්. මේ කන්නේ විතරක් නෙමෙයි හැම කන්නයකම ගොවීන් මේ ප්‍රශ්නෙට මුහුන දෙනවා. ඇත්ත හේතුව වී මිල දී ගැනීමේ නිසි ක්‍රම වේදයක් ආන්ඩුවට කවදාවත් ම නොතිබීම. මේ පලාතේ ආන්ඩුවේ වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන තවම විවෘත කරලත් නැහැ. පුද්ගලික වෙලෙන්දෝ ගොවියව සුරාගන කනවා. රාජ්‍ය නිලධාරීන් , කෘමිනාසක සහ පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන්ගේ සහ පුද්ගලික වී මුදලාලිලාගේ මාෆියාවක් ගොවීන් යට කරගන ඉන්නෙ.”

ගිරිතලේ ආර්. එම්. සුමනදාසට අනුව රජයේ මධ්‍යස්ථාන වලට වී විකිනීම ඉතා දුෂ්කර කටයුත්තකි. ඇතැම්විට කිලෝ මීටර් 10-15 දුරින් පිහිටි මිල දී ගැනීමේ මධ්‍යස්ථාන වෙත වී රැගෙන යායුතු ය. “වී ටික අරගන ගිහිල්ලා දවස් දෙක තුන පෝලිමේ ඉන්න ඕන. වාහන කුලියට අරගන ගියහම ඒවාට දවසකට රුපියල් 3000 ක් ගෙවන්න වෙනවා. තෙතමනය සියයට 14 ට වැඩි නම් ගන්නේ නැහැ. වී වේලා ගැනීමේ පහසුකම් ගොවීන්ට ඇත්තෙත් නැහැ. අවශ්‍ය තරම් නිලධාරීන් සහ කම්කරුවන් මධ්‍යස්ථාන වල නැති නිසා ප්‍රමාදය වැඩියි. කොහොම වුනත් ආන්ඩුව එක ගොවියෙකුගෙන් උපරිම වසයෙන් ගන්නේ වී කිලෝ දෙදාහයි. කුඹුරු අක්කර 2 ½ ක වී කිලෝ 5000-6000 අස්වැන්නක් තියෙනවා. ඉතිරි ටික විකුනන්න වෙන්නේ පුද්ගලික වෙලන්දන්ට. සහතික මිල සම්බා කිලෝවක් රුපියල් 50 යි. නාඩු කිලෝවක් රු. 45 යි. නමුත් පුද්ගලික වෙලෙන්දා ගන්නේ සම්බා රු. 28 යි. නාඩු රු. 26 යි.”

ගොවීන් බහුතරයක් කුඹුරු වගා කරන්නේ නය වී බවත් පුද්ගලික වෙලෙන්දන්ට අඩු මිලට වී අලෙවි කලවිට නය ගෙවා ගැනීමටවත් නොහැකිබව ඔහු කීවේ ය. පොලොන්න්නරුව ප්‍රදේශයේ පවතින වැස්ස නිසා සිය අස්වනු නෙලා ගත නො හැකි දුෂ්කර තත්වයකට ද ප්‍රදේශයේ ගොවීහු මුහුන දී සිටිති. ජලයෙන් සහ නියඟින් පාලුවන ගොවි තැනට වන්දි ගෙවන බවට පසුගිය කන්න කිහිපයකදී ආන්ඩුව පොරොන්දු දුන්නත් ඒවා මැතිවරන කාලයේ දෙන පොරොන්දු පමනක් වූ බව ගොවීන් කියයි.

සොරබොර ගොවි ජනපදයේ ගොවියකු වන අජිත්

මහියංගනයේ සොරබොර ගොවි ජනපදයේ ගොවියකු වන අජිත්, ගොවීන්ගේ සමාජ ගැටලු පැහැදිලි කලේ ය. “මම අවුරුදු විස්සක් ගොවිතැන් කරනවා . නමුත් කිසිම දියුනුවක් නැහැ. අපේ සීයට අයති ඉඩම බෙදුනට පස්සෙ තාත්තලට ලැබුනෙ පොඩි කෑල්ලක්. අපිට ඇත්තටම වගා කරන්න ඉඩමක් නෑ කුලියට අරන් වැඩ කරනවා. අක්කරයකට රුපියල් හතලිස් දාහක විතර වියදමක් යනවා. අපිට ලැබෙන්නේ පනස් දාහක් වැනි මුදලක්. ඒ කියන්නේ අවසානයේ ශත පහක් වත් ඉතිරි වෙන්නෙ නෑ. ඕකයි තත්වෙ.”

සහනාධාර මිලට පොහොර ලැබෙන්නෙත් අක්කරයකට කිලෝ අසූවක් බවත් ඉතිරි ප්‍රමානය රුපියල් 1200 ගානෙ මිලට ගැනීමට සිදුවන බවත් ඔහු පැවසුවේ ය. “දේශපාලකයන් එන්නේ චන්දෙ කාලෙට විතරයි. ඒ ගොල්ලෝ දෙන පොරොන්දු චන්දෙ ගසා කන්න දෙන බොරු පොරොන්දු” බව ඔහු කීවේ ය.

නාගදීප ගොවි ජනපදයේ ගොවියකු වන එස්.එම්.ජී. බන්ඩාර

මහියංගනයේ සිට කිලෝ මීටර් විස්සක් පමන දුරින් පිහිටි නාගදීප ගොවි ජනපදයේ ගොවි පවුල් 2000 ක් පමන ජීවත් වෙති. ජනපදය ආරම්භ කෙරී ඇත්තේ 1940 ගන්නන් වලය. ඉඩම් හිඟය ඔවුන්ට ද පවතින මුලික ගැටලුවක් බව එහි පදිංචි එස්.එම්.ජී. බන්ඩාර පැවසුවේ ය.

“වගාවට අපිට අයිති ඉඩම් නෑ. කුලියට අරන් කරන්නෙ. වියදම ගියපුවම ඉතිරියක් නෑ. මං විවාහකයෙක් ලමයි දෙන්නෙක් ඉන්නව. ඒ අය පුංචියි. පවුලේ වියදමටවත් මුදල් ප්‍රමානවත් නැති නිසා අමතර සේකියුරිටි රැකියාවකුත් කලා. ඒකෙන් ලැබුනු මුදලින් තමයි මේ ත්‍රී විලරය ගත්තෙ. නැතිනම් වී ගොවිතැනින් ජීවිතේ ගෙනියන්න බැහැ” යැයි ඔහු කී වේ ය.

ගොවීන්ට වී විකුනා ගැනීමට නො හැකි වීම අගමැති වික්‍රමසිංහ කියන විදිහට අනපේක්ෂිත ගැටලුවක් නො වේ. වී අලෙවි කිරීමේ දී සහ වගාවේ දී ගොවීන් මුහුන දෙන ගැටළු බලයේ පැවති ආන්ඩුවල ප්‍රතිපත්ති මගින් නිර්මානය කල ඒවාය.

1980 ගනන්වල දී එජාප ආන්ඩුව විසින් ආරම්භ කල පුද්ගලීකරන වැඩපිලිවෙල යටතේ වී අලෙවි මන්ඩලය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කල සේවාවන් මෙන්ම ට්‍රැක්ටර් සංස්ථාව ඇතුලු කෘෂි උපකරන නිෂ්පාදනයට හා අලෙවියට සම්බන්ධ ආයතන පුද්ගලීකරනය කෙරින . 1994 මෙපිට බලයට පත් වූ ශ්‍රීලනිප හා එජාප ආන්ඩු එම ක්‍රියාවලිය තදුරටත් පෙරට ගෙන ගියහ. එය ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ මත ක්‍රියාවට දැමුන ආර්ථික ප්‍රතිසංස්කරනවල කොටසකි.

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ආන්ඩුව වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 600 කි. එහෙත් තවමත් රජයෙන් මුදල් ලැබී නැති බව පොලොන්නරුව සමුපකාර සංගමයේ සභාපති එච්. එම්. උපුල් අලහකෝන් අගෝස්තු 31 ඩේලි මිරර් පත්‍රයට ප්‍රකාශ කර ඇත. මුදල් ලැබුන ද වී අලෙවි මන්ඩලයේ මිල දී ගැනීමේ මධ්‍යස්ථාන විසින් එක් ගොවියෙකුගෙන් උපරිම වසයෙන් මිල දී ගනු ලබන්නේ වී කිලෝ 2,000 ක් පමනි. එබඳු සීමාවක් පනවා ඇත්තේ ගොවීන් වැඩි පිරිසකට “ඉහල ප්‍රතිලාබයක්” ලබා ගැනීමට බව වික්‍රමසිංහ කියා ඇත. ආන්ඩුව විසින් මෙම කන්නයේ මිල දී ගැනීමට බලාපොරොත්තු වන මුලු ප්‍රමානය වී මෙට්‍රික් ටොන් 120,000 සීමා කර තිබීම මගින් වික්‍රමසිංහ ගේ කතාව පචයක් බව පැහැදිලිය. වී අලෙවි මන්ඩලයේ සභාපතිට අනුව ගබඩා ඇත්තේ 137 පමනි. ඒවායෙන් බොහොමයක් මහ කන්නයේ මිල දී ගත් වී වලින් ඇසිරී ඇත. මිල දී ගැනීමේ ඉලක්කයන් සම්පුර්න වී ඇතැයි ප්‍රකාශ කරමින් අම්පාර, දඹුල්ල සහ රාජාංගනයේ වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීම නිසා එම ප්‍රදේශවල ගොවීහු බරපතල අර්බුදයකට මුහුන දී සිටින අතර සමුපකාර සමිති වලින් වී මිල දී ගැනීම ආන්ඩුව විසින් මෙවර නතර කර තිබීම නිසා ගොවීන් තවත් අපහසුවට පත්ව සිටිති.

ආන්ඩුවේ තක්සේරුවට අනුව මාස් කන්නයේ වී මෙට්‍රික් ටොන් 3,500,000 හා යල කන්නයේ 3,000,000 ක් නිෂ්පාදනය කෙරෙයි. වාර්ෂික වී අස්වැන්නෙන් ආන්ඩුව මිල දී ගන්නේ සියයට 5 ක් පමන ප්‍රතිශතය කි. ඉතිරි ප්‍රමානය නිෂ්පාදන මිලටත් අඩුවෙන් පුද්ගලික වෙලෙන්දාට විකිනීමට ගොවියාට බල කෙරෙයි. වී කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 33 ට ආසන්න මුදලක් ගොවියාට වැය වෙයි.

වී ගොවීන් පමනක් නොව, කෘෂිකර්මාන්තයේ සහ සත්ව පාලනයේ යෙදෙන දුගී ගොවීන් සහ ධීවර ජනයා ද පසු ගිය දසක කිහිපය තුල අත් දකිමින් සිටින්නේ සහනාධාර කැපීම සහ තමන්ගේ ක්ෂේත්‍රයට අදාල හැම දෙයකම මිල ඉහල යාම නිසා නිෂ්පාදන වියදම ඉහල යාමත් වියදමට සරිලන සාධාරන මිලක් ලබා ගැනීමට නො හැකි වීමේත් දුෂ්කර තත්ත්වයකටයි.

ජනතා විමුක්ති පෙරෙමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව තුල ප්‍රශ්නය මතු කලේ වී ගොවීන්ගේ ගැටලුවට ඔහුගේ පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැති ගානට ය. ඔහු කුමාරතුංග ආන්ඩුවේ කෘෂිකර්ම ඇමතිකම වසර දෙකකට ආසන්න කාලයක් භුක්ති වින්දේය. එහෙත් කුමාරතුංග ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට සහය දීම හා දෙමල ජනයාට එරෙහි යුද්ධය උසි ගැන්වීම මිස දුගී ගොවි ජනතාව වෙනුවෙන් ජවිපෙ කල දෙයක් නැත. ධනපති ආන්ඩුවේ පිලිවෙත් වලට එරෙහිව ගොවීන්ගේ විරෝධය ඉස්මත්තට ආ හැම විට ම ජවිපෙ කලේ සෙසු ගොවි සමිති සමග එක්ව හෝ වෙන් ව පුහු විරෝධතා උද්ඝෝෂන වලට ගොවීන් කොටුකර ඔවුන්ගේ අරගලය දුර්මුඛ කර දැමීමයි. ජවිපෙ මෙවර වී ගොවීන් කෙරෙහි දක්වන “ලෙන්ගතුකමට” පිටුපසින් ඇත්තේ සිරිසේන -වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි ගොවීන් අතර වර්ධනය වන කෝපය පාර්ලිමේන්තු පොරොන්දුවකට යට කර ගබ්සා කර දැමීමේ යටි කූට්ටු අදහසයි.

බලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවලට ගොවීන් ව කොටුකර තැබූ ප්‍රගතිශීලී ගොවි සම්මේලනය ඇතුලු බහුතරයක් ගොවි සමිති මෙවර සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය අදිමින් “යහපාලනය” යටතේ ගොවීන්ට සෙතක් වනු ඇතැයි මිත්‍යාවන් වැපුරූහ. වී සාධාරන මිලකට අලෙවි කර ගැනීමට නො හැකිවීම තුල එම මිත්‍යාවන් දැනටමත් එලිදරව් වී ඇත.

එජාප මැතිවරන ප්‍රකාශයේ සඳහන් පරිදි “පොකුරු ගොවි ගම්මාන” 25 ක් පිහිටුවීම කෘෂිකර්මය මහජනයා සඳහා ආහාර සුරක්ෂිතතාවයේ පදනමෙන් ඉවත් කර එය වානිජකරනය කිරීමේ සැලැස්මකි. එමගින් දැනටමත් සී.අයි.සී. ඇග්රිබිස්නස් , සහ හේලීස් ඇතුලු මහ කෘෂි සමාගම්වල ආධිපත්‍යයට නතු වී ඇති ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් දුගී ගොවීන් ඉවතට තල්ලු කෙරී පොහොසත් ගොවීන්ගේ සහ කෘෂි සමාගම්වල ආධිපත්‍යයට වී නිෂ්පාදනය ඇතුලු සමස්ත කෘෂිකර්මාන්තය යටත් කෙරෙනු ඇත.

වී ගොවීන් සහ අවශේෂ ගොවීන් මුහුන දී සිටින්නේ බිඳ වැටෙන ධනපති ක්‍රමයේ ප්‍රතිවිපාකයන්ට ය. ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයෙන් හා නය බරින් මිරිකී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෙහෙය වී සිටින්නේ ගොවීන් ට හෝ කම්කරු පන්තියට සහන දීමේ තැනකට නො වේ. ඒ වෙනුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම කඩිනම් කිරීමට ආන්ඩුවට බල කෙරී ඇත. එහි කොටසක් ලෙස ගොවීන් සඳහා දෙන සහනාධාර තව දුරටත් කප්පාදු කිරීමටත් කෘෂිකර්මාන්තය ලෝක වෙලඳපොලට ගැට ගැසීමේ සැලසුම් ක්‍රියාවට දැමීමටත් නියමිත ය.

Share this article: