ශ්‍රී ලංකා ජනාධිපති “ජාතික එක්සත් ආන්ඩුවක්” නිවේදනය කරයි

Sri Lankan president announces “national unity government”

කේ. රත්නායක විසිනි, 2015 සැප්තැම්බර් 2

පලමු පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කලේ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ප්‍රධාන පාර්ලිමේන්තු පක්ෂ දෙක එකතුව දෙවසරක් සඳහා “ජාතික එකමුතුවේ ආන්ඩුවක්” පිහිටුවනු ඇති බවය.

“ප්‍රජාතන්ත්‍රවාදී” සලුපිලියෙන් සරසන ලද මෙය, ආර්ථික සංවර්ධනය ලඟාකර ගැනීමේ නාමයෙන් නරක අතට හැරෙන ආර්ථික අර්බුදයේ මුලු බර කම්කරු පීඩිත ජනතාව මත පැටවීම සඳහා පාලක පක්ෂවල පැහැදිලි සූදානම ප්‍රකාශ කිරීමකි.

අගෝස්තු මහ මැතිවරනයෙන් පසු ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව රැස්වූයේ, මන්ත්‍රීන් 225 දෙනා දිව්රුම් දීම හා ජනාධිපති එලිදැක්වූ ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන්දීම පිනිසය. මැතිවරනයේදී එජාප ප්‍රමුඛ සන්ධානය ආසන 106ක් ද ශ්‍රීලනිපයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 93ක් ද හිමිකර ගත්හ.

ඇමරිකාවේ පිටුබලය ඇතිව ජනවාරි ජනාධිපතිවරනයෙන් ජයගත් තැන් පටන් සිරිසේන හා ඔහු අගමැති වශයෙන් පත් කල එජාප නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ රැලිකර ගැනීමට ජාතික ආන්ඩුවක් පිලිබඳ අදහස වැපිරූහ.

සිය කථාවේදී සිරිසේන, 2009 වසර මැද එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවසන් කිරීමෙන් පසුව “සම්මුතිවාදී එක්සත් ආන්ඩුවක්” පිහිටුවීමට අසමත් වීම ගැන, නම් වශයෙන් සඳහන් නොකල ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙලාදුටුවේය. නව ලෝකයට මුහුනදීම සඳහා “සියලු ජනවර්ග අතර සංහිඳියාව” හා “සමාජ-ආර්ථික සංවර්ධනය” අත්කර ගැනීම, නව ආන්ඩුවේ අරමුන බව ඔහු කියා සිටියේය. දිවයින දශක තුනක් තිස්සේ සිවිල් යුද්ධයක පැටලී සිටියදී අනෙකුත් ආසියානු රටවල් වේගවත් ආර්ථික සංවර්ධනයක් ලඟාකරගත් බව සිරිසේන පැවසීය. “කල්පසුවී වුවත්, සංවර්ධනයේ මෙම පරතරය ජය ගැනීමේ ප්‍රමුඛ කර්තව්‍යයක් ලෙස එක්සත් ආන්ඩුවක අවශ්‍යතාවය මම දුටුවෙමි.”

නොවැම්බරයේදි ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම පිනිස හදිසියේ ඉවත්වන තෙක්ම සිරිසේන, රාජපක්ෂ රෙජිමයේ ප්‍රධාන ඇමතිවරයෙකු ද ශ්‍රීලනිපයේ ලේකම් ද විය. බලයට පත්වූ එජාප මෙන්ම ශ්‍රීලනිප ආන්ඩු ගෙන ගිය තිස් අවුරුදු යුද්ධය, හුදෙක් දෙමල ජනතාව මැඩීම පමනක් නොව, වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය බෙදා මර්දනය කිරීමේ අරමුන ද පෙරදැරි කර ගත් එකකි. මිලිටරියේ යුද අපරාධ හා යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකයන්ට සිරිසේන ද වගකිව යුතුය.

“ආර්ථික සංවර්ධනය” අත්කර ගැනීම පිනිස ආන්ඩුව කවර පියවර ගැනීමට යන්නේදැයි සිරිසේන පැහැදිලි කලේ නැත. කෙසේ වුව ද විටින් විට රට පාලනය කල දෙපක්ෂයම මහ ව්‍යාපාරිකයේ පක්ෂ වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කරන ලද කප්පාදු හා ආර්ථික න්‍යායපත්‍රය ඔවුහු ක්‍රියාවට නැඟූහ.

පසුගිය සතියේ චීනයේ සිට ඇමරිකාව දක්වා ලොව පුරා රැව් පිලිරැව් දුන් කොටස් වෙලඳපොල කලබැගෑනිය ගැන සඳහන් කරමින් එජාප නායකයෙක් වන හර්ෂ ද සිල්වා පැවසුවේ, “පිහිටුවන නව ආන්ඩුවට මෙය අභියෝගාත්මක වකවානුවකි. කැබ්නට්ටුව රැස්වූ කල අපට පිලිතුරු සොයාගත යුතු බොහෝ ප්‍රශ්න පැනනඟිනු ඇත. ඒවා පිලිතුරු සොයාගැනීමට පහසු ප්‍රශ්න නොවේ.”

බලයේ සිටියදී දෙපක්ෂයම වාරුවී සිටියේ විදේශ නය මතය. එය රටේ නය බර උග්‍ර කලේය. මූල්‍ය ගැටලු හා එල්බ ඇති ගෙවුම් ශේෂ අර්බුදය පිටුදැකීම පිනිස එජාප ආන්ඩුව ඉල්ලා සිටි ඩොලර් බිලියන 4ක නය ගෙවීම මේ වසර මුල ජාමූඅ විසින් ඉවත දමනු ලැබින. ඒ වෙනුවට අරමුදල බල කලේ, කම්කරු පීඩිත ජනතාව මත බර පැටවෙන ගැඹුරු වියදම් කප්පාදුය. මෙම කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිනිස පාලක පන්තියේ පක්ෂ එකට එකතුවීමට දැන් තීරනය කර ඇත.

සිරිසේන සංහිඳියාව ගැන නිතර කරන දෙඩීමෙහි ඇත්තේ එක් අර්ථයකි. එනම් ගැඹුරු වන ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ, ප්‍රධාන ධනපති දෙමල පක්ෂය වන ටීඑන්ඒ සමඟ ඇතිකරගන්නා ගිවිසුමකි. ආසන 16ක් හිමිකරගෙන සිටින ටීඑන්ඒ, සිරිසේන-වික්‍රමසිංහ පාලනය සමඟ සමීපව වැඩ කිරීමේ සූදානම දැනටමත් පලකොට තිබේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ හා එහි සහචරයින්ගේ දුසිම් ගනනක් මන්ත්‍රීන් විපක්ෂයේ වාඩිවන අතර පාලක සභාගයේ අස්ථාවරත්වය ඉන් සලකුනු කරයි. ඔවුන් සියලු දෙනා, මැතිවරනයේදී අසුනක් දිනාගෙන විපක්ෂයේ සිටින බව කියා ඇති රාජපක්ෂගේ ආධාරකරුවන්ය.

ජනාධිපතිවරනයට පෙරාතුව සිරිසේන, බෙහෙවින් වෛරයට පාත්‍රවී ඇති විධායක ජනාධිපති ක්‍රමයේ වැඩි කොටසක් අහෝසි කරන බවට පොරොන්දු වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවා ලෙස පෙනී සිටියේය. පූර්වයෙන් තමන්ට පැවති පාර්ලිමේන්තු බහුතරය යොදා ගනිමින් රාජපක්ෂ, මැතිවරන කොමසාරිස්, අධිකරන නිලධාරීන් හා ඉහල රජයේ නිලධාරීන් පත්කිරීම ද ඇතුලු ජනාධිපතිගේ විධායක බලතල පුලුල් කරගත් අතර ජනාධිපති ධුරය දැරීමේ වාර ගනන දෙවරක් බවට පැනවී තිබුන සීමාව ද ඉවත් කලේය. මෙම පියවරයන්ට සහාය දැක්වූ සිරිසේන ඒවා “ආඥාදායක” යයි විවේචනය කිරීමට පටන් ගත්තේ ආන්ඩුවෙන් දොට්ට බැසීමෙන් පසුව පමනි.

“විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද එසේනම් එහි ස්වභාවය කුමක් ද යන්න පිලිබඳ අවසන් තීරනය ඇත්තේ ඔබ අතේ” යයි පවසමින් ඊයේ, සිරිසේන ඒ කෙරෙහි සිය විරෝධය එහැම පිටින්ම අතහැරියේය.

19වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් “ප්‍රජාතන්ත්‍රවාදය” පිලිබඳ සිය මැතිවරන පොරොන්දුව තමන් ඉටුකර ඇති බව ඔහු පැවසීය. සංශෝධනය අනුව ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගනන දෙවරකට සීමා කර, ඉහල රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ ජනාධිපති බලය ඉවත් කර කැබිනට් ඇමතිවරු පත්කිරීමේ බලය අගමැති සමඟ බෙදාගෙන ඇත. එහෙත් ජනාධිපති ආරක්ෂක ඇමති ලෙසත්, සන්නද්ධ හමුදාවන්ගේ අනදෙන නිලධාරී හා රාජ්‍ය නායකයා ලෙසත් සිටීම තුලින් රාජ්‍ය යාන්ත්‍රනය මත දැවැන්ත බලයක් හා අනුහසක් හිමිකර ගනියි.

විධායක ජනාධිපති ක්‍රමයේ ඉරනම තීන්දු කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීම මඟින් සිරිසේන ඇඟවුම් කර ඇත්තේ, එය දරාගෙන සිටීමට ඇති ඔහුගේ කැමැත්තයි. ආරම්භයේදී ඔහුගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය, මුහුන බේරා ගැනීමේ පියවරක් ලෙස 19වන සංශෝධනය බාරගන්නා ලෙස සිරිසේන පක්ෂයට බල කරන තෙක්ම, එය වැලැක්වීමට උත්සාහ දැරීය.

එසේම හෙලිදරව් වන තවත් අවස්ථාවක් නම්, තමන් ජනාධිපති ලෙස දිව්රුම් දුන් ජනවාරි 8දායින් පසුව, “ජාත්‍යන්තර ආකල්ප ඉතා සාධනීය” ලෙස වෙනස්වී ඇතැයි යන කාරනය මත සිරිසේන යොදන අවධාරනයයි. “මෙවන් අතිශයින්ම සංකීර්න තත්වයකට සාර්ථක ලෙස මුහුන දීමට නම්, ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය, එකඟත්වය හා ආධාරය දිනා ගැනීම වැදගත්” යයි ඔහු පැවසීය.

වෙනස කුමක් ද හා එය අත්කරගත්තේ කෙසේද යන්න ඔහු පැහැදිලි කලේ නැත. එහෙත් පසුගිය සතියේ සිදුවීම් තවදුරටත් ඉස්මතු කර තිබෙන කාරනය නම්, රාජපක්ෂට බීජිනය සමඟ පැවති සමීප බැඳීම්, ජනාධිපතිවරනයේදී තන්ත්‍ර මාරු මෙහෙයුමක් හරහා ඔහු පරාජය කිරීමට වොෂින්ටනයේ මැදිහත් වීමට හේතුවූ බවයි.

දකුනු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් පසුගිය සතියේ කොලඹදී, එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් අදියරෙහි ශ්‍රී ලංකා ආන්ඩුව හා මිලිටරිය විසින් සිදුකරන ලද යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා සිය කැඳවුම ඇමරිකාව විසින් අත්හැර දමනු ලැබූ බව නිවේදනය කලාය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයට සහාය දැක්වීමෙන් අනතුරුව ඇමරිකාව, චීනයෙන් දුරස්ත කිරීම සඳහා රාජපක්ෂට බලපෑම් දැමීමට, යුද අපරාධ පිලිබඳ ප්‍රශ්නය නරුම ලෙස ගසා කෑවේය. අවසානයේදී වොෂින්ටනය, මෙම අපරාධ පිලිබඳව රාජපක්ෂ තරමටම වගකිව යුතු සිරිසේන බලයට ගෙන එමින් රාජපක්ෂ ඉවත් කිරීමේ මෙහෙයුම සැලසුම් කලේය.

බලයට පත්වූ පසුව සිරිසේන හා වික්‍රමසිංහ ආන්ඩුව, ඇමරිකාව හා වොෂින්ටනයේ කලාපීය සහචරයා වන ඉන්දියාව වෙතට සිය විදෙස් පිලිවෙත වේගයෙන් මාරු කලේය. ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් සිරිසේනට ලැබුනු සහාය, අධික මිලක් ගෙවා ලබාගත් දෙයකි. ශ්‍රී ලංකාව දැන් වෙන කවරදාකටත් වඩා සමීප ලෙස චීනයට එරෙහි ඇමරිකාවේ මිලිටරිමය තල්ලුව වෙත ඇද ගෙන තිබේ.

සිරිසේන පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය, එක්සත් ආන්ඩුවේ ඇමතිවරුන් පත් කිරීමේ තනි බලය තමන් සතු බවට ඔහු කල අවධාරනයෙන් තවදුරටත් හෙලිදරව් කෙරේ. ඒ සමඟම ඔහු, විරුද්ධ පක්ෂයේ නායක තනතුර දැරිය යුත්තේ කවුරුන්දැයි තීරනය කිරීම ශ්‍රීලනිප මෙහෙයවීම යටතේ එජනිස විසින් කල යුතුයයි නියම කරමින්, නිල විපක්ෂය පාලනය කිරීමට ද මැදිහත් විය.

ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රධාන පක්ෂ දෙක සභාගයක් ගොඩනඟා ඇති බැවින් විපක්ෂ නායක තනතුර තම පක්ෂයට හිමිවිය යුතු බවය.ටීඑන්ඒහි තුච්ඡ දේශපාලන උපාමාරු පිටුපස ඇති තර්කනය කුමක් වුවත් එය, පාර්ලිමේන්තු නීතිය යටතේ නීත්‍යානුකූල ඉල්ලීමකි. එම ඉල්ලීමට බාධා කිරීම මඟින් සිරිසේන යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ, සිය පක්ෂයේ හා සිංහල පාලක පැලැන්තියේ වර්ගවාදී ආකල්පයයි.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය වොෂින්ටනයේ යුද ධාවනය පිටුපස රටේ විදෙස් පිලිවෙත පෙලගැස්වූවාක් මෙන්ම, නරක අතට හැරෙන ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම යටතේ නව “එක්සත් ආන්ඩුව” ද කම්කරු පීඩිත ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ද ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර ද උග්‍ර කරනු ඇත.

Share this article: