ශ‍්‍රී ලංකා ජනාධිපති ආන්ඩුව “පෙරලීමට” විරුද්ධව අනතුරු අඟවයි

Sri Lankan president warns against “toppling” the government

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2015 සැප්තැම්බර් 14

“ආන්ඩුව පෙරලා දැමීමට හෝ දුර්වල කිරීමට හැකිවෙතැයි හිතන්න එපා. මෙම ආන්ඩුව 2020 දක්වා ස්ථාවරව සහ ශක්තිමත්ව පවතින” බව ප‍්‍රකාශ කරමින් අලුතෙන් පිහිට වූ “ජාතික සමගි” ආන්ඩුව බිඳ දැමීමට දැරෙන කවර හෝ උත්සාහයකට එරෙහිව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය සතියේ අනතුරු ඇඟවී ය. ඊලඟ මැතිවරනය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 දී ය.

ආන්ඩුව “පෙරලීමට” උත්සාහ කරන්නේ කවුරුන්දැයි සිරිසේන නිශ්චිතව සඳහන් නොකලේ ය. ඔහුගේ ක්ෂනික පනිවුඩය යොමු කෙරුනේ ඔහුගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) දේශපාලන විරුද්ධවාදීන් ට, විශේෂයෙන් ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ය.

ජනවාරි මාසයේ පැවති ජනාධිපති මැතිවරනයේ දී රාජපක්ෂට විරුද්ධව තරඟ කල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහයෝගය ඇතිව ඔහු පරාජය කලේ ය. පසුගිය මාසයේ මහ මැතිවරනයෙන් පසුව, ශ‍්‍රීලනිපය තුල සිරිසේනට පක්ෂ කන්ඩායම සහ සුලු පක්ෂ කිහිපයක ආධාරය ඇතිව එජාපය “ජාතික ආන්ඩුවක්” පිහිටු වී ය.

ජනාධිපතිගේ අනතුරු ඇඟවීමෙන් “ජාතික ආන්ඩුවේ” දුබල බව සනිටුහන් කෙරෙයි. ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) ආර්ථික කප්පාදු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමත් ඊට එරෙහිව වර්ධනය වන විරුද්ධත්වය සහ ප‍්‍රතිරෝධයට එරෙහිව පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගැනීමත් නිසා සිරිසේන වැඩියෙන් ම බියට පත් වී සිටින්නේ කම්කරු පන්තිය හා දුගී ගොවීන් කෙරෙහි ය.

සිරිසේන ඔහුගේ අනතුරු ඇඟවීම් කලේ සැප්තැම්බර් 9 වෙනිදා පැවති නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 41 දිවුරුම් දීමේ උත්සවයක දී ය. ඇමති මන්ඩලය 46 දක්වා ඉහල දමමින් තවත් කැබිනට් ඇමතිවරු තිදෙනෙකුත් එදින ම දිවුරුම් දුන්හ. ඉතිරි කැබිනට් සහ කැබිනට් නො වන ඇමතිවරු මෙම සතියේ අග දී පත් කිරීමට ඉඩ තිබේ. අමාත්‍ය මන්ඩලය 48 දක්වා පුලුල් කිරීමටත්, කැබිනට් නො වන ඇමතිවරු 45 පත් කිරීමටත් අගමැති සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේ ය.

ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් පත් කිරීම, ආන්ඩුවේ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සංඛ්‍යාව සහ ආධාරක පදනම ඉහල දමා ගැනීම සදහා පක්ෂපාතී සහ විශ්වාසදායක දේශපාලන මිත‍්‍රයන් මිලට ගැනීමේ මංමුලාසහගත ප‍්‍රයත්නයකි. ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තෝරා ගැනීම සඳහා ඔහු සහ වික‍්‍රමසිංහ “රාත‍්‍රී කිහිපයක් ම නිදි වැරූ” බව සිරිසේන ප‍්‍රකාශ කලේ ය.

ඊලම් ජනතා ප‍්‍රජාන්ත‍්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන්ද සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ආරුමුගම් තොන්ඩමන් ආන්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා තිරයට පිටුපසින් සාකච්චා සිදුවෙමින් තිබේ. පක්ෂ දෙකම ශ‍්‍රීලනිපය නායකත්වය දැරූ කලින් පැවති රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) ආන්ඩුවේ කොටස්කරුවෝ වූහ. වතු කම්කරුවන් පාවාදීමේ දීර්ග වාර්තාවක් ඇති සීඩබ්ලිව්සීය වෘත්තීය සමිතියක් මෙන්ම දේශපාලන පක්ෂයක් ද වේ. වාර්ගික දෙමල පක්ෂයක් වන ඊපීඩීපීය, සිය දේශපාලන විරුද්ධවාදීන් ට එරෙහිව ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීම සහ 2009 අවසන් වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධව බලයට පත් වූ ආන්ඩු විසින් ගෙන ගිය දීර්ග සිවිල් යුද්ධයට සහයෝගය දීම සම්බන්ධයෙන් කුප‍්‍රකටය.

සිරිසේන ඔහුගේ ශ‍්‍රීලනිපය තුල ම සාමාජිකයන්ගේ සහ එහි එජනිස ආධාරකරුවන්ගේ විරුද්ධත්වයට මුහුන දී සිටී. එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 95 න් 52 ක් පමන රාජපක්ෂට සහයෝගය දෙති. අගමැති වීමේ ඔහුගේ ප‍්‍රයත්නයේ දී මැතිවරන උද්ඝෝෂනය තුල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු බොහෝ දෙනෙකු රාජපක්ෂ පිටුපස පෙල ගැසුනහ.

එජනිස, එජාප පෙරමුනට වඩා අඩු ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් දෙවන තැනට පත් වූ නිසා රාජපක්ෂට අඩු වසයෙන් දැනට ඔහුගේ අගමැති වීමේ අභිලාෂයන් අතහැර දැමීමට සිදු විය. කෙසේ නමුත්, එජාපය සමග සිරිසේනගේ සන්ධානයට විරුද්ධ බොහොමයක් එජනිස මන්ත‍්‍රීවරු රාජපක්ෂ සමග විපක්ෂයේ ආසනවල වාඩිවීමට අපේක්ෂා කරති. ඊලඟ පාර්ලිමේන්තු සැසිය හෙට (15) ආරම්භ කිරීමට නියමිත ය.

ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව ඉහල දමා ගැනීමට සිරිසේනට දැඩි උවමනාවක් ඇත. මැතිවරන උද්ඝෝෂනය තුල රාජපක්ෂගේ නොතැකීම නිසා ඔවුන් පරාජයට පත් වූ බව ප‍්‍රකාශ කරමින් පක්ෂයේ පරාජිත අපේක්ෂකයන් හතර දෙනකු මන්ත‍්‍රීවරුන් ලෙස පත් කිරීමට සිරිසේන ජාතික ලැයිස්තුව යටතේ කෙරෙන පත් කිරීම් ප‍්‍රයෝජනයට ගත්තේ ය. එසේ පත්කල ඇමතිවරුන් අතර රාජපක්ෂ ආන්ඩුව යටතේ දූෂනවල යෙදීමේ චෝදනා වලට ලක් වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු ගනනාවක් සිටිති.

ජාතික නිදහස් පෙරමුන (ජානිපෙ), මහජන එක්සත් පෙරමුන (එම්ඊපී) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුන (ඩීඑෆ්පී) පාර්ලිමේන්තුව තුල ස්වාධීන පක්ෂ ලෙස පිලි නො ගැනීමට පාර්ලිමේන්තු නායකයන්ගේ රැස්වීමක දී සිරිසේනට හිතවත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු තීරනය කලහ. මීට ඉහත දී මෙම එජනිස පාර්ශවකරුවෝ ස්වාධීන පක්ෂ සමග සහයෝගීව පාර්ලිමේන්තු කාලය වෙන් කිරීම වැනි වරප‍්‍රසාද භුක්ති වින්දාහ. ඔවුන් එජනිස ආධාරකරුවන් ලෙස නිල වසයෙන් ප‍්‍රකාශ කිරීම මගින් ඔහුගේ විවේචන ඔවුන්ගේ හොම්බට දමා ගැසීමට සිරිසේන බලාපොරොත්තු වෙයි.

පසුගිය සතියේ කතාවේ දී “දේශපේ‍්‍රමී (රාජපක්ෂ) ආන්ඩුව බටහිර සහ අධිරාජ්‍යවාදී බලයන් විසින් කරන ලද කුමන්ත‍්‍රනයකින් විස්ථාපනය කල” බව හා නව ආන්ඩුව “බටහිර පදේට නටන” බවට ඔහුගේ විරුද්ධවාදීන් කරන චෝදනා සිරිසේන ප‍්‍රතික්ෂේප කලේ ය. “මෙම ආන්ඩුව කිසිදු විදේශ බලවේගයක් ඉදිරියේ දන ගැසීම හෝ කිසිදු පීඩනයකට යටත් නොවන” බව ඔහු ප‍්‍රකාශ කලේ ය.

රාජපක්ෂ ගේ ආන්ඩුව වඩා සමීපව චීනයට ගැට ගැසී සිටින බව වොෂින්ටනය සැලකු නිසා ජනවාරි ජනාධිපතිවරනයේ දී ඔහු බලයෙන් නෙරපීමට එක්සත් ජනපදය සහ එහි මිතුරෝ උදව් කලහ. පාලන බලය අතැතිව සිටිද්දී කල විවිධ බලයන් අතර උපාමාරු යෙදීම දිගටම කරගෙන යාම මිස “බටහිර” ගැන රාජපක්ෂගේ බෙහෙවින් ඇල්මැරුන විවේචන එක්සත් ජනපදයට විරුද්ධව උද්ඝෝෂනයක් ගෙනයාම සමග කිසිදු සම්බන්ධයක් නැත.

එජාපය නායකත්වය දරන ආන්ඩුව දැනටමත් ශ‍්‍රී ලංකාව එක්සත් ජනපදයේ කක්ෂය තුලට තල්ලු කර ඇත. එල්ටීටීඊ ය ට විරුද්ධ යුද කාල පරිච්චේදයේ දී සිදු වූ යුද අපරාධ පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා වොශින්ටනය තව දුරටත් බලපෑම් නොකරන බවත් ඒ වෙනුවට දේශීය පරීක්ෂනයකට ඉඩ සලසන බවත් පසුගිය මාසයේ මැතිවරනයෙන් පසු ශ‍්‍රී ලංකාවට පැමිනි එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා දේශායි බිස්වාල් නිවේදනය කලා ය.

එක්සත් ජනපදය ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා බලපෑම් කලේ රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීමේ උපක‍්‍රමයක් ලෙස පමනි. බිස්වාල් ගේ නිවේදනය නිසැකවම, මිලිටරි සහයෝගීතාවය ඇතුලුව අනෙකුත් ප‍්‍රශ්න වල දී සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට දැරෙන ප‍්‍රයත්නය සඳහා ශ‍්‍රී ලංකා ආන්ඩුවට දුන් සහනයකි.

බටහිර ඉත්තෙක් වී ඇති බවට කෙරෙන චෝදනා නිෂ්ප‍්‍රභා කිරීමට උත්සාහ දැරීමේ දී සිරිසේන ඇත්තෙන් ම බිය වී සිටින්නේ ජනාවරි මැතිවරනයේ දී එක්සත් ජනපදය මූලිකත්වය ගත් මැදිහත් වීම සහ චීනයට විරුද්ධව එහි යුද සැලසුම් වලට ශ‍්‍රී ලංකාව ඈඳා ගැනීම ගැන කම්කරු පන්තියෙන් සහ තරුන ජනයාගෙන් මතු විය හැකි විරුද්ධත්වය ගැන ය.

නව ආන්ඩුවේ වැඩ පිලිවෙල ද සිරිසේන සිය කතාවේ දී ඉදිරිපත් කලේ ය. “එකිනෙකා අතර සමගිය සහ අන්‍යෝන්‍ය අවබෝධයකින් තොරව රට ට තව දුරටත් ඉදිරියට යාමට හැකියාවක් නැහැ. ජාතික ආන්ඩුව ඉදිරි පස් වසර තුල පොදු සහ අබාධිත වැඩ පිලිවෙලක් තුලින් ශ‍්‍රී ලංකාව ආසියාවේ ‘විශිෂ්ටතම කේන්ද්‍රය’ බවට පත් කිරීමේ කටයුත්ත ආරම්භ කර ඇති” බව ඔහු පැවසුවේ ය.

“ආසියාවේ විශිෂ්ටතම කේන්ද්‍රය” පිලිබඳ සටන් පාඨය කම්කරු පන්තියට විනාශය කටින බොහෝ දුරදිග යන වෙලඳ පොල ගැති ප‍්‍රතිව්‍යුහකරනය සඳහා වට්ටෝරුවක් මිස අනෙකක් නො වේ. එමෙන් ම ආන්ඩුව දිවයින ඉන්දු-ෆැසිපික් කලාපය තුල චීනයට එරෙහිව එක්සත් ජනපදය විසින් කරනු ලබන මිලිටරි ස්ථාපනයට ඒකාබද්ධ කරමින් සිටී.

ඊලඟ අය-වැය ගැන මුදල් ඇමති රවී කරුනානායක සමග සාකච්චා කිරීම සඳහා ජාමුඅ නියෝජිත පිරිසක් පසු ගිය සතියේ ශ‍්‍රී ලංකාවට පැමිනියේ ය. වාර්තාවන ආකාරයට වඩ වඩා ඉස්මත්තට එන ගෙවුම්ශේෂ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආන්ඩුව ඉල්ලා ඇති ඩොලර් බිලියන හතරක අලුත් නයට හිලව් වසයෙන් රාජ්‍ය වියදම් දැඩි ලෙස කප්පාදු කල යුතු බවට ජාමුඅ අවධාරනය කරයි.

මෙම පියවරයන් අනිවාර්යයෙන් ම කම්කරු පන්තියේ විරෝධය සහ ප‍්‍රතිරෝධය අවුලවනු ඇත. ආන්ඩුව පෙරලීම ගැන සිරිසේන ගේ කතාව එහි කම්කරු පන්ති විරෝධී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමෙන් ආන්ඩුව කිසිසේත් ම නො නවතින බවට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස කම්කරුවන් සහ තරුනයන් විසින් සැලකිල්ලට ගත යුතු ය.

Share this article: