එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ වාර්තාව එලි දක්වයි

UN releases war crimes report on Sri Lanka

කේ. රත්නායක විසිනි, 2015 සැප්තැම්බර් 17

එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් පිලිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන්, සිය කාර්යාලය මඟින් සූදානම් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ යුද අපරාධ පරීක්ෂන වාර්තාව අන්තිමේදී, 16දා නිකුත් කලේය. පිටු 300න් පමන සමන්විත වාර්තාව, දිවයින තුල 26 වසරක් තිස්සේ පැවති යුද්ධයේදී මිලිටරිය මෙන්ම බෙදුම්වාදී එල්ටීටීඊය ද “බරපතල යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” සිදුකර ඇති බව ප්‍රකාශ කරයි.

1983දී පටන්ගත් ගැටුම අවධියේ ප්‍රධානකොටම දෙමල සුලුතරයේ 200,000ක් පමන දෙනා ජීවිතක්ෂයට පත් වූහ. කලින් නිකුත් කල එජා වාර්තාවකට අනුව යුද කලාපය තුල කොටුවූ දෙමල සිවිල් වැසියන් 40,000ක් පමන මිලිටරි ප්‍රහාරයේ අවසන් මාසවල මියගොස් ඇත.

ඊයේ නිකුත්වූ වාර්තාව සකසා ඇත්තේ, ඇමරිකාවේ අනුග්‍රහය සහිතව, 2014 මාර්තුවේ පැවැත්වූ එජා මානව හිමිකම් කොමිසම් සැසියේදී සම්මත කල යෝජනාවකට අනුවය. එම යෝජනාව පිටුපස පැවතියේ වොෂින්ටනයේ මූලෝපායික අවශ්‍යතා පෙරට ගෙනයාමේ උත්සාහය මිස කොලඹ පාලනයේ මානව අයිතීන් කඩකිරීම පිලිබඳ අව්‍යාජ කනස්සල්ලක් නොවේ.

ඇමරිකාව හා එහි බටහිර සහචරයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ 2006 යලි ඇරඹූ යුද්ධයට පූර්න සහාය දුන් අතර ඔවුන්, ඔහුගේ ආන්ඩුව සිදුකල මානව හිමිකම් උල්ලංඝනය ගැන විවේචන පටන් ගත්තේ මිලිටරි ප්‍රහාරයේ අවසන් මාසවල පමනි. ඒ චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවි හා ආධාර සැපයුම්කරුවා බවට පත්වීමට ප්‍රතිචාර වශයෙනි.

ඇමරිකාව සිය “මානව හිමිකම්” පිලිබඳ මවාපෑම් මඟින් උත්සාහ දැරුවේ, බීජිනය සමඟ පැවති සමීප සම්බන්ධකම් නතර කරන ලෙස රාජපක්ෂට බලපෑම් කිරීමට හා චීනය භූ දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් වැටලීමේ සිය ආක්‍රමනකාරී ආසියාවට හැරීම පිටුපස කොලඹ පාලනය පෙලගස්වා ගැනීමටය.

එම දේශපාලන අරමුනු මතම වොෂින්ටනය අවසානයේදී, රාජපක්ෂ ජනාධිපතිකමෙන් ඉවත් කිරීමේ ත්‍රන්ත්‍ර මාරු මෙහෙයුමක් සඳහා පියවර ගත්තේය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා එජාප නායක රනිල් වික්‍රමසිංහ ද සම්බන්ධවූ තිරයට පිටුපස ගෙනගිය එම මෙහෙයුම, රාජපක්ෂ ආන්ඩුවේ ඇමතිවරයෙක්ව සිටි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීමෙන් සම්පූර්න කෙරුනි.

එතැන් පටන් ජනාධිපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ පාලනය, රට චීනයෙන් ඈත්කරගත් අතර එහි විදෙස් පිලිවෙත ඇමරිකාව හා එරට කලාපීය සහචරයා වන ඉන්දියාව දෙසට වේගයෙන් මාරුකර ඇත. එජාප බලයට පත් කල මහ මැතිවරනයෙන් පසුව ඇමරිකාව, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක් සඳහාවූ සිය පූර්ව ඉල්ලීමෙන් ඉවත්වී ඇත.

අගෝස්තු 26දා දකුනු ආසියානු කටයුතු පිලිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල්, යුද අපරාධ පිලිබඳ දේශීය පරීක්ෂනයකට වොෂින්ටනය සහාය දක්වන බව නිවේදනය කලාය. “දේශීය පරීක්ෂනය”, මැතිවරනයෙන් පසුව අගමැති වීමේ අසාර්ථක ව්‍යායාමයක යෙදුනු, දැන් පාර්ලිමේන්තුව තුල සිටින රාජපක්ෂට පීඩනය යොදන අතර යුද අපරාධ පිලිබඳ තමන්ගේ සම්බන්ධයට සුදුහුනු ගෑමේ අවස්ථාවක් සිරිසේන, වික්‍රමසිංහ ඇතුලු ඔවුන්ගේ අනුගාමිකයන්ට, සලසයි.

දෙමල ජනතාවට එරෙහිව රුදුරු අපරාධ හා ප්‍රචන්ඩ ක්‍රියා සිදුකල බව පරීක්ෂන වාර්තාවෙන් සනාථ කර ඇත. “පවුල් පිටින් මරා දැමුනු විනාශය, ලේහැලීම් හා බෝම්බ දැමීමෙන් ඇතිවූ මානසික කම්පනය පිලිබඳව සාක්ෂිකරුවන් බිහිසුනු විස්තර සපයා ඇත.” එහි සඳහන්වේ. එසේම ආරක්ෂක හමුදා විසින් සිවිල් වැසියන්, දේශපාලඥයින් හා මාධ්‍යවේදීන් පුලුල් “අනීතික ඝාතනයන්ට” ලක් කර තිබීම ගැන ද වාර්තාව සඳහන් කරයි.

2009 මැයි මාසයේ යුද්ධයේ අවසන් දිනවල හමුදාව, මිනිසුන් 250,000ක් කොටුවී සිටි උතුරු නැඟෙනහිර වර්ග කිලෝ මීටර් 300ක වනාන්තර ප්‍රදේශයකදී එල්ටීටීඊය වැටලුවේය. ආරක්ෂක හමුදාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් යලි යලිත් ජනාකීර්න ප්‍රදේශවල රෝහල් හා මානවවාදී සහන මධ්‍යස්ථාන වලට ෂෙල් වෙඩි එල්ල කලහ.

ඝාතනය නොකරන බවට ආන්ඩුව දුන් සහතිකයෙන් පසුව යටත්වූ නායකයන් ගනනාවක් ද ඇතුලු එල්ටීටීඊ කාඩර්වරු බවට හඳුනාගත් අය දන්ඩමුක්තික ඝාතනයනට ලක් කල බව ද වාර්තාව පෙන්වා දෙයි.

“වාචික සාක්ෂි මෙන්ම ඡායාරූප හා වීඩියෝ දර්ශන මත පදනම්වූ තොරතුරු සනාථ කිරීමට ඉතිරිව ඇති නමුත් ඝාතන සිදුව ඇත්තේ අත්අඬංඟුවට ගැනීමෙන් පසුව බව ඇඟවුම් කරන බොහෝ සිදුවීම් පිලිබඳ සැලකිය යුතු තරම් තොරතුරු පවතින” බව පරීක්ෂන වාර්තාව කියයි.

යුද්ධයෙන් ඉක්බිතිව ලක්ෂ ගනනක් සිවිල් වැසියන් වව්නියාවේ දැවැන්ත කඳවුරු තුලට ගාල් කරනු ලැබින. මේ අය ද එල්ටීටීඊ සාමාජිකයන් බවට සැක පිට අත්අඬංඟුවට ගත් අනෙක් අය ද වධබන්ධනයන්ට හා අපචාරයට ලක්කර ඇත. කිසිවෙකුටත් නඩු පවරා නැතැයි වාර්තාව දක්වා ඇත.

“පීඩාවන් තවත් උග්‍ර කරමින් වැඩිහිටියන් හා ලමුන් සිය සංවිධානයට බඳවාගෙන යුද පෙරමුනේ සටන් කරන ලෙස බලකිරීම” පිලිබඳව පරීක්ෂන වාර්තාවෙන් එල්ටීටීඊයට ද දෝෂාරෝපනය කර තිබේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ත්‍රස්තවාදී ක්‍රම උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් එල්ටීටීඊය වගකිවයුතු නමුත් යුද්ධයට හා ඊට බැඳුනු අපරාධ පිලිබඳ ප්‍රධාන වගකීම පැවරෙන්නේ, කොලඹ සිංහල පාලක පන්තියටය.

යුද අපරාධ සිදුකර ඇති බව වාර්තාවෙන් සනාථ කර ඇත ද කිසිදු වරදකරුවෙක් නම්කර නැත. වාර්තාව සකස් කල අය කියන්නේ මෙය “මානව හිමිකම් පිලිබඳ පරීක්ෂනයක් මිස අපරාධ පරීක්ෂනයක් නොවන” බවයි.

යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුකල බවට චෝදනා එල්ල කෙරෙන අය නඩු විභාග වලට ඉදිරිපත් කිරීම පිනිස, “ජාත්‍යන්තර විනිසුරුවන්, අභිචෝදනාකරුවන්, නීතිඥයින් හා පරීක්ෂකයින් ඒකාබද්ධ කරන විශේෂ හයිබ්‍රිඩ් අධිකරනයක්” පිහිටුවීමට එය යෝජනා කරයි. එසේම එය, “මානව හිමිකම් කඩකිරීමට සම්බන්ධවූ මිලිටරි හා ආරක්ෂක හමුදා සාමාජිකයින් ද වෙනත් ඕනෑම නිලධාරියෙකු ද” තනතුරු වලින් පහකල යුතු බව කියා සිටියි.

දිවයිනේ යුද අපරාධ ගැන හෙලිදරව් කිරීම් තිබියදීම වාර්තාවේ හා අල් හුසේන්ගේ ප්‍රකාශ, කොලඹ පිලිබඳ වොෂින්ටනයේ පිලිවෙත් මාරුව ප්‍රතිරාවය නංවයි. “මෙම වාර්තාව ඉදිරිපත්කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුල බලාපොරොත්තු දල්වන නව දේශපාලන සන්දර්භයක් තුලය. මූලික සැබෑ වෙනසක් සඳහා වන මෙම ඓතිහාසික අවස්ථාව මඟහැර නොගැනීම තීරනාත්මකය.” 16දා හුසේන් ජිනීවාහිදී පැවසීය.

වාර්තාවේ සංක්ෂිප්තය තුල මෙසේ පැවසේ: “2015 ජනවාරි 8 ජනාධිපතිවරනය, ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරනය තුල සන්ධිස්ථානයක් සලකුනු කලේය. පොදු විපක්ෂ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, සියලු වාර්ගික ප්‍රජාව හා දෘෂ්ටිමය දහරාව කැටිකරගත් පුලුල් සභාගයකගේ සහාය ඇතිව, හිටපු ජනාධිපති රාජපක්ෂ පරාජය කලේය. අගමැති ලෙස හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග නව කැබිනට්ටුවක් පත්කර තිබේ.”

එය කියා සිටින “විධායක ජනාධිපති බලතල සීමාකිරීම, ජනාධිපති ධුර වාර ගනන පිලිබඳ සිමාව යලි තහවුරු කිරීම, අධිකරනය ට හා ස්වාධීන කොමිෂන් සභා වලට පත්කිරීම් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාව යලි ස්ථාපිත කිරීම” වැනි විවිධ ව්‍යවස්ථාමය සංශෝධන වාර්තාව තුල පැසසුමට ලක්ව තිබේ. මෙම පියවර, ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහතික කිරීම සඳහා නොව, ජනතාවගේ ඇස්වලට වැලි ගැසීම පිනිස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් නිර්මානය කරන ලද දේශපාලන කඩතුරාවකට වැඩි දෙයක් නොවේ.

සැප්තැම්බර් 30දා මානව හිමිකම් කමිටුව තුල එම වාර්තාව සාකච්ඡා කිරීමට නියමිත අතර ඇමරිකානු ජාත්‍යන්තර කටයුතු පිලිබඳ සංවිධානයේ සහකාර ලේකම් ඉරින් එම්. බාක්ලේ මේ සතියේ පැවසුවේ, වොෂින්ටනය, “මෙම කමිටුවේ එකඟත්වය ඇතිකරගැනීමට සහාය වනු ඇති යෝජනාවක් සකස්කිරීම පිනිස” ශ්‍රී ලංකා ආන්ඩුව සමඟ ක්‍රියා කරනු ඇති බවයි. වෙනත් වචන වලින් කිවහොත් ඇමරිකාව, කොලඹ නව තන්ත්‍රය දේශපාලනිකව රැක ගැනීමට වැඩ කරනු ඇති බවයි.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය වාර්තාව කෙරෙහි ප්‍රමෝදය පල කරන ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වීය. ආන්ඩුව පවසා ඇත්තේ මෙසේය: “මානව අයිතීන්, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය, නීතිය, ආයතනික හා නීතිමය ප්‍රතිසංස්කරන ද සංහිඳියාව ද ඇතුලු ශ්‍රී ලාංකික ජනතාව සඳහා බලපාන ප්‍රශ්න පිලිබඳව කටයුතු කිරීමේදී, 2015 ජනාධිපතිවරනයේ පටන් නව ආන්ඩුව දරා ඇති උත්සාහය මහ කොමසාරිස් විසින් පිලිගෙන තිබීම ගැන ආන්ඩුව සතුටට හා ධෛර්යයට පත්ව සිටියි.

මෙම දෙඩවිලි තරයේම වංචනිකය. කොලඹ පාලක පැලැන්තිය, චීනය මිලිටරිමය වශයෙන් වැටලීමේ වොෂින්ටන්හි ව්‍යායමය වැලඳගෙන සිටින අතර දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනකරනු ලැබ ඇති කප්පාදු පියවර රටේ ජනතාව මත පැටවීම සඳහා සූදානම් වෙමින් සිටියි. පාලකයින් “සංහිඳියාව” ගැන කරන සඳහනෙහි අර්ථය, දෙමල, සිංහල හා මුස්ලිම් යන කම්කරුවන්ගේ සියලු කොටස්වල රැකියා, ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීම පිනිස දෙමල ධනපති කොටස් සමඟ ගිවිසුමක් ගසා ගැනීම හැර අන් කිසිවක් නොවේ. කොලඹ නව පාලනය සමග ඇමරිකානු අනුග්‍රහය සහිත ගිවිසුමකට එලඹීමට ඇති සිය කැමැත්ත ටීඑන්ඒ දැනටමත් පල කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිලිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂනය වනාහි, වඩාත් මෑතක ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව හා සිරියාව ද ඇතුලු රටවල සිදුකර තිබෙන නිමක් නැති යුද අපරාධ පිලිබඳව වගකිව යුතු ඇමරිකානු අධිරාජ්‍යවාදය, සිය මූලෝපායික අවශ්‍යතා පෙරට ගෙනයාමේදී ප්‍රෝඩාකාරී “මානව හිමිකම්” පිලිබඳ ප්‍රශ්නය ගසාකන්නේ කෙසේ ද යන්න පිලිබඳ තවත් පැහැදිලි ප්‍රකාශනයකි.

Share this article: