එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කෙරෙන එජ-ශ්‍රී ලංකා යෝජනාව, යුද අපරාධ වසං කිරීමකි

US-Sri Lankan resolution to UN human rights body to cover up war crimes

සමන් ගුනදාස විසිනි, 2015 සැප්තැම්බර් 29

ආන්ඩුවේ සම අනුග්‍රාහකත්වය සහිතව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව පිලිබඳව කෙටුම්පත් කරනු ලැබූ යෝජනාව, පසුගිය 24දා ජිනීවාහි එජා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කෙරුනි. “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” යන හිසින් යුතු එය, දිවයිනේ 26 වසරක සිවිල් යුද්ධයේදී එවක පැවති ආන්ඩු හා මිලිටරිය විසින් සිදුකරන ලද යුද අපරාධ හා ප්‍රචන්ඩ ක්‍රියා වසං කිරීමේ නරුම ව්‍යායාමයකි.

ශ්‍රී ලංකාව පිලිබඳව සැප්තැම්බර් 16දා ඉදිරිපත් කෙරුනු එජා මානව හිමිකම් කොමසාරිස්ගේ පරීක්ෂන වාර්තාවෙන් පසුව නව යෝජනාව ගෙන එනු ලැබින. වාර්තාව බොහෝකොටම යුද්ධයේ අවසන් මාසවලට සීමාවන අතර එය, කිසිවෙකුත් නම් නොකරන නමුදු ප්‍රචන්ඩ ක්‍රියා පිලිබඳ සවිස්තරාත්මක දිගු වාර්තාවකි. මුලින් නිකුත් කර තිබුනු එජා ගනන් බැලීම් වලට අනුව යුද්ධයේ අවසන් මාසවල, 40,000ක් සිවිල් වැසියන් මරුමුවට පත්විය. 2009 මැයි මාසයේදී බෙදුම්වාදී එල්ටීටීඊය ලත් පරාජයෙන් යුද්ධය කෙලවර විය.

කෙටුම්පත් යෝජනාවේ පූර්විකාව තුල “ප්‍රජාතන්ත්‍ර පාලනය නඟා සිටුවීමට ආන්ඩුවේ දායකත්වය,” මානව හිමිකම්වලට ගරු කිරීම පිනිස ආන්ඩුව ගෙන ඇති පියවර හා “අතීත නොපනත්කම් හා (හිමිකම්) කඩකිරීම් වලට පිලියම් යෙදීමේ”යාන්ත්‍රනයක අවශ්‍යතාව හඳුනාගැනීම ප්‍රසංසාවට ලක්කෙරී ඇත. ආන්ඩුවට ප්‍රසංසා කිරීම, එහි මානව අයිතීන් පිලිබඳ වාර්තාවට මොනම සම්බන්ධයක්වත් නැත. එය හිමිවන්නේ, ජනවාරියේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පහකිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ රටේ විදෙස් පිලිවෙත බීජිනය වෙතින් වොෂින්ටනය දෙසට තියුනු ලෙස මාරු කිරීමට ගෙන ඇති පියවර වෙනුවෙනි.

අතීත ප්‍රචන්ඩ ක්‍රියාවන්ට පිලියම් යෙදීමේ යාන්ත්‍රනය, යුද අපරාධ සඳහා කිසිවෙකු හෝ වගවීමට නම් කෙරෙන්නේ නම්, ඒ කිහිප දෙනකු පමනක් වීම සහතික වනුවස් සියුම් ලෙස සකසා ඇත. ආන්ඩුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වොෂින්ටනය, කුමන හෝ පරීක්ෂනයකදී ආන්ඩුවට සැලකිය යුතු පාලනයක් ලැබෙන පරිදි මුල් කෙටුම්පත සංශෝධනය කර ඇත. ජාත්‍යන්තර විනිසුරුවන් ගැන මුලින් කර තිබූ සඳහන අලුත් කෙටුම්පතින් ඉවත්කර ඇති අතර “පොදුරාජ්‍ය මන්ඩලයේ හා ජාත්‍යන්තර විනිසුරු වරුන්ගෙන් හා තවත් නිලධාරීන්ගෙන් සැදුම් ලත් විශේෂ අධිකරන උපදේශක කාර්යාලය ද ඇතුලු අංඟ, ශ්‍රී ලංකාවේ අධිකරන යාන්ත්‍රනය තුලට සහභාගිකර ගැනීමේ වැදගත්කම” ආන්ඩුව පිලිගෙන ඇති බව එය කියා සිටියි.

කරුනු දෙකක් සඳහා ආන්ඩුවට වෙනස්කම් අවශ්‍යව තිබේ: පලමුව යුද අපරාධ චෝදනාවන්ට මුහුන දීමට සිදු නොවන බව මිලිටරියට සහතික වීම හා දෙවනුව, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ද පදනම්ව සිටින සිංහල වර්ගවාදී කොටස් සතුටු කිරීමය. දෙදෙනාම වගකීමට බැඳී සිටිති. සිරිසේන යුද්ධයේ අවසන් දෙසතිය තුල රාජපක්ෂ ආන්ඩුවේ වැඩබලන ආරක්ෂක ඇමතිව සිටියේය. වික්‍රමසිංහ 1983 යුද්ධය පටන්ගත් එජාප ආන්ඩුවේ ඇමතිවරයෙක්ව සිටියේය.

යෝජනාවේ අවසන් ආකෘතිය, වික්‍රමසිංහ හා දෙමල ධනපතියන් නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන දෙමල ජාතික සන්ධානය සම්බන්ධවූ තිරයට පිටුපස සිදුවූ කුමන්ත්‍රනයක ප්‍රතිපලයයි. සන්ඩේ ටයිම්ස් පත්‍රයට අනුව වික්‍රමසිංහ කොලඹදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් සමඟ හමුවක් පැවත්වූ අතර ජිනීවාහි සිටි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් සමඟ විද්‍යුත් සන්නිවේදන ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඔහු අලුත් වගන්තිය යෝජනාවට ඇතුල් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා ඇත. “මෙය සිදුවන විට ටීඑන්ඒහි එම්. ඒ සුමන්දිරන් ( පක්ෂයේ නායකයෙක්), එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ඇමරිකානු නිලධාරියෙක් වන මයිකල් ජේ සිසන් (හිටපු ශ්‍රී ලංකා තානාපති) හමුවීම සඳහා නිව් යෝර්ක් බලා ගියේය. මෙම අන්තර් ක්‍රියාකාරකම් තුලින් අවසන් යෝජනාව සකස් විය.”

යෝජනාව “ජාත්‍යන්තර සම්බන්ධකම්වල වැදගත් සැතපුම් කනුවක්” බව පවසමින් වික්‍රමසිංහ පැහැදිලිවම ඒ පිලිබඳව ප්‍රමෝදයට පත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවට “තවදුරටත් බලපෑම් වලට (ජාත්‍යන්තර) මුහුන පෑමට සිදු නොවනු ඇත.” මානව අයිතීන් පිලිබඳව “බලපෑම්” එල්ල වුනේ වොෂින්ටනයෙනි. ඒ බීජිනයෙන් දුරස්ත වන ලෙස රාජපක්ෂට පීඩනය යෙදීමට දැරූ උත්සාහය හමුවේය. යුද්ධයේ අවසන් මාස වන තෙක්ම ඇමරිකාව රාජපක්ෂගේ යුද්ධයට සහාය දුන් අතර මිලිටරියේ අපරාධ නොදුටුවාක් මෙන් සිටියේය.

බලපෑම් කිරීම අසාර්ථක වීමෙන් පසුව ඇමරිකාව වෙනත් පියවරයන්හි පිහිට පැතීය. අවසානයේදී වොෂින්ටනය, ජනවාරි ජනාධිපතිවරනයේදී රාජපක්ෂ පරාජය කිරීමේ තිරයට පිටුපස උපාමාරු යෙදීමෙහි නිරතවූ අතර පසුගිය මහ මැතිවරනයේදී ඔහු අගමැති වශයෙන් යලි බලයට පත් නොවීම සහතික කර ගැනීමට පියවර ගත්තේය. ජාත්‍යන්තර පරීක්ෂනයකට වඩා බොහෝකොටම දේශීය “මානව හිමිකම් පරීක්ෂනයක්” කෙරෙහි වොෂින්ටනයේ සහාය පලවීම වනාහි, ඇමරිකානු ගැති කොලඹ නව ආන්ඩුවට කල ගාස්තුව ගෙවීමකි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කලේ, යෝජනාව, “ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය හා සම්බන්ධය ඇතිව ශ්‍රී ලාංකිකයින්, විශ්වාසනීය අන්තර්වාර අධිකරන ක්‍රියාවලියක් දෙසට තැබූ වැදගත් පියවරක්” බවය. යථාර්තය නම් එය, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරු පීඩිත ජනතාවට එරෙහි කුමන්ත්‍රනයකේ වීමයි. යුද්ධයෙන් ප්‍රධානකොටම පීඩාවට පත් වුනේ ඔවුන්ය. එසේම එය, තම අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ඇමරිකාව “මානව හිමිකම්” ගසාකන්නේ කෙසේ ද යන්න පිලිබඳ තවත් නිදසුනකි.

19දා ඩේලි මිරර් පත්‍රයට අනුව වික්‍රමසිංහ, පිහිටුවීමට යන අධිකරන යාන්ත්‍රනය ගැන ඒවන විටත් මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කර ඇත. විශේෂ සිදුවීම් ගැන සොයා බැලීමට ශ්‍රී ලාංකිකයෙක් විශේෂ අධිකරන නියෝජිතයා ලෙස පත් කරනු ඇත. පොදුරාජ්‍ය මන්ඩලයේ විනිසුරුවන් සම්බන්ධ වන්නේ, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනයේ අනුමැතිය පලවන්නේ නම් පමනි. වික්‍රමසිංහ විශේෂිතව පැවසුවේ, ආන්ඩුව ආරක්ෂක හමුදා සාමාජිකයින් “දඩමීමුන්” කරගන්නේ නැති බවය.

දකුනු අප්‍රිකාවේ සත්‍යය සෙවීම හා සංහිදියා කොමිසමට (ටීආර්සී) අනුකූලවන පරිදි “සත්‍යය සෙවීමේ කමිටුවක් හා සහානුකම්පික මන්ඩලයක්” පිහිටුවන බව ද අගමැති ඇඟවුම් කර ඇත. පරීක්ෂා කිරීම පිනිස විශේෂ අධිකරන නියෝජිතයා විසින් හඳුනාගනු ලබන සිද්ධීන් මෙම කොමිසමට යොමුකරනු ඇත.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ඒඑන්සී) නායකත්වය දැරූ ආන්ඩුව විසින් 1995දී ටීආර්සීය පිහිටුවනු ලැබුවේ, ඇපාතයිඩ් පාලනය යටතේ සිදුකරන ලද අපරාධ ගැන සොයා බැලීමටය. එහි සැබෑ කර්තව්‍යය වූයේ හැකි සෑම විටෙකම, අතීත අපරාධ වසං කිරීමයි. “සංහිඳියාව” යන නාමය යටතේ එමඟින් සිදුවූයේ, කිසිවෙකුත් වගවීමට නොබැඳෙන බවට හා පීඩාවට පත්වූ කිසිවෙකුටත් වන්දි ගෙවීමට සිදු නොවන බවට වගබලා ගැනීමය. ටීආර්සීය වනාහි, ඒඑන්සීය හා කලු ජාතික පාලක පන්තිය යටතේ ධනපති පාලනය තහවුරු කිරීමට කැපවූ යාන්ත්‍රනයකි.

ශ්‍රී ලංකාවේදී ටීඑන්ඒ ඉටුකරන්නේ දකුනු අප්‍රිකාවේදී ඒඑන්සීය ඉටුකල ක්‍රියාකලාපයට සමාන භූමිකාවකි. ඔවුන් යෝජනාව හුවා දැක්වූයේ එය, “නාටකාකාර ලෙස අතීතයෙන් බිඳීමක් හා දන්ඩමුක්තියේ අවසානය ලෙසත්ය.” කෙටුම්පත “ගැටුමේදී පීඩාවට පත්වූ සියල්ලන් සතුටු නොකරනු ඇති” නමුත් එය සංහිඳියාව “සඳහා සාධනීය ආරම්භක ලක්ෂයක්” වන බව ටීඑන්ඒ සඳහන් කරයි. සංහිඳියාව යන්නෙන් ටීඑන්ඒ අදහස් කරන්නේ, දෙමල ධනපතියන්ගේ අවශ්‍යතාවන්ට සරිලන නව බලය බෙදීමේ ගිවිසුමක් කොලඹ පාලනය සමඟ ඇතිකර ගැනීමය.

බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය හා මොන්ටිනීග්‍රෝ ඇතුලු රටවල් ගනනාවක් දැනටමත් යෝජනාවට සිය සහාය දෙන බව ඇඟවුම් කර තිබේ. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි හා ජනාධිපති සිරිසේන අතර නිව්යෝර්ක්හිදී පැවති සාකච්ඡාවකින් පසුව ඉන්දියාව ද සිය සහාය පිලිබඳව ඇඟවුම් කලේය. යෝජනාව හෙට දිනය තුල නිල ඡන්දයකින් පවා තොරව සම්මත වන බව පෙනී යයි.

Share this article: