එසප නායකයා දක්ෂිනාංශික එජාපයේ මැතිවරන ජයග්‍රහනයන්ට සුදුහුනු තවරයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2015 සැප්තැම්බර් 26

ව්‍යාජ වාම පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) නායක සිරිතුංග ජයසූරිය ශ්‍රී ලංකාවේ අගෝස්තු මහ මැතිවරනය අලලා සිය අවස්ථාවාදී දේශපාලන භූමිකාවට පෑහෙන ව්‍යාජ තක්සේරුවක් ලියා ඇත. “රාජපක්ෂගේ පරාජයෙන් පසුව ඇති අභියෝග හඳුනා ගන්න“ යන හිසින් යුතුව lankasocialist.com හි ලිපිය පල කෙරී තිබිනි.

මහමැතිවරනය අතරතුර ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (ලෝසවෙඅ) එසපඅවස්ථාවාදී භූමිකාවපිලිබඳ ලිපියක් පලවිය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමඟ පෙලගැසෙන සිය ක්‍රියාකාරකම් පිලිබඳ හෙලිදරව්වෙන් කුපිත වූ එසප, සමාජවාදී සමානතා පක්ෂය (සසප) අපහාසයක යෙදුනු බව ප්‍රකාශ කර සිටියේ ය. එසප අතීත වාර්තාවේ මඟ සලකුනු ඔස්සේ යමින් සසප සවිස්තරාත්මක විශ්ලේෂනයක් සහිත දීර්ඝපිලිතුරක්නිකුත් කලේ ය. එසප, සසප පිලිතුර ගැන මුනිවත රකී. ජයසුරියගේ ලියවිල්ල නැවත වරක් ඇමරිකන් ගැති පාලක එජාපයට සහ එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහට එසප පක්ෂපාතිත්වය ප්‍රකට කරයි.

ජනාධිපතිවරනයේ දී එසප දෙබිඩි පිලිවෙතක් අනුගමනය කලේ ය. මැතිවරනයට ඉදිරිපත් වෙමින් ඔහු රාජපක්ෂගේ “ඒකාධිපති පාලනය“ ගැන ඝෝෂා කලේ ය. කෙසේවෙතත්, විපක්ෂ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන “අඩු නපුර“ ලෙස හුවා දක්වමින්, ඔහු සිරිසේන පිලිබඳ කළේ සීමාසහිත විවේචනයකි. එනයින් ඔහු වික්‍රමසිංහ සහ හිටපු ජානාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සහයෝගය ඇතිව සිරිසේනට පිටුබලය දුන් ඇමරිකානු තන්ත්‍රමාරු මෙහෙයුමට වක්‍රව පිටුබලය දුනි.

මහමැතිවරන ප්‍රතිපලය පිලිබඳ සිය ලිපියෙහි එසප නායකයා රාජපක්ෂගේ අගමැති සිහිනය ව්‍යර්ථ වීම ගැන සිය සතුට ද එජාපය ඉහල ආසන සංඛ්‍යාවක් දිනාගැනීම පිලිබඳ උද්දාමය ද පලකර ඇත. අගමැති තනතුර ලබා ගැනීමේ උත්සාහයක නියැලෙමින් රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) මැතිවරන උද්ඝෝෂනයට නායකත්වය දුන්නේ ය.

“සියලු ඉහල බලාපොරොත්තු සුනුවිසුනු කරමින් මහින්ද රාජපක්ෂ ඇතුලු ජාතිවාදී පවුල්වාදී නඩයට, පලමු ඉනිමේ (ජනාධිපතිවරනයේ) ලද පරාජය අභිබවා යන අන්ත පරාජයකට මහමැතිවරන දෙවන ඉනිමේදී ද මුහුන දීමට සිදුවිය“ යනුවෙන් ඔහු පවසයි.

රාජපක්ෂ කඳවුරෙන් එල්ල විය හැකි අනතුරු පිලිබඳව ජයසූරිය වික්‍රමසිංහට මිත්‍රශීලි අනතුරු ඇඟවීමක් ද කරයි. “රාජපක්ෂ මෙලෙස පරාජයට පත්වුව ද රනිල් වික්‍රමසිංහගේ එජාප ආන්ඩුවට එරෙහිව දිගහැරෙන වර්ගවාදී බලවේගවල ක්‍රියාකාරීත්වයන් අවතක්සේරු නොකල යුතු ය.“ ජාතිවාදීන්ගේ ගොදුරක් බවට පත්විය හැකි අනාගාමික පුද්ගලයෙකු ලෙස ඔහු වික්‍රමසිංහ රූපනය කරයි.

කම්කරුවන්ට සහ දුගීන්ට වික්‍රමසිංහ යටතේ එජාප රජයකින් එල්ලවන අනතුර ජයසූරිය වසන් කරයි. “වික්‍රමසිංහට දුර්වල, සුලුතර ආන්ඩුවක් පිහිටුවීමට සිදුව ඇති තතු තුල තම නව ලිබරල් ධනේශ්වර ආර්ථික සැලැස්මේ ගල්රෝල එලෙසම ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇත. එයින් ජනතාවට හුස්ම ගැනීම සදහා යම් ඉඩක් ඉතිරි කෙරී ඇත.“ මෙයින් අදහස් කෙරෙන්නේ දුර්වල එජාප රජයක් යටතේ කම්කරුවන්ට සහ දුගීන්ට කප්පාදු පියවරයන් සම්බන්ධව එතරම් බියවීමට දෙයක් නැති බව යි.

ජයසූරියට අනුව “ජනතාව එජාපයට සහය දක්වා ඇත්තේ මහින්දට එරෙහි සිය වෛරය කියාපෑමට යි“. කම්කරුවන් හා දුගීන් අතර රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වැඩුනු දැඩි විරෝධය එජාපය වෙතට හැරවීමේ ප්‍රධාන වගකීම රැඳී තිබෙන්නේ ව්‍යාජ වාම එසප, නව සමසමාජ පක්ෂය (නසසප), වෘත්තීය සමිති නිලධර සහ රාජ්‍ය නොවන සංවිධාන අත ය. ඔවුහු වික්‍රමසිංහ දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ජීවන කොන්දේසිවල ආරක්ෂකයෙක් ලෙස පින්තාරු කලහ.

මෙම ලිපිය තුල ජයසූරිය කුහක ලෙස ප්‍රකාශ කරන්නේ එසප පමනක් “රාජපක්ෂගේ ඒකාධිපති ස්වරූපයේ පාලනයේ මර්දනයට එරෙහිව පෙරමුන ගෙන සටන් කල“ බව යි. මෙය තවත් එක් දැවන්ත බේගලයකි. ඇත්ත වශයෙන්ම, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි කම්කරුවන්ගේ සහ දුගීන්ගේ අරගල කඩාකප්පල් කලේ එසප ඇතුලු මෙම සංවිධාන යි.

නසසප සහ අනෙකුත් සහචරයින් හා එක්ව එජාපය සමඟ පෙලගැසුනු එසප කම්කරුවන්ට, තරුනයින්ට සහ දුගීන්ට අටවන උගුල් ලෙස නිදහසේ වේදිකාව , විපක්ෂයේ විරෝධය සහ මහජන හමුව වැනි විවිධ පෙරමුනු සංවිධානය කලේ වික්‍රමසිංහ සහ ඔහුගේ දක්ෂිනාංශික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙක් ලෙස හුවා දක්වමිනි.

ජයසූරිය පවසන්නේ එජාපය යම් උපාමාරු තුලින් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගැනීමට ඉඩ ඇතත් ඒ ගැන පවා කලබල වීමට දෙයක් නැති බවයි. “වික්‍රමසිංහ තම පරමාදර්ශය වන ලී ක්වාන් යූ අනුගමනය කිරීමට උත්සාහ දරා ඇත.“ මෙම ප්‍රති කොමියුනිස්ට්වාදී හිටපු ඒකාධිපති නායකයා කම්කරු පන්තිය කුරිරු ලෙස තලා දමමින් සිංගප්පූරුව තුල දරදඬු පාලනයක් ගෙන ගියේ ය. කෙසේ වෙතත් ජයසූරියට අනුව , “ලී ක්වාන් යූ කලාක් මෙන් රනිල් වික්‍රමසිංහට තම සිහින මාවතේ කොතෙක් දුරට ගමන් කල හැකිවන්නේ ද යන්න ගැන පුරෝකථනය කිරීමට තව කාලයක් අවශ්‍ය වනු ඇත“.

මෙය වනාහි, ලඹදෙන අන්තරාය පිලිබඳව කම්කරුවන් සහ දුගීන් රැවටීමක රඳවා තබා ගැනීමටත් ඔවුන් දේශපාලනිකව නිරායුද කිරීමටත් ගැනෙන තුච්ඡ වෑයමකි. අනෙකුත් ව්‍යාජ වාම පක්ෂ මෙන්ම එසප ද ඉහල මධ්‍යම පන්තිය සහ ධනේශ්වර සංස්ථාපිතය සමඟ සහයෝගීව සිටින අතර ධනපති පන්තියේ සහ අධිරාජ්‍යවාදයේ හාම්පුතුන්ගේ ආසක්තයන්ට සේවය කරයි.

ප්‍රතිගාමී න්‍යායපත්‍රයක් ක්‍රියාවට නංවනු වනු පිනිස සිරිසේන සහ වික්‍රමසිංහ එක්ව “ජාතික සමගි ආන්ඩුව“ මාට්ටු කලහ: චීනයට එරෙහි සිය මූලෝපායික පෙලගැසීමට ශ්‍රී ලංකාව ඈඳා ගැනීමේ අවශ්‍යතාව සහිත ඇමරිකාව පසුපස පෙලගැසීම සඳහා වන සිය විදේශ ප්‍රතිපත්ති මාරුව ගැඹුරු කිරීම ඉන් එකකි. අනෙක නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධාන අනුව කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් කම්කරු පන්තිය සහ දුගීන් තලා දැමීම යි.

මෙම ප්‍රහාරයන් පහසුවෙන් වසන් කල නොහැකි නිසා, පසුසිතුවිල්ලක් ලෙස, වික්‍රමසිංහ ආන්ඩුවේ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයන් ගැන යන්තමින් සඳහන් කර ඇත.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) පිළිබඳ සිය “විවේචනයන්“හිදීද ජයසූරියගේ කුහකත්වයේ අඩුවක් නැත. “දෙමල ජනතාව දිගටම ටීඑන්ඒ වෙත සිය ඡන්දය ලබාදී“ ඇති බවක් කියන ඔහු, ජාතික ප්‍රශ්නය රනිල් සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව පවතින බවට “දෙමල ජනතාවට බොරු පොරොන්දු ලබාදීම තුලින්, එය උතුරේ බලය තහවුරු කරගැනීමට සමත්ව ඇතැයි“ පවසයි.

එසප, ටීඑන්ඒ ඇතුලු දෙමල ධනේශ්වරයට බලය බෙදා දීමේ වැඩපිලිවෙලට දිගටම පිටුබලය දුන් අතර උතුරට හා නැගෙනහිරට ස්වයං නිර්න අයිතිය ලබා ගැනීම සඳහා වන දෙමල ජාතිකවාදී ඉල්ලීම ප්‍රවර්ධනය කලේ ය. බලය බෙදීම සහ ස්වයං නිර්නය පිලිබඳ දෙමල ධනපති පක්ෂවල ඉල්ලීම දෙමල පාලක ප්‍රභූවේ වරප්‍රසාද මිස කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් නියෝජනය නොකරයි. දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂකයන් ලෙස ටීඑන්ඒ නායකයන් චිත්‍රනය කරමින් එසප ටීඑන්ඒ සමඟ සමීපව වැඩකරයි.

දෙමල කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ස්ථාපිත කිරීම සහ උතුරු-නැගෙනහිර මිලිටරි වාඩිලාගැනීම් නිමා කිරීම සඳහා වන එකම මාවත ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන වැඩපිලිවෙලට, එනම් ජාත්‍යන්තරව සහ දකුනු ආසියාව තුල සමාජවාදය සඳහා ගෙනයන අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන වැඩපිලිවෙලට එසප සතුරු ය.

කුමාරතුංග සහ රාජපක්ෂගේ ආන්ඩු සමඟ සන්ධාන ගතවීම ගැනත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට සහය දැක්වීම ගැනත්, ජයසූරිය කෛරාටික ලෙස ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හෙලා දකියි. කෙසේවෙතත්, තමන් ද ඒ හෝ මේ ධනේශ්වර නායකයන් සමඟ කලින් කලට අත්වැල් බැඳගත් බවට කිසිදු සඳහනක් නොකරමින් ජයසූරිය ලුහුටා යයි.

එසප ජනාධිපතිවරනයේ දී සහ මහමැතිවරනයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමඟ පෙරමුනක් තනාගැනීමට වලිකෑවේ ය. “කට්ටිවාදී වීම“ සහ “වමේ ඡන්ද“ බෙදීයාම වලක්වාගැනීමට “වාම පෙරමුනක් “ තැනීම ප්‍රතික්ෂේප කරමින් “සිංහල ජාතිකවාදී බලවේගවලට යටවීම“ ගැන ජයසූරිය පෙසපට දොස් පැවරීය. පෙසප සමඟ එක්ව “වමේ බලයක්“ ගොඩනැගීම සඳහා එසප නොකඩවා දරන උත්සාහයෙන් පෙන්නුම් කෙරෙන්නේ සිංහල වර්ගභේදවාදයට එහි අනුගතවීම යි. සිංහල වර්ගෝත්තමවාදී ගොහොරුවේ එරී සිටි ජවිපෙන් කැඩීගිය කන්ඩායමක් වන පෙසප 1987-1990 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව එය ගෙනගිය කුරිරු වර්ගවාදී උද්ඝෝෂනය ගැන පාරම්බායි.

අවසාන වශයෙන් ජයසූරිය එසප, පෙසප, සහ නසසප මහමැතිවරනයේදී ලබාගත් ඡන්ද ගනියි. ඡන්ද ගනන අඩුයි! ඔහු මෙසේ නිගමනය කරයි: “මෙම ප්‍රතිපල පෙන්නුම් කරනුයේ වම සාපේක්ෂ වශයෙන් දුර්වල ස්ථානයක සිටින බව යි“. පක්ෂයේ දිගුකාලීන න්‍යාය පත්‍රය වන “එක්සත් වමක්“ සඳහා තල්ලු වීමට ඔහු මෙම තර්කය යොදා ගනියි.

වික්‍රමසිංහ ආන්ඩුව තම නව ලිබරල්වාදී පිලිවෙත් ක්‍රියාවට නගන විට ඊට එරෙහිව අරගල පැන නැගිය හැකි බව ජයසූරි පසු සිතුවිල්ලක් ලෙස පවසයි. වමේ ව්‍යාපාරය විසින් මෙම අරගලයන්ට නායකත්වය දීමේ වගකීම භාරගතයුතු බව ද ජයසූරිය කියයි. ඔහුගේ පක්ෂ පුවත්පත වන “රතු තරුව“ මෙසේ ලියයි: “එම ප්‍රහාරයන්ට එරෙහි අරගලයේදී කට්ටිවාදී සහ අතිවාම රෝගයන් වැලැක්වීමේ වාම බලකොටුවක් ගොඩනැගීමට එසප නායකත්වය දෙන්නෙමු.“

එසප සහ අනෙකුත් ව්‍යාජ වම්මු, ග්‍රීසියේ කම්කරුවන් හා දිලිදු ජනයා උගුලට හසුකර ගැනීමට වාම වාචාල දොඩවමින් බලයට පැමිනීමෙන් අනතුරුව, ඔවුන් මූල්‍ය ප්‍රාග්ධනයේ නිර්දය ආඥාවන්ට පාවාදෙනු ලැබූ ධනපති සන්ධානය වන සිරිසා සංවිධානය වගවර්නනාවට ලක් කරයි. ගැඹුරුවන ගෝලීය අර්බුදයක සන්දර්භය මධ්‍යයේ ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තිය හා පීඩිතයන්ගේ දැවැන්ත විරුද්ධත්වය පුපුරා යනු ඇති බව එසප හා අනෙකුත් අවස්ථාවාදීන් යහමින් දැනුවත් ය. සිරිසා සංවිධානය කලාක් මෙන්, මොවුන් කම්කරුවන්ට උගුලක් සූදානම් කරමින් සිටී.

එසප හා අනෙකුත් ව්‍යාජ වාම පක්ෂවල දේශපාලනයේ කැපී පෙනෙන ලකුනක් වන්නේ, කම්කරු පන්තිය, ධනපති පන්තියේ සෑම පාර්ශවයකින්ම කඩා වෙන් කරගමින් ඔවුන් ස්වාධීනව බලමුලු ගැන්වීමටත් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත ගම්බද දිලින්දන් හා පීඩිත ජනයා මෙහෙයවීමටත් ඔවුන් දක්වන විරුද්ධත්වය යි.

Share this article: